දුමින්ද සිල්වා ගැසුවේ රාජපක්‍ෂ පාලනයේ මිනී පෙට්ටියට ගසන පළමු ඇණයද ?


මිනී හතරක් මරාගෙන ඡන්දය අවසන් වුනේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවමිනි… ඩලස් මහත්තයා ඇතුළු පාණ්ඩු අක්‍ෂයේ කට්ටියගේ ඇස් ඇරේව්වේ “ජනාධිපති උපදේශක” සහ “ආරක්‍ෂක අධීක්‍ෂක ඇමති” ගේ ද්වන්ධ සටනෙන් ආරක්‍ෂක උපදේශක ඇමති ජයග්‍රහණය කිරීමෙනි… අවාසනාව වන්නේ ඩලස් මහත්තයාම තමන්ගේ ආණ්ඩුව ඔවුන් ඇණකොටා ගන්නා බව දැන දැනත්, මනාප කෑදර කම නිසා තරවටු නොකිරීමය… එසේත් නැතහොත් හොරට නිසාගෙන සිටීමය……ඒත් තවමත් ඇස් ඇරී නැත…. රනිල් මහත්තයා ඇතුළු විපක්‍ෂයේ කට්ටියගේ ඇස් ඇරෙව්වේ මුසම්මිල් මහතා කොළඹ නැවත වතාවක් කොළපාට කිරීමෙනි… සාමාන්‍යයෙන් කොළඹ කොළපාටින් පිටට නොගියත්, බොහෝ දෙනා සිතා සිටියේ මේ වතාවේ කොළඹට කෙළවේවි යැයි සිතාය… කොළපාට කට්ටියත් හිතා සිටියේ එසේමය… වැරදීමකින් නැවත කොළඹ කොළ පාටට හැරිණි… මෙය වැරදීමකින් වුනත් බොහෝ දෙනාට හිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත…

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍දු මහතාට වෙඩි තැබුවේ පාතාලයේ දෙදෙනෙකු යැයි දිවයින පුවත්පත වාර්තා කරනවා. එසේම භාරත ලක්‍ෂමන් මහතාගේ රියැදුරු පවසන්නේ වෙඩි තැබීම කළේ දුමින්ද සිල්වා මහතා බවයි. ඇසින් දුටු ප්‍රථම ගනයේ සාක්‍ෂියක් වන ඒ සාක්‍ෂිය අභිබවා යන්නට පාතාලයේ පුද්ගලයින් එතැනට නිකම්ම ගිණි අවි රුගෙන යනවා නම් ලංකාවේ ආරක්‍ෂාව ගැන කියන්නට දෙයක් නැත. පාතාලයේ පුද්ගලයින් දුමින්ද සිල්වා මහතා හෝ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද මහතා හා ගමන් කළේ නම් ඒ ගැන පුදුමයක් ද නැත. දෙදෙනාම (කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා) පාතාලයේ සම්බන්ධකම් පිළිබඳ නම් දරා ඇති “මහතෙකු” නිසාය. මේ මැති ඇමති වරුන්ගේ පාතාල සබඳතා සෙවීමට හමුදාවට වැඩේ බාර දෙනවා යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියන්නේ හරියට අස්පයා ඉස්තාලෙන් පැන්නට පසු ඉස්තාලෙට සීල් තැබුවා මෙන් ඉතාම කාලෝචිත තීරණයකිනි…. කෙසේ වුනත් ඒ මහතා මැරිච්ච භාරතට පෙර ජීවත්ව සිටින දුමින්ද බැලීමට යාමෙන් රටටම ආදර්ශයක් ලබා දුන්නේ  ජීවිතය නිතරම මරණයට වඩා වැදගත් බව පෙන්වමිනි.. (තවත් සමහරු මුලින් ගියේ මැරිච්ච භාරත බලන්නලු)

හැමදාම නානවා....

රතු පාට කට්ටිය අන්තෝ ජටා වෙත්දී සපෝටර් ලා කාට දෙන්නද කියා හිතා ගන්නට බැරිව ලතැවුනේලු… සෝමවංශ පප්පා රනිල් මහතාගේ ආදර්ශය අරගෙන “මම මළත් මෙතැනින් එළවන්නට බැරි” යැයි පුරසාරම් දොඩවමින් සිටී… පසුගිය මැතිවරණයක මන්ත්‍රී ආසන 41 ක් දිනා ඉන් තුනක් පරිත්‍යාග කරන්නට තරම් ශක්තිමත් පක්‍ෂයක් වූ ඔවුන් දැන් කුළල් කාගන්නේ දෙකේ පන්තියේ ළමුන් බිස්කට් එකකට රණ්ඩු වනවාට වඩා අන්ත ලෙසිනි.. සැමදා පරාජය උරුම රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ලැබුවේ අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. සිය ප්‍රතිවාදියා (තමන්ගේම පක්‍ෂයේ) වන සජිත් ප්‍රේමදාස මහතා පණ දාගෙන හම්බන්තොට සංවිධානය කළත්, ජය ගන්නට බැරි වීම (මොනවා කරන්නද අප්පා) නිසාම තවත් වතාවක් සිය නායක කම තහවුරු කරගන්නට ඒ මහතාට හැකි වීම කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය දිනුවාටත් වඩා ඒ මහතා ලැබූ ජයග්‍රහණයයි. (මෙය රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක කමේ තබා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා හිතා මතා කළ කොම්පියුටර් ජිල්මාට් එකක් වන්නට ද බැරි නැත). කෙසේ නමුත් දැන් මැතිවරණය හමාරය.. දැන් කළ යුත්තේ මේ ලබා ගත් ජයග්‍රහණ සහ පරාජයන්ගේ ප්‍රතිඵල තමන්ට ඡන්දය දුන් ජනතාවට ලැබෙන්නට සැලැස්වීමයි. (කවුරු දිනුවත් හැමදාම පරාජය වන ජනතාවට යම් ජයග්‍රහණයක් හෝ ලබා දේ නම් එය යපහපත් කටයුත්තකි)

කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ වහාම නගරයේ කුණු ඉවත් කිරීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය අයින් වෙනවා යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ මන්දැයි වටහා ගත හැකි සහ නොහැකි කාරණයකි. මේ රට ආණ්ඩුවේ වත් විපක්‍ෂයේ වත් නොව ජනතාවගේ රටක් බව මේ තීරණ ගන්නා බොහෝ දෙනා අමතක කර දමා ඇත. මේ තීරණ වලින් පලි ගන්නේ කාගෙන්ද ? මොන පක්‍ෂය දිනුවත් කොළඹ නගරය පාලනය වන්නේ එක් අධිකාරියකින් විය හැකි බව දැනටමත් ඩලස් ඇමතිතුමා සහ රඹුක්වැල්ල ඇමතිතුමා ඉඟි පාමින් සිටිති. එසේ නම් මේ කාරණය සඳහා හොඳ කඹ ඇදිල්ලක් බලාපොරොත්තු විය හැකිය…. මේ කඹ ඇදිල්ලෙන් නැවතත් අසරණ වන්නේ කොළඹ ජනතාවයි..

මේ ජයග්‍රහණයත් – පරාජයත් ආණ්ඩුවට සහ විපක්‍ෂයට වැඩ පෙන්වීමේ හොඳ අවස්ථාවක් කරගතහැකිය… ආණ්ඩුව මොනවා කිවුවත් කළත්, කොළඹ නගර සභාවෙන් ඉටුවිය යුතු සේවය කොළඹ ජනතාවට නිසි ආකාරයෙන් ලබා දිය හැකි නම් රටේ පාලන බලය වුවද නැවත වතාවක් ලබා ගැනීමේ පළමු පියවර මෙතැනින් තැබිය හැකිය. එසේම කොළඹ නගර සභාව කුමක් කළත් කොළඹ ලස්සන කිරීම සහ වෙනත් සුභසාධන වැඩකටයුතු පෙර පරිදිම කරගෙන යාම මගින් ජනතාවට සුභසාධන සැපයීමෙන් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ අවස්ථාව රජයට ද හිමි කර ගත හැක. නමුත්…. මෙසේ පරාර්ථකාමීව සිතා ජනතාව වෙනුවෙන්  වැඩ කිරීමේ හැකියාවක් මේ දෙකොටසටම ඇත්ද යන්න ඉදිරියේදි අපට දැක බලා ගත හැක….

පිස්සු නටන කට්ටිය මට්ටු කරන්න පුළුවන් ද ?

බොහෝ දෙනා මහින්ද රාජපක්‍ෂ නම් වූ පරිණත දේශපාලනඥයාට පළමු ජනාධිපතිවරණයේදී  ඡන්දය ලබා දුන්නේ ඔහුගේ ජනප්‍රිය පොරොන්දුව වූ යුද්ධය අවසාන කරනවා යන පොරොන්දුව දෙස බලාගෙනය. රනිල් සහ විපක්‍ෂය මොනවා කිව්වත්, ප්‍රභාකරන් ට මිලියන 800 ක් ලබා දී ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කළා කිව්වත්, ජනතාව බලා සිටියේ එක් දෙයක් ගැන පමණි: දිගුකල් පවතින සාමයක් – නිවි සැනසිල්ලේ මරණ බය නැතිව ජීවත්වියහැකි වාතාවරණයක් පමණි. බලාපොරොත්තු වූවා සේම එය අපට ලැබිණ. කෙතරම් දුෂ්කර කාර්යයක් වුවද – රාජපක්‍ෂ සොහොයුරෝ (සමහරු කියන පරිදි සමාගම – මීයන් අල්ලනවා නම් බළලා මැටියෙන හැදුවත් අපට කම් නැත) විදෙස් සහ දේශීය බලවේග සියල්ල  පරදවා අප රටට කෙසේ හෝ සාමය උදා කර දුනි… එයට අනේක වාරයක් ස්තුතියි. යුද්ධය මෙහෙයවූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගෙට යැවීම වෙනම කතාවක් වුවද, දැන් දැන් එළිවන සමහර තොරතුරු අනුව සමහරවිට එය නොකර බැරිවන්නට වැඩ සැලසෙන්නට ඇත. (සරත් ෆොන්සේකා ගැන සෙන්පතියෙකු ලෙස මා තුළ ගෞරවයක් ඇතත් දේශපාලනයට ඔහු නුසුදුසු බව මගේ පෞද්ගලික හැඟීමයි)

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මිනිසුන් දෙවන වර ඡන්දය ලබා දුන්නේ ශ්‍රී ලාංකිකයා කළගුණ දන්නා -සහ රටට සාමය උදාකර දුන් සේනාධිනායකයා නිසා ම පමණක් නොවේ… එසේ දිනා දුන් රට නැවත වරක් සංවර්ධනය කර, ජනතාවට සහනයක් සැලසේ යැයි පරම අධිෂ්ඨානය ඇතිවයි. අවුරුදු 30 ක් තිස්සේ ජනතාව පටි තද කරගෙන සිටියේ, රජයකට ඇති ආදරේකට නොව රටට ඇති ආදරය නිසා බව කිසිදු ආණ්ඩුවකට තේරුම් නොයාම කණගාටුවට කරුණකි. (දේශපාලනඥයන්ට මේ සංකීර්ණ කරුණු තේරුම් ගැනීමට තරම් මොළයක් නැති බව බොහෝ දෙනා දනිති).. මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් බලයට පත් වූ පසු රජයට අවශ්‍ය වූයේ ව්‍යවස්ථාව ජනතාවට හිතකර පරිදි වෙනස් කිරීම  සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමයි… ජනතාව එය ද හැකි පමණින් ලබා දී තවත් (අවස්ථාවාදී) මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මුදලට ලබාගෙන කෙසේ හෝ ආණ්ඩුව 2/3ක බලයක් අත්පත් කරගනිත්දී පවා ජනතාව සිතුවේ තමන්ට දැනෙන යමක් ආණ්ඩුවෙන් ලැබෙයි කියා ය.

2/3 ක බලයක් ගත් ආණ්ඩුව කළේ මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත වරක් ජනාධිපති වීමේ බාධකයක්ව තිබූ ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කර තමන්ට ඇවැසි පරිදි දේශපාලනඥයන්ගේ හෙංචයියන්ට තනතුරු ලබා දීම විනා ජනතාවට දැනෙන යමක් නොවේ. තුනෙන් දෙකක ජනවරම ලබා ගත් අවස්ථාවේ පවා ආණ්ඩුව බොහෝ ඉහල තනතුරු වලට පත් කළේ වැඩක් කළ හැකි, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති බුද්ධිමතුන් නොව ආණ්ඩුවට කත් අදින එහෙයියන් රැලක් බව දැන් මේ ආයතන බොහොමයක සිදු වන දෑ වලින් මනාව පෙනේ… අධ්‍යාපන අමාත්‍යංශය එහෙම පිටින්ම මඩ ගොහොරුවකි – හරියකට විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව ව්‍යාකරණානුකූලව හදාගන්නට බැරි අධ්‍යාපනඥයින් පිරිසක් දැන් බිහිව ඇත්තේ මේ රජයේත් ඉහත තිබූ රජයන්ගේත් “තමන්ගේ කට්ටියට බෙදීමේ” කලාව නිසාය. රට සහළින් ස්වංපෝෂිත වුනත් හාල් මිල අඩු නොවන්නේ වෙළඳ ඇමති අකාර්යක්‍ෂම නිසාද නැතහොත් ඇමති ඇතුළු නිලධාරීන් හාල් මෝල් හිමියන්ගේ පගාවට යටවී ඇති නිසා දැයි නොදනිමු…. උතුරු නැගෙනහිර වගා බිම් සංවර්ධනයත් සමග වෙළඳ පොළට පැමිණි හාල් සහ එළවළු අතිරික්තය හරි හැටි පාලනය කරගන්ට බැරි වූ ආණ්ඩුවකි මෙය… පසුගිය කාලයේ දඹුල්ල වෙලඳ සංකීර්ණයේ එළවළු සහ පලතුරු අතිරික්තය ඉවත දැමීමෙන්ම අපේ කට්ටියගේ පරිපාලන හැකියාවන් (Management skills) මනාව දැකබලා ගත හැකිය. ආණ්ඩුව මහා ලොකුවට අඬබෙර ගසා ගොඩ නැංවූ ගල් අඟුරු බලාගාරයන් විවෘත කළ අළුතම අළුත්වැඩියා සිදු කරන්නට සිදු වීම, වැස්ස අඩු වූ කාලයේ විදුලිබලය විසන්ධි කිරීමට සිදු වීම ආදී බොහොමයක් කරුණු ඒ පැත්තේ ප්‍රගතිය ද මනාව පිළිබිඹු කරයි.

සොඳුරු අතීතයේ නිමල පැතුම

සංස්කෘතික වශයෙන් රට ගොඩගැනීමට රූපවාහිනියේ මත්පැන් දුම්වැටි පාවිච්චි කරන විට කොටු දැමීම/ දැන් දැන් උපදේශන දැන්වීමක් දැමීම වැනි දේ කළත්, පවුල් අවුල් – රණ්ඩු සරුවල් සහ දාමරික ක්‍රියා සහිත කසිකබල් ටෙලි නාට්‍යවලට කිසිදු තහනමක් මේ ළඟක් වනතුරු තිබුණේ ද නැත. ඒ කෙසේ වෙතත් ස්ත්‍රී දූෂණ – ළමා අපචාර සහ දිනකට සිදුවන ගබ්සා සංඛ්‍යාව (800 +) ආදී සංස්කෘතික පරිහාණික සිදුවීම් වල කිසිදු අඩුවක් ද නැත. ලෝක ආර්ථික අර්බුධය හමුවේ ලංකාව තරමක් හෝ නොවැටී සිටියේ ලාංකිකයා තවමත් “ණයට ගෙන කෑම සහ ජොලි කිරීම වෙනුවට” ආදායමට සරිලන ලෙස දුකසේ ජීවත්වීම පුරුදු කර තිබීම නිසා යැයි මට සිතේ. කෙසේ නමුත් රජයේ අනවශ්‍ය වියදම්, මිහින් ලංකා වැනි පෞද්ගලික සුදු අලි ආදී කටයුතු ද – වර්ග කිලෝමීටර 65610 ඇතුලත අභ්‍යන්තර ගුවන්තොටුපලවල් 10 ක් පමණ ඇති කිරීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු නිසා ජනතාවට ලැබිය යුතු බොහෝ සහන නොලැබී යාම, රජයට දැරිය නොහැකි තරමේ අනවශ්‍ය ලෙස විශාල ඇමති මණ්ඩලයක්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල ආදිය නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ ඒ වැයකළ මුදලේ ප්‍රතිලාභ ජනතාවට නොලැබීම ආදී දේ නිසාම ආණ්ඩුව කෙරෙහි වන ජනතා අප්‍රසාදය කෙමෙන් කෙමෙන් දළුලමින් පවතී… දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය, උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු ආදියෙහි ප්‍රගතිය ගැනද මේ අවස්ථාවේ පැසසිය යුතුමය.

කිසිවෙකු එළිපිට කතා නොකළත්, දැන් දැන් බොහෝ දෙනාගේ අදහස වනුයේ “අපූරුවට හදන්න තිබුණ රට මුං ටික එකතු වෙලා කනවා” යන ආකල්පය පමණි. පසුගිය වතාවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් බොහෝ ග්‍රාමීය ජනතාව දැන් දැන් පවසන්නේ වෙන මොකා ආවත් ඡන්දෙ දෙනවා යන්න බව පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන ප්‍රතිපත්තිය වන “ජනතාවට ආණ්ඩුව එපා වූ පසු ඒ අප්‍රසාදය හරහා බලයට ඒමේ” පරාජිත ජයග්‍රහණය කවදා හෝ සැබෑ වන සෙයක් කොළඹ නගර සභාවේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කිරීමට පටන් ගෙන ඇත. කොළඹ එජප බලකොටුවක් වුනත් බොහෝ දෙනා සිතුවේ කොළඹත් ආණුඩුව ජය ගනී කියායි. කිසිදු ආණ්ඩුවකට 100% ක් හොඳ ඇසිය නොහැකි වුවත්, යුද්ධය ජයග්‍රහණය කිරීමේ හේතුව මත මේ ආණ්ඩුව බොහෝ කලක් බොහෝ මැතිවරණ සංඛ්‍යාවක් ජයග්‍රහණය කළේය. එසේ වුවත් කිසිම කෙනෙකු හැමදාම රැවැට්ටිය නොහැකි සේම, ජනතාවට ද දැන් දැන් ආණ්ඩුවේ සත්‍ය ස්වරූපය අවබෝධ වෙමින් සිටින ආකාරයක් දැකිය හැක. ප්‍රේමදාස ආණ්ඩුව අවසාන කාළයේ ජනතාවට අප්‍රිය වූවා සේම මේ ආණ්ඩුවද ජනතාවට අප්‍රිය නොවීමට නම් නීතිය-සාමය කාටත් එක ලෙස නිසි ලෙස ක්‍රියාත්මක කර, ජනතාවගේ ජීවන බර යන්තමට හෝ අඩුකර ජනතාවට ජීවත්විය හැකි තත්ත්‍වයක් උදා කර දිය යුතුය. කොළඹ ගොස් නැවත පණපිටින් ගෙදර ඒම යථාර්ථයක් වූවා සේම කන්න අඳින්න හරිහැටි ඇතිව, දරු මල්ලන්ට හරි අධ්‍යාපනයක් ලබා දී උන්ට යහපත් අනාගතයක් ඇති කිරීමේ සිහිනය ද අපේ ජනතාවට සැබෑ කර දිය යුතුය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍දු මහතාගේ දියණිය හිරුණිකා විසින් ඒ මහතාගේ අවමංගල්‍ය උළෙලේදී සිය පියා වෙනුවෙන් සාධාරණය ඉටු වනතෙක් සටන් කරනවා යැයි පැවසූ දේම මේ තත්ත්‍වයේ සැබෑ තතු පෙන්වා දෙයි. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මහතා මරා දැමුවේ කොටි වත් විදේශ බලවේගයක්වත් නොවේ. තමන්ගේම පක්‍ෂයේ තමන්ගේම නගර සීමාවේ සංවිධායක, ආණ්ඩුවේ ප්‍රධාන නිලයක් දරන වගකිවයුතු පුද්ගලයෙකු සහ/හෝ ඔහුගේ ආරක්‍ෂකයෙකු අතිනි. මේ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු වීම ම අපේ දේශපාලනයේ වර්තමාන පරිහාණිය මනාව පෙන්වා දෙයි. අවාසනාව වන්නේ දුමින්ද සිල්වා මහතා හෝ භාරත ලක්‍ෂමන් මහතා යන දෙදෙනාම අනුන්ගේ මනාප පොරය වෙනුවෙන් සටනට යාමයි. යුද්ධය පැවති කාළයේ නම් ආරක්‍ෂකයන් පිරිවරාගෙන ගමන් කළද, දැන් ආණ්ඩුවම කියන පරිදි රටේ සාමය පවතී නම් මේ පුද්ගලයන්ට කුමන ආරක‍්ෂකයන් ද? කාගෙන් ආරක්‍ෂා වීමටද ? එසේ නමුත් කකුස්සියක් විවෘත කිරීමට ගියත් , මොවුන් පාතාල සාමාජිකයින් දුසිම් ගණන් පිරිවරාගෙන මහේශාක්‍ය ලීලාවෙන් ජනතාව අතර සැරිසරති. පාතාලය සහ දේශපාලනය එකම කාසියේ දෙපැත්තයි. පාතාලය නැතිව දේශපාලකයාටද, දේශපාලකයා නැතිව පාතාලයටද පැවැත්මක් නොමැත. මේ නිසා රජය විසින් පාතාලය නැති කරන්නේ යැයි කෙතරම් වහසි බස් දෙඩුවත්, එය කවදා වත් නැති නොවන්නේ රජයේ අනුග්‍රහය ලබන පාතාල සාමාජිකයන් යහතින් සිය ජීවිකාව කරගෙන යන බැවිනි. ප්‍රතිවාදී පාතාල සාමාජිකයන් ආයුධ පෙන්වන්නට ගොස් සියදිවි නසා ගනිත්දී දේශපාලකයන්ගේ රැකවරණය ලබන පාතාල සාමාජිකයන් ජනතා බදු මුදලින් සහ කප්පම්- කුඩු- කසිප්පු සහ වෙනත් අයථා ක්‍රම වලින් මුදල් උපයාගෙන යහතින් ජීවත් වෙති. නාලන්ද එල්ලාවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ට ඇමති කම් ලැබෙත්දීත් රටේ ජනතාව කට පියාගෙන සිටියේ බයට නොව පිළිකුලට විය හැකිය…

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කල අවස්ථාවේ රටේ ප්‍රධාන වගකිවයුතු දේශපාලනඥයන්, ප්‍රභූවරුන් ඇතුළු බොහෝ දෙනා මරණීය දණ්ඩනය නැවතත් ක්‍රියාත්මක කරන්නැයි හඬ නැගූහ. එල්ලුම් ගසට පකිස්ථානයෙන් අළුතෙන් කඹයක් ගෙනා අතර අළුගෝසුවා ද සම්මුඛ පරීක්‍ෂණයකින් අනතුරුව පත් කළා යැයි දැනගන්නට ලැබිණ. අළුගෝසු තෙමේ කිසිම වැඩක් නොකර පඩි ගැනීම වැරැද්දක් නොවුනත්, මරණීය දණ්ඩනය ලැබ එය ක්‍රියාත්මක කළ යුතුව ඇති අපරාධකරුවන් බොහෝ දෙනෙකු අපේ බදු මුදල් වලින් කකා අපරාධකරුවන් පුහුණු කරමින් බන්ධනාගාර වල ජීවත් වීම නම් අපූරු කරුණකි. අළුගෝසු තෙමේ වැඩ නොකර වැටුප් ගැනීම අරුමයක් නොවන්නේ බොහෝ ආයතන වල තත්ත්‍වය ඒකම වන නිසා බැවිනි.

බල්ලන් එක්ක ලැග්ග විට නැගිටින්නට වන්නේ මැක්කන් සමග වනවා සේම රජයක් ද නුසුදුසු පුද්ගලයින් ඉහළ ස්ථාන වලට පත් කරගත් පසු ඇති වන ව්‍යාකූල තත්ත්‍වය, පරිහාණිය දැන් අප හොඳින්ම අත් විඳිමින් සිටිමු…. මේ ආතතිය සැමදාම දරාගත නොහැක. ආණ්ඩුවට ඇති එකම සැනසීම ශක්තිමත් විපක්‍ෂයක් නොමැති වීම පමණි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද විපක්‍ෂය අඩපණ කිරීමෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම විනා ජනතාවට දැනෙන කෙටිකාලීන සහන සැලසීමක් නොවන බව බොහෝ දේ වලින් පෙනේ… ප්‍රමිතියක් නැති බාල බඩු ගෙන්වීම. ජනතාවට වස විස සහිත ආහාර කවන්නන්ට පාලනයක් නොපැණවීම. අඩුම ගානේ වසරකට 10,000 ක් මිය යන මාර්ග අනතුරු අවම කිරීමට කිසිදු දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම, ආදී දහසකුක් එකක් දේ එකතු වන විට රජය දීර්ඝකාලීනව සිදු කරන සංවර්ධන ක්‍රියා තිබුණත් ඒවායේ හොඳක් ජනතාවට නොපෙනේ..

රජයේ ඇමති වරයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත මහතාම භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මහතාගේ අවමඟුලේදී කියූ “එදා හැබැහින් දැකපු භාරතව මට ආයෙත් දකින්න ලැබුණේ මුල්ලේරියාව රෝහලේ ඇඳක්‌ මතදීයි. ඒත් මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. කිව හැකි බොහෝ දේ කිව නොහැකි නිසා ඒ සියල්ල දීර්ඝ සුසුමකින් පිටකර හරිනවා.” යන ප්‍රකාශය අප රට යන අත හොඳින් පෙන්වා දක්වයි….

කියන්නට බොහෝ දේ ඇතත්, කිසි කෙනෙකු කිසිවක් නොකියන්නේ ජීවිත ආශාව අන් සියල්ලටම වඩා වැදගත් වන නිසාවෙනි… ආණ්ඩුවේ මැති ඇමති වරුන් පාතාලය පාලනය කරන කල්හි නැවතත් කියන්නට වන්නේ මා පෙර අවස්ථාවක පළ කළ බොහෝ දෙනා එකඟ වූ මේ වදන් පෙලයි….

” අපේ රට මාරම රටකි.

නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය.

මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය.

ගායකයෝ ආණ්ඩුකාරවරුය. ආණ්ඩුවේම අය මරා ගනිති….

ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති.

වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති.

රාජ්‍ය නිලධාරීහු මර නින්දේය.

දොස්තරලා නර්ස්ලා එක්ක තරහ වී වර්ජනය කරති – අසරණ රෝගීන් මියයති.

මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති.

ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය.

හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති.

හැම පොලිස්පතිම  පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.

මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ ඡන්දයේදීත් සත් ගුණවත්-උගත්- නැණවත්- පිංබර-ඉඩම් හිමි වැවිලිකරු-අවංක-එඩිතර-සුවච-කීකරු- ගමේ චන්ඩියා චූටි මහත්තයාට මනාප 3 ම දී ප්‍රාදේශීය සභාවට හෝ පලාත් සභාවට පිටත් කර හරියි.”

අපි හැමදාම මෙහෙම විය යුතුද ? ආණ්ඩුවට පමණක් නොව අපටද ඇස් අරින්නට, සිතන්නට කාළය පැමිණ ඇත…… උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වුනත් රට හරිමගට ගෙනයන්නට මොකෙක් හරි එකෙක් කොහේ හෝ ඇත….. ඌ සොයාගන්නට හෝ ඉන්න එවුන් හදාගන්නට සැමදෙනාම එක් විය යුතු කාළය පැමිණ ඇත…. අපට මේ ආණ්ඩුව පෙරලන්නට අවශ්‍ය නැත. අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාටවත් අවශ්‍ය නැත. මේ ආණ්ඩුව පෙරළා ගෙන්න ගන්නට සුදුසු වෙනත් ආණ්ඩුවක් ද නැත. නමුත් අපට අවශ්‍ය වන්නේ පිස්සු කෙළින මේ කට්ටිය හරි පාරට දමා ගැනීමටයි… ජනතාවට බරක් නැති හුරුබුහුටි ඇමති මණ්ඩලයක්, මනා බුද්ධියක්, විනයක්, දර්ශනයක් -සංවර්ධිත සිතුවිළි ඇති දක්‍ෂ ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්… තමන් ගැන නොව රටේ අනාගතය ගැන සිතා වැඩකරන දේශපාලනඥයන් පිරිසක් ඇති රටකි. ජනාධිපතිතුමා අපට අපේ ආකල්ප ධනාත්මකව හදාගන්න යැයි පැවසුවත්  එතුමාට එතුමා වටා සිටින අයගේ විනය-ආකල්ප හරි හැටි හදාගන්නට බැරි වීමෙන්ම එතුමා වැටී ඇති අලි අමාරුව පෙනේ…. කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙළින් යන්න යැයි කීවා සේ අපට හැදෙන්නට යැයි කියා, ලොකු ලොක්කන් පිස්සු කෙළින විට අපට හිතෙන්නේ ඒ කියන කකුළුවන්ගේ අඬු කඩා උන්ට කෙළින් යන්නට සලස්වන්නටය…. ඒ තැනට අපේ ජනතාව මෙතෙක් පැමිණ නැත… නමුත් එතැනට පැමිණුවහොත් නවත්වන්නටද කිසිදු බලවේගයකට හැකිවනු නොහැක…..

Advertisements

Posted on ඔක්තෝබර් 14, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. ඉතාම හොද ලිපියක්,වර්තමාන දෙශපාලනය කියන්නෙනම් එකෙන්ම මහ මඩ ගොහොරුව,චන්දය කියන්නේ කොහේ හරි ඉන්න හාල්පාරුවෙකුට අපේ රිරිමාන්සය උරා බොන්න අවසට දෙන එකයි,

  2. කොලඹ ඡ්න්දය පිනා චාන්ස් එකක් නෙවෙයි , මහින්ද මහත්තයම පත්තර ලොක්කොත් එක්ක හිනා වෙලා කිව්ව විදිහට රනිල් මේ පාර ඡන්දෙට බැහැල වැඩ කලා . සජිත් වගේ පොල් බූරුවෙක් එජාපයේ නායකය වෙනවට වඩා රනිල් ඉන්න එක සැහෙන්න හොඳයි (මම දකින සුදුසුම නායකයා කරු ජයසූරිය මහත්තයා , එජාපයට විතරක් නෙවෙයි රටේ නායකත්වයටත් )

    කොහොම උනත් රනිල් ගේ “කල් මැරීමේ ක්‍රමය ” සාර්ථක වේවි තමා මෙහෙම ගියොත් . මේ පාර ප්‍රාදේශීයවත් සිද්ද වෙච්ච සමහර සීන් , කථා බහ තියෙයි .ඒ අනුව මටත් හිතෙන්නේ මහින්ද මහත්තය පොඩ්ඩක් තමන් යන පාර ගැන කල්පනා නොකලොත් වෙනස් නොවුනොත් ව්‍යවස්ථාව වෙනස් කරගත්තාට වැඩක් නැති වේවි කියල තමයි

  3. හොඳ ලිපියක්. ඇත්ත කතාව වුනත් අපේ මිනිස්සු මේකම කිය කිය ගිහිල්ල චන්දෙ දෙනවනෙ මේ හැත්තටම. මොන තරම් දුක හිතුනත් කියන්න තියෙන්නෙ ලන්කාවෙ දේශපාලනය නම් කවදාවත් හරි යන්නෙ නැහැ කියන එක තමයි.

  4. ඔබේ වෙනත් ලිපි මෙන්ම සාරගර්භ වටිනා ලිපියක්. හැබැයි මේවා කියවන්නේ ඔබ අපි මෙන් අය පමණයි. මේවා කියවිය යුතු පාත්‍ර වර්ගයා තබා උන්ගේ මහ දැණුමැති උපදේශකයින් යැයි කියා ගන්නා හැත්තවත් මේවා කියවයි නම්…….

  5. //අපට මේ ආණ්ඩුව පෙරලන්නට අවශ්‍ය නැත. අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාටවත් අවශ්‍ය නැත. මේ ආණ්ඩුව පෙරළා ගෙන්න ගන්නට සුදුසු වෙනත් ආණ්ඩුවක් ද නැත//
    මාත් මේකට එකඟයි. අපි ආණ්ඩු මාරු කරනවා වෙනුවට කුඩ්ඩන් චන්ඩින් නලුවන් නිලියන් තමන්ගේ චන්දයෙන් පාර්ලිමෙන්තු යවන මේ ජනතාව ඉවත් කර වෙන ජනතාවක් පත් කරගමු.
    අපිට විසඳීමට ඇති ප්‍රශ්නය අපිම තමයි. සුභ ආරංචිය තමයි අපිටම පමණයි මේ රට ප්‍රතිෂ්ඨාපනය කිරීම කරන්න පුලුවන්. නරක ආරංචිය තමයි ලංකාව ගොඩ දාගන්න පුලුවන් වෙන්නේ අපි පළමුවෙන් අවබෝධ කර ගත්තොත් පමනයි අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන එක සහ ප්‍රශ්නය අපගේම ක්‍රියාව, වචනය සහ ඡන්දය කියන එක
    ඇමරිකානු පුරවැසියන් තමන්ව හඳුන්වාගන්නෙ We the People!කියල .අපිට අපිව හඳුන්වාගන්න වෙලා තියෙන්නෙ we the problem! කියල

  6. අප්පච්චි අනේ නිකං බයිලා ගන්න එපා අනේ.ඔයයි මමයි අම්මියි මේ පිට දීපංකරේකට වෙලා රනිල් අංකල් දිනයි කිය කිය හැමදාම හීන දැක්කට ඒක වෙන්නේ නැහැ අනේ.
    ඔන්න ඔය බොරුවට හීන දකින්නේ නැතිව අර පරීක්ෂණ නලයකට වතුර ටිකක් දාලා හොල්ල හොල්ල ඉන්න.
    අනේ මංදා අප්පච්චිටත් හිතට අමාරු ඇති තමා.ඒත් මේ වතුර බොර උනාට තව ටික දවසකින් වතුර පෑදිලා ආවට පස්සේ අප්පච්චිට ඔව්වට දෙන්න උත්තර නැති වෙයි.එදාට මං එපෑ රටේ මිනිස්සුන්ට මුහුන දෙන්න. ඒ හින්දා පිස්සු නටන්නේ නැතිව ඉන්න.
    අප්පච්චිගේ මහ ලොකු විචාරේ.හැමදාමත් ඔහොමම තමා.හැමදාම අප්පච්චිලා හීන බලනවා පහුවදාට හූල්ල හූල්ල බලන් ඉන්නවා.මොකද අප්පච්චි ආයේ ලංකාවට යන එකක්යෑ.බොරුවට අප්පච්චිගේ මොලේ අමාරුවට ලංකාවේ කාලා ඇදලා ඉන්න මිනිස්සුන්ගේ සැනසීම නැති කරන්න මනස්ගාත ලියන්න එපා.

  7. භාරත ලක්ෂ් මන්ගේ මරණය මනාප පොරයේ ප්රෙතිපලයක් හැටියට පෙන්නා දෙන්නට බොහෝ අය කැමති වුනත් එහි තිබී ඇත්තේ වෙනත් පොරයක් නේද?

  8. ඇල්කෙමියා දැන් රසායන විද්‍යාව ගැන දිනපොතේ ලියනවා අඩුයි වගේ දැනෙනවා 😥

  9. ඉතා වටිනා ළිපියක් අදයි මේ පැත්තේ ආවේ..

  10. ඇලා මේ ලිපි දිවයිනට හරි රාවයට හරි යවන්න ට්‍රයි කලොත් මොකද?

    • යවන්න නම් පුළුවන්. නමුත් අපේ ගෙවල් වලින් දැන් බර බරේ ඇවිත් තියෙන්නේ මේ වගේ අළුගුත්තේරු කතා ලියලා ආණ්ඩුවේ හ්උත්තමයො අපහසුතාවයට පත්කරන්න එපා කියලා… තව ලිපියක් පත්තරේ දැක්කොත් දෙමාව්පියොයි ඇල්කෙමිච්චිගෙ දෙමව්පියොයි දෙගොල්ලොම මට ගහනවා…
      ඒ නිසා ජීවිතෙත් බේරගෙන පවුල් ජීවිතෙත් බේරගෙන බ්ලොග් එකත් ලියාගෙන මෙහෙම ඉන්න එක හොඳා…

      පුළුවන් නම් යැව්වට කමක් නෑ… “ඇල්කෙමියා“ කියන හොර නමින්…

  11. හාරත දේසයේ භාරතලා

    පහතින් පෙනෙන ආගාධය දෙස නොබලා
    මොහොතින් ගැස්සුවා සද්දය නොඑන ලෙසා
    උන් පැන ගියා ජීවිතයෙන් හනි හනිකා
    එකටෙක ගිනි කෑ අනෙකා ද තනිවී ඇත මෙදෙසා

    උනුන් කළ දේ ම උහු අරගෙන යාය
    කුඩු පෙලපත රකින මැතිදෝ රජ වේ ය
    උස් අණ නිසා කුඩු කෑ අය රැකි සැවොම
    අඩුවක් නැතිව වගකිව යුතු වේ බෝම

    දන ට දෙති බෙදති නිති සුද හැද සිටිති
    මිළ කළ නොහැකි වාහන ඇතිව හැසිරෙති
    උනුන් වෙසෙන සත් මහලෙහි බිම ගැවසි
    මිනිසුනි වග බලන් – දන සනහන මැති ඇමති

    සිරි ලංකාව අසිරිය මෙය ද පැතිරෙනා
    දුක් ගංගාව බල මෙහි දසත ඇවිලෙනා
    නැන නුවණින් සපිරි මැති නිතොර යට යනා
    මේ බොර දියට මේ වැනි දැහැටි ගැලපෙනා

    -හිතුවක්කාරයා
    http://hithuwakkaraya.blogspot.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: