Monthly Archives: දෙසැම්බර් 2011
2011 දෙසැම්බර් 31 : කියවන ඔබේ සිත් පරිපූර්ණ වේවා…. ලබන වසර ඔබ සැම හට ජය වේවා……….. !
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
වයිරස් එකක් අවොත් නම් සොරිම වෙනා
තව සමහරු හොරෙන් අරන් පළ කරනා
බ්ලොග් එකටත් දැන් වසරක් ගත වෙන්නා
හිට්ස් නැති වුනත් ඉඩ ඇති හැම විට ලියනා
මගෙ පොඩි දිනපොතට ඉඳහිට එබෙන දනා
ඉඩ ලැබුනොත් කොමෙන්ටුවත් පළ කරනා
ඔබ හට බොහෝ තුති පුදනෙමි ඒ බැවිනා
නිති ලියනට කාලය මට මඳ බැවිනා
ඉඳහිට ලියමි එනමුත් ඔබ හැර නොයනා
නැවතත් තුති පුදමි මා හා සිටි බැවිනා
අවසර සමු ගන්න හමු වෙමු හෙට දිනෙනා
ලියන ලියන හැම දේවල් රස වේවා
දැනුම අරන් ඔබද යමක් උගනීවා
කියවන ඔබේ සිත් පරි පූර්ණ වේවා
ලබන වසර ඔබ සැම හට ජය වේවා
2011 දෙසැම්බර් 30 : නව වසර ඵලදායී කරගැනීමට ශක්තිය ලැබේවා…. !
අද දෙසැම්බර් 30…ඇල්කෙමියාගේ දිනපොතට අවුරුද්දයි.. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් වහන තත්ත්‍වයටම ඇවිත්…. ඒ වුනත් ඇල්කෙමියාගේ දිනපොත නම් තවමත් ගාට ගාටා යනවා… මුලින්ම පටන් ගත්ත 2011 දී අළුතින් හිතමු කියන ලිපියට අනුව මමත් 2011 වසරේදී අළුතින් යමක් හිතුවා කියලයි මට නම් හැඟෙන්නෙ. මම මේ දිනපොත ලියන්න පටන් ගත්තට පස්සේ ජීවිතය ගැන අළුත් විදියකට හිතන්න ගත්තා…
දිනපොත කියවපු බොහෝ දෙනා පෞද්ගලිකවත් ප්‍රතිචාර වශයෙනුත් හොඳ නරක කියලා දුන්නා. එයට බොහොම තුති.
ඉඳලා හිටලා දේශපාලුවෙක් පිස්සු කෙළිනකොට පෘත:ජනයෙක් විදියට මමත් සමහර දේ ලිවුවා. මර්වින් සිල්වා-දුමින්ද සිල්වා-භාරත ලක්‍ෂමන් වැනි අය ගැන ලිවුව දවස්වල හිට්ස් සංඛ්‍යාවත් අහස උසට… මිනිස්සු තව මිනිස්සුන්ට බණිනවා බලන්න විවේචනය කරනවා බලන්න කැමතියි. ලිංගිකත්‍වය ගැනත් එහෙමයි…. ප්‍රතිචාරත් එමට… දත්ත ගත්තොත් දවසකට 99 දෙනෙක් දිනපොත කියවනවා.. මහ ගානක් නෙවෙයි… ඒත් මට ඇති… ලද දෙයින් සතුටු වෙන්න එපායෑ…
මේ ඔක්කොම දේවල් හොරෙන්ම නොවුනත් ඉඩ ඇති වෙලාවට බලලා හොඳ නරක කියන ඇල්කෙමිච්චිගේ සහයත් වසරක් පිරෙන මේ වෙලාවෙ අගය කරනවා ආදරෙන්.. (නැත්තං ඉතිං ගුටි කන්න නේ වෙන්නෙ) වැඩ අධික කමත්, සමහර වෙලාවට පෞද්ගලික කටයුතුත් නිසා දිනපොත එක දිගට ලියැවෙන්නෙ නැති කොට විමසීම් කරන බොහෝ දෙනාටත් ස්තුතිය…
පහුගිය කාලෙ විවිධ මාතෘකා ලියැවුනා.. බොහෝ දෙනා දේශපාලනය කවි කතා ලියනවා… මගේ කැමැත්ත, මගේ ආසාව පුනර්ජනනීය බලශක්තිය, ලෝක බලශක්ති අර්බුධය, විකල්ප බලශක්ති ප්‍රභව ගැන නිසා මින් ඉදිරියට ඒ ගැන වැඩියෙන් ලියැවේවි.
පහුගිය දවසක බස් රේඩියෝවෙනුත් මාව සම්බන්ධ කර ගත්තා… ඒක අහපු ප්‍රතිචාර දාපු අයවෙගේම බස් රේඩියෝවට සම්බන්ධ සියළුම සොයුරන්ට ස්තුතිය… මම එච්චර ලොකු පොරක් නොවුනත් මාව සම්බන්ධ කර ගත්ත එකට.. මගේ දැක්ම අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඉඩ දුන්න එකට..
ඉතිං තව ලියන්න බොහෝ දේ තියෙනවා. අපි ඉදිරි දවසක තව ලියමු…
සමහරු නම් මාව මූණු පොතෙනුත් සම්බන්ධ වෙලා.. අවුරුද්දක් ගතවෙද්දි අළුත් යාළුවො ගොඩක් ඇති වෙලා.. හැබැහින් නොදැක්කත්….. කවදා හරි හම්බ වෙන්නෙ නැතෑ… නේද ?
මම සුබ නව වසරක් පතන්නෙ නෑ… නව වසර සුභ හෝ අසුභ කරගැනීම තියෙන්නේ තමන්ගෙ අතේ… තමන් හරි විදියට ජීවත් වෙනවා නම්, අනෙක් අයත් එක්ක සහයෝගයෙන් ඒ අයට උදවු කරගෙන නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් නව වසර විතරක් නෙවෙයි හැම දවසම සුභ වේවි. රෝමය ගොඩ නැගුවේ එක දවසකින් නෙවෙයි. අපි ජීවත් වෙන හෙට දවස හරියට, අවංකව, නිදහස්ව, හොඳින් ජීවත් වෙන්න ඉටා ගනිමු.. ඒවිදියට මාසයක් ජීවත් වෙනකොට ඉබේම ඒ ජීවන රටාවට ඔබ පුරුදු වේවි…. ඉතින් අපි ප්‍රයෝජනවත් යමක් ලෝකයට දායාද කරමු… ඒකයි මම කියන්නෙ නව වසර ඵලදායී කරගන්න ශක්තිය ලැබේවා කියලා…
අළුත් අවුරුද්දක අළුත් පැතුම් අරගෙන අපි පරණ අවුරුද්ද පසෙක ලා ඉදිරියට පියමනිනවා…. ඒ අත්දැකීම් අරගෙන අපි අපේ ජීවිතය හැඩගස්වා ගනිමු… හෙට ලියන්න වෙන එකක් නෑ… ඒකයි අවුරුද්දේ අවසාන සටහන මෙසේ ලියන්නෙ…
සුබ පැතූ හැමෝටම ස්තුතියි..
ලබන අවුරුද්දෙ හමු වෙමු..
ජය !
ඇල්කෙමියා
2011 දෙසැම්බර් 28 : හෙඩිමක් නැති ලිපියක්
උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන ලියන්න පටන් ගනිපු “මහින්ද මහත්තයෝ – මේ Three idiots ලට මොනවද කරන්නේ ? ” කියලා ලිපියක් කෙටුම්පත් ගොන්නෙ තියෙනවා දැකපු ඇල්කෙමිච්චි දෝස් මුරයක් දැම්මා… තමන්ගෙ තත්ත්‍වයට ගැලපෙන ලිපි ලියන්න කියලා.. දැන් නැන්දම්මා මදිවට දූත් වලි දානවා දේශපාලන ලිපි ලියන්න එපා කියලා.. නැන්දම්මා නම් ඉතිං ඉන්නේ දුරු ඈත රටක නිසා බේරෙන්න පුළුවනි… දූ පැය 24 ම ලඟම ඉන්න නිසා ත්, දූ තරහ කරගත්තොත් ඉතිං නැන්දම්මා තරහ කරගත්තා වගේ නොවෙන නිසාත්, මේ අහක යන දේශපාලන ලිපියක් නිසා නිවසේ සාමය කඩ කිරීම සහ විශේෂයෙන් ආහාර අර්බුදයකට ලක් වීම, වැනි අන්තරාය දායක විය හැකි ක්‍රියාමාර්ග වලට යා යුතු නොවන නිසාත්, සහ ඇල්කෙමිච්චිගෙන් මෙච්චර ගුටි කන්න බැරි වීම වැනි වෙනත් වෙනත් කරුණු නිසාත් (ඇත්ත කියන්න එපායෑ) බාගෙට ලියා තිබූ ඒ ලිපිය වෙනත් ලිපියක් බවට පරිවර්තනය වුනා…
ඉතිං මේ දවස්වල අපි ඔක්කොම ඉන්නේ ටිකක් නිවාඩු මූඩ් එකේ… නත්තලට නිවාඩු දෙන්න පෙර මගේ පර්යේෂණයේ කොටසක දත්ත එකතු කරලා ලිපියක් ලියලා ලොක්කට බාර දුන්නා… විද්‍යාත්මක ජර්නලයකට යවන්න.. ඒ නිසා ඩිංගක් නිවාඩු පාඩුවේ ඉන්න පුළුවනි. ඒ නිසාමත් පැටියාට ගොඩක් කාළයක් තිස්සේ යන්න ඕන වෙලා තිබුණ ගමනක් සහ කාලෙකින් තුන් දෙනා එක්ක කොහොවත් ගියේ නැති නිසාත්, ඊයේ අපි තුන් දෙනාම බොල්ටිමෝර් වල තියෙන ජාතික මින්මැදුර (National Aquarium of Baltimore) බලන්න යොදා ගත්තා.. එදා දවසම වැහිබර දවසක් වුනත් එච්චර ගානක් වුනේ නැහැ. උදේ 10.00 ට විතර අපි එතැනට ගියා.. ටිකට් අරගෙන පෝලිමේ ඉඳලා ඇතුළට ගියාම එතැන සෑහෙන සෙනඟ…. නිවාඩු දවස් නිසා බොහෝ දෙමවුපියෝ තමන්ගේ දරුවෝ අරගෙන ඇවිත්… ඉතින් එතැන මාළු බලන්න ගියා… මගේ සිත්ගත් අංගය වුනේ මාළුන්ට කෑම දෙන එකයි.. කිමිදුම් ඇඳුම් ඇඳගෙන මෝරු, මඩුවොන්ට කෑම දෙන අය වගේම ඩොල්ෆින් සතුන්ගේ රංගනයන් වැදගත්… ලංකාවෙ නම් ඒ වගේ තැනක් පවත්වාගෙන යන්න පුළුවන් වේවිද කියලත් හිතුනා. ඒ වැඩ කරන මිනිස්සුන්ගෙ කැපවීම, විනය උපරිමයි… ඒ හැම සතෙක්ම තමන්ගෙ දරුවෙක් ගානයි.. ලංකාවෙ සත්තු වත්තෙත් ඒ වගේ සත්තුන්ට දරුවොන්ට වගේ සලකන අය ඉන්නවා කියලා පත්තරේක දවසක් තිබුණා… (ඒ අයට මගේ හෘදයංගම ප්‍රණාමය) ඉතින් ඒ සියල්ල නරඹලා ගෙදර එනකොට ටිකක් රෑ වෙලා..
අද රසායනාගාරයට ආවා. රසායනාගාරයෙත් වැඩි වැඩක් නෑ… ළමයිනුත් තුන් දෙනයි ඇවිත් ඉන්නේ.. මටත් අළුතෙන් වැඩක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ… ඉතින් කාලෙකින් දිනපොතේ අපි ගැන කිසිවක් ලියැවුනේ නැති නිසාත්, දේශපාලනය ගැන අමුතුවෙන් ලියන්න යමක් නැති නිසාත් මේ ලිපිය ලියලා දැම්මා…
අද රෑට පැටියගේ යාළුවෙක් සහ එයාගෙ දෙමාපියෝ එනවා රෑ කෑමකට… ඇල්කෙමිච්චි දඩි බිඩියේ උයනවා ඇති…ඊටත් පස්සේ මාත් එක්ක දැනට අවුරුදු 20 කට විතර ඉස්සර රන්ජන් සිල්වා මහත්තයාගේ මහරගම රසායන විද්‍යා පන්තියේ එකට හිටපු දැනට මිසිසිපි ජාතික සරසවියේ ආචාර්ය උපාධිය කරන ගජමෑන් ගජ පැටියා සහ ගජ හාමිනේ (නම ලියන එක පෞද්ගලිකත්‍වයට හානි පැමිණෙන්න පුළුවනි) එනවා අපේ ගෙදර ලොකු ට්‍රිප් එකක් යන ගමන් රැයක් නවතින්න.. ආගිය තොරතුරු ගොඩක් කතා කරගන්න පුළුවන් වේවි…
මෙන්න තියෙනවා ඊයෙ ගත්ත පින්තූර ටිකක්… පින්තූර 277 කින් මොනවා මෙතැනට දාන්නද කියලා හිතා ගන්න බෑ… මූණු පොතට නම් 125 ක් දැම්මා….
2011 දෙසැම්බර් 25 : හැමදාම නත්තල් නෑ….
අද නත්තල්… ඇත්තෝ කති… ටිකක් ඇත්තෝ ටික වෙන්න කති…. නැත්තටම නැත්තෝ ලෙවකති… මේකයි යථාර්ථය…
දැන් දැන් නත්තල ව්‍යාපාරික ප්‍රජාවට අයත් දෙයක් වෙලා.. බොහෝ දෙනෙක් නත්තලට සැරසෙන්නේ නොවැම්බර් අවසානයේ සිට.. නත්තල් සේල්… අර සේල් මේ සේල්… ඇමරිකාවෙ නම් තෑන්ක්ස්ගිවිං ඉවර වුන දා සිට… බලුප් වැල් දාලා.. ගස් සරසලා… හිස් පෙට්ටි තෑගි දවටන වලින් ඔතලා.. බෝ ගැටගහලා එක විකාරයයි. නත්තල් දවසට හුවමාරු කරන තෑගි ගැනත් බරටම කතාව… මත්පැන් අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන මගේ මිතුරියක් පැවසුවේ අවුරුද්දේ වෙළඳාමෙන් සියයට 60 ක් සිදු වන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙක ඇතුලත කියලයි.. ඒ නත්කලේ සහ නව වසරේ අනෙක් පැත්ත….
පැටියා නං වේලසනින්ම නිදා ගත්තා සැන්ටා ඇවිත් තෑගි තියන එකක් නෑ කියලා බය වෙලා… මටත් ඇල්කෙමිච්චිටත් කවදාවත් නත්තල් කියලා දෙයක් තිබුණෙ නැහැ.. ඇති වැඩකුත් නැහැ… නිකම් බොරුවට එදාට තෑගි හුවමාරු කරගන්නවට වඩා ඒ දවසත් අනෙක් හැම දවසක් වගේම ගෙවිලා යන එකයි අපේ ජීවිත වල රටාව.. එදා ඉඳන් අද දක්වාම අපේ දැක්ම ඒකයි… කිසිම විශේෂ දවසක් අපට විශේෂ නැහැ… උපන් දිනයක් වුනත් සරළව ගත්තොත් තමයි සතුට… දැන් නම් පැටියාට ඕන නිසා ගහක් ගෙනැත් දාලා එයා ලවාම සරසවනවා… ගහ යට තෑගි ටිකක් තියලා තියෙනවා හෙට උදේ නැගිට්ටාම ගන්න… ඒකයි අපේ පිටට පේන නත්තල……
අපි මෙහෙම නත්තල් ගත්තට අද දවසේ එක කෑම වේලක් නැති මිනිස්සු දරුවො කොච්චරක් ලෝකෙ ඇතිද ? ඒ අයට කවදා නත්තලක් සමරන්න පුළුවන් වේවිද ? අපි මේ ගෙවන ජීවිතේ පිටට ඔපය විතරක් තිබුණාම ඇත් ද ? විනෝද වෙන්න ඕන.. මම නෑ කියන්නෙ නෑ..
නමුත් අපි කවදා හෝ අනුන් ගැන හිතනවා ද ? අනුන්ට පිහිට වෙන්න, අනුන් වෙනුවෙන් යමක් කරන්න, නැති බැරි කෙනෙකුට යමක් දෙන්න අපි හිතනවා ද ? හිඟන්නන්ට සල්ලි දීම හෝ යාළුවන්ට පාටි දැමීම හෝ අනුන් වෙනුවෙන් යමක් කිරීමක් කියා ඔබ අර්ථ දක්වන්න පුළුවන් සමහර වෙලාවට… නමුත් ඇත්තෙන්ම ඔබ ඔබේ දාඩිය මහන්සිය, දැනුම, මිල මුදල්, වෙලාව, කිසිදු ලාභ ප්‍රයෝජනයක්, නැවතත් උදවුවක් ඉල්ලීමේ පරමාර්ථය හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථයකින් තොරව දන් දීලා තියෙනවාද ? පිළිතුර ඔව් නම් ඔබ සැබෑම මානව හිතවාදියෙක්…
එසේ නොවේ නම් ලබන්නා වූ අවුරුද්දෙ වත්, මේ ලෝකෙ ජීවත් වෙන්නෙ මං විතරක් නොවේය.. මගෙන් ලෝකෙට වෙන්න ඕන යමක් තිබේය කියලා වත් හිතාගෙන… දවසක් හෝ අනුන් වෙනුවෙන් වැය කරන්න…..
එක දුරකථන පණිවුඩයෙන් මිනිස්සු 5000 ක් පමණ එකතු කරගන්න පුළුවන් වුන දුමින්ද සිල්වා මැතිතුමා අද අත පය පණ නැති මොළය අක්‍රීය රෝගියෙක් බවට පත් වෙලා… එදා හිටපු කවුරුවත් අද පිහිටට නැහැ… මේකයි ලෝක ස්වභාවය…. අපි කොච්චර ද්‍රව්‍යමය දේවල් එකතු කළත් යන දවසට අරන් යන්න වෙන්නේ කියපු කරපු දේවල ආනිසංස පමණයි… බුදුන් වහන්සේ වදාල ධර්මයත්, ජේසුස් වහන්සේ වදාල ධර්මයත් මිනිසා එකම අරමුණක් කරා ගෙන යන්නක්… අපි අද ජාති ආගම් කුළ ඇති නැති භේද සියල්ලම බදාගෙන ජීවත් වුනත්, අපේ හැම දෙනාගෙම ඇඟේ දුවන්නේ එකම ලේ… අපි හැමෝම හැදිලා තියෙන්නේ එකම ජාතියේ පරමාණු, අණු, සංයෝග වලින්… මේ ටික තේරුම් නොගන්නා තාක් කල් අපි හැමදාම භේද වෙලා කුලල් කා ගනීවි…
අපට හැමදාම නත්තල් නෑ… නැති බැරි දවසක සමහර විට අර ඔබ උපකාර කරපු කෙනෙක් ඔබට උදවු වෙන්නට පුළුවනි…. ඉතින් අනුන් ගැනත් හිතන්න… සතුට වැඩි වෙන්නේ දේවල් බදාගන්න තරමට නෙවෙයි… බෙදාගන්න තරමට….
2011 දෙසැම්බර් 19 : හොරු සමඟ හෙළුවෙන්… ලාංකීය දේශපාලනයේ පැහැබර අනාගතය
මේ ලිපිය සතියක් පුරා කෙටුම්පතක් සේ හිර වී තිබුණ ලිපියක්… පසුගිය සතියේ කාර්ය බහුල වීම නිසාත්, පෞද්ගලික අවශ්‍යතාවයන් නිසාත් ඇල්කෙමියාගේ දිනපොත අකුරු කරන්නට නොහැකි වුනා… මෙය එතරම් පරිපූර්ණ ලිපියක් නොවන්නේත් ඒකමයි….
ලාංකීය දේශපාලකයා යනු කිසි විටක විශ්වාස කළ නොහැකි, වංක, මුග්ධ, නිර්ලජ්ජී, දාමරික, පටු අදහස් ඇති, ආත්මාර්ථකාමී, බලකාමී, සතෙකු බවට රටේ බොහෝ දෙනා විසින් පිළිගනු ලබන තත්ත්‍වයකට ඔවුන් විසින්ම පත් කරගෙන ඇත. මේ සඳහා ඔවුන් සූදානම් වන්නේ තමන් ගමේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන කාළයේ දී හෝ ඉහළ තනතුරක වැජඹෙන කාලයේ ලොකු ලොක්කන්ගේ පශ්චාත් භාගය කසන කාලයේදී හෝ ලොකු ලොක්කන් ගේ පුද්ගලික ලේකම්, කාර්ය මණ්ඩලයේ හෝ වෙනත් කාර්යාලයක සේවය කරන අවස්ථාවේ වැනි ස්ථානයක සිටය. සිය ලොකු ලොක්කන්ගේ මුග්ධ ක්‍රියා කලාපය සහ සාර්ථකත්‍වය දකින පුහුදුන් සේවකයා හෝ ආධාරකයා තමන්ටද මෙසේ දියුණු විය හැකි බව සිතා සිය ස්වාමියාගේ ආධාරයෙන් ජනතාව රැවටීමේ කර්තව්‍යයට වීදි බසී…
මේ අයුරින් විවිධාකාරයෙන් මේ පිරිස දේශපාලනඥයන් වී, ඇති හැකි අය දියවන්නා මඩ වගුරටත්, නැති බැරි අය ප්‍රාදේශීයවත් තවත් අය පලාත්බදවත් අපව පාලනය කිරීමට පත් වෙති. මින් කී දෙනෙකු නිසි සුදුසුකම් සපුරා ඇත්දැයි දන්නේ ඉතිං නාථ දෙයියන්ම පමණි. මෙසේ පත් වෙන ” සම-හරක් ” අය තමන් ලේ වලින් අත්සන් කළ දිවුරුම් ප්‍රකාශ ඉරා දමමින් පැති මාරු කරති, එසේ කරන්නේ තමන්ගේ උවමනාව පිණිස නොව ජනතාවට සේවයක් කිරීමට බව ඔවුන් අපට කිවුවත්, වෙන්නේ මොකක් ද කියා දැන් හැමෝම දනිති… 17 ක් රැගෙන ආණ්ඩුවට ගිය කරු ජයසූරිය, මහාචාර්ය ජී ඇල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා, මාධ්‍යවේදී – මා මිතුරු මනුෂ, ටෙලි නාට්‍ය නිලි පබා, මගේ භෞතික විද්‍යා ගුරු ග්‍රේරු මහතා වැනි ජාතික මට්ටටමේ අයද, ඉන් අනතුරුව පිල් පැන්න අනෙක් අයද මේ පිල් මාරු කළේ හුදෙක්ම ජනතාවට සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාව නිසා මිසක් විනා තමන්ගේ ලාභ ප්‍රයෝජනය තකා නම් නොවන බව මෙතැනදී නොකියාම බැරිය.
මෙසේ පිල් මාරු කළ ගාමිණී ලොකුගේ මහතා තිලංග සුමතිපාල මහතා සමග අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ උපනායක දෙපල වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන දෙපල වෙත අපූරු චෝදනාවක් එල්ල කර ඇත. එනම් ඔවුන් ඇමරිකානු ඩෙලර් 15000 කට ක්‍රිකට් තරඟ පාවා දීමක් කල බවය. මෙසේ චෝදනා කිරීම මෙන්ම අනෙක් දේශපාලනඥයින් අනුන්ට දූෂණ චෝදනා නැගීම “කේතලය තේකලයට කළු යැයි පැවසීම” (Kettle calling the pot black) වැනි උත්ප්‍රාසය දනවන සිදුවීමකි. ගාමිණී ලොකුගේ මහතා මෙන්ම තිලංග සුමතිපාල මහත්වරුන්ගේ ද පැටිකිරිය සැවොම දනිති. මොන තරඟ පාවාදීමක් කළද, අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා නොවන්නට ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලාංකිකයන්ට තවමත් හීනයක් බව ඔවුනට අමතක වී ඇත. තරඟ පාවාදීමක් කළ හැකිව තිබුණි නම් එය කළ හැකිව තිබුණේ ලෝක කුසලාන අවසාන තරඟයේදීය… එය එතරම්ම ශ්‍රී ලංකාවට වාසි තරඟයක් වූ බැවිනි.. අනෙක් පැත්තට ඔට්ටු ඇල්ලූ කෙනෙකු ක්‍ෂණිකව කෝටිපතියකු කරන්නට එම තරඟ පාවාදීමකට ඉඩ තිබූ නිසාය..
අළුත්ම නාටකය වන්නේ එජාපයේ නායකකම බෙදා ගැනීමේ තරඟයයි…. කුමන හෝ සිදුවීමක් නිසා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්‍වයට පත් වී ඇත… ඒ සෙල්ලම ද දැන් තව අවුරුදු කිහිපයකට හෝ අවම වශයෙන් අවුරුද්දකට හෝ කල්ගොස් ඇත… දේශපාලනයත් පාතාලයත් එකක් බව දුමින්ද සිල්වා – භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර නාටකය හැමටම මැනවින් කියා පෑවේ පසුගිය මාසයේ දීය…ද්‍රවිඩ ජාතික සංධානයද මෙතුවක් කල් වසාගෙන සිටි මුඛයත් අධෝමුඛයත් දෙකම හැරගෙන ශයිලොක් ගේ චරිතය රඟපාමින් සිටිති….
තමන්ගේ ගොඩ වඩා ගැනීම වෙනුවට තමන්ගේ රට හදා ගැනීම කවදා මේ “මහත්හොරුන්ට” තේරේවිද ?
අපේ දේශපාලනයේ අනාගතය කෙසේ වේද ? කිම් ඉල් සුං – කිම් ජොං ඉල් – කිම් ජෝං උන්… වගේ පරම්පරාගත අනාගතයක් අපේ දේශපාලනයටත් හිමි වේවිද ? නැතිනම් ප්‍රබල විපක්‍ෂයක් කවදා ඒවිද ? මේ ප්‍රශ්න සියල්ල දරාගෙන අපි දේශපාලනඥයො පිස්සු කෙළිනව බලාගෙන 2012 ටත් පා නගනවා… ලබන ඡන්දෙදිත් අපි මේ ගොල්ලොම තෝරලා යවමු… මොක වුනත් ඉතිං අපට කරන්න ඉන්න අයනේ… ඒ අයට කියලම අපි කරව ගම්මු….
2011 දෙසැම්බර් 13 : අනේ අහමදිනෙජාඩ් අයියේ…..අපේ ඩ්‍රෝන් එක දීපංකො තරහ නැතුව……….
ඔන්න එකමත් එක ලෝකයක ලොකු රටක් තිබුණාලු… මේ රටේ කට්ටිය හිතන් ඉන්නේ අපිට වඩා පොරවල් නෑ කියලා ලු… (නෑ නෑ මේ රටේ නම හිමින්ලන්තෙ නෙවෙයි) ඉතිං මේ රටෙ කට්ටිය හැම රටේම ඕන මඟුලටයි එපා මඟුලටයි හැම අටමගලෙටම හොටේ දානවා ලු… උන්ගෙ එවුන් කළාම ඒක ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කරන දෙයක් වුනාට උන්ට වැඩිය පස්සපාත නැති එවුන් කළාම ඒක මානව හිමිකම් කඩ කිරීම් ලු…අපේ ගොයියලත් හිටපු ගමන් උන් ඉන්නේ ඒ රටේ කියලා ඒ රටේ ප්‍රජාතත්ත්‍රවාදෙ අපේ රටෙත් ඇති කරන්න කියලා පෙස්සං පවා ගහනවලු ඒ රටේ ලොක්කට… අනේ අම්මපා…
ඉතිං මේ රටේ තියෙන අර හොරෙන් තොරතුරු බලන එකක් අර නාහෙට අහන්නෙ නැති අයියා ඉන්න රටේ න්‍යෂ්ඨික බලාගාර ගැන තොරතුරු බලන්න යවලා ඒ අයියාගෙ රටේ කස්ටිය හොරෙන් බාගෙන… වැඩේ කියන්නේ මේ ලොකු රටේ කට්ටිය හිතන් ඉන්නේ තමන්ට විතරයි කියල නේ මේ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්… ඉතිං රුසියාවෙයි චීනෙයි ආධාරයෙන් හරි මේ හොර තොරතුරු බලන එක බාගෙන තමන්ගෙ තරමත් පෙන්නුවා ලොක්කට…
මුලින්ම ලොක්කා කිවුවෙ ඒක කඩං වැටිලා කියලා…. ඉතිං මේක දවස් ගානක් තියාගෙන කාල් ගෑවා.. ටික දවසකින් ඔන්න අර නාහෙට අහන්නෙ නැති අයියාගෙ රටේ අය අර බාගත්ත එක ටීවී එකේ පෙන්නුවා… ඔන්න අර ලොකු රටේ අය කියපි ඕක පට්ටපල් බොරුවක් කියලා…. ඒකත් ටික දවසක් ඇදගෙන ගියා….
දැන් ඔන්න අර ලොකු රටේ ලොක්කා ටීවී එකේ කියනවා… “අනේ අහමදිනෙජාඩ් අයියේ අපේ ඩ්‍රෝන් එක දියංකො“ කියලා…
දැං ඉතිං බලං හිටුකො අහමදිනෙජාඩ් අයියා මෙන්න කියලා ඩ්‍රෝන් එක රිදී බන්දේසියක තියලා ගෙනැත් දෙනකල්….
සමහර විට මේක අහමදිනෙජාඩ් අයියාගෙ රටට ගහන්න ලොක්කලා ඔක්කොම එකතු වෙලා දීපු ගේමක් ද දන්නෙත් නෑ.. දැන් ගඩාපි අයියට ගහලා දැන් වෙන ගහන්න තැනක් නැති වෙනකොට ඊශ්‍රායලේට කියලා අහමදිනෙජාඩ් අයියට ගහන්න ප්ලෑන් කළා… ඒකත් එච්චරටම සාර්ථක වුනේ නෑ… දැන් ඉතිං අපේ මේ ලොකු රටේ ලොක්කට කහනවා කොහේට හරි ගහන්නෙ නැතිව.. මොකද තමන්ගෙ ආයුධ ටික විකුණ ගන්න බැරි වුනොත් අර ආයුධ කොම්පැනි කාරයො වලි දානවනේ… මෙහේ තියෙන්නෙ මාර සෙල්ලං… අපේ හිමින්ලන්තෙ වගේ නෙවෙයි..
ඉතිං දැං අහමදිනෙජාඩ් අයියට ගහන්නත් ඕන එකේ මෙයාලගෙම බඩු ටිකක් එහේට දාලා.. දුන්නෙ නැත්තං ගහනවා කියලා වගේ වැඩක් තමයි යන්නෙ මෙතන… අර නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ සීන් එකක්….
මම හිතන්නෙ නං මේ ලොක්කට උපදෙස් දෙන්න හිමින්ලන්තෙ පොලීසියෙ කවුරුහරි පත් කරලා තියෙනවා.. නැත්තං මේ වගේ ඉස්ට්‍රැටජීස් දාන්නෙ කොහොමද ? දන්නවනේ අර පොලීසියට ඕන වුනාම නඩු හදන්නෙ… අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ… හැබැයි එහෙමත් හිතන්න බෑ.. මොකද හිමින්ලන්තෙ ඇහින්ද රජතුමාගෙ අතීසාර මිත්තරයෙක් නෙ අහමදිනෙජාඩ් අයියා.. තමන්ගෙ රටේ එක බලුගැත්තරයෙක් හරි ඒ වගේ අළුගුත්තේරු වැඩක් කරලා තිබුණොත් ඉතිං සුදු අලියෙක්ගෙ පිටේ තමයි උන්ට යන්න වෙන්නෙ…. ඒ නිසා හිමින්ලන්තෙ උන් ඒ වගේ වැඩ කරන්නෙ නෑ…
ඔන්න දැන් තමයි වැඩේ සෙට් වෙන්න යන්නෙ… දැන් නං කොහේ හරි ඈත දූපතකට යන්න වීසා හදාගන්න වෙනවා… මොකද වෙන අයට ගැහුවා වගේ නෙවෙයි අහමදිනෙජාඩ් අයියට ගැහුවොත් නං ඉතිං මෙහේ ලොක්කට සොරි වෙන්න ගේමක් දෙයි.. මෙහේ ලොක්ක ගාවත් බඩු තියෙනවා.. ඒත් අහමදිනෙජාඩ් අයියත් ලේසි පාසු කෙනෙක් නෙවෙයිනේ…
තුන් වෙනි ලෝක යුද්ධෙ සෙට් වෙලා 2012 දි ලෝක විනාසෙ වෙන්නද දන්නෙ නෑ හදන්නෙ… අර ඒ. සෝභිත මයාට වත් කියලා කේන්දරේ බලවගෙන ඊයා වයිට් මහත්තයාට කියලා බේතක් හේතක් කරවගෙන කොහේ හරි හැංගිලා ඉන්න ඕන 2012 ඉවර වෙනකල්…..
ඔන්න දැන්ම හැංගෙනවලා….. අහමදිනෙජාඩ් අයියගෙ යාළුවො නිසා එහේට ගහන එකක් වැරදිලා හිමින්ලන්තෙටත් වදින්න බැරි නෑ….
2011 දෙසැම්බර් 11 : එහෙම වෙන්නෙ ඇයි ? I Don’t Know Why…
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමේ නියුතුව සිටි කහවෙ ගුරුගේ ප්‍රේමදාස නම් මැදි වියේ ට්‍රැක්ටර් රියදුරා තම ට්‍රැක්ටරයේ ටයර් පරීක්‍ෂා කර බලා එහි තත්ත්‍වය නිසි ලෙස නැති බව දැන දැනත්, දවසේ අවසාන පස් ට්‍රැක්ටරය අකුරටි කන්ද උඩට ගෙනයාමට සැරසුනි. සහායකයින් ඒ ගමන වැලැක්වීමට උත්සාහ කළත් එයින් පළක් වුනේ නැති. අතරමගදී ට්‍රැක්ටරය පහලට ලිස්සා විත් ප්‍රේමදාස මහතා ට්‍රැක්ටරයේ එන්ජිමට යටවුණි. වහාම කරාපිටිය රෝහලට ගෙන ගිය ඔහු ශල්‍යාගාරයට ගෙනයන අතරමග අවසන් හුස්ම හෙළුයේ අධිවේගී මාර්ගය වෙනුවෙන් දිවි පිදූ තවත් එක් අමතක වන පුද්ගලයෙක් ලෙසින්. මේ මගේ මවගේ එකකුස උපන් සහෝදරයෙක්… ගමේ මිනිස්සුන්ට පැටි මහත්තයා නැත්නම් අපට පැටි මාමා වුන ඔහු හරිම සරළ විනෝදකාමී පුද්ගලයෙක්… අප අතරින් වෙන් වුනේ දැනට අවුරුදු දෙකකට පෙර…
ටෙක්සාස්හි විශ්ව විද්‍යාලයක රසායනාගාරයක ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කරමින් සිටි සිසුවෙක් තරමක් පුපුරණසුළු සංයෝගයක් කෝවක දමා කුඩු කරමින් සිටියා… එය අවසාන කළ ඔහු එය කුප්පියකට දමන්නට පෙර “තවත් එක් වතාවක් එය සියුම් ලෙස අඹරන්නට“ (one last stir) කෝවට කුඩා මෝල්ගස දමා ඇඹරූවා.. විශාල පිපිරුමක් සමග සිහි මුර්ඡා වූ ඔහු පියවි සිහිය ලබන විට අතේ ඇඟිලි තුනකුත් එක කණක ඇසීමත් අහිමිවයි පියවි ලොවට ආවෙ… මේ තවත් සිද්ධියක්…
පැටියාගෙ කාමරයේ ඇති වාතයේ ආර්ද්‍රතාවය නියතව පවත්වාගන්නා උපකරණයේ (Humidifier) ජලය බාගයක් වැය වී තිබුණා… එයට අළුතෙන් ජලය දමන්නට අනවශ්‍ය වුවත් පැටියා එය මතක් කළ නිසා මම නානාකාමරයට ගෙනගොස් අළුතෙන් ජලය දමා පියන වසන්නට තැත්කළා.. අත ලිස්සා ගොස් බිමට වැටුන ඒ භාජනයේ ලොකු සිදුරක් ඇතිවුනා…
දෙහිවල දුම්රියේ බෝම්බයක් ඇති බවට රාවයක් ගිහින් දුම්රිය නැවැත්වුවා… සමහරු තමන් හිටිය දුම්රිය මැදිරියටම ආයෙ නැග්ගා.. තවත් සමහරු තමන් හිටිය දුම්රිය මැදිරියෙන් වෙනත් මැදිරියකට මාරු වුනා… මගේ ඥාති සහෝදරයෙක් සහ ඇල්කෙමිච්චිගෙ ඥාති සහෝදරයෙක් හිටිය මැදිරියෙන් වෙනත් මැදිරිවලට මාරු වෙලා…. සුළු මොහොතකින් බෝම්බය පුපුරා ගියා.. බෝම්බය තිබූ මැදිරියේ සිට වෙනත් මැදිරියකට මාරු වූ මගේ ඥාති සහෝදරයා තවමත් ජීවතුන් අතර, වෙනත් මැදිරියක සිට බෝම්බය තිබූ මැදිරිය වෙන මාරු වූ ඇල්කෙමිච්චිගෙ ඥාති සහෝදරයා අප හැර ගියා…..
එසේ දෙදෙනා මාරු වන්නට හේතු වූයේ කුමක්ද ? මම අර භාජනය පුරවන්නට නොගත්තා නම්, තවමත් ඒ භාජනය නොබිඳී පවතීවිද ? නැතිනම් වෙනත් දේකින් ඒ භාජනය බිඳේවිද ? පැටි මාමා අන්තිම පස් ට්‍රැක්ටරය ගෙන යන්න හිතුවෙ නැත්නම් ඔහු තවමත් අප අතර සිටීවිද ? ලලිත් ඇතුලත්මුදලි මහතා වෙඩි නොවදින කබායක් ඇඳගෙන සිටියා නම් ඔහු මිය නොයා සිටීවිද ? එසේ වූවා නම් චන්‍ද්‍රිකා මැතිණිය බස්නාහිර මහ ඇමති – අගමැති – ජනාධිපති වේවිද ? එසේ නොවුනා නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සරත් ෆොන්සේකා මහතා හමුදාපති වී යුද්ධය නවතීද ? මෙවැනි ප්‍රශ්න බොහොමයක් කවදාවත් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වේවි… මේ වගේ ප්‍රශ්න ඔබටත් රාශියක් ඇති… ඔබ මේ වගේ අත්දැකීම් වලට අනන්තවත් මුහුණ දීලා ඇති…
මගේ ජීවිතය පිළිබඳව… එදා ඇය මට හමුවන්නට බලා සිටි මට, මට කැමතිව සිටි ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට ලැබුණා නම්… මගේ ජීවිතය අද මෙතැන තිබේවිද ? ඉන් පසුව ඇල්කෙමිච්චි හමු නොවුනා නම් මම අද මෙතැන සිටීවිද ? ආදී විසඳුමක් ලබා ගත නොහැකි ප්‍රශ්න රාශියක් මගේ ඉදිරියේ තිබෙනවා.
අපට ඇයි මෙහෙම දේවල් වෙන්නේ…. අපේ මුල් සිතිවිල්ල ඇයි අපි ඉවත දාලා අමාරුවෙ වැටෙන්නේ… මම මීට පෙරත් Gut Feeling එකට පයින් ගහලා අමාරුවේ වැටෙන එක ගැන කතා කළා… මේක ඒ Gut Feeling එක ගැනම විතරක් නෙවෙයි. ඒ කියන්නෙ “වෙලාව“ හෝ කර්මය කියන එකද ? කර්මය මෙතැන දී හෝ හැම තැනකම දී බලපැවැත්වෙනවාද ? කෙනෙක් කොහේ හෝ ගිහින් අනතුරකට පත් වුනොත්, ඒ කෙනා ඒ ගමන නොගියා නම් ඒ අනතුරට භාජනය නොවන්නට ඉඩ තිබුණාද ?… මේවා මට නොතේරෙන ප්‍රශ්න…
නමුත් අපේ ජීවිතයේ ගොඩක් දේවල් තියෙනවා අපටම පාලනය කරගත හැකි දේවල්… පාඩම් කළොත් විභාගය සමත් වෙන්නට හැකියාවක් තියෙනවා. පුහුණු වෙන තරමට තරඟයක් ජය ගැනීමේ හැකියාව ලැබෙනවා… තරහ පාලනය කර ගත්තොත් අමාරුවේ නොවැටී ඉන්නට ඉඩ තිබෙනවා… ඒ වගේම කරන දෙයක් හරි හැටි සැලසුම් කරලා කළොත් සාර්ථක වන්න ඉඩ තිබෙනවා… මෙන්න මේ දේවල් අපට පාලනය කළ හැකි දේවල්… ඒ දේවල වගකීම තමන් භාර ගත යුතුයි…
අපට සමාන්තර විශ්වයක් (Parallel Universe) තිබේද ? කාලතරණයකින් අපට අනාගතයට/අතීතයට යන්න පුළුවන් ද ? එය දකින්නට පුළුවන් වේවි ද? අතීතය/අනාගතය වෙනස් කරන්න කිසිවෙකුට පුළුවන් වේවිද ? එසේ වෙනස් කළොත් කුමක් වෙයිද ?
මෙය මෙසේ වුව හොත් මේ දෙය වෙනස් විය හැකි වන්නට ඉඩ තිබුණි වැනි කරුණු ඇති අපේ ජීවිතේ සමරහ දේවල් අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ?
හිතලා බලලා තේරෙනව නම් මටත් කියන්න… මමත් මේකට උත්තර තවම හොයනවා… එහෙම වෙන්නෙ ඇයි… I don’t know why ?
2011 දෙසැම්බර් 09 : බස් එකේ නැගලා මාත් එක්ක යන්න ආපු හැමෝටම ස්තූතියි…
දෙසැම්බර් 08 වෙනිදා බස් රේඩියෝවට කණ තියාගෙන මගේ බෙලක් සද්දෙ පැය දෙකක්ම අහගෙන හිටපු සහෘද කැළ වෙත,
වසර එකහමාරකට මඳක් වැඩි ප්‍රමාණයක් වූ කාලයක ඇල්කෙමියා බ්ලොග් දෙකක හිමිකරුවෙක් විය. පළමු වැන්න සම්පූර්ණයෙන්ම රසායන විද්‍යාවට ආදාල දේ පමණක්ම ලියන්නට සූදානම් කර තිබූ නමුත් ඒ පොරොන්දුව දේශපාලනඥයෙකු අවංක, නිහතමානී, සමාජයට සේවය කරන ඔබේ සේවකයෙකු වනවා යැයි කියන පොරොන්දුවට සමගාමී විය. තේරෙන භාෂාවෙන් කියුව හොත් ඒ පොරොන්දුව අමුම අමු පට්ටපල් බොරුවක් විය… ඒ බොරුවෙහි වගකීමද පවරන්නේ උන්ටමය… උන් පිස්සු කෙළින්නේ නැතිනම් ඇල්කෙමියාට උන් ගැන ලියන්නට අමාරුවක් නැත…
ඒ බ්ලොගය කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ එකවිට දෙකකට කොටන්නට තරමක් අපහසු නිසාය... අන් සියළු දේ මෙන්ම මුලින් ආපු කණට වඩා ඇල්කෙමියාටද පස්සේ ආපු අඟ ලොකු වී අළුත් එකට නිතිපතා කෙටීම නිසා පරණ එක අමතක වී ගොසිනි.. එසේ නමුත් පරණ එක අයාලේ යන්නට හෝ ඉඩ දී ඇත්තේ තවමත් අනෙක් අය පරණ එක තරමක් හෝ පරිහරණය කරන නිසාමය. දැන් ඒ නිසා එකකට පමණක් කොටමින් පවතී… එය ඇල්කෙමියාගේ දිනපොතයි…
ඉතිං මේ දිනපොතේ ලියැවිලා තිබෙන දේ බලන්න තරමක් සෙනඟ එනවා… රසායනාගාරයට 15000 කුත් දිනපොතට දැනට 34000 කුත් ගොඩ වැදිලා තියෙනවා. ඒ හැමටම බොහොම ස්තූතියි.ඒ වගේම කොමෙන්ටුත් බොහොමයක් තිබෙනවා.. ඒ දිරිගැන්වීම් සියල්ලටම ස්තූතියි. මේ අල්ලපනල්ලේ බස් රේඩියෝවේ වැප් මහතා මාව කතාවකට අල්ලගෙන බස් රේඩියෝවේ සාකච්ඡාවකට ඈඳා ගත්තා… ඉරිදා දවසක උදේ පාන්දර කුණු කෙළ පෙරාගෙන කළ පැයකට සීමා කරගෙන තිබුන මේ සාකච්ඡාව පැය දෙකක් දක්වා ඇදී ගියේ නොදැනීම.. උදේම පැටියවයි ඇල්කෙමිච්චිවයි වෙනම කාමරේකට දාලා අනෙක් කාමරෙත් දොර වහගෙන කරපු සතරකන් මන්ත්‍රණයක් මේක…. පස්සේ ඉතිං හැමෝටම ඇහුනා…
අහපු අයගෙ ප්‍රතිචාර බොහොමයි… ඒ හැමෝටම බොහොම ස්තූතියි. නම් වශයෙන් කියන්න ගියොත් සමහරු අමනාප වෙන නිසායි නම් නොකිවුවෙ. මුලින්ම ස්තූතිවන්ත වන්නේ වැප් මහතාටයි බීට්ල් මලයාටයි මාව මේ කටයුත්තට පංගාර්තු කරවා ගත්තාට… මගේ බ්ලොග් වලින් යමක් ඔබ ඉගෙන ගත්තා නම් ඒක මට සතුටක්. මටග් සාකච්ඡාවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒකත් සතුටක්… මගේ Mission එක අන් අයට මා එකතු කරගන්නා දැනුම බෙදා දීම… ඒ වගේම ඔබ හිතන විදිය යන්තමින් හෝ හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් මගේ ලොකු ජයග්‍රහණයක්.
සමහරුන්ට මම කියපු සමහර කරුණු දිරවන්න නැතුව ඇති… අපැහැදිලිතාවයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු… ප්‍රශ්නයක් නෑ… වැඩිදුර විස්තර කරගන්න යමක් තියෙනවා නම් අහන්න….
ඉතිං මගේ බෙලෙක් සද්දෙ අහගෙන පැය දෙකක් හිටපු හැමෝටමත්, බස් එක ධාවනය කරපු වැප් ඇතුළු අනෙක් අයටත් ස්තුතියි… මාව දිරිමක් කරපු අනෙක් අයටත් කොමෙන්ටු දාපු හැමටමත් ස්තුතියි….
ඔබ එයින් යමක් අළුතෙන් ඉගෙන ගත්තා නම්, යමක් හිතන්න තිබුණා නම්… එයයි මගේ සතුට…
මෙයට හිතවත්,
ඇල්කෙමියා.
2011 දෙසැම්බර් 07 : ඇල්කෙමියා බස් එකකට යට වෙයි…. ලොකු අමාරුවක් නෑ….
වෙනදා වගේ නෙවෙයි ඉරිදා උදේ පාන්දරම නැගිටින්න වුනා… ඉතිං ටිකක් වෙලා යනකොට එහා පැත්තෙන් තඩි බස් එකක් ඇවිත් මාව යටකරන් ගියා
පැය දෙකක් යනකල් නැගිටින්න බැරි වුනා…
පැය දෙකකට පස්සෙයි පියවි සිහියට ආවෙ…. ඒ එනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි…
ඉතුරු ටික බ්‍රහස්පතින්දා ලංකාවෙ වෙලාවෙන් රෑ 8.30 ට මෙතැනින් බලා ගන්න
මේ තියෙන්නෙ හඳුන්වා දීම…..
යට වුනේ බස් රේඩියෝවට…. තුවාලයක් නැහැ… හෙට හමුවෙමු….
අහන්න … සමහර විට ඉගෙන ගන්න දෙයක් තියේවි… නැත්තං අවම වශයෙන් ඇල්කෙමියා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා වත් තේරුම් ගන්න පුළුවන් වේවි….
2011 දෙසැම්බර් 06 : ලෝකයේ පැවැත්මට අයින්ස්ටයින්ලා මෙන්ම දුමින්ද සිල්වලාද නැතිවම බැරිය…….
මේ ලෝකෙ හැම දෙයක්ම පදනම් වෙන්නේ හේතු-ඵළ වාදය මත කියලා කිව්වොත් සමහරක් දෙනා කලබල වෙන්නට පුළුවනි. හේතුවක් නැතුව කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ….
අපි අවට සිදු වෙන හැම දෙයක්ම සිදු වන්නේ හේතුවක් ඇතිව… මලක් පිපෙන්නේ ඵලයක් හට ගන්න…. ගෙඩියක් හැදෙන්නේ සිය වර්ගයා බෝ කරන්න… ඒ වගේම අපේ ඉපැදීමත් කිසියම් හේතුවක් මුල් කරගෙනයි සිදු වන්නේ කියලයි මට හැඟෙන්නේ.. ඔබේ අදහස මීට වෙනස් නම් ඊට එරෙහි වෙන්නත් හේතු දක්වන්නත් ඔබට ඇති තරම් අවකාශ තිබෙනවා.
උපුටා ගැනීම “සම්බුද්ධාපදාන (පිටු 4-5): කතෘ; පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ“
මිනිසත් බවක් ලැබීම කණ කැස්බෑවෙක් විය සිදුරකින් පසලොස්වක දා අහස බලනවා වගේ දුෂ්කර දෙයක් ලෙසටත් ධර්මයෙහි දක්වා තිබෙනවා. වියගහ කියන්නේගොවියන් කුඹුරු සී සාන විට හරකුන් දෙදෙනකු එකට ගැට ගිසීමට උපයෝගී කර ගන්නා ලී දණ්ඩක්. මේ විය දණ්ඩ හදන්නේ ඉතා ශක්තිමත් ලීයකින්. එය ලෙහෙසියෙන් කැඩෙන්නේ නෑ. ගොවීන් අවුරුදු ගණනාවක් එකම විය දණ්ඩ කුඹුරු සී සෑම සඳහා භාවිතා කරනවා. මෙය කැඩී බිඳී යන්නේ ඉතාම කලාතුරකින්. මේ වියදණ්ඩ යම් හේතුවක් නිසා කැඩුනොත් එක ගෙදර ගෙනැවිත් දර ලිපට දමන එකයි ගොවියන්ගේ සිරිත. එහෙමත් කලාතුරකින් තමයි කෙනෙක් මේ ලීය අතරමග කැලයකට විසි කරලා එන්නේ.
ඉතින් මේ කැලේට කවුරු හරි දර කඩන්න ගියොත් ඔහු මේ ලී දණ්ඩ අහුලාගෙන එනවා. නැතිනම් අව්වට වැස්සට හසු වී දිරාපත් වෙනවා. එසේ නොදිරා ඒ කැලේම රැඳෙන්නේ බොහොම කලාතුරකිනුයි. මෙසේ ඒ විය දණ්ඩ කැලේ රැඳී තිබෙන විට මේ කැලේට මහා වර්ෂාවක් වැටෙනවා. ඒ වැහි දිය හසු වී මේ වය දණ්ඩත් ගසා ගෙන යනවා. කැලයක් වුනාම එහි ගස් තියෙනවා ගල් තියෙනවා, මුල් තියෙනවා. මේවායේ නොපැටලී දිය පහරට හසු වී මේ විය දණ්ඩ ඇලකට ගසා යන්නේ එහෙමත් කලාතුරකින්. ඉතින් මේ විය දණ්ඩ අතරමග නොරැඳී ඇල් දිගේ දොළකටත්, දොළ දිගේ ගඟකටත්, ගඟ දිගේ මුහුදකටත් ගසාගෙන යන්නේ ඉතාම කලාතුරකින්. කෙසේ හෝ මුහුදට ගසාගෙන ගොස් වැටුනොතු බොහෝ විට මුහුද කරන්නේ දමන කුණු නැවත ගොඩබිම වෙත ගසා දැමීමයි. එසේ ගොඩට නොගසා දියඹට ඇදී යන්නේ ඉතාමත් කලාතුරකින්.
ඉතින් මේ තෙරක් නොපෙනෙන මහා සාගරයේ මේ කුඩා සිදුර සහිත විය දණ්ඩ එහාට මෙහාට පාවෙමින් තිබෙනවා. මෙසේ තියෙන කොට එක ඇහැක් පමණක් පෙනෙන අනෙක් ඇස නොපෙණෙන කණ කැස්බෑවෙක් අවුරුදු සියයකට එක වතාවක් මුහුද පත්ලේ සිට දිය මතුපිටට පිහිනාගෙන එනවා. එසේ පිහිනාගෙන එනකොට අර පෙනෙන ඇහැ උඩ පැත්තට හරවාගෙන එන්නත් ඕනෑ. එහා මෙහා පාවී පාවී යන විය දණ්ඩේ සිදුර හරියට ඇහැ ළඟට සම්බන්ධ වෙන්නත් ඕනෑ. එදා පසලොස්වක පෝය දවසක් වෙන්නත් ඕනෑ. අහසේ වලාකුලු නොතිබෙන්නත් ඕනෑ. සඳ බබලමින් තියෙන්නත් ඕනෑ. මේ සියළු කාරණාවන් එකතු වී කණ කැස්බෑවා විය සිදුරෙන් අහසේ ඇති සඳ දැකීම වෙන්නත් ඕනෑ. ඉතින් මේ සියලු කාරණාවන්ගේ එකතුව සිදු වන්නේ කොතරම් දුෂ්කර ව ද කියා සිතා බලන්න. අන්න ඒ වගේ දුෂ්කර වූ දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක.
උපුටා ගැනීම අවසන්.
අපි දැන් මේ සිදුවීම විද්‍යාත්මකව සහ සම්භාවිතාව ආශ්‍රිතව සලකා බැලුවහොත්, පිරිමියෙකුගේ ශරීරය තුළ එක් වරකට සාමාන්‍යයෙන් නිපදවෙන්නේ ශුක්‍රාණු මිලියන තුන්සියයක් පමණ ප්‍රමාණයක්. මෙය සෑම දින 2-3 කට වතාවක්ම අළුත් වෙනවා. ගැහැණු පිරිමි එක්වීමක් සිදු වීමේ සම්භාවිතාවය කෙසේ වුනත්, ඒ එක්වීමකදී ගැහැණියගේ සරුභාවය පවතින දින ගණන වන්නේ උපරිමයෙන් මසකට දින 10ක් වැනි කාළයක්. එසේ නම් සාර්ථක දරු පිළිසිඳ ගැනීමක් සඳහා ඒ කාළය තුළදී එක් විය යුතුයි. ඒ එක් වීම සිදු වුනත් ශුක්‍රාණුවක් පැලෝපීය නාලයකට පැමිණෙන විට ඩිම්බයක් එය වෙත පැමිණ තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාත්මකව ලිංගික එක්වීමකදී පිටවන ශුක්‍රාණුවලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයකුයි ගැබ්ගෙළ පසුකර යන්නේ. එසේ යන ඒවාද අතරමග නොයෙකුත් කරදර හමුවේ මිය යනවා.. මෙසේ සියළු කරදර වලට මුහුණ දී සියළුම බාධක දුර හැර ලා ඩිම්බයක් වෙත ගමන් කරන ශුක්‍රාණු ප්‍රමාණය බොහොම අල්පයක්. ඒ අතරිනුත් ශක්තිවන්තයාට පමණයි ඩිම්බයේ පිටත බිත්තිය සිදුරු කළ හැක්කේ. එසේ සිදුරු කරගෙන ඇතුළට ගිය වහාම ඩිම්බයේ සිදු වන රසායනික ක්‍රියාවක් මගින් වෙනත් ශුක්‍රාණු ඇතුළුවීම වලකනවා. මෙසේ වර්ධනය වන ජීවියා පළමු මාස තුන ඇතුළත ගෙවන්නේ තරමක අවදානම් ජීවිතයක්. එසේ වැඩෙන ජීවියා සති 40 ක් මව තුළ ජීවත් වී නිරෝගීව බිහි වීමෙන් තමයි මිනිස් ජීවිතයක් ලැබීම සම්පූර්ණ වන්නේ. දැන් මේ සියල්ලේ සම්භාවිතාවය සළකා බැලුවහොත් මුලින්ම මිලියන 300 කට එකකුත්, දින 10 ක කාල පරිඡේදයකුත්, සති 40 ක නිරෝගී වර්ධනයකුත් ආදී මෙකී නොකී සියල්ල සලකා බැලීමේදී අර මුලින් කී කණ කැස්බෑවා විය සිදුරකින් සඳ දැකීම වැනි උපමාවකට සමානයි නේද ?
ඔබේ ජීවිතය අන්න ඒ වගේ දුර්ලභ සිදුවීමක ප්‍රතිඵලයක්. එය අහඹු වේවා සැලසුම් කරන ලද්දක් වේවා, එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔබ. එනම් ඔබ සියළුම අහඹුතා බිඳ දමා ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ මිනිසත් බව ලැබීම මිලියන තුන්සියයකට එකකටත් වඩා දුර්ලභ සිදු වීමක්.
ඒ අමාරුවෙන් මිනිසත්බව ලැබූ ඔබ ළදරු – ළමා අවධිය පසුකර, සමහරු යොවුන්බව සහ තරුණ මැදිවයසේ අවස්ථාවෙ පසු වන්නෙක්. ඔබ ඔබේ ජීවිතය කෙසේ ගෙවිය යුතුද කියලා තීරණය කළ යුත්තේ ඔබයි… එයට කාගෙන්වත් තහනමක් හෝ සීමාවක් නෑ… නමුත් ඔබේ නිදහසේ සීමාව කෙසේ පාවිච්චි කරනවාද යන්න සමාජ සම්මත වලට අනුකූලව නොකෙරුවොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.
තවත් දෙයක් තමයි අපේ බුද්ධියේ සීමාවන්… ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත කියලා පුරාණ කාළෙ කිව්වෙත්, දැන් බහුවිධ බුද්ධි න්‍යාය වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ මේ සමාජයේ පැවැත්මට අපි සියළුම දෙනාගේ දායතක්‍වය අත්‍යවශ්‍යයි කියන එකයි. මහරජතුමාගේ පටන්, ගුරුවරයා, වෙලෙන්දා, හිඟන්නා, සොරා, මිනීමරුවා, පමණක් නොවෙයි රැකියා විරහිත උපාධිධාරියා ද මේ සමාජයේ පැවැත්මට අවශ්‍ය සාධක. සමාජයේ ඉදිරිගමන තකා වැඩකරන අය මෙන්ම එහි වේගය බාල කරන අය ද සිටිය යුතු වනවා ඇති. එසේ නැත්නම් සමාජයේ අධිවේගී ඉදිරි ගමන කුමක් හෝ හේතුවක් නිසා ඉබේම අඩාල වේවි. උදාහරණයක් වශයෙන් ජනගහනය අධික වනවිට කිසියම් හෝ ස්වභාවික උවදුරක් පැමිණිලා ලක්‍ෂ ගාණක් මිය යනවා… මේකත් මේ සමබරතාවයේ ප්‍රතිපලයක්.
දැන් අපේ මේ බ්ලොග් අවකාශය ගැන බලන්න… මේ තුළ නානා විධ අය ඉන්නවා… තාක්‍ෂණික බ්ලොග්, රසකතා, ප්‍රේමකතා, දර්ශනය, ආගම, ජාතිවාදය, ආගම් වාදය, දේශපාලන පක්‍ෂ වලට ගැති අය, නිදහසේ ලියන අය, ගීත, සිනමාව, කලාව… ආදී මෙකී නොකී සියළුම අය මෙතැන ඉන්නවා… දැන් මම වගේ කිසිම රසයක් නැති රසානය විද්‍යාව හරි තවත් මොකක් හරි දෙයක් අල්ලගෙන ලියන අය 100 ක් විතර මේ බ්ලොග් අවකාශයේ සිටියා නම් මෙය මේ තරම් ලස්සන වෙයි ද? නැහැනේ… අන්න ඒකයි සමාජයේ විශමතාවයේ අලංකාරය… මෙන්න මෙතැනයි සමබරතාවය තියෙන්නේ… මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.. අපි කාගෙවත් උවමනාවටවත්, කාගෙවත් බලකිරීමටවත්, අපගේ ගමන වෙනස් කරන්න නරකයි.. නසමර විට පොඩි අපගමනයක් කරගන්න පුළුවන්, ඒ අපි වැරදි පාරක යනවා නම්.. ඒ ඇරෙන්න අනෙක් අයගේ අවශ්‍යතාවලට අපේ අනන්‍යතාවය නැතිකරගන්න ඕන නැහැ…
සමාජයත් ඒ වගේ නොයෙක් විධියේ අය විවිධ දේවල් කරනවා. දේශපාලනඥයා (හොඳින් හෝ නරකින් හෝ) තමන්ගේ පැවැත්මටත් රටේ පැවැත්මටත් අපව පාලනය කරනවා අපි වෙනුවෙන් සුළුවෙන් හෝ වැඩක් කරනවා. අපි හැමෝටම දේශපාලය කරන්න බැහැ. මේ විවේචනය කරන මමත් දේශපානය කරන්න ගියොත් අනාගන්නවා. ඒ වගේමයි තවත් සමහරු උගන්වනවා.ව්‍යාපාර කරනවා.. ආදී වශයෙන් විවිධ ස්ථර වල ජීවත් වෙනවා… මේ හැමෝම සමාජයට අවශ්‍යයි…
අපට මේ ලැබිලා තියෙන ජීවිතයට Mission එකක් එක්කයි අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ.. අපේ යුතුකම අන්න ඒ Mission එක සම්පූර්ණ කරලා තවත් යමක් කරන්න තිබේ නම් සමජයට ඉටු කරලා හෙමින් සීරුවේ අනෙක් Mission එක සොයාගෙන යෑම… ඉතින් ඔබේ Mission එක මොකක් ද කියලා ටිකක් හිතලා බලන්න.. හොඳ එකක් නම් දිගටම කරගෙන යන්න ,… නරක එකක් නම් ඉතින් ඒකෙ නරක බව ටිකක්අඩු කරන්න බලන්න… නරකම කරලා හරියන්නෙත් නැහැනේ… නැත්නම් අළුත් Mission එකක් හොයාගත්තත් කමක් නෑ… ඔබ ඒක නොකෙරුවත් සමහරවිට තවත් කවුරුහරි එතැනට ආදේශ වෙන්නට බැරි නැහැ… මේ ලෝකය හරිම පුදුමාකාරයි… කවුරුවත් ඒක හරියටම තේරුම් ගන්නට සමත් වෙලා නැහැ තවම…..
ඉතින් අපේ රටටත් මේ හැම වර්ගයේම අය අවශ්‍යයි…දේශපාලනඥයො වැඩි වුනත්, මැරයෝ වැඩි වුනත්, බුද්ධිමත්තු වැඩි වුනත්, මෝඩයෝ වැඩි වුනත් රටේ පැවැත්මක් නැති වෙයි.. ඒ නිසා වෙන්න ඇති අපට හරියන්න අපි වගේම කට්ටියක් අපිව පාලනය කරන්න අපි විසින්ම පත් කරලා යවලා තියෙන්නේ…
ඉතිං ඔබ ඔබේ Mission එක කරගෙන යන්න….. කරන දේ හරියට කරන්න….