Daily Archives: ජනවාරි 22, 2012

2012 ජනවාරි 23: ජීවිතයක් පටන් ගත්ත හැටි….. කාටවත් නොකියූ කතාවක්…..


දිනය 1973 ජනවාරි 23 දා.

ස්ථානය රජයේ රෝහල ඇල්පිටිය

වේලාව මධ්‍යහන 12 පසු වී මිනිත්තු කිහිපයක්…

ඇල්පිටිය රෝහලේ සිය පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටි 26 හැවිරිදි තරුණ මවක් සූතිකාගාරය තුළට ලහි ලහියේ ඇතුළු කෙරුණා… මව ප්‍රමාණයෙන් කුඩා වීමත් රෝහලේ පහසුකම් මඳ වීමත් නිසාදෝ දරුවා ලැබෙද්දී මව ඉතා අසාධ්‍ය තත්ත්‍වයකයි පසු වුනේ.. මවට ඉතාමත් අසාධ්‍ය වූ නිසාම වහාම මව පමණක් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගියත්, දරුවා දෙස බලන්නට කිසිවෙකු සිටියේ නැහැ. සිටියේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යලයේ එවකට උසස් පෙළ හදාරමින් සිටි දරුවාගේ පුංචි අම්මා පමණයි. දරුවාගේ පියාත්, තවත් කිහිප දෙනෙකුත් කළුතර නාගොඩ රෝහලට ගියේ මවට අවශ්‍ය රුධිරය ලබා දීමට… නමුත් ඔවුනට දැනගන්නට ලැබුණේ ඇය ඉතාම අසාධ්‍ය තත්ත්‍වයේ කළුබෝවිල රෝහලට රැගෙන ගිය බවයි…

මේ අතර ඇල්පිටිය රෝහලේ තනිව සිටි මේ දරුවා නිවසට රැගෙන ගියේ අර දරුවාගේ පුංචි අම්මායි… තවමත් සෝදා පිරිසිදු වත් නොකළ මේ දරුවා පුංචි අම්මලා තිදෙනෙකුගේ රැකවරණය යටතට පත් වුනා… ගෙදර එළදෙනගෙන් දොවාගත් කිරි පාං තිරයකින් මේ දරුවාට පොවමින් මේ පුංචි අම්මලා තිදෙනාත් ආච්චීත් දරුවා බලා ගත්තත් ඔවුන්ගේ සිතේ තිබුණේ දරුවා ගැන හැඟීමක් නොවෙයි. ජීවිතයත් මරණයත් අතර පොරබදන තම දියණිය, තම සොහොයුරිය ජීවත් වේ දැයි යන සිතිවිල්ල… දරුවාගේ සීයාත් මාමලාත් දරුවා දෙසවත් නොබැලූවේ “අපේ කෙල්ල මරාගෙන උපන් එකා අපට වැඩක් නැත” යන හැඟීමෙන්…

දරුවාගේ මව අධික රුධිර වහනය නිසාම සිහි මුර්ඡා තත්ත්‍වයේ දින තුනක් ම පසු වෙලා තිබුණේ ඒ වනවිට… රුධිරය ලබා දුන්නත් ඒ කාළයේ තිබූ තත්ත්‍වය සහ පහසුකම් අනුව අවශ්‍ය රුධිර ප්‍රමාණය ලැබිලත් නැහැ… කෙසේ හෝ ජීවිතයත් මරණයත් අතර දින පහක් පොර බැදූ ඇය අවසානයේ ජීවිතය සොයා යළි පැමිණියා….

සියල්ලන්ටම සැනසුම් සුසුමක් හෙළුනේ එවිට ලු… දින කීපයකින් නිවසට පැමිණි ඇය පළමු වරට සිය පුතු දැක බලා ගත්තේ එදිනයි…. කොපමණ දරු මුණුබුරෝ සිටියත්, එදා පටන් ඒ පවුලේ සුරතලා වුනේ ඒ පුතු…. ඊට වඩා ලොකු පුතෙකු  ඒ මුණුබුරන් අතර සිටියත්, අර සැම දෙනාටම “ලොකු පුතා” වූයේ ඒ පුතු….. ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්, සමහට අනතුරුදායක අවස්ථා, ආදිය සියල්ල පසු කරමින් පැමිණි ඒ පුතුට දැන් අවුරුදු 39 ක්.. ඒ පුතු ඈ ලඟ දැන් නැති වුනත්, නිතරම ඈ ගැන සොයා බලනවා… මව තරම් ඒ දරුවාගේ පියා දුක් නොවින්දත්, අදත් ඒ දෙදෙනා ඒ පුතුගේ උපන් දිනය සිහි කර, අතීතය මතක් කරනවා. ඒක හැම අවුරුද්දකම සිදු වෙනවා…. මේ දැනුත් ඒක වුනා…

ඉතින් ඒ පුතු මේ ලෝකෙට ගෙන ආ ඒ දෙමවුපියෝ දෙදෙනා තමයි ඒ පුතුට ඉන්න ලොකුම සම්පත් දෙකක් වන්නේ…. ඒ පුතු තම උපන් දිනය සමරන්නේ තමන් ගැන මතක් කරලා නොවෙයි.. තමන් මේ ලෝකයට ගෙන ඇවිත්, මේ තාක් කල් හදා වඩා මෙසේ පොළවේ පය ගසා සිටීමට අධ්‍යාපනය, ගුරු හරුකම්, ගුණ යහපත් කම් කියා දුන් ඒ අමිල සම්පත් දෙකට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවා මුල සිටම හදා වඩා ගත් පුංචි අම්මලා මාමලා කාණ්ඩයට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවගෙ දෙමාපියන් බලා කියා ගන්න සහෝදරයාටත්, සහෝදරියටත් අපමණ ස්තුතිය, ප්‍රණාමය..

ඉතින් ඒ සියළු දෙනාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ…

මෙතෙක් කල් හෙවනැල්ලක් වගේ පස්සෙන් ආපු ඒ දරුවගෙ බිරිඳවත්, මේ ලෝකෙම එළිය කරන පැටියවත් අමතක කරන්නෙත් නැහැ…..

ඒ දරුවා ලියන දේවල බලන ඔබටත් බොහොම තුති…..

%d bloggers like this: