Daily Archives: ඔක්තෝබර් 31, 2011

2011 ඔක්තෝබර් 31 : ජනගහනය බිලියන හතයි… අපට තව කොතෙක් කළක් ජීවත් විය හැකිද ?


මේ වන විට ලෝකයේ ජනගහනය බිලියන හතයි.. ජනගහනය බිලියන හයක් බවට පත් වුනේ මීට අවුරුදු 12 කට පෙරයි.. ඒ කියන්නේ මේ ජනගහන වර්ධනය ඉතා ඉක්මනින් සිදු වූවක්. මේ ජනගහන වර්ධනය එක්කම ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. මේ අවශ්‍යතා වලින් ප්‍රධාන වන්නේ ඉන්න හිටින්න යන්න එන්න ඉඩ සහ බලශක්තිය… ඉඩ වැඩි කරගන්න තිබෙන ඉඩම් එළි පෙහෙළි කරගෙන නිවාස පාරවල් තනාගන්න වෙනවා… එසේම බලශක්තිය ජනනය කිරීමේදී වැඩි වැඩියෙන් වනාන්තර එළි පෙහෙළි වීම වගේම වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදාහැරීමත් සිදු වෙනවා.

ලෝක බලශක්ති පරිභෝජනය

නවතම ගණනය කිරීම් වලට අනුව පරිසරයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාතය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 394 ක් (394 ppm) මේ අගයය එන්න එන්න වැඩි වනවා මිසක් අඩු වන්නේ නැහැ. ෆොසිල ඉන්ධන දහනයෙන් සහ වැඩිවන ජනගහනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩි ප්‍රමාණය වසර 2050 වනවිට 500 ppm – 750 ppm වන තරමට ඉහළ යා හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය. මේ අගය මිනිසාට සෞඛ්‍යය අතින් බලපෑමට බොහෝ ඉඩකඩ තිබෙනවා. නමුත් මෙහි බලපෑම වඩාත්ම වැඩි වන්නේ පරිසරයටයි. වැඩිවන CO2 මට්ටම හමුවේ වායුගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාම, මුහුදු ජීවීන්ගේ ආවරණ දියවීම වැනි දේ මෙන්ම ධ්‍රැවීය ග්ලැසියර දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාම වැනි භයානක ප්‍රතිඵල අත්වන්නට පුළුවන්. ලෝකයේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතවයි. මේ ප්‍රදේශ ජලයෙන් යටවන්නට පටන් ගත් විට ඔව්න් ඉහළ බිම් ප්‍රදේශ කරා සංක්‍රමණය වනවා. මේ නිසා සිදු වන්නේ නැවත නැවතත් වනාන්තර එළි පෙහෙළි වීමයි. නැතහොත් අර පැරණි චක්‍රයම නැවතත් ආරම්භ  වීමයි.

කාබන් චක්‍රය

මේ තත්ත්‍වය අඩු කිරීමට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ.. කිසිවෙකු ඔප්පු කරනවා නම් ඔහුට/ඇයට වැඩිවන CO2 මට්ටම අඩු කරන්න පුළුවන් කියා ඒ තැනැත්තාට ඒ මොහොතේම නොබෙල් ත්‍යාගය දෙන්න තරම් වටිනා පුද්ගලයෙක්. තමුත් කිසිවෙකුට එය කිරීමට බැහැ. එයට බොහෝ ප්‍රායෝගික හේතු තිබෙනවා. කළ හැක්කේ CO2 මට්ටම වැඩිවන වේගය අඩු කිරීම සහ පාලනය පමණයි. මෙය සිදු කළ හැක්කේ ක්‍රම කිහිපයක් මගින්.

  • බලශක්ති නිශ්පාදනය මගින් වායුගෝලයට එක් වන CO2 ප්‍රමාණය අවම කිරීම.

මෙය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා.

  1. ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම / නැවැත්වීම
  2. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය
  3. වැඩි වැඩියෙන් වනාන්තර ඇති කිරීම

ආදියයි. නමුත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ බාධක රැසක් අප ඉදිරියේ තිබෙනවා. පළමු වැන්න ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඈත් වීමයි. මුළු ලෝකයම වෙලාගෙන ඇති පිළිකාව වන්නේ මෙයයි. බොහෝ රටවල් යුද්ධ වලට පැටළෙන්නේත්, බොහෝ රටවල ආර්ථිකය අවුල් වී ඇත්තේත් මේ ෆොසිල ඉන්ධන භාවිතාව පිළිබඳ ප්‍රශ්න නිසායි. ඇමරිකාව ඉරාකයට සහ ලිබියාව ඇතුළු අරාබිකරයේ රටවලට කෙණිහිලිකම් කරන්නේ මේ මහා සම්පත නිසායි. ගඩාෆිට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නොව ලෝකයේ සුපිරිම බොරතෙල් තිබුණේ ලිබියාවේ නිසා බව දන්නේ බොහොම ටික දෙනයි. ෆෙසිල ඉන්ධන භාවිතය නැවැත්වීමට හෝ අඩු කිරීමට කිසිදු රටක් අවම වශයෙන් උත්සාහ දරන්නේ වත් නැහැ. ලෝක බල තුලනය ඉන්ධන සමාගම් මගින් පාලනය වන බව පෙන්වීමට මේ උදාහරණයම ඇති.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තවමත් ජනප්‍රිය නොවීමට සහ ප්‍රායෝගික නොවීමට හේතු කිහිපයක් තිබෙනවා. පළමු වැන්න අධික ප්‍රාග්ධන පිරිවැයයි. මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රමයක ලාභ ලැබීමට නම් වසර 30 ක් යනතුරු බලා සිටීමට සිදු වෙනවා. නමුත් සූර්ය කෝෂයක ආයුකාළය වසර 15-20 ක් පමණ කාළයක්. එපමණක් නොවෙයි, සූර්ය කෝෂයක උපරිම කාර්යක්‍ෂමතාවය 45% ක් ඉක්මවා යන්නට තවමත් සමත් වී නැහැ. එසේම සෑම විටම සූර්යාලෝකය මේ සූර්ය කෝෂවලට පතනය වන්නේතු නැහැ. මේ නිසා බොහෝ දෙනා මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රම සඳහා ආයේජනය කිරීමට මැලිකමක් දක්වනවා. සුලං බලය ගතහොත් එහි බලශක්ති ජනනය සීමිතයි. සෑම විටම සුලං ටර්බයින හරහා සුලං හමන්නේ නැහැ. එසේම එහිද ප්‍රාග්ධන පිරිවැය අධිකයි. ලෝකයේ සුලං ගොවිපොළවල් (wind farms) තිබුණත් ඒවායින් ජනනය කළහැකි බලශක්තිය සීමිතයි. ලංකාවේ ද Senok සමාගම මගින් මන්නාරම් ද්‍රෝණියේ සුලං ගොවිපොළට අමතරව නැගෙනහිර වෙරළේ ද ඇති කිරීමට සූදානම් වනබව සැලයි.

තරමක අනතුරුදායක වියහැකි වුනත්, මහාපරිමාණව අඩුම මිලට අවම කාබන් පියසටහනක් ඇතිව බලශක්තිය ජනනය කළ හැකි එකම ක්‍රමය න්‍යෂ්ඨික බලශක්ති ජනනය පමණයි.  ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මෙය යෝග්‍ය නොවුනත් ඉඩකඩ ඇති, ස්වභාවික විපත් සහ සතුරු කරදර අඩු විශාල රටවලට මෙය හොඳ පිළියමක්. මෙහි ඇති ප්‍රධාන දුෂ්කරතාවය වන්නේ ද අධික ප්‍රාග්ධන පිරිවැය සහ ඊට අමතරව න්‍යෂ්ඨික ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවයයි.

ජල විදුලි බලයේ ද සීමාවක් ඇති අතර බොහෝ රටවල් මේ වනවිට එහි උපරිමයට ලඟා වී තිබෙනවා. දැන් දැන් ප්‍රචලිත වන සහ පර්යේෂණ මට්ටමින් ඉදිරියටම පැමිණ ඇති ක්‍රමය වන්නේ ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම සහ ඒ හයිඩ්‍රජන් දහනය මගින් බලශක්තිය නිපදවා ගැනීමයි. ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ Dan Nocera කණ්ඩායම සහ Yang Shao-Horn කණ්ඩායම මේ සම්බන්ධව ඉතා ඉහල ප්‍රගතියක් ලබා ඇති පර්යේෂණ කණ්ඩායම් දෙකක්.

පහතින් පෙනෙන්නේ Dan Nocera කණ්ඩායම මගින් තැනූ කෘත්‍රීම පත්‍රය (artificial leaf) මගින් ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම පෙන්වන වීඩියෝවක්.

  • වැඩිවන CO2 ප්‍රමාණය පාලනය

මෙය කළ හැක්කේ

  1. වනාන්තර නැවත වැඩි කිරීම
  2. වන විනාශය අවම කිරීම
  3. කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කිරීම
  4. හරිත නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම
  5. CO2 ප්‍රතිචක්‍රීකරණය

ආදී ක්‍රම වලිනුයි. වැඩිවන ජනගහනය හමුවේ සිදු වන වනාන්තර විනාශය අවම කරගතහැකි නමුත්, නැවත වනාන්තර ඇති කිරීම නම් තරමක් අපහසු කාර්යයක්. කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කරගතහැක්කේ නවතම ක්‍රම මගින් පිටවන CO2 ප්‍රමාණය අඩු කිරීම, සහ CO2 පිට නොවන නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම වැනි කාරණා තුළිනුයි. හරිත නිෂ්පාදන කරා යොමු වීම මගින් CO2 පිටවීම අවම කර ගැනීමට බොහෝ සමාගම් සහ ආයතන සමත්වී තිබෙනවා.

CO2 ප්‍රතිචක්‍රීකරණය දැන් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් පැත්තක්. සමහරක් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදන මගින් පිටවන CO2 වායුව මුහුදු ජලය තුළින් බුබුලනය කිරීම මගින් Na2CO3 සහ CaCO3 වැනි සංයෝග තනාගැනීමට යොදාගෙන තියෙනවා. මේ සංයෝග සිමෙන්ති නිෂ්පාදනයේම අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් සිය කාබන් පියසටහන් අවම කිරීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. එසේම සමහරක් සමාගම් මේ සංයෝග මගින් ගඩොල් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය තනා දිගුකාලීන CO2  ගබඩා ලෙස පාවිච්චියටත් යොදාගෙන තිබෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල මුහුදු පත්ලේ ඝණ CO2 ගබඩා කිරීමට ද පටන් ගෙන තිබෙනවා. මෙසේ ගබඩා කිරීම මගින් CO2 ප්‍රමාණය අවම කරගැනීම කවදා සිදු කර නිම කරන්නදැයි ඔවුන් සළකා බලා නැති වුනත්, මුහුදු පතුලේ මෙසේ ගබඩා කිරීම මගින් යම් අඩු කරීමකට ඔවුන්  සැරසෙනවා. එසේම දැන් බොහෝ පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත්තේ CO2 භාවිතා කර ඉන්ධන නිපදවීමේ කටයුත්ත සිදු කිරීමට රසායනික සංයෝග සහ උත්ප්‍රේරක භාවිතයයි. ඒ සඳහා සාර්ථක ප්‍රතිඵලයක් තවමත් කිසිවකු ලබාගැනීමට සමත්ව නැතත්, බොහෝ දෙනා නිකල්, පැලේඩියම් සහ ප්ලැටිනම් වැනි ලෝහ සංයෝග යොදාගෙන පර්යේෂණ පවත්වමින් සිටිනවා.

මෙහිදී ද ප්‍රායෝගික ගැටළු පැණ නගිනවා. ඒ උත්ප්‍රේරක වල අධික මිල, උත්ප්‍රේරක සාමාන්‍ය වායුගෝලයේදී ප්‍රතික්‍රියාවලට භාජනය වීම, එහි පිරිවැටුම් අගය  සහ පිරිවැටුම් සංඛ්‍යාතය (turnover number & turnover frequency) අඩු වීම සහ CO2 සඳහා සුවිශේෂීතාවය මඳකම, එසේත් නැතිනම් සාමාන්‍ය වායුගෝලයෙන් CO2 පමණක් වෙන්කර ප්‍රතික්‍රියාවලට භාජනය කිරීමේ නොහැකියාව, වායුගෝලයේ CO2 ප්‍රමාණය මඳකම නිසා ප්‍රතික්‍රියා සඳහා CO2 වෙන්කරගැනීමට අමතර ශක්තියක් භාවිතා කිරීමට සිදුවීම වැනි හේතු නිසා CO2 උත්ප්‍රේරක පිළිබඳ පර්යේෂණ ද ප්‍රාථමික මට්ටමේ පවතිනවා.

මේ සියල්ල මැත අප සියළුම දෙනා තවත් කාළයක් ජීවත් වේවි. පරිණාමයට අනුව අපි වැඩිවන CO2 ප්‍රමාණය එක්ක ජීවත් වන්නට හැඩගැසේවි. අපේ පරිණාමය සිදු වූයේ වසර දහස් ගණනාවක් තුළ, නමුත් මේ වැඩිවීම සිදු වන්නේ දශක ගණනාවක් ඇතුළත. මේ නිසා අපි මේ වෙනසට ඔරොත්තු දේවිද ? නොදේවිද ? පරිසරය අපට මේ වැඩිවන CO2 ප්‍රමාණය සම්බන්ධයෙන් නෙසේ සළකාවිද යන්න අපටම ඉදිරියේදී බලාගන්නට පුළුවනි.

ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයට ගිය සතියේ ඇතිවූ හිම කුණාටුව මේ වෙනස්වන තත්ත්‍ව වලට හොඳ උදාහරණයක්. පරිසරය රත් වීම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. මේ නිසා වලාකුළු ඇතිවීම වැඩි වී වැඩිපුර වැසි, හිම කුණාටු ආදිය වැඩි වන්නට පුළුවන්. ඒ බව පසුගිය වසර 10 තුළ සිදු වූ කාලගුණ විපර්යාස වලින්ම බලාගන්නට පුළුවන්. කුණාටු සංඛ්‍යාව සහ ඒවායේ හානිය වැඩි වීම, අකල්හි වැටෙන වැසි, වර්ෂාපතන රටා වෙනස් වීම ආදිය මේ වෙනසෙහි පෙරමඟ සළකුණු…

ඉතින් අපි මේ සියල්ල මත එක්නෙකා ඇණකොටා ගනිමින්, එකිනෙකාට වලවල් කපමින්, නොයෙකුත් සුළු හේතු මත එකිනෙකා හා අමනාප වෙමින් කල් ගත කරනවා…. ඒ විතරක් නොවෙයි අපෙන් කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී සියල්ල අපට ලබා දෙන පරිසරය විනාශ කරමින් ආත්මාර්ථකාමීව ජීවත් වී පරිසරය විනාශ කර මිය යනවා…

ඉතින් අපි අපේ අනාගත පරපුරට ඉතිරි කළ යුත්තේ කුමක්දැයි සිතීමත්, ඒ පිළිබඳ සිහි නුවණින් සිතා කටයුතු කිරීමත් ඔබට බාර කරනවා….. එක දවසකට එක වැරදි පුරුද්දක් අඩු කරගත හැකි නම්, අපට බොහෝ දුරක් යා හැකියි… ප්ලාස්ටික් බෑගයක් නැවත නැවතත් පාවිච්චි නොකර ඉවත දමන විට ඔබ විනාශ කරන්නේ ඔබේ දරුවාගේ අනාගතය බව ඔබට මතක් කළ හැකි නම් මේ වචන 1250 න් වැඩක් ගත්තා යැයි මට හිත හදාගන්නට පුළුවන් වේවි.

%d bloggers like this: