Daily Archives: ජනවාරි 28, 2012

2012 ජනවාරි 29: ලාංකීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, විදේශීය සරසවි සිසුවාගේ ගොබ්බකම සහ අපේ අධ්‍යාපනයේ වැදගත්කම…. පෙර කතාවේ ඌණ පූර්ණය…


පෙරේදා 25 වෙනිදා මම ලිවුවේ විදේශීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, ශ්‍රී ලාංකීය සරසවි සිසුන්ගේ මානසිකත්‍වය සහ අපේ ඇමතිවරුන්ගේ නොහැකියාව ගැන ලිපියක්… මේ ලිපිය දැකපු සමහරකට බොහොම හිතට රිදිලා තිබුණේ අපේ අධ්‍යාපනය පහත් කොට සලකනවා කියලයි.. ඇත්තෙන්ම මම මෙතැන අදහස් කළේ අපේ අධ්‍යාපන මට්ටම පහත දමන්නට හෝ අපේ විශ්ව විද්‍යාලවලින් බුද්ධිමතුන් බිහි නොවනවා යැයි කියන්න නොවෙයි. ඒ ලිපියෙන් මම අදහස් කළේ අපේ සිසුන්ට කොපමණ ඉහළට යන්න අවස්ථාවන් තිබෙනවද, ඔවුන් ඒවා කොයි තරම් නොසලකා හැරලා තියෙනවා ද කියලා පෙන්වන්නයි. ශ්‍රී ලංකාවෙ දෙන නිදහස් අධ්‍යාපනයෙන් බොහොමයක් දෙනා ඉහළ තනතුරු වලට ගොස් තිබෙනවා. ඒ වගේම ලෝකයෙත් ලොකු ලොකු දේවල් කරලා තියෙනවා. ඒකෙ දෙකක් නැහැ. නමුත් දැන් යන විදියට මේ වගේ බුද්ධිමතුන් ඉදිරියට බිහි වේවිද ? කියන ප්‍රශ්නය නිතැතින්ම මතු වෙනවා. කෝ ඉස්සර තිබූ විචාර බුද්ධිය, කෝ ඉස්සර තිබූ බුද්ධිමත් සංවාද ? උසස් ගණයේ නාට්‍ය – චිත්‍රපටි සංදර්ශන… අවම වශයෙන් තවමත් ඒවා විශ්ව විද්‍යාලවල සංවිධානය වනවා ද? වැඩිපුරම ඇහෙන්නේ වර්ජන – ගර්ජන සහ තර්ජන, ගහ ගැණිලි – මරා ගැණීම්….. ඉස්සරත් තිබුණු නවක වදය දැන් අමානුෂික තත්ත්‍වයටම පත් වෙලා…. කාට හරි මතකද  කරන්දෙණියේ රූපා රත්නසීලි ?  ඇය තමයි පේරාදෙණියේ නවක වදයට බයෙන් නේවාසිකාගාරයේ උඩ තට්ටුවෙන් පැනලා ආබාධිත වුන තරුණිය…(මේ පිළිබඳ වෙනත් අදහසක් දැක්වෙන ප්‍රතිචාරයක් පසුගිය ලිපියේ පහලින් ඇති…) ඇය මෑතකදී මිය ගියා..  මේ නවක වදයෙන් අනතුරට පත්වෙලා ප්‍රසිද්ධ වුන පළමු සරසවි ශිෂ්‍යාව. දැන් දැන් හැම අවුරුද්දකටම වගේ දෙතුන් දෙනෙක් ආබාධිත වන්නෙත් මැරෙන්නෙත් ඒ කාලෙ තිබුණ නවක වදය වැඩි දියුණු වීම නිසාම තමයි.

මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වන රෙශාන් මෙහෙම අහනවා…ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි
දැන් එතකොට ලංකාවේ සිසුවා කුඩා කල සිටම විශ්ව විද්‍යාලයට යාමට සුඋදනම් වෙන්නේ නැද්ද? “

ලංකාවෙ සිසුවා සරසවි යන්න පෙරුම් පුරන්නේ සාමාන්‍යයෙන් පහ වසර සමත් වෙලා සාමාන්‍ය දැනුමක් තමන්ට ලැබෙනකොට.. පුංචි කාලෙ අපි කියනවා අපි ලොකු වුනාම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, වෙනවා කියලා.. නමුත් අපි ඒ කියන්නෙ හරියටම දැනගෙනද ? නැහැ.. කියන්නන් වාලෙ කියනවා. නමුත් තරමක් දැනුම් තේරුම් යනකොට, විශ්ව විද්‍යාලයට ගියපු කෙනෙකු දකිනකොට අපිටත් ඉබේම අර සිහිනය සිත තුළට කා වදිනවා. මට නම් විශ්ව විද්‍යාල සිහිනය ඇරඹුනේ හය හත වසරෙදී… ඊට පෙර මට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණෙ නැහැ… නමුත් ඉතිං සමහර උනන්දුව ඇති අය මවගේ ගර්භාෂයේ ඉඳලාම විශ්ව විද්‍යාලයට යන්න පාඩම් කරනවා ඇති…

මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි…
ලංකාවේ සරසවියක ශිෂ්‍යයෙක් හැටියට වසර 4 ක් ගතකරලද මේ කියන්නේ? lol”

ඔබ සමහරවිට නොදන්නවා වන්නට පුළුවන්… නමුත් මේ විශ්ව විද්‍යාලවල දෙනු ලබන ක්‍රියාකාරකම් හා සැසඳීමේදී ලංකාවේ සරසවි වල දෙන ක්‍රියාකාරකම් ප්‍රමාණය 25% ක් වත් නැහැ.. මේ රටවල උසස් පෙළට සමාන වයසේ ළමයින්ට ඊට වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් ලැබෙනවා. මෙහේ ළමයි ඒ Assignment කරන්න විඳින දුක් දැක්කාම අපේ විශ්ව විද්‍යාල ළමයි කරන්නේ මොනවාද කියලා හිතෙනවා… ඒ වගේමයි ඒක ළමයින්ට දොස් කියලා බැහැ.. අපේ විෂය මාලා අනාගතයට සරිලන අයුරින් වෙනස් වෙන්න ඕන…

අනෙක් අයටත් පුළු පුළුවන් විදියට මම උත්තර බැඳලා ඇති… ගිහින් බලන්න…

ක්සැන්ඩරයා මෙන්න මෙහෙමත් කියලා තිබුණා. ඒකත් බලාගෙනම යන්න…

I'mPossible

ඉතිං කතාවට බහිමු… ලංකාවෙ සරසවි සිසුවා තරම් කටු කන (සහ සමහරු කටු ලෙවකන) ජාතියක් තවත් නැත්තේමය… ඔවුන් සරසවි යාමට පෙර උසස් පෙළ කරන අවධියේ, උදෑසන හතරේ සිට නැගිටගෙන පාඩම් කර, පාසැලට ගොස් පාසැලේ හරියට උගන්වන්නේ නැති නිසා දහසකුත් එකක් පෞද්ගලික පංති වලට ගොස් ගෙදර එන්නේ රෑ හත අට පහු වී… මෙසේ පැමිණෙන පාසැල් සිසුවා මානසිකව හෙම්බත් වී ගෙදර පැමිණියත්, යන්තම් කෑමකින් සප්පායම් වී නැවත පාඩම් වැඩවලට බසින්නේ සරසවි යෑම පරම අධිශ්ඨානය කරගෙන.. ගම්බද තත්ත්‍වය මීට වඩා වෙනස් ඔවුන්ට සමහර විට පෞද්ගලික පන්ති යන්න වත්කමක් නැහැ… ගෙදර දොරේ වැඩට උදවු වෙන්න, දෙමාපියන්ගෙ පවුල් බර කර ගහන්න වගේ දහසකුත් එකක් වැඩ… ඒ කෙසේ වෙතත් මේ සියළු බාධක මැඬගෙන ඔවුන් උසස් පෙළට මුහුණ දෙනවා.  අගෝස්තුවේ පවත්වන උසස් පෙළ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් වල… අපේ රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය මොනවට ඔප්පු කරමින් ප්‍රතිඵල ලැබෙනවා කිසිම වැරැද්දක් නැතිව… අපේ අධ්‍යාපන ඇමතිවරු ඉක්මනින්ම නිවන් දකින්න ඕන මේ වගේ කාර්යක්‍ෂමව වැඩ කරනවාට.. විභාග දෙපාර්තමේන්තුවෙ මහත්වරුන්ටත් ඒ පින අයිතිවේවා.. වාසනා වේවා..!

මෙහෙම විභාගය සමත් වන ලාංකීය සිසුවා සරසවි යන්න තවත් කලක් බලා ඉන්න අතරේ තමයි එස් බී ඇමති තුමා නායකත්‍ව පුහුණුව ලබා දෙන්න තීරණය කළේ… සමහරු ගියා.. සමහරු ගියේ නෑ.. ගියපු සමහරු හොඳ කිවුවා.. තවත් සමහරු නරක කිවුවා.. සමහරු ලෙඩ වුනා ඒ පිට දාලා තවත් සමහරු බොර දියේ මාළු බෑවා… යම් කිසි හොඳ චේතනාවකින්, යහපත් අභිප්‍රායකින් කළා නම් මේ නායකත්‍ව පුහුණාව ඉතාම සාර්ථක සහ ඵලදායක දෙයක් වන්නට තිබුණා.. සමහර විට ඉදිරියේදී එහෙම වෙයි… නමුත් අපේ ඔක්කොම මිනිස්සු තේ කෝප්පෙ කිඹුලන් දකින උදවිය… ඒ වගේමයි ඉන්න දේශපාලනඥයොත් දෙයියනේ කියලා මේ තත්ත්‍වය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් උපරිම විදියට වැඩ අවුල් කර ගන්නවා… ඒ නිසා ඉතින් කිසිම දෙයක සාර්ථකත්‍වයක් තිබුණත් පේන්නෙ වැරැද්දම තමයි… මේ නායකත්‍ව පුහුණුව ගැන ලියැවිච්ච දේවල් ගැන මේ බ්ලොග් අවකාශය පීරලා බලන්න… සබැඳි නම් දැන් හොයාගන්න වෙලා මදි.

ඉතින් කවදා විශ්ව විද්‍යාලයට යන්න හැකි වේද කියා බඩේ බිත්තර තම්බ තම්බ ඉන්න උසස් පෙල සමත් සිසුවා නායකත්‍ව පුහුණුවෙන් ජීවිතය බේරගෙන සරසවියට යනවා දෙමාපියො එක්ක… පළමු වසරේ අයියලා අක්කලා දෙමාපියෝ ඉදිරියේ තමන්ගෙ නංගිලා මල්ලිලා පිළිගන්නෙ බොහොම ආදරයෙන්.. “තොරන් ගහලා රබන් බැඳලා“. ඒ පළවෙනි දවසෙ.. දෙවන දවසෙ ඉඳලා තත්ත්‍වය වෙනස්.. (මේ සම-හරක් ඉන්න විශ්ව විද්‍යාලවල පමණයි) එදින ඉඳලා අළුත් සිසුන් කියන්නේ තමන්ගෙ බයිට් එක, ඒ ගැන ඉතිං දැන් විශ්ව විද්‍යාලවල ඉන්න නංගිලා මල්ලිලා ලිපියක් දානවා නම් වටිනවා…  මා අසා ඇති අන්දමට මේ කාළයේදී ළමයින්ට දේශනවලට යාමට, පුස්තකාලය පරිහරණයට අවස්ථාව ලැබෙන්නෙ නැහැ… වෙනත් ශාරීරික හා මානසික පීඩා සහ පර පීඩා කාමුකත්‍වයට අදාල සියළු දේවල් සිදු වෙන්නෙත් මේ කාළයේ තමයි… මෙයට විරුද්ධ වෙනවා කියන්නේ එක්කෝ මරණය බෙල්ලේ එල්ලා ගැනීම, දෙතුන් පාරක් වත් ගුටි කෑමට සිදු වීම වගේ බොහොම සුන්දර දේවල් අත්විඳින්න ලැබීම…. මේ පීඩනයට හසුවන සිසුන් සමහරක් මොළ ශෝධනයට ලක් වෙලා අර කණ්ඩායමට වැටෙනවා.. තවත් සමහරු මානසිකව අඩපණ වෙනවා.. තවත් සමහරු ඉදිරියට යනවා…

මෙසේ ඉගෙන ගන්නා දරුවන්ට නොයෙකුත් දුක් ගැහැට විඳින්නට ලැබෙනවා… හරි හැටි ඉන්න තැනක් නැතිව, කන්න පෝෂ්‍යදායක ආහාරයක් නැතිවයි මේ දරුවන් ඉගෙන ගන්නේ… කෙනෙක් කාලා ඉවර වුන පිඟාන රැගෙන ගිහින් රුපියල් දෙකේ අඩු බත් පිඟාන අරගෙන කාපු සිසුන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටියා….ඒ දරිද්‍රතාවයේ උපරිමය.. ඔවුන් සමහරු ඉතා දියුණු වුනා.. තවත් සමහරු එහෙම වුනේ නැහැ. මේ අතර තරමක කාළයක් විශ්ව විද්‍යාලය වහලත් තියෙනවා… මහාචාර්ය තුමෙකුට අවිවිශිබමයේ උත්තමයෙක් ඉස්සරහ පඩයක් ගියාම ඒ උත්තමයා තරහ අවසර අරගෙන ජනාධිපති මන්දිරය දක්වා පෙළපාලියකින් ගිහින් ජනාධිපතිතුමාට ඒ අවනඩුව කියනවා… අනධ්‍යයන සේවක මණ්ඩලයත් අර තරම්ම ලාමක ටිං ටිං ලා නොවුනත් සමහර වෙලාවට ඩෝං ගිහින් වර්ජන කරනවා… මහාචාර්ය තුමන්ලාත් ඉතිං තමන්ට නොලැබෙන දේවල් ගැන පොඩි සද්දයක් දානවා… මේ විදියට වසරේ කිසියම් ම දවසක ටික කාලයක් විශ්ව විද්‍යාලය වහලා තියෙන නිසා උපාධි අපේක්‍ෂකයෙක් උපාධිය හදාරන වසර තුනෙන් හෝ හතරෙන් අවම වශයෙන් මාස කිහිපයක්වත් ගෙදර ඉන්නවා…

මේ අපේ අය කියන විදිය

මේ සියල්ල සාර්ථක කරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවන දේ උපාධිධාරියා ඊලඟට වැටෙන්නේ රැකියා විරහිත උපාධිධාරී කණ්ඩායමට… අවිවිශිබමයේ මහතුන්ට නම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න ටිකට් එක ඉබේම ලැබෙන නිසා වැඩිය අවුලක් නෑ.. (ඒ අය නම් කියනවා අපිට පක්‍ෂයක් නෑ කියලා… හැබැයි ඔක්කොම නවතින්නේ ජවිපේ දේශපාලන මණ්ඩලයේ… අපිට නේ මේ කියන්නේ)  නමුත් අනෙක් අය නිකම්ම නිකං සාමාන්‍ය උපාධිය විතරක්ම ලබාගෙන සමත් වුනොත් ලිප්ටන් වටරවුමේ තමයි..

නමුත්, තමන්ගේ අනාගතය ගැන සිතා ඉංග්‍රීසි ටිකක්, පරිඝණක දැනුම, සංඛ්‍යානය (ජ්‍යාමිතිය නෙවෙයි – ඒක දන්නෙ එස් බී), කළමණාකරණය වැනි තමන්ව මාකට් කරන්න පුළුවන් දක්‍ෂතා වර්ධනය කරගන්න උදවිය බඳවා ගැනීමට ඕනතරම් සමාගම් ඉන්න බව කවුරුත් දන්නා කරුණක්.. නමුත් අපේ විශ්ව විද්‍යාල සිසුවාගේ මනසට කාවද්දා තිබෙන – හැමදේම නිකං හෝ රජයෙන් ලබා දිය යුතුය – යන සංකල්පය නිසා බොහෝ දෙනෙක් බලන් ඉන්නේ විශ්ව විද්‍යාලයෙන් පිට වූ වහාම රජයෙන් තමන්ට ලොකු රැකියාවක් ලබා දිය යුතුය යන්නයි. මා දන්නා මගේ මිතුරෙක් රජයේ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය ඉගෙන ගන්න අතරේ වරලත් ගණකාධිකරණ පාඨමාලාවක්, පරිඝණක පාඨමාලාවක් හදාරලා විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම ඉතාම ඉහළ රැකියාවකට ගියා..

දැන් පවතින ආර්ථිකය හමුවේ රජයේ ආයතන හැර, කිසිම සමාගමක් පෞරුෂත්‍වයක් නොමැති, කණ්ඩායම් හැඟීමක් හෝ කණ්ඩායම් ක්‍රියාකාරකම් නොදන්නා, ඉංග්‍රීසි හෝ පරිඝණක දැනුම නොමැති තරුණ ශ්‍රම හමුදාවක් බඳවා ගැනීමට කැමැත්තක් නැහැ. එය ඒ සමාගම් වලට අවාසියි, මේ නිසා බොහොමයක් රජයේ උපාධි ධාරීන්ට පෞද්ගලික සමාගම්වල රැකියා ලැබෙන්නෙත් නැහැ. ඒ වගේමයි, මෑතකදී කළ සමීක්‍ෂණයකින් කියැවුනේ අපේ උපාධිධාරීන් සියයට 55 කට වඩා කැමැත්කත් දක්වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් කිරීමට බව.. මට නොතේරෙන කරුණ මෙයයි.. රාජ්‍ය අංශයේ සිදුවන බව ඇසෙන අකාර්යක්‍ෂමතාව, දේශපාලන උසස්වීම් ආදි දහසකුත් එකක් දේ ද මේ ළමයි මෙතැනට යන්න පොළඹවන්නේ ? නැතිනම් අඩු වැඩ ප්‍රමාණයක් කර වැඩි වැටුපක් ලැබීමටද ?

මේ අපේ උපාධිධරයාගේ තත්ත්‍වය..

විදේශීය සිසුන් බහුතරයක් අමු මොට්ටයෝ…(ඔන්න ඒ පාර තවත් කවුරුහරි මට බනියි ලෝකේ හොඳම සොයාගැණීම් කළ විදේශිය විද්‍යාඥයන් මොට්ටයො වෙන්නෙ කොහොමද කියලා ) සමහරුන්ට 10 න් වැඩි කරන්නත් කැල්කියුලේටර් අවශ්‍යයි… විද්‍යා අංශයේ මුල් වසරේ විද්‍යාගාරවල උගන්වන්නේ අපේ එකොලහ වසරේ කළ පර්යේෂණ- සහ උසස් පෙළ පර්යේෂණ. නමුත් ඉගෙන ගන්න එකා හරියට ඉගෙන ගන්නවා.. දෙවන තුන්වන වසර වෙනවිට බොහෝ දෙනෙකු හොඳ මට්ටමකට ඇවිත්… සමහරු පර්යේෂණ කරන්නත් පටන් ගන්නවා… ඒ සෑම සිසුවෙකුටම උපදේශනය සපයන්නට මහාචාර්යවරු පත් කර සිටිනවා.. ඒ සියළුම දෙනාගේ ප්‍රගතිය සමාලෝචනය වෙනවා.. බොහෝ දෙනාට තමන් කැමති විෂය ධාරාව හැදෑරීමට නිදහස තියෙන විදියටයි පාඨමාලා සකස් කර ඇත්තේ… වානිජ්‍යමය පැත්තෙන් සාමාන්‍ය උපාධිය කරන කෙනෙකුට පසුකාලීනව වෛද්‍යවරයෙකු වීමට පවා පුළුවන්. නමුත් ඒ සඳහා ඉගෙනගත යුතු අනිවාර්යය විෂයයන් තිබෙනවා… මේ වගේ සෑම විශ්ව විද්‍යාලයකම එක්නෙකට වෙනස්, තරඟකාරී අධ්‍යාපන රටාවක් සකසා තිබෙනවා. නමුත් බොහොමයක් සිසුන් සිටින්නේ සාමාන්‍ය මට්ටමේ. උසස් තලයක සිටින සිසුන් සිටින්නේ අර සාමාන්‍ය සිසුන්ට වඩා ගවු ගණනක් දුරින්… ඒ අය අති සාර්ථක පිරිසක් බවට පත් වෙනවා.. බොහෝ දෙනා ආචාර්ය උපාධිය, වෛද්‍ය විද්‍යාලය, කළමණාකරණය, නීති විද්‍යාලය වැනි ආයතන කරා ඇදෙනවා. තවත් සමහරු රැකියා සඳහා යනවා. දැන් දැන් ආර්ථික අවපාතයත් සමග සිසුන් දෙවන උපාධිය හැදීරීමෙ සම්භාවිතාවය වැඩි වී තිබෙන බවයි කියැවෙන්නේ. එයට හේතුව සමහර පශ්චාත් උපාධි පාඨමාලා (විශේෂයෙන් විද්‍යා සහ ඉංජිනේරු අංශයේ) ආචාර්ය උපාධිය හදාරන්නන්ට කිසියම් වේතනයක් විශ්ව විද්‍යාල මගින් ගෙවනවා. මේ නිසා බොහෝ දෙනාගේ ආර්ථිකය අවම වශයෙන් වසර පහක් වත් ස්ථාවරව පවතිනවා පමණක් නොවෙයි ආචාර්ය උපාධියකටත් හිමිකම් කියන්නට හැකි වෙනවා. එවිට තමන්ව මාකට් කර ගැනීමේ අවස්ථා, සුදුසුකම් තවත් වැඩි වෙනවා.

නමුත් බහුතරය Below Average – සමහරුන්ට තමන්ගෙ රටේ තියෙන දේවල් ගැන දැනුමක් නෑ… පිට රටවල් තියෙන්නේ කොහේද කියලා දන්නෙ නෑ.. ආදී වශයෙන් සමහරක් මැටි කඳන්..

මම කොපමණ දේවල් මෙහේදි ඉගෙන ගත්තත් මහාචාර්ය එස් පී දැරණියගල, එස් ඒ දැරණියගල, ජේ එන් ඕ ප්‍රනාන්දු, ඩබ් එස් ප්‍රනාන්දු, එම් ඩී පී කොස්තා, එච් ඩී ගුණවර්ධන, ආර් පී ගුණවර්ධන, උපාලි සමරජීව, ගාමිණී රාජපක්‍ෂ, කමල් බණ්ඩාර ගුණහේරත්,  සහ තවත් මහාචාර්යවරුන්ගෙන් ලංකාවෙදි ලබා ගත් මූලික දැනීමේ අගය නම් අඩු වුනේ නැහැ කවදාවත්.. ඒ වගේමයි ඒ අයගෙන් ඉගෙනගෙන මෙහේ ආ අනෙක් ළමයිනුත්, ඒ අයගේ සාර්ථකත්‍වයේ රහස අපට ලැබුණ මූලික දැනුම..  දැනුමට සම කරන්න දැනුමක් නැහැ… ඒ නිසාම තමයි තවමත් ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් පිටරටවල වුනත් බොහෝ ලොකු තනතුරු දරන්නේ… නාසා ආයතනය වගේ ස්ථානවල ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ රාශියක් සේවය කරනවා. විවිධ විශ්ව විද්‍යාල මහාචාර්යවරු විවිධ සමාගම් අධ්‍යක්‍ෂ, කළමණාකාර වරුන් මේ අතර ප්‍රධානයි… නමුත්… අපේ විෂය මාලා තවමත් එකතැන පල් වෙනවා.. සංවර්ධනය වෙන අළුත් දැනුම එකතු වෙන ප්‍රමාණය අඩුයි.. උගන්වන අය අළුත් දැනුමින් සන්නද්ධ වෙනවා අඩුයි.. මේ නිසා අළුත් දෑ ඉගැන්වෙන්නේ හරිම අඩුවෙන්.. මෙන්න මේ අඩුපාඩුව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපට බුද්ධිමත් තරුණ කැළක් තනන්න බැරි වෙන එකක් නැහැ.

දැන් බලමු දැනට පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන.. ඒවාට ළමයින් එන්නේ සල්ලි ගෙවලා… සෙල්ලම් කරලා හරියන්නේ නැහැ.. ගෙවපු මුදලට හරියන උපාධියක්, ඩිප්ලෝමාවක් ගන්න ඕන. පෞද්ගලික ආයතන නිසා රැග් නැහැ.. සමහර කට්ටියක් පොඩ්ඩක් වෙන්න පොෂ් වගේත්..(අපි නං බඩේ ගොයියො ඒ කාලෙත්) සමහරු නං සුද්දගෙ භාෂාවෙන් තමයි බුදු අම්මෝ කියන්නෙත්… මේ අයගේ Market Value එක රජයේ උපාධිධාරීන්ට වඩා වැඩි වන්නේ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම, පරිඝණක දැනුම සහ ආකල්ප (Attitude) මත…. උදාහරණයක් වශයෙන් 1998 දී යුනිලීවර් සමාගමේ රසායනඥයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා අයැදුම්පත් 250 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අතර සියළුම පිළිගත් විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා විශේෂ උපාධිය හැදෑරූ අය, විවෘත විශ්ව විද්‍යාල උපාධිධාරීන් හිටියා. නමුත් තේරී පත් වුනේ රසායන විද්‍යා ආයතනයෙන් පැමිණි මමත් මගේ මිතුරෙකුත් පමණයි.. අපි දෙදෙනාගේම ආකල්ප, දැනුම, ඉංග්‍රීසි දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් කරට කර තිබුණේ.. අපි දෙදෙනා අවසාන වටයේ පස් දෙනා අතරට තේරුණ පසු අපි දැනගත්තා අපි දෙදෙනාගෙන් එක් අයෙකු එතැනට යන බව..(හිතුනෙ නෑ දෙදෙනාම ගනියි කියා).. එතැන සිදු වුනේ සමහර විට පිළිගත් විශ්ව විද්‍යාලවල සමහරවිට අපටත් වඩා සුදුසුකම් ඇති අය අභිබවා අපේ Total Package එක ඉදිරියට පැමිණීම වෙන්න ඇති…

මෙයයි සිදු නොවන්නේ… අපි දකින සමහරු අධ්‍යාපනයෙන් පරතෙරට ගියත් පුද්ගල සබඳතා පැත්තෙන් අන්තිම දුර්වලයි.. සමාජගත වන්නට, පිරිසක් ඉදිරියේ කතා කරන්නට, ඉදිරිපත් වීමට, ඉදිරිපත් කිරීමේ හැකියාවන්, නිර්භයව ප්‍රශ්න ඇසීම ආදියෙන් බොහෝ දෙනා පිටුපසින් ඉන්නේ.. මේ නිසා අවස්ථා ලැබෙනවා අඩුයි.. මට හිතෙන විදියට රජයේ විශ්ව විද්‍යාලවල පෞරුෂත්‍ව වර්ධන පාඨමාලාවකුත් තිබුණොත් තත්ත්‍වය මීට වඩා හොඳ වන්නට පුළුවන්….

ඉතින් දිග හෑල්ලක් ලිවුවා… දිග වැඩි වුනාද මන්දා… ඉතින් කෙටියෙන්ම කියනවා නම් අපේ කොල්ලන්ට කෙල්ලන්ට හිරි හැටි ඉගෙන ගන්න අවස්ථාවන් සලසලා දුන්නොත් ලෝකෙම හොල්ලන්න පුළුවන් වේවි. නමුත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන.. උන්ට පහසුකම් සලසන්න ඕන…. අළුත් දෑ කියලා දෙන්න ඕන.. අන්තර්ජාලය තියෙන්නේ ෆේස්බුක් බලන්නයි බ්ලොග් ලියන්නයි චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන් බලන්නයි විතරක් නොවෙයි, දැනුම හොයාගෙන යන්න අනන්තවත් පාරවල් තියෙනවා කියලා මතක් කරලා දෙන්න ඕන. අන්න එදාට සමහර විට මේ රට අපි පතන ආසියාවේ අනාගත ආශ්චර්යය බවට පත් වේවි… නැත්නම් ඉතින් අපි අනාගත්ත ආශ්චර්යය බවට පත් වෙන එක ගැන නම් කතා දෙකක් නැහැ.. අධ්‍යාපනය රටක ජීවනාලියයි කියලා මේ ලොක්කන්ට කවදා තේරෙයිද මන්දා…

%d bloggers like this: