Daily Archives: දෙසැම්බර් 1, 2011

2011 දෙසැම්බර් 01 : වැස්සෙ ඇවිදින්න යනවනං රේන් කෝට් එකක් අරන් යන්න…..


සූදානම පසුතැවිල්ලට වඩා දහස් ගුණයක් හොඳය

අද දෙසැම්බර් පළමුවෙනිදා… වසරේ අවසාන මාසයේ පළමු දිනය… වෙන් කරලා තියෙන්නේ ඒඩ්ස් වැළඳුන අය වෙනුවෙන්… මම ඒඩ්ස් වැළඳුන අය කියලා සඳහන් කළේ මේ අය රෝගීන් කියලා හඳුන්වන්න මා තුළ ඇති අකැමැත්ත නිසා. සමහරු විහින් ඒඩ්ස් වැළඳුන අය වුනත් තවත් සමහරක් ඉන්නවා මේ ගැන හාංකවිසියක් වත් නොදැන ඒඩ්ස් වැළඳුන අය… මේ ලිපියෙන් කිසි කෙනෙකුගේ ලිංගික චර්යාවන් වත්, සමාජයේ ආගමික- සංස්කෘතික බැඳීම්-මති මතාන්තර සාකච්ඡා කිරීමටවත් මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

මිනිසා (සහ ගැහැණිය යන දෙදෙනාම) දේශපාලන වගේම ලිංගික සත්ත්‍වයෝ.. කවුරුහරි වැඩුන පුද්ගලයෙක් කියනවා නම් අනේ මම ලිංගිකව හැසිරෙන්න කැමති නැහැ කියලා ඒක අමූලික බොරුවක් නැත්නම් රෝගියෙක්. නැතිනම් සමාජයේ බොරුවට උපාසකයෝ වගේ පෙනී ඉන්න කැමැත්ත ඇති, රෙද්ද අස්සෙ මහත්තරු – නෝනලා.. මේ අය තමයි නෝනාව කිස් කරලා ගෙදරින් වැඩට ගිහින් හවස ස්ට්‍රිප් ක්ලබ් එකේ කෙල්ලත් කිස් කරලා ගෙදර එන මහත්වරු. අවසරයක් ලැබුණ හැම වෙලාවකම ලිංගික ඇසුරක් ලබන්න බොහෝ සාමාන්‍ය මිනිස්සු කැමතියි. මේකයි තිත්ත ඇත්ත. බොහෝ දෙනා සුදු පිරුවට වලින් වහගෙන ඉන්න ගඳ ගහන කුණු ගොඩක් තමයි මේ විෂයය. දරුවකුගේ ලිංගිකත්‍වය පිළිබඳ කුහුල ඇති වන්නේ ඒ දරුවා මවුකුස තුළදීමයි කියලයි නවීනතම පර්යේෂණ වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේමයි දරුවකුගේ ලිංගික කුහුලත්වය පිළිබඳ ප්‍රශ්න වලදී සමහරවිට දෙමාපියන් අපහසුතාවයට පත්වෙන අවස්ථා අනන්තවත් දැකලා අහලා තියෙනවා. ළමයින් ලැබෙන්නෙ කොහොමද ? ගැහැණු පිරිමි වෙනස් වෙන්නේ කොහොමද ආදී ප්‍රශ්න අවුරුදු තුන හතරේ පොඩි එවුන් අසන ප්‍රශ්න.

ලිංගිකත්‍වය කියන්නේ සැඟවිය යුතු දෙයක්ද ? එය යම් ප්‍රමාණයකට ඇත්ත.. පාරෙ අමු හෙළුවෙන් යන්න ලැජ්ජාවක් තියෙන කාටවත් අමාරුයි.. ඒත් ඒ ලැජ්ජාව තියෙන අයම, ගෑණියෙක්ගේ රෙද්දක් යන්තම් එහාට මෙහාට වුනත් හැරිලා බලන්න – හෝ යමක් කමක් පේන්න තියෙන කෙනෙක් දිහා හැරි හැරි බලන්න හෝ සුළුවෙන් හෝ අවධානයක් යොමු කරනවා. විවිධ රටවල සංස්කෘතික බැඳීම් – සමාජයීය බැඳීම් නිසා විවිධ තහංචි පනවලා තියෙනවා. ඇමරිකාවෙ වැඩිහිටි ප්‍රකාශන – වැඩිහිටි චිත්‍රපට – ලිංගික උත්තේජන උපකරණ / ආලේපන- ආදී බොහෝ දේ සාමාන්‍ය දෙයක් වුනත්, ලංකාවෙ අඩුම ගානෙ ගෑණියෙක් ඉන්න බෝඩ් එකක්වත් ගහන්න දෙන්නෙ නෑ අපේ ධර්මිෂ්ඨ සමාජය.. ඒ සමාජයේම ලොකු ලොක්කො ජීනා මැඩම්ගෙ ගණිකා මඩමටත් ගිහින් අහු වෙනවා.. ඒ අපේ පෙරදිග සංස්කෘතිය ආරක්‍ෂා කරගන්න ආණ්ඩුවෙන් ගන්න උත්සාහයක් වෙන්න පුළුවනි. සාමාන්‍ය මිනිස්සුන්ට ජීනා මැඩම්ගෙ ගණිකා මඩමට යන්න බෑ නෙවැ… ඇමරිකාවෙ සමහර ප්‍රාන්ත වල සමලිංගික විවාහ නීතිගත වුනත් සමහර ප්‍රාන්තවල තවමත් එය පිළිගන්න සූදානම් නැහැ. ලංකාවෙ නම් සමලිංගිකයන් අමුතුම සත්තු කොට්ඨාසයක් කියලයි හිතන්නේ. ඒ තවත් පැත්තක්. මේ අයුරින් ලිංගිකත්වය කියන දේ ලිපි ගණනාවක් යනතුරු කතා කරන්න පුළුවන්.

මෑතකදී කෙරුණ සමීක්‍ෂණයකට අනුව ලංකාවෙ ගැහැණු ළමයින් ලිංගිකව ක්‍රියාකාරී වන වයස අවුරුදු 14 ක් තරම් පහලට ගිහින් කියා වාර්තා වෙලා තිබෙනවා. එනම් සාමාන්‍යයෙන් ලංකාවෙ ගැහැණු දරුවෙකු වසර 14 දි පළමු ලිංගික සම්බන්ධතාවය පවත්වනවා. මෙය ඉතාම භයානක තත්ත්‍වයක්. එකක්, වයස 14 වන විට ඔවුන්ගේ සිරුරු නිසි ලෙස වර්ධනය වෙලා නැහැ වගේම මානසිකත්‍වය ද නිසි ලෙස වර්ධනය වෙලා නැහැ.  ලිංගික ක්‍රියාවලියක පරමාර්ථය වර්ගයා බෝ කිරීම. මිනිසා සහ ඩොල්ෆින් පමණයි විනෝදය පිණිස ලිංගික ක්‍රියාවේ නියැලෙන්නේ. මේ නිසා වසර 14 කියන්නේ ඇත්තෙන්ම භයානක ප්‍රතිඵල දෙන වයසක්. එමෙන්ම කොළඹ පමණක් දිනකට ගබ්සා 800ක් සිදු වන බව තවත් වාර්තාවක සඳහන් වෙනවා. එනම් කාන්තාවන් 800කගේ ජීවිත අවදානමකට ලක් වෙලා. මෙයින් සැලකිය යුතු සංඛ්‍යාවක් වයස 18 – 24 අතර බව පැවසෙනවා. මේ විනාශ වන්නේ මල් වගේ ජීවිත.

මේ ලෝකය පැවැතෙන්නේ ද්විත්‍වභාවය (Duality) කියන සංකල්පය මත බව මම ඉහතදීත් ප්‍රකාශ කළා. මෙන්න මේ ද්විත්වභාවය සරළව පැවසුවොත්, ධන-ඍණ, ආකර්ෂණය-විකර්ෂණය, ගැහැණු-පිරිමි, ආදී වශයෙන් යමක් සහ ඊට විරුද්ධ පදය හෝ විරුද්ධ බලය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මේ ලෝකය බවතින්නේ මේ ප්‍රතිවිරුද්ධ බලවේග දෙකෙහි සමබරතාවය මත. මේ සංසිද්ධියේ ගැහැණිය යන පදය ඍණ ආරෝපිත ලෙසයි ද්විත්‍වභාවය පිළිබඳ සංකල්පයේදී හඳුන්වන්නේ. කෙසේ වුවත් මේ පැවැත්මේදී ගැහැණිය කියන සාධකය අතිශයින්ම වැදගත් කොටසක්. එසේම ඒඩ්ස් රෝගය පැතිරීමේදී වඩාත්ම අනතුරට ලක් වන්නේද ගැහැණියයි. මක් නිසාද යත් මේ බොහෝ අවස්ථාවලදී ගැහැණිය ගොදුරන වන නිසා… අසරණ වන නිසා. අප්‍රිකාවේ ඒඩ්ස් ආසාදනය වන  ගැහැණු එක්කෝ අතවරයට ලක් වෙලා නැත්නම් ඒ බව හඟවන පිරිමියෙකු ගේ මායමකට යටත් වෙලා…

මේ දැක්වෙන්නේ 2011 නොවැම්බර් මාසයේ එකතු කළ දත්ත.

  • ලොව පුරා මිලියන 34 කට අධික සංඛ්‍යාවක් ඒඩ්ස් වලින් පෙළෙනවා
  • ඉන් මිලියන 3.4 ක් අවුරුදු 15 ට අඩු වයසේ සිටින්නන්
  • 2010 වසරේ පමණක් මිලියන 2.7 ක් අළුතෙන් මෙයට ගොදුරු වී තිබෙනවා
  • ඉන් 390,000 ක් අවුරුදු 15 ට අඩුයි
  •  සෑම දිනකම 7,000 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා ඒඩ්ස් ශරීරගත වූවන් බවට පත් වෙනවා.
  • එනම් සෑම පැයකටම 300 ක්
  • ඉන් 250,000 ක් අවුරුදු 15 ට අඩුයි
  • 1981 දී වසංගතයක් ලෙස නම් කිරීමෙන් පසු, මිලියන 60 කට මෙය ශරීරගත වී ඇති අතර ඉන් මිලියන 30 ක් දැනටමත් ඒඩ්ස් ආසාදිත රෝග වලින් මිය ගිහින්.

ආසියා පැසිෆික් කලාපය
අපට වැදගත් වන ආසියා පැසිෆික් කලාපයේ පමණක් 2010 දී  360,000 කට අළුතෙන් ඒඩ්ස් ශරීරගත වී තිබෙනවා.මේ නිසා මේ කලාපයේ සම්පූර්ණ ඒඩ්ස් ආසාදිත ජනගහනය මිලියන 4.8 කට අධික වෙනවා. එසේම වසර  2010 දී පමණක් මිනිසුන්  308,000 ක් ඒඩ්ස් ආශ්‍රිත හේතු නිසා මියගොස් තිබෙනවා.

කෙසේ වුනත් දැන් දැන් ඒඩ්ස් නිසා මිය යන සංඛ්‍යාව අඩු වෙමින් පවතින්නේ ඒ සඳහා ප්‍රතිවෛරස බෙහෙත්සොයාගැනීම දියුණු වෙමින් පවතින නිසා… ඒඩ්ස් ආසාදිත වීම ප්‍රධාන වශයෙන්ම ලිංගිකව සිදු වුනත් මවකගෙන් දරුවාට, රුධිර පාරවිලයනයේදී, මත්ද්‍රව්‍ය එන්නත් ආදිය නිසාත් මෙය ශරීරගත වනබව අමතක කරන්න බැහැ. පිරිමි සමලිංගිකයන් අතර අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසා ඒඩ්ස් ශරීරගත වීම වැඩිපුර සිදු වන්නේ ලිංගික අවයව සහ ගුද මාර්ග තුවාල වීම නිසා සිදුවන රුධිර වහනයන්ගෙන්. මේ නිසා තමයි ළඟදී කට්ටියක් උපත්පාලන කොපු සහ ජෙල් වගයක් බෙදන්න ගිහින් වැඩේ දෙල් කරගෙන තියෙන්නේ. ඒ වගේම බොහෝ විට ඒඩ්ස් පැතිරෙන්නේ තවමත් නොදැනුවත්කම නිසා.. බොහෝ රටවල ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයන් සංස්කෘතික බැමි නිසා සීමා වෙලා.. මිනිසුන්ට ආරක්‍ෂිත ලිංගික හැසිරීම් ගැන කියා දෙන්න බැරිකම්.. ලැජ්ජාව… විවෘතව ඒ ගැන කතා කරන්න මැලිකම ආදී දේ නිසා මේ කර්තව්‍යය අපහසු වෙලා තියෙනවා.

මගේ මතයේ හැටියට අපේ රටේ කළ යුතු – නමුත් නොකෙරෙන දෑ බොහොමයි.

නිසි ලිංගික අධ්‍යාපනයක් පාසල් මට්ටමින් ලබා දීම. : මෙමගින් නව යොවුන් වියේ පසුවන දරුවනට නිසි දැනුමක් ලැබීම සිදු වන අතර අනිසි ලිංගික දැනුමක් ලැබීම අවහිර වෙනවා. ඔවුන්ගේ කුතුහලය අඩු කර, ලිංගික දැනුම සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය කිරීමෙන් සහ නිවැරදි අධ්‍යාපනය ලබා දීමෙන් මේ තත්ත්‍වය අඩු කරගත හැක.

තරුණ තරුණියන් අතර ආරක්‍ෂිත ලිංගික චර්යා පිළිබඳ දැනුවත් කිරීම. : කෙතරම් තහංචි දැමුවද, කෙතරම් නීති දැමුවද අවශ්‍යතාවය ඇති තරුණ තරුණියන් ලිංගිකව එක්වීම නතර කරන්න බැහැ. මේ නිසා කළ යුත්තේ ඔවුන්ට ආරක්‍ෂිත ලිංගික චර්යා, අනවශ්‍ය දරු උපත් වලක්වාගැනීම, සමාජ රෝග ව්‍යාප්තිය වැනි දෑ පිළිබඳ දැනුවත් කිරීම සහ උපත් පාලන කොපු වැනි ආරක්‍ෂිත ක්‍රම භාවිතාවට නැඹුරු කිරීමයි. එසේම එමගින් සමාජ රෝග ව්‍යාප්තිය වැලැක්වීම ඉලක්ක කරගෙන වැඩසටහන් සම්පාදනය කළ යුතුයි.

අධ්‍යාත්මිකව දිවි ගෙවීමට වැඩිහිටි සමාජය නැඹුරු කිරීම: පන්සිල් පද පහ රැකගෙන, නැත්නම් තමන් අදහන වෙනත් ආගමක් අදහගෙන, දෙයියනේ කියලා එක හෝටලේකින් කාලා ගෙදර ලිඳෙන් වතුර බීලා ඉන්නවා නම් ලංකාවෙ මිනිස්සු මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන්.. නමුත් බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ වැටෙන් එහා පැත්තේ වත්තේ තියෙන තණකොළ වැඩියෙන් රසයි කියලා.. කාලා ඉවර වුනාට පස්සෙ තමයි තේරෙන්නේ ඒ තණකොළත් මේ තණකොළ වගේම තමයි කියලා… නමුත් ඒ තණකොළ වලට වස මිශ්‍ර වෙලා තිබුණොත් ඉතිං කාපු එකේ පව ජීවිත කාලෙ පුරාම ගෙවන්න වෙනවා.

මට මතක් වෙන්නේ අන්දරේ ට රජතුමා දීපු අවවාදයක්.. (මම මේක  නිහාල් අයියාගේ යථාර්තවාදියා බ්ලොග් එකේ ප්‍රතිචාරයකටත් ලිවුවා)

රජතුමාගෙ අග බිසව ඇහැට කණට පේන දැක්කාම බොහොම ආදරේ හිතෙන තැනැත්තියක්… ඉතින්  උදේ හවා යන එන මාලිගාවෙ දකින මේ සුන්දරිය දැකපු අන්දරේට පොඩි හිතක් පහල වුනා ඇය සමග යහන්ගත වෙන්නට.. අන්දරේගෙ මේ වෙනස රජතුමාටත් ටික ටික නොදැනුනා නෙවෙයි… දවසක් ඉතිං අන්දරේ රජතුමා එක්ක මගුල් උයනෙ සක්මන් කරකර ඉන්නකොට රජතුමා එකපාරටම මේ ගැන අන්දරේගෙන් විමසුවා…. අන්දරෙත් ඉතිං කරකියාගන්න දෙයක් නැතිව තමන්ට ඇති වෙච්ච ආසාව රජතුමාට පැවසුවා..

රජතුමාත් ඉතිං කලබල වෙන්නෙ නැතිව අන්දරේට යෝජනාවක් ගෙනාවා.. ඒ තමයි විවිධ ස්ථාන පහකින් පැන් කෙණ්ඩි පහක් රැගෙන මාලිගාවට එන ලෙස… ඉතිං අන්දරෙත් තමන්ගෙ ගෙදර ළිඳෙන්, පහල ගලා යන දොලෙන්, අල්ලපු ගෙදර ලිඳෙන්, පිංතාලියෙන් සහමඟුල් උයනෙන් පැන් කෙණ්ඩි පහක් අරගෙන මාලිගාවට ආවා… රජතුමා රත්තරං භාජන පහක් ගෙනැත් මේ පැන් ජාති පහ වෙන වෙනම ඒවාට වත්කරන්න උපදෙස් දුන්නා…

ඉන් පසුව රාජ සභාව රැස් කරලා සියළුම දෙනා ඉස්සරහ අන්දරේ මේ භාජන ලඟට කැඳෙවුවා… රජතුමා අවස්ථා සම්බන්ධය එහෙම විස්තර කරලා අන්දරේට මේ පැන් භාජන පහෙන්ම පැන් උගුර බැගින් බොන්න අණ කළා…

ඊලඟට තවත් පැන් භාජනයක් ගෙනැල්ලා රන්, රිදී, ලෝකඩ සහ මැටි භාජන වලට දාලා ඒ පැන්  භාජන වලිනුත් බොන්න අණ කළා

රජතුමා : අන්දරේ දැන් පැන් භාජන සියල්ලෙන්ම පැන් බිව්වා නේ…

අන්දරේ : එහෙමයි රජතුමනි..

රජතුමා : අන්දරේට දැන් කියන්න පුළුවන් ද අන්දරේගේ ගෙදර ළිඳේ පැන් තියෙන්නේ මොන භාජනේද කියලා ?

අන්දරේ : නොහැකියි  රජතුමනි..

රජතුමා : අන්දරේට දැන් කියන්න පුළුවන් ද රජමාලිගාවෙ මඟුල් උයනේ පැන් තියෙන්නේ මොන භාජනේද කියලා ?

අන්දරේ : නොහැකියි  රජතුමනි..

රජතුමා : අන්දරේට දැන් කියන්න පුළුවන් ද රන් භාජනේද, රිදී භාජනේද, ලෝකඩ භාජනේද මැටි භාජනේද පැන් වැඩියෙන් රස කියලා ?

අන්දරේ : නොහැකියි  රජතුමනි..

රජතුමා : එහෙනං තෝ රජගෙදර මඟුල් උයනෙ වතුර බොන්න දඟලලා හිස් ගැසුම් කන්නෙ නැතුව ගෙදර තියෙන ළිඳේ වතුර බීලා සැනසියං

කියලා රජතුමා අන්දරේව එළවලා දැම්මා

එක එක හෝටල් වලින් කාලා එක එක භාජන වලින් වතුර බීපු අය නං කියනවා සමහර භාජනවල වතුර රසයි කියලා… නමුත් ඉතිං හැම දෙනාම බොන්නේ වතුර නේ… සමහරු උණු උණුවෙ බොනවා, සමහරු උණු කරලා නිවලා බොනවා, සමහරු තමන්ගෙ ලිඳෙන් අරන් බොනවා තවත් සමහරු අනුන්ගේ ලිං වලින් අරන් බොනවා…ඒ මිනිස් ස්වභාවය… කොයි තරම් තමන්ට තිබුණත් මදි කියලා හිතෙන එක…

ලිංගික විද්‍යාව පිළබඳ එක්තරා පර්යේෂකයෙක් කියලා තිබුණා එක එක හෝටල් වලින් කෑම කන්න උත්සාහ කරනවාට වඩා ගෙදර කෑම විවිධාකාරව හදාගෙන කන එක ඇඟටත්, ශරීර සෞඛ්‍යයටත්, කෝකියාගෙයි ආහාර ගන්න කෙනාගෙයි  සම්බන්ධතාවයටත්  හොඳ ප්‍රතිඵල අත් කරලා දෙනවා කියලා…

ඉතිං මේ සම්බන්ධයෙන් කෑම කන පුද්ගලයාටම දොස් පවරන්නත් බැහැ… සමහර වෙලාවට ගෙදර කෑම හැමදාම ඒකාකාරී නීරස කෑමක් නම් ඒ පුද්ගලයාටත් වෙන වෙන හෝටල් වලින් කන්න හිතෙනවා… අර හුචක්කුව වීඩියෝව බලන්නකෝ.. ඒකේ තියෙනවා විස්තරේ…

ඉතිං ලිපිය දිගම දිග වුනා… කෑම කන්න ගෙවල් නැති අය එක හෝටලයක් හොයාගෙන කෑම කන්න… ඒ වගේමයි වැස්සෙ ඇවිදින්න යනකොට රේන් කෝට් එකක් අරන් යන්න… එතකොට අකලට හෙම්බිරිස්සාව හැදිලා ලෙඩ වෙන්නෙ නෑ…

අද ලෝක ඒඩ්ස් දිනේ.. අර මිලියන 34 ට එකතු නොවීම ගැන ඔබ ඔබටම ස්තුතිවන්ත වෙන ගමන්, ඔබට ඔබව පාලනය කරගන්න බැරි නම් ලැජ්ජ බිම දිගේ ඇදන් ළඟම ෆාමසියට ගිහින් “අරවයින් ටිකක්” අරන් පර්ස් එකේ දාගෙන තියාගන්න…

%d bloggers like this: