2011 ඔක්තෝබර් 07 : සාර්ථක මිනිසෙක් (හෝ ගැහැණියක්) වෙන්න ඩිග්‍රියක් තියෙන්නම ඕනද ?


මෙන්න මේ ප්‍රශ්නය හුඟ කලක් මගේ සිතේ වද දුන්නා…. ඇත්තෙන්ම මම මේ මහලොකු ආචාර්ය උපාධියක් තියාගෙන මොනවද කරන්නේ කියලා… සමහර වෙලාවට හිතෙනවා අපරාදෙ අවුරුදු පහක් නිකරුණේ කා දැම්මා ද කියලා… තවත් වෙලාවකට හිතෙනවා මොනවා උනත් ඉස්සරහට (එහෙම දෙයක් තිබුණොත්) ප්‍රයෝජනවත් වේවි නේද කියලා… දවසක් තාත්තා කියපු දෙයක් මගේ හිතේ පතුලටම වැදුනා… ” පුතේ උඹ මේ ආචාර්ය උපාධි ගන්න වැය කරපු කාලෙ ලංකාවෙ ඉඳන් දේශපාලනේ කළා නම් මෙලහකට අපේ පරම්පරාවම ගොඩ” කියලා… නමුත් මට හිතට එකඟව අද පවතින දේශපාලනය කරන්න පුළුවන් ද ?

මේ සිතිවිල්ල නැවත වතාවක් මතු වුවේ පහු ගිය දවසක ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී පවත්වපු දේශනය බැලුවාමයි. බිල් ගේට්ස් – ස්ටීව් ජොබ්ස් ආදී ලෝකය වෙනස් කළ පුද්ගලයෝ සමහරක් විශ්ව විද්‍යාලවලින් හැලුන උදවිය… මේ අය තමන්ගේ ජීවන මගේ හිණිපෙත්තටම නගින්නත්, තවත් සමහරක් අය ඉගෙනීමේ පරතෙරට ගියත් කිසිදු සාර්ථකත්‍වයක් නැතිව සිටින්නේත් ඇයි කියන ප්‍රශ්නයට මම තවමත් පිළිතුරු හොනවා.. කර්මය සහ උත්සාහය කියන සාධක දෙක පමණක් මේ සාර්ථක/අසාර්ථක බවට හේතුපාදක වෙලා නැහැ… සමහරවිට හරි පුද්ගලයා හරි තැන හරි වෙලාවේ සිටීම වෙන්නටත් පුළුවන්. (එය කර්මයද ? )… එසේත් නැතිනම් තමන්ගේ සිතැඟි පරිදි අවදානමක් රැගෙන කටයුතු කිරීමද ?

බොහෝ දෙනෙකුගේ සිතේ තිබෙන්නේ කෙසේ හෝ උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබාගෙන රැකියාවක් කිරීමට. මෙය බොහෝ දුරට සමාජයේ පිළිගැනීමක් තිබෙන්නේ උපාධිකාරයන්ට නිසා තමන්ට සමාජයේ පිළිගැනීමක්, රැකියාවේ උසස්වීමක් ආදියලබා ගැනීමේ චේතනාව යටි හිතේ කොහෝ හෝ පැලපදියම් වෙලා තියෙන නිසා තමන්ව එතැනට පොළඹවනවා වන්නට පුළුවන්. රසායන විද්‍යා ආයතනයට බැඳෙනවිට මට තිබුණ එකම අවශ්‍යතාවය වුනේ රසායන විද්‍යාව වැඩි දුරට ඉගෙනීමයි.. කෙමෙන් කෙමෙන් එය තේරුම් ගැනීම පහසු වනවිට, අනෙක් අයට කියලා දෙන්න පුළුවන් තරම් දැනුමක් එකතු වෙනවිට, වටේ පිටේ හිටි අය අතරේ, උගන්වපු මහාචාර්යවරු අතරේ ප්‍රසිද්ධ වෙනවිට, මහාචාර්යවරු තවදුරටත් ඉහළට ඉගෙන ගන්න කියලා  උනන්දු කරනවිට මමත් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ සිහිනයේ බැඳුනා… ඇල්කෙමිච්චිත් ඒකටම හරියන්න තකට තක වෙච්චිකොට තවත් ඒ උණ වැඩි වෙලා තමයි මේ වින්නැහිය කරගත්තේ… ඒත් දැනුත් බොහෝ දෙනා අපි ලබාගත්ත උපාධිය අගය කරනවිට ඇත්තෙන්ම මෙය මහා ලොකු දෙයක් නේද කියලා හිතුනත්, විශ්ව විද්‍යාලයේ සැරිසරන ආචාර්ය උපාධි සංඛ්‍යාවත්, අප හා සමකාලීනයනුත් අතරේ අපිත් සාමාන්‍ය පුද්ගලයින්…

ඉතින් අපේ උපාධිධාරීන් බොහෝ දෙනෙක් ලිප්ටන් වටරවුමේ පිකටින් කරන අතරේ තවත් බොහෝ දෙනෙක් උපාධියක් ඇතිව හෝ නැතිව සාර්ථක ජීවිත ගතකරනවා.. සමහරු යන්තම් සාමාන්‍ය පෙළ සමත් වෙලා මහා ව්‍යාපාර කරගෙන සිටින්නේ ඒ අයගේ අධ්‍යාපනය අත්දැකීම් වලින්ම ලබාගෙන…. තවත් සමහර උපාධිධාරීන් ලබාගත්ත උපාධිය අමතක කරලා සාර්ථකව ගොවිතැන් බතක් හෝ කරගෙන නැතිනම් ස්වයං ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනවා… ඒ දොගොල්ලොම එක්කෝ අත්දැකීම් වලින් ලබාගත් දැනුමින් හෝ උපාධියෙන් ලබාගත් පුහුණුවෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙනවා….

උපාධියක් හෝ උපාධි දහයක් තිබුණත් ජීවිතය හරි හැටි හැඩගස්වාගන්න බැරිව අකාලයේ කාලකන්නි වෙලා යන ජීවිත අනන්තවත් තිබෙනවා… ඒ වගේම කිසිදු උපාධියක් නැතිවත් සාර්ථකව ජීවත් වෙන පුද්ගලයෝ අනන්තවත් අප අතර සිටිනවා.. මට හිතෙන විදියට ලබන උපාධියට වඩා තමන් ජීවිතය ගැන හිතන විදිය අනුව බොහෝ දුර යා හැකියි… උපාධිය තිබුණොත් හෝ දැනුම ලබා ගතහොත් එය රුකුලක් වෙනවා නොඅනුමානයි…. ඉගෙන ගන්න එපා කියන්නේ නැහැ… ඉගෙන ගත්ත දේ මොනවා වුනත් හරි හැටි පාවිච්චි කරන්න….

ඉතින්, ඔබටත් බිල් ගේට්ස් කෙනෙක් වෙන්නට ස්ටීව් ජොබ්ස් කෙනෙක් වෙන්නට බැරි කමක් නැහැ… උත්සාහ කරන්න….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 7, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. ඇත්තටම අවශ්‍ය නැත. කැම්පස් ගියපු එකට වෙන්නේ බෙල්ලේ වැල ලා ගන්නයි. අන්තිමේදි. මේක ‍හොද ලිපියක් අපේ ඇපල් ලොක්ක ඉතින් වෙනස්ම අළුත් දෙයක් කරපු පුද්ගලයෙක්නේ කවදත්. මේකත් නියම පොයින්ට් එකක් ගිහින්ම බලන්න‍. නෙට් එකේ ඇති හොද වැඩ කැල් ගොඩක්ම තියනවා. http://www.blackpointforum.com ගිහල්ලම බලන්න.

    කැමතියි

  2. ආචාර්ය උපාධිය ගන්න ඇල්කෙමිය කාපු කට්ට ලෙසිපහසු එකක් වෙන්න බැහැ….නියම ආචාර්ය උපාධියක්‌ කියන එක ගන්න කොහොමත් අමාරු වෙන්න ඕනේ…ඒ නිසා ඇල්කෙමිය තමන් ගැන අඩුතක්සේරුවෙන් හිතනවට මාගේ බලවත් අකමැත්ත….ඔය ගමන යන්න ඇල්කෙමිය පටන් ගන්න ඇත්තේ A/L කරන කාලේ ඉඳල වෙන්න ඕනේ….බලන්න, අවුරුදු 2ක් එතන කට්ට කාල, ඊටපස්සේ කැම්පස්‌ එකේ අවරුදු 4 ක්‌ ඉඳල, තවත් අවරුදු 5ක්‌ ආචාර්ය උපාධියට කැප කරලනේ ඕක ගත්තේ. කාටද පුළුවන් අවරුදු 10 කටත් වඩා වැඩි කාලයක් එකම අරමුණක් වෙනුවෙන් කැපවෙන්න. ඔහොම ටික ටික එකම අරමුණක් වෙනුවෙන් කැප වෙන්න හිත පුරුදු කරලා තමයි කවදා හරි දවසක බුදුවෙන්නත් පෙරුම් පුරන්න පුළුවන් වෙන්නේ… ලෝකේ හැමෝම බිල් ගේට්ස්ල වුනා නම්, බිල් ගේට්ස්ට කවදාවත් එයාගේ සිතුවිලි ප්‍රායෝගිකව යොදවන්න වෙන්නේ නැහැ… බිල් ගේට්ස්ල, ස්ටීව් ජෝබ්සලා වගේ අයගේ පුදුමාකාර සිතුවිලි යතාර්ථයක් කරන්න රැ දවල් නොබලා මහන්සිවෙන්නේ, ඇල්කෙමිය වගේ ආචාර්ය උපාධි ගත්ත මොළ කාරයෝ තමයි….ඒ අය නැත්නම් මේ සිතුවිලි යථාර්තයක් කරන්නේ කොහොමද?…..ඒ නිසා ලෝකෙට වැඩිපුර ඕනේ ඇල්කෙමිය වගේ අය මිසක් ස්ටීව් ජෝබ්සලා වගේ අය නෙමෙයි…ලෝකෙට අලුත් අදහස් දෙන්න අය ඕනේ තමයි…..එත් ඒ වගේ අය අතේ ඇඟිලි ගානට හිටියහම ඇති…නැත්නම් වෙන්නේ අදහස් යථාර්තයක් කරන්න බැරුව, හැමෝගෙම අදහස් ලත් තැනම ලොප් වෙන එක…සොබාදහම මේ දේ හොඳට තේරුම අරගෙන තියනවා…එක නිසා තමයි බිල් ගේට්ස්ල, ස්ටීව් ජෝබ්සලා වගේ අය අතලොස්සකුත්, ඊට සාපේකෂව ඇල්කෙමිය වගේ අය තරමක් වැඩියෙනුත් මේ ලෝකෙට බිහි කරන්නේ….මේ 2කේ හොඳ සමතුලිත තාවයක් තියනවා…..මා සිතන පරිදි මාගේ අදහස නිවැරදි විය යුතුයි……..

    කැමතියි

    • ඔබේ කතාව ඇත්ත….
      අපි මහන්සි වෙන්නේ අපි ගැන හිතලා නෙමෙයි කියන දේ පර්යේෂණ කරන හැම දෙනාගෙම ජීවිත දිහා බැලුවාම පේනවා… බොහෝ දෙනෙකුට වැඩි වැටුප් සහිත තැන්වල වැඩ කරන්නට පුළුවන් වුනත්, ඒ දේවල් කැප කරන්නේ සමහරවිට අපේ සතුට අනෙක් අය වෙනුවෙන් යමක් හොයාදෙන්න කියන දේ බොහෝ දෙනෙකුගේ සිත්වල තියෙනවා…
      ආචාර්ය උපාධිය හැමෝටම කරන්න බැරිත් ඒකයි…

      කැමතියි

  3. ලිපිය හිතට ඇල්ලුවා…
    ඒත් මේකට අදහසක් දක්වන්න තරම් තැනක නෙමෙයි මම ඉන්නේ. ඒ කිව්වේ මමත් තාම ඉගෙන ගන්නවා. ඒත් මේ ලිපියේ තියෙන “උපාධියක් හෝ උපාධි දහයක් තිබුණත් ජීවිතය හරි හැටි හැඩගස්වාගන්න බැරිව අකාලයේ කාලකන්නි වෙලා යන ජීවිත අනන්තවත් තිබෙනවා… ” කියන එකට නම් උදාහරණ මගේ නිවස අසලම තියනවා..

    කැමතියි

  4. ඉගෙනගන්නෙ මොකටද?
    අන්න ඒ පස්නෙට දෙන උත්තරය මද ඒ උත්තර දෙන අයගෙ හිත්වල තියෙන්නෙ…
    ගොඩක් අය ඉගෙනගන්නෙ ලයිෂන් එකක් ගන්න ට්‍රේනින් වෙනව වගේ..ලයිසන් එක ගත්තම ඉගෙනගැන්ම ඉවරයි…
    උපාධි ඩිප්ලෝමා,ආචාර්ය උපාධී ඒ වගේ ලයිසන් කීපයක්…අමාරුවෙන් ගනන් හදපු හෝ වෙනත් අධ්‍යයන කටයුතු කල පලියට ආන්ඩුවෙන් රස්සාවකුත් දෙන්න ඕනිකියන මානසිකත්වය අපි බහුතරයක් වෙත තියනෙව…
    අපි ගොඩක් අය ඉගෙනගන්නෙ එක්ස්ටර්නල් ෆෝස් හෙවත් බාහිර බලපෑමකින්..එක්කො සැප පුටුවක ජොබ් එකක්..නැත්තං උසස් වීමක්..නැත්තං සමාජයෙ ලැබෙන තැන වගේ දේවල් සහ දෙමාපිය නෑදෑ මිතුරු බලයකට…
    එසේ නැතිව..තමන්ගෙම උනට තමන්ගෙම අවැසිතාවයට ඉගෙනගන්න අය අඩුයි…එහෙම ඉගෙන ගන්න අයි හිටියත් එයාලට මේ ක්‍රමය තුල ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්…
    මං දන්න ජයදේව කියල අයිය කෙනෙක් හිටිය ලස්සනට චිත්‍ර අඳින්න මැටි අඹන්න,,ලී කැටයම් කරන්න පුලුවන්..ඒත් එයාට කැම්පස් යන්න බැරි උනා ආර්ථික තත්වය නිසා..වැඩක් කලොත් මල් හතයි…එයා කරපු කලා වැඩ ගොඩක් තිබුන…
    ඒත් එයාට රස්සාවක් නැති නිසා අවසානෙ හමුදාවට ගිහිං මැරුණ..
    කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලෙට ගියෑම එසයිමන්ට් වලට,ඇගයීම් වලට එහෙ චිත්‍ර අදින..මැටි වැඩ කරන අය දැක්කම මට මතක් වෙන්නෙ ජයදේව.අයිය..එයා වැඩකලේ තමුන්ට තිබුන උනකට එහෙම නැතුව එක්සෑම් වලට නෙමෙ.මිනිහ දෙයක් ඇල්ලුවත් මරු ගැම්මක් තිබුන..ඒත් අවසානෙ තුවක්කු බටේ ඉතිරි උනේ…
    අපි අද ගමු..කැම්පස් යන්න බැරි උන…ආට් නොකරපු ජයදේවලට ඉගෙනගන්න තියෙන තැන මොකද්ද??නිර්මාණ ඉදිරිපත් කරන්න තියෙන වේදිකාව මොක්ද්ද?

    කැමතියි

  5. සුපිරි ලිපියක්. සහ සුපිරි බ්ලොග් එකක්…. මගෙ ප්‍රියතම බ්ලොග් එකක්… 🙂

    කැමතියි

  6. ඉගනීම කියන්නෙ ජීවිතේ නෙමෙයි.නමුත් ඒක ජීවිතේ සාර්ථක වෙන්න දාන ප්‍රභල උත්ප්‍රේරකයක් ! 🙂 හොද පෝස්ට් එකක් අයිය .. ජයවේවා

    කැමතියි

  7. මෙහෙමයි ස්ටෙ හන්ග්‍රි, ස්ටෙ ෆූලිශ්.. පරම් පරා හතම ගොඩ යන්න ඔනා නැහැ.. ලංකාවෙ එහෙම ගොඩ ගිය පරම් පරාත් නැහැ. අම්මයි තාත්තයි නිවට නින්දිත වැඩ කරද්දි එයාලට දාව යහපත් දරුවො බිහිවෙන්නෙත් නැහැ. ආචාර්‍ය විද්‍යා උපාදියක් කියන්නෙ අලුත් දැනුමක් එකතු කිරිමක් පද්දතියට. පුංචි දැනුමක් එකතු කරලා ‘ ශා මම එ වැඩෙ කරානෙ ‘ කියන සතුට විදින්න. අපිට අයින්ස්ටයින්ලා, ස්ටීව් ජොබ්ස්ලා, බිල් ගෙට්ස්ලා. මුන් වගෙ වෙන්න හොදනැහැ. මුන්ගෙ සල්ලි වල විතරයි ශ්‍රෙෂ්ඨත්වය තියන්නෙ. තමන්ගෙ තත්වෙටම තමන්ගෙ පෙම්වතියෙගෙ කුසෙ හිටපු දරුවා පත් කිරිම මිනිසෙකු විසින් කිසිම වෙලාවකදි නොකල යුතු දෙයක්. .. අපි මෙ මිනිස්සුන්ගෙ සල්ලි හින්දා වත්, දැනුම හින්දාවත් මෙ කියන එක කාරනයක් හින්දා අපි මෙ වගෙ වියයුතු යැයි තිරනය කරන්න එපා. මෙ ගොල්ලො ඇවිල්ලා කවදාවත් හිනා නොවුන අය.. මොකද එ තත්වෙට එන්නෙ එයාලා කරලා තියන දෙවල, තිරිසන් වැඩ එව්වා කවුන්ට් කරලා නැහැ. එයාලා එව්වා දන්නවා. හිනාවෙන්නෙ නැත්තෙ එකයි.. ගාම්බිරත්වය නෙමෙ අවංකව හිනාවෙන්න බැහැ. එහෙම නෙමෙ ඔයාට……හිනාවෙන්න පුලුවන්නෙ.. හිනාව නැති වෙන දෙවල් ඔයාලා කරලා නැහැ. සාර්ඨක මිනිහෙක් වෙන්නෙ සල්ලි වලින් නෙමෙ මට දැනෙන විදියට

    කැමතියි

  8. ප්‍රශ්නේ තියෙන්නේ උපාධියේ නෙමේ. ආකල්ප වල. ආකල්ප හොද එකා ගොඩ හිටියත් මඩ හිටියත් උගේ ගමන යනවා. ධන පතියෙක් වෙනවද නැද්ද කියන එක මත ජීවිතෙයේ සාර්ථකත්වය රදන්නේ නෑ. උපාධිය කියන දේ ඇත්තටම ජීවිතේ සාර්ථක කර ගන්න බාධාවක් නෙමේ. උපාධි ගත්ත ගොඩාක් අය හොද තැන් වල ඉන්නේ. දැන් ඔය බිල් හා ස්ටීව් ගැන හිතලා ඩිග්‍රි නැති උනානම් හොදයි කියනවා වගේ ලැරී (ගූගල්) වගේ අය ගැන හිතලා ඩිග්‍රී තිබුනනම් මරු කියන්න බැරි ඇයි. ආකල්පය වෙනසක් ඇත් කර ගත්තොත් අපිත් ධන පතියෝ තමා 🙂

    කැමතියි

  9. තව දෙයක් ඩිග්‍රි එකක් ගන්න තියෙන අමාරුව දන්නේ ඒක ගත්ත එකෙක්. විශේෂයෙන්ම විද්‍යා විශය. තමුන් මෙච්චර දෙයක් කරගෙන ඒක ගැන පසු තැවෙනවා කියන්නේ ඩිග්‍රි එකෙන් කිසිම දෙයක් ජීවිතයට එකතු කරන් නෑ කියන එකයි කියලා මට හිතෙන්නේ. මම කට්ට කාලා ගත්ත ඩිග්‍රිය, ඒක නිසා එකතු කර ගත්ත අත්දැකීම්, පන්නරය මුලු ජීවිතයම හරියට හදාගන්න උදව් වෙනවා නිසැකයි. හැබැයි ඔය හුගාක් ග්‍රේඩ් වලට වහල් වෙලා පලමු පෙල සමාර්ත පස්සේ දුවන සෙට් එකට නම් අන්තිමේ ඉතිරු වෙන්නේ පොතේ දැනුම විතරයි. ඒක නිසා පසුතැවීමක් ඇති වීම වලක්වන්න බෑ. අනේ මන්දා මේ මට හිතෙන හැටි.

    කැමතියි

  10. සත්‍ය වශයෙන් උපාධියක් තිබුණට ඒකෙ තේරුමක් නැහැ. අවශ්‍ය වන්නේ ලෝ තතු පිලිබඳව තීක්ෂණ නුවණක් පමණයි. ඒ නුවණ නැති අය මොන උපාධියක් ලබා ගත්තත් කිසි වැඩක් සිද්ධ වෙන්නෙත් නැහැ. සමහරු නුවණ පාවිච්චි කරල මුදලින් වත් පොහොසත් කම් ඇති ව්‍යාපාරිකයන් වෙනව. ඒකත්, උපාධියත් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. යමෙක් ආචාර්ය උපාධියක් ලබා ගත්තට සියල්ල දත් කෙනෙක් වෙන්නෙ නැහැ. ඔහු කර ඇත්තේ ලෝකයේ අංශ මාත්‍රයක් පමන වන දෙයක් පිලිබඳව යම් කිසි දෙයක් පවසා විභාග විනිසුරු වරුන් දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් සතුටු කොට ඔහුගේ අදහස පිලිගැනීම පමණයි. ඒ උපාධිය ලබා ගත් පමණින් ලෝක පූජිත විය හැකිද?

    කැමතියි

  11. අනේ මන්දා මට අනිත් හැම දෙයක් ම වගේ සාර්ථකත්වයත් සාපේක්ශයි කියලයි මට හිතෙන්නෙ..
    පොලේ එලවලු විකුනන මිනිහත්,පික් පොකට් ගහන මිනිහත්,බිල් ගේට්ස්,අයින්ස්ටයින් වගේම ඔබත් මමත් එකිනෙකාට සාපේක්ශ වෙනම සාර්ථකත්ව වලට එලඹිලා තියනවා..

    පොලේ එලවලු විකුනන මිනිහට ඊට වඩා වෙනත් දෙයක් ඕනි නැත්නම්,ඔහු ඉන්නෙ සතුටෙන්නම්,තව මොනවද ඕනි?….

    අනිත් කාරනේ බිල් ගේට්ස් වගේම ස්ටීව් ජොබ්සුත් ලෝකයේ ජනප්‍රියම මිනිස්සු. මට පේන විදිහට ඔබ සාර්ථක මිනිහෙක් කියලා සලකන්නෙ ලෝකයට වෙනසක් කරන්න පුලුවන් මිනිස්සු විතරක් කියලා..

    කොහොම උනත් මම මගේ සාර්ථකත්වය කියලා සලකන්නෙ පුලුවන් තරම් ඉගන ගන්න එක,ඒ උනාට මගේ සිහිනය ලෝකය වෙනස් කරන එක..ඔය දෙකේ වෙනසක් තියනවා තවත් පොඩ්ඩක් හිතලා බලන්න

    සමාවෙන්න පරන පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාපු එකට..

    කැමතියි

  12. ඉගෙන ගත්ත දේ මොනවා වුනත් හරි හැටි පාවිච්චි කරන්න….
    ape kattiya degree gaththata meka amathaka karanawa…..ekai aparade!!!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න