2012 ජනවාරි 07 : දැන්වත් අපි විනයක් ඇති මිනිසුන් පිරිසක් බවට පත් වෙමු ද ?


2012 ලැබුවාට පසු මම හිතාගත් එක දෙයක් තමයි මගේ පාඨකයන්ට වටිනා යමක්, හිතන්න යමක් ලබා දිය යුතුයි කියලා. දැන් මට ලබන්න අළුත් පාඨක පිරිසක් නැහැ. සමහරු ලිපියක් දෙකක් බලලා තමන්ට ගැලපෙන්නෙ නැති නිසා ඉවත්ව යනවා. සිටින පිරිස හැමදාම ඉන්නවා. ඒ නිසා මට අළුතෙන් ලබන්නවත් නැති වෙන්නවත් දෙයක් නැහැ. ඉන්න අයට ජීවිතයට යමක් අරගන්න මඟ පෙන්වන්න හෝ හිතන්න දෙයක් දෙන එක තමයි මේ වසරේ මගේ බලාපොරොත්තුව.

මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්ව හඳුනාගන්න පුළුවන් ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. පැහැදිලි භාෂාවක් කතා කිරීම, පිළිගත් සම්මත රටාවක් අනුව ජීවත් වීම, කිසියම් දර්ශනයක් අරමුණු කර ගැනීම (ආගමක් හෝ වෙනයම් කරුණු සමූහයක්) , බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට ඇති හැකියාව (සමහරු බුද්ධිය මෙහෙයවන්නෙ නැහැ) සහ තවත් බොහෝ කරුණු  නිසා මෙසේ මිනිසුන් තිරිසන් සතුන්ගෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවනි. නමුත් මේ සමහර වෙලාවකට සමහර විට මිනිසා පෙර කී තිරිසන් සතුන්ටත් වඩා අන්තයකට ගමන් කරන ආකාරයකුත් පෙනෙන්නට තිබෙනවා. මේ සම්මතයන් ආදියෙහි පිහිටවා කටයුතු කිරීමට මිනිසා පෙළඹවීම හෝ යොමු කිරීම සරළව විනය – එහෙමත් නැතිනම් Discipline කියා හඳුන්වන්න පුළුවනි.

අපට විනයක් අවශ්‍ය ඇයි ? විනයක් නැහැ කියලා අපට දියුණු වෙන්න බැරිද ? මේ වගේ ප්‍රශ්න සමහරක් දෙනාට පැණ නඟිනවා ඇති…

විනයක් අපට මූලිකවම අවශ්‍ය වන්නේ සමාජයේ සියළුම දෙනා පිළිගත් නීති හෝ රීති පද්ධතියකට අනුකූලව තබාගෙන පාලනය කරන්නට යි කියලයි මට හිතෙන්නෙ. මේ කිසිම තැනකින් ගනිපු වචන නෙවෙයි ඇල්කෙමියාට හිතෙන විදිය. අපට විනයක් අනවශ්‍ය තැනක් තියෙනවාද ? පාසලේ, ක්‍රීඩා පිටියේ, සමාජයේ, බස් රියේ පමණක් නොවෙයි ගෙදර දෙන්නා දෙමාල්ලෝ තනි වෙලා ඉන්න අතිශය පෞද්ගලික අවස්ථාවකදී වුනත් විනයක් නොතිබුණොත් අමාරුවෙ… වලං කඩේට පැන්න හරකා වගේ කාටවත් කොතැනකවත් ජීවත් වෙන්න බැහැ ලංකාවෙ පාර්ලිමේන්තුවේදි ඇරෙන්න.

නමුත්, අපේ රටේ මීට අවුරුදු 20 කට පමණ පෙර තිබුණ විනය දැන් දකින්නට තිබෙනවා ද ? පාසලේ වුනත් විනය පවත්වාගෙන යාම එතරම් පහසු නැහැ. සිසුන් පමණක් නොවෙයි… ගුරුවරුන්ගෙ පවා… බස් රථවල ගමන් කරනවිට බස් රියැදුරන්ගේ සහ කොන්දොස්තර වරුන්ගේ  විනය පවා පිරිහිලා. විනය  පවත්වාගෙන යන්න ඉන්න පොලීසියේ විනය ඔක්කොටම අන්තයි. අපව පාලනය කරන්නට කියලා දියවන්නා මඩ වගුරට යවපු අම්බරුවො 225 දෙනාගෙ විනය ගැන කියන්න දෙයක් ඇත්තෙම නැහැ. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙ රූප, භාෂාව ගැන විනයක් ගැන කතා කරන්න බැහැ. සංගීතයේ තිබුණ විනය, සංයමය නව පරපුරේ අවශ්‍යතා සමග කොහේ ගිහින් ද කියලා හොයා ගන්න නැහැ.. මේ ලඟදි විවෘත කළ අධිවේගී මාර්යේ විනය කඩකිරීම නිසා 471 දෙනෙකුට දඬුවම් පැමිණ වූ බවත් බොහෝ අනතුරු සිදු වූ බවත් වාර්තා වී තිබුණා.

සංගීතයේ විනය

සමාජයේ විනය සැකසිය හැක්කේ කෙසේදැයි සියළුම දෙනා පාහේ දන්නවා. නමුත් කිසි කෙනෙක් ඒ සීමාවන් තමන්ට අදාල කරගෙන පිළිපදින්නෙ නැහැ. නීති රීති පැණවීම සහ ඒවා හරියට ක්‍රියාත්මක කිරීම ප්‍රධාන දෙයක්. එසේ ක්‍රියාත්මක කිරීමේදී සැම දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එක විදියකුත් විපක්‍ෂ දේශපාලනඥයින්ට තවත් විදියකටත් නීතිය ක්‍රියාත්මක වනවිට වගේම හිතවතුන්ට සහ බලපුළුවන්කාරයන්ට වෙනස් විදියට නීතිය ක්‍රියාත්මක වීමේදී තමයි ජනතාව නීතිය අතට ගන්නෙ. බොහෝ රටවල නීතිය හරියට ක්‍රියාත්මක වනවා පමණක් නොවෙයි සමහර විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා. පොලීසිය අල්ලස් ගැනීම – පගා ගැනීම කරන්නෙ නැහැ. එසේම ජනතාව ද පොලීසියට නිසි ගෞරවය ලබා දෙන අතර පොලීසිය ද ඒ ගෞරවය උපයා ගන්නවා. අපේ මිනිසුන් පමණක් නෙවෙයි සමහර දේශපාලනඥයින් පවා පොලිස් නිලධාරීන්ට කතා කරන්නෙත් පොලිස්කාරයා කියලා.. ඒ වගේමයි දේශපාලනඥයො විසින් පොලිස් නිලධාරීන්ව ඉතාම පහත් තත්ත්‍වයට ඇද දාලා තියෙනවා. මේ නිසාම මහජනතාවගේ ගෞරවයත් පොලීසියේ නිලධාරීන්ට නොලැබී ගොස් තිබෙනවා. එහි අනෙක් පැත්ත වන පොලිස් නිලධාරීන් ද ජනතාවට නිසි ගෞරවය දී කටයුතු කරන්නෙ නැහැ.. මේ නිසා විනය රකින්න ඉන්න අයගේ විනය කඩවීමත්, ඔවුන්ට විනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබීමත් නිසා මූලිකම පියවර ඇණ හිට තිබෙනවා.

අනෙක් කරුණ තමයි දැනුවත් කිරීම… ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළා සේම, කහ ඉරෙන් පැනීම වැනි වැදගත් කාරණා ක්‍රියාත්මක කළා සේම බොහෝ දේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් ජනතාව දැනුවත් කිරීම කරන්න පුළුවනි. නිතර නිතර දැනුවත් කිරීම මගින් ජනතාවගේ සිතට මේ පණිවුඩය යැවීමට පුළුවනි. මෙසේ දැනුවත් වීම නිසා මිනිසුන් ඒ ඒ නීති-රීතීන්ට අනුව කටයුතු කිරීමට පුරුදු වෙනවා. එසේම දරුවන්ට කුඩා කාළයේ සිට හරි පුරුදු හුරු කිරීම ඉතා වැදගත් කටයුත්තක්. දරුවන් කිසියම් නීති රීති පද්ධතියකට හුරු වීමට මුල සිටම හුරු පුරුදු කිරීම නිසා වැඩිහිටියන් බවට ඔවුන් පත් වන විට ඔවුන් නිතැතින්ම තමන්ගේ බාල පරපුර ද එසේ නීත්‍යානුකූල කිරීම සිදු වෙනවා. මේ රටවල දෙමාපියන් තම දරුවන්ට යහපත් ලෙස කතා කිරීමට යහපත් පුරුදු වලට අනුගත කිරීමට දරන උත්සාහය දෙස බැලීමේදී ඒ බව මනාව වැටහෙනවා. සමහරක් නීති කඩ කළත් බහුතරය නීති රීති වලට එකඟයි. එසේම ඔවුන් ඒ පිලිබඳ දැනුවත්.. නීති කැඩිම නිසා සිදුවන දේත්, එහි දඬුවමත් ඔවුන් හොඳින් දන්නවා.

අපේ රටේ සිදු වන්නේ දරුවෙක් පාසලට දමාගන්න දරුවා බොරු කියන්න පුරුදු කරවනවා. එතැන ඉඳලාම දරුවා දකින්නෙ බොරුව වංචාව හොරකම, ඒ නිසා දරුවාටත් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. උදේට දරුවා පාසල් එක්කගෙන යන ගමන් රෑට ගෙදර එකතු වෙච්ච කුණු ටික පාරේ  අයිනේ දාලා යනවා (දැන් නම් මේ තත්ත්‍වය අඩුයි ලු) එවිට දරුවාට ඒ පිළිබඳ විනයක් ඇති වන්නෙ නැහැ. පාසලේ කැලි කසල වුනත් හරි හැටි බැහැර කිරීමක් කියලා දෙන්නෙ නැහැ… ලංකාවෙ මේ විදියට මිනිස්සු කටයුතු කළත් පිටරටකට ගියාම ඒ සියළුම දෙනා ඒ රටේ නීති වලට අනුව වැඩ කරනවා. නැවත ලංකාවට පය ගහපු හැටියෙම ගුවන් තොටුපලේදීම නැවතත් අර පරණ ජරා මිනිහා බවට පත් වෙනවා. ඒ අපේ රටේ හරි හැටි විනයක් නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැති බව දන්න නිසා. ඔන්න ඕකයි ඇත්ත තත්ත්‍වය. අනෙක් කරුණ තමයි රටේ ඉහළම තැන් වලින් සිදු වන නීති කඩ කිරීම්. පසුගියදා මූල්‍යමය අක්‍රමිකතාවයකට හසු වෙච්ච මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණේ “ඔන්න උඹ නිදහස් කළා – දැන් පුළුවන් තරම් ගසා කාපන්” කියන්නා වගේ. අපේ දේශපාලනඥයොන්ට විනයක් නැති වුනත් ඔවුන් විනය තකා වැඩ කරන්න නම් දක්‍ෂයි. අපේ ජොනී මහත්තයා , නිමල් සිරිපාල මහත්තයා, අර ජීනා මැඩම්ගේ මොඩලිං ඒජන්සියේ ඉඳලා දුවපු නියෝජ්‍ය ඇමතිවරයා වගේ කට්ටිය සහ තවත් දන්නා නොදන්නා බොහෝ දෙනෙක් ඒ වැඩ වලට නම් දක්‍ෂයි.

මාධ්‍ය මගින් අපේ දරුවන්ට සිදු කරන විනාශය වහාම නතර කල යුතුයි. ඉස්සර හිටපු වීරයොන් වෙනුවට අද අපේ දරුවන්ගේ වීරවරයින් වන්නේ එක රැයින් ජනප්‍රිය වෙච්චි සුපිරි තරු.. ඉස්සර තිබූ සදාචාරාත්මක ගතිය කිසිම රූපවාහිනී චැනලයක දකින්න බැහැ. ටෙලිනාට්‍යවල වැඩි හරියක් තියෙන්නේ මනස අවුල් කරන දේවල්… ඒවායේ ද විනයක් නැහැ. අවම වශයෙන් විනය ක්‍රියාත්මක කරන්න සිටින අධිකරණයටත් දේශපාලනඥයින් ඇඟිලි ගසන තත්ත්‍වයට අපේ සකල සිරින් පිරි සිරි ලංකාව පත් වෙලා. ඕපාදූපයක් විය හැකි වුනත් අපේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාව රැකබලා ගන්නැයි ඉහළින්ම විධාන ලැබිලා ලු… අපේ දියවන්නාවෙ ඉන්න 225 දෙනාගෙ කෙරුවාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපට විනයගරුක වෙන්න කියලා ඉල්ලාසිටින්න ඔවුනට කිසිම බලයක් නැහැ. දුමින්ද සිල්වා විනයගරුක වුනා නම් තවමත් පරණ විදියට යහතින් වැජඹෙනවා – භාරත ලක්‍ෂමන් වුනත් විනය ගරුක වුනා නම් තවමත් ජීවත් වෙනවා. තවත් උදාහරණ ඕනෑ තරම්….

අනෙක් කාරණය තමයි අපේ රටේ කිසිම කෙනෙකු තමන් කරන කාර්යයේ හෝ සිදු කළ කාර්යයක වගකීමක් භාර ගන්න ඉදිරිපත් නොවීම.. හොඳම උදාහරණය මෑතදී සිදු වූ උසස් පෙළ ලකුණු අවුල… ඇමතිවරු හැට හුටහමාරක් හිටියත් එකෙක් එහි වගකීම භාර ගන්නෙ නැතිව අනෙක් අයට බෝලෙ පාස්කළා… හරිම පිළිකුල්… අන්තිමට රටේ නැති බොරු කියමින් මිනිසුන්ට කොකා පෙන්වනවා… විපක්‍ෂයත් ඊට දෙවැනි නැහැ… උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි…. අනේ ඉතිං මුං ඔක්කොම ලබන වතාවෙත් වැඩිම මනාපෙන් දියවන්නා මඩවගුරට යවනවා නේ අපේ ගොං හැත්ත… උන්ටත් විනයක් නෑ…

විනයක් ඇති තැන....

මිනිසාට තරම් මොළය වර්ධනය නොවුනත් සතුන් නම් පුහුණු කළාට පසු දැඩි විනයක් ඇති පිරිසක් බවට පත් වෙනවා. මේ තත්ත්‍වයට පත් වන්නේ දැඩි පුහුණුව, සත්කාරය, ප්‍රතිචාර, විනය නිසායි. ලංකාවෙ නම් බල්ලොත් විනයක් නැති සතුන් පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ මිනිස්සු කරන වැඩ දිහා බලලා වෙන්න ඇති. ස්වාමියා විදියටයි සතුනුත් හැඩ ගැහෙන්නේ. නමුත් පිටරටවල බල්ලන් වැනි සතුන් ඉතාම විනයානුකූලව හදා වඩනවා. ආබාධිත පුද්ගලයන්ට පිහිට වීමට උදවුවට Seeing eye Dogs නම් සුවිශේෂිත පුහුණුව ලබන බල්ලන් සිය ස්වාමියාගේ අණට හැරෙන්නට කිසිම දෙයකින් සසල වන්නෙක් නොවෙයි. සමහර ආපන ශාලා වලට වුනත් නිසි ලෙස පුහුණු කළ බල්ලන් ගෙන යන්න පුළුවන්.. මේ දැඩි විනය යටතේ පුහුණු කළ සතුන්…

ක්‍රීඩා කණ්ඩායමක විනය පිරිහුණ විට ඔවුන් නැතිතින්ම පරාජයට පත් වෙනවා. සංයමය නැති තැන සාර්ථක නැහැ. ඒකයි මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වෙලා තියෙන්නේ. ක්‍රීඩා පිටියේ රඳවාගත යුතු මානසික ඒකාග්‍රතාවය, නිසි පුහුණුව, ලැබූ පුහුණුව ක්‍රියාත්මක කරවීම සිදු නොවෙනවා වෙන්න පුළුවන්.

විනයක් ඇති තැන සංයමයක් ඇති වෙනවා. සංයමයක් ඇති තැන බුද්ධිය ඇතිවෙනවා. විනයක් නොමැති බුද්ධියෙන් පළක් නැහැ. අපි කොච්චර බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න උත්සාහ කළත් අර බුද්ධිමතුන් විනයක් නැතිව කටයුතු කරනවා නම් එය මෝඩයින්ගේ පාරාදීසයක් බවට පත් වෙනවා. හොඳම උදාහරණය තමයි ලංකාවෙන් වැඩිම ලකුණු අරගෙන විශ්ව විද්‍යාලයට යන උගත්තු ටික… යම් යම් බලපෑම්වල උසි ගැන්වීම් නිසා විවිධාකාර දේ වලට පෙලඹෙනවා… සමහරු ජීවිතයෙන් වන්දි ගෙවනවා.. තවත් සමහරු ජීවිත කාලකන්නි කරගන්නවා…. මේ ලංකාවේ ඒ වසරේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම් ඇති අය… නමුත් විනයක් නැති නිසා ජීවිත කාලකන්නි කරගන්නවා.

ඉතින් හිතලා බලන්න… නිවසේ විනයක් නැති වුනොත් නිවස වණයක් වෙනවා… ඔබ කැමතිද ඔබේ දරුවා ඔබට මචං කියලා කතා කරනවාට ? ඒ නිසා ඔබ විනයානුකූලව ඔබේ දරුවා හදා වඩනවා. නමුත් ඔබ දරුවා ඉදිරියේදීම පිස්සෙක් වගේ හැසිරෙනවා නම් ඒ දරුවාට ඔබ දෙන්නේ වැරදි ආදර්ශයක්. විනයක් නැති සමාජයක පැවැත්මක් නැහැ… ඔබ ජීවත් වෙන්නේ අන්න ඒ විනයක් නැති සමාජයක් ඇති වීමේ අවසාන සීමාව තුළ.. ඔබ විනාශ කරන්නේ ඔබේ දරුවාගේ අනාගතයයි… අපි වෙන් වෙන්ව හෝ එකතු වී මේ ගැන සිතා තමන්ගෙන් විය යුතු යුතුකම් කොටස සමාජයට ඉටු කළ හොත් මේ සමාජය හැදේවි… අපි ඉදිරියට යන්න ඕන විනය ගරුක සමාජයක් මතින් මිසක් වනචාරී සමාජයක් මතින් නොවෙයි. දේශපාලනඥයින්ට මේ ගැන වගකීමක්වත් හැඟීමක්වත් නැහැ, ජාතියේ අවාසනාවට… උන්ට ඔන සල්ලි විතරයි.. රටට හෙණ ගැහුවත් කමක් නෑ…. මෙහෙම ගියොත් අපට වැඩි කල් පැවැත්මක් නැහැ. ඔය ලෝකෙට පුරසාරම් කියන ජාතික සංවර්ධනය, ඉහළ යන සංවර්ධන වේගය ආදී මවාගත් ලෝකයන් (Bubbles) ඉදිරියේදී පුපුරා යනවිට හැමෝටම තේරේවි…

වැඩට යන්න පරක්කු වෙනවා කියලා පිස්සෙක් වගේ වාහනය පදවන්න එපා…. අනුන් කොහොම ගියත් තමන් හරියට යන්න.. පරක්කු වෙනවා නම් ටිකක් වේලසනින් ගෙදරින් පිට වෙන්න.. කාර්යාලයේ හරියට තමන් ලබන පඩියට සාධාරණයක් ඉටු කරන්න.. යුතුකම් ඉටු කරන විට අයිතිවාසිකම් ලැබේවි – පරක්කු වෙලා හරි. හොරකම් කරන්න එපා.. පගා ගහන්න එපා.. ඒවා දරුවන්ටත් පටිසන් දේවි…. ජීවිතයට Short cut නැහැ… සමහර විට එකක් දෙකක් තියේවි… හැමදාම Short cut එකෙන් යන්න ගියොත් ඔබේ ජීවිතයත් Short වේවි… අද ඉඳලා වෙනස් වෙන්න.. ඔබ දිහා බලලා ඔබ අවට අයත් වෙනස් වේවි.. ඒ අයටත් හෙමින් කියලා දෙන්න.. ඒ අය අනිත් අයටත් කියලා දේවි..  මේක එකපාරට කරන්න බැහැ.. ටික ටික කරමු… රෝමය ගොඩ නැගුවේ එක දිනකින් නොවෙයි….

අපි වෙනස් වෙමු…. අනාගත පරපුර ගැන හිතලා…එතකොට අපි මැරිච්ච දවසක හරි උන් අපිට පින් දේවි, අපි උන්ට හරියට මග පෙන්වුවා කියලා.. නැතිනම් ඉතිං Old Man මලා.. අපි ජොලි කරමු කියලා ඔබේ මලකඳ මල් ශාලාවක තියලා ඇවිත් ගෙදර පාටි දමාවි..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජනවාරි 7, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. ඉතාමත් හරවත් ලිපියක්..ස්තුතියි

    කැමතියි

  2. බොරු ආටෝප වලින් පිරිච්ච ජීවිත දැන් තියෙන්නේ!ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ!ස්වයං විනයක් සහිත අය ඉන්නේ ඔහෝම ටික දෙනයි!

    කැමතියි

  3. මගේ හැම ලිපියකම පාහේ මේ අවවාද දීල ඇති. පිට රටක ජීවත් වෙන කොට ,ඒ රටයි අපේ රටයි සන්සන්දනය කෙරෙන්නේ ඉබේටම. ඒ රටේ දියුණුව දකින විට , අනේ අපේ රටෙත් මෙහෙම තියෙනවා නං හොඳයි නේද කියල හිතෙනවා.

    මිටි තැනින් වතුර නිතරම ගලා ගියාට , රට හදන්න නම් උස් තැනින්ම පටන් ගන්න ඕන..පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. දේශපාලනය ගරු තනතුරක් කරන්න ඕන. පොඩි දීමනාවක් පමණක් ගෙවන. ඉස්සර වාගේ. දැන් ඒක රැකියාවක් , බිස්නස් එකක් වෙලා.

    රෑ එලිවෙනකල් බීල පාටි දාල මහ ජනයාට බොන්න එපා කීවම හරිද ?

    පොලිසියට , හමුදාවට , පාර්ලිමෙන්තුවට උගතුන් ගන්න ඕන. අඩු ගානෙ කලා උපාධියක්වත් තියෙන. නීතිය ගින්දර වගේ වෙන්න ඕන.
    මට රට දෙනවා නං තුන් මාසෙන් හදනවා. මට පුළුවන්.
    එල්ලුම් ගහ අනිවාර්යයි…

    ඔබේ ලිපිය ඉතා වටිනා එකක්. වැරැද්ද …උන් මේව නොකියවන එකයි.

    ( කමෙන්ට් නැතුවාට කමක් නෑ ලියන්න. සමහර බ්ලොග් බලන්න.. චැට් රූම් වාගෙ. ටොපික් එක පැත්තක තියල කමෙන්ට් වලට කමෙන්ට් කරනවා. අපේ අයට ඕන හරවත් දේ නොව සරල වින්දනයක්.
    මම ඔය හැම එකෙන්ම ටික ටික දාල අච්චාරු කරල දෙන්නෙ ඒකයි. හැදෙන එකා හැදෙයි.)

    කැමතියි

    • ස්තුතියි නිහාල් අයියේ.
      ඇත්තෙන්ම අපිට මේවා වැඩිපුර පේන්නෙ ලංකාවෙන් පිට ඉන්න විට…
      ලංකාවෙ ඇතුලෙ ඉන්න කාලෙ අපිත් විනයක් තිබුණ මිනිස්සු නෙවෙයි නේ..
      නමුත් අපි වෙනසක් දැක්කාම ඒ දේ අනිත් අයව දැනුවත් කරන්න යොදා ගන්න ඕන නිසයි මම මේවා ලියන්නේ.
      ලියන බොහොමයක් දේවල් වතුරේ ගියත් එකෙක් හරි ගොඩ යනවා නම් ඒකත් ලොකු දෙයක්..
      කමේන්ට්ස් හිට්ස් බලාගෙන මම ලියන්නෙ නැහැ…
      ඒවා බොහොම අතාර්කික මිනුම් දඬු….
      මම ලියන්නෙ කියවන ටික දෙනාට..
      උන් කවදා හරි හැදෙයි…

      කැමතියි

  4. ලංකාවෙනං….. කියල වැඩක් නැත! 😦

    කැමතියි

  5. මේ රට ගොඩගන්න සෑහෙන බොන්න වෙන්වා. අපි හැදෙමු. එතකොට රට හැදෙයි..

    කැමතියි

  6. ප්‍රථම ‘අලුත් අවුරුද්දෙ හා හාපුරා කියල ඇල්කෙමියාගේ දිනපොත කියවනකොට මට අපේ පැරණි දේශානුරාගී ගීතයක් මතක් උනා . ” පිට දීප දේස ජයගත්තා ආදී සිංහලුන් – — – – – – – – ” කියන ගීය . ඒ ගීතයෙන් කියවෙන්නේ ලංකාවේ ඕනෑතරම් ගුණාත්මකභාවයෙන් වැඩි හොඳ තත්වයෙන් අනූන දේවල් තිබෙද්දිත් ලංකාවේ මෝඩ මිනිස්සු ඒ දේවල් පැත්තකට දාල පිටරටවල් වල බාල දේවල් බදාගන්නවා කියන එකයි !!!! හැබැයි ලොකුම හාස්‍යය දනවන කාරණය වෙන්නේ මේ සින්දුවට යොදාගෙන තියෙන්නේ කොපිකරපු ජනප්‍රිය හින්දි සින්දු තනුවක් වීමයි !!!! ඉතින් මට මේ සින්දුව මතක් උනේ තමන්ගේ පාඨකයාට කොයි දේ කෙරුවත් විනයානුකූලව කෙරියයුතුයි කියල කියලදෙන්න ලියාපු අල්කෙමියගේ ලිපිය සම්මත මාධ්‍ය විනය කඩ කරලා ලියැවිලා තියෙනවා දක්කහමයි !!!! දෙපැත්ත කැපෙන පහත් පෙලේ ” විනය -තකා ” වැනි මාධ්‍ය විනයට පටහැනි යෙදුම් ඇල්කෙමියා භාවිතා කර තියෙනවා දැක්කම මගේ මුවගට මදහසක් පැන නැංගා !!!! දේශපාලඥයෝ කිසිකෙනෙක් ගැන මගේ ඇල්මක් නැතත් දියවන්නා මඩ වගුරට යවපු අම්බරුවො 225 දෙනාගෙ විනය – – – – – වගේ යෙදුම් උනත් සම්මත මාධ්‍ය විනයට පටහැනියි කියලයි මම හිතන්නෙ . ලංකාවේ කිසිම දේශපාලඥයෙකුට චරිත සහතික දෙන්න මම සූදානම් නැති උනත් ඕපාදූපවලින් පමණක් අපි හැමදෙනාම දැනගත් ඇල්කෙමියා ලියා ඇති දේශපාලඥයන්ගේ ස්ත්‍රීන් සම්බන්ද කටකතා උනත් සැකයකින් තොරව ඔප්පුකල සිද්ධීන් ලෙස ඉදිරිපත්කිරීම මාද්‍ය විනයට පටහැනියි කියලයි මම හිතන්නෙ !!!! කොයි හැටි උනත් ලංකාවට සාපේක්ෂව විනය ගරුක පුරවැසියන් ජීවත් වෙතයි කියනු ලබන ඇමරිකා එක්සත්ජනපදයේ කීර්තිමත් ජනාධිපති වරුන් දෙපොළක් වූ බිල් ක්ලින්ටන් සහ ජෝන් F කෙනඩි යන මහත්වරුනටද එවැනිම හා එයිනුත් ඔබ්බට ගොස් සුප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක් ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා තිබූ බවද ඇල්කිමියාට මතක් කර දියයුතුයි !!!! කොයි හැටි මුත් එයින් ලාංකික දේශපාලඥයන් සුද්ධ කිරීමක් හෝ ලාංකීය සමාජයේ විනය පිරිහීමක් නැති යයි නොකියවේ !!!! වර්තමානය වනවිට උච්ච ස්ථානයකට පත්ව තිබුනද විනය විරෝධී කාර්යයන්හි යෙදුන පිළිගැනීමක් ලත් තනතුරු දරන්නෝ , දේශපාලඥයෝ එකලද සිටියහ . ඇඩ්ලින් විතාරණ මිනීමැරුම් නඩුවෙන් එල්ලුම් ගස් ගිය සල්ලාල පුද්ගලයකු ලෙස චෝදනා ලැබූ පුද්ගලයා පාසැල් ගුරුවරයකු විය . මට මතක හැටියට ප්‍රථම ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ පසු කලෙක සිරදඬුවම් විඳීය . පළමු අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක ඥාති සංග්‍රහය පෙරදැරි කරගෙන තමාගේ අවෑමෙන් තම පුත්‍රයාට අගමැතිකම ලබාදීමට කටයුතු කෙරීම නිසා S W R D බණ්ඩාරනායක අලුත් පක්ෂයක් පිහිටුවාගත්තේය . පසු කලෙක අගමැති වූ S W R D බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් [කුමන්ත්‍රණය කිරීම ]කැළණි රජමහ විහාරයේ නායක ස්ථිවිර බුද්ධරක්කිත හිමි වරදකරු වූ අතර ප්‍රසිද්ධ වේද බෞද්ධ භික්ෂුවක් වූ සෝමාරාම එම මිනී මරුම සිදුකිරීම සම්බන්දයෙන් පෝරකයට නියම වීය . ඇල්කෙමියා කියනවා ” අපේ රටේ සිදු වන්නේ දරුවෙක් පාසලට දමාගන්න දරුවා බොරු කියන්න පුරුදු කරවනවා. එතැන ඉඳලාම දරුවා දකින්නෙ බොරුව වංචාව හොරකම, ඒ නිසා දරුවාටත් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ” කියලා. මෙය අතිශෝක්යයෙන් ලියන ලද්දක් ලෙසයි මා දකින්නේ !!!! කුඩා කල සිට කිසිම කරුණකට බොරුවක් කීම උගැන්වීම නරක දෙයක් තමයි . එත් ලංකාවේ පාසලකට ළමයෙක් දාගන්න කොච්චර අමාරුද කියල ඇල්කෙමියා දන්නවද දන්නේ නැහැ !!!! ඇල්කෙමියා පෞද්ගලික විද්‍යාල වලට විශ්ව විද්‍යාල වලට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන්නෙක්ය කියල මම හිතාගෙන ඉන්නවා !!!! එත් ලංකාවේ බහුතරයකට ඒ දේවල් කරන්න වත්කමක් නැහැ !!!! තමන්දේ ළමයාට හොඳ අද්යාපනයක් ලබාදෙන්න එවැනි බොරුවක් කියවන දෙමවුපියෝ ගැන මගේ හිතේ නම් කිසිම කේන්තියක් ජනිතවෙන්නේ නැහැ .කිසිම ආණ්ඩුවකින් මේ ඉස්කෝල ප්‍රශ්න විසඳලා නැහැ . ප්‍රමුකතා ලයිස්තුවේ ඉහලින්ම තිබියයුතු පාසැල් ප්‍රශ්න වගේ ඒවා නොතකා වෙන වෙනත් අඩු අවශ්‍යතා වලට කෝටි ගණන් වලින් සල්ලි නාස්ති කරන ලංකාවේ ආණ්ඩුයි මේවට වගකියන්න ඕනැ . තමන්ගේ දරුවාගේ අද්‍යාපනය වෙනුවෙන් අකමැත්තෙන් හරි බොරුවක් කියන දෙමවුපියෝ ගැන මගේ හිතේනම් කිසිම කහටක් නැහැ . ඒ හේතුව හින්දම ලංකාවේ සමාජයට බොරුකාරයෝ විනයවිරෝධියෝ ඇතිවෙනවා කියන කතාව මම කොහෙත්ම පිළිගන්නේ නැහැ !!!! පිටරටක උසස් අධ්‍යාපනය ලබන්න කවුරු හරි සල්ලිකාර නෑයකුගෙන් හරි යාළුවෙකුගෙන් හරි සල්ලි ගොඩක් තමන්ගෙ හරි තමන්ගෙ දෙමවුපියන්ගේ හරි බැංකුවට දාගෙන ඒ තමන්ගෙ සල්ලියි කියල පෙන්නන අය ගැනත් මගේ හිතේ කිසිම කහටක් නැහැ ඒ වගේම !!!! ඒ දෙගොල්ලොම එක වගේමයි !!!! එකම අවශ්‍යතාවය තියෙන්නේ !!!! “

    කැමතියි

    • මට ඉන්න නිර්දයම විවේචකයා ඔබ… නමුත් ඒක මම අගය කරනවා.
      සමහර විට මමත් ලියන සමහර දේ වල විනයක් නැතිව ලියැවෙන්න පුළුවනි. මම 100% ක් පරිපූර්ණ නැහැනේ.. මෙතැන වාක්‍ය එක එක බලන්නෙ නැතිව අපි Big picture එක බලමු…. එතකොට ප්‍රශ්න නැහැ…
      පවතින පද්ධතියෙ වැරදි නිසා අපිට අල්ලස් දෙන්න, බොරු කියන්න වෙනවා.. ඇත්ත… නමුත් අපි අල්ලස් දෙන්න දෙන්න, බොරු කියන්න කියන්න, පද්ධතියේ නිවැරදි කිරීමක් වෙන්නෙ නැහැ නේද ?
      අපට අවාසියක් වෙනවා තමයි. ඒ වැඩේ කෙරෙන්නෙ නැහැ අල්ලස් නොදුන්නොත්…
      හොඳම කතාව තමයි ඊයේ මගේ නංගි සහ යෙහෙළියන් පස් දෙනෙකු, අගේ පරිඝණක පාඨමාලාවේ කොටසක් ලෙස එක්තරා රාජ්‍ය ආයතනයක පරිඝණක දත්ත ඇතුලත් කරන්නියක් විදියට Internship එකක් කරන්න ගියා… ඇය ඒ ආයතනයට අඩිය තියන්නටත් පෙර වෙනත් ආයතනයකින් ආපු හය දෙනෙක් ඒ සඳහා බඳවා ගනිපු බව පමණක් දැනුම් දුන්නා ලු… අර 6 දෙනා ඇවිත් තියෙන්නේ දේශපාලන පන්දමකින්.. අපේ කෙල්ලයි අනෙත් 5 දෙනායි දැන් ඉතින් අළුතෙන්ම තැන් හොයන්න ඕන…
      අපි වැල යන අතට මැස්ස ගහන්න ඕනද, මැස්ස තියෙන අතට වැල හරවන්න ඕනද ?
      මට කියන්න…………

      කැමතියි

  7. “අතිශෝක්යයෙන් “යන්න අතිශෝක්තියෙන් * ලෙසට නිවැරදි විය යුතුයි !!!!

    කැමතියි

  8. “ඇල්කෙමිය දන්නවා මම ඇල්කෙමියගේ හොඳ යාලුවෙක්ය කියලත් ,මොනවහරි විවේචනයක් කෙරුනානම් එක කෙරුනෙ කිසිම පුද්ගලික තරහ මරහකට නෙමෙයි කියලත් . අනික් කාරණේ තමයි ඇල්කෙමියයි මායි මුළු ජීවිත කාලෙදිම කතාබහ කරන වාද විවාද කරන එකම මාතෘකාව දේශපාලනය නොවෙයි කියල අපි දෙන්නම දන්නවා .අපි දෙන්න ක්‍රිකට් ගැන කතා කරනවා , සින්දු ගැන කතා කරනවා ,චිත්‍රපටිගැන කතා කරනවා විහිලු තහළු ගැන කතාකරනවා ඕපාදූප ගැන කතා කරනවා අපේ යටගිය හපන්කම් මෝඩකම් පුරසාරම් ගැන කතා කරනවා !!!!යාළුවො -යාළුවො කතාකරන හැමදෙයක් ගැනම කතාකරනවා .ඒ හින්ද මට හැමතිස්සෙම හිතෙන්නෙ මට ඇල්කෙමියට ඕන දෙයක් කියන්න පුළුවන් , ඕන විවේචනයක් කරන්න පුළුවන් කියලයි යාලුවෙක් හැටියට .ලංකාවේ සමාජේ එහෙම දේවල් වෙනවා අඩුයි කියලයි මම හිතන්නේ . තමන්ගේ යාලුවෙක් නම් නෑදෑයෙක් නම් ඒ කියන හැම දේටම එහෙයි කියල සහයෝගයක් දැක්වීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය .ඇල්කෙමියා මගෙන් එවැනි යමක් බලාපොරොත්තු නොවෙන බව මම දන්නවා . මම ඇල්කෙමියානම් මමත් කැමතියි මාව කවුරු හරි විවේචනය කරනවානම් .ඒ විවේචන වල මට එකඟවෙන්න බැරි යමක් තිබුනොත් මම පෙරලා ඔහු/ඇය සමග වාද කරනවා එම කරුණු වල පොඩි හෝ ඇත්තක් තියේ නම් ඊළඟ වතාවේ එවැනි විවේචනයකට අසු නොවී ලියන්න අධිෂ්ටාන කරගන්නවා .කොයි හැටි උනත් ඇල්කෙමියයි මායි දෙන්නම දන්නවා මොන මොන විෂයන් යටතේ වාද විවාද කලත් ඒ කිසිම විෂයකින් මම විශාරදයෙක් හෝ දුර දිගට හදාරපු කෙනෙක් හෝ නෙමෙයි කියලත් ,ඒ හැම විවේචනයම කරන්නේ නිකන්ම නිකන් හුඟක් සාමාන්‍යය නිදහසේ හිතනවාය කියල හිතාගෙන ඉන්න පුද්ගලයෙක් වශයෙන් පමණක්ය කියලත් .අවසාන වශයෙන් හොඳ යාලුවෙක් හැටියට ඇල්කෙමියාට සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් පුංචි රාහසකින් මේ අදහස් මම ඉවර කරන්නම් .ඇල්කෙමියා විතරක් නෙමෙයි මගේ දන්නා කියන යාලු නෑදෑ හිතවත් කවුරු හරි සදාකාලිකව හරි තාවකාලිකව හරි පිටරට ගිහින් ඉන්න අතරෙ ඒ රටවල් වල තියෙන හොඳ දේවල් ලංකාවේ කෙරෙන්නෙ නැත්තෙ අයි කියල පුදුමයෙන් වගේ අහන වෙලාවල් වලට මේ වගේ විවේචන මගෙන් අනිවාර්යයෙන්ම කෙරෙනවා ,අපේ ගමේ ජීවත්වෙන [ම්නහ්කල්පිත ; ) ] කසිප්පු මුදලාලිගේ පුතාලව විවේචනය කෙරෙනවා වගේම . ඒ කසිප්පු මුදලාලිගේ පුතාලගේ කතාව මෙහෙමයි : මුදලාලියි කිවුවටට මේ මිනිහ හුඟක් දුප්පත් .රස්සාවක් හොයාගන්න බැරුව ජීවත් වෙන්න තමයි කසිප්පු පෙරන්න පටන්ගත්තේ .ඒත් හරි හපන් ආදායමක් නැහැ .අහල පහල මිනිස්සුත් බනිනවා , හාමුදුරුවොත් බනිනවා , පොලිසියෙනුත් මාසෙකට දෙතුන් පාරක් අල්ලන් යනවා .කොයි හැටි උනත් පඩි පේලිය වගේ හිටපු ළමයි දුසිම් බාගේ අස්සේ ඇහැට කනට පේන හුරුබුහුටි කොලු පොඩ්ඩෝ , කෙලි පොඩ්ඩියෝ දෙතුන් දෙනෙක් හිටියා .මෙයින් එක්කෙනෙක්ව වැඩකාර කමකට කොළඹ ගේකට [බංගලාවකට ] අරන් යැවුනා .තව එක්කෙනෙක්ව ඒ වගේම බංගලාවක දරුකමට හදා ගන්න අරගැනුනා .අනික් කෙලි පොඩ්ඩි බොහොම දාඩිය මහන්සියෙන් ඉගනගෙන අර වගේම කොළඹ හතේ වැදගත් පොහොසත් පවුලකින් කසාදයක් කර ගත්ත . ඉතින් එදායින් පස්සේ මේ ළමයි කිසිකෙනෙක් අර කසිප්පු කාරයාගේ ගෙවල් පැත්තේ එනවා කවුරුවත් දැකලා නැහැ .හැබැයි අලුත් නෑදෑයින්ගේ විස්තර කියලා තමන්ගේ ගෙදර ඉන්න සහෝදර සහෝදරියන්ට මේ වගේ ලියුම් නම් එවනවා : ” මේ ගෙදරනම් අපේ ගෙදර වගේ නෙමෙයි හරිම පිළිවෙලයි . මෙහෙ තාත්තා මෙහෙ අම්මාට කවදාකවත් කුනුහරුපින් බනින්නේ නැහැ .උදේට වැඩට යනකොට බායි කියල කිස් එකකුත් දීලයි යන්නේ . අනික් එක කිවිසුමක් ගියත් සොරි කියල කට පුරා සමාව ඉල්ලන්න තරම් මෙහෙ හැම දෙනාම සීලාචාරයි . ඇයි ඔහේ අම්මටයි තාත්තටත් ඒ විදිහට සීලාචාර විදිහට ජීවත්වෙන්න බැරි ???? මෙහෙ හැම දෙනාම හරිම නීත්යානුකූලවයි ජීවත් වෙන්නේ .එහාගෙදර බල්ලා බුරාගෙන කන්න ආවත් කුණුහරුප කියාගෙන රෙදි උස්සගෙන කඩු කිනිසි අරගෙන ඒ ගෙදෙට්ට කඩාපනින සිරිතක් මෙහෙ නැහැ . ටෙලිෆෝන් කරලා පොලිසියට දැනුම් දෙනවා .ඒ අය ඇවිත් නීත්‍යානුකූලව කටයුතුකරනවා .ඔහේ අම්මලා තාත්තලාට ඒවගේ ශිෂ්ටසම්පන්න වෙන්න බැරි ඇයි ???? ඔය ගෙදරදී වගේ මාළු කෑල්ලට බිත්තරේට සීනි බෝලෙට ගහමරාගැනීමක් මෙහෙදී නැහැ අපි හැමදෙනාම එකම කෑම මේසේ හිනහ වෙවී විහිලු කර කර සන්තෝසෙන් පිළිවෙලට කෑම ගන්නවා !!!! ඔයගොල්ලන්ටත් එහෙම වෙන්න බැරි අයි ???? මම මේ දේවල් කියන්නේ අයියලා අක්කලා නංගිලා අම්මා තාත්තා එක්ක තරහට නෙමෙයි !!!! ඔය හැම දෙනාම මේතත්වයට ගෙන ඒම මගේ එකම ප්‍රාර්ථනාව නිසායි !!!! ඔය හැමදෙනාටම මම ගොඩාක් ආදරේ නිසායි !!!!”

    කැමතියි

    • මෙහෙමයි…
      ඇත්තෙන්ම සර්ව සම්පූර්ණ විනය ගරුක සමාජයක් අපට හදන්න බැහැ.. කොයි රටක වත් ඒක කරන්න බැහැ… මොකද සමතුලිතතාවය බිඳෙනවා… එවිට ඒ සමාජය පරිහාණියට පත් වෙනවා… කොයි තරම් සර්ව සම්පූර්ණ වුනත්…
      ඒ වගේමයි මේ කසිප්පු මුදලාලිගෙ නිවසෙ කසිප්පු හැදෙන්නෙ ඒක අවසාන විසඳුම නිසාම නෙවෙයි.. ඒ මනුස්සයාට දෑතෙ දෙපයෙ මහන්සියෙන් වැඩ කරනවාට වඩා ලේසියෙන් සල්ලි හම්බ කරගන්න පුළුවන් නිසා. ඒ වගේම මිනිස්සු කසිප්පු ගන්න නිසා.. කසිප්පු ගන්න කෙනෙක් නැති වුනා නම් අර මනුස්සයා කසිප්පු පෙරන්නෙ නැතිව වෙන දෙයක් කරනවා. එහෙමත් නිතැනම් කසිප්පු පෙරීමට වඩා ලේසියෙන් ආදායම් මාර්ගයක් ලැබෙන දෙයක් තිබුණා නම් ඒ මනුස්සයා ඒක කරනවා.. ඒ මනුස්සයා කසිප්පු පෙරුවෙ තමන්ගෙ හැටියට ලේසියෙන්ම මුදල් අතට එන මාර්ගය ඒක නිසා. නැතුව මහ බැංකුවෙ ලොකු මහත්තයෙක් කවදාවත් කසිප්පු පෙරලා දරුවො උස් මහත් කරලා තියෙනවා කියලා අහලා නෑනෙ…
      එතැනත් වෙන්නේ තමන්ගෙ ලේසිය බැලීම.. දරුවො ලොකු මහත් කරපු එක ලොකු දෙයක්… නමුත් ඒ මාර්ගය නිවැරදිම එක නෙවෙයි…
      ඊලඟට අර දීග ගිය දුව මුල අමතක කරලා තියෙනවා.. ඒකත් සමාජයේ වැරැද්ද… ඈ හිතපු විදියෙ වැරැද්ද.. විනයක් නැති කම… තමන් තමන්ගේ හරි හැටි රටට ලෝකයට පෙන්වන්න තියෙන අකැමැත්ත.. ලෝකයා පිලි නොගනීවි කියලා… සමහර විට පුහු ආටෝපය වෙන්නත් පුළුවන්.. බිම ඉඳලා උඩ ගිය බොහෝ දෙනා තමන් නැග්ග ඉණිමඟට පයින් ගහන එක සාමාන්‍ය දෙයක්….
      හැබැයි, මේ දෙදෙනාම, නිසි පරිදි ක්‍රියා කළා නම් මොකද වෙන්නෙ ?
      පියා කසිප්පු නොපෙරා, කිසියම් සාධාරණ ක්‍රියාවකින් මුදල් හම්බ කරලා දරුවන්ව ලොකු මහත් කළා නම් සමහරවිට අර දියණිය තමන්ගේ පියාට ආදරයෙන් සලකන්නත් තිබුණා….
      මේක ඉතිං හරිම සංකීරණ ලෝකයක්… ඒ සංකීර්ණ ලෝකයෙ සරළව පුහු ආටෝප මවා පෑම් නැතුව ඇත්ත තත්ත්‍වය පෙන්වගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හරිම සුන්දරයි..
      නැද්ද මං අහන්නෙ ?

      කැමතියි

  9. අළුත් අවුරුද්දට බොහොම හොඳ සිහි කැඳවීමක්. විනය ගැන කතාකරනවනම් මට හොඳම උදාහරනයක් විදියට ගන පුළුවන් ලංකාවෙ මහාමාර්ග භාවිතා කරනන් උදවිය. මෙතනදි මම කියන්නෙ පදිකයො නෙමෙයි රියදුරන් ගැන. උදේ අංගොඩ ඉඳං කොටිකාවත්ත, කොලොන්නාව, දෙමටගොඩ, බො‍රැල්ල හරහා නවම් මාවතට එන්න විඳින්නෙ පුදුමාකාර වදයක්. කොටින්ම ගෙවල් තියන අතුරුපාරෙ ඉඳල ප්‍රධාන පාරට ඇතුළුවෙන්න සුළු හෝ ඉඩක් දෙන්න කිසිවෙක් තමන්ගෙ රථයේ වේගය මඳකට හෝ අවම කරන්න කිසිම උත්සාහයක් ගන්නෙ නෑ. ඒ මදිවට පුංචි එඩකින් හරි පාරට ඇතුළුවෙන්න හදනකොට හෙමින් ආපු එකාත් හෙඩ්ලයිට්, හෝන් ගහගෙන පිඹගෙන එන්නෙ ඒක වලක්වන්න.

    ඊලඟට හොඳම සිද්ධිය සිද්දවෙන්නෙ බො‍රැල්ල මංසන්ධියේදි, එතන පාරවල් අටක් තියන බොහොම කලබල කාරී හන්දියක්. මම හැමතිස්සෙම නවතින්නෙ කලර් ලයිට් එකට මෙහායින් ඇඳල තියන සුදුපාට සීමා ඉර ඇතුලත. ඒත් මට පිටිපස්සෙන් ඉන්න එකෙක්ටවත් ඒක ඉවසල ඉන්න බෑ. ඉතින් උන් හෝන් එක උඩ වාඩිවෙච්ච ගමන්මයි. ඔන්න තව පොඩ්ඩ වෙලාවකින් කලර් ලයිට්ස් වැඩකරන අස්සෙ පාර මැද ඉන්න පොලිස් නිළධාරිය මට අතින් ඉස්සරහට කතාකරනව ඇවිල්ල හන්දියෙ මැද හරියෙන් ඉන්න කියල. එතකොට අර පිටිපස්සෙ ඉන්න අයටත් තව ටිකක් ඉස්සරහට එන්න පුළුවන් ලු. ඒ වෙනකොටත් මං යන්න ඕන දිසාවෙ පත්තුවෙන්නෙ රතු එළිය.ඒත් ඉතිං මං කලර් ලයිට්ස් ඕවරයිට් කරපු පොලිස් නිළධාරියට කීකරුවෙලා මාර්ග නීති කඩනව. 😀

    කැමතියි

  10. විනය …අද අපේ රටට අවැසි නමුත් නොමැතිම දෙයයි. ඔක්කොටම වඩා අපේ රටින් මනුස්සකම පවා තුරන්වෙලා. අතීතයේදී යුරෝපීයන් අපරටවල් ආක්‍රමණය කරනකොට අප මනුස්සකම පිරුණු උසස් අයවුණු අතර ආක්‍රමිකයන් කූට වනචාරීන් ලෙස හැසිරුණ. නමුත් අදවනවිට අප තිරිසන් බවට පත්වෙලා ඔවුන් විනයගරුක සමාජයක් බවට පත්වෙලා.මිනිස් ජීවිතයක වටිනාකම බල්ලකුටත් අන්ත තත්වයකට පත්කරලා. මට මතකයි පෙර දවසක කදාන පොලීසිය ඉද්රිපිටදී දෙනෝදාහක් ගැවසෙන පාර මැද අතදරුවත් බිරිදත් ඉදිරිපිටදී ඔහුගේම වාහනයෙන් එලියට ඇද පහරදී කම්බියකින් ඇන මරදම්ම..එකම හේතුව පාර පනින්නේ ඔහොමදැයි ඇසීම. මිනීමරනවිට ආශීර්වාද කරන පිරිත්නූල් දින රටක සමාජයෙන් විනයක් කෙසේ පතම්ද.බුදුදහමේ දෙසන කර්මය ගැනවත් තරමක හෝ විස්වාසයක් (යුරෝපීය රටවල නීතියට තියන බයවගේ ) අපරට මෙයට වැඩ හොද වෙන්න පුළුවන්.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න