සූර්ය බලශක්තිය….. අතීතය, සහ වර්තමානය…


වසර බිලියන 4.568 කට පමණ පෙර අණුක වලාකුලක බිඳවැටීමෙන් තැනුන බවට අනුමාන කරන සෞරග්‍රහ මණ්ඩලය බිහිවූ දා පටන් ග්‍රහලෝක අටක්, චන්‍ද්‍රයින් 167 ක් පමණ (ප්ලූටෝගෙ චන්‍ද්‍රයින් 3 හැර) සහ ඇස්ටරොයිඩ මිලියන ගණනාවකින් සමන්විත ඇස්ටරොයිඩ පටියකින් යුක්තයි. මෙහි කේන්‍ද්‍රය වන්නේ සූර්යයා. දැනට වසර බිලියන 4.568 ක ආයු කාළයක් ගත කරන මෙය 70 % ක් හයිඩ්‍රජන් සහ 28 % ක් හීලියම් වායූන්ගෙන් යුක්තයි.. න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියා (Fusion) සිදුවන මෙහි ශක්තිය විද්‍යුත් චුම්භක තරංග වශයෙන් පිටවෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක්ම දරන මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුවයි.

සූර්යයාගේ තොරතුරු

මිනිසා බිහි වූ දා සිට අහසේ බැබලෙන මෙම වස්තුව දෙස ඔවුන් බැලූයේ ඉතාම භක්තිවන්නව, තේරුම් ගන්න අපහසු, උදේට ඉහළට ඇවිත් රෑ වනවිට හැංගෙන මේ වස්තුව දේවත්වයෙන් පුදන්නට ඔවුන් උත්සුක වූයේ එහි බලය මැනවින් තේරුම් ගත් නිසා වෙන්නට ඇති.. සූර්යයාගෙන් සියළුම දේ ලැබෙන බව ඔවුන් සතුවේ ඒ නිසායි.. නවීන විද්‍යාව කොපමණ දියුණු වුනත් බලාගෙන ගියාම ඇත්තටම එය බොහෝ දුරට එහෙම තමයි… නවීන විද්‍යාත්මකව සහ දර්ශනය අනුව සතත්ත්‍වයාට හිරුගේ සහ සඳුගේ බලපෑමෙන් තොරව ජීවයක් ඇත්තේම නැහැ. කිසිදු අවස්ථාවකදී මේ දෙකෙහි මෙන්ම ග්‍රහලෝක වල බලපෑමකින් තොරව සතත්ත්‍වයාගේ පැවැත්මක් නොමැති බව සොයාගෙන තිබෙනවා. මේ අනුව සත්තකින්ම සූර්යයා දේවත්වයෙන් සැලකීමේ වැරැද්දක් අදටත් දකින්නට බැහැ.

සූර්යයාගෙන් අපට ලැබෙන කිරණවලින් පෘථිවියට ලඟා වන්නේ කෙටි තරංග ආයාමයක් ඇති පාරජම්බුල කිරණ සිට දෘශ්‍ය ආලෝකයේ කිරණ පමණයි. එයිනුත් 100% ක් පෘෂ්ඨයට ලඟා වන්නේ නැහැ..

  1. වලාකුළු මගින් 17% ක් ආපසු හරවා යැවෙනවා.
  2. 8 % ක් වාතයේ අඩංගු විවිධාකාර අණු, පරමාණු මගින් පරාවර්තනය කර හරිනවා.
  3. 6% ක් පෘථිවි පෘෂ්ඨය මගින් පරාවර්තනය කර හරිනවා
  4. 19% ක් වාතයේ අඩංගු ඕසේන්, දූවිලි අංශු ආදිය මගින් උරා ගන්නවා
  5. 4% ක් පහළ වායුගොලයේ අඩංගු වලාකුළු මගින් උරාගෙන

46% ක් පමණ ප්‍රයෝජනයට ගතහැකි සූර්යාලෝකය ලෙස අපට ලැබෙනවා. මේ ලැබෙන ශක්තියේ සංඛ්‍යාත්මක අගය වන්නේ දිනකට ටෙරා වොට් 84 ක්, මුළු ලෝකයේම දිනක බලශක්ති අවශ්‍යතාව ටෙරා වොට් 12 යි (2050 දි එය ටෙරා වොට් 40 ක් දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා) එසේ නම්, ලෝකයේම බගශක්ති අවශ්‍යතාව සපුරා ලන්නට මේ සූර්ය ශක්තියට පුළුවන් නේද ? එය ඉතා පහසු ප්‍රශ්නයක් වුනත්, පිළිතුර එතරම්  සරළ නැහැ. මේ සඳහා විශාල යටිතල පහසුකම් අවශ්‍යයි. සාමාන්‍ය දිනක පැය 8 ක් සූර්යාලෝකය පතනය වීමේදී වර්ග මීටරයකින් එකතු කරගතහැකි බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් 4.8 ක් පමණයි. මෙය සමාන වන්නේ ගැසොලීන් ලීටර 0.6 කින් නිපදවන ශක්තියට. සාමාන්‍ය ගෘහයක වහලයක වර්ගඵලය වර්ග අඩි 1000 ක් ලෙස ගණන් බැලුවහොත් එයින් එකතු කරගතහැකි ශක්තිය වන්නේ කිලෝ වොට් පැය 450 ක් පමණ. එනම් ගැසොලීන් ගැලුම් 12 ක් පමණ දවාගෙන නිපදවා ගන්නා ශක්තියක්.

රසායනාගාර සහ ඒවා මලින් නිපදවන සූර්යකෝෂවල කාර්යක්‍ෂමතාවයන්

මේ වගේ කාර්යක්‍ෂමතා ප්‍රශ්න තිබෙන නිසාත්, සූර්යකෝෂ නිෂ්පාදනයේදී යොදන්නට සිදු වන අධික පිරිවැය නිසාත්, තවමත් සූර්ය බලශක්තිය එකම විකල්පය ලෙස පිළිගන්නට කිසිවෙක් කැමති වන්නෙත් සමත් වෙලාත් නැහැ.

එසේම මේ බලශක්තිය නිපදවන්නට අධික ප්‍රමාණයක් සූර්යකෝෂ අවශ්‍යයි, මේ සඳහා විශාප ඉඩක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ මුළු බලශක්ති අවශ්‍යතාවය වන ටෙරාවොට් 4.5 ක බලය නිපදවන්නට අවශ්‍ය සූර්ය කෝෂ ප්‍රමාණයේ වපසරිය කැන්සාස් ප්‍රාන්තය තරම් විශාල වපසරියක්. මෙය ඇමරිකාව වැනි රටකට සමහරවිට දැරිය හැක්කක් වුනත්, බොහෝ රටවල ඉඩකඩ පිළිබඳ ගැටළු ඇති නිසාම මෙය එතරම් ප්‍රායෝගික නැහැ.

ලංකාවේ ද ප්‍රචලිත සූර්ය තාපයෙන් ජලය උණු කරන සංකල්පය අනුව සූර්ය ශක්තිය එක් තැනකට කේන්‍ද්‍රගත කර ජලය උණුකර ඒ ආධාරයෙන් ටර්බයින ක්‍රියාකරවීම වැනි කටයුතු ද ක්‍රියාවේ යෙදවෙනවා. මේ සියළුම ක්‍රම බොහෝ අකාර්යක්‍ෂම නිසා වෙනත් ක්‍රම කෙරෙහි දැන් දැන් අවධානය යොම් වෙමින් පවතිනවා… ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ දිවා කාළයේ සූර්ය ශක්තිය ගබඩා කර රාත්‍රියට යොදාගතහැකි ක්‍රම පිළිබඳවයි. බැටරිවල ශක්තිය ගබඩා කරගතහැකි වුවත්, ඒවා විසර්ජනය වීම ඉතා ඉක්මනින් සිදුවන නිසා හරිම අවාසියි. මේ නිසායි අපි ශක්ති ඝණත්‍වය (Energy Density) සහ අඩංගු ශක්ති ප්‍රමාණය (Energy Content) අතින් ගත් විට බොහෝ ශක්ති ප්‍රභවයන් අවාසි සහගතයි. පහත දැක්වෙන්නේ විවිධ ඉන්ධනවර්ගවල ශක්ති ඝණත්‍වය ප්‍රස්ථාරගත කර ඇති ආකාරයයි.

ශක්ති ඝණත්‍වය

මේ අනුව දැනට ප්‍රශස්තම ශක්ති ඝණත්‍වය ඇත්තේ ඩීසල්, ගැසොලීන් වැනි ශක්ති ප්‍රභවයන්ටයි. මේ බාධකය බිඳ ඉදිරියට යන්නට කිසිම ශක්ති ප්‍රභවයක් සමත් වෙලා නැහැ. හයිඩ්‍රජන් වායුව කිලෝග්‍රෑමයකට මෙගා ජූල් 145 ක් වැනි සුවිශාල ශක්ති ඝණත්‍වයක් සහිත වුනත්, ගබඩා කිරීම, ප්‍රවාහනය, සහ ආරක්‍ෂිතව හැසිරවීම වැනි අංශවලින් බොහෝ බාධක ගෙන දෙන නිසා ප්‍රායෝගික නොවන බවයි පැවසෙන්නේ. මේ නිසාම බොහෝ පර්යෝෂක කණ්ඩායම් හයිඩ්‍රජන් වායුව කාර්යක්‍ෂමව ගබඩා කරගතහැකි සහ ඉක්මනින් නිකුත් කළහැකි  සංයෝග  නිපදවීමෙහි ලා කරන පරීක්‍ෂණවල නිරතවෙනවා. නමුත් කිසිවෙක් හොඳ පිළිතුරක් හොයාගන්නට සමත් වෙලා නැහැ මේ වෙනතෙක්.

මේ නිසා තමයි දැන් දැන් බොහෝ දෙනා සූර්ය බලශක්තිය රසායනික බන්ධනවල ගබඩා කිරීම පිළිබඳ පර්යේෂණ පවත්වන්නේ.. ඒ කොහොමද කියලා පස්සෙ දවසක කියන්නම්….

Advertisements

Posted on නොවැම්බර් 10, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. කතාව නම් මරු. ඇත්තටම ඔය ලැබෙන සූර්යය ශක්තිය පරිවර්ථනය කර ගන්න ක්‍රමයක් තිබුනනන් ගොඩක් ප්‍රශ්න විසදෙනවා. වැඩේ වෙලා තියෙන්නේ තියෙන ක්‍රම වල ගාන වැඩියි වගේම හරිම අකාර්යයක්ෂමයි. අඩු වර්ගපලයකින් වැඩි ශක්ති ප්‍රමාණයක් පරිවර්ථනය කරගන්න ක්‍රමයක්.
    දැන් ලෝකෙම ගොඩාක් කතා කරන්නේ ශක්තිය ගැන ඉතින් එක එක විධි තියෙනවා විකල්ප බල ශක්ති ගැන. පිස්සු විකාර වගේ පේන එව්වත් තියෙනවා. ඒත් ගොඩාක් ඒවා තාමත් තියෙන්නේ සංකල්ප හරි පර්යේෂණ මට්ටමේ. මේ දවස් වල අපි කරන්නෙත් දෙමුහුන් වාහනයකට සූර්යය ශක්තිය කාර්යයක්ෂමව ඇතුලත් කරන මොඩල් එකක් ඩිසයින් කරන එක. ඒක නිසා ඇලෝගේ ලිපිය දැක්ක ගමන්ම කියෝලා ඉවර කලා. හොද ආරම්භයක් දිගටම ලියන්න.

  2. බලශක්ති අර්බූධය ගැන පාසැල් මට්ටමින් කථා කරන්න අවශ්‍ය කාලය ඇවිත්. මේ ගැන අපේ රටේ දරුවන්දැනුවත් කර ඒ අයගේ හැකියාවවන් මතු කර මේ ප්‍රශණයට පිළිතුරු සොයන්න බලන්න ඕන. ඒ වගේම නොමිළයේ හොඳින් ලැබෙන සූර්ය ශක්තිය (සමකාසන්න අපේරටට) බලශක්ති ගැටළුවට දැන්ම ප්‍රයෝජනයට ගන්න ඉක්මනින් සැලසුම් සකසන්න ඕන. ඒ සඳහා රයේ අනුග්‍රය ලබාදීම , උපකරන ආදියට බදු සහන , පර්යේෂන සඳහා විශ්ව විද්‍යයාල ‍අගතුන් යොමු කිරීමට පියවර ගැනීමට කාලය හරි. ගෘහස්ත ඒකක සඳහා සූර්යකෝෂ ව්‍යාපෘති නොමිළයේ සහ හැකියා මත සාධාරණ මිලට ජනතාවට ලබාදීමට විදුලබල අමාත්‍යංශයට පුලුවන්.

  3. වැදගත් සටහනක් මල්ලි. ඔබ වැනියවුන් අපේ රටේ නොසිට වෙන රටවලට දායකත්වය සපයන්නෙ අපේම අවාසනාවට. මගේ ම එක් කුස උපන් එකම සොයුරාත් එහෙමයි. ඔහු ගිය වසරේ මෙහි පැමිණ බලශක්තිය ඉතිරි කර ගැනීම හා අප දැනට නිපදවන අතිරේක ජලවිදුලි බලශක්තිය සූර්ය තාප බලයෙන් ගබඩා කොට අවශ්‍යය වේලාවට යලි ලබාගැනීම පිළිබඳව දේශණයක් කලා අපේ ඇමතිතුමා ඉදිරිපිටම. නමුත් කිසිම ඒ ගැන තාම නම් ප්‍රතිචාරයක් නෑ. ඒ ඇත්තො අරකිව්වා වගේ තම සාක්කුව බලා වැඩ කරනනිසා වෙන්ට ඕනෙ. අපේ රටට මේ දේ ඉතිරිකරන්න කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද? හිතා බැලීමට සුදුසුම කාලයයි මේ. පාර තොට මහදහවල් දැල්වෙන විදුලි පහන් සූර්‍යාලෝකය වැටෙන විට නිවෙන විදිහට ලෙහෙසියෙන්ම සකසන්න දැන් හැකියාව තියෙත්දි නිහඬම ඉන්නෙ ඇයි? අපේ රට!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: