Daily Archives: දෙසැම්බර් 6, 2011

2011 දෙසැම්බර් 06 : ලෝකයේ පැවැත්මට අයින්ස්ටයින්ලා මෙන්ම දුමින්ද සිල්වලාද නැතිවම බැරිය…….


මේ ලෝකෙ හැම දෙයක්ම පදනම් වෙන්නේ හේතු-ඵළ වාදය මත කියලා කිව්වොත් සමහරක් දෙනා කලබල වෙන්නට පුළුවනි. හේතුවක් නැතුව කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ….

අපි අවට සිදු වෙන හැම දෙයක්ම සිදු වන්නේ හේතුවක් ඇතිව… මලක් පිපෙන්නේ ඵලයක් හට ගන්න…. ගෙඩියක් හැදෙන්නේ සිය වර්ගයා බෝ කරන්න… ඒ වගේම අපේ ඉපැදීමත් කිසියම් හේතුවක් මුල් කරගෙනයි සිදු වන්නේ කියලයි මට හැඟෙන්නේ.. ඔබේ අදහස මීට වෙනස් නම් ඊට එරෙහි වෙන්නත් හේතු දක්වන්නත් ඔබට ඇති තරම් අවකාශ තිබෙනවා.

උපුටා ගැනීමසම්බුද්ධාපදාන (පිටු 4-5): කතෘ; පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

මිනිසත් බවක් ලැබීම කණ කැස්බෑවෙක් විය සිදුරකින් පසලොස්වක දා අහස බලනවා වගේ දුෂ්කර දෙයක් ලෙසටත් ධර්මයෙහි දක්වා තිබෙනවා.  වියගහ කියන්නේගොවියන්  කුඹුරු සී සාන විට හරකුන් දෙදෙනකු එකට ගැට ගිසීමට උපයෝගී කර ගන්නා ලී දණ්ඩක්. මේ විය දණ්ඩ හදන්නේ ඉතා ශක්තිමත් ලීයකින්. එය ලෙහෙසියෙන් කැඩෙන්නේ නෑ. ගොවීන් අවුරුදු ගණනාවක් එකම විය දණ්ඩ කුඹුරු සී සෑම සඳහා භාවිතා කරනවා. මෙය කැඩී බිඳී යන්නේ ඉතාම කලාතුරකින්. මේ වියදණ්ඩ යම් හේතුවක් නිසා කැඩුනොත් එක ගෙදර ගෙනැවිත් දර ලිපට දමන එකයි ගොවියන්ගේ සිරිත. එහෙමත් කලාතුරකින් තමයි කෙනෙක් මේ ලීය අතරමග කැලයකට විසි කරලා එන්නේ.

ඉතින් මේ  කැලේට කවුරු හරි දර කඩන්න ගියොත් ඔහු මේ ලී දණ්ඩ අහුලාගෙන එනවා. නැතිනම් අව්වට වැස්සට හසු වී දිරාපත් වෙනවා. එසේ නොදිරා ඒ කැලේම රැඳෙන්නේ බොහොම කලාතුරකිනුයි. මෙසේ ඒ විය දණ්ඩ කැලේ රැඳී තිබෙන විට මේ කැලේට මහා වර්ෂාවක් වැටෙනවා. ඒ වැහි දිය හසු වී මේ වය දණ්ඩත් ගසා ගෙන යනවා. කැලයක් වුනාම එහි ගස් තියෙනවා ගල් තියෙනවා, මුල් තියෙනවා. මේවායේ නොපැටලී දිය පහරට හසු වී මේ විය දණ්ඩ ඇලකට ගසා යන්නේ එහෙමත් කලාතුරකින්. ඉතින් මේ විය දණ්ඩ අතරමග නොරැඳී ඇල් දිගේ දොළකටත්, දොළ දිගේ ගඟකටත්, ගඟ දිගේ මුහුදකටත් ගසාගෙන යන්නේ ඉතාම කලාතුරකින්. කෙසේ හෝ මුහුදට ගසාගෙන ගොස් වැටුනොතු බොහෝ විට මුහුද කරන්නේ දමන කුණු නැවත ගොඩබිම වෙත ගසා දැමීමයි. එසේ ගොඩට නොගසා දියඹට ඇදී යන්නේ ඉතාමත් කලාතුරකින්.

ඉතින් මේ තෙරක් නොපෙනෙන මහා සාගරයේ මේ කුඩා සිදුර සහිත විය දණ්ඩ එහාට මෙහාට පාවෙමින් තිබෙනවා. මෙසේ තියෙන කොට එක ඇහැක් පමණක් පෙනෙන අනෙක් ඇස නොපෙණෙන කණ කැස්බෑවෙක් අවුරුදු සියයකට එක වතාවක් මුහුද පත්ලේ සිට දිය මතුපිටට පිහිනාගෙන එනවා. එසේ පිහිනාගෙන එනකොට අර පෙනෙන ඇහැ උඩ පැත්තට හරවාගෙන එන්නත් ඕනෑ. එහා මෙහා පාවී පාවී යන විය දණ්ඩේ සිදුර හරියට ඇහැ ළඟට සම්බන්ධ වෙන්නත් ඕනෑ. එදා පසලොස්වක පෝය දවසක් වෙන්නත් ඕනෑ. අහසේ වලාකුලු නොතිබෙන්නත් ඕනෑ. සඳ බබලමින් තියෙන්නත් ඕනෑ. මේ සියළු කාරණාවන් එකතු වී කණ කැස්බෑවා විය සිදුරෙන් අහසේ ඇති සඳ දැකීම වෙන්නත් ඕනෑ. ඉතින් මේ සියලු කාරණාවන්ගේ එකතුව සිදු වන්නේ කොතරම් දුෂ්කර ව ද කියා සිතා බලන්න. අන්න ඒ වගේ දුෂ්කර වූ දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක.

උපුටා ගැනීම අවසන්.

අපි දැන් මේ සිදුවීම විද්‍යාත්මකව සහ සම්භාවිතාව ආශ්‍රිතව සලකා බැලුවහොත්, පිරිමියෙකුගේ ශරීරය තුළ එක් වරකට සාමාන්‍යයෙන්  නිපදවෙන්නේ ශුක්‍රාණු මිලියන තුන්සියයක් පමණ ප්‍රමාණයක්. මෙය සෑම දින 2-3 කට වතාවක්ම අළුත් වෙනවා. ගැහැණු පිරිමි එක්වීමක් සිදු වීමේ සම්භාවිතාවය කෙසේ වුනත්, ඒ එක්වීමකදී ගැහැණියගේ සරුභාවය පවතින දින ගණන වන්නේ උපරිමයෙන් මසකට දින 10ක් වැනි කාළයක්. එසේ නම් සාර්ථක දරු පිළිසිඳ ගැනීමක් සඳහා ඒ කාළය තුළදී එක් විය යුතුයි. ඒ එක් වීම සිදු වුනත් ශුක්‍රාණුවක් පැලෝපීය නාලයකට පැමිණෙන විට ඩිම්බයක් එය වෙත පැමිණ තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාත්මකව  ලිංගික එක්වීමකදී පිටවන ශුක්‍රාණුවලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයකුයි ගැබ්ගෙළ පසුකර යන්නේ.  එසේ යන ඒවාද අතරමග නොයෙකුත් කරදර හමුවේ මිය යනවා.. මෙසේ සියළු කරදර වලට මුහුණ දී සියළුම බාධක දුර හැර ලා ඩිම්බයක් වෙත ගමන් කරන ශුක්‍රාණු ප්‍රමාණය බොහොම අල්පයක්. ඒ අතරිනුත් ශක්තිවන්තයාට පමණයි ඩිම්බයේ පිටත බිත්තිය සිදුරු කළ හැක්කේ. එසේ සිදුරු කරගෙන ඇතුළට ගිය වහාම ඩිම්බයේ සිදු වන රසායනික ක්‍රියාවක් මගින් වෙනත් ශුක්‍රාණු ඇතුළුවීම වලකනවා. මෙසේ වර්ධනය වන ජීවියා පළමු මාස තුන ඇතුළත ගෙවන්නේ තරමක අවදානම් ජීවිතයක්. එසේ වැඩෙන ජීවියා සති 40 ක් මව තුළ ජීවත් වී නිරෝගීව බිහි වීමෙන් තමයි මිනිස් ජීවිතයක් ලැබීම සම්පූර්ණ වන්නේ. දැන් මේ සියල්ලේ සම්භාවිතාවය සළකා බැලුවහොත් මුලින්ම මිලියන 300 කට එකකුත්, දින 10 ක කාල පරිඡේදයකුත්, සති 40 ක නිරෝගී වර්ධනයකුත් ආදී මෙකී නොකී සියල්ල සලකා බැලීමේදී අර මුලින් කී කණ කැස්බෑවා විය සිදුරකින් සඳ දැකීම වැනි උපමාවකට සමානයි නේද ?

ඔබේ ජීවිතය අන්න ඒ වගේ දුර්ලභ සිදුවීමක ප්‍රතිඵලයක්. එය අහඹු වේවා සැලසුම් කරන ලද්දක් වේවා, එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔබ. එනම් ඔබ සියළුම අහඹුතා බිඳ දමා ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ මිනිසත් බව ලැබීම මිලියන තුන්සියයකට එකකටත් වඩා දුර්ලභ සිදු වීමක්.

ඒ අමාරුවෙන් මිනිසත්බව ලැබූ ඔබ ළදරු – ළමා අවධිය පසුකර, සමහරු යොවුන්බව සහ තරුණ මැදිවයසේ අවස්ථාවෙ පසු වන්නෙක්. ඔබ ඔබේ ජීවිතය කෙසේ ගෙවිය යුතුද කියලා තීරණය කළ යුත්තේ ඔබයි… එයට කාගෙන්වත් තහනමක් හෝ සීමාවක් නෑ… නමුත් ඔබේ නිදහසේ සීමාව කෙසේ පාවිච්චි කරනවාද යන්න සමාජ සම්මත වලට අනුකූලව නොකෙරුවොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.

තවත් දෙයක් තමයි අපේ බුද්ධියේ සීමාවන්… ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත කියලා පුරාණ කාළෙ කිව්වෙත්, දැන් බහුවිධ බුද්ධි න්‍යාය වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ මේ සමාජයේ පැවැත්මට අපි සියළුම දෙනාගේ දායතක්‍වය අත්‍යවශ්‍යයි කියන එකයි. මහරජතුමාගේ පටන්, ගුරුවරයා, වෙලෙන්දා,  හිඟන්නා, සොරා, මිනීමරුවා, පමණක් නොවෙයි රැකියා විරහිත උපාධිධාරියා ද මේ සමාජයේ පැවැත්මට අවශ්‍ය සාධක.  සමාජයේ ඉදිරිගමන තකා වැඩකරන අය මෙන්ම එහි වේගය බාල කරන අය ද සිටිය යුතු වනවා ඇති. එසේ නැත්නම් සමාජයේ අධිවේගී ඉදිරි ගමන කුමක් හෝ හේතුවක් නිසා ඉබේම අඩාල වේවි. උදාහරණයක් වශයෙන් ජනගහනය අධික වනවිට කිසියම් හෝ ස්වභාවික උවදුරක් පැමිණිලා ලක්‍ෂ ගාණක් මිය යනවා… මේකත් මේ සමබරතාවයේ ප්‍රතිපලයක්.

එකා සැමට........... සැම එකාට.............

දැන් අපේ මේ බ්ලොග් අවකාශය ගැන බලන්න… මේ තුළ නානා විධ අය ඉන්නවා… තාක්‍ෂණික බ්ලොග්, රසකතා, ප්‍රේමකතා, දර්ශනය, ආගම, ජාතිවාදය, ආගම් වාදය, දේශපාලන පක්‍ෂ වලට ගැති අය, නිදහසේ ලියන අය, ගීත, සිනමාව, කලාව… ආදී මෙකී නොකී සියළුම අය මෙතැන ඉන්නවා… දැන් මම වගේ කිසිම රසයක් නැති රසානය විද්‍යාව හරි තවත් මොකක් හරි දෙයක් අල්ලගෙන ලියන අය 100 ක් විතර මේ බ්ලොග් අවකාශයේ සිටියා නම් මෙය මේ තරම් ලස්සන වෙයි ද? නැහැනේ… අන්න ඒකයි සමාජයේ විශමතාවයේ අලංකාරය… මෙන්න මෙතැනයි සමබරතාවය තියෙන්නේ… මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.. අපි කාගෙවත් උවමනාවටවත්, කාගෙවත් බලකිරීමටවත්, අපගේ ගමන වෙනස් කරන්න නරකයි.. නසමර විට පොඩි අපගමනයක් කරගන්න පුළුවන්, ඒ අපි වැරදි පාරක යනවා නම්.. ඒ ඇරෙන්න අනෙක් අයගේ අවශ්‍යතාවලට අපේ අනන්‍යතාවය නැතිකරගන්න ඕන නැහැ…

සමාජයත් ඒ වගේ නොයෙක් විධියේ අය විවිධ දේවල් කරනවා. දේශපාලනඥයා (හොඳින් හෝ නරකින් හෝ) තමන්ගේ පැවැත්මටත් රටේ පැවැත්මටත් අපව පාලනය කරනවා අපි වෙනුවෙන් සුළුවෙන් හෝ වැඩක් කරනවා. අපි හැමෝටම දේශපාලය කරන්න බැහැ. මේ විවේචනය කරන මමත් දේශපානය කරන්න ගියොත් අනාගන්නවා. ඒ වගේමයි තවත් සමහරු උගන්වනවා.ව්‍යාපාර කරනවා.. ආදී වශයෙන් විවිධ ස්ථර වල ජීවත් වෙනවා… මේ හැමෝම සමාජයට අවශ්‍යයි…

අපට මේ ලැබිලා තියෙන ජීවිතයට Mission එකක් එක්කයි අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ.. අපේ යුතුකම අන්න ඒ Mission එක සම්පූර්ණ කරලා තවත් යමක් කරන්න තිබේ නම් සමජයට ඉටු කරලා හෙමින් සීරුවේ අනෙක් Mission එක සොයාගෙන යෑම… ඉතින් ඔබේ Mission එක මොකක් ද කියලා ටිකක් හිතලා බලන්න.. හොඳ එකක් නම් දිගටම කරගෙන යන්න ,… නරක එකක් නම් ඉතින් ඒකෙ නරක බව ටිකක්අඩු කරන්න බලන්න… නරකම කරලා හරියන්නෙත් නැහැනේ… නැත්නම් අළුත් Mission එකක් හොයාගත්තත් කමක් නෑ… ඔබ ඒක නොකෙරුවත් සමහරවිට තවත් කවුරුහරි එතැනට ආදේශ වෙන්නට බැරි නැහැ… මේ ලෝකය හරිම පුදුමාකාරයි… කවුරුවත් ඒක හරියටම තේරුම් ගන්නට සමත් වෙලා නැහැ තවම…..

ඉතින් අපේ රටටත් මේ හැම වර්ගයේම අය අවශ්‍යයි…දේශපාලනඥයො වැඩි වුනත්, මැරයෝ වැඩි වුනත්, බුද්ධිමත්තු වැඩි වුනත්, මෝඩයෝ වැඩි වුනත් රටේ පැවැත්මක් නැති වෙයි.. ඒ නිසා වෙන්න ඇති අපට හරියන්න අපි වගේම කට්ටියක් අපිව පාලනය කරන්න අපි විසින්ම පත් කරලා යවලා තියෙන්නේ…

ඉතිං ඔබ ඔබේ Mission එක කරගෙන යන්න….. කරන දේ හරියට කරන්න….

%d bloggers like this: