2011 නොවැම්බර් 24 : ඔබ ස්තුතිවන්ත වන්නේ කාටද ? මොනවාටද ?


අද ඉඳලා දවස් හතරක් රසායනාගාරයට නිවාඩු… විශ්ව විද්‍යාලයටම නිවාඩු… තෑන්ක්ස්ගිවිං (Thanksgiving) එහෙමත් නැත්නම් ස්තුති පුදකිරීම, ප්‍රශංසා කිරීම, ආදී නොයෙක් විදියට කිවුවත් කළුකුම් ප්‍රජාවට නම් සන්තෝස දවසක් නෙවෙයි….. මේ දවසේ… හැම ගෙදරකම වගේ කළුකුමෙක් පුරවලා මේසෙ මැද්දෙ තියාගන කපාගෙන කාලා දවස නිවාඩු පාඩුවේ, ක්‍රීඩා කරමින් හෝ තරඟයක් නරඹමින් ගෙවා දමනවා.. හරියටම ලංකාවෙ අළුත් අවුරුද්ද දවස වගේ… තම තමන්ගේ දෙමාපියෝ බලන්න. පවුල් පිටින් ආච්චිලා සීයලාගේ ගෙවල්වල යන්න තමයි මේ දවස යොදාගෙන තියෙන්නේ.. ඊට පසුදා කළු සිකුරාදා..(Black Friday) ගෙවෙන්නේ අඩු මිලට බඩු ගන්න තැන් හොයන්න… මෙහේ හැම කළු සිකුරාදාම නොසිතූ පරිදි සමහර දේවල මිල පහත දානවා.. විශේෂයෙන් කෑම බීම හැර, ඉලෙක්ට්‍රොණික් බඩු, ඇඳුම්, ඇතුළු බොහෝ දේ වල මිල 50 % සිට 70% පමණ පහත දානවා ඒ ඒ වෙළඳසැල් වල.. මේ නිසා සමහරු පැය ගණන් සීතලේ පෝලිම් වල රස්තියාදු වෙලා මේ භාණ්ඩ ගන්න පොරකනවා.. සමහර වෙලාවට හොඳ දේත්, සමහර වෙලාවට නරක දේ අහුවෙලා අමාරුවෙ වැටෙන වෙලාවලුත් තියෙනවා.

Thanksgiving කෑම මේසය..

ඇත්තෙන්ම මේ නිවාඩුව ලැබුණේ ජනපද වැසියන් (colonists) තම අස්වැන්න සහ දිවිරැක ගැනීමට උදව්වීම යන කරුණු නිසා දෙවියන්ට ස්තුති කිරීමේ කටයුත්තක් ලෙසයි. නමුත් එයත් දැන් දැන් වානිජ්‍යකරණය වෙලා හැම අතින්ම. කළගුණ සැලකීම යන වචනයේ ඉංග්‍රිසි තේරුම (Gratitude) කියන වචනය ලතින් භාෂාවේ Gratia යන්නෙන් බිඳී ආවක්, එහි තේරුම් වන්නේ  grace, graciousness, හෝ gratefulness යන්නයි. සමහරවිට මෙය මේ තේරුම් සියල්ලලේ එකතුවක්. Gratitude යන්න ඇඟට දැනෙන නොදැනෙන සියළු ලැබීම් වෙනුවෙන් කරන ස්තූතිවන්ත ඇගැයීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එමගින් මිනිසුන් තමන් තුළ ඇති යහපත් බව අනුමත කරගැනීමකුයි සිදු වන්නේ. තමන් යහපත් නැතිව අනෙක් අය සිදු කරන ක්‍රියාවක්, දීමක් අගය කිරීම සිදු වන්නේ නැහැ. මේ නිසා මෙමගින් දානයක් දීමක් වැනි පරාර්ථකාමී කටයුත්තක යෙදීමේ අවස්ථාවක් ඔවුනට උදා වෙනවා. මේ නිසායි මේ දිනයේ දී බොහෝ නිවෙස්වල දොරවල් ආගන්තුකයන්ට පවා විවෘත වන්නේ.

ධනාත්මක මානසික විද්‍යා පර්යේෂණයන්හිදී මෙන්ම බුද්ධ ධර්මයේදීත් කළගුණ සැලකීම තමන්ට සතුට ගෙන දෙන්නක් බව පවසා තිබෙනවා. බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කළ සියල්ලන්ටම කළගුණ සැලකීම කළා. අනෙකක් තබා තමන්ට පිට දීමට ඉඩ ලබා දුන් නුග රුකට ද දෙවන සතියේ අනිමිස ලෝචනයෙන් ප්‍රත්‍යුපකාර කළේ කළගුණ සැළකීමේ ආනිසංස ලොවට කියා පෑමට. අනුන්ට කළගුණ සැලකීම නිසා තමන්ට ලැබෙන දෑ බොහොමයි.  යමක් දීම පිළිබඳ සතුටක්, සතුට නිසා ඇතිවන යහපත් සෞඛ්‍යය, නව සබඳතා ඇතිවීම – පැවති සබඳතා වැඩි දියුණු වීම ආදිය මින් ස්වල්පයක්.

මිනිසුන් කළගුණ සැලකීම විවිධාකාරයෙන් කරනවා. සමහරු අතීතය මතක් කරලා කළගුණ සළකනවා… තවත් සමහරු වර්තමානය වගේම අනාගතය ගැනත් සිතා කළගුණ සළකනවා… අපේ සමහර මුදලාලිලා අනාගතයේ පත්වෙන මැති ඇමති තුමන්ලාට කළගුණ සළකන්න ඡන්දෙට වියදම් කරනවා.. එහෙමත් කරන අය ලංකාවෙ ඉන්නවා.

මේ පිළිබඳ බොහෝ පර්යේෂණ කෙරී තිබෙනවා ඒ සියල්ලෙම ප්‍රතිඵලය වුනේ කළගුණ සැළකීම සහ කෙනෙකුගේ ශුභසාධනය ගැන සම්බන්ධයක් ඇති බව සොයාගැනීමයි. විවාහක යුවලවල් යොදාගෙන කළ පර්යේෂණවලට අනුව තම සහකරු/සහකාරියට ස්තුති කිරීම නිසා ඒ අයගේ සහකරු/සහකාරිය වෙත ඇති බැඳීම වැඩි වන බවත් සොයාගෙන තිබෙනවා. කාර්යාලයේදී උසස් නිලධාරීන් විසින් තම සහායකයින්ට, සේවකයින්ට වචනයෙන් හෝ ස්තුති කිරීමක් හෝ අගය කිරීමක් කිරීමේදී ඔවුන්ගේ ඵලදායීතාවය වැඩිවන බවත් සොයාගෙන තිබෙනවා. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෝර්ටන් ව්‍යාපාර පරිපාලන ආයතනයේ අරමුදල් එක්රැස් කරන්නන්  යොදා පර්යේෂණයක් පැවැත්වුනා. මුලින්ම ඔවුන් කොටස් දෙකකට බෙදුවා. එක කොටසක් සුපුරුදු පරිදි ආදි සිසුන්ගෙන් අරමුදල් එකතු කරන්නට යොදා ගත්තා. අනෙක් කණ්ඩායම අරමුදල් එකතු කරන්නන්ගේ අධ්‍යක්‍ෂක තුමා විසින් කරන ලද ප්‍රශංසාත්මක දේශනයකින් අනතුරුව අරමුදල් එකතු කරන්නට යෙදවූවා… මේ දෙවන කණ්ඩායම විසින් පළමු කණ්ඩායම එකතු කළාට වඩා 50% ක් වැඩිපුර එකතු කර තිබුණා.

මේ ගුණාංගය වැඩි දියුණු කරන්න ක්‍රම කීපයක් තිබෙනවා.

  • සුබ පැතුම් පතක් මගින් ස්තුති කරන්න.

ඔබේ මිතුරු මිතුරියන් කරන ලද උදවුවක් අරභයා ස්තුති කර සුභපැතුම් පතක් හෝ අවම වශයෙන් කුඩා නෝට් එකක් ලියන්න. තැපෑලෙ යවනවාට වඩා තමන්ම ගිහින් දෙන එක හෘදයාංගම වෙයි.

  • අවම වශයෙන් සිතින් ස්තුති කිරීමක්වත් කරන්න

ලිපියක් හෝ සුබ පැතුම් පතක් හෝ යවන්නට බැරි නම් අවම වශයෙන් තමන් විසින් ඒ පුද්ගලයා මතක් කර ස්තුති කරන්න.

  • ස්තුති කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ නම් ඇතුලත් ලේඛණයක් තබා ගන්න

මතක තබා ගැනීමට අපහසු නම් එදිනෙදා ලියන දිනපොතක් හෝ ජර්නලයක් ලඟ තබා ගැනීමෙන් ඉඩ ලද අවස්ථාවකදී කලගුණ සැලකීමට හෝ ස්තුති කිරීමට අවස්ථාව ලබා ගතහැක.

  • ආගමික වතාවත් වල යෙදෙන්න.

හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ආගමික වතාවත්වල නියැලීමෙන් තමන් කළගුණ සළකන්නට සහ ස්තුතිවන්න වීමටත්, තමන් ආත්මාර්ථකාමී නොවී සිටීමටත් අවස්ථාව උදා කර දේ… තමන් අදහන ආගම කුමක් වුවත්, එය අනුගමනය කිරීමෙන් සිත සන්සුන් වී හොඳ දේ කිරීමට සිත නැඹුරු වීම සිදු වේ.

  • භාවනා කරන්න.

භාවනා කිරීම වෙනම කතා කළ යුතු මාතෘකාවකි.. එය ඒ තරම් පුළුල් ය. නමුත් කෙටියෙන් කියනවා නම්, භාවනා කිරීමෙන් සිත එක්තැන් වී සිතටත් ගතටත් සහනයක් ලබා දේ. කලබලකාරී ජීවන රටාවෙන් මිදී ගත-සිත තරමක් සන්සුන් කරගැනීමටත්, අනුන් ගැන සිතීමටත් මෙය මහඟු අවස්ථාවක් කරගත හැක.

මීට අමතරව ඔබට ඉඩ ඇත්නම් ඔවුනට ඔබේ නිවසේ උත්සවයකට ආරාධනා කිරීම, දිවා ආහාරයට ඒ පුද්ගලයින් සමග එකතු වීම, සති අන්තයක් ගත කිරීම වැනි තරමක් ඉහළ ස්තුති කිරීම් ද කරන්නට පුළුවනි.

ඉතින්….. අද ඔබ ස්තුති වන්ත වන්නේ මොනවාටද ? කා වෙනුවෙන්ද කියා නිකමට හිතන්න… සමහර විට එය ඔබට අළුතෙන් යමක් මතක් කර දෙන්නට පුළුවනි.

මට ස්තුති කරන්නට බොහෝ දෙනෙක් සිටිනවා… ඒ ලයිස්තුව ලියන්න ගියොත් මේ ලිපිය ගොඩක් දිගු වෙනවා… ඒ ලැයිස්තුව පසුව පළ කරන්නම්.. නමුත් මම ඒ අයට මගේ හිතින් හැමදාම ස්තුතිවන්ත වෙනවා… අවස්ථාව ලැබුණ හැම විටම ඒ අයටත් ඒ ගැන මතක් කරන්න අමතක කරන්නෙත් නැහැ…

ඒ විතරක් නෙවෙයි… මෙතුවක් කල් මා සමග සිටි ඔබට බොහොමත්ම ස්තුතියි….

Advertisements

Posted on නොවැම්බර් 24, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. හොඳ ලිපියක් . ඔබටත් බොහොම ස්තූතියි . ඔබත් අපිට බොහෝ වැදගත් වගේම රසවත් ලිපි දෙනව . පිට රටක සිටත් අපත් සමග මෙසේ නිරතුරු එක්වීම ගැනත් ස්තූතිය නැවතත්.

  2. වටිනා කියන ලිපියක්නෙ………….. 🙂

    (සර් පොඩ්ඩක් වැරදිලා වගේ “අනෙකක් තබා තමන්ට පිට දීමට ඉඩ ලබා දුන් නුග රුකට ද …….”)

  3. දැන් දැන් වෙජිටේරියන් වන ඇමරිකානුවන් පිරිස එන්න එන්නම වැඩිවෙනව. අපි ඊයෙ ගියා තෑන්ක්ස් ගිවින්ග් ඩිනර් එකකට. ටර්කි ( කළුකුම් ) මස් වෙනුවට තිබුනේ ඒ හැඩයටම ටෝෆු වලින් හැදූ ටර්කියෙක්.
    ඔය මොනව වුනත් මට නං වටින්නෙ එක දිගටම ලබුණු දින හතරේ නිවාඩුව.

  4. හප්පා රෝස් කරපු ටර්කියෙක් කියලා වැඩක් නෑ.
    ඇලෝ අලුත් ඇදුමක් දාලා නේද මේක සමරන්න. කාලෙකින් ආවේ සමහර විට දැන් ටිකක් කල් ඇති දාලා 🙂
    අපිත් ඇලෝට තෑන්ක්ස් කියන්න ඕනේ හරබර රසබර ලිපි දානවට 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: