2011 ඔක්තෝබර් 08 : “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මිය යා නොදී බේරා ගතයුත්තේ ඇයි ?


නිධාන කතාව:

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් අවංක සාධාරණ රජකෙනෙකු දශරාජ ධර්මයෙන් රජකම් කරන කල්හි, එක්තරා නගරයකදී රජගෙදර සුරතලයට ඇතිකරන රජවාසල සුනඛයෝ දෙදෙනෙක් මස්කටුවකට පොරකෑමේදී එකෙක් අනෙකාගේ බෙල්ල හපා කා අනෙකා මළේය… මිය ගිය සුනඛයාගේ හපා කෑම් වලින් අනෙක් සුනඛයා ද අසාධ්‍යව පාරේ වැටී සිටීයදි රාජ සේවකයෝ ඒ සුනඛයා රාජකීය පශුවෛද්‍යවරයා වෙත ගෙනගොස් යන්තම් බේරා ගත්තේය…. පසුව ඒ සුනඛයා කෙමෙන් කෙමෙන් සුවය ලදී…. දෙදෙනාම රජගෙදර ඇතිකළ සුනඛයන් නිසා නොමැරී ඉතිරි වූ සුනඛයාට අනෙක් සුනඛයා මැරුවැයි යන වරදට නියපිටින්වත් පහරක් නොගසා නැවතත් යථාපරිදිම හැසිරෙන්නට ඉඩ දෙමින් බ්‍රහ්මදත්ත රජතෙමේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළෝය…

********************************************************************************************************

ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා

ජනතාවට සේවය කිරීම පිණිස පත් කරන නියෝජිතයන් තෝරන යුද්ධයේදී එකම පක්‍ෂයේ පාර්ශව දෙකක් වන “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සහ “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අතර වූ ද්වන්ධ සටනේදී මාරාන්තික වෙඩිපහරක් හේතුවෙන්  “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා දෙව්ලොව බලා ගොස් ඇත. රටේත් ජනතාවගේත් වාසනාවකට සහ ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්‍ෂකම නිසා “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා දැන් සුවය ලබමින් පවතින බව නිලි-නොවන (ඒ කියන්නේ අනුන්කෙලීගේ අනුමැතියකින් තොරව නිකුත් වූ පුවත්)  ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ලැබී ඇත…

මේ දෙදෙනාම යහපත් පැටිකිරියකින් යුතු දේශපාලන අතීතයක් ඇති පුද්ගලයෝ වෙති.  දෙදෙනොම මියගියා නම් රාජ්‍ය අනුග්‍රහය ඇති මළගෙවල් දෙකක් එකලඟ බලාගැනීමේ අවස්ථාව මහජනතාවට උදාවනු ඇත… ඊට වඩා දෙයක් මට නම් හිතාගන්නට නොහැක. බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ සිදු වූ අලකලංචියට සම්බන්ධ වූයේ මෙතුමා බව සමහරක් නොදන්නවා ඇත.. නමුත් මේ මහතා ජනතාවට බොහෝ සේ උපකාර කළ බවට නම් බොහෝ දෙනා පවසති. “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මුලින්ම කරළියට පැමිණියේ සිය පැරණි පෙම්වතියගේ ලාබාල නැගණිය අතවරයට ලක්කළා යැයි නැඟුනු අයුතු චෝදනා නිසාත්, දකුණු පලාත් පලාත්-සභා මන්ත්‍රිනී අනුන්කෙලී මැතිණිය හා සම්බන්ධ හුටපටයක් සම්බන්ධව එලිලවුන අභූත චෝදනා නිසාත්ය… ඒ මැතිතුමා ආණ්ඩුවට එක් වූයේ සිය සහෝදරයාගේ මාධ්‍ය සමාගම බේරාගන්නට යැයි විපක්‍ෂයේ ඇතැමුන් චෝදනා නැගුවද, ඇත්තෙන්ම කොළඹ ජනතාවට සේවය කිරීමට විපක්‍ෂයේ තැනක් නැතිවීම නිසා බව සැවොම දන්නා කරුණකි.

ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති දුමින්ද සිල්වා මැතිතුමා - ජනපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින්...

“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අනතුරුදායක තත්ත්‍වයෙන් මිදී ඇති බව දැනගන්නට ලැබීම සාමය අගයන සැමදෙනාටම සතුටු වියහැකි කරුණකි. අප සැම දෙනා දැන්ම ළඟම ඇති පන්සල් කරා ගොස් ඒ මහතාට ඉක්මන් සුව පතා බෝධිපූජා පැවැත්වීමත්, “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට නිවන්සුව පතා දාන-මාන පිංකම් ආදියත් සිදු කළ යුතුය…

“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට හේතු කිහිපයක් ඇත. පළමු වැන්න මිනිස් ජීවිතයක වටිනාකම හොඳින්ම දන්නා ඒ මහතා ඒ නිසාම බේරා ගත යුතුය. දෙවැන්න වන්නේ කොළඹ නගරයට සේවය කිරීමකට සිටින “දේශපාලන නායකයෙකු” (Political Leader) අකාලයේ මෙසේ මිය යාම සිදු නොවිය යුත්තක් නිසාය… (මේ කතාව කිවුවේ බොර දියෙහි මාළු බැම පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති ආචාර්ය දයාසොරි ජයසේකර මැතිතුමාය ) තෙවැනි කාරණය වන්නේ සිදු වූ සිදුවීම පිළිබඳ ප්‍රථම ගණයේ සාක්‍ෂියක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සහායෙන් “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සාහසික ලෙස ඝාතනය කළ අපරාධකරුවන් පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගැනීමට හැකි වීමයි… මෙයට පෙර ද රත්නපුරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නැගී එන තරුණ මන්ත්‍රීවරයෙකු වූ නාලන්ද එල්ලාවල මහතා සියදිවි නසා ගැනීම පිළිබඳ සාක්‍ෂි ලබා ගත්තේ එතැන සිටි එකළ විපක්‍ෂ මන්ත්‍රී සහ විපක්‍ෂ පලාත්සභා මන්ත්‍රී – දැන් ඇමති වරු වන සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක මැතිතුමන්ලාගේ සහයෙන් සහ එතැන හැංගී (සමහරු නම් කියන්නේ සරමේ චූ ගොස් ) සිටි ඩිලාන් පෙරේරා මැතිතුමන්ලාගේ සාක්‍ෂිවලින් වීම නිසා… මෙවැනි සිදුවීමකදී එවන් ප්‍රභූවරුන්ගේ සාක්‍ෂි අපරාධකරුවන් ඇල්ලීමට හෝ සිදු වූ සියදිවි නසාගැනීම පිළිබඳ පැහැදිලි සාක්‍ෂි ලබා ගැනීමට ඇති හැකියාව ගැන සලකා බැලීමේදී  “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට යෙදිය යුතු සෑම බලයක්ම ශක්තියක්ම යොදවා ගත යුතු බව මගේ හැඟීමයි..

***************************************************************************************************

දුමින්ද සිල්වා මැතිතුමාගේ හිසෙහි ස්කෑන් ඡායාරූපය

“ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා සැත්කම් කිහිපයකට භාජනය කළ බව සැළයි.. මේ අතර හිසට වැදුන වෙඩි පහරකින් මොළයට හානි වූවා දැයි සොයාගැනීමට කළ ස්කෑන් පරීක්‍ෂණයේ ප්‍රතිඵල අපට ලැබී තිබේ.. ඒ අනුව ඒ මැතිතුමාගේ හිසට වැදුන උණ්ඩයෙන් ඒ මැතිතුමාගේ මොළය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ස්කෑන් පරීක්‍ෂණය සිදු කළ වෛද්‍යවරයා අප සමග පැවසුවේය… වැරදීමකින් හෝ එම උණ්ඩය “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ මොළයට හානි පැමිණවූවා නම් සියළු මතකයන් සහ සිතීමේ ශක්තිය ආදිය මැකී යන්නට ඉඩකඩ ඇති බවද අපට ප්‍රකාෂ කළේය… එක් වෙඩි උණ්ඩයක් ඉවත් කළද, තවත් උණ්ඩයක් ඉතිරිව ඇති බව කියැවේ. මේ ඒ මැතිතුමාගේ මොළයේ සීටී ස්කෑන් ඡායාරූපයයි… නිල් පැහැයෙන් දැක්වෙන්නේ හිසෙහි සිරවී ඇති වෙඩි උණ්ඩයයි.

කවුරු කෙසේ කීවත්, වටිනා ජීවිතයක් මරණයෙන් බේරා ගැනීමට හැකි වීම පිළිබඳ අප සැවොම සතුටු විය යුතුය… ඒ මහතා ඉක්මනින් සුවය ලබා එනු ඇතැයි සියළුදෙනාගේ අපේක්‍ෂාවයි. භද්‍රකාලි දේවාලයේ බිලි පූජාවෙන් තම ජාතිය බේරාගත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට සෙත් පතා රට වටා බෝධි පූජා පැවැත්වූවා සේම, කළ හැකි අපමණ කුසල් රැස්කර පින් දී අප සැම “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරාගත යුතුය. අනාගතයේ රට භාර ගැනීමට, රට සංවර්ධනය කිරීමට ඇති මේ මැතිතුමාගේ චින්තන ශක්තිය රැකදේවායි අප සැම ප්‍රාර්ථනා කල යුතුය. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මාර්ගයෙන් නාථ දෙවියන්ගේ සහ අප රටට අධිගෘහිත සියළුම සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආනුභාවයෙන් අඥාවෙන් හෝ ලක්මවගේ අනර්ඝ පුත් රුවනක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගත යුතුය. එතුමාගේ සැත්කම් කළ වෛද්‍යවරුන්ට උසස්වීම් ලබා දී දේශමාමක භූමිපුත්‍ර සම්මාන පුද පඬුරු වලින් සුම්පූජිත කළ යුතුය…..

ඇත්තෙන්ම සිදු වන්නට ඇත්තේ මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු අධීක්‍ෂණයට පැමිණි දුමින්ද සිල්වා මැතිතුමාට සැඟවී සිටි ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම වන්නට පුළුවන.. මේ දුටු භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඒ ත්‍රස්තවාදියා පිටුපස හඹා යත්දී ඔහු දිගට හරට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කරන්නට ඇත…. එසේ නැතහොත් ත්‍රස්තවාදියා සොයාගත නොහැකිව හිස් අතින් ආපසු පැමිණි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සිය මිතුරා මිය යන්නට ඇති බව සිතා  දුකින් සහ කෝපයෙන් දුමින්ද සිල්වා මැතිතුමා බේරා ගැනීමට නොහැකි වූ තමන්ගේ ආරක්‍ෂකයින් දෙදෙනාටත් වෙඩි තබා තමන් ද සියදිවි හානි කරගන්නට ඇත….

නාථ දෙවියනි… ඔබවහන්සේ රට ජාතිය ආගම අනතුරට පත් වූ අවස්ථාවල (ඔබවහන්සේට අමතක නම් – මාවිල් ආරුවට රුදුරු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙත්දී එයට එරෙහිව සැලසුම් සකස් කිරීමට උදවු දීම – පානීය ජලයේ ආසනික් ඇති බවට මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පෙන්වා දීම වැනි මහා ප්‍රාතිහාර්යයන් කළාක් මෙන්), “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සිරුරේ ඉතිරිව ඇති උණ්ඩ කොටස් ඇති ස්ථාන පෙන්වා දී, එතුමාට සිදුකළ යුතු සියළු ශල්‍යකර්ම ආදියට උපදෙස් දී එතුමා මේ අභාග්‍ය සම්පන්න තත්ත්‍වයෙන් මුදවාගනු ලබනු මැනවි..

ප:ලි: මේ සටහන දේශපාලන වාසි තකා තමතමන්ගේ වෙබ් අඩවි වල මාගේ අවසරයකින් තොරව පළකිරීමෙන් වලකින්න…

ඊටත් ප:ලි:  ඇත්තෙන්ම දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු… ! කවුරු වුනත් මනුස්සයෙක් නේ…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 8, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 27.

  1. මේක තමයි ලංකාවේ අශ්චර්ය ඇල්කේමියෝ….
    නිතිය බල්ලට ගිහිල්ලා… බල්ලා රට ගිහිල්ලා.. ඔකැ නොවැ වෙලා තියෙන්නේ..
    පෝස්ට් එකනම් සුපිරි

    කැමතියි

  2. ඇලෝ රටින් පිට ඉන්න හින්දම හොදයි, 🙂
    මනුස්සයෝ කියලා අනුකම්පාවක් නම් හිතෙන්නෑ

    කැමතියි

  3. ඇල්කෙමියෝ බය වෙන්න දෙයක් නැහැ. දැන් ආන්ඩුවට තිබුන තවත් ප්‍රශ්න කීපයක් විසදුනා. ඒ තමයි එක මැරයෙක් ඉවරයි. ( හැබැයි සාපෙක්ෂව වඩා හොඳ එකා) ඊලඟ ප්‍රශ්නෙ අපේ වීර සිංහල අර මාතර විජේසේකර ධීමතානන්ට දැන් පාලුවට කෙනෙක් ලැබුනා. අගෙයි දෙන්න චැටක් දාගෙන ඉදියි. දිට්ට ධම්මවේදනීය කම්ම.

    කැමතියි

  4. “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට හේතු කිහිපයක් ඇත.”
    මෙකත් එක හෙතුවක්;

    රට තුල මත්ද්‍රව්‍ය වෙලදාම අඩපණ විය හැකි බැවින්.රට හදනවා කිය කිය රට කන හැතිකරේ.තුක් නොදකින්

    කැමතියි

  5. දුමින්ද සිල්වාගේ ස්කෑන් එකනම් මරුය. පට්ටම විසාල මොළ ගෙඩියක් ඇති බව පෙනේ 😀

    කැමතියි

  6. ඇල්කෙමියට ජයවේවා. නියමෙට ලියලා තියෙනවා. ඇල්කෙමියා හරි. මේ මැතිතුමා මලොත් කවුද ලන්කාවෙ ආරක්ශක අධීක්ශක වෙන්නෙ.

    කැමතියි

  7. මේ ගොල්ලන් ගේ මොලේ පොඩියි කියලා හිතන එක තමයි අපි කරගන්න ලොකුම වරද!

    කැමතියි

  8. නියමෙට ලියලා තියනවා. ඒත් අන්තිම වාක්‍යට මම කැමති නෑ. මොකද එකෙක් බේරා ගත්තොත් තව කී දෙනෙක් වල කජ්ජ ගස්ස වාවිදැයි කිව නොහැකි නිසාය

    කැමතියි

  9. බේරා ගැනීම තනිකරම ඇත්තේ දොස්තර වරු අතේය. හැබැයි කොච්චර දොස්තරලා හිටියත් හැමවිටම ගොඩ ඒමට නොහැක. එසේම ඔළුවට වෙඩි 3 වැදී ඇති පුද්ගලයෙක් සම්පුර්ණයෙන් ගොඩ ඒමද දෙවියන්ටම බාරය.
    කෙසේ වෙතත් දුමින්ද තුමා ගොඩ ගැනීමට අනුදුවට ඇති හේතු කිහිපයකි.
    කොළොඹ මුඩුක්කු ජනතාව හා සමීප විය හැකි සල්ලිකාරයෙක් වීම ප්‍රධාන හේතුව විය හැක

    කැමතියි

  10. ඇල්කෙමියට ජයවේවා.පෝස්ට් එකනම් සුපිරි

    කැමතියි

  11. තව මරණ කීයක් හෙට අනිද්දාට අහන්න වෙයිද දන්නේ නෑ.

    කැමතියි

  12. කොළඹ ඉන්න ඔක්කොම කොළඹින් එළවන්න. බලාගෙන ගියාම වැඩි හරියක් චන්දෙ දීලා තියෙන්නෙ යූ ඇම්පියට. මුං ඔක්කොම කුඩ්ඩෝ. කුඩු පැකට් සාක්කුවලට ඔබලා හරි හිරගෙට යවන්න.කොළඹ පදිංචි කාරයෝ එකෙක් වත් තියන්න එපා. එතකොට හරි! ..හි.. හි.

    කැමතියි

  13. ඇඟේ හැටියට ඉන්නලේකට ජුන්ඩිත්තක් ලොකු අලගෙඩියක් ඔය දියපුහුල අස්සෙ තියෙනව කියල සොයාගත්ත එකත් ලොකු දෙයක්…… අත්තටම ඇල්කෙමියො අර රතුපාටින් කිවුව්ව දේ තමයි සිද්ධ වෙන්න අත්තෙ…… දෙන්නම ජහමනතාවට අප්‍රමානව ප්‍රේම කොරපු සුපිරිසුදු දේසපාලනෙ යෙදිච්ච දෙන්නෙක්නෙ…..හප්පා……. මහරජානන්ගෙ අත්දෙකයි තව එකකුයි කැඩුන වගෙයි….අත්තටම ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමතිතුමන්ට මක්ක හරි උනොත් අර අන්තහ්පුරේට මක්කවෙයිද…… දුකේ බෑ අප්ප මහරජානන්……

    කැමතියි

  14. මිනිහෙක්ට කෙල උනහම උඹලට හෙන අතල් නේද බන් උඹල මාර මිනිස්සු බන්. සන්තෝස වෙයල්ලා මොකද උඹලත් සිංහල බෞද්ද නේ. සන්තෝස වෙලා හිතපල්ලා තව ඔය චූන් එක කී පාරක් ගන්න පුලුවන්ද කියල. ඒ ලිස්ට් එක හදල උන්ටත් ඔය වගේ උනොත් අතල් ගන්න හෙටි හිත හිත සන්තෝස වෙයල්ලා.

    කැමතියි

    • මනුස්සයෝ,
      දැන් කොතැනද අපි සන්තෝස වෙනවයි කැයලා හිතෙන්නේ ? මේ කිසිම තැනක මේ මහත්වරු දෙන්නා මරාගත්තා කියලා අපි සන්තෝස වෙනවා කියලා ලියලා තියෙනවා ද? නැහැනේ…
      ඔය චූන් එක ගන්න ලිස්ට් එකක් හැදුවොත් ඉතිං 225 ක්ම ඉන්නේ… මොකෝ ඔය කස්ටිය දියවන්නාවෙ දිය කෙළියයි කියලා අපිට වැඩක් තියෙනවා ද ? උන්ගේ පරම්පරා වලට මිසක්…. කරන්න ඕනතරම් දේවල් – අවස්ථාව තියෙත්දිත් එකෙක්වත් අවංකව වැඩක් කරනවා ද ? නැහැනේ….

      කැමතියි

  15. ඉතින් කියපල්ලා බලන්න කවුද මුන්ට චන්දෙ දුන්නේ කියලා……..?

    කැමතියි

  16. අපි සියලුදෙනාම මිනිසුන්ය. නොමිනිස් වෑඩ සෑම මිනිසකු අතින්ම සිදුවිය හෑකිය. ඒ කෙසේ උවත්, දෑනටමත් ජීවිතයක් නෑතිවී හමාරය. එවන් අවස්තාවකදී මිනිසුන් හෑටියට අපි ඉතාමත් සන්වේදී විය යුතුය. මන්දයත් මෙවෑනි සිදුවීමක් හෙට දිනයේදී ඔබ හටද සිදුවීමට හකියාවක් අති බවිනි.

    කැමතියි

  17. මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා රැගත් වාහන සිද්ධිය වූ ස්ථානය කරා ගෙනවිත් මෙම ගැටුම ඇති කිරීමට යම් පිරිසකගේ සැලසුමක් තිබුණ ද යන්න හෙළිකර ගැනීමටද පරීක්ෂණ පවත්වන නිලධාරීන් අවධානය යොමුකර තිබේ.

    http://www.dinamina.lk/2011/10/11/_art.asp?fn=n1110113

    ඔන්න බලන්න මේ දෙන්නා කිඩ්නැප් කරල අර SAW එකේ වගේ දෙයක් මේ කරල තියෙන්නෙ. නැත්නම් ආණ්ඩුවේ උපදේසකයො මෙහෙම කොරයිද?

    කැමතියි

  18. මොනවා වුනත් ඉතුරුවුන දඩෝරියා විදවලා මැරෙන්න ඕන බවුවෙක් එකයි වන් ෂොට් නොකවුට් වෙන්නේ නැතුව ඉතුරුවුනේ දිට්ට දම්ම වේදනීය කම්ම කියල දේකුත් තියනවා නොවැ

    කැමතියි

  19. @මනුස්සයා
    ආනමාළු නව්පර් සහ වම්බොට්ටා මනුස්සයො නෙමෙයිද? ඒ අය වගේ මේ කුඩ්ඩාවත් ආයුධ පෙන්නවන්න එක්ක නොයන්නේ ඇයි? ගෝටා පාතාලෙ සුද්ධ කරනවා කිව්වෙ, සුද්ධ කරලා හිංගල-බෞද්ධයන්ට බාරදෙන එකට වෙන්න ඇති.

    කැමතියි

  20. මෙයින් එක් දෙයක් පැහැදිලිවේ. එනම් දුමින්ද (මහතා ) ට මොළයක් ඇති බවය.
    මෙම ලිපිය ඊරිසියාවෙන් – ඇනුම් පද සහිතව- ලියා ඇති බව පෙනී යයි.
    මේ මහත්වරු එකිනෙකා මරා ගනිමින් මේ දඟලන්නේ ජනතාවට සේවය කිරිමට නොවේද ? ඒ බව නොතේරුම් ගැනීමෙන් පෙනී යන්නේ ඇල්කෙමියාට දුමින්ද මැතිතුමාට මෙන් මොළයක් නැති බවය.

    කැමතියි

  21. moka nathath mole pramanaya dakkama kudu vikunanawa hara wena deyak karanna tharam mole naha kiya penawa.

    කැමතියි

  1. පින්ග්කිරීම: Bharatha Lakshman killed in shooting. Duminda Silva injured. - Page 3

  2. පින්ග්කිරීම: අපේ ජනාධිපතිතුමාට සීතාම්බර පටසළුවක් ඇන්දෙවුවේ කවුද ? නොහොත් ආණ්ඩුව හොරු සමඟ හෙළුවෙන්…………

  3. පින්ග්කිරීම: 2011 දෙසැම්බර් 19 : හොරු සමඟ හෙළුවෙන්… ලාංකීය දේශපාලනයේ පැහැබර අනාගතය « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist'

ප්‍රතිචාරයක් ලබාදෙන්න