Daily Archives: දෙසැම්බර් 24, 2011

2011 දෙසැම්බර් 25 : හැමදාම නත්තල් නෑ….


අද නත්තල්… ඇත්තෝ කති… ටිකක් ඇත්තෝ ටික වෙන්න කති…. නැත්තටම නැත්තෝ ලෙවකති… මේකයි යථාර්ථය…

දැන් දැන් නත්තල ව්‍යාපාරික ප්‍රජාවට අයත් දෙයක් වෙලා.. බොහෝ දෙනෙක් නත්තලට සැරසෙන්නේ නොවැම්බර් අවසානයේ සිට.. නත්තල් සේල්… අර සේල් මේ සේල්… ඇමරිකාවෙ නම් තෑන්ක්ස්ගිවිං  ඉවර වුන දා සිට… බලුප් වැල් දාලා.. ගස් සරසලා… හිස් පෙට්ටි තෑගි දවටන වලින් ඔතලා.. බෝ ගැටගහලා එක විකාරයයි. නත්තල් දවසට හුවමාරු කරන තෑගි ගැනත් බරටම කතාව… මත්පැන් අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන මගේ මිතුරියක් පැවසුවේ අවුරුද්දේ වෙළඳාමෙන් සියයට 60 ක් සිදු වන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙක ඇතුලත කියලයි.. ඒ නත්කලේ සහ නව වසරේ අනෙක් පැත්ත….

තියෙන දෙයක් බෙදා ගනිමු....

පැටියා නං වේලසනින්ම නිදා ගත්තා සැන්ටා ඇවිත් තෑගි තියන එකක් නෑ කියලා බය වෙලා… මටත් ඇල්කෙමිච්චිටත් කවදාවත් නත්තල් කියලා දෙයක් තිබුණෙ නැහැ.. ඇති වැඩකුත් නැහැ… නිකම් බොරුවට එදාට තෑගි හුවමාරු කරගන්නවට වඩා ඒ දවසත් අනෙක් හැම දවසක් වගේම ගෙවිලා යන එකයි අපේ ජීවිත වල රටාව.. එදා ඉඳන් අද දක්වාම අපේ දැක්ම ඒකයි… කිසිම විශේෂ දවසක් අපට විශේෂ නැහැ… උපන් දිනයක් වුනත් සරළව ගත්තොත් තමයි සතුට… දැන් නම් පැටියාට ඕන නිසා  ගහක් ගෙනැත් දාලා එයා ලවාම සරසවනවා… ගහ යට තෑගි ටිකක් තියලා තියෙනවා හෙට උදේ නැගිට්ටාම ගන්න… ඒකයි අපේ පිටට පේන නත්තල……

අපි මෙහෙම නත්තල් ගත්තට අද දවසේ එක කෑම වේලක් නැති මිනිස්සු දරුවො කොච්චරක් ලෝකෙ ඇතිද ? ඒ අයට කවදා නත්තලක් සමරන්න පුළුවන් වේවිද ? අපි මේ ගෙවන ජීවිතේ පිටට ඔපය විතරක් තිබුණාම ඇත් ද ? විනෝද වෙන්න ඕන.. මම නෑ කියන්නෙ නෑ..

නමුත් අපි කවදා හෝ අනුන් ගැන හිතනවා ද ? අනුන්ට පිහිට වෙන්න, අනුන් වෙනුවෙන් යමක් කරන්න, නැති බැරි කෙනෙකුට යමක් දෙන්න අපි හිතනවා ද ? හිඟන්නන්ට සල්ලි දීම හෝ යාළුවන්ට පාටි දැමීම හෝ අනුන් වෙනුවෙන් යමක් කිරීමක් කියා ඔබ අර්ථ දක්වන්න පුළුවන් සමහර වෙලාවට… නමුත් ඇත්තෙන්ම ඔබ ඔබේ දාඩිය මහන්සිය, දැනුම, මිල මුදල්, වෙලාව, කිසිදු ලාභ ප්‍රයෝජනයක්, නැවතත් උදවුවක් ඉල්ලීමේ පරමාර්ථය හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථයකින් තොරව දන් දීලා තියෙනවාද ? පිළිතුර ඔව් නම් ඔබ සැබෑම මානව හිතවාදියෙක්…

එසේ නොවේ නම් ලබන්නා වූ අවුරුද්දෙ වත්, මේ ලෝකෙ ජීවත් වෙන්නෙ මං විතරක් නොවේය.. මගෙන් ලෝකෙට වෙන්න ඕන යමක් තිබේය කියලා වත් හිතාගෙන… දවසක් හෝ අනුන් වෙනුවෙන් වැය කරන්න…..

එක දුරකථන පණිවුඩයෙන් මිනිස්සු 5000 ක් පමණ එකතු කරගන්න පුළුවන් වුන දුමින්ද සිල්වා මැතිතුමා අද අත පය පණ නැති මොළය අක්‍රීය රෝගියෙක් බවට පත් වෙලා… එදා හිටපු කවුරුවත් අද පිහිටට නැහැ… මේකයි ලෝක ස්වභාවය…. අපි කොච්චර ද්‍රව්‍යමය දේවල් එකතු කළත් යන දවසට අරන් යන්න වෙන්නේ කියපු කරපු දේවල ආනිසංස පමණයි…  බුදුන් වහන්සේ වදාල ධර්මයත්, ජේසුස් වහන්සේ වදාල ධර්මයත් මිනිසා එකම අරමුණක් කරා ගෙන යන්නක්… අපි අද ජාති ආගම් කුළ ඇති නැති භේද සියල්ලම බදාගෙන ජීවත් වුනත්, අපේ හැම දෙනාගෙම ඇඟේ දුවන්නේ එකම ලේ… අපි හැමෝම හැදිලා තියෙන්නේ එකම ජාතියේ පරමාණු, අණු, සංයෝග වලින්… මේ ටික තේරුම් නොගන්නා තාක් කල් අපි හැමදාම භේද වෙලා කුලල් කා ගනීවි…

අපට හැමදාම නත්තල් නෑ… නැති බැරි දවසක සමහර විට අර ඔබ උපකාර කරපු කෙනෙක් ඔබට උදවු වෙන්නට පුළුවනි…. ඉතින් අනුන් ගැනත් හිතන්න… සතුට වැඩි වෙන්නේ දේවල් බදාගන්න තරමට නෙවෙයි… බෙදාගන්න තරමට….

%d bloggers like this: