Monthly Archives: ඔක්තෝබර් 2011
2011 ඔක්තෝබර් 31 : ජනගහනය බිලියන හතයි… අපට තව කොතෙක් කළක් ජීවත් විය හැකිද ?
මේ වන විට ලෝකයේ ජනගහනය බිලියන හතයි.. ජනගහනය බිලියන හයක් බවට පත් වුනේ මීට අවුරුදු 12 කට පෙරයි.. ඒ කියන්නේ මේ ජනගහන වර්ධනය ඉතා ඉක්මනින් සිදු වූවක්. මේ ජනගහන වර්ධනය එක්කම ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. මේ අවශ්‍යතා වලින් ප්‍රධාන වන්නේ ඉන්න හිටින්න යන්න එන්න ඉඩ සහ බලශක්තිය… ඉඩ වැඩි කරගන්න තිබෙන ඉඩම් එළි පෙහෙළි කරගෙන නිවාස පාරවල් තනාගන්න වෙනවා… එසේම බලශක්තිය ජනනය කිරීමේදී වැඩි වැඩියෙන් වනාන්තර එළි පෙහෙළි වීම වගේම වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදාහැරීමත් සිදු වෙනවා.
නවතම ගණනය කිරීම් වලට අනුව පරිසරයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාතය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 394 ක් (394 ppm) මේ අගයය එන්න එන්න වැඩි වනවා මිසක් අඩු වන්නේ නැහැ. ෆොසිල ඉන්ධන දහනයෙන් සහ වැඩිවන ජනගහනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩි ප්‍රමාණය වසර 2050 වනවිට 500 ppm – 750 ppm වන තරමට ඉහළ යා හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය. මේ අගය මිනිසාට සෞඛ්‍යය අතින් බලපෑමට බොහෝ ඉඩකඩ තිබෙනවා. නමුත් මෙහි බලපෑම වඩාත්ම වැඩි වන්නේ පරිසරයටයි. වැඩිවන CO2 මට්ටම හමුවේ වායුගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාම, මුහුදු ජීවීන්ගේ ආවරණ දියවීම වැනි දේ මෙන්ම ධ්‍රැවීය ග්ලැසියර දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාම වැනි භයානක ප්‍රතිඵල අත්වන්නට පුළුවන්. ලෝකයේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතවයි. මේ ප්‍රදේශ ජලයෙන් යටවන්නට පටන් ගත් විට ඔව්න් ඉහළ බිම් ප්‍රදේශ කරා සංක්‍රමණය වනවා. මේ නිසා සිදු වන්නේ නැවත නැවතත් වනාන්තර එළි පෙහෙළි වීමයි. නැතහොත් අර පැරණි චක්‍රයම නැවතත් ආරම්භ වීමයි.
මේ තත්ත්‍වය අඩු කිරීමට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ.. කිසිවෙකු ඔප්පු කරනවා නම් ඔහුට/ඇයට වැඩිවන CO2 මට්ටම අඩු කරන්න පුළුවන් කියා ඒ තැනැත්තාට ඒ මොහොතේම නොබෙල් ත්‍යාගය දෙන්න තරම් වටිනා පුද්ගලයෙක්. තමුත් කිසිවෙකුට එය කිරීමට බැහැ. එයට බොහෝ ප්‍රායෝගික හේතු තිබෙනවා. කළ හැක්කේ CO2 මට්ටම වැඩිවන වේගය අඩු කිරීම සහ පාලනය පමණයි. මෙය සිදු කළ හැක්කේ ක්‍රම කිහිපයක් මගින්.
- බලශක්ති නිශ්පාදනය මගින් වායුගෝලයට එක් වන CO2 ප්‍රමාණය අවම කිරීම.
මෙය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා.
- ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම / නැවැත්වීම
- පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය
- වැඩි වැඩියෙන් වනාන්තර ඇති කිරීම
ආදියයි. නමුත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ බාධක රැසක් අප ඉදිරියේ තිබෙනවා. පළමු වැන්න ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඈත් වීමයි. මුළු ලෝකයම වෙලාගෙන ඇති පිළිකාව වන්නේ මෙයයි. බොහෝ රටවල් යුද්ධ වලට පැටළෙන්නේත්, බොහෝ රටවල ආර්ථිකය අවුල් වී ඇත්තේත් මේ ෆොසිල ඉන්ධන භාවිතාව පිළිබඳ ප්‍රශ්න නිසායි. ඇමරිකාව ඉරාකයට සහ ලිබියාව ඇතුළු අරාබිකරයේ රටවලට කෙණිහිලිකම් කරන්නේ මේ මහා සම්පත නිසායි. ගඩාෆිට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නොව ලෝකයේ සුපිරිම බොරතෙල් තිබුණේ ලිබියාවේ නිසා බව දන්නේ බොහොම ටික දෙනයි. ෆෙසිල ඉන්ධන භාවිතය නැවැත්වීමට හෝ අඩු කිරීමට කිසිදු රටක් අවම වශයෙන් උත්සාහ දරන්නේ වත් නැහැ. ලෝක බල තුලනය ඉන්ධන සමාගම් මගින් පාලනය වන බව පෙන්වීමට මේ උදාහරණයම ඇති.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තවමත් ජනප්‍රිය නොවීමට සහ ප්‍රායෝගික නොවීමට හේතු කිහිපයක් තිබෙනවා. පළමු වැන්න අධික ප්‍රාග්ධන පිරිවැයයි. මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රමයක ලාභ ලැබීමට නම් වසර 30 ක් යනතුරු බලා සිටීමට සිදු වෙනවා. නමුත් සූර්ය කෝෂයක ආයුකාළය වසර 15-20 ක් පමණ කාළයක්. එපමණක් නොවෙයි, සූර්ය කෝෂයක උපරිම කාර්යක්‍ෂමතාවය 45% ක් ඉක්මවා යන්නට තවමත් සමත් වී නැහැ. එසේම සෑම විටම සූර්යාලෝකය මේ සූර්ය කෝෂවලට පතනය වන්නේතු නැහැ. මේ නිසා බොහෝ දෙනා මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රම සඳහා ආයේජනය කිරීමට මැලිකමක් දක්වනවා. සුලං බලය ගතහොත් එහි බලශක්ති ජනනය සීමිතයි. සෑම විටම සුලං ටර්බයින හරහා සුලං හමන්නේ නැහැ. එසේම එහිද ප්‍රාග්ධන පිරිවැය අධිකයි. ලෝකයේ සුලං ගොවිපොළවල් (wind farms) තිබුණත් ඒවායින් ජනනය කළහැකි බලශක්තිය සීමිතයි. ලංකාවේ ද Senok සමාගම මගින් මන්නාරම් ද්‍රෝණියේ සුලං ගොවිපොළට අමතරව නැගෙනහිර වෙරළේ ද ඇති කිරීමට සූදානම් වනබව සැලයි.
තරමක අනතුරුදායක වියහැකි වුනත්, මහාපරිමාණව අඩුම මිලට අවම කාබන් පියසටහනක් ඇතිව බලශක්තිය ජනනය කළ හැකි එකම ක්‍රමය න්‍යෂ්ඨික බලශක්ති ජනනය පමණයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මෙය යෝග්‍ය නොවුනත් ඉඩකඩ ඇති, ස්වභාවික විපත් සහ සතුරු කරදර අඩු විශාල රටවලට මෙය හොඳ පිළියමක්. මෙහි ඇති ප්‍රධාන දුෂ්කරතාවය වන්නේ ද අධික ප්‍රාග්ධන පිරිවැය සහ ඊට අමතරව න්‍යෂ්ඨික ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවයයි.
ජල විදුලි බලයේ ද සීමාවක් ඇති අතර බොහෝ රටවල් මේ වනවිට එහි උපරිමයට ලඟා වී තිබෙනවා. දැන් දැන් ප්‍රචලිත වන සහ පර්යේෂණ මට්ටමින් ඉදිරියටම පැමිණ ඇති ක්‍රමය වන්නේ ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම සහ ඒ හයිඩ්‍රජන් දහනය මගින් බලශක්තිය නිපදවා ගැනීමයි. ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ Dan Nocera කණ්ඩායම සහ Yang Shao-Horn කණ්ඩායම මේ සම්බන්ධව ඉතා ඉහල ප්‍රගතියක් ලබා ඇති පර්යේෂණ කණ්ඩායම් දෙකක්.
පහතින් පෙනෙන්නේ Dan Nocera කණ්ඩායම මගින් තැනූ කෘත්‍රීම පත්‍රය (artificial leaf) මගින් ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම පෙන්වන වීඩියෝවක්.
- වැඩිවන CO2 ප්‍රමාණය පාලනය
මෙය කළ හැක්කේ
- වනාන්තර නැවත වැඩි කිරීම
- වන විනාශය අවම කිරීම
- කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කිරීම
- හරිත නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම
- CO2 ප්‍රතිචක්‍රීකරණය
ආදී ක්‍රම වලිනුයි. වැඩිවන ජනගහනය හමුවේ සිදු වන වනාන්තර විනාශය අවම කරගතහැකි නමුත්, නැවත වනාන්තර ඇති කිරීම නම් තරමක් අපහසු කාර්යයක්. කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කරගතහැක්කේ නවතම ක්‍රම මගින් පිටවන CO2 ප්‍රමාණය අඩු කිරීම, සහ CO2 පිට නොවන නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම වැනි කාරණා තුළිනුයි. හරිත නිෂ්පාදන කරා යොමු වීම මගින් CO2 පිටවීම අවම කර ගැනීමට බොහෝ සමාගම් සහ ආයතන සමත්වී තිබෙනවා.
CO2 ප්‍රතිචක්‍රීකරණය දැන් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් පැත්තක්. සමහරක් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදන මගින් පිටවන CO2 වායුව මුහුදු ජලය තුළින් බුබුලනය කිරීම මගින් Na2CO3 සහ CaCO3 වැනි සංයෝග තනාගැනීමට යොදාගෙන තියෙනවා. මේ සංයෝග සිමෙන්ති නිෂ්පාදනයේම අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් සිය කාබන් පියසටහන් අවම කිරීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. එසේම සමහරක් සමාගම් මේ සංයෝග මගින් ගඩොල් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය තනා දිගුකාලීන CO2 ගබඩා ලෙස පාවිච්චියටත් යොදාගෙන තිබෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල මුහුදු පත්ලේ ඝණ CO2 ගබඩා කිරීමට ද පටන් ගෙන තිබෙනවා. මෙසේ ගබඩා කිරීම මගින් CO2 ප්‍රමාණය අවම කරගැනීම කවදා සිදු කර නිම කරන්නදැයි ඔවුන් සළකා බලා නැති වුනත්, මුහුදු පතුලේ මෙසේ ගබඩා කිරීම මගින් යම් අඩු කරීමකට ඔවුන් සැරසෙනවා. එසේම දැන් බොහෝ පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත්තේ CO2 භාවිතා කර ඉන්ධන නිපදවීමේ කටයුත්ත සිදු කිරීමට රසායනික සංයෝග සහ උත්ප්‍රේරක භාවිතයයි. ඒ සඳහා සාර්ථක ප්‍රතිඵලයක් තවමත් කිසිවකු ලබාගැනීමට සමත්ව නැතත්, බොහෝ දෙනා නිකල්, පැලේඩියම් සහ ප්ලැටිනම් වැනි ලෝහ සංයෝග යොදාගෙන පර්යේෂණ පවත්වමින් සිටිනවා.
මෙහිදී ද ප්‍රායෝගික ගැටළු පැණ නගිනවා. ඒ උත්ප්‍රේරක වල අධික මිල, උත්ප්‍රේරක සාමාන්‍ය වායුගෝලයේදී ප්‍රතික්‍රියාවලට භාජනය වීම, එහි පිරිවැටුම් අගය සහ පිරිවැටුම් සංඛ්‍යාතය (turnover number & turnover frequency) අඩු වීම සහ CO2 සඳහා සුවිශේෂීතාවය මඳකම, එසේත් නැතිනම් සාමාන්‍ය වායුගෝලයෙන් CO2 පමණක් වෙන්කර ප්‍රතික්‍රියාවලට භාජනය කිරීමේ නොහැකියාව, වායුගෝලයේ CO2 ප්‍රමාණය මඳකම නිසා ප්‍රතික්‍රියා සඳහා CO2 වෙන්කරගැනීමට අමතර ශක්තියක් භාවිතා කිරීමට සිදුවීම වැනි හේතු නිසා CO2 උත්ප්‍රේරක පිළිබඳ පර්යේෂණ ද ප්‍රාථමික මට්ටමේ පවතිනවා.
මේ සියල්ල මැත අප සියළුම දෙනා තවත් කාළයක් ජීවත් වේවි. පරිණාමයට අනුව අපි වැඩිවන CO2 ප්‍රමාණය එක්ක ජීවත් වන්නට හැඩගැසේවි. අපේ පරිණාමය සිදු වූයේ වසර දහස් ගණනාවක් තුළ, නමුත් මේ වැඩිවීම සිදු වන්නේ දශක ගණනාවක් ඇතුළත. මේ නිසා අපි මේ වෙනසට ඔරොත්තු දේවිද ? නොදේවිද ? පරිසරය අපට මේ වැඩිවන CO2 ප්‍රමාණය සම්බන්ධයෙන් නෙසේ සළකාවිද යන්න අපටම ඉදිරියේදී බලාගන්නට පුළුවනි.
ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයට ගිය සතියේ ඇතිවූ හිම කුණාටුව මේ වෙනස්වන තත්ත්‍ව වලට හොඳ උදාහරණයක්. පරිසරය රත් වීම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. මේ නිසා වලාකුළු ඇතිවීම වැඩි වී වැඩිපුර වැසි, හිම කුණාටු ආදිය වැඩි වන්නට පුළුවන්. ඒ බව පසුගිය වසර 10 තුළ සිදු වූ කාලගුණ විපර්යාස වලින්ම බලාගන්නට පුළුවන්. කුණාටු සංඛ්‍යාව සහ ඒවායේ හානිය වැඩි වීම, අකල්හි වැටෙන වැසි, වර්ෂාපතන රටා වෙනස් වීම ආදිය මේ වෙනසෙහි පෙරමඟ සළකුණු…
ඉතින් අපි මේ සියල්ල මත එක්නෙකා ඇණකොටා ගනිමින්, එකිනෙකාට වලවල් කපමින්, නොයෙකුත් සුළු හේතු මත එකිනෙකා හා අමනාප වෙමින් කල් ගත කරනවා…. ඒ විතරක් නොවෙයි අපෙන් කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී සියල්ල අපට ලබා දෙන පරිසරය විනාශ කරමින් ආත්මාර්ථකාමීව ජීවත් වී පරිසරය විනාශ කර මිය යනවා…
ඉතින් අපි අපේ අනාගත පරපුරට ඉතිරි කළ යුත්තේ කුමක්දැයි සිතීමත්, ඒ පිළිබඳ සිහි නුවණින් සිතා කටයුතු කිරීමත් ඔබට බාර කරනවා….. එක දවසකට එක වැරදි පුරුද්දක් අඩු කරගත හැකි නම්, අපට බොහෝ දුරක් යා හැකියි… ප්ලාස්ටික් බෑගයක් නැවත නැවතත් පාවිච්චි නොකර ඉවත දමන විට ඔබ විනාශ කරන්නේ ඔබේ දරුවාගේ අනාගතය බව ඔබට මතක් කළ හැකි නම් මේ වචන 1250 න් වැඩක් ගත්තා යැයි මට හිත හදාගන්නට පුළුවන් වේවි.
2011 ඔක්තෝබර් 28: මේ ලෝකෙ රහක් නැති දවස් දෙකක්….
ගිය සතියෙම අහස උසට වැඩ, සමහර දවස් වලට ගෙදර එනවිටත් රෑ දොලහත් පහුයි.. ඒ තරමට වැඩ.. සමහර යාළුවො අහනවා මොනවද මෙච්චර වැඩ කියලා… කියන්න පුළුවන් වැඩ යෑ වෙන්නේ.. රෑ හතට විතර ලොක්කා ඇවිත් කියනවා මෙන්න මෙහෙම පරීක්‍ෂණයක් තියෙනවා කරලා බලමුද කියලා…. සමහර ඒවට නම් බෑ කියනවා.. පුළුවන් ඒවා බෑ කියන්නත් බෑනෙ.. සමහර ඒවා හරි යන වෙලාවලුත් තියෙනවා… ඒ වගේමයි මේ පරීක්‍ෂණ කරන්න කරන්න ආසයි.. (අනේ මන්දා)
සමහර දවස් වල නම් මට වුනේ අනුන්ගේ පරීක්‍ෂණ වලට වැඩ කරන්න… අපේ තියෙන අළුත් උපකරණ වලින් කෙරෙන සමහර පරීක්‍ෂණ වල පරීක්‍ෂණ තත්ත්‍ව දන්නේ මම විතරයි. මේ නිසා අනුන්ගේ වැඩක් වුනත් මට ඉන්න වෙනවා ඒ අයගේ පරීක්‍ෂණේ ඉවර වෙනකල්…
මේ නිසාම ඇඟට බොහොම වෙහෙසකර සතියක් වුනා ගිය සතිය.. ඒ මදිවට මේ දවස්වල කාළගුණය වෙනස් වෙන කාලේ නිසා හැමෝම එක්කෝ කහිනවා… නැත්තම් හොටු බේරගෙන… අපේ ලැබ් එකෙත් දෙන්නෙක්ම ලෙඩ වෙලා.. ඒ මදැවට එක්කෙනෙක් දිගටම වැඩටත් ආවා… මේ නිසාම බදාදා වගේ වෙනවිට මගෙත් නහය බරලාලා ඇඟ රිදෙන්න පටන් ගත්තා… කොත්තමල්ලි ඉඟුරු බිවුවත් මෙදාපාර ගැලවෙන්න බැරි වුනා.. බදාදා හවස් වනවිට වැඩේ හරි… ඉතින් ලොක්කට කියලා ඊයේ ගෙදර නැවතුනා… බොහොමයක් වෙලා නිදාගත්ත එක තමයි කළේ… අදත් නිවාඩු දාලා ගෙදර හිටියා.. කම්මැලි කම කොච්චරද කියතොත් කිසිම දෙයක් කළේ නෑ … DVR එකේ රෙකෝඩ් වෙලා තිබුණ වැඩසටහන් සියල්ලම ඉවර වෙනකල් බලාගත්ත එක විතරමයි වැඩකට ඇති දෙයකට වුනේ.. ලැප්ටොප් එකවත් අරින්න හිතක් තිබුණෙ නැති තරමට කම්මැලියි.. දැන් තමයි ඔන්න ටිකක් හරි හිතට ගතියක් ආවෙ..
හෙට සෙනසුරාදා කියලා නෑ වැඩට යන්න ඕන… අතපසු වෙච්චි වැඩ ගොඩක් තියෙනවා.. ලැබු එකේ පොඩි එවුන් මොනවා කරගෙනද දන්නෙ නෑ..
ඉඳලා හිටලා ඇඟටත් හිතටත් මේ වගේ පොඩි නිවාඩුවක් දෙන එක හොඳයි නෙ… ඒ වුනාට මෙහෙම නිකං හිටපු එක ගැන නම් හිතට කිසිම ගතියක් නෑ….
වැඩ කරලා කරලා පුරුදු වෙලා Workoholic වෙලාද මන්දා…….
අපේ ජනාධිපතිතුමාට සීතාම්බර පටසළුවක් ඇන්දෙවුවේ කවුද ? නොහොත් ආණ්ඩුව හොරු සමඟ හෙළුවෙන්…………
ආණ්ඩුව හෙළුවෙනි… ජනාධිපතිතුමා ද හෙළුවෙනි…මැති ඇමතිවරු ද ආණ්ඩුවේ නිලධාරීන් ද හෙළුවෙනි…… හොරු, තක්කඩි, කුඩු මුදලාලිලා, මැරයන්, ආදී සියළුම දුශ්චරිත සහිත පුද්ගලයන් යැයි චෝදනා ලැබූ අය සමඟ ලොකු ලොක්කෝ සියළුම දෙනා හෙළුවෙනි…. හැමටම පෙණුනත් සියළුම දෙනා කට වසාගෙන ඉවසා දරා සිටිති… හෙළුවෙන් සිටිනා අය තව තවත් හෙළුව පෙන්වමින් නටති… මහජනතාව පිළිකුලෙන් සහ විමතියෙන් කිසිවක් කර කියාගත නොහී බලා සිටිති…. කරුමය වන්නේ විකල්පයක් නැති කමය. විකල්පයක් නැති තැන ඕනෑම කෙනෙකුට පාළුගෙයි වලං බිඳීම කළ හැක…. විකල්පයක් ආ කළ සිදු වන්නේ ගඩාෆිට සිදු වූ දේය…. ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපයෙන් එය ඉක්මන් වනවා විනා වෙනසක් සිදු වන්නේ නැත.
භාරත ලක්‍ෂමන් මහතා මහ දවාලේ පාර මැද වෙඩි තබා මැරීමට සම්බන්ධ ආරක්‍ෂක අධීක්‍ෂක ඇමති අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා එහි සැකකරුවකු නොවේ යැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි. එය එසේ කරවන්නැයි රජයේ බලවත්ම නිලධාරියා වූ ආරක්‍ෂක ලේකම් තුමා පොලීසියට අණදුන්නේ යැයි ද වාර්තාවල සඳහන් වේ. දක්‍ෂ රාජය නිලධාරියෙකු වන ඒ මහතා එසේ කරාවි යැයි අපට සිතිය නොහැක. තවද ඒ සම්බන්ධව පරීක්‍ෂණ කරන පොලිස් නිලධාරීන් ද මාරුකර යවා ඇති බව ආරංචි ය. මේ සිද්ධියට තිලංග සුමතිපාල මහතා වැනි තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ යැයි තවත් කතාවකින් කියැවේ… අවසානයේ තීන්දුව වන්නේ භාරත ලක්‍ෂමන් මහතා සියදිවි නසාගත් බව ය… ඒ ලංකාවෙ හැටි ය.
භාරත ලක්‍ෂ්මන් මහතාගේ කේස් එක (මම හිතන්නේ පෙට්ටිය විය යුතුය) ආණ්ඩුවේ කට්ටිය වසන් කරන්නට හදනවා යැයි කියා දයාසොරි ජයසේකර මහතා චෝදනා කරයි. දයාසොරි දන්නේ මොනවා ද ? ස්වර්ණවාහිනියේ නටන්න පමණි. කොලොන්නාවේ කේස් එක වෙන්න කලින් පාර්ලිමේන්තුවේ ඒකත් කියා එළියට දම්මවා ගත් මේ මහතා දැන් දැන් රෝසි සේනානායක මැතිණියගෙනුත් කුඩ පාරවල් කනවා කියා කොහෙදෝ පත්තරයක තිබුණා මතකය…. තමන්ගේ ආණ්ඩුවේ උපදේශකවරයෙකු මහදවල් පාර මැද මරා දැමූ සිද්ධියක් විලි ලජ්ජාවක් ඇති – ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය සමූලඝාතනය කල රජයක් එසේ ඉවත දමයිද ? ලෝකයේ හොඳම පොලීසිය ද ඇත්තේ අපටය. ආයුධ පෙන්වන්නට යන එකුදු සැකකරුවකු පණපිටින් ආපසු එන්නේ නැති එකම රට අපේ රටය…. අවුරුදු විසි ගාණක් බඩේ තිබූ අම්මාගේ කිරි කටින් එන්න ගහන්න පුළුවන් එකම පොලීසිය ලංකාවේ පොලීසිය පමණි. එවන් වූ පොලිස් දෙපාර්තමේන්තුවක් ඇති අපට මේ මහදවල් සාක්‍ෂිකාරයින් සියගණනක් ඇති සිද්ධියක සැකකරුවන්-අපරාධකරුවන් අල්ලා ගැනීම මහ ලොකු කජ්ජක් ද? දැනටමත් ඉන්දියාවට ගොස් ඇති සැකකරුවන් දෙදෙනෙකු පවා අල්ලාගෙන ඇති අතර තුන්වැනි පාර්ශවයේ සැකකරුවන් ද මේ වනවිට අල්ලාගෙන යමින් සිටිනවා ඇත.
එසේම විපක්‍ෂයේ අළුගුත්තේරුවන් විසින් කෘත්‍රිම කුඩු හිඟයක් මවා පාමීන් කොළඹ මත් ද්‍රව්‍ය වෙළඳාමට දුමින්ද සිල්වා මහතා සම්බන්ධ කිරීමේ දැඩි උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් බවතින බව ද අපට දැනගන්නට ලැබී ඇත. මෙවැනි බොරදියේ මාළු බාන සිදුවීම් නිසා විපක්‍ෂයට කිසිදු විටක බලයට ඒමට පුළුවන්කමක් නැති බව අප එකහෙලාම පැවසිය යුතුය. ජනාධිපති තුමා තමන්ගේ පක්‍ෂයේ තමන්ට දර දිය ඇද්ද භාරතගේ මළගෙදර නොගොසින් රූපා කරුණාතිලක මහතාගේ මළ ගෙදර ගිය බවට කටකතාවක් ද ඇත… ඇයි හත් දෙයියනේ අර අපි දැක්කේ එතුමා ගිහින් ආචාර කරලා එනවා ? මේ කට කතා හදන එවුන්ට හෙනම ගහන්න එපා යෑ…
සංචාරකයෙකුගේ රුපියල් 2000 ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගත්තැයි කියා හෝටල් සේවකයෙක් හිරේ දමා තිබේ… ඇත්තෙන්ම එය කළ යුතු ක්‍රියාවකි. ඒ සේවකයා කර ඇත්තේ ලංකාවට සංචාරකයන් ගෙන්වීම නතර කළහැකි තරමේ ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණකාරී කටයුත්තකි. යුද්ධය අවසන් වූ පසු සංචාරකයින් වැල නොකැඩී අපේ රටට එති. අපේ රටේ හෝටල් සේවකයන් හොරුන් බවට පිටරට ප්‍රචාරයක් පැතිර ගියහොත් සංචාරකයින් පැමිණීම අඩු වේ… ඒ නිසා යුක්තිය හරි හැටි පසිඳලීමට ඌ අල්ලා හිරේ දැමිය යුතුය. අද සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කරන එකා අනාගතයේ වැරදිලාවත් පාර්ලිමේන්තුවට ගියොත් මොනවා හොරකම් කරයිද කියා සිතාගන්නටවත් නොහැක. ඒ නිසා ඌ හිරේ දමා අනාගත හොරෙකු බිහි වීම නතර කළ යුතුමය.
නාවික හමුදාවේ ඩීසල් හොරකම් කළ හත් දෙනෙකු රිමාන්ඩ් කර තිබේ. එයද වටිනා ක්‍රියාවකි. හොරු නැති කළ යුතුය. උන් හොරකම් කළ ඩීසල් පෙන්වන්නට ගොස් ගිණි තබාගන්නට සැලැස්විය යුතුය. දැන් නාවික හමුදාවෙන් හොරකම් කරන එවුන් අනාතගයේ වැරදිලාවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගියොත් රටටම පාඩු වන හෙජිං ගණුදෙනු වැනි දේ කර රට බංකොලොත් භාවයට පමුණවන්නට ඉඩ ඇත. ඒ දේ නොවන්නට උන් දැන්ම ඉවර කළ යුතුය.
රටටම පිළිලයක් වූ ලංකා ඊ නිවුස් වාරණය කර ඇත. මේ වෙබ් අඩවියේ තිබෙන සියළුම කරුණු අජපල් බොරු ය. රටට හානිකරය. මේ නිසා එය තහනම් කළ යුතුමය… ජනමාධ්‍ය නිදහසක් අපට ඇත්තෙන්ම අවශ්‍යද ? රජයේ මාධ්‍ය ඇතිතරම් පුවත් සපයත්දී විකල්ප මාධ්‍ය කුමටද ? මේ නිසා රජයේ මාධ්‍ය පමණක් ඉතිරි කර අනෙක් සියළුම මාධ්‍ය තහනම් කළ යුතුය.. බොරු ලියන බ්ලොග් කාරයන් පවා තහනම් කළ යුතුය.
රජයේ සේවකයන් අපක්‍ෂපාතී විය යුතු බව කරු ජයසූරිය මහතා පවසයි. පබාටත් පැරදුන කරු දන්න මගුලක් නැත. රජයේ සේවකයන් රජයට පක්‍ෂපාතී විය යුතුය. ඔවුන් රජයට පක්‍ෂපාතීව රජයේ කටයුතු කළ යුතුය, රජයේ සේවකයන් කියන්නේ එබැවිනි. එසේ නැත්නම් උන් විපක්‍ෂයේ සේකයන් වේ… රජය ගෙනයන ක්‍රියාමාර්ග අනුමත් කරමින් ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගනිමින් රටේ අභිවෘද්ධීය, සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ සේවකයන්ගේ වගකීමයි. එසේ නොකරන උන් විපක්‍ෂයේ සේවකයන් වේ. කරු දන්න බම්බුව..!
රනිල් වික්‍රමසිංහ මහතා බැහැලා වැඩ කිරීම නිසා කොළඹ නගරසභාව පැරදුන බව කෙලියනේද රඹුක්වැල්ල මහතා පවසයි. රනිල්ටත් ඕන නැති මගුලක් නැත. ත්‍රී විල් ගානේ කොළඹ වතු අස්සේ ගිහින් අන්තිමට ගිනස් වාර්තාවක් තියන්න තිබුණ අවස්ථාවත් නැති කරගත්තා. ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් අසා දැනගත්තොත් සමහරවිට මෙය ගිනස් වාර්තාවක් දැයි කියා දැනගත හැක.
තවද, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම පිණිස මීගමුව නගරයේ ආදර්ශමත් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට විශේෂ කාර්ය බලකාය කඩා පැනීමේ ප්‍රවෘත්තියක් ද මේ වනවිට මාධ්‍ය උණුසුම් කරමින් පවතී. හොඳ වෙලාවට ජනාධිපතිතුමාත් මර්වින් සිල්වා ඇමති තුමාත් එහි ගොස් නිමල් ලංසා මහතාගේ සිත සැනසුවේ නැතිනම් මීගමුව පුරවරයම එකම මළගෙයක් වනවා නොඅනුමානය. හිතේ අමාරුවට වැරදිලාවත් නිමල් ලංසා මහතා කිහිපදෙනෙකුට වෙඩි තබා සියදිවි නසාගත්තානම් මීගමුව දියුණු කරන්නට සිටින දැයේ පුත්‍ර රත්නයක් අපට නැතිවනවා ඇත. දුමින්ද සිල්වා මහතා සනීපෙන් සිටියා නම් ඒ මහතා ද ලංසා මහතා බලන්නට යන්නට ඉඩ තිබුණි. අවම වශයෙන් එකුදු විපක්‍ෂ දේශපාලනඥයෙකු නිමල් ලංසා මහතා බලන්නට නොයාමෙන් ම උන්ගේ කුහක කම මනාව එළි වූ බව මීගමුව ප්‍රදේශවාසීන් පවසති.
මා දේශපාලනඥයන්ට ගරු නොකරමි. මගේ මිතුරෝ කිහිප දෙනෙකු දේශපාලනඥයින් වුවත් මම උන් ඇසුරු කරන්නේ මගේ මිතුරන් ලෙස විනා දේශපාලනඥයින් ලෙස නොවේ… මා ගරු කළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සිටිති.
හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මැතිතුමා ගේ අවංක භාවය සහ සරළකම නිසාත්, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර හෝ දුගී ජනතාවට ගෙවල් හදා දීම (යන කාරණය පමණක් පදනම් කරගෙන) ලලිත් ඇතුලත්මුදලි, ලක්‍ෂමන් කදිරගාමර් යන මහතුන්ගේ විචක්‍ෂණ දේශපාලන බුද්ධිය සහ සරළ දිවි පෙවෙත, ගාමිණී දිසානායක මහතාගේ කාර්යක්‍ෂමභාවය, අනුර බණ්ඩාරනායක මහතාගේ වාග් චාතූර්යය, රනිල් වික්‍රමසිංහ මහතාගේ මූල්‍යමය අවංකභභාවය (පමණක්) ආදී දේ නිසා මා ඒ මහතුන්ට ගරු කරමි. වත්මන් ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්‍ෂ මහතාට මා ගරු කරන්නේ එතුමා පොරොන්දු වූ පරිදිම යුද්ධය නිමා කර රටට සාමය ගෙන ඒම නිසාය… වෙනත් අංශ වලින් ගත් කළ දැන් දැන් ඒ මහතා පරිහාණියට පත් වෙමින් පවතී. එක්කෝ එය හැත්ත බුරුත්තක් සිටිනා ආණ්ඩුවේ උපදේශක මණ්ඩලවල කචල් එකක් විය හැක. ප්‍රේමදාස ජනාධිපතිතුමා ද පරිහාණියට පත් වූයේ උපදේශක මණ්ඩලවල කීම අසා පිස්සු කෙළීම සහ සොත්ති උපාලි වැනි මහතුන් ලං කරගත් නිසාය…
දැන් ආණ්ඩුවේ සීතාම්බර පටසළුව අතරින් හෙළුව පෙනීමට පටන් ගෙන ඇත… සියල්ල පෙනීමට කලින් එක්කෝ හෙළුව (වැරදි) සාදා ගත යුතුය… නැත්නම් සියල්ල ගලවා දමා හෙළුවෙන්ම සිටිය යුතුය… දෙකෙන් මොකක් තෝරා ගන්නවාද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය…. වාසනාව වන්නේ මොනවා කළත් ආණ්ඩුව නැවතත් බලයට පත් කිරීමට අපේ මැටි මෝල් ජනතාව සැදී පැහැදී සිටිනු ඇත… උන්ට තලන්න මඩු වලිග සැදීමට මඩුවන් මැරීමද මහා අපරාධයකි….
2011 ඔක්තෝබර් 17 : මට මහළු වයසේ…. බැරිය වෙණ ගායනා පෙර සේ….. කිව්වලු
පහුගිය සති කිහිපයේම ව්‍යායාම් කොරාන්ඩ යන්න බැරි වුනා නෙවැ…. ඇඟටත් හිතටත් (ඇස් වලටත් – අහන්න එපා ඇයි කියලා – හිතා ගන්න) බොහොම අමාරුයි ජිම් එකට යන්න බැරි වීම ගැන…. ඔන්න ඉතිං සෙනසුරාදා හවස ඉඩක් ලැබුණ වෙලේ මමත් මගේ රසායනාගාරයේ ඉන්න චීන කෙල්ලත් ජිම් එකට ගියා බැඩ්මින්ටන් ගහන්න… පැය බාගයක් සෙල්ලම් කරනකොටම ජිම් එක වහන්න යනවා කියලා නිවේදනයක් ආවා… ඒ සෙල්ලමත් ඉවරයි…
ඉරිදා අපේ ක්‍රිකට් කණ්ඩායමේ 20/20 තරඟයක් තිබුණා. මමත් ඒකට ක්‍රීඩා කරන්න ගියා… ඉතින් බැරි බැරි ගානේ කොහොම හරි ක්‍රීඩා කළා… අනෙක් කණ්ඩායමේ තුන් දෙනෙක් ම දුවත්දී දැවී යාමට හසු කරගන්නට මේ නාකියට පුළුවන් වුනා… තාමත් අත පය පණ තියෙනවා… ඔන්න ඉතිං බැට් කරන්නත් අවස්ථාව යන්තම් උදා වුනේ මුල් පෙල පිතිකරුවො තුන් දෙනෙක්ම ඉක්මනින් දැවී ගිය නිසා… කාලෙකින් බැට් කළ නිසා ටිකක් වෙලා ගියා ඇහැ හදාගන්නට.. කොහොම වුනත් බෝල 16 ක් ක්‍රීඩා කළා අවසානයේ එක ලකුණක් ගන්නයි තිබුණේ දිනන්න… මම දැන් පන්දුවට මුහුණ දෙන්න සූදානම්.. අනෙක් පිලේ කට්ටිය කියනවා හයේ එකක් ගහලම ඉවර කරන්න කියලා.. මේ මාව දවා ගන්න… ඉතින් ඔන්න එක්කෙනෙක් දුවගෙන ඇවිත් පන්දුව දැම්මා… කෙළින්ම ආ පන්දුව පෙර පාදයේ අරක්‍ෂාකාරී පහරක් ගසා ක්‍රීඩා කළා… අනේ මෙන්න දෙවන පන්දුව එනවා පා ඉන්න දෙසින් ගහන්න ගහන්න කිය කියා.. මමත් ඉතිං ඇඟේම වෙර යොදලා ස්ක්‍වෙයාර් ලෙග් කලාපය හරහා මනරම් දැවැන්ත හයේ පහරකින් තරඟය නිමා කළා…. අපි දැන් අර්ධ අවසාන තරඟයට සුදුසුකම් ලබලායි ඉන්නේ… ඒ තරඟය පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා සවස 2.00 ටයි…
ඒත් දැන් ප්‍රශ්නෙ තියෙන්නේ ඒක නෙවෙයි… ඇවිදගන්න, හිනාවෙන්න, කහින්න, කිවිසුම් අරින්න ආදී මෙකී නොකී බොහොමයක් දේවල් කරගන්න අමාරුයි.. ඇඟපත රිදෙනවා හරියට දුමින්ද සිල්වගේ ආරක්‍ෂකයොන්ගෙන් ගුටි කාලා වගේ…. දැන් ඉතින් අපි වයසයි නේ.. බැරි වැඩ කරන්න ගියාම ඔහොම තමයි… ඉස්සර වගේ දුවලා පැනලා ඇවිදින්න අමාරුයි වගේම ඇඟ නැවත යථා තත්ත්‍වයට පත් වෙන්නත් බොහොම කල් යනවා.. ඒ විතරක් නෙවෙයි ඇඟට ව්‍යායාම නැතිව ඉඳලා ඉඳලා මෙහෙම කළාම ඇඟ වද දෙනවා… ආයෙ නම් මෙහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ… හෙට ඉඳලම ආයෙම ජිම් එකට යනවා… ඇඟට පතට විතරක් නෙවෙයි ඇස් වලටත් හොඳ දසුන් තියෙනවා නේ එතන….. ඔන්න වලත්ත විදියට නම් හිතන්න එපා… මම කියන්නේ ජිම් එකේ හයි කරපු ටීවී ගැන…
දුමින්ද සිල්වා ගැසුවේ රාජපක්‍ෂ පාලනයේ මිනී පෙට්ටියට ගසන පළමු ඇණයද ?
මිනී හතරක් මරාගෙන ඡන්දය අවසන් වුනේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවමිනි… ඩලස් මහත්තයා ඇතුළු පාණ්ඩු අක්‍ෂයේ කට්ටියගේ ඇස් ඇරේව්වේ “ජනාධිපති උපදේශක” සහ “ආරක්‍ෂක අධීක්‍ෂක ඇමති” ගේ ද්වන්ධ සටනෙන් ආරක්‍ෂක උපදේශක ඇමති ජයග්‍රහණය කිරීමෙනි… අවාසනාව වන්නේ ඩලස් මහත්තයාම තමන්ගේ ආණ්ඩුව ඔවුන් ඇණකොටා ගන්නා බව දැන දැනත්, මනාප කෑදර කම නිසා තරවටු නොකිරීමය… එසේත් නැතහොත් හොරට නිසාගෙන සිටීමය……ඒත් තවමත් ඇස් ඇරී නැත…. රනිල් මහත්තයා ඇතුළු විපක්‍ෂයේ කට්ටියගේ ඇස් ඇරෙව්වේ මුසම්මිල් මහතා කොළඹ නැවත වතාවක් කොළපාට කිරීමෙනි… සාමාන්‍යයෙන් කොළඹ කොළපාටින් පිටට නොගියත්, බොහෝ දෙනා සිතා සිටියේ මේ වතාවේ කොළඹට කෙළවේවි යැයි සිතාය… කොළපාට කට්ටියත් හිතා සිටියේ එසේමය… වැරදීමකින් නැවත කොළඹ කොළ පාටට හැරිණි… මෙය වැරදීමකින් වුනත් බොහෝ දෙනාට හිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත…
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍දු මහතාට වෙඩි තැබුවේ පාතාලයේ දෙදෙනෙකු යැයි දිවයින පුවත්පත වාර්තා කරනවා. එසේම භාරත ලක්‍ෂමන් මහතාගේ රියැදුරු පවසන්නේ වෙඩි තැබීම කළේ දුමින්ද සිල්වා මහතා බවයි. ඇසින් දුටු ප්‍රථම ගනයේ සාක්‍ෂියක් වන ඒ සාක්‍ෂිය අභිබවා යන්නට පාතාලයේ පුද්ගලයින් එතැනට නිකම්ම ගිණි අවි රුගෙන යනවා නම් ලංකාවේ ආරක්‍ෂාව ගැන කියන්නට දෙයක් නැත. පාතාලයේ පුද්ගලයින් දුමින්ද සිල්වා මහතා හෝ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද මහතා හා ගමන් කළේ නම් ඒ ගැන පුදුමයක් ද නැත. දෙදෙනාම (කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා) පාතාලයේ සම්බන්ධකම් පිළිබඳ නම් දරා ඇති “මහතෙකු” නිසාය. මේ මැති ඇමති වරුන්ගේ පාතාල සබඳතා සෙවීමට හමුදාවට වැඩේ බාර දෙනවා යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියන්නේ හරියට අස්පයා ඉස්තාලෙන් පැන්නට පසු ඉස්තාලෙට සීල් තැබුවා මෙන් ඉතාම කාලෝචිත තීරණයකිනි…. කෙසේ වුනත් ඒ මහතා මැරිච්ච භාරතට පෙර ජීවත්ව සිටින දුමින්ද බැලීමට යාමෙන් රටටම ආදර්ශයක් ලබා දුන්නේ ජීවිතය නිතරම මරණයට වඩා වැදගත් බව පෙන්වමිනි.. (තවත් සමහරු මුලින් ගියේ මැරිච්ච භාරත බලන්නලු)
රතු පාට කට්ටිය අන්තෝ ජටා වෙත්දී සපෝටර් ලා කාට දෙන්නද කියා හිතා ගන්නට බැරිව ලතැවුනේලු… සෝමවංශ පප්පා රනිල් මහතාගේ ආදර්ශය අරගෙන “මම මළත් මෙතැනින් එළවන්නට බැරි” යැයි පුරසාරම් දොඩවමින් සිටී… පසුගිය මැතිවරණයක මන්ත්‍රී ආසන 41 ක් දිනා ඉන් තුනක් පරිත්‍යාග කරන්නට තරම් ශක්තිමත් පක්‍ෂයක් වූ ඔවුන් දැන් කුළල් කාගන්නේ දෙකේ පන්තියේ ළමුන් බිස්කට් එකකට රණ්ඩු වනවාට වඩා අන්ත ලෙසිනි.. සැමදා පරාජය උරුම රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ලැබුවේ අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. සිය ප්‍රතිවාදියා (තමන්ගේම පක්‍ෂයේ) වන සජිත් ප්‍රේමදාස මහතා පණ දාගෙන හම්බන්තොට සංවිධානය කළත්, ජය ගන්නට බැරි වීම (මොනවා කරන්නද අප්පා) නිසාම තවත් වතාවක් සිය නායක කම තහවුරු කරගන්නට ඒ මහතාට හැකි වීම කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය දිනුවාටත් වඩා ඒ මහතා ලැබූ ජයග්‍රහණයයි. (මෙය රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක කමේ තබා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා හිතා මතා කළ කොම්පියුටර් ජිල්මාට් එකක් වන්නට ද බැරි නැත). කෙසේ නමුත් දැන් මැතිවරණය හමාරය.. දැන් කළ යුත්තේ මේ ලබා ගත් ජයග්‍රහණ සහ පරාජයන්ගේ ප්‍රතිඵල තමන්ට ඡන්දය දුන් ජනතාවට ලැබෙන්නට සැලැස්වීමයි. (කවුරු දිනුවත් හැමදාම පරාජය වන ජනතාවට යම් ජයග්‍රහණයක් හෝ ලබා දේ නම් එය යපහපත් කටයුත්තකි)
කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ වහාම නගරයේ කුණු ඉවත් කිරීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය අයින් වෙනවා යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ මන්දැයි වටහා ගත හැකි සහ නොහැකි කාරණයකි. මේ රට ආණ්ඩුවේ වත් විපක්‍ෂයේ වත් නොව ජනතාවගේ රටක් බව මේ තීරණ ගන්නා බොහෝ දෙනා අමතක කර දමා ඇත. මේ තීරණ වලින් පලි ගන්නේ කාගෙන්ද ? මොන පක්‍ෂය දිනුවත් කොළඹ නගරය පාලනය වන්නේ එක් අධිකාරියකින් විය හැකි බව දැනටමත් ඩලස් ඇමතිතුමා සහ රඹුක්වැල්ල ඇමතිතුමා ඉඟි පාමින් සිටිති. එසේ නම් මේ කාරණය සඳහා හොඳ කඹ ඇදිල්ලක් බලාපොරොත්තු විය හැකිය…. මේ කඹ ඇදිල්ලෙන් නැවතත් අසරණ වන්නේ කොළඹ ජනතාවයි..
මේ ජයග්‍රහණයත් – පරාජයත් ආණ්ඩුවට සහ විපක්‍ෂයට වැඩ පෙන්වීමේ හොඳ අවස්ථාවක් කරගතහැකිය… ආණ්ඩුව මොනවා කිවුවත් කළත්, කොළඹ නගර සභාවෙන් ඉටුවිය යුතු සේවය කොළඹ ජනතාවට නිසි ආකාරයෙන් ලබා දිය හැකි නම් රටේ පාලන බලය වුවද නැවත වතාවක් ලබා ගැනීමේ පළමු පියවර මෙතැනින් තැබිය හැකිය. එසේම කොළඹ නගර සභාව කුමක් කළත් කොළඹ ලස්සන කිරීම සහ වෙනත් සුභසාධන වැඩකටයුතු පෙර පරිදිම කරගෙන යාම මගින් ජනතාවට සුභසාධන සැපයීමෙන් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ අවස්ථාව රජයට ද හිමි කර ගත හැක. නමුත්…. මෙසේ පරාර්ථකාමීව සිතා ජනතාව වෙනුවෙන් වැඩ කිරීමේ හැකියාවක් මේ දෙකොටසටම ඇත්ද යන්න ඉදිරියේදි අපට දැක බලා ගත හැක….
බොහෝ දෙනා මහින්ද රාජපක්‍ෂ නම් වූ පරිණත දේශපාලනඥයාට පළමු ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන්නේ ඔහුගේ ජනප්‍රිය පොරොන්දුව වූ යුද්ධය අවසාන කරනවා යන පොරොන්දුව දෙස බලාගෙනය. රනිල් සහ විපක්‍ෂය මොනවා කිව්වත්, ප්‍රභාකරන් ට මිලියන 800 ක් ලබා දී ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කළා කිව්වත්, ජනතාව බලා සිටියේ එක් දෙයක් ගැන පමණි: දිගුකල් පවතින සාමයක් – නිවි සැනසිල්ලේ මරණ බය නැතිව ජීවත්වියහැකි වාතාවරණයක් පමණි. බලාපොරොත්තු වූවා සේම එය අපට ලැබිණ. කෙතරම් දුෂ්කර කාර්යයක් වුවද – රාජපක්‍ෂ සොහොයුරෝ (සමහරු කියන පරිදි සමාගම – මීයන් අල්ලනවා නම් බළලා මැටියෙන හැදුවත් අපට කම් නැත) විදෙස් සහ දේශීය බලවේග සියල්ල පරදවා අප රටට කෙසේ හෝ සාමය උදා කර දුනි… එයට අනේක වාරයක් ස්තුතියි. යුද්ධය මෙහෙයවූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගෙට යැවීම වෙනම කතාවක් වුවද, දැන් දැන් එළිවන සමහර තොරතුරු අනුව සමහරවිට එය නොකර බැරිවන්නට වැඩ සැලසෙන්නට ඇත. (සරත් ෆොන්සේකා ගැන සෙන්පතියෙකු ලෙස මා තුළ ගෞරවයක් ඇතත් දේශපාලනයට ඔහු නුසුදුසු බව මගේ පෞද්ගලික හැඟීමයි)
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මිනිසුන් දෙවන වර ඡන්දය ලබා දුන්නේ ශ්‍රී ලාංකිකයා කළගුණ දන්නා -සහ රටට සාමය උදාකර දුන් සේනාධිනායකයා නිසා ම පමණක් නොවේ… එසේ දිනා දුන් රට නැවත වරක් සංවර්ධනය කර, ජනතාවට සහනයක් සැලසේ යැයි පරම අධිෂ්ඨානය ඇතිවයි. අවුරුදු 30 ක් තිස්සේ ජනතාව පටි තද කරගෙන සිටියේ, රජයකට ඇති ආදරේකට නොව රටට ඇති ආදරය නිසා බව කිසිදු ආණ්ඩුවකට තේරුම් නොයාම කණගාටුවට කරුණකි. (දේශපාලනඥයන්ට මේ සංකීර්ණ කරුණු තේරුම් ගැනීමට තරම් මොළයක් නැති බව බොහෝ දෙනා දනිති).. මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් බලයට පත් වූ පසු රජයට අවශ්‍ය වූයේ ව්‍යවස්ථාව ජනතාවට හිතකර පරිදි වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමයි… ජනතාව එය ද හැකි පමණින් ලබා දී තවත් (අවස්ථාවාදී) මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මුදලට ලබාගෙන කෙසේ හෝ ආණ්ඩුව 2/3ක බලයක් අත්පත් කරගනිත්දී පවා ජනතාව සිතුවේ තමන්ට දැනෙන යමක් ආණ්ඩුවෙන් ලැබෙයි කියා ය.
2/3 ක බලයක් ගත් ආණ්ඩුව කළේ මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත වරක් ජනාධිපති වීමේ බාධකයක්ව තිබූ ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කර තමන්ට ඇවැසි පරිදි දේශපාලනඥයන්ගේ හෙංචයියන්ට තනතුරු ලබා දීම විනා ජනතාවට දැනෙන යමක් නොවේ. තුනෙන් දෙකක ජනවරම ලබා ගත් අවස්ථාවේ පවා ආණ්ඩුව බොහෝ ඉහල තනතුරු වලට පත් කළේ වැඩක් කළ හැකි, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති බුද්ධිමතුන් නොව ආණ්ඩුවට කත් අදින එහෙයියන් රැලක් බව දැන් මේ ආයතන බොහොමයක සිදු වන දෑ වලින් මනාව පෙනේ… අධ්‍යාපන අමාත්‍යංශය එහෙම පිටින්ම මඩ ගොහොරුවකි – හරියකට විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව ව්‍යාකරණානුකූලව හදාගන්නට බැරි අධ්‍යාපනඥයින් පිරිසක් දැන් බිහිව ඇත්තේ මේ රජයේත් ඉහත තිබූ රජයන්ගේත් “තමන්ගේ කට්ටියට බෙදීමේ” කලාව නිසාය. රට සහළින් ස්වංපෝෂිත වුනත් හාල් මිල අඩු නොවන්නේ වෙළඳ ඇමති අකාර්යක්‍ෂම නිසාද නැතහොත් ඇමති ඇතුළු නිලධාරීන් හාල් මෝල් හිමියන්ගේ පගාවට යටවී ඇති නිසා දැයි නොදනිමු…. උතුරු නැගෙනහිර වගා බිම් සංවර්ධනයත් සමග වෙළඳ පොළට පැමිණි හාල් සහ එළවළු අතිරික්තය හරි හැටි පාලනය කරගන්ට බැරි වූ ආණ්ඩුවකි මෙය… පසුගිය කාලයේ දඹුල්ල වෙලඳ සංකීර්ණයේ එළවළු සහ පලතුරු අතිරික්තය ඉවත දැමීමෙන්ම අපේ කට්ටියගේ පරිපාලන හැකියාවන් (Management skills) මනාව දැකබලා ගත හැකිය. ආණ්ඩුව මහා ලොකුවට අඬබෙර ගසා ගොඩ නැංවූ ගල් අඟුරු බලාගාරයන් විවෘත කළ අළුතම අළුත්වැඩියා සිදු කරන්නට සිදු වීම, වැස්ස අඩු වූ කාලයේ විදුලිබලය විසන්ධි කිරීමට සිදු වීම ආදී බොහොමයක් කරුණු ඒ පැත්තේ ප්‍රගතිය ද මනාව පිළිබිඹු කරයි.
සංස්කෘතික වශයෙන් රට ගොඩගැනීමට රූපවාහිනියේ මත්පැන් දුම්වැටි පාවිච්චි කරන විට කොටු දැමීම/ දැන් දැන් උපදේශන දැන්වීමක් දැමීම වැනි දේ කළත්, පවුල් අවුල් – රණ්ඩු සරුවල් සහ දාමරික ක්‍රියා සහිත කසිකබල් ටෙලි නාට්‍යවලට කිසිදු තහනමක් මේ ළඟක් වනතුරු තිබුණේ ද නැත. ඒ කෙසේ වෙතත් ස්ත්‍රී දූෂණ – ළමා අපචාර සහ දිනකට සිදුවන ගබ්සා සංඛ්‍යාව (800 +) ආදී සංස්කෘතික පරිහාණික සිදුවීම් වල කිසිදු අඩුවක් ද නැත. ලෝක ආර්ථික අර්බුධය හමුවේ ලංකාව තරමක් හෝ නොවැටී සිටියේ ලාංකිකයා තවමත් “ණයට ගෙන කෑම සහ ජොලි කිරීම වෙනුවට” ආදායමට සරිලන ලෙස දුකසේ ජීවත්වීම පුරුදු කර තිබීම නිසා යැයි මට සිතේ. කෙසේ නමුත් රජයේ අනවශ්‍ය වියදම්, මිහින් ලංකා වැනි පෞද්ගලික සුදු අලි ආදී කටයුතු ද – වර්ග කිලෝමීටර 65610 ඇතුලත අභ්‍යන්තර ගුවන්තොටුපලවල් 10 ක් පමණ ඇති කිරීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු නිසා ජනතාවට ලැබිය යුතු බොහෝ සහන නොලැබී යාම, රජයට දැරිය නොහැකි තරමේ අනවශ්‍ය ලෙස විශාල ඇමති මණ්ඩලයක්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල ආදිය නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ ඒ වැයකළ මුදලේ ප්‍රතිලාභ ජනතාවට නොලැබීම ආදී දේ නිසාම ආණ්ඩුව කෙරෙහි වන ජනතා අප්‍රසාදය කෙමෙන් කෙමෙන් දළුලමින් පවතී… දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය, උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු ආදියෙහි ප්‍රගතිය ගැනද මේ අවස්ථාවේ පැසසිය යුතුමය.
කිසිවෙකු එළිපිට කතා නොකළත්, දැන් දැන් බොහෝ දෙනාගේ අදහස වනුයේ “අපූරුවට හදන්න තිබුණ රට මුං ටික එකතු වෙලා කනවා” යන ආකල්පය පමණි. පසුගිය වතාවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් බොහෝ ග්‍රාමීය ජනතාව දැන් දැන් පවසන්නේ වෙන මොකා ආවත් ඡන්දෙ දෙනවා යන්න බව පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන ප්‍රතිපත්තිය වන “ජනතාවට ආණ්ඩුව එපා වූ පසු ඒ අප්‍රසාදය හරහා බලයට ඒමේ” පරාජිත ජයග්‍රහණය කවදා හෝ සැබෑ වන සෙයක් කොළඹ නගර සභාවේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කිරීමට පටන් ගෙන ඇත. කොළඹ එජප බලකොටුවක් වුනත් බොහෝ දෙනා සිතුවේ කොළඹත් ආණුඩුව ජය ගනී කියායි. කිසිදු ආණ්ඩුවකට 100% ක් හොඳ ඇසිය නොහැකි වුවත්, යුද්ධය ජයග්‍රහණය කිරීමේ හේතුව මත මේ ආණ්ඩුව බොහෝ කලක් බොහෝ මැතිවරණ සංඛ්‍යාවක් ජයග්‍රහණය කළේය. එසේ වුවත් කිසිම කෙනෙකු හැමදාම රැවැට්ටිය නොහැකි සේම, ජනතාවට ද දැන් දැන් ආණ්ඩුවේ සත්‍ය ස්වරූපය අවබෝධ වෙමින් සිටින ආකාරයක් දැකිය හැක. ප්‍රේමදාස ආණ්ඩුව අවසාන කාළයේ ජනතාවට අප්‍රිය වූවා සේම මේ ආණ්ඩුවද ජනතාවට අප්‍රිය නොවීමට නම් නීතිය-සාමය කාටත් එක ලෙස නිසි ලෙස ක්‍රියාත්මක කර, ජනතාවගේ ජීවන බර යන්තමට හෝ අඩුකර ජනතාවට ජීවත්විය හැකි තත්ත්‍වයක් උදා කර දිය යුතුය. කොළඹ ගොස් නැවත පණපිටින් ගෙදර ඒම යථාර්ථයක් වූවා සේම කන්න අඳින්න හරිහැටි ඇතිව, දරු මල්ලන්ට හරි අධ්‍යාපනයක් ලබා දී උන්ට යහපත් අනාගතයක් ඇති කිරීමේ සිහිනය ද අපේ ජනතාවට සැබෑ කර දිය යුතුය.
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍දු මහතාගේ දියණිය හිරුණිකා විසින් ඒ මහතාගේ අවමංගල්‍ය උළෙලේදී සිය පියා වෙනුවෙන් සාධාරණය ඉටු වනතෙක් සටන් කරනවා යැයි පැවසූ දේම මේ තත්ත්‍වයේ සැබෑ තතු පෙන්වා දෙයි. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මහතා මරා දැමුවේ කොටි වත් විදේශ බලවේගයක්වත් නොවේ. තමන්ගේම පක්‍ෂයේ තමන්ගේම නගර සීමාවේ සංවිධායක, ආණ්ඩුවේ ප්‍රධාන නිලයක් දරන වගකිවයුතු පුද්ගලයෙකු සහ/හෝ ඔහුගේ ආරක්‍ෂකයෙකු අතිනි. මේ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු වීම ම අපේ දේශපාලනයේ වර්තමාන පරිහාණිය මනාව පෙන්වා දෙයි. අවාසනාව වන්නේ දුමින්ද සිල්වා මහතා හෝ භාරත ලක්‍ෂමන් මහතා යන දෙදෙනාම අනුන්ගේ මනාප පොරය වෙනුවෙන් සටනට යාමයි. යුද්ධය පැවති කාළයේ නම් ආරක්‍ෂකයන් පිරිවරාගෙන ගමන් කළද, දැන් ආණ්ඩුවම කියන පරිදි රටේ සාමය පවතී නම් මේ පුද්ගලයන්ට කුමන ආරක‍්ෂකයන් ද? කාගෙන් ආරක්‍ෂා වීමටද ? එසේ නමුත් කකුස්සියක් විවෘත කිරීමට ගියත් , මොවුන් පාතාල සාමාජිකයින් දුසිම් ගණන් පිරිවරාගෙන මහේශාක්‍ය ලීලාවෙන් ජනතාව අතර සැරිසරති. පාතාලය සහ දේශපාලනය එකම කාසියේ දෙපැත්තයි. පාතාලය නැතිව දේශපාලකයාටද, දේශපාලකයා නැතිව පාතාලයටද පැවැත්මක් නොමැත. මේ නිසා රජය විසින් පාතාලය නැති කරන්නේ යැයි කෙතරම් වහසි බස් දෙඩුවත්, එය කවදා වත් නැති නොවන්නේ රජයේ අනුග්‍රහය ලබන පාතාල සාමාජිකයන් යහතින් සිය ජීවිකාව කරගෙන යන බැවිනි. ප්‍රතිවාදී පාතාල සාමාජිකයන් ආයුධ පෙන්වන්නට ගොස් සියදිවි නසා ගනිත්දී දේශපාලකයන්ගේ රැකවරණය ලබන පාතාල සාමාජිකයන් ජනතා බදු මුදලින් සහ කප්පම්- කුඩු- කසිප්පු සහ වෙනත් අයථා ක්‍රම වලින් මුදල් උපයාගෙන යහතින් ජීවත් වෙති. නාලන්ද එල්ලාවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ට ඇමති කම් ලැබෙත්දීත් රටේ ජනතාව කට පියාගෙන සිටියේ බයට නොව පිළිකුලට විය හැකිය…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කල අවස්ථාවේ රටේ ප්‍රධාන වගකිවයුතු දේශපාලනඥයන්, ප්‍රභූවරුන් ඇතුළු බොහෝ දෙනා මරණීය දණ්ඩනය නැවතත් ක්‍රියාත්මක කරන්නැයි හඬ නැගූහ. එල්ලුම් ගසට පකිස්ථානයෙන් අළුතෙන් කඹයක් ගෙනා අතර අළුගෝසුවා ද සම්මුඛ පරීක්‍ෂණයකින් අනතුරුව පත් කළා යැයි දැනගන්නට ලැබිණ. අළුගෝසු තෙමේ කිසිම වැඩක් නොකර පඩි ගැනීම වැරැද්දක් නොවුනත්, මරණීය දණ්ඩනය ලැබ එය ක්‍රියාත්මක කළ යුතුව ඇති අපරාධකරුවන් බොහෝ දෙනෙකු අපේ බදු මුදල් වලින් කකා අපරාධකරුවන් පුහුණු කරමින් බන්ධනාගාර වල ජීවත් වීම නම් අපූරු කරුණකි. අළුගෝසු තෙමේ වැඩ නොකර වැටුප් ගැනීම අරුමයක් නොවන්නේ බොහෝ ආයතන වල තත්ත්‍වය ඒකම වන නිසා බැවිනි.
බල්ලන් එක්ක ලැග්ග විට නැගිටින්නට වන්නේ මැක්කන් සමග වනවා සේම රජයක් ද නුසුදුසු පුද්ගලයින් ඉහළ ස්ථාන වලට පත් කරගත් පසු ඇති වන ව්‍යාකූල තත්ත්‍වය, පරිහාණිය දැන් අප හොඳින්ම අත් විඳිමින් සිටිමු…. මේ ආතතිය සැමදාම දරාගත නොහැක. ආණ්ඩුවට ඇති එකම සැනසීම ශක්තිමත් විපක්‍ෂයක් නොමැති වීම පමණි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද විපක්‍ෂය අඩපණ කිරීමෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම විනා ජනතාවට දැනෙන කෙටිකාලීන සහන සැලසීමක් නොවන බව බොහෝ දේ වලින් පෙනේ… ප්‍රමිතියක් නැති බාල බඩු ගෙන්වීම. ජනතාවට වස විස සහිත ආහාර කවන්නන්ට පාලනයක් නොපැණවීම. අඩුම ගානේ වසරකට 10,000 ක් මිය යන මාර්ග අනතුරු අවම කිරීමට කිසිදු දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම, ආදී දහසකුක් එකක් දේ එකතු වන විට රජය දීර්ඝකාලීනව සිදු කරන සංවර්ධන ක්‍රියා තිබුණත් ඒවායේ හොඳක් ජනතාවට නොපෙනේ..
රජයේ ඇමති වරයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත මහතාම භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මහතාගේ අවමඟුලේදී කියූ “එදා හැබැහින් දැකපු භාරතව මට ආයෙත් දකින්න ලැබුණේ මුල්ලේරියාව රෝහලේ ඇඳක් මතදීයි. ඒත් මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. කිව හැකි බොහෝ දේ කිව නොහැකි නිසා ඒ සියල්ල දීර්ඝ සුසුමකින් පිටකර හරිනවා.” යන ප්‍රකාශය අප රට යන අත හොඳින් පෙන්වා දක්වයි….
කියන්නට බොහෝ දේ ඇතත්, කිසි කෙනෙකු කිසිවක් නොකියන්නේ ජීවිත ආශාව අන් සියල්ලටම වඩා වැදගත් වන නිසාවෙනි… ආණ්ඩුවේ මැති ඇමති වරුන් පාතාලය පාලනය කරන කල්හි නැවතත් කියන්නට වන්නේ මා පෙර අවස්ථාවක පළ කළ බොහෝ දෙනා එකඟ වූ මේ වදන් පෙලයි….
” අපේ රට මාරම රටකි.
නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය.
මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය.
ගායකයෝ ආණ්ඩුකාරවරුය. ආණ්ඩුවේම අය මරා ගනිති….
ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති.
වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති.
රාජ්‍ය නිලධාරීහු මර නින්දේය.
දොස්තරලා නර්ස්ලා එක්ක තරහ වී වර්ජනය කරති – අසරණ රෝගීන් මියයති.
මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති.
ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය.
හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති.
හැම පොලිස්පතිම පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.
මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ ඡන්දයේදීත් සත් ගුණවත්-උගත්- නැණවත්- පිංබර-ඉඩම් හිමි වැවිලිකරු-අවංක-එඩිතර-සුවච-කීකරු- ගමේ චන්ඩියා චූටි මහත්තයාට මනාප 3 ම දී ප්‍රාදේශීය සභාවට හෝ පලාත් සභාවට පිටත් කර හරියි.”
අපි හැමදාම මෙහෙම විය යුතුද ? ආණ්ඩුවට පමණක් නොව අපටද ඇස් අරින්නට, සිතන්නට කාළය පැමිණ ඇත…… උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වුනත් රට හරිමගට ගෙනයන්නට මොකෙක් හරි එකෙක් කොහේ හෝ ඇත….. ඌ සොයාගන්නට හෝ ඉන්න එවුන් හදාගන්නට සැමදෙනාම එක් විය යුතු කාළය පැමිණ ඇත…. අපට මේ ආණ්ඩුව පෙරලන්නට අවශ්‍ය නැත. අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාටවත් අවශ්‍ය නැත. මේ ආණ්ඩුව පෙරළා ගෙන්න ගන්නට සුදුසු වෙනත් ආණ්ඩුවක් ද නැත. නමුත් අපට අවශ්‍ය වන්නේ පිස්සු කෙළින මේ කට්ටිය හරි පාරට දමා ගැනීමටයි… ජනතාවට බරක් නැති හුරුබුහුටි ඇමති මණ්ඩලයක්, මනා බුද්ධියක්, විනයක්, දර්ශනයක් -සංවර්ධිත සිතුවිළි ඇති දක්‍ෂ ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්… තමන් ගැන නොව රටේ අනාගතය ගැන සිතා වැඩකරන දේශපාලනඥයන් පිරිසක් ඇති රටකි. ජනාධිපතිතුමා අපට අපේ ආකල්ප ධනාත්මකව හදාගන්න යැයි පැවසුවත් එතුමාට එතුමා වටා සිටින අයගේ විනය-ආකල්ප හරි හැටි හදාගන්නට බැරි වීමෙන්ම එතුමා වැටී ඇති අලි අමාරුව පෙනේ…. කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙළින් යන්න යැයි කීවා සේ අපට හැදෙන්නට යැයි කියා, ලොකු ලොක්කන් පිස්සු කෙළින විට අපට හිතෙන්නේ ඒ කියන කකුළුවන්ගේ අඬු කඩා උන්ට කෙළින් යන්නට සලස්වන්නටය…. ඒ තැනට අපේ ජනතාව මෙතෙක් පැමිණ නැත… නමුත් එතැනට පැමිණුවහොත් නවත්වන්නටද කිසිදු බලවේගයකට හැකිවනු නොහැක…..
2011 ඔක්තෝබර් 08 : “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මිය යා නොදී බේරා ගතයුත්තේ ඇයි ?
නිධාන කතාව:
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් අවංක සාධාරණ රජකෙනෙකු දශරාජ ධර්මයෙන් රජකම් කරන කල්හි, එක්තරා නගරයකදී රජගෙදර සුරතලයට ඇතිකරන රජවාසල සුනඛයෝ දෙදෙනෙක් මස්කටුවකට පොරකෑමේදී එකෙක් අනෙකාගේ බෙල්ල හපා කා අනෙකා මළේය… මිය ගිය සුනඛයාගේ හපා කෑම් වලින් අනෙක් සුනඛයා ද අසාධ්‍යව පාරේ වැටී සිටීයදි රාජ සේවකයෝ ඒ සුනඛයා රාජකීය පශුවෛද්‍යවරයා වෙත ගෙනගොස් යන්තම් බේරා ගත්තේය…. පසුව ඒ සුනඛයා කෙමෙන් කෙමෙන් සුවය ලදී…. දෙදෙනාම රජගෙදර ඇතිකළ සුනඛයන් නිසා නොමැරී ඉතිරි වූ සුනඛයාට අනෙක් සුනඛයා මැරුවැයි යන වරදට නියපිටින්වත් පහරක් නොගසා නැවතත් යථාපරිදිම හැසිරෙන්නට ඉඩ දෙමින් බ්‍රහ්මදත්ත රජතෙමේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළෝය…
********************************************************************************************************
ජනතාවට සේවය කිරීම පිණිස පත් කරන නියෝජිතයන් තෝරන යුද්ධයේදී එකම පක්‍ෂයේ පාර්ශව දෙකක් වන “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සහ “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අතර වූ ද්වන්ධ සටනේදී මාරාන්තික වෙඩිපහරක් හේතුවෙන් “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා දෙව්ලොව බලා ගොස් ඇත. රටේත් ජනතාවගේත් වාසනාවකට සහ ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්‍ෂකම නිසා “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා දැන් සුවය ලබමින් පවතින බව නිලි-නොවන (ඒ කියන්නේ අනුන්කෙලීගේ අනුමැතියකින් තොරව නිකුත් වූ පුවත්) ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ලැබී ඇත…
මේ දෙදෙනාම යහපත් පැටිකිරියකින් යුතු දේශපාලන අතීතයක් ඇති පුද්ගලයෝ වෙති. දෙදෙනොම මියගියා නම් රාජ්‍ය අනුග්‍රහය ඇති මළගෙවල් දෙකක් එකලඟ බලාගැනීමේ අවස්ථාව මහජනතාවට උදාවනු ඇත… ඊට වඩා දෙයක් මට නම් හිතාගන්නට නොහැක. බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ සිදු වූ අලකලංචියට සම්බන්ධ වූයේ මෙතුමා බව සමහරක් නොදන්නවා ඇත.. නමුත් මේ මහතා ජනතාවට බොහෝ සේ උපකාර කළ බවට නම් බොහෝ දෙනා පවසති. “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මුලින්ම කරළියට පැමිණියේ සිය පැරණි පෙම්වතියගේ ලාබාල නැගණිය අතවරයට ලක්කළා යැයි නැඟුනු අයුතු චෝදනා නිසාත්, දකුණු පලාත් පලාත්-සභා මන්ත්‍රිනී අනුන්කෙලී මැතිණිය හා සම්බන්ධ හුටපටයක් සම්බන්ධව එලිලවුන අභූත චෝදනා නිසාත්ය… ඒ මැතිතුමා ආණ්ඩුවට එක් වූයේ සිය සහෝදරයාගේ මාධ්‍ය සමාගම බේරාගන්නට යැයි විපක්‍ෂයේ ඇතැමුන් චෝදනා නැගුවද, ඇත්තෙන්ම කොළඹ ජනතාවට සේවය කිරීමට විපක්‍ෂයේ තැනක් නැතිවීම නිසා බව සැවොම දන්නා කරුණකි.
“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අනතුරුදායක තත්ත්‍වයෙන් මිදී ඇති බව දැනගන්නට ලැබීම සාමය අගයන සැමදෙනාටම සතුටු වියහැකි කරුණකි. අප සැම දෙනා දැන්ම ළඟම ඇති පන්සල් කරා ගොස් ඒ මහතාට ඉක්මන් සුව පතා බෝධිපූජා පැවැත්වීමත්, “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට නිවන්සුව පතා දාන-මාන පිංකම් ආදියත් සිදු කළ යුතුය…
“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට හේතු කිහිපයක් ඇත. පළමු වැන්න මිනිස් ජීවිතයක වටිනාකම හොඳින්ම දන්නා ඒ මහතා ඒ නිසාම බේරා ගත යුතුය. දෙවැන්න වන්නේ කොළඹ නගරයට සේවය කිරීමකට සිටින “දේශපාලන නායකයෙකු” (Political Leader) අකාලයේ මෙසේ මිය යාම සිදු නොවිය යුත්තක් නිසාය… (මේ කතාව කිවුවේ බොර දියෙහි මාළු බැම පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති ආචාර්ය දයාසොරි ජයසේකර මැතිතුමාය ) තෙවැනි කාරණය වන්නේ සිදු වූ සිදුවීම පිළිබඳ ප්‍රථම ගණයේ සාක්‍ෂියක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සහායෙන් “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සාහසික ලෙස ඝාතනය කළ අපරාධකරුවන් පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගැනීමට හැකි වීමයි… මෙයට පෙර ද රත්නපුරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නැගී එන තරුණ මන්ත්‍රීවරයෙකු වූ නාලන්ද එල්ලාවල මහතා සියදිවි නසා ගැනීම පිළිබඳ සාක්‍ෂි ලබා ගත්තේ එතැන සිටි එකළ විපක්‍ෂ මන්ත්‍රී සහ විපක්‍ෂ පලාත්සභා මන්ත්‍රී – දැන් ඇමති වරු වන සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක මැතිතුමන්ලාගේ සහයෙන් සහ එතැන හැංගී (සමහරු නම් කියන්නේ සරමේ චූ ගොස් ) සිටි ඩිලාන් පෙරේරා මැතිතුමන්ලාගේ සාක්‍ෂිවලින් වීම නිසා… මෙවැනි සිදුවීමකදී එවන් ප්‍රභූවරුන්ගේ සාක්‍ෂි අපරාධකරුවන් ඇල්ලීමට හෝ සිදු වූ සියදිවි නසාගැනීම පිළිබඳ පැහැදිලි සාක්‍ෂි ලබා ගැනීමට ඇති හැකියාව ගැන සලකා බැලීමේදී “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට යෙදිය යුතු සෑම බලයක්ම ශක්තියක්ම යොදවා ගත යුතු බව මගේ හැඟීමයි..
***************************************************************************************************
“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා සැත්කම් කිහිපයකට භාජනය කළ බව සැළයි.. මේ අතර හිසට වැදුන වෙඩි පහරකින් මොළයට හානි වූවා දැයි සොයාගැනීමට කළ ස්කෑන් පරීක්‍ෂණයේ ප්‍රතිඵල අපට ලැබී තිබේ.. ඒ අනුව ඒ මැතිතුමාගේ හිසට වැදුන උණ්ඩයෙන් ඒ මැතිතුමාගේ මොළය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ස්කෑන් පරීක්‍ෂණය සිදු කළ වෛද්‍යවරයා අප සමග පැවසුවේය… වැරදීමකින් හෝ එම උණ්ඩය “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ මොළයට හානි පැමිණවූවා නම් සියළු මතකයන් සහ සිතීමේ ශක්තිය ආදිය මැකී යන්නට ඉඩකඩ ඇති බවද අපට ප්‍රකාෂ කළේය… එක් වෙඩි උණ්ඩයක් ඉවත් කළද, තවත් උණ්ඩයක් ඉතිරිව ඇති බව කියැවේ. මේ ඒ මැතිතුමාගේ මොළයේ සීටී ස්කෑන් ඡායාරූපයයි… නිල් පැහැයෙන් දැක්වෙන්නේ හිසෙහි සිරවී ඇති වෙඩි උණ්ඩයයි.
කවුරු කෙසේ කීවත්, වටිනා ජීවිතයක් මරණයෙන් බේරා ගැනීමට හැකි වීම පිළිබඳ අප සැවොම සතුටු විය යුතුය… ඒ මහතා ඉක්මනින් සුවය ලබා එනු ඇතැයි සියළුදෙනාගේ අපේක්‍ෂාවයි. භද්‍රකාලි දේවාලයේ බිලි පූජාවෙන් තම ජාතිය බේරාගත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට සෙත් පතා රට වටා බෝධි පූජා පැවැත්වූවා සේම, කළ හැකි අපමණ කුසල් රැස්කර පින් දී අප සැම “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරාගත යුතුය. අනාගතයේ රට භාර ගැනීමට, රට සංවර්ධනය කිරීමට ඇති මේ මැතිතුමාගේ චින්තන ශක්තිය රැකදේවායි අප සැම ප්‍රාර්ථනා කල යුතුය. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මාර්ගයෙන් නාථ දෙවියන්ගේ සහ අප රටට අධිගෘහිත සියළුම සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආනුභාවයෙන් අඥාවෙන් හෝ ලක්මවගේ අනර්ඝ පුත් රුවනක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගත යුතුය. එතුමාගේ සැත්කම් කළ වෛද්‍යවරුන්ට උසස්වීම් ලබා දී දේශමාමක භූමිපුත්‍ර සම්මාන පුද පඬුරු වලින් සුම්පූජිත කළ යුතුය…..
ඇත්තෙන්ම සිදු වන්නට ඇත්තේ මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු අධීක්‍ෂණයට පැමිණි දුමින්ද සිල්වා මැතිතුමාට සැඟවී සිටි ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම වන්නට පුළුවන.. මේ දුටු භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඒ ත්‍රස්තවාදියා පිටුපස හඹා යත්දී ඔහු දිගට හරට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කරන්නට ඇත…. එසේ නැතහොත් ත්‍රස්තවාදියා සොයාගත නොහැකිව හිස් අතින් ආපසු පැමිණි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සිය මිතුරා මිය යන්නට ඇති බව සිතා දුකින් සහ කෝපයෙන් දුමින්ද සිල්වා මැතිතුමා බේරා ගැනීමට නොහැකි වූ තමන්ගේ ආරක්‍ෂකයින් දෙදෙනාටත් වෙඩි තබා තමන් ද සියදිවි හානි කරගන්නට ඇත….
නාථ දෙවියනි… ඔබවහන්සේ රට ජාතිය ආගම අනතුරට පත් වූ අවස්ථාවල (ඔබවහන්සේට අමතක නම් – මාවිල් ආරුවට රුදුරු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙත්දී එයට එරෙහිව සැලසුම් සකස් කිරීමට උදවු දීම – පානීය ජලයේ ආසනික් ඇති බවට මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පෙන්වා දීම වැනි මහා ප්‍රාතිහාර්යයන් කළාක් මෙන්), “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සිරුරේ ඉතිරිව ඇති උණ්ඩ කොටස් ඇති ස්ථාන පෙන්වා දී, එතුමාට සිදුකළ යුතු සියළු ශල්‍යකර්ම ආදියට උපදෙස් දී එතුමා මේ අභාග්‍ය සම්පන්න තත්ත්‍වයෙන් මුදවාගනු ලබනු මැනවි..
ප:ලි: මේ සටහන දේශපාලන වාසි තකා තමතමන්ගේ වෙබ් අඩවි වල මාගේ අවසරයකින් තොරව පළකිරීමෙන් වලකින්න…
ඊටත් ප:ලි: ඇත්තෙන්ම දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු… ! කවුරු වුනත් මනුස්සයෙක් නේ…..
2011 ඔක්තෝබර් 07 : සාර්ථක මිනිසෙක් (හෝ ගැහැණියක්) වෙන්න ඩිග්‍රියක් තියෙන්නම ඕනද ?
මෙන්න මේ ප්‍රශ්නය හුඟ කලක් මගේ සිතේ වද දුන්නා…. ඇත්තෙන්ම මම මේ මහලොකු ආචාර්ය උපාධියක් තියාගෙන මොනවද කරන්නේ කියලා… සමහර වෙලාවට හිතෙනවා අපරාදෙ අවුරුදු පහක් නිකරුණේ කා දැම්මා ද කියලා… තවත් වෙලාවකට හිතෙනවා මොනවා උනත් ඉස්සරහට (එහෙම දෙයක් තිබුණොත්) ප්‍රයෝජනවත් වේවි නේද කියලා… දවසක් තාත්තා කියපු දෙයක් මගේ හිතේ පතුලටම වැදුනා… ” පුතේ උඹ මේ ආචාර්ය උපාධි ගන්න වැය කරපු කාලෙ ලංකාවෙ ඉඳන් දේශපාලනේ කළා නම් මෙලහකට අපේ පරම්පරාවම ගොඩ” කියලා… නමුත් මට හිතට එකඟව අද පවතින දේශපාලනය කරන්න පුළුවන් ද ?
මේ සිතිවිල්ල නැවත වතාවක් මතු වුවේ පහු ගිය දවසක ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී පවත්වපු දේශනය බැලුවාමයි. බිල් ගේට්ස් – ස්ටීව් ජොබ්ස් ආදී ලෝකය වෙනස් කළ පුද්ගලයෝ සමහරක් විශ්ව විද්‍යාලවලින් හැලුන උදවිය… මේ අය තමන්ගේ ජීවන මගේ හිණිපෙත්තටම නගින්නත්, තවත් සමහරක් අය ඉගෙනීමේ පරතෙරට ගියත් කිසිදු සාර්ථකත්‍වයක් නැතිව සිටින්නේත් ඇයි කියන ප්‍රශ්නයට මම තවමත් පිළිතුරු හොනවා.. කර්මය සහ උත්සාහය කියන සාධක දෙක පමණක් මේ සාර්ථක/අසාර්ථක බවට හේතුපාදක වෙලා නැහැ… සමහරවිට හරි පුද්ගලයා හරි තැන හරි වෙලාවේ සිටීම වෙන්නටත් පුළුවන්. (එය කර්මයද ? )… එසේත් නැතිනම් තමන්ගේ සිතැඟි පරිදි අවදානමක් රැගෙන කටයුතු කිරීමද ?
බොහෝ දෙනෙකුගේ සිතේ තිබෙන්නේ කෙසේ හෝ උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබාගෙන රැකියාවක් කිරීමට. මෙය බොහෝ දුරට සමාජයේ පිළිගැනීමක් තිබෙන්නේ උපාධිකාරයන්ට නිසා තමන්ට සමාජයේ පිළිගැනීමක්, රැකියාවේ උසස්වීමක් ආදියලබා ගැනීමේ චේතනාව යටි හිතේ කොහෝ හෝ පැලපදියම් වෙලා තියෙන නිසා තමන්ව එතැනට පොළඹවනවා වන්නට පුළුවන්. රසායන විද්‍යා ආයතනයට බැඳෙනවිට මට තිබුණ එකම අවශ්‍යතාවය වුනේ රසායන විද්‍යාව වැඩි දුරට ඉගෙනීමයි.. කෙමෙන් කෙමෙන් එය තේරුම් ගැනීම පහසු වනවිට, අනෙක් අයට කියලා දෙන්න පුළුවන් තරම් දැනුමක් එකතු වෙනවිට, වටේ පිටේ හිටි අය අතරේ, උගන්වපු මහාචාර්යවරු අතරේ ප්‍රසිද්ධ වෙනවිට, මහාචාර්යවරු තවදුරටත් ඉහළට ඉගෙන ගන්න කියලා උනන්දු කරනවිට මමත් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ සිහිනයේ බැඳුනා… ඇල්කෙමිච්චිත් ඒකටම හරියන්න තකට තක වෙච්චිකොට තවත් ඒ උණ වැඩි වෙලා තමයි මේ වින්නැහිය කරගත්තේ… ඒත් දැනුත් බොහෝ දෙනා අපි ලබාගත්ත උපාධිය අගය කරනවිට ඇත්තෙන්ම මෙය මහා ලොකු දෙයක් නේද කියලා හිතුනත්, විශ්ව විද්‍යාලයේ සැරිසරන ආචාර්ය උපාධි සංඛ්‍යාවත්, අප හා සමකාලීනයනුත් අතරේ අපිත් සාමාන්‍ය පුද්ගලයින්…
ඉතින් අපේ උපාධිධාරීන් බොහෝ දෙනෙක් ලිප්ටන් වටරවුමේ පිකටින් කරන අතරේ තවත් බොහෝ දෙනෙක් උපාධියක් ඇතිව හෝ නැතිව සාර්ථක ජීවිත ගතකරනවා.. සමහරු යන්තම් සාමාන්‍ය පෙළ සමත් වෙලා මහා ව්‍යාපාර කරගෙන සිටින්නේ ඒ අයගේ අධ්‍යාපනය අත්දැකීම් වලින්ම ලබාගෙන…. තවත් සමහර උපාධිධාරීන් ලබාගත්ත උපාධිය අමතක කරලා සාර්ථකව ගොවිතැන් බතක් හෝ කරගෙන නැතිනම් ස්වයං ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනවා… ඒ දොගොල්ලොම එක්කෝ අත්දැකීම් වලින් ලබාගත් දැනුමින් හෝ උපාධියෙන් ලබාගත් පුහුණුවෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙනවා….
උපාධියක් හෝ උපාධි දහයක් තිබුණත් ජීවිතය හරි හැටි හැඩගස්වාගන්න බැරිව අකාලයේ කාලකන්නි වෙලා යන ජීවිත අනන්තවත් තිබෙනවා… ඒ වගේම කිසිදු උපාධියක් නැතිවත් සාර්ථකව ජීවත් වෙන පුද්ගලයෝ අනන්තවත් අප අතර සිටිනවා.. මට හිතෙන විදියට ලබන උපාධියට වඩා තමන් ජීවිතය ගැන හිතන විදිය අනුව බොහෝ දුර යා හැකියි… උපාධිය තිබුණොත් හෝ දැනුම ලබා ගතහොත් එය රුකුලක් වෙනවා නොඅනුමානයි…. ඉගෙන ගන්න එපා කියන්නේ නැහැ… ඉගෙන ගත්ත දේ මොනවා වුනත් හරි හැටි පාවිච්චි කරන්න….
ඉතින්, ඔබටත් බිල් ගේට්ස් කෙනෙක් වෙන්නට ස්ටීව් ජොබ්ස් කෙනෙක් වෙන්නට බැරි කමක් නැහැ… උත්සාහ කරන්න….
2011 ඔක්තෝබර් 06 : කුමට නැටුම් කෙළි කවට සිනා දා….. මරුට නොමැත කිසිවිටකදි බාධා……
ඊයෙ රෑ Group Meeting එක අවසාන වෙලා රසායනාගාරයට ආපු මට දැකගන්නට ලැබුනෙ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මිය ගිය බව.. මම ඇපල් පාරිභෝගිකයෙක් නෙවෙයි.. ඒත් මම ඇපල් පරිඝනක ඇති තරම් භාවිතා කර තිබෙනවා… මේ නිසාම මම ඇපල් උපකරණ සහ සේවා වල තත්ත්‍වය හොඳින් දන්නවා… ඔහුගේ දැක්ම අවුරුදු කිහිපයක් ඉදිරියෙන් දකින දැක්මක් බව පෙනෙන්නේ ඒ උපකරණ භාවිතා කරනවිටයි.. සමහරවිට මගේ මීලඟ පරිඝණකය ඇපල් ගෙඩියක් වෙන්නට පුළුවන් ඉඩකඩ බොහොම වැඩි ඒ නිසයි.
අයින්ස්ටයින් ට පසු මේ ලෝකය වෙනස් කළ එකම පුද්ගලයා ස්ටීව් ජොබ්ස් ලෙස මා දකින්නේ ඒ නිසයි. කවුරු මොනවා කීවත් ඔහු දක්‍ෂ සහ අනාගතය අද දවසේදී දුටු පුද්ගලයෙක්…
කොහොම වුනත් ඔහු ගිහින්…
ලෝකයේම ඉහළම වරප්‍රසාද, අධික ධනයක්, හැමදෙනාගේම පිළිගැනීම තිබුණත්, ඒ සියල්ල හැර දමා ඔහු ගිහින්…
අපි බොහෝ දෙනෙක් නොදකින සත්‍යයක් අප ඉදිරිපිට තබා ඔහු ගිහින්…..
අපි මොන නැටුම් නැටුවත්, මොනතරම් ධනය එකතු කළත්, මොනතරම් යාන වාහන, වතුපිටි එකතු කළත්, යම් දවසක අපි ඒ සියල්ල හැර දමා යන්නට ඕන බව සමහරුන්ට මතක නැහැ….
තමන් මොන ආගමක වුවත්, තමන් හරිහැටි ජීවත් විය යුතු බව සමහරුන්ට අමතක වෙලා…
ඒ සියල්ල හැර දමා කවදා හෝ අප යායුතු බව සමහරුන්ට අමතක වෙලා…
තමන් ගෙන යන්නේ එකතු කළ මිල මුදල් නොව එකතු කළ මිනිසුන්ගේ මතකයන් බව සමහරුන්ට අමතක වෙලා..
ඒ බව මතක් වෙනවිට සමහර අය අප දමා ගොස් අවසානයි…. එවිට ඔබ පසුතැවිලි වෙනවා ඔබෙන් විය යුත්තක් අතපසු වුනා නේද කියා…..
අමතකවී ඇති මිතුරන්ට ඉඳහිට කතා කරන්න… මිතුදම් අළුත් කරගන්න… ඥාතීන්ට කතා කරන්න… මිතුරන් සමග විනෝද වන්න… එකතු කරන සල්ලිවත්, වාහනවත් ගෙවල් දොරවල් වත් අප වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ… අපේ මතකයන් තබා ගන්නේ නැහැ.. සල්ලි නැතුව බැහැ… ඒත් ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි…
මිනිසුන් එකතු කරන්න….
2011 ඔක්තෝබර් 04 : අපේ පොලීසිය අපි රැකගමු…………
පණ පිටින් ආපහු එන්න ඕන නම් පොලීසියට හෝ රජයේ රෝහලකට යන්නට එපා ය කියා ඉස්සර ලංකාවේ කට කැඩිච්ච කියමනක් තිබුණි… දැන් නම් ඒ කියමන ඩිංගක් සංශෝධනය කරන්නට වෙලා ඇත…රෝහලකට ගියොත් අඩුම වශයෙන් කපන්නට තිබෙන කකුල ඉතුරු කරගෙන වැරදි කකුල කපාගෙන හෝ ගෙදර එන්නට පුළුවන් නිසාය. පොලීසියකට ගියොත් එසේ නැත.. ප්‍රශ්න කරත්දී කොහේ හෝ හංගා ඇති මල ඉලව් ආයුධ වගයක් සිතට පැමිණේ…… ඉන්පසු පොලීසියට ඒ ආයුධ බලෙන්ම පෙන්නන්ට එක්කගෙන ගොස් මාංචු ද අත්ලා ඒ ආයුධෙන් ම පොලීසියට වෙඩි තියන්නට සිතේ… පොලීසියේ මහත්වරු තම ජීවිතයට ඇති ආදරේට අර අපරාධකරුවාට වෙඩි තබයි… සැකකරුවා, පොලීසිය තමන්ගේ ඔලුවට වෙඩි තබාවි යැයි සැකෙන් අනෙක් පැත්ත හැරී ඔලුවෙන් හිටගනී… මුලින් අපරාධකරුවාට තුවාල පමණක් කිරීමට සිතන පොලීසිය ඔහු ඔලුවෙන් සිටගන්නේ නොමැති බවට සැක පහළකරගෙන කකුල් දෙකට වෙඩි තබයි.. අවාසනාවක මහිම… කකුල් දෙක තිබිය යුතු තැන හිස ඇති අපරාධකරුවා ( එක වෙඩි පහරින්ම) මිය යයි…….
ප:ලි: අපරාධකරුවා මිය යන්නේ වෙඩි වැදී නොව අපරාධකරුවා හා පොලීසිය අතර වූ සංනිවේදන දුර්වලතාවයක් (Miscommunication ) නිසාය….
තවත් අවස්ථාවක අපරාධකරුවා ගඟක් අයිනේ ඇති ආයුධ පෙන්වන්නට යන්නට සිතේ….මාංචු ද අත්ලාගෙන සිටින මේ අපරාධකරුවා “නුඹලාට මාගේ පිහිණීමේ හැකියාව පෙන්වන්නෙමැ” යි පුරසාරම් දොඩා ගඟට පැන එගොඩට පීනන්නට පටන් ගනී… ගඟ මැද සිටින කිඹුලකු ඩැහැගෙන යන මේ අපරාධකරුවා නැවත ගොඩ එන්නේ හොඳටම කුණු වූ මළ සිරුරක් ලෙසිනි. ඒ අහිංසක අපරාධකරුවා බේරාගන්නට දියට පනින පොලිස් නිලධාරියා ද කිඹුලාගේ ග්‍රහණයට හසු නොවන්නේ යන්තමිනි.. ඒ නිසාම අසාධ්‍ය තත්ත්‍වයේ සිටින පොලිස් නිලධාරියා රෝහලේ ප්‍රතිකාර ලබයි..
මීලඟට ජනාකීර්ණ නගරයක මුඩුක්කුවක් අස්සේ ආයුධ සඟවා ඇති තවත් අපරාධකරුවා පොලිස් ජීප් රියෙන් පැන පලා යත්දී වේගයෙන් ධාවනය වුන ලොරියක හැපී එතැනම මියයයි.. ඔහු බේරාගැනීමට පැන්න පොලිස් නිලධාරියාටද සුළු තුවාල සිදු වී රෝහලේ ප්‍රතිකාර ලබයි…
වෙනත් තැනක කැලේ ගල් ගුහාවක සඟවා ඇති ආයුධ පෙන්වීමට යන අපරාධකරුවකු අත් පිටුපසට බැඳ මාංචු දමා සිටියදී ගල් ගුහාවේ ඇති අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමා ගැසීමට යාමේදී අත් වැරැද්දකින් පිපිරී මියයයි. බෝම්බ කෑලි වැදී පොලිස් නිලධාරීන්ටද සුළු තුවාල සිදු වේ…
මෑත කාළයේ පොලීසිය භාරයට අත්වන සියළුම අපරාධකරුවන් මේ ක්‍රමය අනුගමනය කරමින් සියදිවි නසාගන්නට පටන් ගෙන තිබේ… එක අතකට මෙය ඇත්තෙන්ම ඉතාම හොඳ දෙයකි. මක් නිසාද යත් මේ අපරාධකරුවන් නැවත පුනරුත්ථාපනය කිරීමට කෙතරම් මුදලක් වැය වේද යන්න ගනන් බලන විටත්, පුනරුත්ථාපනය වී යළි පැමිණෙන කිසිදු මිනිසෙකු සමාජයේ යහපත් මිනිසුන් ලෙස ජීවත් වීමට ඇති අකැමැත්තත් යන කාරණා සලකා බලන විට අර මූලික මුදල් වියදම් කිරීමට වඩා මෙසේ සියදිවි නසා ගැනීමට සැලැස්වීම ආර්ථිකමය වශයෙන් අපේ රටට ඉතාම ලාභදායී කටයුත්තක් බවට නිතැතින්ම පෙනී යයි. මේ සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම අවශ්‍ය නැත. මේ නිසා ඇත්තෙන්ම පොලීසියේ මහත්වරු රට සංවර්ධනය කිරීමට ලබා දෙන පිටිවහල අති ඉමහත්ය… මෙන්න අපේ ආචාරය….! මේ ලැයිස්තුවට එකතු කලයුතු තවත් කට්ටියක් සිටිති. ඔවුන්ද සියදිවි නසාගැනීමට ලක් කිරීමෙන් අපේ රට සුඛිත-මුදිත කර ආසියාවේ අයිස්චර්යය කිරීම ඉක්මනින්ම කල හැක…
- ගණිකා මඩම් හොර සම්බාහන මධ්‍යස්ථාන ආදිය පවත්වාගෙන යන සමාජයේ ඉහල නිලතල දරන උදවිය…
- අර කුඩු විකුණනවා යැයි කියන ලොකු ලෙකු මහත්වරු සහ ඒ අයගේ පුත්තු….
- පගාව ගහන – දූෂණ කරන සංස්ථාවල සහ රජයේ ලොකු ලොකු මහත්හොරු…
- කුඩු මුදලාලිලාගෙන් පගා ගන්නවා යැයි විපක්‍ෂය කියන (එහෙම අය ඉන්නා බවට විශ්වාසයක් මගේ නම් නොමැත) පොලීසියේ ලොකු මහත්වරු.
- වැඩ නොකර අයිතිවාසිකම් පමණක් ඉල්ලන වෘත්තීම සමිති කාරයෝ..
- මහමඟ උන්ගේ යැයි සිතාගෙන සිටින පොලීසියේ මහත්වරු තුට්ටුවකට මායිම් නොකරන ප්‍රයිවෙට් බස් පයිලට් ලා…
- හොර ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යන හොර දොස්තරලා…
ආදී මේ ලැයිස්තුවේ තවත් අය සිටී.. මේ අයටත් අර විදියටම සියදිවි නසාගන්නට උදව් දුන්නොත් අපේ ලංකාව ධර්මද්වීපයක් කිරීමේ මහා පුණ්‍යකර්මය ධර්මචක්‍රය අතේ ගසා ඉන්නා පොලීසියේ නිලධාරීන්ට ලැබී ඒ මහත්වරු මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදීමේ මහත්ඵල මහානිසසංස ලැබෙන බව නාථ දෙවියන් පවා සනාථ කරනු ඇත…
එසේ වුවද, පොලීසියේ මහත්වරුන් යනු සාමාන්‍ය මිනිසුන් සමූහයක් බව අප අමතක කළ යුතු නැත.. ආරවුලක් විසඳීමට ගොස් කඩුවලින් කපා කොටා මැරූ පොලීසියේ මහත්මයා, ග්‍රීස් යකෙකු යැයි සිතා මරන්නට ගිය මිනිසෙකු බේරා ගන්නට ගොස් නිරපාරාදේ මියගිය පොලීසියේ මහත්මයා ආදීන් ද අප සේම සම් මස් ඇට නහර වලින් සැදුන, කාගේ හෝ දරුවකු, පියෙකු සහ සැමියකු වන බව අප අමතක කළ යුතු නැත. පොලීසිය නීතිය අතට ගත්තාට, පොලීසියේ වැරදිවලට අප කිසිසේත් නීතිය අතට ගත යුතු නැත… ලංකාවේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසාම නීතියත් දේශපාලනයට යටවීම අභාග්‍ය සම්පන්න වුවත්, අප ඒ ගණයට වැටී තවත් ජීවිතයක් හෝ ජීවිත ගනනාවක් නැතිකර ගැනීම අණුවන කමකි. එසේම ඔවුන් අප වෙනුවෙන් දිවි පරදුවට කබා කළ දෑ අමතකව නැත, බොහොමයක් පොලිස් මහත්වරු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරන අය විය හැක. සුළුතරයකගේ නොමනා ක්‍රියාකාරකම් (අපි නෙවෙයි කියන්නේ විපක්‍ෂය) නිසා සියළුම දෙනාගේ ඇඟේ මඩ තැවරීමද කණගාටුදායකය…..
අප කල යුත්තේ අපේ පොලීසිය ශක්තිමත් (සහ හැකි නම් බුද්ධිමත්) මිනිසුන් සමූහයක් කිරීමයි. එසේ නැතහොත් අපරාධකරුවන් දුර්වල මිනිසුන් කිරීමයි… ආයුධ පෙන්වන්නට යන අපරාධකරුවෙකු මාංචු දමා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාම යනු පොලීසියේ මහත්වරුන්ට නිසි ලෙස ආහාර පාන නොලැබීම නිසා ඒ මහත්වරුන්ට මීටර සියයක් හමාරක් දුවාගන්නට ඇඟපත පණ නැති වීමයි… මේ නිසා අප සියළුම දෙනා එක්වී සෑම මසකම පෝය දිනට පොලීසිය ඉදිරිපිට පොලීසිය සඳහාම දන්සැල් පැවැත්වීමෙන් (හෝ අවම වශයෙන් බලු කපුටු දානයක්වත් දීමෙන්) මේ මහත්වරු පුෂ්ඨිමත්, ශක්තිමත්, ආරෝහපරිණාහ දේහධාරීන් කර, මේ පඟර නැට්ටන් වැනි සැකකරුවන් ඉස්සර කොතලාවල මැතිතුමා සේදවත්තේ ජෝන් ගොයියට බිවු රන්කිරි කටින් ඇවිත් මල මුත්තර පිටවෙන්නට දුන්නා සේ එක පා පහරින් මෙල්ල කරගන්නට පුළුවන් වන පරිදි හැඩි දැඩි කළ යුතුය. මේ නිසා පොලීලියේ මහත්වරුන් ද හුදී ජනයා කෙරෙහි සතුටු වී, සිය පූර්ණ බලතල යොදා කාරුණිකව කතාකර, පගා නොගෙන (පගා ගන්නවා කියන්නේ විපක්‍ෂයයි – මම නම් නොවෙයි) අප සියළුම දෙනා තමන්ගේ සහෝදර සහෝදරියන් මෙන් ආරක්‍ෂා කරනු ඇත. එසේම කිසිවෙකු සුළු වැරැද්දක් කළත්, කාරුණිකව කතා කර වැරැද්ද පහදා දී නැවත ඒ වැරැද්ද නොකරන ලෙස අවවාද දී ඔබව යහපත් මිනිසකු බවට පත් කරනු ඇත.
ලංකාවේ මෙහෙම වුනාට පිට රටවල නම් අපරාධකරුවෝ මෙහෙම පොලීස් අත් අඩංගුවේදී මියයන්නේ නැතැයි කියන්නේ දේශ ද්‍රෝහීන් ය. පිටරටවලදී නම් දරුණු ගණයේ අපරාධකරුවන් ආයුධ පෙන්වන්නට එක්කගෙන යන්නේ නැත. ඒ ආයුධ පෙන්වන්නට ගොස් ඔවුන් සියදිවි නසාගත්තොත් මානව හිමිකම් කාරයෝ නඩු දාන නිසා බයටය. ඒ වෙනුවට වෙනත් ක්‍රම සහ විධි මගින් ආයුධ හෝ මත් ද්‍රව්‍ය සොයාගන්නට පිටරට පොලීසි ක්‍රියා කරයි. ඒ වගේම පොලීසිය සැකකරුවකු අල්ලන්නේ සියළුම සාක්‍ෂි කිරිගහට මෝටාර් එකක් ගැහුවා සේ ටක්කෙටම හරි බවට සියළු සාධක ලැබුණ පසුවය. අපේ රටේ එහෙම කරන්නට ගියොත් පොලීසියේම සිටින කව්රු හෝ අළුගුත්තේරුවෙක් (පොලීසියේ මහත්වරු නෙවෙයි) අපරාධකරුට ඔත්තුව දී ඒ අපරාධකාර මහතා හසු නොවන්නට මඟ පාදනු ඇති.. එසේම පිටරට පොලීසිවල මහතුන් හොඳට හැඩි දැඩි ශක්තිමත්, දුටු විට අපරාධකරුවන්ට කලිසමේ මුත්‍රා පහවන අන්දමේ සිරුරු ඇති පුද්ගලයෝ වෙති… ඒ නිසාම පොලීසියට හසුවීමට කිසිදු අපරාධකරුවකුගේ උවමනාවක් නැත. අපරාධකරුවකු හසු වූ විට උගේ ආරක්‍ෂාවට වෙඩි සමහරවිට වෙඩි නොවදින කබායක් පවා අන්දවා යන යන තැන රැගෙන යයි… අපරාධකරුවන්ට ඒ තරම් ආරක්‍ෂාවක් දෙන්නේ පොලීසිය මානව හිමිකම් කාරයන්ට ඇති බය නිසාය… පිටරට පොලීසිය මිනිසුන්ට කොපමණ බයද කිවුවහොත්, පොලීසිය වැරදිකරුවන්ට කතා කරන්නේත් “සර්” කියාය… දවසක් මා සමග ආචාර්ය උපාධිය කළ මගේ ඉන්දියානු මිතුරෙක් මඳපමණට වඩා පොඩ්ඩක් වැඩියෙන් රැගෙන වාහනය පදවාගෙන ගොස් පොලීසියට හසු වී රෑ තිස්සේම පොලිස් කූඩුවේ නිදාගන්නට සිදු වී ඇත.. ඔහුගේ රියැදුරු බලපත මාස හයකට තාවකාලිකව අත්හිටවූ පොලීසිය මත්පැන් බීමේ ආදීනව ගැන කියාදෙන පන්තියකටද මාස හයක්ම ඔහුව සහභාගී කරවා ගත්තේය. ඒ සියළුම අවස්ථාවල ඔහුට පොලීසියෙන් ආමන්ත්‍රණය කර ඇත්නේ සර් කියා ය… ඔහුට මාර හැපිය…. මක් නිසාද යත් ජීවිතයේ ප්‍රථම වතාවට පොලීසියේ කට්ටිය ඔහුට සර් කියපු නිසාය… ලංකාවෙ නම් ඉතින් ආචාර්ය උපාධි ගත්තාට වැඩක් නැත…. සර් කියව ගන්නට නම් අට පාස් වෙලා දේශපාලනය කරන්නට ඕනෑය…
ඉතින් අපි අපේ පොලීසිය රැකගන්නට කටයුතු කරමු…. මසකට වතාවක් හෝ ඊටත් වැඩියෙන් අප සෑම පොලිස් ස්ථානයක් ඉදිරිපිටම දන්සැල් සංවිධානය කර, පොලීසියේ මහතුන් ශක්තිමත් පුද්ගලයින් කරමු. අප ඔවුන් සතුටින් තබාගෙන අපරාධකරුවන් දැඩි ලෙස අල්ලාගෙන සිටින්නට හැකි පුද්ගලයින් කරමු… මානව හිමිකම් කාරයොන්ට පොලීසි පැත්ත පලාතේ එන්නට ඉඩ නොතබමු. හොරුන්, කුඩු කාරයන් මෙන්ම එසේ කරන ප්‍රභූවරුන්ගේද තොරතුරු නොපමාව පොලීසියට ලබා දී සිරි ලංකාව අනාගත්ත අයිස්චර්යය බවට පත් කරමු… අපි එක් වූවහොත් කරන්නට බැරි දෙයක් නැත….