2012 පෙබරවාරි 20: ලංකාවේ කිරුළු නොපලන් රජු…. අති උත්තම ගැමුණු විජේසිංහ උතුමාණන් සැරදේවා……


මාවිල් ආරුවෙන් පටන් අරන් නන්දිකඩාල් දක්වා ත්‍රස්තවාදීන්ට ගහගෙන ගහගෙන ගිය අපේ ආණ්ඩුවේ කට්ටිය (ත්‍රිවිධ හමුදාව මොනවත් කළේ නෑ කියමුකො – පහසුව තකා) දෙවන වතාවෙ තුනෙන් දෙකක වැඩි ඡන්දෙත් එක්ක දිනනකොට අවුරුදු 30 ක් පටි තද කරගෙන හිටිය අපේ ජනතාව හුරේ දැම්මේ එක එකාගෙ ඕනෑ එපාකම් වලට නෙවෙයි.. හැබැහින්ම ජාතික හැඟීමෙන්… රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ය, අනාගතය සුභ වේවිය කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.

ඒ ප්‍රාර්ථනාව මල පල ගන්වමින් තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා ගත්ත ආණ්ඩුව ඉතිරිය මුදල් දී ලබා ගත්තේ “මහ-ජනතාවට“ සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ චේතනාවත් මල් පලගන්වමින් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තේ ජනාධිපතිකමට යම් පුද්ගලයෙකුට ඉදිරිපත් විය හැකි වාර ගණන අසීමාන්තික කරමින්..! අපි ඒ සැම ජයවේවා කියලා (අකැමැත්තෙන් වුවත්) පිළිගත්තේ රට බේරා ගත් ජනපතිට කළගුණ සැලකීමක් ලෙස කියලයි සමහරු නම් කිවුවෙ… කොහොම වුනත් අපිත් ඒක ඒ කාලෙ අනුමත නොකළා නොවෙයි.

ඒ අල්ලපනල්ලේ මන්නාරම් ද්‍රෝණියෙන් ඛණිජ තෙල් නිධි ගෑස් නිධි සොයාගත්තාය කියන ආරංචිය ප්‍රකාශ කෙරෙද්දි මහජනතාව සැනසුම් සුසුම් හෙළුවෙ මැදපෙරදිග තෙල් ඒකාධිකාරයෙන් අපි මිදිලා ඇත්තටම සංවර්ධනය කරා පා නගන්න, තෙල් මිල, ජීවන වියදම ආදිය අඩු වේවිය කියන අහිංසක පැතුම හිතේ දරාගෙන. නොරොච්චෝලෙ විදුලි බලාගාරය හදන්න ඉබි ගමනේ ගිය පසුගිය රජයයන් වලට වඩා ඉක්මනින් එය තනා නිමකළ එක ගැනත් බොහෝ දෙනා සතුටු වුනේ විදුලි බල ඇමති තුමා මවා පාපු අඩු මිලට විදුලිය සිහිනයේ රැඳෙමින්… ගාළු කොළඹ අධිවේගී මාර්ගය තනන්න හිතූ ගණනට වඩා මුදලක් යට වුනත් අපේ රටටත් අධිවේගී මාර්ගයක් කියලා එකක් නීත්‍යානුකූලව තියෙනවා නේද කියලා මිනිස්සු උද්දාමයට පත් වුනා… (අනෙක් පාරවලුත් අධිවේගී තමයි ප්‍රයිවෙට් බස් කාරයොන්ටයි දේශපාලුවන්ටයි – ඒක වෙනම කතාවක්) ඔය අතරෙම පාතාල නායකයො එකා දෙන්නා අතුරුදහන් වෙනකොට- අවි ආයුධ පෙන්වන්න ගිහින් සියදිවි හානි කරගන්නකොට මිනිස්සු සතුටු වුනේ අනේ ඉතිං අවි ගත්තෝ අවියෙන්ම නැසෙති නේද කියලා… ඇමති මණ්ඩලේ කොච්චර වැඩි වුනත් කොච්චර අකාර්යක්‍ෂම වුනත් කාටවත් කිසිවක් කරගන්න බැරි වුනත් මිනිස්සු කට වහන් හිටියේ කවදා හරි හරි යයි කියලා බලාපොරොත්තුව හිතේ දරාගෙන…

ඒත් ඒ සියළුම බලාපොරොත්තු වතුරෙ ගිය බව මිනිස්සුන්ට දැනෙන්න ගත්තෙ ඒ අකාර්යක්‍ෂම ඇමති මණ්ඩලේ පඩි සහනාධාර වැඩි කරගෙන, තමන්ගෙ දේශපාලන බලේ භාවිතාකරලා අනුන්ව යටපත් කරලා, වැරදිකරුවො නිදහස් කරලා, කරන්න ඕන සියළු දහජරා වැඩ කරලා තමන්ගෙ බලය තහවුරු කරගන්න වලිකන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැකලා… ඒ විතරක් නෙවෙයි විභාග ප්‍රතිඵලයක් හරියට දීගන්න බැරි, කිසිම ප්‍රශ්ණයක් ජනාධිපති තුමාගෙ මැදිහත් වීමකින් තොරව විසඳගන්න බැරි නපුංසකයො රැලක් තියාගෙන අපි මොනවා කරනවාද කියලා කාටවත් හිතාගන්න බැහැ.

ඒ කොහොම වුනත් ඒ අත්තනෝමතික ආණ්ඩුවට අභියෝග කරන්න කිසිවෙක් හිටියෙ නැහැ… කොටින්ම ජේ ආර් කියාපු පිරිමියෙක් ගැහැණියෙක් කරන්න බැහැ කියන කතාවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරලා පෙන්වුයේ රනිල් වික්‍රමසිංහ දිගටම විපක්‍ෂ නායක තනතුරේ තබාගන්න සමත්වීමෙන්. කවුරු අභියෝග කළත් එක්කෝ ගුටි කනවා, මිය යනවා හෝ අතුරුදහන් වෙන තත්ත්‍වයට පත් වෙන්න තිබුණ ඉඩ කඩ වැඩියි.. නමුත් ඒ සියළුම බලපුළුවන්කාරකම් වලට අභියෝග කරන්න පුළුවන් මහා රජාණන් කෙනෙක් දැන් අපට පහළ වෙලයි ඉන්නෙ…

ඔබට මතක ඇති පසුගිය දිනක පළ කළ මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ? කියන පැණය…. එයට ලැබුණ අසූ හාරදාස් පන්සිය විසි දෙකක් වන පිළිතුරු අතුරින් තෝරාගත් පිළිතුරු කිහිපයක් පළ කළා… ඒ අනුව තරඟයේ ජයග්‍රහණය හිමි වෙන්නේ බුවාට. බුවා තමයි අසන ලද පැණයට නිවැරදි පිළිතුර සවිස්තරාත්මකව ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කිරීම නිසා ඉරානයෙන් ආනයනය කළ ඉස්තරම්ම වර්ගයේ භූමිතෙල් බෝතලයෙන් බාගයක් බුවාට පිරිනැමීමට මා අදහස් කළා… ඉතිරි බාගය නිවැරදි පිළිතුර ලබා දුන් අසූ හාරදාස් පන්සිය විසි එක්දෙනා අතර සමසේ බෙදී යනු ඇති.

අති උත්තම ගැමුණු විජේරත්න මහ රජතුමා

මේ බුවා ලබා දුන් පිළිතුරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ – ලබාගත්ත ජනප්‍රියත්වය රැක ගන්නට බැරිය
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ – ලැබුනු ගෞරවය රැක ගැනීමට බැරිය
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා – කට පරිස්සම් කරගන්නට බැරිය
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ – ඡන්ද දිනන්නට බැරිය
කරු ජයසූරිය – පබා තරම් ඡන්ද ගන්නට බැරිය
සජිත් ප්‍රේමදාස – නායකත්වය ගන්නට බැරිය
බැසිල් රාජපක්‍ෂ – රටටම චාටර් නොවී කරගන්න දෙයක් කරගන්නට බැරිය
නාමල් රාජපක්‍ෂ – ගොන් කම ප්‍රදර්ශනය නොකර සිටීමට නොහැකිය
විදුලිබල ඇමති චම්පික රණවක – කිච නොවී සිටිය නොහැකිය
විමල් වීරවංශ – බොරුවට කැ ගහනවා හැර වෙනත් මොකුත් බැරිය
හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි – කරගත්ත දෙයක් නැතිය
මහාචාර්ය නලින් සිල්වා – කැම්පස් එකේ පට්ටම රැකගන්නටවත් බැරි ය
දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන් – 13+ තියා 13 වත් ගන්නට බැරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස -?
තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල් – ?
මහ බැංකු අධිපති අජිත් කබ්රාල් – ආර්ථික විද්‍යාව බැරිය
ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා – මොකුත්ම බැරිය
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන – විභාගයේ ලකුණු ටික දීගන්නට බැරිය
උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක – පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගේන්නට බැරි වුනාය
ලාල් කාන්ත – කට විතරය වැඩ බැරිය

පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න – ඉල්ලුව දේ පැය 24න් ලබාගත්තේය. බබා කියූ පරිදි 17% ක් ඉල්ලපු එකට 20 %ක් ලබා ගන්න වුන නිසාත් එතුමා ජනාධිපති තුමාට වඩා බලවත් ය…

ඉදින්…. අපේ අනාගත මහරජු අති උත්තම ගැමුණු විජේරත්න උතුමාණන් හට අපේ නමස්කාරය මෙයින් පුද කර සිටිමු….. කොහොම වුනත් තමන් නියෝජනය කරන කට්ටිය වෙනුවෙන් උපරිමය ලබා දෙන්න පුළුවන් කෙනෙක් පහළ වෙච්චි එකත් ලංකාවට ලොකු පිණක්…..

අනේ කූඹියනේ

අපටත් රජෙක් ඉන්නේ

ඉල්ලූ දේ ගන්නේ

ඊට පස්සේ තවත් ගන්නේ….

අපේ අනාගත මහරජු අති උත්තම ගැමුණු විජේරත්න උතුමාණන් හට…………………… ජයවේවා !

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. ‘ඇල්කෙමියා කිසිම භෞතික නියමයකට අදාළ නැති පුද්ගලයකු යැයි මට සිතේ .මා දන්නා තරමට ඇල්කෙමියා ධන වාදය , විවුර්ත ආර්ථිකය , පෞද්ගලික අධ්‍යාපනය , පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද ඇතුළු පෞද්ගලීකරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙකි .එසේ තිබියදීත් ඔහු ඉන්ධන මිල ඉහල යාමට අනුකූලව බස්ගාස්තු වැඩිකර ගැනීමක් සිදුකල බස් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා දෙස අවඥ්යාවෙන් බලනවායයි මට සිතේ .එසේ නොමැතිනම් මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක් අල්ලාගෙන ඇල්කෙමියාගේ දිනපොතට සුදුසු නොවන ආකාරයේ යමක් කරනවායි මට සිතේ . මෙහිදී පෙරලා ඇල්කෙමියාට දීමට සරල උත්තරයක් ඇතිබව මම හොඳාකාරවම දනිමි . ” මේක නිකම් ජොලියට කරපු වැඩක් ” වැනි යමක් සමහරවිට ඔහු කියනු ඇත . කෙසේවෙතත් මේ දිනවල පුවත්පත්වල යන ලිපි බොහොමයක් කියවූ මට එවැනි උත්තරයක් පිලි ගැනීමට නොසිතේ .උදාහරණයක් ලෙස සතිඅන්ත පුවත්පතක ගැමුණු විජේසිංහ සමග කල සාකච්චාවක් ආරම්භ කර තිබුනේ මෙවැනි අදුන්වා දීමකිනි . ” මේ දිනවල කාගේත් කතාබහට ලක්වන බස්ගාස්තු වැඩිවීම සම්බන්ධව කාගේත් අප්‍රසාදයට පත්ව ඇති බස් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා සමග , බස්මගියකු ලෙස පීඩාවට පත්ව ඇති මා මෙලෙස සාකච්චාවක් කලෙමි [අදහස මිස වචන මේවාම නොවේ ] .මා කොහෙත්ම බස් හිමියකු හෝ ගැමුණු විජේසිංහ ගේ මිත්‍රයකු , ඥාතියෙකු හෝ දන්නා අඳුනන අයෙකු හෝ නොවේ .එසේ වුවද යතාර්තවාදීව බලනාවිට ඔහුගේ කිසි වැරද්දක් මට නොපෙනේ .සමහර විටෙක ඔවුන් කල වර්ජනයෙන් පීඩාවට පත්වූවන් ගැන අනුකම්පාවෙන් ඇල්කෙමියා දිනපොතේ තවත් සටහනක් දැමීමට පවා ඉඩතිබුණි !!!! අනුරුද්ධ කුමාරයා බත් උපදින්නේ රන්තලියෙන් යයි සිතා සිටි බවක් පුරාණ කතාවක කියැවේ. අපිත් බොහෝ වෙලාවට එහෙමමය . හැමදේම දසමයක එහා මෙහා වීමක් නොමැතිව තිබිය යුතුය . රූපවාහිනියේ ක්‍රිකට් මැච් එකක් විකාසනය වීමේදී වෙළඳ දැන්වීමක් දැමූ විට අපිට කේන්ති යයි . එවැනි තරඟයකට වෙළඳ සමාගමක් අනුග්‍රහය දක්වන්නේ රුපියල් මිලියන කීයක් වියඳම් කරදැයි අපි මොහොතකට නොසිතමු .අනුග්‍රාහකයකු සොයාගත නොහැකිව කොහෙත්ම විකාශනය නොවුණු ක්‍රීඩා තරඟ ගැන අපට මතකයක් නැත .ඇල්කෙමියාගේ දිනපොත ඇල්කෙමියාගේ පුද්ගලික දෙයකි . ඇල්කෙමියාට අවශ්‍ය ඕනෑම දෙයක් එහි ලිවීමට කාගෙන්වත් තහංචියක් නැත .එසේවුවද හුදු ජනප්‍රියත්වය පසුපස හඹා ගොස් කන්න ඕනෑ උනාම කබරගොයි මාළු තලගොයි මාළු කර ගැනීම ගැන මම විමතියට පත්වෙමි !!!!’

    කැමතියි

    • @මෙවන්
      ලොක්කන් යයි සම්මත කට්ටිය මුකුත් කරකියාගත නොහැකිව සිටියදී කොහෙංවත් යන ප්‍රයිවට් බස් කාරයෙක් රටක් ම ප්‍රාණ අැපයට තබාගෙන සිට තම ඉල්ලීම දිනා ගැනිල්ල යනු කතා නොකල යුතු යමක් යයි නොසිතේ!

      ලියන දේ ජනප්‍රිය වීම හෝ ජනප්‍රිය දේ ලිවිල්ල ගැන මන්ද! හැබැයි ලියන දේ සාධාරණ නං කරන්න දෙයක් නැත.

      අදින් වසර හයකට පමණ පෙර ලඟම තියන නගරයට බස් ගාස්තුව 15යි. දැන් එය විසි හතට ගොස් අැත. ඉතිං අපි කට පියාන ඉන්න ඔ්නද!

      (මට විවිධ ලොක්කන්ට හෝ බිස්නස් කාරයන්ට අාවඩන්න වෙලාවක් නැත. එබැවින් මෙයට සපයන පිලිතුරු වලට ප්‍රතිචාර බලාපොරොත්තු නොවන්න.)

      කැමතියි

  2. බුදු අම්මේ බොහොම ස්තුතියි , ආණ්ඩුවෙන් භූමිතෙල් සහනාධාරය ලැබුනා තරම්ම සන්තෝසයි

    @මෙවන් – මෙතනදි හාස්‍යයට ලක්වෙන්නේ ගැමුණු උන්නැහේ නෙවෙයි රජය , ඉන්ධන මිලට අනුරූපව බස් ගාස්තු වැඩි වීමක් හෝ රජය කැමති නම් සහනාධාරයක් දිය යුතුයි කියන එකට සැකයක් නැ , ඒත් රජය ඒ පිලිබඳ හරි තීන්දුවක් නොගත්ත නිසා සම්පූර්න දවසක් මහ ජනතාව ප්‍රවාහන පහසුකම් නැතුව දුක් වින්ඳා , ඒ වගේම ඉරිදා රාත්‍රියෙත් සඳුදා දවස පුරාමත් රජයේ මාධ්‍ය වාර්ථා කලේ හරියට වර්ජනයක් නැ වගේ . නිකන් බොරු සෝබන නැතුව අඟහරුවාදා වැඩි කරපු එක සඳුදා ඉඳලම වැඩි කලා නම් ජනතාව අපහසුතාවයට පත්වෙන්නෙත් නැ , ආණ්ඩුව ගැමුණු අන්කල්ට බය වුනා කියලා කවුරුත් කියන්නෙත් නැ

    කැමතියි

    • ‘බුවා , ඔබේ මතය සමග මට කිසිම විරුද්ධත්වයක් නැහැ . දැන් දැන් ආරංචි වන ආකාරයට ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ලෝක වෙළඳපොලේ වැඩි වූ නිසා නොවේ . කොහොම උනත් ආණ්ඩුවක් අතින් පාඩු කරගෙන ඉන්ධන දෙනවාට මම විරුද්ධයි .එහෙම වෙන්නේ අනවශ්‍ය නාස්ති , දූෂණ වැරදි කළමනාකරණය වගේ දේවල් නිසා විය යුතුයි . මේ දේවල් නිවැරදි කල දාක මේ ප්‍රශ්න බොහොමයක් නිරාකරණය වේවි .ඔබ අප කවුරුත් දන්නා පරිදි ඉන්ධන මිල වැඩි වනවාත් සමගම ලොරි, වෑන් ගාස්තු ,ත්‍රී වීලර් ගාස්තු ඉහල යනවා , හාල් ,පොල් , පාන් , මාළු එළවලු සහ විදුලි බිල වගේ හැම දේකම මිල ඉහල යනවා .ඉතින් ලඟකදී වැඩිවෙච්ච ලොකුම ඉන්ධන මිල වැඩිවීමත් එක්ක බස් අයිතිකාරයෝ පරණ ගණන් වලට ඒවා දුවාවි කියල අපි බලාපොරොත්තු වෙන්නේ ඇයි ???? මේ ප්‍රශ්නයේදී මහජනතාව අපහාසු තාවයටපත් වූ බව ඇත්තක් .තමන්ට අසාධාරණයක් උනාකියල , වරායේ මිනිස්සු , විදුලිබල මණ්ඩලයේ මිනිස්සු ,ඉස්පිරිතාල වල මිනිස්සු , ගුරුවරු , විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්ය වරු වර්ජනය කරන වාරයක් වාරයක් ගානේ අපි -මහජනතාව අපහසු තාවයට පත් වෙනවා තමයි . වර්ජනයක් කිරීමේ මූලික හරය ඒකම තමයි නේද ???? වර්ජනයක් ඕනැ නැහැ ආණ්ඩුවේ අකාර්යක්ෂම තාවය නිසා ඉන්ධන මිල වැඩි උනා කියල සාමකාමී පෙළපාලියක් ගියත් , ඉබ්බන්වල හන්දියේ මීටින් එකක් තිබ්බත් හවස වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු කීදෙනෙක් අපහසු තාවයට පත්වෙනවද ???? අනික් හැම මිනිහටම තියෙන අයිතිවාසිකමක් ගැමුණු විජේසිංහට විතරක් නැත්තේ ඇයි කියන එක විතරයි මගේ ප්‍රශ්නය උනේ . ඔබ කියා ඇති ආකාරයට ඔබට ප්‍රශ්නය තියෙන්නෙත් ආණ්ඩුව ක්‍රියා කල වැරදි ආකාරය ගැන නිසා මට ඔබ සමග කිසිම විරුද්ධත්වයක් නැහැ !!!!’

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: