Daily Archives: දෙසැම්බර් 30, 2011

2011 දෙසැම්බර් 30 : නව වසර ඵලදායී කරගැනීමට ශක්තිය ලැබේවා…. !


අද දෙසැම්බර් 30…ඇල්කෙමියාගේ දිනපොතට අවුරුද්දයි.. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් වහන තත්ත්‍වයටම ඇවිත්…. ඒ වුනත් ඇල්කෙමියාගේ දිනපොත නම් තවමත් ගාට ගාටා යනවා… මුලින්ම පටන් ගත්ත 2011 දී අළුතින් හිතමු කියන ලිපියට අනුව මමත් 2011 වසරේදී අළුතින් යමක් හිතුවා කියලයි මට නම් හැඟෙන්නෙ. මම මේ දිනපොත ලියන්න පටන් ගත්තට පස්සේ ජීවිතය ගැන අළුත් විදියකට හිතන්න ගත්තා…

දිනපොත කියවපු බොහෝ දෙනා පෞද්ගලිකවත් ප්‍රතිචාර වශයෙනුත් හොඳ නරක කියලා දුන්නා. එයට බොහොම තුති.

ඉඳලා හිටලා දේශපාලුවෙක් පිස්සු කෙළිනකොට පෘත:ජනයෙක් විදියට මමත් සමහර දේ ලිවුවා. මර්වින් සිල්වා-දුමින්ද සිල්වා-භාරත ලක්‍ෂමන් වැනි අය ගැන ලිවුව දවස්වල හිට්ස් සංඛ්‍යාවත් අහස උසට… මිනිස්සු තව මිනිස්සුන්ට බණිනවා බලන්න විවේචනය කරනවා බලන්න කැමතියි. ලිංගිකත්‍වය ගැනත් එහෙමයි…. ප්‍රතිචාරත් එමට… දත්ත ගත්තොත් දවසකට 99 දෙනෙක් දිනපොත කියවනවා.. මහ ගානක් නෙවෙයි… ඒත් මට ඇති…  ලද දෙයින් සතුටු වෙන්න එපායෑ…

මේ ඔක්කොම දේවල් හොරෙන්ම නොවුනත් ඉඩ ඇති වෙලාවට බලලා හොඳ නරක කියන ඇල්කෙමිච්චිගේ සහයත් වසරක් පිරෙන මේ වෙලාවෙ අගය කරනවා ආදරෙන්.. (නැත්තං ඉතිං ගුටි කන්න නේ වෙන්නෙ) වැඩ අධික කමත්, සමහර වෙලාවට පෞද්ගලික කටයුතුත් නිසා දිනපොත එක දිගට ලියැවෙන්නෙ නැති කොට විමසීම් කරන බොහෝ දෙනාටත් ස්තුතිය…

පහුගිය කාලෙ විවිධ මාතෘකා ලියැවුනා.. බොහෝ දෙනා දේශපාලනය කවි කතා ලියනවා… මගේ කැමැත්ත, මගේ ආසාව පුනර්ජනනීය බලශක්තිය, ලෝක බලශක්ති අර්බුධය, විකල්ප බලශක්ති ප්‍රභව ගැන නිසා මින් ඉදිරියට ඒ ගැන වැඩියෙන් ලියැවේවි.

පහුගිය දවසක බස් රේඩියෝවෙනුත් මාව සම්බන්ධ කර ගත්තා… ඒක අහපු ප්‍රතිචාර දාපු අයවෙගේම බස් රේඩියෝවට සම්බන්ධ සියළුම සොයුරන්ට ස්තුතිය… මම එච්චර ලොකු පොරක් නොවුනත් මාව සම්බන්ධ කර ගත්ත එකට.. මගේ දැක්ම අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඉඩ දුන්න එකට..

ඉතිං තව ලියන්න බොහෝ දේ තියෙනවා. අපි ඉදිරි දවසක තව ලියමු…

සමහරු නම් මාව මූණු පොතෙනුත් සම්බන්ධ වෙලා.. අවුරුද්දක් ගතවෙද්දි අළුත් යාළුවො ගොඩක් ඇති වෙලා.. හැබැහින් නොදැක්කත්….. කවදා හරි හම්බ වෙන්නෙ නැතෑ… නේද ?

මම සුබ නව වසරක් පතන්නෙ නෑ… නව වසර සුභ හෝ අසුභ කරගැනීම තියෙන්නේ තමන්ගෙ අතේ… තමන් හරි විදියට ජීවත් වෙනවා නම්, අනෙක් අයත් එක්ක සහයෝගයෙන් ඒ අයට උදවු කරගෙන නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් නව වසර විතරක් නෙවෙයි හැම දවසම සුභ වේවි. රෝමය ගොඩ නැගුවේ එක දවසකින් නෙවෙයි. අපි ජීවත් වෙන හෙට දවස හරියට, අවංකව, නිදහස්ව, හොඳින් ජීවත් වෙන්න ඉටා ගනිමු.. ඒවිදියට මාසයක් ජීවත් වෙනකොට ඉබේම ඒ ජීවන රටාවට ඔබ පුරුදු වේවි…. ඉතින් අපි ප්‍රයෝජනවත් යමක් ලෝකයට දායාද කරමු… ඒකයි මම කියන්නෙ නව වසර ඵලදායී කරගන්න ශක්තිය ලැබේවා කියලා…

අළුත් අවුරුද්දක අළුත් පැතුම් අරගෙන අපි පරණ අවුරුද්ද පසෙක ලා ඉදිරියට පියමනිනවා…. ඒ අත්දැකීම් අරගෙන අපි අපේ ජීවිතය හැඩගස්වා ගනිමු… හෙට ලියන්න වෙන එකක් නෑ… ඒකයි අවුරුද්දේ අවසාන සටහන මෙසේ ලියන්නෙ…

සුබ පැතූ හැමෝටම ස්තුතියි..

ලබන අවුරුද්දෙ හමු වෙමු..

ජය !

ඇල්කෙමියා

%d bloggers like this: