2012 පෙබරවාරි 16 : ඇමරිකාවෙන් නොමිලේ දෙන අරාබි වසන්තය අපට අනවශ්‍ය ඇයි.. ?


සමා වෙන්න………………………………….

මම හැමදාම කරන්නේ හිතට එන ඔක්කෝම කරුණු ටික ලිපියකට එකතු කරලා පස්සේ එය සංස්කරණය කිරීම. මේ නිසා සමහර විට කාලීන මාතෘකා වලට අදාල ලිපි පළ වන්නේ තරමක් පරක්කු වෙලා… මේ ලිපියත් ලියලා ටික දිනක්… ඒත්, ඊයේ සිදු වුන සිදුවීම් එක්ක බැලුවාම දැන් නම් මගේ හිතේ තියෙන්නේ මීට වෙනස් අදහසක්… ඕන මගුලක් කියලා ලියපු එක දානවා…..

නමුත් ඇත්තටම අපට වෙන විකල්පයක් නැති නිසාම කරන්න දෙයක් නෑ… අපිම මේ දේශපාලනයට ඡන්දෙ දීලා අපිම විඳවන්නේ අපේම තියෙන කරුමෙ වෙන්න ඇති…

ඇමරිකාව තමන්ට නැති වුනත් අනුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නොමිලේ දෙන්න දක්‍ෂය.. මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගියේ ඇෆ්ගනිස්ථානයටය… ඉන්පසු ඉරාකයටත්, ඊජිප්තුව හරහා ලිබියාවටත් දුන් වසන්තයේ පළ විපාක අළුතින්ම විඳින්නේ මාල දිවයිනයි… ලබ්බට තැබූ අත පුහුලට තබන්නට වැඩි දවසක් නොයන්නා සේම ඉන්දියාවට අත නොතැබිය හැකි තැන අරාබි වසන්තය ඊලඟට කැන්දාගෙන එන්නේ ලංකාවටයි… ලංකාවේ බංකොලොත් දේශපාලන පක්‍ෂ මෙවැනි වාසනාවක් ලැබේ නම් අම්මා අප්පා වුනත් විකිණීමට සූදානම් නිසා එවැනි අවස්ථාවක් ලැබුණොත් අපේ රට බංකොලොත් භාවයට ඇද දමා තමන්ට බලය ලබා ගැණීමට කිසිවකු පසුබට වන්නේ නැත…

මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට විරුද්ධ නැත, මෑතකදී මා දුටු කොන්දක් ඇති ජනාධිපතිවරයෙකු වූයේ ඔහුය… ගෝඨාභය රාජපක්‍ෂ මා දුටු අති කාර්යක්‍ෂම රාජ්‍ය නිලධාරියෙකි.. බැසිල් රාජපක්‍ෂ මා දුටු හොඳම වැඩ කරුවෙකි.. ඔවුන්ගේ පෞද්ගලික චරිත හෝ පුද්ගලික කරුණු කාරණා කෙසේ වූවත්, මේ තිදෙන නොමැතිව අප මෑතකදී ලැබූ වසන්තය ලබන්නට නොහැකිව තිබුණි. සරත් ෆොන්සේකා යනු මෑකතදී පහළ වූ දක්‍ෂතම හමුදාපතිවරයාය… බොහෝ දෙනා තම පෞද්ගලික දේශපාලන දැක්ම නිසා පිළිගැනීමට අපොහොසත් වුවත්, මේ චරිත හතර සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නොවන්නට ත්‍රස්තවාදය පරාජය කිරීම, විදේශ බලවේගයන්ට නොනැමී යුද්ධය පවත්වාගෙන යාමට සහ අවසානයේ රට යුද්ධයෙන් මුදාගැනීම සිහිනයක් වන්නට තිබුණි. තම තමන්ගේ සහ අනුන්ගේ දේශපාලන න්‍යායපත්‍ර නිසාම රටේ අනාගතය ගැන සිතීම වෙනුවට තමන් ගැන සිතීම සහ තම දේශපාලන පැවැත්ම ගැන සිතීම නිසා මෙසේ මොවුන් විරසක වී තිබීම අභාග්‍යයකි.

යුද්ධය අවසාන වුනත් එල් ටී ටී ඊ සංවිධානය විදේශීයව ක්‍රියාත්මක වේ, දේශීයව එකල කටක් ඇරීමට පවා බිය වූ දෙමළ ජාතික සංධානය ශයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් සිටිති.. දේශීයව විවිධ ආගමික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සිය අවස්ථාව එනතුරු මාන බලමින් සිටිති… සත්‍යය මෙයයි. මහින්ද රාජපක්‍ෂ රජය දැනුවත්ව සිටින හෝ නොදන්නා සත්‍යය මෙයයි. ඔවුන් එය නොදන්නවා යැයි සිතිය නොහැක. ඒ තරමට රටේ ඔත්තු සේවා ජාලය ප්‍රබලය. කොළඹ නගරය පුරාම 24/7 ආරක්‍ෂිත කැමරා 128 ක් ක්‍රියාත්මක වේ.. ගණන තවත් වැඩි විය හැක…

රට සංවර්ධනය කිරීමට රාජපක්‍ෂ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග බොහොමයකි. එසේ නමුත් අඩුපාඩු බොහොමයකි. ගාලු-කොළඹ අධිවේගී මාර්ගය  මෑතක දැකිය හැකි වූ සංවර්ධනයේ අග්‍ර ඵලය වුවත් හම්බන්තොට වරාය තවමත් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදුන් ව්‍යාපෘතියකි. මිහින් ලංකා වෙත මුදල් සම්භාරයක් පොම්ප කරනු ලැබූ සුදු අලියෙක්… ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද ප්‍රශ්න ය. නොරොච්චෝලේ විදුලි බලාගාරය මගින් දෙන ලාභය එය වසා දමා ඇති නිසා ලැබෙන පාඩුවට වඩා වැඩිය. විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ සේවක අතිතරික්තයක් තිබුණත් කෝටි ගණනක් අතිකාල දීමනා සඳහා ගෙවන බව දිවයින පුවත්පතේ සඳහන් වී තිබුණි… අධ්‍යාපනය හැම පැත්තෙන්ම අවුල්ය උසස් පෙළ මෙන්ම සාමාන්‍ය අධ්‍යාපනය ද එතරම් යහපත් නැත. නිළ ඇඳුම් ප්‍රශ්න මෙන්ම ගුරුවරුන් හරිහැටි ඉගැන්වීම නොකිරීම, සිසුන්ගේ සාමාන්‍ය පෙළ- උසස් පෙළ සමත් ප්‍රතිශතය අඩු වීම ආදී දැනෙන ප්‍රශ්න ද මෙයින් ප්‍රධාන වේ. දේශපාලනය සෑම ක්‍ෂෙත්‍රයටම රිංගා ගැනීම නිසා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයද විභාග සහ ප්‍රතිඵල ද යන මේ සියල්ල අවුල් ජාලයක් වී ඇතත්, අදාල ඇමතිවරු/නිලධාරීන් කිසිදු වගකීමක් භාර ගැනීමක් දක්නට නොලැබීම විමතිය මෙන්ම කළකිරීම ද දනවන්නකි.

මේ අතරතුරදී දැයට කිරුළ වැනි මහා ධනස්කන්ධයක් වැය කරමින් දැවැන්ත සංදර්ශන පැවැත්වීම ද ඊට සමගාමීව මහජනතාවට දැනෙන සහනයක් නොලැබීම නිසාම කළකිරීම වැඩි වී ඇත. (ගම් උදාව ඔබට මතක ඇතැයි සිතමි) අපරාධ වැඩි වීම මෙන්ම දේශපාලන හයි හත්තිය ඇති සහ සම්බන්ධකම් ඇති අය පහසුවෙන්ම දඬුවමින් ගැලවීම (තංගල්ලේ මිණීමැරුම් නඩුව – වාද්දූවේ තරුණයින් ගේ මරණ) ආදී කටයුතු නිසා ද පවතින රජය කෙරෙහි ජනතාවගේ කළකිරීම වැඩි වී ඇත. එසේම දිනෙන් දින වැඩිවන විවිධ පාතාල ක්‍රියා, සුළු දේටත් මිනී මරා ගැනීමට යාම වැනි මිනිසුන්ගේ මිනිස්කම් පිරිහෙන ක්‍රියාකාරකම් වැඩි වීම, (කරණ්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය, වෛද්‍යවරයෙකු විසින් තවත් වෛද්‍යවරයෙකුට වස පෙවීමට සැලැස්වීම, කහවත්තේ ඝාතන) නිසාද මිනිසුන්ගේ අසහනය තවදුරටත් වැඩි වී ඇත. මේ අතරම රජයෙන් සිදු වන සමහර අත්තනෝමතික ක්‍රියා (එළවලු වෙළඳුන්ට පෙට්ටි බෙදා දීම) වැනි දෑ නිසා ද රජය කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදය පළ වෙමින් පවතී. රජයට සම්බන්ධ පාර්ශව වන ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලකයන් රජයේ න්‍යාය පත්‍රයෙන් බැහැරව තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යාමෙන් රජය අපහසුතාවයට පත් වීම ද මේ අතර වේ.

මේ සියල්ල අතරතුර ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීම නිසා මේ දිනවල සිදුවන අලකලංචි සියල්ල තවමත් නිමා වී නොමැත.. ඇරඹුනා පමණි. මෙහිදී ආණ්ඩු විරෝධී පක්‍ෂ සහ සංවිධානවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ රජය පෙරලීමයි. තමන්ට හැකියාවක් නොමැති වුනත් රජය අස්ථාවර කිරීමට ඔවුන් සැදී පැහැදී සිටිති. විපක්‍ෂයේ පක්‍ෂවල ඇති අසංවිධානාත්මක බව රජය තම වාසියට හරවාගෙන සිටියත් මේ අයුරින් සැමදා සිටිය නොහැකි බව ඔවුන් ද දන්නවා ඇත. මාල දිවයිනේ සිදු වූ කැරැල්ල ආදර්ශයට ගෙන අපේ රටේ ද උද්ඝෝෂණ සහ වර්ජන සංවිධානයට දැනටමත් යම් යම් සංවිධාන කැස කවනවා ඇත. ඉන්ධන මිල වැඩි වීම මුළු ලෝකයටම බලපා ඇත… ඉරානයට පැනවූ සම්බාධක මුවාවෙන් ලෝක තෙල් වෙලෙන්දෝ සියළුම දෙනා තම මඩි තර කරගනිති.  උදාහරණයක් ලෙස මා සිටිනා පලාතේ සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 3.54 කි (ගැලුමට ලීටර 3.78 – ඩොලරය රුපියල් 119 ලෙස ගත් විට) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 111 ක් වේ. කැලිෆෝනියාවේ මේ ගණන මීට වැඩිය… මෙහි මිල පාලනයක් නැති නිසා ඉන්ධන අලෙවිසල් වල විවිධ ගණන් වලට තෙල් විකිණේ. තවද තෙල් වර්ගයෙන් වර්ගයට (Brand) ගණන් වෙනස් ය. Shell වලට වඩා Chevron අඩුය, ඊට වඩා BP අඩුය… වැඩි ලොකු නම් නැති තෙල් වර්ග ඒවාටත් වඩා අඩුය… නමුත් වාහනයේ තත්ත්‍වය සලකා බලා නිසි වර්ගය යෙදීම තමන්ගේ යුතුකමකි. කෙතරම් තෙල් ගණන් ගියත් මෙහේ විපක්‍ෂය පෙලපාලි යන්නේ නැත. තමන්ට එය පාලනය කිරීම අපහසු බව දෙපැත්තම දන්නා නිසාය. එසේම මේ රටවල බස් ගාස්තු වැනි දේ තෙල් මිල ඉහළ යන වාරයක් වාරයක් පාසා ඉහළ යන්නේද නැත.. මේ නිසා සාමාන්‍ය භාණ්ඩ වල මිල එකවර ඉහළ නොයයි. නමුත් සතෙන් සතේ භාණ්ඩ වල මිල ඉහල යනු නිති පතා දැකිය හැකි රටාවකි…

බොහෝ දෙනා අමරිකාව සුර පුරයක් යැයි සිතා සිටියත් බරක් ඔබාමාට අපේ ජනපති මහින්ද රාජපක්‍ෂට තරම් බලතල නැත. අපේ රටේ නොමිලයේ ලබා දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදිය මෙහි බරපතල අවුල් ජාලයකි. සෞඛ්‍ය සේවය නම් එහෙම් පිටිම්ම අවුල් ජාලයකි. එය කොටින්ම මාෆියාවකි. ඖෂධ සමාගම්, රෝහල් සහ රක්‍ෂණ සමාගම් විසින් මිනිසුන් නොමරා මරනු ලැබේ. ඔබාමා කොතරම් වැඩේ හරිගස්සන්න බැලුවත්, ඒවායේ නියෝජිතයෝ කට්ටිය අල්ලාගෙන සියල්ල පාලනය කරති. වෙනකක් තබා කොකා කෝලා වැනි බීම වර්ග වලට දමන සීනි ප්‍රමාණය ගණනය කිරීමට ආහාර සහ ඖෂධ අධිකාරියට බලපෑම් කරන්නේ සීනි සමාගම් වලින් පත් කළ ඒජන්තවරුන් විසිනි. ඔවුන්ම අනෙක් අතට දියවැඩියාව සඳහා පර්යේෂණ වලට දායකත්‍වය සපයති.

නමුත් ප්‍රධාන ප්‍රශ්නය  වන්නේ ලංකාවේ රජය කොයි තරම් ජනතාව අතර අප්‍රසාදයට පත් වී තිබුණත්, ජනතාවට වෙනත් විකල්පයක් ඇද්ද යන්නයි. එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ද පණ නැති බව සහ අසංවිධානාත්මක බව නිසාම එයට සහාය දක්වන්නට මහජනතාව කැමැත්කත් දැක්වූවත්, හරි හැටි සංවිධානාත්මක භාවයක් නැති වීමම එය උපන්ගෙයිම මළ දරු උපතක් බවට පත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පෙර තිබූ ආකර්ෂණීය භාවය ගිලිහී යාම සහ අභ්‍යන්තර අර්බුද නිසාම එහි ද සංවිධානාත්මක භාවයක් දැකිය නොහැක. එසේම අසාර්ථක වූ විප්ලව දෙකකට දායක වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසනීය භාවය ද තරුණයන් අතරින් ගිලිහී ගොස් තිබීම මේ නොහැකියාවට හේතු වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට සමාජයේ සමහර කොටස්වල ජනතා ප්‍රසාදය හිමි වූවද, දැකට පවතින තත්ත්‍වය අනුව ඒ මහතාටද යමක් කිරීම අපහසු වී ඇත. එසේනම් ජනතාවට ඇති විකල්පය කුමක්ද ?

ජනතාවට පැහැදිලි විකල්පයක් නැත. මේ බව දන්නා නිසාම රජය පාළු ගෙයි වලං බිඳින ගොනෙකු ගේ තත්ත්‍වයට පත් වී ඇත. මැති ඇමතිවරු තමන්ට  රිසි පරිදි ක්‍රියා කරති, තමන් කැමති කැමති දේ කරති, විරුද්ධතාවයක් පැමිණියත් බලය පාවිච්චි කර එය සමනය කිරීම සුළු දෙයකි. මේ නිසාම රජය අප්‍රසාදයට පත් වුවත්, තමන්ගේ පැවැත්ම ඇති බව දන්නා නිසා ඔවුන් තමන්ට රිසි පරිදි බාල් නටති. රජය පෙරලීමට කිසිවකු නොපැමිණෙන බව දන්නා සේම රජය ද එවැනි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බව පෙනෙනුයේ “ආණ්ඩුව පෙරලීමට අවශ්‍යනම් ඡන්ද පොලේදී එය සිදු කරන“ ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෑතකදී කළ ප්‍රකාශයකිනි. එසේ නම් අපට ආණ්ඩුව පෙරලීමට සිදු වන්නේ නැත, එසේම අපට විකල්පයක් ද නැත. 2/3 ක ජනතා වරමක් ගත් රාජපක්‍ෂ රජය ජනතාවට දැනෙන යමක් කරාවි යැයි ජනතාව ඇස් කන් අයා බලා සිටි කාළය ඉක්ම ගොසිනි. අප පැතූ ක්‍ෂෙම භූමිය රජයෙන් අපට නොදෙන බව ජනතාවට පසක් වී හමාරය.

Is there a light at the end of the tunnel ?

එසේ වුවත්, පිටරටකින් අපට දෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට පලක් නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ එවුනට අවනත නොවන ආණ්ඩුවක් පළවා හැර ඔවුන්ගේ පදයට නටන නායකයෙක් පත් කර ගැනීමයි. ඔවුන් වසන්තය උදාකර දුන් හැම රටක්ම අවුලෙන් අවුලට පත් වී නන්නත්නාර වී ඇත. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඇවැසි නැත. අප කළ යුත්තේ අපේ එවුන්ට හරිමග යන්නට මඩු වලිගෙන් තලා හෝ හදා ගැනීමයි… එහෙත් අපට යමක් කරන්නට නායකත්වයක් දෙන්නට කෙනෙක් නැත… ඉන්න එකා හිර ගෙදරය. ඒකාට මැරෙනතුරු කවදාවත් එලියට එන්න නම් හම්බ වෙන්නේ නැත…..

Advertisements

Posted on පෙබරවාරි 15, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. ඇත්ත . . . මේ යන විදිහට වෙන රටක් අත දාලා අපි ඔක්කෝම අවුලෙන් අවුලට පත් කරන්නත් ඉඩ තීය්නවා . . .

    එක පවුලක් එකතු වෙලා රටේ සම්පත් සූරා කන එකෙන් මහජනතාව කිසිම සෙතක් සැලසෙන්නේ නැති එකේ වෙන රටක් අත දාලා බලය අරගෙන අපේ රට සම්පත් සූරා කන්න ගත්තොත් අපේ උන්ට ඒ රටේ ගිහින් පාරවල් අතුගාලා හරි මේ රටේ ඉන්න තමන්ගේ උන්ගේ බඩකට පුරවන්නවත් අවස්ථාවක් එයිනේ කියලත් හිතෙනවා . .

    ඒත් ඒක එහෙම නොවෙන බව දන්නවා ඉංග්‍රීසි ආන්ඩුව කාලේ අපේ මිනිස්සු වහල්ලු විදිහට වගේ පාවිච්චි කලා විතරයි නේද කියලා හිතුවාම . . .

    ආන්ඩුව දැන් වත් සෝබන වඩ නතර කරලා දූෂිතයින්ට දඬුවම් දෙන්න පටන් අරන් අධිකරණයේ ස්වාධීනත්වය රකින්න උදව් කලේ නැතිනම් . . . අපි ආයේ පාරක් කොහේ හරි රටක කොලනියක් වෙයි කියන දවස වැඩි ඈතක නෙවෙයි කියලා හිතෙනවා . . .

  2. ශ්‍රී ලාංකිකයෙක්

    මම දිනපතාම අන්තර්ජාලයේ තියෙන ලංකාවේ ප්‍රවෘත්ති, බ්ලොග්, ගොසිප් වෙබ් අඩවි කියවනවා. ඒවාගේ දාලා තියෙනේ ලිපි හා අදහස් දැක්කම මෙහෙමත් මෝඩයෝනේ ලංකාවේ ඉන්නේ කියලා හිතෙනෙවා. මේ ලිපිය මම දැක්කේ අහම්බෙන්. බහුතරයකට නොතේරෙන (හෝ තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැති ) යතාර්ථය මේ ලිපියෙන් ඉදිරිපත් කිරීම ගැන බුද්ධිමත් ඔබට ස්තුතියි.

  3. Yes, there Is a light at the end of the tunnel , Hope its not a train….fingers crossed

  4. // මෑතකදී මා දුටු කොන්දක් ඇති ජනාධිපතිවරයෙකු වූයේ ඔහුය… ගෝඨාභය රාජපක්‍ෂ මා දුටු අති කාර්යක්‍ෂම රාජ්‍ය නිලධාරියෙකි.. බැසිල් රාජපක්‍ෂ මා දුටු හොඳම වැඩ කරුවෙකි..//

    මොකෝ ලඟදි ලංකාවට එන්නද හිතාන ඉන්නේ ?දිවයින පත්තරේ කතෘ තුමා කඩේ යන්නෙත් ..සොරි, කතුවැකිය ලියන්නෙත් ඔය වගේ තමා . ,හිර ගෙදර ඉන්න කෙනා හිරේ ඉන්න එකට නම් මගේ මනාපයක් නැතුවා ඒත් එයාට දේශපාලන්ය පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් !, ඇමරිකාවේ රුපියල් 111ට පෙට්‍රොල් ගහන ඔබතුමාගෙ පඩියයි , ලංකාවේ ඔය රස්සාවම කරන මිනිහෙකුගේ පඩියයි අරන් බලන්නකො , පැට්‍රොල් මිල විතරයි ඇමරිකාවේ ගනන් පඩිය?

    //ඉන්දියාවට අත නොතැබිය හැකි තැන අරාබි වසන්තය ඊලඟට කැන්දාගෙන එන්නේ ලංකාවටයි//

    ඇමරිකාවට ලංකාවට හෝ ඉන්දියාවට (දකුණු ආසියාවට ) අත තියන්න අවශ්‍ය වෙන්නේ ඇයි ?

    ඉන්දියාවට අත තිබිය නොහැකි තැන ?? මම නම් හිතන්නේ නැ ඉන්දියාවට එච්චර හය්යක් තියනව කියලා , අනික ඇමරිකාව තමන්ගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් බොහොම සුහදව ඉන්දියාව පාවිච්චි කරන බවක් තමයි මට පේන්නේ

    • බුවා දන්නවනෙ… (දන්නෙ නැත්තං දැන්වත් දැනගන්න)
      මම කාටවත් කඩේ යන්නෙ නෑ.. හරි දේ හරියි කියනවා වැරදි දේ වැරදියි කියනවා..
      ඔයා කියන්න මේ තුන් හතර දෙනා හිටියෙ නැතිනම් වෙන කවුද යුද්ධෙ ඉවර කරන්නෙ කියලා…
      ඒ වගේම වැරදි දේත් කියනවා මම.. මම කටවත් සුදු හුණු ගාන්න යන්නෙ නෑ…
      මට තේරෙනවා ඉන්ධනවල මිලයි මිනිසුන්ගෙ පඩියයි සසඳන්න බැහැ කියලා.. නමුත් මෙහේ වුනත් ඉන්ධන ඉහළ යන හැම වතාවෙම පඩි වැඩි වෙන්නෙත් නැහැනේ…
      මෙහේ තියෙන ජීවන වියදමට සරිලන්නයි පඩි දෙන්නෙ. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියල්ලටම මිලක් තියෙනවා. ලංකාවෙ වගේ රජයේ රෝහල් නෑනෙ.. දන්නවලේ මගේ පැටියට තුවාලයක් වෙලා රක‍්ෂණ මුලදට අමතරව තවත් ඩොලර් 500 ක් අතින් ගෙවන්නත් වුනා…

      ඉන්දියාවයි චීනෙයි නැගලා එනවට ඇමරිකාව බයයි.. කොච්චර හයිරං පාට් දැම්මත් ඒකයි ඇත්ත.. ඉන්දු චීන කලාපය (කොටින්ම කියතොත් ලෝකේ අනිත් සියළුම රටවල් ) අස්ථාවරව තියෙනකල් ඇමරිකාවට හොඳයි.. ඒකයි ඒ ගොල්ලොන්ගෙ විදේශ ප්‍රතිපත්තිය.

      • කඩේ යනවද නැද්ද කියන එක බලන මිනිස්සුන්ට තේරෙයි , යුද්ධය ඉවර කරන්න දායක වීම ගැන ඔබේ තර්කයට මම එකඟයි , නමුත් ඔය දීල තියන විග්‍රහයන් සාධාරණ නැ , කොන්ද පණ තිබීම විතරක් රටක නායකයෙකුට වැඩක් නැ , උපාය ශීලි වෙන්න ඕනි ,ඉතුරු ඒවා ගැන කියන්න කැමති නැ ලංකාවේ ඉඳගෙන

        ඉන්ධන මිල වැඩි වෙන කොට පඩි වැඩි නොවෙන එක හරි , නමුත් මිනිහෙක්ගෙ පඩියෙන් ඉන්ධන සඳහා වැය වෙන ප්‍රතිශතයයි වැදගත් .රජයේ රෝහල් තිබුනාය කියල ලංකාවේ මහා ලොකු සෞඛ්‍ය පහසුකම් තියනව කියලද හිතාන ඉන්නේ , රජයේ රෝහලකට ගිහින් ඇටෙන්ඩන්ගෙ ඉඳන් දොස්තර ගාවට එන කන් හැම කෙනාගෙම ගෙම්බර් බලලා , දවස පුරා පෝලිමේ ඉඳලා ලියාගන්න බේත් ටික ගන්න වෙන්නේත් සල්ලි වලට පිටින් සමහර වෙලාවට , ලෙඩෙක් නතර කලාම ඉන්ජෙක්සන් එහෙමත් එච්චරයි . රජයේ රෝහල් තිබුනට පියන් ජොබ් එකෙන් එහාට ජොබක් තියන ඕනිම කෙනෙක් බේතක් හේතක් ගන්න යන්නේ සල්ලි වලට ඩිස්පෙන්සරියකට , අර ඉස්පිරිතාලෙදි සැර පරුෂ දොස්තරම එතන්දි නම් ලඩ්ඩුන්ට පණ දෙන්න ආදරෙයි ,සමහර සැත්කම් ලංකාවටම කරන්නේ තැන් දෙක තුනක විතරයි , හදවත් සැත්කමට මාස ගණන් පෝලිමේ ඉන්න ඕනි , වෙලාවට සැත්කම කරගන්න බැරුව මැරෙන මිනිස්සු කොච්චර ඉන්නවද , දහ අතේ ණය වෙලා පෞද්ගලික ඉස්පිරිතාල වලින් කරගන්න අය කොච්චර ඉන්නවද

        හැකියාවන් තියන අය නම් සිංගප්පුරුවේ, ඇමරිකාවේ එහෙම ගිහින් තමයි බේත් කොරගන්නේ
        චීනයයි ඉන්දියාවයි වගේ ලංකාවත් සීඝ්‍රයෙන් දියුණු වෙන නිසාද ලංකාවට හොට දාන්නෙත් , ලෝකේ ඕනිම රටක් තමන්ට වඩා පහලින් තියාගන්න ඇමරිකාව කටයුතු කරන බව රහසක් නෙවෙයි , ඒත් ලංකාව ඇමරිකාවට අභියෝගයක් වන මට්ටමක ඉන්න් රටක්ද ?
        චීනය හා ඉන්දියාව සම්බන්ධයෙන් උපක්‍රමික ගේමක ඇමරිකාව ඉන්නවාය කියල මම දකින්නේ , යුධ බලයක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්න එකක් නැ

        ඔච්චර ලංකාවට වින කටින්න බලාන ඉන්න ඇමරිකාවේ පුර වැසි කම තියන කාර්යක්ෂම අය, නියම වැඩ කරුවො එහෙම තාම ඒ පුරවැසි කම තියාගෙන ඉන්නේ ඇයිද දන්නේ නැ

      • ලොක්කා සංවේදි කියමු ගොඨා හොදයි කියමු. ඒත් බැසිල්? වැඩකරු අපිටද එයාටද?

  5. ඇත්ත කොන්දක් තිබ්බ එකම ජනාධිපති කියලා කියන්න පුලුවන්. එස්. එෆ්. ට කිසිම හැකියාවක් නෑ රටක් ගෙනියන්න. මේ රටේ ඉන්න කුහකයන්ට රටෙන් වැඩක් නෑ. මඩිය තර වෙනවනම් හරි. ඒක තමා 1815 දී උනෙත්. තව ඉස්සරහට වෙන්නෙත්.
    මී ලගට ජනාධිපතිකමට දාන්න පුලුවන් එක්කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?

    • ෆොන්සේකට දේශපාලන බුද්ධියක් නැති නිසා තමයි නා ගත්තෙ.. ඇත්ත.. නමුත් ඉන්න නායකයොන්ගෙන් හරි හමන් කොන්දක් ඇත්තෙක් තමයි ඔහු.. වැරදි අනන්තවත් තියෙනවා.. නමුත් පුංචි බලාපොරොත්තුවක් රඳව ගන්න පුළුවන්.
      මීලඟට ජනාධිපති වෙන්න සුදුසුකම් ඇත්තෙක් ලඟපාතකවත් නැහැ…
      ඒ වගේම අපේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ නිසි නායකත්‍වයක් ඇති වන්නෙත් නැහැ.. මොකද උන් ඔක්කොම එන්නේ වැරදි චේතනාවෙන්.. කියන්නෙ රට හදන්න රටට සේවය කරන්න එන්නෙ කියලා.. නමුත් වෙන්නේ තමන්ගෙ පරම්පරාවට සේවය කර ගන්න එක…
      ලොකු බේබිට අවුරුදු 35 ක් වෙනකල් ඉතිං රජතුමාට තමයි රජ කරන්න වෙන්නෙ…
      රාජපක්‍ෂ පරම්පරාවට තව චිරාත් කාලයක් රජකම් කරන්න මාවත හදලා ඉවරයි… අනාගත්ත ආශ්චර්යය… !

    • එහෙනම් එතුමගෙ කොන්ද කෙලින් තියනකම්ම අපි තියාගමු. 😉

  6. ‎”There are two sides to every issue: one side is right and the other is wrong, but the middle is always evil. The man who is wrong still retains some respect for truth, if only by accepting the responsibility of choice. But the man in the middle is the knave who blanks out the truth in order to pretend that no choice or values exist.” | Galt’s speech by Ayn Rand
    මහින්ද මේ මොහොත තුල රට කරවන අන්දම හරිද වැරදිද? මේ ලිපිය කියවන විට ඔබ සිටින්නේ කොතනද යන්න අපහැදිලිය මම මෙතැන්දී අයින් රෑන්ඩ් සමග සම්පූර්ණ්යෙන් එකඟ වෙමි. මැද ඉන්නා තක්කඩි රැලට එකතු වනවාට වඩා හරි හෝ වැරදි, පැත්තක් ගැනීම වඩා හොඳ නොවේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: