2011 දෙසැම්බර් 11 : එහෙම වෙන්නෙ ඇයි ? I Don’t Know Why…


දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමේ නියුතුව සිටි  කහවෙ ගුරුගේ ප්‍රේමදාස නම් මැදි වියේ ට්‍රැක්ටර් රියදුරා තම ට්‍රැක්ටරයේ ටයර් පරීක්‍ෂා කර බලා එහි තත්ත්‍වය නිසි ලෙස නැති බව දැන දැනත්, දවසේ අවසාන පස් ට්‍රැක්ටරය අකුරටි කන්ද උඩට ගෙනයාමට සැරසුනි. සහායකයින් ඒ ගමන වැලැක්වීමට උත්සාහ කළත් එයින් පළක් වුනේ නැති. අතරමගදී ට්‍රැක්ටරය පහලට ලිස්සා විත් ප්‍රේමදාස මහතා ට්‍රැක්ටරයේ එන්ජිමට යටවුණි. වහාම කරාපිටිය රෝහලට ගෙන ගිය ඔහු ශල්‍යාගාරයට ගෙනයන අතරමග අවසන් හුස්ම හෙළුයේ අධිවේගී මාර්ගය වෙනුවෙන් දිවි පිදූ තවත් එක් අමතක වන පුද්ගලයෙක් ලෙසින්. මේ මගේ මවගේ එකකුස උපන් සහෝදරයෙක්… ගමේ මිනිස්සුන්ට පැටි මහත්තයා නැත්නම් අපට පැටි මාමා වුන ඔහු හරිම සරළ විනෝදකාමී පුද්ගලයෙක්… අප අතරින් වෙන් වුනේ දැනට අවුරුදු දෙකකට පෙර…

ටෙක්සාස්හි විශ්ව විද්‍යාලයක රසායනාගාරයක ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කරමින් සිටි සිසුවෙක් තරමක් පුපුරණසුළු සංයෝගයක් කෝවක දමා කුඩු කරමින් සිටියා… එය අවසාන කළ ඔහු එය කුප්පියකට දමන්නට පෙර “තවත් එක් වතාවක් එය සියුම් ලෙස අඹරන්නට“ (one last stir) කෝවට කුඩා මෝල්ගස දමා ඇඹරූවා.. විශාල පිපිරුමක් සමග සිහි මුර්ඡා වූ ඔහු පියවි සිහිය ලබන විට අතේ ඇඟිලි තුනකුත් එක කණක ඇසීමත් අහිමිවයි පියවි ලොවට ආවෙ… මේ තවත් සිද්ධියක්…

පැටියාගෙ කාමරයේ ඇති වාතයේ ආර්ද්‍රතාවය නියතව පවත්වාගන්නා උපකරණයේ (Humidifier) ජලය බාගයක් වැය වී තිබුණා… එයට අළුතෙන් ජලය දමන්නට අනවශ්‍ය වුවත් පැටියා එය මතක් කළ නිසා මම නානාකාමරයට ගෙනගොස් අළුතෙන් ජලය දමා පියන වසන්නට තැත්කළා.. අත ලිස්සා ගොස් බිමට වැටුන ඒ භාජනයේ ලොකු සිදුරක් ඇතිවුනා…

දෙහිවල දුම්රියේ බෝම්බයක් ඇති බවට රාවයක් ගිහින් දුම්රිය නැවැත්වුවා… සමහරු තමන් හිටිය දුම්රිය මැදිරියටම ආයෙ නැග්ගා.. තවත් සමහරු තමන් හිටිය දුම්රිය මැදිරියෙන් වෙනත් මැදිරියකට මාරු වුනා… මගේ ඥාති සහෝදරයෙක් සහ ඇල්කෙමිච්චිගෙ ඥාති සහෝදරයෙක් හිටිය මැදිරියෙන් වෙනත් මැදිරිවලට මාරු වෙලා…. සුළු මොහොතකින් බෝම්බය පුපුරා ගියා.. බෝම්බය තිබූ මැදිරියේ සිට වෙනත් මැදිරියකට මාරු වූ මගේ ඥාති සහෝදරයා තවමත් ජීවතුන් අතර, වෙනත් මැදිරියක සිට බෝම්බය තිබූ මැදිරිය වෙන මාරු වූ ඇල්කෙමිච්චිගෙ ඥාති සහෝදරයා අප හැර ගියා…..

හැබෑට එහෙම වුනා නම් ?

එසේ දෙදෙනා මාරු වන්නට හේතු වූයේ කුමක්ද ? මම අර භාජනය පුරවන්නට නොගත්තා නම්, තවමත් ඒ භාජනය නොබිඳී පවතීවිද ? නැතිනම් වෙනත් දේකින් ඒ භාජනය බිඳේවිද ? පැටි මාමා අන්තිම පස් ට්‍රැක්ටරය ගෙන යන්න හිතුවෙ නැත්නම් ඔහු තවමත් අප අතර සිටීවිද ? ලලිත් ඇතුලත්මුදලි මහතා වෙඩි නොවදින කබායක් ඇඳගෙන සිටියා නම් ඔහු මිය නොයා සිටීවිද ? එසේ වූවා නම් චන්‍ද්‍රිකා මැතිණිය බස්නාහිර මහ ඇමති – අගමැති – ජනාධිපති වේවිද ? එසේ නොවුනා නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සරත් ෆොන්සේකා මහතා හමුදාපති වී යුද්ධය නවතීද ? මෙවැනි ප්‍රශ්න බොහොමයක් කවදාවත් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වේවි… මේ වගේ ප්‍රශ්න ඔබටත් රාශියක් ඇති… ඔබ මේ වගේ අත්දැකීම් වලට අනන්තවත් මුහුණ දීලා ඇති…

මගේ ජීවිතය පිළිබඳව… එදා ඇය මට හමුවන්නට බලා සිටි මට, මට කැමතිව සිටි ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට ලැබුණා නම්… මගේ ජීවිතය අද මෙතැන තිබේවිද ? ඉන් පසුව ඇල්කෙමිච්චි හමු නොවුනා නම් මම අද මෙතැන සිටීවිද ? ආදී විසඳුමක් ලබා ගත නොහැකි ප්‍රශ්න රාශියක් මගේ ඉදිරියේ තිබෙනවා.

අපට ඇයි මෙහෙම දේවල් වෙන්නේ…. අපේ මුල් සිතිවිල්ල ඇයි අපි ඉවත දාලා අමාරුවෙ වැටෙන්නේ… මම මීට පෙරත් Gut Feeling එකට පයින් ගහලා අමාරුවේ වැටෙන එක ගැන කතා කළා… මේක ඒ Gut Feeling එක ගැනම විතරක් නෙවෙයි. ඒ කියන්නෙ “වෙලාව“  හෝ කර්මය කියන එකද ? කර්මය මෙතැන දී හෝ හැම තැනකම දී බලපැවැත්වෙනවාද ? කෙනෙක් කොහේ හෝ ගිහින් අනතුරකට පත් වුනොත්, ඒ කෙනා ඒ ගමන නොගියා නම් ඒ අනතුරට භාජනය නොවන්නට ඉඩ තිබුණාද ?… මේවා මට නොතේරෙන ප්‍රශ්න…

නමුත් අපේ ජීවිතයේ ගොඩක් දේවල් තියෙනවා අපටම පාලනය කරගත හැකි දේවල්… පාඩම් කළොත් විභාගය සමත් වෙන්නට හැකියාවක් තියෙනවා. පුහුණු වෙන තරමට තරඟයක් ජය ගැනීමේ හැකියාව ලැබෙනවා… තරහ පාලනය කර ගත්තොත් අමාරුවේ නොවැටී ඉන්නට ඉඩ තිබෙනවා… ඒ වගේම කරන දෙයක් හරි හැටි සැලසුම් කරලා කළොත් සාර්ථක වන්න ඉඩ තිබෙනවා… මෙන්න මේ දේවල් අපට පාලනය කළ හැකි දේවල්…  ඒ දේවල වගකීම තමන් භාර ගත යුතුයි…

අපට සමාන්තර විශ්වයක් (Parallel Universe) තිබේද ? කාලතරණයකින් අපට අනාගතයට/අතීතයට යන්න පුළුවන් ද ? එය දකින්නට පුළුවන් වේවි ද? අතීතය/අනාගතය වෙනස් කරන්න කිසිවෙකුට පුළුවන් වේවිද ? එසේ වෙනස් කළොත් කුමක් වෙයිද ?

මෙය මෙසේ වුව හොත් මේ දෙය වෙනස් විය හැකි වන්නට ඉඩ තිබුණි වැනි කරුණු ඇති අපේ ජීවිතේ සමරහ දේවල්  අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ?

හිතලා බලලා තේරෙනව නම් මටත් කියන්න… මමත් මේකට උත්තර තවම හොයනවා… එහෙම වෙන්නෙ ඇයි… I don’t know why ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 11, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 14.

  1. I am watching spell binder series these days, I think you are doing same 😛 😛 😛

    කැමතියි

  2. බටෆ්ලයි ඉෆෙක්ට් කියලා සංකල්පයක් අහල තියද,යම්කිසි ක්‍රියාදාමක,සිදුකරන සුලු වෙනසක් නිසා සම්පුර්න ක්‍රියාදමයේම වන වෙනස මෙහිදී විස්තර කරනවා,

    කැමතියි

  3. ඔන්න ඔය උත්තර නැති ප්‍රශ්ණ වලට උත්තරයක් විදියට තමයි “සියල්ල වෙන්නේ හොඳට එහෙමත් නැත්නම් “සියල්ල වෙන්නේ බඹා කෙටූ හැටියට” එහෙමත් නැත්නම් “සියල්ල සිදුවන්නේ දේව කැමැත්තට” කියල මිනිසු හිතන්න පුරුදුවෙලා තියෙනෙ.

    එතකොට පුළුවන් හිතට වද දෙන මේ වගේ දේවල් අදෘෂ්‍යමාන බලයකට පවරල “එදා වේල හම්බකරගන්නෙ කොහොමද ?” වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

    එහෙම නරකද මං අහන්නෙ ?

    කැමතියි

    • හැබෑව…
      මට යංතං එදා වේල හම්බ වෙන රස්සාවක් තියෙන නිසාද මේ මං වැඩකට නැති දේවල් හිතලා ඔලුව අවුල් කරගන්නෙ ?
      තමන් ගෙදර යන පාරෙ ගලක් තියෙනවා.. හැමෝම ඕකෙ පැටලිලා වැටුනත් කවුරුවත් ඒක ගලවලා අයින් කරන්න යන්නෙ නෑ… ඒ අයට හිතන්න වෙන දේවල් තියෙනවා…
      වෙනස් විදියට හිතන කෙනෙක් ඒක ගලවලා අයින් කරනවා….
      ඒ වගේ තමයි… කවුරු හරි ඉන්න ඕන වෙනස් විදියට හිතන.. නැත්තං ඉතිං අපි හැමදාම පැටලිලා වැටි වැටි එකම ගමන යනවා.
      නැද්ද මං අහන්නෙ ?

      කැමතියි

  4. gut feeling එකට විරුද්ධව වැඩ කර හැම විටම මොකක් හරි නරක දෙයක් වෙලා තියෙනවා. නමුත් අමාරු දේ gut feeling එක හරියට අඳුන ගන්න එක. සමහර වෙලාවට ‘කැමැත්ත’ සහ gut feeling එක පරස්පර නම් මේ ප්‍රශ්නේ එනවා.

    කැමතියි

  5. මම සැරයක් කතාවක දැක්ක සර්…. එක්ස් ෆයිල්ස් !

    එක්කෙනෙක් බැංකුවට බෝම්මබක් අරං යනව…. මෝල්ඩර්ට බෝම්බ කාරයව අල්ලගන්න බැරිවෙනව.. බෝම්බෙ පුපුරනව… ඊට පස්සෙ බෝම්පෙං මිනිස්සුංව බේරෙනකම්ම දවස repeat වෙනව

    අන්තිමට පුපුරන්න කලිං බෝම්බෙ අල්ලගත්තට පස්සෙ දවස ඉවරවෙලා පහුවදා පටංගන්නව! 😀

    කැමතියි

  6. කර්මය කියනවට වඩා දෛවය කියන එක කියලයි මට හිතෙන්නෙ. අපි කොච්චර දියුනුයි කියල හිතාගෙන හිටියත්, අපට නොතේරෙන මොකක්දෝ බලවේගයක් තියනවා කියල තමා කියන්න තියෙන්නෙ.

    සියල්ල වෙන්නේ සර්ව බලධාරියාගෙ කැමැත්ත අනුව කියල නෙමෙයි මං කියන්නෙ. අපට වෙනස් කරන්න පුළුවන් දේ තියනවා, බැරි දේත් තියනවා. සමහර වෙලාවට නැහුනත් කරන්න බෑ කියල තේරෙනකොට , මං කරන්නෙ වැඩේ අල්ලල දාලා බුදිය ගන්න එකයි.

    කැමතියි

  7. ‘ඇල්කෙමියා කන්දෙක දෙපැත්තෙන් බේරෙන්න පොල්තෙල් ඔලුවේ ගාගෙන , තුන් හුලහට වෙන්න නවාපු ලේන්සුපොඩිය හොඳට මැදපු සුදු කමිස පොඩියෙ ආයා කට්ටකින් එල්ලගෙන කළු ඩී. අයි සපත්තු කුට්ටමත් දාගෙන උජාරුවෙන් අඩිය තිය තිය ඉස්කෝලේ යනකොට සපත්තුවට පෑගිලා අභාවප්ප්‍රාර්ථ වෙච්ච පලවෙනි A කියන හැකරල්ලව මතකද ???? එහෙම නැත්තන් පුංචි පන්තිවල පස්වරක් චක්කරේ පාඩම් කරකර ඉඳිද්දී පුටුවේ වේවැල් කොටුවක් අස්සෙන් ලේ චුට්ටක් හොරකන් කරන්න ආපු වැරැද්දට ඇල්කෙමියා අතින් ඝාතනයට ලක්වෙච්ච B කියන මදුරු ලමිස්සිව මතකද ???? එහෙමත් නැත්නම් ඇල්කෙමියා ක්‍රිකට් ගහන්න කොල්ලෝ කුරුට්ටො එක්ක වත්ත පහල සුද්ද කරපු මුල්ම දවසේ මුලින්ම උගුල්ලලා පුච්චලා දාපු C කියන නිදිකුම්බා පඳුර ගැන මතකද ???? එහෙමත් නැත්තන් ඇල්කෙමියට පණු අමාරුව හැදිච්ච මුල්ම දවසේ බීපු බේත් හින්ද සුවර්ගස්ත වෙච්ච D කියන පණු රාජයාව මතකද ???? එහෙම සත්තු , පැලැටි ගැන හාන්කවිසියක මතකයක් ඇල්කෙමියට නැතුව ඇති .මොකද ඒ හැම එකක්ම වැදගම්මක් නැති දේවල් හින්ද . මනුස්ස ජීවිතේ කියන්නෙත් ඒ වගේම දෙයක් . අපි මහලොකුවට කේන්දර හඳහන් හදාගෙන බන භාවනා කරගෙන මහා සුපිරි දෙයක් කියල හිතන් හිටියත් මනුසසජීවිතේටත් නානාප්‍රකාර අතුරු ආන්තරා සිද්ද වෙනවා අනික් එකී නොකී සත්තුන්ට ගහකොළ වලට වගේම .ඕවගේ අමුත්තක් අද්භූත යමක් තියෙනවාය කියල මම විශ්වාස කරන්නේ නැහැ . මේ ලෝකෙ නානාප්‍රකාර අනතුරු දවස ගානේ මිනිස්සුන්ට සිද්ද වෙනවා .සෑහෙන ගානක් ඒවායින් මිය පරලොව යනවා . ඒ ගණනින් එකකට අපිව හෝ අපි දන්නා කියන කෙනෙක්ව ඇතුලත්වෙන්න පුංචි සම්භාවිතාවයක් තියෙනවා . හැබැයි ඒ සම්භාවිතාවය අපිට ලොකු ලොතරැයියක් ඇදෙන්න තියෙන සම්භාවිතාවයටත් අඩුයි කියලයි මම හිතන්නෙ ජනගහනය එක්ක සංසන්දනය කරල බලද්දී . හොඳ ආරක්ෂක පුරුදු වලට පුරුදු පුනුවීම මගින් සෑහෙන දුරකට මේ අවාසනාවන්ත සිදුවීම් අඩු කරගන්න පුළුවන් කියල මම විස්වාස කරනවා !!!!’

    කැමතියි

  8. නියම පොස්ට් එකක්,,,,
    //අපට සමාන්තර විශ්වයක් (Parallel Universe) තිබේද ? කාලතරණයකින් අපට අනාගතයට/අතීතයට යන්න පුළුවන් ද ? එය දකින්නට පුළුවන් වේවි ද? අතීතය/අනාගතය වෙනස් කරන්න කිසිවෙකුට පුළුවන් වේවිද ? එසේ වෙනස් කළොත් කුමක් වෙයිද ?
    තව අව්රුදු 100 කට ඔයදේ කරන්න බෑ, ඒ හින්ද පරණ වැරදි මේ ආත්මයේ හදාගන්න බෑ. නෝ චාන්ස්,, අඩුවෙන් වැරදි කරමු. පරිස්සමින් ජිවත් වෙමු.

    කැමතියි

  9. හොඳ සිතුවිල්ලක්….. කොන්ටම් භෞතිකය න්‍යායාත්මකව විග්‍රහ කිරීම සඳහා ඉදිරිපත් කල බහුලෝක විවරණයේ (Many Worlds Interpretation සිංහලයට නැගීම නිවැරදිදැයි නොදනිමි) විශ්වයන් රාශියක් පිළිබඳව කියවෙනවා. කොන්ටම් භෞතිකය පිළිබඳ කොපර්හෙන්ග් විවරණයට අනුව, කිසියම් පද්ධතියක කිසියම් ගුණයක අගය සම්බන්ධයෙන්, එය නිරීක්ෂණය කොට මනිනු ලැබීමට ප්‍රථමව කිසිවක් කිව නොහැකිය. එය විවිධ අගයන් රාශියක එකවිට පැවතිය හැකි අතර (Superposition) එම පද්ධතියට අදාල තරංග ශ්‍රිතය (Wave Function) මගින් මෙම අගයන් ලැබීමේ සම්භාවිතාව පිළිබඳ අදහසක් දැක්වීම පමණක් කල හැකිය. කිසියම් නිරීක්ෂකයකු විසින් එය නිරීක්ෂණය කොට එම ගුණය මනිනු ලැබුවිට එම තරංග ශ්‍රිතය බිඳ වැටී (Wave function collapse) එම අගයන් අතරින් එක් අගයක් පමණක් ලැබෙන බව එහිදී වැඩි දුරටත් සඳහන් වෙනවා. සරළ උදාහරණයක්‌ ලෙස මා ඉදිරියේ ඇති ගසක් මා විසින් නිරීක්ෂණය කරනු ලැබීමට ප්‍රථමව එය අසවල් තැන නිශ්චිතවම, ඒකාන්තයෙන්ම පවතින බව කිව නොහැකිය. එය මේ අවකාශය තුල ස්ථාන රැසක එකවිට පවතින අතර එම ගසෙහි තරංග ශ්‍රිතය මගින් එය විවිධ ස්ථාන වල පැවතීමේ සම්භාවිතාව පිළිබඳ පමණක් ප්‍රකාශ කල හැකිය. එනම් ගස පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතී. නමුත් මා විසින් එම ගස නිරීක්ෂණය කරනු ලැබූ විට එම තරංග ශ්‍රිතය බිඳ වැටී එක් නිශ්චිත අගයක් ලැබේ. මෙම අවිනිශ්චිත බව, එනම් නිරික්ෂකයගෙන් තොරව යථාර්තයෙන් නොමැති බව පිළිගැනීමට මැලි වූ පිරිස්, තරංග ශ්‍රිතය බිඳ වැටීම ප්‍රතික්ෂේප කර, මෙම බහුලෝක විවරණය ඉදිරි පත් කලා. එම විවරණයේදී, විශ්වයන් රාශියක් පවතින බවත්, තරංග ශ්‍රිතය මගින් කිසයම් පද්ධතියක ගුණයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන, පැවතිය හැකි විශාල වූ අගයන් ප්‍රමාණය, එම එක් එක් විශ්වයට අදාල බවත්, නිරික්ෂකයගෙන් තොරව එම අදාල අගයන්, අදාල විශ්වයන් තුලදී, පෙරකී ගුණය සඳහා එකවිට පවතින බවත් කියවෙනවා. විද්‍යා ප්‍රබන්ධ කරුවන් මෙම අදහස සරළ ලෙස ගෙන මේ පිළිබඳ විද්‍යා ප්‍රබන්ද පවා ඉදිරිපත් කර ඇති අවස්ථා මා දැක තිබෙනවා. උදාහරණයක්‌ ලෙස, කිසියම් පුද්ගලයෙකු මේ විශ්වයේදී යහපත් ජීවිතයක් ගත කරන අතරම, තවත් විශ්වයන් වල අඩු වැඩි වශෙන් යහපත්ව ජීවත්වෙනවා. මෙය වෙනත් ලෝක ලෙසද සමහර විට අර්ථ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මා හට නම මෙය තරමක සුරඟන කතාවක් බඳුය. කොන්ටම් භෞතිකය පිළිබඳ මා දකිනා යහපත් කරුණ වනුයේ, එහි ඇති ගණිතමය ප්‍රකාශයන් පමණි. න්‍යායාත්මක විග්‍රහය කෙසේ වුවද, එම ගණිතමය විග්‍රහයන් ඇසුරෙන්, ප්‍රයෝජන රැසක් ලබා ගත හැකි බවයි මාගේ ගැගීම….

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: