Monthly Archives: නොවැම්බර් 2011
2011 නොවැම්බර් 30 : ඔබ කවුද ?
ලෝකයේ එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ඒ වගේම අද්විතීයයි. (Unique) … එකම අම්මගේ බඩේ ඉඳලා එකම වෙලාවෙ එලියට ආපු නිවුන්නු වුනත් එකිනෙකාගෙන් වෙනස්.. මේ වෙනසම තමයි සමහරවිට එකිනෙකා ලං කරන්නෙ.. තවත් සමහර වෙලාවක ඈත් කරන්නෙත්… ඒක තමයි අනිත්‍යය.. නැත්නම් වෙනස් වීම… වසර දෙදාස් හයසීයකට පෙර බුදුන් වහන්සේ වදාලේ මෙන්න මේ වෙනස් වීම…
බිලියන හතක් පසු කරපු මිනිස් සමාජයේ මේ ඒකක වර්තමානයේ විද්‍යාත්මකව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වෙන් කරන්නට පුළුවන්……
- විශ්ලේශක – Analytical
- ධාවක – Driver
- වශීකරවන – Charmer
- ප්‍රකාශක – Expressive
පහත දැක්වෙන්නේ මේ වෙනස් පුද්ගල ඒකකයන්හි දකින්නට ඇති විවිධ ලක්‍ෂණ. ඒ එසේ වුනත් කිසිම කෙනෙක්100% ක් මේ එකම වර්ගයකට සීමා වෙලා නැහැ… සියල්ලම මේ වර්ග හතරේ සම්මිශ්‍රණයක්.. නමුත් වැඩිපුර ඇති ලක්‍ෂණ අනුවයි ඔවුන් වර්ගීකරණය වෙන්නේ… ඒකත් අයත් වෙන්නේ වෙනස් වීමට… නැත්නම් වැඩිවන එන්ට්‍රොපියට… අනිත්‍යයට.
මිනිසා නම් සත්‍වයාගේ විවිධ අංශ කිහිපයකි….
- පුද්ගලයින් වෙන වෙනම වර්ග නොකිරීම
- අන් අය විවේචනය කිරීම/නොකිරීම (Judge)
- අන් මිනිසුන් පිළිබඳ ඉගෙන ගැනීම
- හැදියාවන් පිළිබඳ හැදීරීම
- තමන් පිළිබඳවම හැදීරීම
- පුද්ගලික සංවර්ධන අංශයෙහි ලා ක්‍රියා කිරීම
මෙම වර්ගීකරණයේ අක්‍ෂ දෙක මෙසේ නම් කළ හැක.
- x-axis: ක්‍රියාවේ යෙදවීමේ හැකියාව – Ability to execute
- y-axis: අනුවර්තනය වීමේ හැකියාව – Ability to adapt
මේ විවිධ අයගේ ධනාත්මක සහ ඍණාත්මක කරුණු පහත දැක්වෙනවා… මේ හැම දෙනාම එක වර්ගයකට වර්ග කරන්නවත්, වෙන් කරලා හඳුනාගන්නවත් අපට බැහැ…. අපි හැමෝම ගාව මේ වර්ග හතරම අඩු වැඩි ගානට ඉන්නවා…
විශ්ලේශක – Analytical
ධනාත්මක කරුණු
- වැදගත් ප්‍රශ්න අසයි, වැඩිදුර විස්තර දැනගනී, ඇහුම්කන්දෙයි
- නොගැලපීම්, වැරදි සහ හිදැස් පිළිබඳ සැලකිලිමත් වෙයි.
- සියල්ල ක්‍රමාණුකූලව විස්තර කරයි, ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට කැමැත්තක් දක්වයි.
- නිගමනයක් ලබා දිය හැකි තොරතුරු ලබා දෙයි.
- කතා කිරීමේදී ඔබේ අවධානය දිනාගනී, තර්කයන් කෙරෙහි නැඹුරු වේ.
- ව්‍යුහගත, තාර්කික පර්යේෂණවලට කැමති වේ
- නීතිරීති – ආකෘති- සමීකරණ ආදිය සොයයි.
- විද්‍යානුකූල ප්‍රතිඵල කෙරෙහි කැමැත්තක් දක්වයි.
- හොඳම ක්‍රමය සොයයි. 100% ක්ම තොරතුරු ලබා ගැනීමට රුචි වේ.
- අන් අයට ස්ථාවරත්වයක් සහ නියම දැක්මක් ලබා දේ.
ඍණාත්මක කරුණු
- අනවශ්‍ය පරිදි වැඩිපුර විශ්ලේෂණය සහ සැලසුම් කිරීම් කරයි
- අනවශ්‍ය ලෙස දැඩි උද්‍යෝගීමත් වේ
- නම්‍යශීලී නැත. අනවශ්‍ය ලෙස පරිස්සම් සහිතය
- වැඩිපුර ප්‍රතිචාර නොදක්වයි.
- පෞද්ගලික මතයන් සහ සාරධර්ම පහසුවෙන් නොසළකා හරී
- දැඩි සංයමයක් අපේක්‍ෂා කරන අතර කිසිදු තෙතමනයක් නැති ඍජු මනෝභාවයක් සහිතය
- නිතරම තාර්කික ක්‍රමය පිළිබඳව පමණක් අවධානය යොදවයි.
- පීඩනයක් දැනුන විටක පසුබසින අතර ඒ බව සඟවන්නට යත්න දරයි.
- යමක් ගැන අත්දැකීමක් නැතිනම් ඒ සම්බන්ධව තීරණයක් කිරීමට පසුබට වේ.
ධාවක – Driver
ධනාත්මක කරුණු
- කෙටි කාලීන අරමුණු සහ ඉලක්ක කරා ගමන් කරයි
- තාත්වික හෝ යථානුරූපි පුද්ගලයෙකි තත්ත්‍වය, ප්‍රමාණය, සම්පත්, කාල වේලාව වැනි යථාර්ථවාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.
- සත්‍ය වශයෙන්ම වැදගත්වන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට උත්සාහ දරයි.
- නිශ්චිතව ලැබෙන ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනයි.
- අදාල තත්ත්‍වයකදී ඒ පිළිබඳ හොඳ සම්බන්ධතාවයකින් පසු වේ.
- සංකීර්ණ ප්‍රශ්න සරළව විසඳීමේ හැකියාව සහිතය.
- ස්වාධින වන අතර ඉලක්කයක් කරා ගමන් කිරීමට සමතෙකි.
- යම් යම් ප්‍රශ්න වලදී ක්‍ෂණික තීරණ ගන්නා අතර ඒ සඳහා අවදානමක් ගැනීමට නිතරම සූදානම් වේ.
- කරුණු මනාව විස්තර කරන අතර ප්‍රශ්නයට අදාල කරුණු නියමිත හේතු සහිතව කෙටියෙන් විස්තර කරයි.
- අවංකය, ඍජුය, ධනාත්මකය, ඉලක්කයක් කරා අවධානය යොමු වී ඇත.
- ඉක්මන් ඵලදායීතාවය සහ සාර්ථකත්‍වයක් කරා ගමන් කරයි.
ඍණාත්මක කරුණු
- අනවශ්‍ය පරිදි වැඩිපුර විශ්ලේෂණය සහ සැලසුම් කිරීම් කරයි
- අනවශ්‍ය ලෙස දැඩි ලෙස උද්‍යෝගීමත් වේ
- නම්‍යශීලී නැත. අනවශ්‍ය ලෙස පරිස්සම් සහිතය
- වැඩිපුර ප්‍රතිචාර නොදක්වයි.
- අන් අය අභිබවා යන්නට, වැඩ පවරන්නට, ඍජු-තද නිගමන ලබා දෙන්නට ප්‍රමුඛත්‍වය ගනී
- වචනයෙන් නොකිවුවත් අංග චලනයෙන් සිය ප්‍රසාදය/අප්‍රසාදය පළකරයි.
- තමන්ගේ යෝජනාවලට අන් අය බලෙන් එකඟ කරවා ගැනීමට උත්සාහ කරයි.
- එකඟ නොවීම් නොසළකා හරියි
- “හැමෝම දන්නා පරිදි….“ හෝ මට පෙනෙන පරිදි“ ආදී වදන් නිතරම භාවිතා කරයි.
- ආතතිය/ පීඩනය හමුවේ කලබල වේ
- අන් අයගේ අදහසවලට සවන් දීමට අපොහොසත්ය.
වශීකෘත – Charming
ධනාත්මක කරුණු
- මිතුරු සමාගමය / වෘත්තීයමය සමාගමය ප්‍රිය කරයි
- අන් අයගේ අපේක්‍ෂාවන් සඳහා අවධානය යොමු කරයි
- උදවු කරන්නට කැමැත්තක් දක්වයි.
- යථාර්ථවාදී/පරමාදර්ශීය විසඳුමක් කෙරෙහිවඩා අවධානය යොමු කරයි.
- මේ අයට වඩාත් වැදගත් වන්නේ මානව සබඳතා වේ.
- අන් අය තේරුම් ගැනීම, ගරුකිරීම, සාරධර්මවලට ගරු කිරීම මූලික කොට සලකයි.
- පුද්ගලයින් සහ ඔවුන්ගේ කාර්යභාරයන් ගැන අවධානය යොමු කරයි.
- තම සගයින්/සේවකයින්/ වැඩබොප සහකරුවන් හට හොඳ දේ කුමක්දැයි අවධානයෙන් පසු වෙයි.
- කරුණු කාරණා වලට වඩා අන් අයගේ මතය මූලිකව සලකයි.
- භාවාත්මක/සංවේදී පුද්ගලයෙකි.
- විරුද්ධාකල්ප ඇති දෙපැත්තක් එකට එකතු කළ හැකි පුද්ගලයෙකි.
- සිය හැඟීම් නිසි ලෙස ප්‍රකාශ කළ හැකි කෙනෙකි.
- හොඳින් ඇහුම්කන් දෙන නිතර සිනාමුසු මුහුණින් සිටින පුද්ගලයෙකි.
ඍණාත්මක කරුණු
- අභියෝග වලට සහ ඝට්ඨන අවස්ථාවලට අකැමැතිය
- වැරැද්දකට සමාව දීමට පසුබට වේ
- පීඩනය හමුවේ රිදුන ස්වභාවයක් හෝ වැරදිකාර හැඟීමක් පෙන්වයි.
- මූලිකත්‍වය ගෙන ක්‍රියා කිරීමට මැලිකමක් දක්වයි.
ප්‍රකාශකයා – Expressive one
ධනාත්මක කරුණු
- සංසන්දනාත්මකය, සමානතා – විශමතා සලකා බලයි
- සමාජශීලී වේ
- ප්‍රසිද්ධියට කැමැතිය.
- අභියෝග සොයාගෙන යයි… එමෙන්ම සභියෝග ඇති කිරීමට ද සමතෙකි
- ඉක්මනින් අදහස් දැක්වීම, සංකල්ප ගෙනහැර පෑම ආදියට දක්‍ෂය.
- හැකියාවන් සොයා යයි, සහජ ඉවක් ඇත.
- වෙනස් වීම් වලට සහ විවිධත්‍වයට කැමතිය
- විවිධ අවස්ථාවලදී ඉහළින්ම කටයුතු කරන පුද්ගලයෙකි.
- සාකච්ඡා කිරීමේදී ඍජුව සහ දරුණු ලෙස විවේචනය කරමින් අදහස් දක්වයි
- නිර්මාණශීලීත්‍වය අගය කරන අතර එය උපදවයි.
ඍණාත්මක කරුණු
- අසමහර විට රළුය, ඉතා ආවේගශීලීය
- අනවශ්‍ය රණ්ඩු වලට පැටලේ
- අභියෝගාත්මකය, අන් අය සැක කරයි, සමහර විට අන් අය නුරුස්සයි.
- දීර්ඝ සාකච්ඡා නිසා එකඟතාවයන් අහිමි කරගනී
- ප්‍රශ්න අසයි, ඇහුම්කනි දේ, නමුත් අමතක වීම වැඩිය.
- “වෙනත් කෝණයකින් මේ දෙස බැලුව හොත්“ හෝ “ මෙය මේ විදියටම සිදු විය යුතු නැත“ ආදී වදන් නිතර භාවිතා කරයි.
- පීඩනයක හමුවේ විහිළු කිරීම හෝ තරහ යාම සිදු වේ
- සියල්ල තමා හරිහැටි දත යුතුය
ඉතින් බලන්න ඔබ කවුද ? මොනවද කරන්නේ ? කොයි වගේද ? කියලා…
පුළුවන් නම් පුංචි සටහනකුත් ලියන්න ඔබ අයත් වන වර්ගය ගැන.
2011 නොවැම්බර් 27 : අනේ මේ හිරුණිකා නංගි… පිස්සු කෙළින්නෙ නැතිව දන්න රස්සාවක් කරගෙන ඉන්න මෙයා…..
සැලකිය යුතුයි : දේශපාලනය වැනි වචන තිබුණත්, මෙය අවවාදාත්මක ලිපියකි.
ලංකාවේ බොහොමයක් ගෑණු දේශපාලනයට එන්නේ මිනිහා මැරුණාට පසු හෝ මිනිහා මැරුවාට පසුය… මේ ප්‍රවණතාවයෙන් ටිකක් හෝ මිදුනේ අපේ පබා, රෝසි අක්කා, අනුන් කෙළී නංගී, ගීතා අක්කා, ආදී ඉටිකිරිස් කැබලි ටිකක් පමණි.. ඒ ඉතිං අපේ ගොං හරක් ටික මොළයයි ගතිගුණයි බලා ඡන්දෙ දෙන නිසාය. ගොඩම දාහට දෙන චන්‍ද්‍රිකාවෝ, ශ්‍රීමනී, ශ්‍රීමා, ආදියත්, තලතා, සුමේධා, ආදී කස්ටියත් දේශපාලනයට එන්නේ එළිය බැලූ පාන නිවී ගිය පසුය… තවත් කට්ටිය හිටියත් ඒ ගැන වැඩිපුර මම දන්නේ නැති නිසා ඒ අය ගැන කියන්නට යන්නේ නැත. ලිස්ට් එක මෙතැනින් බලා ගන්න
මේ ගොඩට අළුතෙන්ම වැටෙන්නට යන්නේ ජනාධිපති උපදේශක ව සිට දිවංගත වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මැතිතුමාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මෙනෙවියයි. (දිවංගත ජනාධිපති උපදේශක කියා ලිවුව හොත් ලංකාවට එන්න වෙන්නේ නැති නිසා මෙසේ ලිවුවෙමි). ලංකාවේ හැට හුටහමාරක් ඇති ත්‍රී වීල් පක්‍ෂ ගොන්නට එකතු වන්නට තවත් දේශපාලන පක්‍ෂයක් ඇය විසින් අරඹන බව මෑතදී ඇය පවසා ඇති බව කියවන්නට ලැබීමෙන් මගේ ඇඟේ මයිල් කෙළින් වී මේ රටේ මා කරමින් සිටින හිඟන රස්සාවද අතරමග නවතා දමා ලංකාවට පැමිණ ඇයට සහාය වන්නට මට සිතෙන්නට පටන් ගති.
ඒ අසහාය අභිප්‍රායට සහභාගී වන්නට මා විසින් අරඹනු ලැබූ ප්‍රයත්නය ගලක ගැසූ වීදුරු පාත්තරයක් මෙන් සුනු විසුණු වී ගියේ ඇල්කෙමිච්චිගේ මධුර මනෝහර ලාලිත්‍ය ආදරණීය කුස්සියේ දේශනාව නිසාය… වෙනදා මෙන්ම අදද ඇය නිවැරදිය… හිරුණිකාට මේ දේශපාලන මඩගොහොරුවේ පිපුණු අරවින්දයක් වන්නට පුළුවන් වේ නම්, ලංකාව අයිස්චර්යයේ පිවිසුමට යන දවස වැඩි ඈතක නොවේ… තවත් බොහෝ දෑ ඇය දෙසූ නමුත් මාගේ ආත්ම ගරුත්වය ලෝකයා ඉදිරියේ මෙසේ හෝ තබා ගත යුතු නිසා ඒවා පළ කිරීමෙන් වැළකෙමි.
අනේ… ඒ අහිංසක දැරිවියගේ ප්‍රාර්ථනාව කවදා ඉටු වේද ? දිවංගත ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින්ගේ ඇවෑමෙන් දේශපාලන කරලියට පැමිණි ශ්‍රීමා දිසානායක, දිවංගත ශ්‍රීමනී ඇතුලත්මුදලි වැනි කාන්තාවන්ට ගිය කළ කිසිවෙකුට අමතකද ? චන්‍ද්‍රිකා බණ්ඩාරණායක සිය බලය ව්‍යාප්ත කරගත්තේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වූ හේතුවෙනි. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය නොවුනා නම් 1993 දී බස්නාහිර මහ ඇමති වන්නේද, ඉන් පසු අගමැති/ 1994 ජනාධිපති වන්නේද එතුමා වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි. එසේ වූවා නම් අපේ රටේ මහින්ද චින්තනයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. හැබැයි අර අධිවේගී මහාමාර්ගය නම් මීටත් කලින් මීටත් වඩා අඩු වියදමකින් හැදෙන්නට ඉඩ තිබුණි…
ඉතිං හිරුණිකා නංගි මේ අපට කියන්න තියෙන්නේ මෙච්චරය.. රටේ තරුණ පරපුර අතරේ මුල්බැසගෙන තිබූ, ජනතාවගේ ලේ වලට කිඳා බැස තිබූ ජනතා විමුක්ති පෙරමුණටත් යන එන මං නැතුව ගිය මේ රටේ, රටේ ප්‍රධාන විපක්‍ෂය වන එස්සත් ජාතික පස්සෙටත් කරකියා ගන්න දෙයක් නැති මේ රටේ, ඔයා අළුතෙන් පක්‍ෂයක් පිහිටුවාගෙන මොනවා කරන්නද ? දැං ඉතිං දුමින්ද සිල්වත් නැති එකේ තාත්තගේ ව්‍යාපාර ටික දියුණු කරගෙන, පලාතේ තරුණ පරපුර බලා-කියා ගෙන දන්න කියන රස්සාවක් කරගෙන හිටියනං නරකද ?
පිස්සු කෙළින්නෙ නැතිව ඉන්න මෙයා… ඔන්න ඔහේ දන්න දෙයක් කරගෙන ඉන්න…හැබැයි, ඔයාට පුළුවන් නං ලොකු බේබිගෙ ව්‍යාපාරෙට සෙට් වෙන්න ඔයාටත් පුළුවන් වේවි ලොකු බේබි ජනාධිපති වුන දවසට කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී වෙන්න… මේවා ඇවිල්ලා දඩි බිඩියේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි… අවුරුදු 10 ක් විතර plan කරලා කරන්න ඕන දේවල්……ලඟ බලන්න එපා… දුර බලන්න කියලා දීඝායු කුමාරයාගේ පියතුමා කිවුවෙ මරු විකල්ලෙන් නෙවෙයි….. මං කියන්නෙ බොරුද ?
2011 නොවැම්බර් 24 : ඔබ ස්තුතිවන්ත වන්නේ කාටද ? මොනවාටද ?
අද ඉඳලා දවස් හතරක් රසායනාගාරයට නිවාඩු… විශ්ව විද්‍යාලයටම නිවාඩු… තෑන්ක්ස්ගිවිං (Thanksgiving) එහෙමත් නැත්නම් ස්තුති පුදකිරීම, ප්‍රශංසා කිරීම, ආදී නොයෙක් විදියට කිවුවත් කළුකුම් ප්‍රජාවට නම් සන්තෝස දවසක් නෙවෙයි….. මේ දවසේ… හැම ගෙදරකම වගේ කළුකුමෙක් පුරවලා මේසෙ මැද්දෙ තියාගන කපාගෙන කාලා දවස නිවාඩු පාඩුවේ, ක්‍රීඩා කරමින් හෝ තරඟයක් නරඹමින් ගෙවා දමනවා.. හරියටම ලංකාවෙ අළුත් අවුරුද්ද දවස වගේ… තම තමන්ගේ දෙමාපියෝ බලන්න. පවුල් පිටින් ආච්චිලා සීයලාගේ ගෙවල්වල යන්න තමයි මේ දවස යොදාගෙන තියෙන්නේ.. ඊට පසුදා කළු සිකුරාදා..(Black Friday) ගෙවෙන්නේ අඩු මිලට බඩු ගන්න තැන් හොයන්න… මෙහේ හැම කළු සිකුරාදාම නොසිතූ පරිදි සමහර දේවල මිල පහත දානවා.. විශේෂයෙන් කෑම බීම හැර, ඉලෙක්ට්‍රොණික් බඩු, ඇඳුම්, ඇතුළු බොහෝ දේ වල මිල 50 % සිට 70% පමණ පහත දානවා ඒ ඒ වෙළඳසැල් වල.. මේ නිසා සමහරු පැය ගණන් සීතලේ පෝලිම් වල රස්තියාදු වෙලා මේ භාණ්ඩ ගන්න පොරකනවා.. සමහර වෙලාවට හොඳ දේත්, සමහර වෙලාවට නරක දේ අහුවෙලා අමාරුවෙ වැටෙන වෙලාවලුත් තියෙනවා.
ඇත්තෙන්ම මේ නිවාඩුව ලැබුණේ ජනපද වැසියන් (colonists) තම අස්වැන්න සහ දිවිරැක ගැනීමට උදව්වීම යන කරුණු නිසා දෙවියන්ට ස්තුති කිරීමේ කටයුත්තක් ලෙසයි. නමුත් එයත් දැන් දැන් වානිජ්‍යකරණය වෙලා හැම අතින්ම. කළගුණ සැලකීම යන වචනයේ ඉංග්‍රිසි තේරුම (Gratitude) කියන වචනය ලතින් භාෂාවේ Gratia යන්නෙන් බිඳී ආවක්, එහි තේරුම් වන්නේ grace, graciousness, හෝ gratefulness යන්නයි. සමහරවිට මෙය මේ තේරුම් සියල්ලලේ එකතුවක්. Gratitude යන්න ඇඟට දැනෙන නොදැනෙන සියළු ලැබීම් වෙනුවෙන් කරන ස්තූතිවන්ත ඇගැයීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එමගින් මිනිසුන් තමන් තුළ ඇති යහපත් බව අනුමත කරගැනීමකුයි සිදු වන්නේ. තමන් යහපත් නැතිව අනෙක් අය සිදු කරන ක්‍රියාවක්, දීමක් අගය කිරීම සිදු වන්නේ නැහැ. මේ නිසා මෙමගින් දානයක් දීමක් වැනි පරාර්ථකාමී කටයුත්තක යෙදීමේ අවස්ථාවක් ඔවුනට උදා වෙනවා. මේ නිසායි මේ දිනයේ දී බොහෝ නිවෙස්වල දොරවල් ආගන්තුකයන්ට පවා විවෘත වන්නේ.
ධනාත්මක මානසික විද්‍යා පර්යේෂණයන්හිදී මෙන්ම බුද්ධ ධර්මයේදීත් කළගුණ සැලකීම තමන්ට සතුට ගෙන දෙන්නක් බව පවසා තිබෙනවා. බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කළ සියල්ලන්ටම කළගුණ සැලකීම කළා. අනෙකක් තබා තමන්ට පිට දීමට ඉඩ ලබා දුන් නුග රුකට ද දෙවන සතියේ අනිමිස ලෝචනයෙන් ප්‍රත්‍යුපකාර කළේ කළගුණ සැළකීමේ ආනිසංස ලොවට කියා පෑමට. අනුන්ට කළගුණ සැලකීම නිසා තමන්ට ලැබෙන දෑ බොහොමයි. යමක් දීම පිළිබඳ සතුටක්, සතුට නිසා ඇතිවන යහපත් සෞඛ්‍යය, නව සබඳතා ඇතිවීම – පැවති සබඳතා වැඩි දියුණු වීම ආදිය මින් ස්වල්පයක්.
මිනිසුන් කළගුණ සැලකීම විවිධාකාරයෙන් කරනවා. සමහරු අතීතය මතක් කරලා කළගුණ සළකනවා… තවත් සමහරු වර්තමානය වගේම අනාගතය ගැනත් සිතා කළගුණ සළකනවා… අපේ සමහර මුදලාලිලා අනාගතයේ පත්වෙන මැති ඇමති තුමන්ලාට කළගුණ සළකන්න ඡන්දෙට වියදම් කරනවා.. එහෙමත් කරන අය ලංකාවෙ ඉන්නවා.
මේ පිළිබඳ බොහෝ පර්යේෂණ කෙරී තිබෙනවා ඒ සියල්ලෙම ප්‍රතිඵලය වුනේ කළගුණ සැළකීම සහ කෙනෙකුගේ ශුභසාධනය ගැන සම්බන්ධයක් ඇති බව සොයාගැනීමයි. විවාහක යුවලවල් යොදාගෙන කළ පර්යේෂණවලට අනුව තම සහකරු/සහකාරියට ස්තුති කිරීම නිසා ඒ අයගේ සහකරු/සහකාරිය වෙත ඇති බැඳීම වැඩි වන බවත් සොයාගෙන තිබෙනවා. කාර්යාලයේදී උසස් නිලධාරීන් විසින් තම සහායකයින්ට, සේවකයින්ට වචනයෙන් හෝ ස්තුති කිරීමක් හෝ අගය කිරීමක් කිරීමේදී ඔවුන්ගේ ඵලදායීතාවය වැඩිවන බවත් සොයාගෙන තිබෙනවා. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෝර්ටන් ව්‍යාපාර පරිපාලන ආයතනයේ අරමුදල් එක්රැස් කරන්නන් යොදා පර්යේෂණයක් පැවැත්වුනා. මුලින්ම ඔවුන් කොටස් දෙකකට බෙදුවා. එක කොටසක් සුපුරුදු පරිදි ආදි සිසුන්ගෙන් අරමුදල් එකතු කරන්නට යොදා ගත්තා. අනෙක් කණ්ඩායම අරමුදල් එකතු කරන්නන්ගේ අධ්‍යක්‍ෂක තුමා විසින් කරන ලද ප්‍රශංසාත්මක දේශනයකින් අනතුරුව අරමුදල් එකතු කරන්නට යෙදවූවා… මේ දෙවන කණ්ඩායම විසින් පළමු කණ්ඩායම එකතු කළාට වඩා 50% ක් වැඩිපුර එකතු කර තිබුණා.
මේ ගුණාංගය වැඩි දියුණු කරන්න ක්‍රම කීපයක් තිබෙනවා.
- සුබ පැතුම් පතක් මගින් ස්තුති කරන්න.
ඔබේ මිතුරු මිතුරියන් කරන ලද උදවුවක් අරභයා ස්තුති කර සුභපැතුම් පතක් හෝ අවම වශයෙන් කුඩා නෝට් එකක් ලියන්න. තැපෑලෙ යවනවාට වඩා තමන්ම ගිහින් දෙන එක හෘදයාංගම වෙයි.
- අවම වශයෙන් සිතින් ස්තුති කිරීමක්වත් කරන්න
ලිපියක් හෝ සුබ පැතුම් පතක් හෝ යවන්නට බැරි නම් අවම වශයෙන් තමන් විසින් ඒ පුද්ගලයා මතක් කර ස්තුති කරන්න.
- ස්තුති කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ නම් ඇතුලත් ලේඛණයක් තබා ගන්න
මතක තබා ගැනීමට අපහසු නම් එදිනෙදා ලියන දිනපොතක් හෝ ජර්නලයක් ලඟ තබා ගැනීමෙන් ඉඩ ලද අවස්ථාවකදී කලගුණ සැලකීමට හෝ ස්තුති කිරීමට අවස්ථාව ලබා ගතහැක.
- ආගමික වතාවත් වල යෙදෙන්න.
හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ආගමික වතාවත්වල නියැලීමෙන් තමන් කළගුණ සළකන්නට සහ ස්තුතිවන්න වීමටත්, තමන් ආත්මාර්ථකාමී නොවී සිටීමටත් අවස්ථාව උදා කර දේ… තමන් අදහන ආගම කුමක් වුවත්, එය අනුගමනය කිරීමෙන් සිත සන්සුන් වී හොඳ දේ කිරීමට සිත නැඹුරු වීම සිදු වේ.
- භාවනා කරන්න.
භාවනා කිරීම වෙනම කතා කළ යුතු මාතෘකාවකි.. එය ඒ තරම් පුළුල් ය. නමුත් කෙටියෙන් කියනවා නම්, භාවනා කිරීමෙන් සිත එක්තැන් වී සිතටත් ගතටත් සහනයක් ලබා දේ. කලබලකාරී ජීවන රටාවෙන් මිදී ගත-සිත තරමක් සන්සුන් කරගැනීමටත්, අනුන් ගැන සිතීමටත් මෙය මහඟු අවස්ථාවක් කරගත හැක.
මීට අමතරව ඔබට ඉඩ ඇත්නම් ඔවුනට ඔබේ නිවසේ උත්සවයකට ආරාධනා කිරීම, දිවා ආහාරයට ඒ පුද්ගලයින් සමග එකතු වීම, සති අන්තයක් ගත කිරීම වැනි තරමක් ඉහළ ස්තුති කිරීම් ද කරන්නට පුළුවනි.
ඉතින්….. අද ඔබ ස්තුති වන්ත වන්නේ මොනවාටද ? කා වෙනුවෙන්ද කියා නිකමට හිතන්න… සමහර විට එය ඔබට අළුතෙන් යමක් මතක් කර දෙන්නට පුළුවනි.
මට ස්තුති කරන්නට බොහෝ දෙනෙක් සිටිනවා… ඒ ලයිස්තුව ලියන්න ගියොත් මේ ලිපිය ගොඩක් දිගු වෙනවා… ඒ ලැයිස්තුව පසුව පළ කරන්නම්.. නමුත් මම ඒ අයට මගේ හිතින් හැමදාම ස්තුතිවන්ත වෙනවා… අවස්ථාව ලැබුණ හැම විටම ඒ අයටත් ඒ ගැන මතක් කරන්න අමතක කරන්නෙත් නැහැ…
ඒ විතරක් නෙවෙයි… මෙතුවක් කල් මා සමග සිටි ඔබට බොහොමත්ම ස්තුතියි….
2011 නොවැම්බර් 22 : පශ්චාත් භාගය ඉස්ට්‍රයික්…. !
ඇල්කෙමි පැටියගේ මාළු ටැංකියේ හිටපු මාළුවෙක් හදිසියේ මිය ගිහින්…. ටැංකියේ හිටපු ලොකුම මාළුවා පහර දීලා මේ මාළුවා මිය ගිහින්…ඇත්තෙන්ම “මින්මැරුමක්”… සිද්ධ වෙච්ච දේ එහෙම වුනත්, කවුරුවත් අර මාළුවාට තර්ජනයක් කරන්න ගියෙත් නෑ… ඒ වගේම අර ලස්සන මාළුවා පැටියා ආසම කරන මාළුවා නිසා දඬුවමක් කරන්නත් බෑ… (ආයෙම කියනවා…. මේක දේශපාලන ලිපියක් නොවේ).. ඒ වගේම මියගිය මාළුවා තවත් එතරම් ලස්සනත් නැති නිසා ඒ වගේ වෙනත් එකෙක් ගේන්න හිතුවෙත් නැහැ…ටික දවසක් ගතවුනා…. මාළු ටැංකිය අපිරිසිදු වෙන ප්‍රමාණය වැඩියි… දැන් දින දෙකකට තුනකට වතාවක් මාළු ටැංකිය සුද්ද කරන්න වෙලා. ෆිල්ටරෙත් හොඳටම ජරාව බැඳෙනවා… ෆිල්ටරෙත් නිතිපතා මාරු කරන්න සිදු වෙනවා… මේක බලන් ඉන්න බැරිම තැන පොඩි විශ්ලේෂණයක් කළා…
මියගිය මාළුවා Bottom Feeder මාළුවෙක්.. තියෙන ඇල්ගී පාසි, ආදී සියල්ල ඉවත් කරන්නෙක්… ටැංකියට ඒ තරම් වැඩක් නැතියැයි සිතූ.. කිසිදු ලස්සනක් නැති, වැඩිය පීනන්නෙත් නැති කිසිම හැලහොල්මනක් නැතුව හිටපු මාළුවෙක්…නමුත් ටැංකියේ හිටපු වැදගත්ම මාළුවා ඒ මාළුවා ය යන්න කිසිවෙකුට මතක තිබුණේ නැහැ…. ඒ මාළුවා වැදගත් වුනේ ඇයි ? ඌ කැත කළු කිසිම ලස්සනක් නැති වුනත් වැදගත් වුනේ ඇයි ?
ඇත්තෙන්ම ඒ මාළුවා හැමවිටම කළේ ටැංකියෙන් ඇල්ගී ඉවත් කිරීම…ඒ කියන්නේ ටැංකියේ කසල ශෝධකයා ඒ මාළුවා.. කවදාවත් කිසිම ඉල්ලීමක් නොකරපු අහිංසකයෙක්.. කෑම දාන වෙලාවට අනෙක් මාළු අනිත් එක එකාට කොටමින් තරඟ කරමින් කෑවත්, මේ මාළුවාට ඒ ගැන කිසිම ගානක් නෑ.. ඒ උගේ හැටි… අනෙක් මාළු – කෑම වෙලාවට ටැංකිය උඩට ඇවිල්ලා හර්තාල් දැම්මත්, මේ මාළුවා තමන්ගේ පාඩුවේ තමන් කරන වැඩේ කරගෙන යනවා.. ඉතින් ඒ මාළුවා මිය ගියාට පසු ටැංකිය ජරා වීම වැඩි වුනා… පසුගිය දින කීපයම අධික වැඩ තිබුණ නිසාම අළුතෙන් මාළුවෙක් ගේන්න තවමත් බැරි වුනා.. ඉක්මනටම කසල ශෝධකයෙක් ගෙනත් දාන්න ඕන… නැත්නම් වැඩ වැඩි වෙන්නේ මටමයි…
ඉතින් මේකත් අපේ සමාජය වගේ… බලවත් අය පොඩි එවුන්ව තලා පෙලා දැම්මත්, සමාජයේ වැඩි බරක් දරන්නේ, ඕනම කුණුගොඩකට අතගහන්නේ සමාජයේ පහලම ස්ථරයේ ඉන්න අසරණ මිනිස්සු බව අර උඩ වැජඹෙන අය අමතක කරනවා… දවස් දෙක තුනක් කොළඹ කුණු ගොඩවල් අයින් නොකළොත් කොහොමට තියේවිද ? කාර්යාලයක වුනත් ලොක්කා වැඩ වර්ජනය කළා කියලා ලොකුම හානියක් වෙන්නෙ නෑ.. නමුත් වැසිකිලි සෝදන මනුස්සයා වර්ජනය කළොත් දින කීයක් ඒක ඉවසන් ඉන්න පුළුවන් වේවිද ?
මේ කතාව ලියනකොට මම අහපු පරණ කතාවක් මතක් වුනා…
ඇඟේ අවයව එකතු වෙලා වාදයක් ගියාලු මොකක්ද වැදගත්ම අවයවය කියලා මොළය කිවුවලු වැදගත්ම අවයවය තමා කියලා.. ඇත්ත.. ඉතින් මොළය ඒක ඔප්පු කරන්න කියලා මොළයේ ක්‍රියාකාරීත්‍වය ටිකක් අඩපණ කරාලු… සිරුර ටිකක් අඩපණ වුනත්, අනෙක් අවයව වැඩි වෙනසක් නැතිව වැඩ කරගෙන ගියාලු… හදවතත් තමන්ගේ වැඩ පෙන්වන්න ටිකක් හෙමින් වැඩ කළා… ඒ වුනත් අනෙක් අවයව වලට වැඩි ගාණක් දැණුනෙ නෑ.. මේ විදියට බොහොමයක් අවයව තමන්ගේ වැඩ පෙන්වන්න “අකුරට වැඩ කළා“ නමුත් කිසිම කෙනෙකුට වැඩිපුර බාධාවක් වුනේ නැහැ… කවුරු කවුරුත් ලොකු ලොක්කො තමන්ගේ වැදගත්කම පෙන්වලා ඉවර වුනාට පස්සේ ගුද මාර්ගයත් කිවුවා තමනුත් වැදගත් කියලා… ඒ වුනත් කවුරුවත් ගණන් ගත්තෙවත් නැහැ… ඉතින් තමන්ගෙ පාඩුවේ ඒ අවයවයත් හෙමින් හෙමින් අකුරට වැඩ කරන්න ගත්තා… ඔන්න ටික දවසකින් මොළයට ඒක තදින් දැනෙන්න ගත්තා.. ඔලුව කැක්කුම, බඩේ රුදාව, වකුගඩු හරියට ක්‍රියා කරන්නෙ නැතිකම වගේ බොහොමයක් ලෙඩ ශරීරයට දැනෙන්න ගත්තා.. කාටවත් ලෙඩේ හොයාගන්න බැරි වුනා.. අන්තිමට හොයාගෙන හොයාගෙන යද්දි ගුදමාර්ගය වර්ජනයක් දියත් කරලා… යන්තම් පිංසෙන්ඩු වෙලා වර්ජනය නවත්තලා ලොකු විනාශයක් බේර ගත්තා… අන්තිමට ඒ කොටසත් ශරීරයේ වැදගත් අවයවයක් කියලා පිළිගන්න අනෙක් අයට සිදු වුනා ලු.. මේක වැඩිදුර විශ්ලේෂණය කරන අය හිතන්න පුළුවනි කොහොමද අවයව කතා කරන්නේ තනිව ක්‍රියා කරන්නේ කියලා. ජීව විද්‍යාත්මකව පරතෙරට ගිය තවත් අය හිතාවි මොළය හෝ හදවත අක්‍රීය වුනාම සියල්ල අවසානයි නේද කියලා… එහෙම හිතුවොත් හරි වුනත් මේ කතාවෙදි ඉස්මතු කරලා තියෙන්නේ සමාජයේ නොවැදගත් කියලා සම්මත කරගෙන ඉන්න අයත් වැදගත් බව පෙන්වන්න වෙන්න ඇති (මොකද මේක මම ලියපු කතාවක් නෙවෙයි) ඉතිං ඒක එහෙමයි… බුදුන් වහන්සේ කසල ශෝධක සුනීතව මහණ කළෙත් මෙන්න මේ තත්ත්‍වය පෙන්වන්නයි…
අපේ සමහර මිතුරු මිතුරියනුත් පුංචි කාලෙ හරි නැති බැරි කාලෙ හරි ආශ්‍රය කරපු සමහර මිතුරු මිතුරියෝ බොහොම සුළු කාරණා නිසා අමතක කරලා දානවා, එහෙමත් නැතිනම් තරහා වෙනවා.. සමහර වෙලාවට අර පුංචි මිනිහා දන්නෙත් නෑ අර ඉහළට ගිය මිතුරා/ මිතුරිය තරහා වුනේ ඇයිද කියන එකවත්… ඉහළට ගියාට පස්සේ සමාජයේ ඉහල ස්ථරයේ වැජඹෙන ඒ අය පවදා හරි පහළට වැටිච්ච දවසට අන්තිමට උදවු වෙන්න ඉන්නේ අර තවමත් පහළ ඉන්න අය කියලා සමහර වෙලාවට හැමෝටම අමතක වෙනවා… ඒ වගේම මේ සියළු නැටුම් අපි ජීවත්ව ඉන්න ටික කාළයේ නේද කියල එක හැමෝටම අමතක වෙලා තියෙන්නේ…
ඉතිං මිතුරනේ තමන්ට පහළ රැකියාවක් කරන කෙනෙකුට හෝ ජීවන තත්ත්‍වයක් ඇති කිසි කෙනෙකුට හෝ පහත්ව සලකන්න එපා.. සමහරවිට අවසානයේ ඔබට සුළුවෙන් හෝ උදව්වක් කරන්න ඉතිරි වෙන්නේ ඒ මනුස්සයා වෙන්න පුළුවනි…
ඉතිං ඉහළට නගිද්දි අතු කපලා දාන්න ඉස්සරවෙලා දෙතුන් පාරක් හිතන්න… නොහිතූ වෙලාවක කකුල ලිස්සලා වැටෙනකොට අන්තිමට අල්ලගන්න ඉතුරු වෙන්නේ ඒ පුංචි අතු තමයි….
2011 නොවැම්බර් 18 : බල්ලා රට ගියේය…. රට බල්ලාට ගියේය..
අදවන් දවසක………..
රට බල්ලාට ගියේය….
මීට දවස් කීපයකට පෙර
බල්ලා රට ගියේය….
තමන් කැමති විදියට තොප්පිය දාලා බලන්න…..
2011 නොවැම්බර් 17 : හිනාවෙවී අඬන්න හරි, අඬ අඬා හිනාවෙන්න හරි කෙනෙකුට පුළුවන් ද ?
මම ආයෙම අතීතෙට යනවා… ගාළු කොටු පවුරෙ ඇවිදගෙන ගිහින් බංකුවක් උඩ වාඩි වෙලා මුහුද අඬනවා බලා ඉඳලා ඇස්වලට කඳුළු ආපු අවස්ථාවක්… බොහෝ දේවල් ගැන මතක් වෙලා ඇසට කඳුළු බිංදුවක් ආපු අවස්ථාවක්, මතක් වෙනවා…. ඊට පස්සෙ බොහොම ස්වල්ප අවස්ථාවකදි පමණක් නාඬපු මේ ඇස් දෙකට අඬන්නට කඳුළු ඇති බව මතක් වෙච්ච අවස්ථාවක් ආයෙම උදාවෙලා…
තරහක්වත්, දුකක් වත්, නිසා නෙවෙයි… ඇත්තෙන්ම හැඟීම්බර අවස්ථාවක් උදාවෙලා… සමහර වෙලාවට හිත ඇතුළෙන් හිනා වෙවී ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා… හේතුවක් නැතිවම… රසායනාගාරයේදී මේ සිද්ධිය වෙච්ච වෙලාවෙ කවදාවත් මගේ කඳුළු නොදැකපු මගේ ශිෂ්‍යයෙක් ඇවිත් අහනවා මොකද මේ හිනාවෙවී කඳුළු බේරන්නෙ කියලා….
කවදාවත් නැතිව මගේ හිත හොඳටම හැඟුම්බර වෙලා… හිත හරිම බර වෙලා… සමහර වෙලාවට දිගු සුසුමකුත් පිට වෙනවා….
ඒ සියල්ල මැද මම කරගෙන යන වැඩත් කරගෙන යනවා.. මේ හේතුව නිසාම මම රසායනාගාරයේ සාමාන්‍ය වැඩ කරන්නෙ නැතිව එකතුකරපු පරණ දත්ත ගොඩාක් හොයාගෙන ඒවා ප්‍රකාශනයක් පළකිරීම සඳහා එකතු කිරීමට පටන් ගත්තා.. දවසෙම වගේ කළේ ඒක.. එතකොට හිතට හරිම සනීපයි..
කෙසෙල් කොළයක් මතට කටු අත්තක් වැටුනත් – කටු අත්තක් මතට කෙසෙල් කොළයක් වැටුනත්, ඉරි යන්නෙ කෙසෙල් කොළයමයි…එක තැනක කියැවෙනවා…. සමහර වෙලාවකට උණුසුම් දෙතොලක පහස මතක් වෙනවා… තවත් සමහර වෙලාවකට අම්මගේ නොවෙනස් ආදරය මතක් වෙනවා… තවත් සමහර වෙලාවකට තාත්තගේ ප්‍රසිද්ධියේ නොපෙන්වූ ආදරය මතක් වෙනවා.. තවත් සමහර වෙලාවකට මල්ලිගේ නංගිගේ ආදරය මතක් වෙනවා… අද මගේ ඇස්වලට මේ කඳුළු උණන්න ඉස්සර අවසන් වතාවට කඳුළු ගැලුවෙ මුලින්ම ලංකාවෙන් පිටව ආපු දවසෙ…
ඒත්… ඒ සියල්ල මැද මමත් නොනවත්වා ඒ හැඟීමෙන්ම මගේ වැඩ කරගෙන යනවා… මේකෙ ඉවරයක් කවදා හරි වෙයි… ඒ අවසානයට ඇවිත්… රෑ ඉරපාන වැඩසටහන් තුනක් එකදිගට ඇහුවා… සිතට දැනෙන අමුතුම හැඟීම විස්තර කරන්න අමාරුයි.. කාලෙකට පස්සෙ අපේය කියලා කියන්න පුළුවන් වැඩසටහනක් ඇහුවා.. බන්දුල නානායක්කාරවසම් මහතාටත්, දෙරණ මාධ්‍යජාලයටත් බොහොම පිං… වැඩසටහන නිසාම නෙවෙයි… මගේ හිත තවමත් සංවේදියි කියලා මතක් කරලා දුන්නට…..
ප.ලි. : එහෙම කරන්න පුළුවන් කියලා සොඳුරු සිත ලියන වත් මුලින්ම කිවුවා…
2011 නොවැම්බර් 13 : Sorry විජේවීර………
ඉස්සරවෙලා ලියමි: මේ ලිපිය දේශපාලන ලිපියක් නොවේ.
අද නොවැම්බර් 13. මට නම් ඒ දවස වැදගත් වන්නේ ඇල්කෙමි පැටියා මෙලොව එළිය දුටු දවස නිසා… නමුත් ලංකාවට ඒ දිනය වැදගත් වන්න හේතුවක් වුනේ මීට අවුරුදු 22 කට පෙර… තංගල්ලේ තරුණයෙක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ඉගෙනගෙන ලුමුම්බා සරසවියෙ වෛද්‍ය විද්‍යාව හදාරන්න ගොස් සමාජවාදය ඉගෙනගත්තලු… ඒ තරුණයා වෛද්‍යවරයෙක් නොවී නැවත ලංකාවට ඇවිත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තලු… 71 කැරැල්ල නම් ප්‍රසිද්ධ කැරැල්ලත්, 89 දි නැවතත් අසාර්ථක විප්ලවයකිනුත් පසු සැඟවී ගිය මේ පුද්ගලයා නොවැම්බර් 13 වෙනිදා බොරැල්ල කනත්තෙන් සදහටම නික්මී ගියේ බොහෝ දෙනෙකුට හිතන්නට බොහෝ දේ ඉතිරි කරලා…
මේ මනුස්සයා කළ දේ වැරදි වෙන්න පුළුවනි.. නමුත් බොහෝ දෙනා මේ තරුණයාගේ කතාබහට, තර්කයන්ට, මතුකළ කාරණාවලට එකඟ වුනා කිව්වොත් නිවැරදියි.. 1983 ජනාධිපතිවරණ වේදිකාවක සඳහන් කළ පරිදි මේ රටේ ඇති අප්‍රමාණ සම්පත් ප්‍රමාණය නිසි ලෙස පරිභෝජනය කර රට දියුණු කරන්නට ඇති හැකියාව පෙන්වූයේ ඔහු පමණයි.. අනෙක් අපේක්‍ෂකයන් සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වෙත්දී රටේ තරුණ පරපුරට හිතන්න දෙයක්, ඔවුනට එකට රොක් වෙන්නට හැකි ව්‍යාපාරයක් බිහිකරන්නට මේ වෙනතෙක් කෙනෙක් සමත් වූවා නම් ඒ ඔහු පමණයි… පාලනය කළ නොහැකි අප්‍රමාණ ජවයක් ඇති තරුණ පරපුර එක අරමුණක පිහිටුවා ගමනක් යන්නට ඒකරාශී කරගන්නට පුළුවන් වුනා නම් ඒ ඔහු පමණයි… ඔහු කළ දේ හරිද වැරදිද යන්න විග්‍රහ කරන්න මම දේශපාලන වශයෙන් පරිණත නැති වුනත් ඔහු බිහිකළ තුන්වන බලවේගයේ වර්තමාන කලදසාව නම් පැහැදිලි නැහැ.
සාම්ප්‍රදායික දේශපාලනය නව මාවතකට යොමු කරන්නට සමත් වූයේ ඔහු බිහිකළ ව්‍යාපාරයයි. දේශපාලනයේදී පරිත්‍යාග කළ හැකි බවට පෙන්වා දුන්නේ, තමන්ට ලැබුණ මන්ත්‍රී අසුන්වලින් තුනක් පරිත්‍යාග කරන්නට තරම් පරාර්ථකාමී වුනේ, මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නිමකරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලකළේ ඒ ව්‍යාපාරයයි. නමුත් ඔහුගෙන් පසුව පැහැදිලි දර්ශනයක් නොතිබුණ නායකත්‍වයක් ඇති දේශපාලන ව්‍යාපාරයේ මූලික සිද්ධාන්ත සහ සටන් පාඨ මහින්ද රාජපක්‍ෂ මහතා පැහැර ගනිත්දී ඔවුනට සිදු වුනේ විකල්පයක් සොයාගන්නට… ඒ විකල්පය විකාරයක් වෙද්දි, තමන් සමග සිටි සටන් සගයෝ මුදල් සහ තාන්නමාන්න ආදිය පසුපස හඹා ගොස් එකිනෙකා හැලී යත්දිත්, තමන්ගේ සමහර ප්‍රතිපත්ති පාවා නොදී ගිය මේ ව්‍යාපාරය අවසානයේ යන එනමං නැතිව අයාලේ යනවා.. සාම්ප්‍රදායික දේශපාලන මඩ ගොහොරුවේ එරුන මේ ව්‍යාපාරය දැන් නම් ඔවුන්ම කියපු “උනුත් එකයි, මුනුත් එකයි“ සටන්පාඨයට නව අරුතක් එක්කරමින් “උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි“ බවට පත් වෙලා…
මේ ඔක්කොම එකතු වෙලා කොරන වැඩ වලින් කෙළවෙන්නේ රටේ මහජනතාවට කියලා උන්ට තේරුනත්, බඩ වඩා ගැනීමේ සහ තමන්ගේ ගොඩ ලොකු කරගැනීමේ කාර්යයේ නිරතව ඉන්න කාටවත් මේක පේන්නෙ නෑ…
ඉතින් මේ සියල්ල දෙස බලාගෙන ඉන්න අපට කියන්න වෙන්නේ සොරි විජේවීර… වෙරි සොරි කියලා විතරයි…
උන්නැහේ දැන් හිටියනම් මුං පිස්සු කෙළිනවා දැකලා බොරැල්ල කනත්තට ගිහින් වෙඩි තියාගෙන ආදාහනාගාරයට පණිනවා සිකුරුයි…
2011 නොවැම්බර් 11: 2018 මළ කෙළියයි මහරජ ! කෙළිය නේද හම්බන්තොටට ?
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්‍වය ලබාගැනීම සඳහා අපේ හම්බන්තොටත් වලි කෑවා අපි හැමෝම දන්නවා… අපේ ජනාධිපතිතුමා හම්බන්තොටට මේක ගන්නට පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරයේදීත් පොඩ්ඩක් වැඩියෙන් කතා කළා කියලා දේශද්‍රෝහී ජනමාධ්‍ය පළ කරලා තිබුණා. අපට මේ මංගල්‍යය අත්‍යවශ්‍ය දෙයක් ද? අපට මීට වඩා කරන්න වැඩ නැද්ද අම්මපා… ?
යුද්ධය නිමා වී වසර දෙකක් ගත වුනත් තවමත් උතුරු-නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්‍වය 100% ක් යථා තත්ත්‍වයට පැමිණිලා නැහැ. රජය ඒ වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කළත්, තවත් සිදුවිය යුතු දේ බොහෝයි… රටේ අනෙකුත් ප්‍ර දේශවල යටිතල පහසුකම් නගා සිටවීම කළත් තව කළ යුතු දෑ බොහෝයි… මේ සඳහා මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. රටට දැරිය නොහැකි තරම් විශාල සහ අකාර්යක්‍ෂම ඇමති මණ්ඩලයක්, කිසිදු පළක් නැති පලාත් සභා, ප්‍රාදේශිය සභා, නගර සභා, ආදී හැට කෝටියක් පලාත් පාලන ආයතන, පාඩු ලබන ගුවන් සේවයක්, විදුලිබල මණ්ඩලයක්, ප්‍රවාහන සේවයක්, ඛණිජ තෙල් සංස්ථාවක් සහ පාඩු ලබන වෙනත් බොහෝ ආයතන තබාගෙන අපි ලෝකෙට පරකාසය කරන්නට උත්සාහ දරනවා..
අපිට ඇත්තටම මේ සත්කාරකත්‍වය ලැබීමෙන් ලැබෙන්නේ මොනවාද ? හම්බන්තොටට නව නගරයක්, පාරවල්, තරුණයන්ට නව රැකියා අවස්ථා, සංචාරකයින් තරමක් වැඩිපුර පැමිණීම ආදිය…. නැතිවන්නේ ? විශාල මුදල් සම්භාරයක් වියදම් වීම… රට තව තවත් ණය වීම, කොන්ත්‍රාත් කාරයින් සහ දේශපාලනඥයින් සුළු පිරිසක් කොටිපතියන් වීම……. ජීවන වියදම වැඩි වීම..
මෙයින් වඩා වාසිදායක කුමක්ද ? දීර්ඝකාලීනව රට ණය වී මාසයක ක්‍රීඩා සැණකෙළියක් පැවැත්වීමද ? නැතිනම් ඒ මුදල් රටට වැඩදායක පරිදි යොදා ගැනීමද ? (එහෙමවත් වෙනවා නම් කොච්චර එකක් ද ?)
මගේ පෞද්ගලික හැඟීමේ හැටියට නම් මේ සත්කාරකත්‍වය අපට තවමත් දැරිය නොහැක්කක්. අපට කරන්ට බොහෝ දෑ තිබෙනවා.. අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්‍වය නංවා ලන්න මේ මුදල් යොදාගෙන ඒ මිනිස්සු තරමක් හෝ සැහැල්ලුවෙන් තැබීම පිණක්… අවුරුදු 30 ක් මිනිස්සු යුද්දෙන් බැට කකා පටි තද කරගෙන හිටියේ රටේ දේශපාලනඥයින්ට ආදරේකට නෙවෙයි.. රටට තියෙන ආදරේට… ඒ මිනිස්සුන්ගේ රටට තියෙන ආදරේ පඳුරකට පයින් ගැසුවාම 20 ක් විතර විසි වෙන දේශපාලනඥයොන්ටත් තිබුණා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ… ඉකින් මේ අටමගලය අපට නොලැබුණ එක ගැන මට නම් තියෙන්නේ අප්‍රමාණ සන්තෝසයක්…
දැනුත් හිතන්න, වැඩ කරන්න පමා නෑ…
****************************************************
ප.ලි. මෙය දේශපාලන ලිපියක් නොවේ….
සූර්ය බලශක්තිය….. අතීතය, සහ වර්තමානය…
වසර බිලියන 4.568 කට පමණ පෙර අණුක වලාකුලක බිඳවැටීමෙන් තැනුන බවට අනුමාන කරන සෞරග්‍රහ මණ්ඩලය බිහිවූ දා පටන් ග්‍රහලෝක අටක්, චන්‍ද්‍රයින් 167 ක් පමණ (ප්ලූටෝගෙ චන්‍ද්‍රයින් 3 හැර) සහ ඇස්ටරොයිඩ මිලියන ගණනාවකින් සමන්විත ඇස්ටරොයිඩ පටියකින් යුක්තයි. මෙහි කේන්‍ද්‍රය වන්නේ සූර්යයා. දැනට වසර බිලියන 4.568 ක ආයු කාළයක් ගත කරන මෙය 70 % ක් හයිඩ්‍රජන් සහ 28 % ක් හීලියම් වායූන්ගෙන් යුක්තයි.. න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියා (Fusion) සිදුවන මෙහි ශක්තිය විද්‍යුත් චුම්භක තරංග වශයෙන් පිටවෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක්ම දරන මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුවයි.
මිනිසා බිහි වූ දා සිට අහසේ බැබලෙන මෙම වස්තුව දෙස ඔවුන් බැලූයේ ඉතාම භක්තිවන්නව, තේරුම් ගන්න අපහසු, උදේට ඉහළට ඇවිත් රෑ වනවිට හැංගෙන මේ වස්තුව දේවත්වයෙන් පුදන්නට ඔවුන් උත්සුක වූයේ එහි බලය මැනවින් තේරුම් ගත් නිසා වෙන්නට ඇති.. සූර්යයාගෙන් සියළුම දේ ලැබෙන බව ඔවුන් සතුවේ ඒ නිසායි.. නවීන විද්‍යාව කොපමණ දියුණු වුනත් බලාගෙන ගියාම ඇත්තටම එය බොහෝ දුරට එහෙම තමයි… නවීන විද්‍යාත්මකව සහ දර්ශනය අනුව සතත්ත්‍වයාට හිරුගේ සහ සඳුගේ බලපෑමෙන් තොරව ජීවයක් ඇත්තේම නැහැ. කිසිදු අවස්ථාවකදී මේ දෙකෙහි මෙන්ම ග්‍රහලෝක වල බලපෑමකින් තොරව සතත්ත්‍වයාගේ පැවැත්මක් නොමැති බව සොයාගෙන තිබෙනවා. මේ අනුව සත්තකින්ම සූර්යයා දේවත්වයෙන් සැලකීමේ වැරැද්දක් අදටත් දකින්නට බැහැ.
සූර්යයාගෙන් අපට ලැබෙන කිරණවලින් පෘථිවියට ලඟා වන්නේ කෙටි තරංග ආයාමයක් ඇති පාරජම්බුල කිරණ සිට දෘශ්‍ය ආලෝකයේ කිරණ පමණයි. එයිනුත් 100% ක් පෘෂ්ඨයට ලඟා වන්නේ නැහැ..
- වලාකුළු මගින් 17% ක් ආපසු හරවා යැවෙනවා.
- 8 % ක් වාතයේ අඩංගු විවිධාකාර අණු, පරමාණු මගින් පරාවර්තනය කර හරිනවා.
- 6% ක් පෘථිවි පෘෂ්ඨය මගින් පරාවර්තනය කර හරිනවා
- 19% ක් වාතයේ අඩංගු ඕසේන්, දූවිලි අංශු ආදිය මගින් උරා ගන්නවා
- 4% ක් පහළ වායුගොලයේ අඩංගු වලාකුළු මගින් උරාගෙන
46% ක් පමණ ප්‍රයෝජනයට ගතහැකි සූර්යාලෝකය ලෙස අපට ලැබෙනවා. මේ ලැබෙන ශක්තියේ සංඛ්‍යාත්මක අගය වන්නේ දිනකට ටෙරා වොට් 84 ක්, මුළු ලෝකයේම දිනක බලශක්ති අවශ්‍යතාව ටෙරා වොට් 12 යි (2050 දි එය ටෙරා වොට් 40 ක් දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා) එසේ නම්, ලෝකයේම බගශක්ති අවශ්‍යතාව සපුරා ලන්නට මේ සූර්ය ශක්තියට පුළුවන් නේද ? එය ඉතා පහසු ප්‍රශ්නයක් වුනත්, පිළිතුර එතරම් සරළ නැහැ. මේ සඳහා විශාල යටිතල පහසුකම් අවශ්‍යයි. සාමාන්‍ය දිනක පැය 8 ක් සූර්යාලෝකය පතනය වීමේදී වර්ග මීටරයකින් එකතු කරගතහැකි බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් 4.8 ක් පමණයි. මෙය සමාන වන්නේ ගැසොලීන් ලීටර 0.6 කින් නිපදවන ශක්තියට. සාමාන්‍ය ගෘහයක වහලයක වර්ගඵලය වර්ග අඩි 1000 ක් ලෙස ගණන් බැලුවහොත් එයින් එකතු කරගතහැකි ශක්තිය වන්නේ කිලෝ වොට් පැය 450 ක් පමණ. එනම් ගැසොලීන් ගැලුම් 12 ක් පමණ දවාගෙන නිපදවා ගන්නා ශක්තියක්.
මේ වගේ කාර්යක්‍ෂමතා ප්‍රශ්න තිබෙන නිසාත්, සූර්යකෝෂ නිෂ්පාදනයේදී යොදන්නට සිදු වන අධික පිරිවැය නිසාත්, තවමත් සූර්ය බලශක්තිය එකම විකල්පය ලෙස පිළිගන්නට කිසිවෙක් කැමති වන්නෙත් සමත් වෙලාත් නැහැ.
එසේම මේ බලශක්තිය නිපදවන්නට අධික ප්‍රමාණයක් සූර්යකෝෂ අවශ්‍යයි, මේ සඳහා විශාප ඉඩක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ මුළු බලශක්ති අවශ්‍යතාවය වන ටෙරාවොට් 4.5 ක බලය නිපදවන්නට අවශ්‍ය සූර්ය කෝෂ ප්‍රමාණයේ වපසරිය කැන්සාස් ප්‍රාන්තය තරම් විශාල වපසරියක්. මෙය ඇමරිකාව වැනි රටකට සමහරවිට දැරිය හැක්කක් වුනත්, බොහෝ රටවල ඉඩකඩ පිළිබඳ ගැටළු ඇති නිසාම මෙය එතරම් ප්‍රායෝගික නැහැ.
ලංකාවේ ද ප්‍රචලිත සූර්ය තාපයෙන් ජලය උණු කරන සංකල්පය අනුව සූර්ය ශක්තිය එක් තැනකට කේන්‍ද්‍රගත කර ජලය උණුකර ඒ ආධාරයෙන් ටර්බයින ක්‍රියාකරවීම වැනි කටයුතු ද ක්‍රියාවේ යෙදවෙනවා. මේ සියළුම ක්‍රම බොහෝ අකාර්යක්‍ෂම නිසා වෙනත් ක්‍රම කෙරෙහි දැන් දැන් අවධානය යොම් වෙමින් පවතිනවා… ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ දිවා කාළයේ සූර්ය ශක්තිය ගබඩා කර රාත්‍රියට යොදාගතහැකි ක්‍රම පිළිබඳවයි. බැටරිවල ශක්තිය ගබඩා කරගතහැකි වුවත්, ඒවා විසර්ජනය වීම ඉතා ඉක්මනින් සිදුවන නිසා හරිම අවාසියි. මේ නිසායි අපි ශක්ති ඝණත්‍වය (Energy Density) සහ අඩංගු ශක්ති ප්‍රමාණය (Energy Content) අතින් ගත් විට බොහෝ ශක්ති ප්‍රභවයන් අවාසි සහගතයි. පහත දැක්වෙන්නේ විවිධ ඉන්ධනවර්ගවල ශක්ති ඝණත්‍වය ප්‍රස්ථාරගත කර ඇති ආකාරයයි.
මේ අනුව දැනට ප්‍රශස්තම ශක්ති ඝණත්‍වය ඇත්තේ ඩීසල්, ගැසොලීන් වැනි ශක්ති ප්‍රභවයන්ටයි. මේ බාධකය බිඳ ඉදිරියට යන්නට කිසිම ශක්ති ප්‍රභවයක් සමත් වෙලා නැහැ. හයිඩ්‍රජන් වායුව කිලෝග්‍රෑමයකට මෙගා ජූල් 145 ක් වැනි සුවිශාල ශක්ති ඝණත්‍වයක් සහිත වුනත්, ගබඩා කිරීම, ප්‍රවාහනය, සහ ආරක්‍ෂිතව හැසිරවීම වැනි අංශවලින් බොහෝ බාධක ගෙන දෙන නිසා ප්‍රායෝගික නොවන බවයි පැවසෙන්නේ. මේ නිසාම බොහෝ පර්යෝෂක කණ්ඩායම් හයිඩ්‍රජන් වායුව කාර්යක්‍ෂමව ගබඩා කරගතහැකි සහ ඉක්මනින් නිකුත් කළහැකි සංයෝග නිපදවීමෙහි ලා කරන පරීක්‍ෂණවල නිරතවෙනවා. නමුත් කිසිවෙක් හොඳ පිළිතුරක් හොයාගන්නට සමත් වෙලා නැහැ මේ වෙනතෙක්.
මේ නිසා තමයි දැන් දැන් බොහෝ දෙනා සූර්ය බලශක්තිය රසායනික බන්ධනවල ගබඩා කිරීම පිළිබඳ පර්යේෂණ පවත්වන්නේ.. ඒ කොහොමද කියලා පස්සෙ දවසක කියන්නම්….