2011 ඔක්තෝබර් 31 : ජනගහනය බිලියන හතයි… අපට තව කොතෙක් කළක් ජීවත් විය හැකිද ?


මේ වන විට ලෝකයේ ජනගහනය බිලියන හතයි.. ජනගහනය බිලියන හයක් බවට පත් වුනේ මීට අවුරුදු 12 කට පෙරයි.. ඒ කියන්නේ මේ ජනගහන වර්ධනය ඉතා ඉක්මනින් සිදු වූවක්. මේ ජනගහන වර්ධනය එක්කම ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. මේ අවශ්‍යතා වලින් ප්‍රධාන වන්නේ ඉන්න හිටින්න යන්න එන්න ඉඩ සහ බලශක්තිය… ඉඩ වැඩි කරගන්න තිබෙන ඉඩම් එළි පෙහෙළි කරගෙන නිවාස පාරවල් තනාගන්න වෙනවා… එසේම බලශක්තිය ජනනය කිරීමේදී වැඩි වැඩියෙන් වනාන්තර එළි පෙහෙළි වීම වගේම වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදාහැරීමත් සිදු වෙනවා.

ලෝක බලශක්ති පරිභෝජනය

නවතම ගණනය කිරීම් වලට අනුව පරිසරයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාතය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 394 ක් (394 ppm) මේ අගයය එන්න එන්න වැඩි වනවා මිසක් අඩු වන්නේ නැහැ. ෆොසිල ඉන්ධන දහනයෙන් සහ වැඩිවන ජනගහනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩි ප්‍රමාණය වසර 2050 වනවිට 500 ppm – 750 ppm වන තරමට ඉහළ යා හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය. මේ අගය මිනිසාට සෞඛ්‍යය අතින් බලපෑමට බොහෝ ඉඩකඩ තිබෙනවා. නමුත් මෙහි බලපෑම වඩාත්ම වැඩි වන්නේ පරිසරයටයි. වැඩිවන CO2 මට්ටම හමුවේ වායුගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාම, මුහුදු ජීවීන්ගේ ආවරණ දියවීම වැනි දේ මෙන්ම ධ්‍රැවීය ග්ලැසියර දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාම වැනි භයානක ප්‍රතිඵල අත්වන්නට පුළුවන්. ලෝකයේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතවයි. මේ ප්‍රදේශ ජලයෙන් යටවන්නට පටන් ගත් විට ඔව්න් ඉහළ බිම් ප්‍රදේශ කරා සංක්‍රමණය වනවා. මේ නිසා සිදු වන්නේ නැවත නැවතත් වනාන්තර එළි පෙහෙළි වීමයි. නැතහොත් අර පැරණි චක්‍රයම නැවතත් ආරම්භ  වීමයි.

කාබන් චක්‍රය

මේ තත්ත්‍වය අඩු කිරීමට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ.. කිසිවෙකු ඔප්පු කරනවා නම් ඔහුට/ඇයට වැඩිවන CO2 මට්ටම අඩු කරන්න පුළුවන් කියා ඒ තැනැත්තාට ඒ මොහොතේම නොබෙල් ත්‍යාගය දෙන්න තරම් වටිනා පුද්ගලයෙක්. තමුත් කිසිවෙකුට එය කිරීමට බැහැ. එයට බොහෝ ප්‍රායෝගික හේතු තිබෙනවා. කළ හැක්කේ CO2 මට්ටම වැඩිවන වේගය අඩු කිරීම සහ පාලනය පමණයි. මෙය සිදු කළ හැක්කේ ක්‍රම කිහිපයක් මගින්.

  • බලශක්ති නිශ්පාදනය මගින් වායුගෝලයට එක් වන CO2 ප්‍රමාණය අවම කිරීම.

මෙය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා.

  1. ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම / නැවැත්වීම
  2. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය
  3. වැඩි වැඩියෙන් වනාන්තර ඇති කිරීම

ආදියයි. නමුත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ බාධක රැසක් අප ඉදිරියේ තිබෙනවා. පළමු වැන්න ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඈත් වීමයි. මුළු ලෝකයම වෙලාගෙන ඇති පිළිකාව වන්නේ මෙයයි. බොහෝ රටවල් යුද්ධ වලට පැටළෙන්නේත්, බොහෝ රටවල ආර්ථිකය අවුල් වී ඇත්තේත් මේ ෆොසිල ඉන්ධන භාවිතාව පිළිබඳ ප්‍රශ්න නිසායි. ඇමරිකාව ඉරාකයට සහ ලිබියාව ඇතුළු අරාබිකරයේ රටවලට කෙණිහිලිකම් කරන්නේ මේ මහා සම්පත නිසායි. ගඩාෆිට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නොව ලෝකයේ සුපිරිම බොරතෙල් තිබුණේ ලිබියාවේ නිසා බව දන්නේ බොහොම ටික දෙනයි. ෆෙසිල ඉන්ධන භාවිතය නැවැත්වීමට හෝ අඩු කිරීමට කිසිදු රටක් අවම වශයෙන් උත්සාහ දරන්නේ වත් නැහැ. ලෝක බල තුලනය ඉන්ධන සමාගම් මගින් පාලනය වන බව පෙන්වීමට මේ උදාහරණයම ඇති.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තවමත් ජනප්‍රිය නොවීමට සහ ප්‍රායෝගික නොවීමට හේතු කිහිපයක් තිබෙනවා. පළමු වැන්න අධික ප්‍රාග්ධන පිරිවැයයි. මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රමයක ලාභ ලැබීමට නම් වසර 30 ක් යනතුරු බලා සිටීමට සිදු වෙනවා. නමුත් සූර්ය කෝෂයක ආයුකාළය වසර 15-20 ක් පමණ කාළයක්. එපමණක් නොවෙයි, සූර්ය කෝෂයක උපරිම කාර්යක්‍ෂමතාවය 45% ක් ඉක්මවා යන්නට තවමත් සමත් වී නැහැ. එසේම සෑම විටම සූර්යාලෝකය මේ සූර්ය කෝෂවලට පතනය වන්නේතු නැහැ. මේ නිසා බොහෝ දෙනා මහා පරිමාණ සූර්ය බලශක්ති යෝජනා ක්‍රම සඳහා ආයේජනය කිරීමට මැලිකමක් දක්වනවා. සුලං බලය ගතහොත් එහි බලශක්ති ජනනය සීමිතයි. සෑම විටම සුලං ටර්බයින හරහා සුලං හමන්නේ නැහැ. එසේම එහිද ප්‍රාග්ධන පිරිවැය අධිකයි. ලෝකයේ සුලං ගොවිපොළවල් (wind farms) තිබුණත් ඒවායින් ජනනය කළහැකි බලශක්තිය සීමිතයි. ලංකාවේ ද Senok සමාගම මගින් මන්නාරම් ද්‍රෝණියේ සුලං ගොවිපොළට අමතරව නැගෙනහිර වෙරළේ ද ඇති කිරීමට සූදානම් වනබව සැලයි.

තරමක අනතුරුදායක වියහැකි වුනත්, මහාපරිමාණව අඩුම මිලට අවම කාබන් පියසටහනක් ඇතිව බලශක්තිය ජනනය කළ හැකි එකම ක්‍රමය න්‍යෂ්ඨික බලශක්ති ජනනය පමණයි.  ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මෙය යෝග්‍ය නොවුනත් ඉඩකඩ ඇති, ස්වභාවික විපත් සහ සතුරු කරදර අඩු විශාල රටවලට මෙය හොඳ පිළියමක්. මෙහි ඇති ප්‍රධාන දුෂ්කරතාවය වන්නේ ද අධික ප්‍රාග්ධන පිරිවැය සහ ඊට අමතරව න්‍යෂ්ඨික ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවයයි.

ජල විදුලි බලයේ ද සීමාවක් ඇති අතර බොහෝ රටවල් මේ වනවිට එහි උපරිමයට ලඟා වී තිබෙනවා. දැන් දැන් ප්‍රචලිත වන සහ පර්යේෂණ මට්ටමින් ඉදිරියටම පැමිණ ඇති ක්‍රමය වන්නේ ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම සහ ඒ හයිඩ්‍රජන් දහනය මගින් බලශක්තිය නිපදවා ගැනීමයි. ඇමෙරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ Dan Nocera කණ්ඩායම සහ Yang Shao-Horn කණ්ඩායම මේ සම්බන්ධව ඉතා ඉහල ප්‍රගතියක් ලබා ඇති පර්යේෂණ කණ්ඩායම් දෙකක්.

පහතින් පෙනෙන්නේ Dan Nocera කණ්ඩායම මගින් තැනූ කෘත්‍රීම පත්‍රය (artificial leaf) මගින් ජලය විද්‍යුත් විඛණ්ඩණයට භාජනය කර හයිඩ්‍රජන් නිපදවීම පෙන්වන වීඩියෝවක්.

  • වැඩිවන CO2 ප්‍රමාණය පාලනය

මෙය කළ හැක්කේ

  1. වනාන්තර නැවත වැඩි කිරීම
  2. වන විනාශය අවම කිරීම
  3. කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කිරීම
  4. හරිත නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම
  5. CO2 ප්‍රතිචක්‍රීකරණය

ආදී ක්‍රම වලිනුයි. වැඩිවන ජනගහනය හමුවේ සිදු වන වනාන්තර විනාශය අවම කරගතහැකි නමුත්, නැවත වනාන්තර ඇති කිරීම නම් තරමක් අපහසු කාර්යයක්. කාර්මීකරණය මගින් පිටවන CO2 ප්‍රමාණය අවම කරගතහැක්කේ නවතම ක්‍රම මගින් පිටවන CO2 ප්‍රමාණය අඩු කිරීම, සහ CO2 පිට නොවන නිෂ්පාදන ක්‍රම කරා යොමු වීම වැනි කාරණා තුළිනුයි. හරිත නිෂ්පාදන කරා යොමු වීම මගින් CO2 පිටවීම අවම කර ගැනීමට බොහෝ සමාගම් සහ ආයතන සමත්වී තිබෙනවා.

CO2 ප්‍රතිචක්‍රීකරණය දැන් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් පැත්තක්. සමහරක් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදන මගින් පිටවන CO2 වායුව මුහුදු ජලය තුළින් බුබුලනය කිරීම මගින් Na2CO3 සහ CaCO3 වැනි සංයෝග තනාගැනීමට යොදාගෙන තියෙනවා. මේ සංයෝග සිමෙන්ති නිෂ්පාදනයේම අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් සිය කාබන් පියසටහන් අවම කිරීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. එසේම සමහරක් සමාගම් මේ සංයෝග මගින් ගඩොල් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය තනා දිගුකාලීන CO2  ගබඩා ලෙස පාවිච්චියටත් යොදාගෙන තිබෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල මුහුදු පත්ලේ ඝණ CO2 ගබඩා කිරීමට ද පටන් ගෙන තිබෙනවා. මෙසේ ගබඩා කිරීම මගින් CO2 ප්‍රමාණය අවම කරගැනීම කවදා සිදු කර නිම කරන්නදැයි ඔවුන් සළකා බලා නැති වුනත්, මුහුදු පතුලේ මෙසේ ගබඩා කිරීම මගින් යම් අඩු කරීමකට ඔවුන්  සැරසෙනවා. එසේම දැන් බොහෝ පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත්තේ CO2 භාවිතා කර ඉන්ධන නිපදවීමේ කටයුත්ත සිදු කිරීමට රසායනික සංයෝග සහ උත්ප්‍රේරක භාවිතයයි. ඒ සඳහා සාර්ථක ප්‍රතිඵලයක් තවමත් කිසිවකු ලබාගැනීමට සමත්ව නැතත්, බොහෝ දෙනා නිකල්, පැලේඩියම් සහ ප්ලැටිනම් වැනි ලෝහ සංයෝග යොදාගෙන පර්යේෂණ පවත්වමින් සිටිනවා.

මෙහිදී ද ප්‍රායෝගික ගැටළු පැණ නගිනවා. ඒ උත්ප්‍රේරක වල අධික මිල, උත්ප්‍රේරක සාමාන්‍ය වායුගෝලයේදී ප්‍රතික්‍රියාවලට භාජනය වීම, එහි පිරිවැටුම් අගය  සහ පිරිවැටුම් සංඛ්‍යාතය (turnover number & turnover frequency) අඩු වීම සහ CO2 සඳහා සුවිශේෂීතාවය මඳකම, එසේත් නැතිනම් සාමාන්‍ය වායුගෝලයෙන් CO2 පමණක් වෙන්කර ප්‍රතික්‍රියාවලට භාජනය කිරීමේ නොහැකියාව, වායුගෝලයේ CO2 ප්‍රමාණය මඳකම නිසා ප්‍රතික්‍රියා සඳහා CO2 වෙන්කරගැනීමට අමතර ශක්තියක් භාවිතා කිරීමට සිදුවීම වැනි හේතු නිසා CO2 උත්ප්‍රේරක පිළිබඳ පර්යේෂණ ද ප්‍රාථමික මට්ටමේ පවතිනවා.

මේ සියල්ල මැත අප සියළුම දෙනා තවත් කාළයක් ජීවත් වේවි. පරිණාමයට අනුව අපි වැඩිවන CO2 ප්‍රමාණය එක්ක ජීවත් වන්නට හැඩගැසේවි. අපේ පරිණාමය සිදු වූයේ වසර දහස් ගණනාවක් තුළ, නමුත් මේ වැඩිවීම සිදු වන්නේ දශක ගණනාවක් ඇතුළත. මේ නිසා අපි මේ වෙනසට ඔරොත්තු දේවිද ? නොදේවිද ? පරිසරය අපට මේ වැඩිවන CO2 ප්‍රමාණය සම්බන්ධයෙන් නෙසේ සළකාවිද යන්න අපටම ඉදිරියේදී බලාගන්නට පුළුවනි.

ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයට ගිය සතියේ ඇතිවූ හිම කුණාටුව මේ වෙනස්වන තත්ත්‍ව වලට හොඳ උදාහරණයක්. පරිසරය රත් වීම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. මේ නිසා වලාකුළු ඇතිවීම වැඩි වී වැඩිපුර වැසි, හිම කුණාටු ආදිය වැඩි වන්නට පුළුවන්. ඒ බව පසුගිය වසර 10 තුළ සිදු වූ කාලගුණ විපර්යාස වලින්ම බලාගන්නට පුළුවන්. කුණාටු සංඛ්‍යාව සහ ඒවායේ හානිය වැඩි වීම, අකල්හි වැටෙන වැසි, වර්ෂාපතන රටා වෙනස් වීම ආදිය මේ වෙනසෙහි පෙරමඟ සළකුණු…

ඉතින් අපි මේ සියල්ල මත එක්නෙකා ඇණකොටා ගනිමින්, එකිනෙකාට වලවල් කපමින්, නොයෙකුත් සුළු හේතු මත එකිනෙකා හා අමනාප වෙමින් කල් ගත කරනවා…. ඒ විතරක් නොවෙයි අපෙන් කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී සියල්ල අපට ලබා දෙන පරිසරය විනාශ කරමින් ආත්මාර්ථකාමීව ජීවත් වී පරිසරය විනාශ කර මිය යනවා…

ඉතින් අපි අපේ අනාගත පරපුරට ඉතිරි කළ යුත්තේ කුමක්දැයි සිතීමත්, ඒ පිළිබඳ සිහි නුවණින් සිතා කටයුතු කිරීමත් ඔබට බාර කරනවා….. එක දවසකට එක වැරදි පුරුද්දක් අඩු කරගත හැකි නම්, අපට බොහෝ දුරක් යා හැකියි… ප්ලාස්ටික් බෑගයක් නැවත නැවතත් පාවිච්චි නොකර ඉවත දමන විට ඔබ විනාශ කරන්නේ ඔබේ දරුවාගේ අනාගතය බව ඔබට මතක් කළ හැකි නම් මේ වචන 1250 න් වැඩක් ගත්තා යැයි මට හිත හදාගන්නට පුළුවන් වේවි.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 31, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. අඩෝ අල්කෙමියා මේ ලියන්නේ උඹට දවසක් බොන එකක් ගැන උඹ පච කෙලලා මලපැනපු එකාමය. එදා මට මල පැන්නේ උඹ බොරුව දාපු හින්ද.
    අඩෝ මේකතමය් උඹේ නියම හැකියාව, එල ආර්ටිකල් එක. නියමය් මචන්, ඔහොම යන්!!!, මිනිස්සු ආදේරේ කරන්නේ ඇත්ත එවුන්ට. අද මම උඹට ගොඩක් ආදරෙය් මචන්. ඉදිරියටත්
    උඹ උඹේ නියම සුවරුපේ එලියට දාවි කියල මට හිතෙනවා!!!. හැබය් බොරුව දැම්මොත් අපහු මම උඹට මල පැනල ලියාවි, තරහ වෙන්න එපා.

    කැමතියි

  2. බොහොම ස්තූතියි ඇල්කෙමියො කරුණුවලට. ඒත් මට තියන ගැටළුව කොච්චර කරුණු එලි කලත්, පර්යේෂණ වාර්ථා පලකලත් ඒවා මත පදනම් වී ලාභය මත දිවෙන සමාජයක් තමක් ගමන් කරන විනාශකාරී මගෙන් ඈත් වෙයිද කියන එක.

    එහෙම වෙනවනම් මේ කාලෙ වෙනකොට එලිවී ඇති කරුණු මදි ද? එහෙම උවමනාවක් තියනවනම් අනුංගෙ තෙල්වලට කෙළ හලන්නෙ නැතුව විකල්ප බලශක්තියකට පර්යේෂනාධාර දෙන්න තිබුනෙ නැද්ද [දැනුත් දෙනව තමයි. ඒව ඇක්සලරේට් කරන්න මොනයම්ම ක්‍රමකක් නැද්ද?]

    ඊලඟ ගැටළුව, විකල්ප බලශක්ති සඳහා විසල් පෙළඹවීමක් නැත්තෙ ඒවායෙ තියන අකාර්යක්ෂම භාවය හා අධික වියදම නිසාමද?

    අකාර්යක්ෂමතාවය පැත්තක තියල අධික වියදම ගැන හිතුවොත්, ඊට වඩා අධ්ක වියදම් කරන අභාවකාෂ වැඩසටහන්, යුද්ධ සහ තවත් මල විකාර නවත්තන්න බැරි වෙයිද. කොටින්ම අවම විනාශකාරී බලශක්ති ප්‍රභවයක් හොයන එකට වඩා වැදගත් ද අඟහරුලෝකෙ ජීවීන් ඉන්නවද, එහෙමත් නැත්නම් විශ්වයේ කෙළවර මොකක්ද කියල හොයන එක.

    ඔහොම හිතාගෙන යනකොට මටනම් හිතෙන්නෙ ලෝකෙ බල අධිකාරීන්ගෙ ඇජෙන්ඩා එක ගොඩක් වෙනස් කියල.

    කැමතියි

    • පර්යේෂණ බොහොමයක් පදනම් වෙන්නේ ආර්ථිකය මත, ආර්ථිකය පදනම් වෙන්නේ ලාභය මත, තෙල් වෙලඳාම කියන්නේ කුඩු බිස්නස් එක හැරුණාම ලෝකයේ තියෙන ප්‍රධානතම ලාභ ලබන ව්‍යාපාර වලින් එකක්. එනෙක වන්නේ ඖෂධ වෙළඳාම… කුඩු නීති විරෝධී නැති වුනා නම් ඒක තමයි පළමුවන බිස්නස් එක…
      ඒ වගේ ලෝකයො බොහොමයක් දේ පාලනය වෙන්නේ මෙන්න මේ තෙල් ඒකාධිකාරය මත. මීට දශක කිහිපයකට පෙර තැනුව ලෝකයේ ප්‍රථම ඉලෙක්ට්‍රික් කාරය නැති කළේ මෙන්න මේ තෙල් සමාගම් වල බලපෑම නිසා…
      අභ්‍යවකාෂ ව්‍යාපෘතිය අකාර්යක්‍ෂමයි කියලා අපි හිතුවත් ඒ හරහා බොහෝ දෑ සාමාන්‍ය ජනතාවටත් ලැබිලා තියෙනවා. ඒ පර්යේෂණ අභ්‍යවකාෂ වෘපෘතියටම සීමා වෙලා නැහැ… නමුත් ඒකත් යම් තරමකට තිබිය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ…
      විකල්ප බලශක්තිය අඩු මිලට සැපයීමට බොහෝ ඉඩකඩ තිබුණත් ඒකට හොහෝ බාධක තියෙනවා.. අපි නොදන්න…
      මේ ලෝකයේ බල අධිකාරිය ගැන අපි දන්නේ බොහොම ටිකයි.. අවම වශයෙන් ලංකාවෙ බල තුලනය ගැන මහා ලොකුවට කතා කරන දේශපාලන විචාරකයොවත් හරියට දන්නෙ නෑ…
      එහෙම දන්නවා නම් දුමින්ද සිල්වාට හෙලාකොප්ටර් එකකින් ආරක්‍ෂාව දීගෙන රත්මලාන ගුවන් තොටුපලෙන් පිට කරනකල් කවුරුවත් නොදැන ඉන්න හේතුවක් නෑ.. ඒ වගේම මේවා එහෙම වෙන්නෙ ඇයි කියලා කවුරුවත් නොදැන ඉන්න හේතුවකුත් නෑ…
      මේ ලෝකය කියන දාම් බෝඩ් එක පාලනය වෙන්නේ බොහොම අතලොස්සක් දෙනාගෙ බලපෑම මත…. කොච්චර විවේචන කළත්, අපි ඒ දාම් බෝඩ් එකේ ඉත්තො විතරයි…

      කැමතියි

  3. තෙල් නම් සාපයකි! කතා දෙකක් නැත!

    CO2 මුහුදෙ දාන එකත් ගොංපාට් එකක් කියලයි මට හිතෙන්නෙ!

    අන්තිමට…… එකඑක්කෙනාට වලවල් කපනකොට එ් අයටත් ඔටෝමැටිකලි ම වල කැපෙන බව තමා පේන්නෙ! හැබැයි එ් එක්ක තව අහිංසකයො මිලියන බිලියන ගානකටම වල කැපෙයි! 😦

    කැමතියි

  4. i bookmarked this a month ago…i was in a hurry…n read it today…a superb article…
    i think that the ultimate energy resource will be nuclear…bt nt fission…it will be fusion….
    the only problem is high cost…or else we have enough Li for more than 1 million years…
    the side effects, health hazard, radiation effects is far more less than nuclear fission…who thought that we would have a computer in every home by now??? so i think the fusion energy will become a reality for the whole world by 100 yrs….Lankaweth podi podi ewa thiyei

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: