Daily Archives: නොවැම්බර් 22, 2011

2011 නොවැම්බර් 22 : පශ්චාත් භාගය ඉස්ට්‍රයික්…. !


ඇල්කෙමි පැටියගේ මාළු ටැංකියේ හිටපු මාළුවෙක් හදිසියේ මිය ගිහින්…. ටැංකියේ හිටපු ලොකුම මාළුවා පහර දීලා මේ මාළුවා  මිය ගිහින්…ඇත්තෙන්ම “මින්මැරුමක්”… සිද්ධ වෙච්ච දේ එහෙම වුනත්, කවුරුවත් අර මාළුවාට තර්ජනයක් කරන්න ගියෙත් නෑ…  ඒ වගේම අර ලස්සන මාළුවා පැටියා ආසම කරන මාළුවා නිසා දඬුවමක් කරන්නත් බෑ… (ආයෙම කියනවා…. මේක දේශපාලන ලිපියක් නොවේ).. ඒ වගේම මියගිය මාළුවා තවත් එතරම් ලස්සනත් නැති නිසා ඒ වගේ වෙනත් එකෙක් ගේන්න හිතුවෙත් නැහැ…ටික දවසක් ගතවුනා…. මාළු ටැංකිය අපිරිසිදු වෙන ප්‍රමාණය වැඩියි… දැන් දින දෙකකට තුනකට වතාවක් මාළු ටැංකිය සුද්ද කරන්න වෙලා. ෆිල්ටරෙත් හොඳටම ජරාව බැඳෙනවා… ෆිල්ටරෙත් නිතිපතා මාරු කරන්න සිදු වෙනවා… මේක බලන් ඉන්න බැරිම තැන පොඩි විශ්ලේෂණයක් කළා…

ටැංකියේ කසල ශෝධකයා

මියගිය මාළුවා Bottom Feeder මාළුවෙක්.. තියෙන ඇල්ගී පාසි, ආදී සියල්ල ඉවත් කරන්නෙක්… ටැංකියට ඒ තරම් වැඩක් නැතියැයි සිතූ.. කිසිදු ලස්සනක් නැති, වැඩිය පීනන්නෙත් නැති කිසිම හැලහොල්මනක් නැතුව හිටපු මාළුවෙක්…නමුත් ටැංකියේ හිටපු වැදගත්ම මාළුවා ඒ මාළුවා ය යන්න කිසිවෙකුට මතක තිබුණේ නැහැ…. ඒ මාළුවා වැදගත් වුනේ ඇයි ? ඌ කැත කළු කිසිම ලස්සනක් නැති වුනත් වැදගත් වුනේ ඇයි ?

ඇත්තෙන්ම ඒ මාළුවා හැමවිටම කළේ ටැංකියෙන් ඇල්ගී ඉවත් කිරීම…ඒ කියන්නේ ටැංකියේ කසල ශෝධකයා ඒ මාළුවා.. කවදාවත් කිසිම ඉල්ලීමක් නොකරපු අහිංසකයෙක්.. කෑම දාන වෙලාවට අනෙක් මාළු අනිත් එක එකාට කොටමින් තරඟ කරමින් කෑවත්, මේ මාළුවාට ඒ ගැන කිසිම ගානක් නෑ.. ඒ උගේ හැටි… අනෙක් මාළු – කෑම වෙලාවට ටැංකිය උඩට ඇවිල්ලා හර්තාල් දැම්මත්, මේ මාළුවා තමන්ගේ පාඩුවේ තමන් කරන වැඩේ කරගෙන යනවා.. ඉතින් ඒ මාළුවා මිය ගියාට පසු ටැංකිය ජරා වීම වැඩි වුනා… පසුගිය දින කීපයම අධික වැඩ තිබුණ නිසාම අළුතෙන් මාළුවෙක් ගේන්න තවමත් බැරි වුනා.. ඉක්මනටම කසල ශෝධකයෙක් ගෙනත් දාන්න ඕන… නැත්නම් වැඩ වැඩි වෙන්නේ මටමයි…

ඉතින් මේකත් අපේ සමාජය වගේ… බලවත් අය පොඩි එවුන්ව තලා පෙලා දැම්මත්, සමාජයේ වැඩි බරක් දරන්නේ, ඕනම කුණුගොඩකට අතගහන්නේ සමාජයේ පහලම ස්ථරයේ ඉන්න අසරණ මිනිස්සු බව අර උඩ වැජඹෙන අය අමතක කරනවා… දවස් දෙක තුනක් කොළඹ කුණු ගොඩවල් අයින් නොකළොත් කොහොමට තියේවිද ? කාර්යාලයක වුනත් ලොක්කා වැඩ වර්ජනය කළා කියලා ලොකුම හානියක් වෙන්නෙ නෑ.. නමුත් වැසිකිලි සෝදන මනුස්සයා වර්ජනය කළොත් දින කීයක් ඒක ඉවසන් ඉන්න පුළුවන් වේවිද ?

මේ කතාව ලියනකොට මම අහපු පරණ කතාවක් මතක් වුනා…

ඇඟේ අවයව එකතු වෙලා වාදයක් ගියාලු මොකක්ද වැදගත්ම අවයවය කියලා මොළය කිවුවලු වැදගත්ම අවයවය තමා කියලා.. ඇත්ත.. ඉතින් මොළය ඒක ඔප්පු කරන්න කියලා මොළයේ ක්‍රියාකාරීත්‍වය ටිකක් අඩපණ කරාලු… සිරුර ටිකක් අඩපණ වුනත්, අනෙක් අවයව වැඩි වෙනසක් නැතිව වැඩ කරගෙන ගියාලු… හදවතත් තමන්ගේ වැඩ පෙන්වන්න ටිකක් හෙමින් වැඩ කළා… ඒ වුනත් අනෙක් අවයව වලට වැඩි ගාණක් දැණුනෙ නෑ.. මේ විදියට බොහොමයක් අවයව තමන්ගේ වැඩ පෙන්වන්න “අකුරට වැඩ කළා“ නමුත් කිසිම කෙනෙකුට වැඩිපුර බාධාවක් වුනේ නැහැ… කවුරු කවුරුත් ලොකු ලොක්කො තමන්ගේ වැදගත්කම පෙන්වලා ඉවර වුනාට පස්සේ ගුද මාර්ගයත් කිවුවා තමනුත් වැදගත් කියලා… ඒ වුනත් කවුරුවත් ගණන් ගත්තෙවත් නැහැ… ඉතින් තමන්ගෙ පාඩුවේ ඒ අවයවයත් හෙමින් හෙමින් අකුරට වැඩ කරන්න ගත්තා… ඔන්න ටික දවසකින් මොළයට ඒක තදින් දැනෙන්න ගත්තා.. ඔලුව කැක්කුම, බඩේ රුදාව, වකුගඩු හරියට ක්‍රියා කරන්නෙ නැතිකම වගේ බොහොමයක් ලෙඩ ශරීරයට දැනෙන්න ගත්තා.. කාටවත් ලෙඩේ හොයාගන්න බැරි වුනා.. අන්තිමට හොයාගෙන හොයාගෙන යද්දි ගුදමාර්ගය වර්ජනයක් දියත් කරලා… යන්තම් පිංසෙන්ඩු වෙලා වර්ජනය නවත්තලා  ලොකු විනාශයක් බේර ගත්තා… අන්තිමට ඒ කොටසත් ශරීරයේ වැදගත් අවයවයක් කියලා පිළිගන්න අනෙක් අයට සිදු වුනා ලු.. මේක වැඩිදුර විශ්ලේෂණය කරන අය හිතන්න පුළුවනි කොහොමද අවයව කතා කරන්නේ තනිව ක්‍රියා කරන්නේ කියලා. ජීව විද්‍යාත්මකව පරතෙරට ගිය තවත් අය හිතාවි මොළය හෝ හදවත අක්‍රීය වුනාම සියල්ල අවසානයි නේද කියලා… එහෙම හිතුවොත් හරි වුනත් මේ කතාවෙදි ඉස්මතු කරලා තියෙන්නේ සමාජයේ නොවැදගත් කියලා සම්මත කරගෙන ඉන්න අයත් වැදගත් බව පෙන්වන්න වෙන්න ඇති (මොකද මේක මම ලියපු කතාවක් නෙවෙයි) ඉතිං ඒක එහෙමයි… බුදුන් වහන්සේ කසල ශෝධක සුනීතව මහණ කළෙත් මෙන්න මේ තත්ත්‍වය පෙන්වන්නයි…

අපේ සමහර මිතුරු මිතුරියනුත් පුංචි කාලෙ හරි නැති බැරි කාලෙ හරි ආශ්‍රය කරපු සමහර මිතුරු මිතුරියෝ බොහොම සුළු කාරණා නිසා අමතක කරලා දානවා, එහෙමත් නැතිනම් තරහා වෙනවා.. සමහර වෙලාවට අර පුංචි මිනිහා දන්නෙත් නෑ අර ඉහළට ගිය මිතුරා/ මිතුරිය තරහා වුනේ ඇයිද කියන එකවත්… ඉහළට ගියාට පස්සේ සමාජයේ ඉහල ස්ථරයේ වැජඹෙන ඒ අය පවදා හරි පහළට වැටිච්ච දවසට අන්තිමට උදවු වෙන්න ඉන්නේ අර තවමත් පහළ ඉන්න අය කියලා සමහර වෙලාවට හැමෝටම අමතක වෙනවා… ඒ වගේම මේ සියළු නැටුම් අපි ජීවත්ව ඉන්න ටික කාළයේ නේද කියල එක හැමෝටම අමතක වෙලා තියෙන්නේ…

ඉතිං මිතුරනේ තමන්ට පහළ රැකියාවක් කරන කෙනෙකුට හෝ ජීවන තත්ත්‍වයක් ඇති කිසි කෙනෙකුට හෝ පහත්ව සලකන්න එපා.. සමහරවිට අවසානයේ ඔබට සුළුවෙන් හෝ උදව්වක් කරන්න ඉතිරි වෙන්නේ ඒ මනුස්සයා වෙන්න පුළුවනි…

ඉතිං ඉහළට නගිද්දි අතු කපලා දාන්න ඉස්සරවෙලා දෙතුන් පාරක් හිතන්න… නොහිතූ වෙලාවක කකුල ලිස්සලා වැටෙනකොට අන්තිමට අල්ලගන්න ඉතුරු වෙන්නේ ඒ පුංචි අතු තමයි….

%d bloggers like this: