Daily Archives: පෙබරවාරි 3, 2012

2011 පෙබරවාරි 04 : ෴….අපි නිදහස් වෙමු….෴


නිදහස් දිනය උදා වෙනවා අද… ඒ කියන්නෙ අපි මහ රැජිනගෙ රටේ පාලනයෙන් නිදහස් වුන එක කියලයි ඉස්සර ඉස්කෝලෙදි නම් ඉගෙන ගත්තේ… පුංචි කාලෙ ඉස්කෝලෙදි ජාතික කොඩිය උස්සලා ජාතික ගීය කියපු අපි ටිකක් ලොකු වුනාම ප්‍රේමදාස මහත්තයටයි ජේ ආර් මහත්තයටයි පේන්න අපි ගාල්ලෙ ලොකු පෙරහැරක් ගියා නැටුම් නට නට… ඒ අපට ලැබුණ ඩොමීනියන් නිදහස සමරන්න…..

එහෙම ලැබුණ නිදහස අපි මහ ඉහළින් හැමදාම සැමරුවා…. ඉතින් අපි ඒ නිදහස ඇත්තටම විඳිනවද ? අපි ඒ නිදහස අපි ලබනවද ? අපි නිදහස ඇත්තෙන්ම නිසි විදියට පාවිච්චි කරනවා ද? අපි ඇත්තටම නිදහස ගැන කතා කළත් අපි කොච්චර එක එක දේවලට ගැති ද ?

අපි අපේ දේශපාලනඥයින්ට ගැතියි… එවුන් මොනවා කළත් සමහරු ගුණ ගායනා කරනවා… හොඳ දේ අගය කරන්නත්, වැරදි දේ විවේචනය කරන්නත් මැලියි.. එක්කෝ බයයි… අපට එවුන් හරි හැටි පාලනය කරන්න අවස්ථාවක් නෑ… ඔවුන්ව තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවත් අපි ගැති බව නිසාම අතපසු කරලා.. නොගැලපෙන කට්ටියක් අපව පාලනය කරන්න යවලා අද අපි හූල්ලනවා… ලබන පාරවත් නිදහස් වෙන්න බලන්න….

අපි අපේ ලොක්කන්ට ගැතියි… සමහරු බයටත්, සමහරු ලාභ ප්‍රයෝජන තකාගෙන ඒ ස්වාධීනත්‍වය නැති කරගන්නවා…. ඉන් පසු යටත් වෙලා ඉන්නයි වෙන්නෙ… තවත් වෙලාවකට ලොක්කා අපිව යටපත් කරගෙන ඉන්න නිසා අපි යටත් වෙලා ඉන්නවා.. මක් නිසාද යත් අපි සමහර විට අපේ දක්‍ෂතා හරි හැටි තක්සේරු කරගෙන නැතිව, අපේ වටිනාකම පෙන්වන්නෙ නැතිව ඉන්න නිසා… තමන්ගෙ වටිනාකම වැඩි කරගෙන, ඒ දක්‍ෂතා හරි හැටි ප්‍රයෝජනයට අරගෙන අදීනව ඉන්න පුළුවන් නම්…..

කලා කාරයො සමහරක් විවිධ දේ වලට ගැතියි… බොහොමයක් දීනයි.. ස්වාධින නැහැ. ලොක්කන්ගෙ පුරාජේරුව වයනවා අතොරක් නැතිව.. තවත් සමහරු මුදලට ගැති වෙලා ප්‍රශස්ත මට්ටමට වඩා බොහෝ පහත් නිර්මාණ කරනවා.. තමන්ගේ අදීන බව තියාගෙන ඉන්න කලාකාරයෝ ඉන්නෙත් බොහොම අතලොස්සයි…

ජනමාධ්‍ය ගැන ගත්තොත් කියලා වැඩක් නෑනෙ… කට්ටියක් ආණ්ඩුවෙ රෙදි හෝදනවා තවත් කට්ටියක් විපක්‍ෂයේ රෙදි හෝදනවා..

මේ ආකාරයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධාකාරව ගැතිකම් කරනවා.. ඔබ කියාවි තම තමන්ට සමාජයේ පැවැත්ම සඳහා මේ දේවල් කරන්න වෙලා තියෙනවා කියලා.. නමුත් අපි වැල යන පැත්තට මැස්ස ගැහැවුවොත් මැස්ස කැඩුන දාට මොකද කරන්නෙ කියලා හිතුවාද ?

සමහර විට අදීනව සිටීම අවාසි සහගත වෙන්න පුළුවන්… නමුත් තමන්ට සතුටු වෙන්න පුළුවනි තමන් අදීනව ජීවත් වුනා කියලා…

මට ස්වාධීනව හිතන්න පුරුදු කළේ මගේ පියා.. මම දැකපු අදීනම පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක්… වැරැද්ද දුටු තැන නැගී සිටින, බය නැතිව කතා කරන ඔහු පාසැලේ විදුහල්පතිව සිටි කාළයේ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගහන්න ගිය කොල්ලො කිහිප දෙනෙකුට මුළු පාසලම ඉදිරිපිට දඬුවම් කළේ පෞද්ගලික තරහකින් නොවෙයි.. ඒළමයි අකාලයේ ටයර් මත දැවෙනවා නොදකින්න… එකළ ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට විරුද්ධ වෙන අයට මරණය උරුම වෙද්දි ඔහු එසේ නැගී සිටියේ තමන් ගැන සිතා නෙවෙයි… අර ළමයින්ගේ ජීවිත ගැන සිතලා… සමාව ඉල්ලලා ගෙදර ඉදිරිපිට බැනර් එකක් දාන්න කියලා ලියුමක් ආවත්… මම උන් ඉස්සරහ දෙකට නැවෙන්න යන්නෙ නෑ කියන ස්ථාවරයේම සිටියේ ඥාතීන් සියළුම දෙනාගෙ ඉල්ලීමට පිටුපාමින්… ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඥාතියෙක් වැඩේ ගොඩින් බේරගත්තත්, ඔහුත් තාත්තගෙන් බැණුම් ඇහුවා….

ඉතින් ඒ අදීන පියාගෙ පුතෙක් වෙන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම තවම ඔහු තරම් අදීන නැහැ.. මමත් තවමත් නොයෙක් දේ වලට ගැතියී……..

ඒ නිසාම නිදහස් දවසේ තබන මේ සටහන මගේ අදීන පියා වෙනුවෙන් පුද කරනවා… දීර්ඝායුෂ !

මේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ දිනපොතේ  ලියූ සටහන… මොනවා වුනත් මම මගේ දිනපොතට ගැතියි…..

%d bloggers like this: