Daily Archives: නොවැම්බර් 2, 2011

2011 නොවැම්බර් 02 : මාස දහයක්, පෝස්ට් 207 ක්, හිට්ස් 30065 ක්, ප්‍රතිචාර 930ක් ගෙනදුන් ඔබට බොහොමත්ම ස්තූතියි…


හිතට එන හැම දේම වාගේ ලියලා දාන්නට ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ මුල ය. මුල මාස කිහිපයේදී හිතට ආපු කික් එකට හැමදාම දිනපොත ලිව්වත්, මැයි මාසයේ සිට සිදු වූ බොහෝ වෙනස්කම් නිසා දැන් දැන් හැමදාම ලියන්නට වෙලාව හොයාගැනීම බොහෝ අසීරු වී ඇත. රසායනාගාරයේ වැඩත්, ලිපි ලේඛණ වල වැඩත්, පැටියාගේ ඉස්කෝලේ වැඩත්, පැටියාගේ සහ ඇල්කෙමිච්චිගේ වැඩත් අතර හිරවී සිටිනවිට ඇල්කෙමියාට හුස්ම ගන්නත් සමහරවිට අමතක වෙනවා ය.

ඇල්කෙමියා සාමාන්‍යයෙන් බ්ලොග් එක ලියන්නේ හිට් සංඛ්‍යාව බලාගෙනම නොවේ…  ඒ නිසාම බොහෝ දේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව ලියන්නට හැකියාව ලැබුණි. ලියූ ලිපි සංඛ්‍යාව 207 ක් වුවත් බොහෝ සැතපුම් කණු කිසිදු සැමරීමකින් තොරවම පසු වී ගියේය. ප්‍රතිචාර විශාල වශයෙන් නොලැබුණත්, ඒ පිළිබඳවද කම්පාවත් නැත්තේ බොහෝ දෙනා ප්‍රතිචාර නොදැම්මත් කියවන බව ඇල්කෙමියා දන්නා නිසාය.

මානව සංහතියේ පැවැත්මට ලිංගිකත්‍වය සහ දේශපාලනය මැනවින් අවශ්‍ය බව නැවත වතාවක් පෙන්වමින් වැඩිපුරම පාඨක අවධානය යොමු වූයේ ලිංගිකත්‍වය සහ ආණ්ඩුවට බැණවදින ලිපි වලට බවද නොකියාම බැරිය. දුමින්ද සිල්වාගේ වීර ක්‍රියාන්විතය පිළිබඳ ලිපිය වැඩිපුරම අවධානය යොමු වූ අතර හිට්ස් 2000 ක පමණ වැඩි වීමක් ඉන් ලද බවද කිව යුතුමය…. කෙසේ වෙතත්  දේශපාලනය සම්බන්ධ ලිපි ලිවීමෙන් වළකින ලෙස දිගින් දිගටම ලැබුණ ඉල්ලීම් සලකා බලමින්, මා මින්පසු දේශපාලනික ලිපි ලිවීම නතර කරන බව සැමට දැනුම් දීමට ද කැමැත්තෙමි. ජීවිතයට වැදගත් යමක් ලියන්නට ලැබුණොත් ඔබ හා බෙදා ගන්නට උත්සාහ දරන අතරම දිනපතා දිනපොත ලිවීමට නොහැකි වීම පිළිබඳවද කණගාටුව ඔබ සැමට ප්‍රකාෂ කිරීමට මේ අවස්ථාව යොදා ගැන්මට කැමැත්තෙමි.

සමහර දිනවල රෑ මැද්දැක්හරියේ කොම්පියුටරයට කොටන විට පලු යන්න බනින ඇල්කෙමිච්චි ද මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරමි (නැත්තං ඉතිං ඉඳලා හමාරයි නෙවැ)

ඉතින් ඉඩ ඇති විදියට ඉදිරියටත් ලිපි ලියනා බව දැනුම් දෙමින් මෙතෙක් කල් සහ ඉදිරියටත් ඇල්කෙමියාගේ දිනපොත කියවන ප්‍රතිචාර දක්වන සියළුම දෙනාට බොක්කේ පතුලෙන්ම බුර බුරා නැගෙන අවංක ආදර ඉස්කෝතුව පුදමින් මෙසේ නවතිමි.

බෝම ඉස්කෝතුයි

%d bloggers like this: