Monthly Archives: මාර්තු 2012

2012 මාර්තු 31 : බුදු පිළිමයට තවත් නිගාවක්….. නිසි පියවරක් ගන්න……..


මේ තියෙන්නේ Petco කියන සුරතල් සතුන් සම්බන්ධ වෙළඳ ආයතනයේ උරගයින් ගෙම්බන් දාන්න හදපු කූඩුවක්..

නම් කරලා තියෙන්නේ Exo-Terra Sri Lanka Reptile Terrarium Kit නමින්

මෙන්න link එක…

මෙන්න පින්තූරෙ…

Exo-Terra Sri Lanka Reptile Terrarium Kit

නිසි බලධාරීන්ට කියලා මේකට පියවරක් ගන්නයි තියෙන්නෙ…

මේ උරගයො දාන කූඩුවට උරගයොන්ට කන්න දාන්න වෙන්නෙ ජීවී සතුන්, පළඟැටියො, මීයො ආදී සතුන්… බුදුන් ඉදිරිපිටම මේ සතුන් උරගයොන්ට කන්න දාන එක නම් හරි නෑ….

වැඩි පුර ලියන්න වෙලා නෑ.. පුළුවන් විදියට ක්‍රියාමාර්ගයක් ගන්න කියලයි මේ දැනුවත් කිරීම….

Advertisements

2012 මාර්තු 23: ජිනීවා කෙළියෙන් උගතහැකි පාඩම්… සහ ෆේස්බුක් දේශප්‍රේමය……


පසුගිය සති දෙක පුරාවට සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දෙනාම දන්නා අඳුනන නගරයක් වූයේ ජිනීවා නගරයයි. තියෙන්නේ කොහේද කියා නොදනිතත්, ජිනීවා කියා එකක් තිබෙන බවත්, එහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයක් පැවැත්වෙන බවත්, කොළඹ හතේ මැටිල්ඩා මෙන්ම මහවිලච්චියේ බබුන් සීයා ද දැනගත්තේ අපේ කට්ටිය දිවා රෑ වෙහෙස වී ඒ පිළිබඳ දැනුවත් කළ නිසාවෙනි. රජයේ මෙන්ම විපක්‍ෂයේද දෛවඥයන් පැවසූ සියළුම අනාවැකි පසක් කරමින් ලංකාවේ ආණ්ඩුව ජිනීවාහිදී පරාජයට පත් වූයේ ඊයේ බංගලිදේශය පකිස්ථානයට පරාජය වූවාට වඩා එක ලකුණකිනි. (24-23) (සමහරු නම් කියන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටිනවා යනු අපට කැමති වුනත් ඇමරිකාවට බය නිසා පැත්තක් නොගෙන සිටීම කියාය – ඒ නිසා ඒ ඡන්ද ගොඩත් අපිටම දමා ගෙන හිත හදාගන්නවා – හරියට ලංකාවෙ ඡන්ද කරනවා වගේමයි) ඒ කොහොම වුනත් දැන් ඡන්දය පරාදය… ඒ අනුව ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන දේ පිළිගන්න වෙනවාය. ගොසිප් ලංකා වෙබ් අඩවියට අනුව නම් ලංකාවේ ආණ්ඩුවට මොකුත් වෙන්නේ නැති බව ජනාධිපතිතුමාම කියා ඇත… ඒ නිසා අහක යන බල්ලෝ ඇමරිකාවට බිරුවේ අපරාදේ යැයි දැන් සිතේ.

සමහරු හිටු කියා අපට ඡන්දය දුන් අයට ස්තුති කරමින් ෆේස් බුක් එකේ දේශප්‍රේමය පතුරති. තවත් සමහරු ඊමේල් මාර්ගයෙන් අනේ මේකත් බෙදා ගන්න යැයි ආයාචනය කරති…  තවත්සමහරු විවිධාකරයෙන් තමන්ගේ දේශප්‍රේමය අන්තර්ජාලයේ පතුරවති. ඒ කෙසේ වුනත් කිසි කෙනෙකු මේ ප්‍රශ්නයේ ඇතුලාන්තය හරි හැටි විග්‍රහ කරනවා දැයි මට සැකය…

තිස් වසරක යුද්ධයක් සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීම අප වැනි පුංචි රටකට අපහසු වුවද, රටේ නායකත්‍වය වෙනත් රටවල සහයෝගය ඇතිව හෝ නැතිව (විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් විවිධ දේ කියන නිසා මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට නොහැක – එසේ නමුත් පිටරටවල සහය නොලැබුණා යැයි කීමට අපහසුය) සහ පිටරටවලින් එන දැඩි පීඩනය සමනය කරගනිමින් යුද්ධය අවසාන කිරීම මේ රටේ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා උර දුන් ජනාධිපති තුමාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා  වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විවිධ නිලධාරීනට රටක් වශයෙන් ප්‍රණාමය සහ භක්තිය පිරිනැමුවෙමු. කවුරු කෙසේ කීවත් ඒ යුද්ධයට දේශපාලනමය වශයෙන් ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් තුමා, බැසිල් රාජපක්‍ෂ මැතිතුමා සහ විදේශ ඇමතිතුමා ආදී ස්වල්පයක් දෙනා ද, සම්බන්ධීකරණයෙන් සහ උපායමාර්ගික වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද, නායකත්‍වයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සෙසු නිලයන් නොවන්නට එය එක් පුද්ගලයෙක් විසින් කරනලද කර්තව්‍යයක් නොවන බව බොහෝ දෙනා හිත යටින් දනිතත්, දැන් දැන් තමන්ගේ දේශපාලන කුහකකම් එළියට පැමිණීම නිසා එකළ මේ සියල්ලන්ටම සහයෝගය දුන් අය පවා පැති බෙදී තමන්ගේ අයව පමණක් වර්ණනා කරනු දැකිය හැක. එය අතිශය කණගාටුදායක තත්ත්‍වයකි.

යුද්ධයක් යනු මල්වට්ටි රැගෙන පන්සල් යන අන්දමේ සාමකාමී ක්‍රියාදාමයක් නොවන බව පොඩි එකෙකුට වුවද වටහා ගැනීම අපහසු නොවේ. වසර 30 ක් පුරා පැතිරුණ මේ යුද්ධයේදී අගතියට පත් පාර්ශව ගණනාවකි. රටේ අනාගතය භාරගත හැකිව තිබූ ප්‍රධාන දේශපාලනඥයන් සියල්ලම පාහේ මියගියේ මේ යුද්ධයට බිලි වීමෙනි. යුද්ධයට කිසි අයුරකින් සම්බන්ධයක් නොතිබූ අහිංසක ජනතාව  බුරුතු පිටින් මියගියේද මේ යුද්ධයේ ආනිසංසයෙනි. ළමා ළපටින්, කාන්තාවන් හෝ ආබාධිත යැයි කිසිදු වෙනසක් නැතිව සියළුම දෙනා මොහොතකින් මරු කරා රැගෙන ගියේ මේ යුද්ධයෙනි. මිනිසාගේ හැඟීම් දවා අළු කර, ලාංකිකයා හැඟීම් නොමැති පිරිසක් බවට පත් කළේද මේ යුද්ධයයි. මේ යුද්ධය නිසා අගතියට පත් වූයේ සිංහලයන් පමණක් නොවේ. ද්‍රවිඩයන් සහ මුසල්මානුවන් පවා මේ යුද්ධයෙන් ගැලවුනේ නැති. මේ සියල්ලම යුද්ධයට කෙළින්ම සම්බන්ධයක් නැති අය වුනත්, කෙළින්ම සම්බන්ධ වූ සොල්දාදුවන් සහ නිලධාරීන් සියල්ලම අකාලයේ දිවි පිදුවේ, ආබාධිත වූයේ මේ යුද්ධයට සාපකරමිනි. තමන්ගේ උපදින්නට සිටින දරුවා නොදැක මියගිය පියවරුන්, විවාහයෙන් දින කීපයකට පසු මියගිස සැමියන්, විවාහයට දින කීපයනට පෙර මියගිය පෙම්වතුන් නිසා අසරණ වූ පවුල් සාප කරන්නේ ද මේ යුද්ධයටය.

මේ යුද්ධය බොහෝ දෙනෙකුට සාපයක් වුවද, එය නිධානයක් වූයේ එය වවාගෙන කෑ ආයුධ වෙළඳුන්, යුධ සැපයුම් කළ වෙලෙන්දන් සහ අත යටින් බොහෝ දේ ලබා ගත් දේශපාලනඥයින් ස්වල්පදෙනෙකුට සහ වැඩි වශයෙන්ම යුද්ධය විකුණාගෙන කෑ රාජ්‍ය නොවන සංවිධාන ගොන්නකටය. එවැනි ජඩයන් නොවන්නට මේ යුද්ධයේ අවසානය බොහෝ කාලයකට පෙර දකින්නට තිබුණ බව මට හැඟේ. යුද්ධයක් ඇති විට ත්‍රස්තවාදීන් පමණක් තෝරා බේරා ඝාතනය කිරීම කල හැක්කක් නොවේ. කවුරු කෙසේ කීවත්, මානුෂික මෙහෙයුමක් නොව සීල ව්‍යාපාරයක් කියා නම් කෙරුවත්, යුද්ධයකදී සාමාන්‍ය වැසියන් ඝාතනය වීම, සමහර විට යුධ අපරාධ සිදු වීම වැලැක්විය හැක්කක් නොවේ. පෘත:ජන මිනිසුන් වන සොල්දාදුවන් මෙන්ම ත්‍රස්තවාදීන්ද බොහෝ විට සටන් කරන්නේ තමන්ගේ යුද්ධයක් නොවේ. ත්‍රිවිධ හමුදාවට බැඳුන පසු සහ ඒ මානසික්‍වය මත දේශානුරාගය ඇවිලී රට වෙනුවෙන් දිවිපිදුවද, බොහෝ සොල්දාදුවන් සාමාන්‍ය නිලයනට බැඳීමේ මූලික පරමාර්ථය ස්ථිර ආදායමක් ලබා ගැනීම නොවන්නේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. අට පාස් තරුණයන්ට ඇඟළුම් කම්හලක රැකියාව කරනවාට වඩා ගරුත්‍වයක් ඇතිව හමුදාවේ සේවය කිරීම සහ ඒ මගින් ලැබෙන වෙනත් දීමනා, ආදිය බොහෝ විට මේ තත්ත්‍වයට හේතු විය හැක. මේ කරුණ හෙළි කිරීම නිසා සමහරවිට දේශප්‍රේමීන් මා මරා කන්නට තැත් තළත් සත්‍යය මෙයයි. මේ යුද්ධය අවශ්‍ය වූයේ දේශපාලනඥයන්ට සහ ත්‍රස්තවාදී නායකයන්ට විනා සාමාන්‍ය අසරණ සිංහල හෝ ද්‍රවිඩයන්ට මේ යුද්ධය අවශ්‍ය වූවා යැයි කෙනෙකුට සාධාරණ තර්කයක් ගෙන ඒමට නොහැක. යුද්ධය වවාගෙන කෑවේ දේශපාලනයයි. වරෙක දිගුදුර මෙහෙයුම් බලකායෙන් ඉලක්ක කර තිබූ කොටින්ගේ දෙවනියාව සිටි කරුණා විනාශ කිරීමේ අනුමැතිය ලබා දීමට එකළ සිටි ජනපතිනිය මැලි වූයේ යැයි රාවයක් පැවතුනි. කොටින්ට ආයුධ සහ සිමෙන්ති  දුන් ප්‍රේමදාස මහතා කොටින් අතින්ම ඝාතනය වූයේද ඒ වවාගෙන කෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වුවත් යුද්ධය අවසන් විය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සහ විශේෂයෙන්ම නෝර්වේ හි දේශපාලනඥයන් කොටි රෑන බේරාගැනීමට වලි කෑවේ නිකම් නොවේ. කොටින්ගේ ප්‍රචාරක ජාලය ලොව අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වීමත්, අල්ලාගත යුතු ලොකු අතු සියල්ල කොටින් විසින් අල්ලාගෙන නතු කර ගැනීමත් නිසාය. ඇමරිකාවට ඉන්දීය සාගර කලාපයේ බලතුලනය පිළිබඳ තිබූ දෙගිඩියාව නිසාද මේ ප්‍රශ්නයට අත දැමීමට හේතුවක් විය. කෙසේ වුනත් අපි ගොඩබිම යුද්ධයෙන් දිනුවද, ප්‍රචාරක යුද්ධයෙන් නම් සිටියේ බොහෝ පිටුපසිනි. මේ නිසාම ජීවත්ව සිටි කොටියාට වඩා  මියගිය කොටියා බලවත් විය. රට සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වුවත් මහින්ද රාජපක්‍ෂ රජය තමන්ට බෙදා ගැනීම සහ සියල්ල දේශපාලනීකරණය කරගැනීම නිසා තානාපති ජාලයද තම හෙංචයියනට භාර දීමෙන් වගකිවයුතු සහ සුදුසුකම් ඇති දක්‍ෂ පුද්ගලයින් ඒ ඒ තනතුරු වලට පත් කිරීමට අපොහොසත් වීම නිසා විදේශීය ප්‍රචාරණ ජාලයේ අඩපණ වීමක් ඇතිවූ බව පෙණුනි. මේ තත්ත්‍වය තවත් වර්ධනය වෙමින් රජයේ ඉහළ තනතුරු පවා සුදුසුකම් නොමැති හෙංචයියන්ටම ලැබීමෙන් රටම අවුල් ජාලයක් වී ඇති සෙයක් පෙනේ.

රටේ බොහොමයක් අපරාධ කෙරෙන්නේ දේශපාලන‍ඥයින් අතිනි. ප්‍රාදේශීය දේශපානඥයන් 40 කට වැඩි සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරන බව දැනගන්නට ලැබී ඇත.. වැටත් නියරත් ගොයම් කන විට ජනතාවට වැට සහ නියර කඩා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඒ මදිවාට රටේ වැදගත් යැයි කියාගන්නා ඇමතිවරු මී හරක් කතා කියමින් ජනතාවට විහිළු සපයති. එකෙක් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමට කතා කරන අතර රටේ අධ්‍යාපනය භාරව සිටින (මොළයක් ඇතැයි සිතා සිටි ) ඇමතිවරයා රටේ ජනතාවට (තුන් දෙනෙකු සිටින පවුලකට) රුපියල් 7500 කින් මසකට ජීවත් විය හැකි බවට බූරු කතාවක් ද කියා තිබේ. එකම පක්‍ෂයේ දෙදෙනෙකු වෙඩිතියාගෙන කෙනෙක් මියගියේත් අනෙකා මන්දබුද්ධික ආබාධිතයෙක් වුනේත් මේ ඇස් පියාගෙන සිටීමේ ප්‍රතිපත්තියේම ප්‍රතිඵලයකිනි. ගාල්ලේ මන්ද බුද්ධිකයෙක් පලාතේ සමුපකාරයකවත් ඡන්දයක් නිදහසේ තැබීමට ඉඩ ලබා දී නැත. කැළණියේ දුටුගැමුණු  රජතුමාට දූෂණ චෝදනා තිබුණත් එතුමා ද යහතින් වැජඹෙති. අසරණ සරණ ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. කවදාවත් නැතිව දියවඩන නිලමේ තුමාට ද චෝදනා එල්ල වී ඇත.  දූෂණ චෝදනා ලැබූ මහනුවර දේශපාලනඥයෙකු ජනාධිපති සමාවෙන් නිදහස ලැබූයේ මේ රටේ ය. රටේ එළවළු මිල අස්ප ගණන් වුනත් කිලෝ දාස් ගණනින් එළවළු ඉවත දමන්නේ ගොවියන්ට එළවළු විකුණාගත නොහැකි නිසාය.. රටම නුහුලන ද්විත්ව ඝාතනයකට ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද හවුල්ය. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන මහත්වරු විදේශීය සංචාරකයෙකු පරලොව යවා ඔහුගේ පෙම්වතිය කන්‍යාවියක් කළේ ද මේ ජඩ දේශපානයේම ඓශ්චර්යයෙනි. තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අවුරුදු 19 ක දැරියක් රැයක් පුරා දූෂණය කර ඇත. රටේ මුදුන් මල්කඩ වූ මහනුවර දෙවනත් කරමින් ලෝකයේ සමහර රටවල තහනම් කරන ලද වීදි රේස් තරඟ පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහය මතය.  තවත් බොහෝ දේ ඇත…. කියුවාට වැඩක් නැත…

මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ රට වැටී ඇති අගාධයයි. සංස්කෘතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද අපි අගාධයකට යමින් පවතී. ලක්‍ෂ පහක් හා රන් කඩුවක් ලබා ගැණීමට තමන් හා බොහෝ සේ කුළුපගව සිටි හාමුදුරුවන් දෙනමක් ඝාතනය කළේ දේවාලයක බස්නායක නිලමේ කෙනෙකි… ඒ අපි වැටී ඇති අඝාධයේ පතුල නොවේ… ඉදිරියේ දී මීට වඩා පොළව නුහුලන අපරාධ අසන්නට ලැබෙනවා ඇත. අපි ඒ බලාගෙන කරකියාගත හැකි කිසිවක් නැතිව සිටිමු.  ඒ සියල්ලම මැද පාලකයන් මර නින්දේ ය… ඔවුනට තමන්ගේ මඩිය තර කරගන්නවා හැරෙන්නට සිතන්නට දෙයක් නැත.  මේ සත්‍යයයි… අපි මොනවා ලියුවත් මේ අයට ඒවා පෙනෙන්නේ නැත. අපේ හිතේ දුකට මෙසේ ලියනවා ඇරෙන්න වෙනත් කරන්නට දෙයක් නැත. විපක්‍ෂය කුලල් කා ගැනීම හැරෙන්නට වෙනකක් කරන්නේ ද නැත. උන්ට තමන්ගේ පක්‍ෂයේ නායකත්‍වයට  පොරකනවා හැරෙන්නට රටට මොන මලදානයක් වුවත් කමක් නැත.

බොහෝ දෙනාට මේ ක්‍රමය එපා වී තිබුණත් එයට විරුද්ධව යන්නට සුදුසු ව්‍යාපාරයකට නායකත්‍වයක් දෙන්නට කෙනෙකු නැත. එසේ නායකත්‍වයක් දෙන්නට කෙනෙකු සිටී නම් ඒ වටා ඒකරාශී වන්නට බොහෝ දෙනා එකතු වනු ඇති. ඒ බටහිරයන්ට අවශ්‍ය පරිදි රටට වෙනසක් අවශ්‍ය නිසා නොව පවතින රජයේ අත්තනෝමතික බව ඉවසා ගැනීමට නොහැකි නිසාය. රටට බොහෝ දේ කළ හැකි නමුත්, අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ දූෂණය වංචාව ඉහවහා යාම නිසා සාමාන්‍ය ජනයාට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබීම නිසා බොහෝ දෙනා සිටිනුයේ පවතින රජය කෙරෙහි පැහැදීමකින් නොවේ…

ඒ අතර අපේ තරුණ පරපුර ෆේස්බුක් දේශප්‍රේමය වපුරමින් සිටිති. ෆේස් බුක් හි පින්තූරයක් පළ කිරීමෙන් හෝ එයට සහය දැක්වීමෙන් යමක තීරණයක් වෙනස් කළ හැකි නම් අද ජනාධිපති වන්නේ සරත් ෆොන්සේකා මහතාය… ඒ මහතා ෆේස්බුක් ජනාධිපති වුවත් ඇත්ත තරඟයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ මහතාය.. සත්‍යය එයයි.

කළ යුත්තේ ෆේස් බුක් දේශපාලනය නොව රජය හරි මාර්ගයට ගැනීමයි. අප රට ස්වභාවික සම්පතින් අනූනය. මානව සම්පතින් ගත් කළ ලෝකය මවිත කරවන නිර්මාණ කිරීමේ ශක්තිය ඇති බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් ඇති රටකි. කළ යුත්තේ මේ සම්පත් හරිහැටි කළමණාකරණය කරගෙන රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීමයි. රටේ සාධාරණත්‍වයක්, දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව නිදහසේ රැකියාවක් කරගෙන යාමට ඇති තත්ත්‍වයක් ඇති වන්නේ නම් නැවතත් අප රටට පැමිණ ලංකාව වෙනුවෙන් සේවය කිරීමට කැමති උගත් බුද්ධිමත් පිරිසක් පිටරටවල සිටිති. වෙනත් රටවල් විද්‍යාව තාක්‍ෂණය ආදී අනාගත ආයෝජන සඳහා වැඩි වැඩියෙන් මුදල් වැය කරද්දි අපේ කට්ටිය රට වටේ කුළුණු සවි කරමින් ලෝකෙට ලොක්කා වන්නට වලි කති. දූෂිත සහ අවස්ථාවාදී  මුග්ධ දේශපාලනඥයින් ඉවත් කර, රටට වැඩදායී උගත්, බුද්ධිමත් සහ සුදුසුකම් සහිත කණ්ඩායමක් පත්කරගෙන රටේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට නායකත්‍වයට බල කිරීමක් කළ හැකි ෆේස්බුක් ව්‍යායාමයක් අරඹන මෙන් මේ සියළු “ෆේස්පුක්” දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිමි… සැබෑ දේශප්‍රේමය එයයි….

2012 මාර්තු 15 : “රිදුනද ඩාලිං” කියලා වඳුරෙක් ඇතින්නකගෙන් ඇහුවලු….. “18 + ම නොවේ…”


රිදුනද ඩාලිං....

සත්තුන්ට කතා කරන්න පුළුවන් කාලෙ එකමත් එක රටක කැලෑවක වඳුරෙක් හිටියලු… මේ වඳුරා දන්න මගුලටයි එපා මගුලටයි හැම දේටම කටයි පුකයි දෙකම දානවලු (පුක කියන්නෙ කුණුහරුපයක් කියන සුද්දවන්තයෝ මේක බලන්න එපා හොඳේ) ඉතිං මේ වඳුරා දවසක් බලාගෙන හිටියලුඉ අලියෙක් ඇතින්නකට ලිංගික කර්තව්‍යයක් කරනවා… මේ ඇතින්නත් ඉතිං ඇහැට කණට පේන කෑල්ලක් ලු.. දැන් මේ වඳුරට බලාගෙන ඉන්නම බෑලු… මේ වඳුරටත් ඇතින්නගෙ පහල ලබන්න ම ඕනලු… ඉතිං වඳුරා දන්න දහං ගැට ඔක්කෝම දාලා ඇතින්නව කොහොමහරි කැමති කරව ගත්තලු… ඔන්න ඉතිං වඳුරා දන්න සෙල්ලං ඔක්කොම දානවලු.. ඉස්සරහට ගැහින් ඇතින්නගෙ මූණ ඉඹිනවලු.. පිටිපස්සට ගිහින් ලිංගික කටයුත්තත් කරනවලු… මෙහෙම දහපාරක් විතර ඉස්සරහටයි පස්සටයි දුවන්න ගියාම වඳුරට හොඳ ගණන් ලු.. හති ලු.. ඉතිං මේ නාඩගම බලාගෙන හිටපු ඇතින්නිට හිනාවක් ගියාලු “හිකිස්” කියලා… වඳුරා හිතුවලු තමන්ගේ කර්තව්‍යයේ සැරට ඇතින්නිට රිදුනා කියලා… වඳුරා ඇහුවලු

“රිදුනද ඩාලිං” කියලා…

ඇතින්න මොනවා කියුවද කියලා දන්නෙ නෑ… මොකද කතාව ගොතපු මිනිහා හිනාවෙලා වැඩිකමට කතාවෙ ඉතුරු ටික ගොතන්න අමතක වෙලා….

මවුබිමේ පචායුධය

ඉතිං මේ අපේ දියවන්නාවෙ මඩවගුරෙත් ඉන්නවා ඔන්න ඔය වගේ වඳුරෙක්… ඌත් දන්න මගුලටයි එපා මගුලටයි දෙකටම කටයි පුකයි දෙකම දානවා.. ඉංගිරිසි අකුරක්වත් දන්නෙ නැති නිසා සුද්දොත් එක්ක කන්න තරහයි ලු… ඒ නිසාම සුද්දෙකුට පඩයක් ගියත් මූ කෑ ගහනවලු… මේ ලඟදි අපූරු කතාවක් කියලා තිබුණා…

ඇමරිකාව ලංකාවට කරන දේවල් වලට දැනෙන්න අපි ඇමරිකානු දේවල් වර්ජනය කළ යුතුයි කියලා…

ගොසිප් ලංකා එකේ දාලා තියෙන ලිපිය නෙවෙයි… කොමෙන්ටු බලන්න...

අන්වර් මනතුංග නම් කියන්නෙ මේක අරාබියෙන් අහුල ගත්ත සටන් පාඨයක් කියලා… මේ ලිපිය අවසාන කරන්න හදනකොටම පවුරු වලල්ලෙත් මේ ගැනම පළවෙලා තිබුණා… ඒකත් හොඳ ලිපියක්.

මට හිතෙන්නෙ මේක චීනෙන් අහුලගත්ත දෙයක් කියලා… නමුත් ඉතිං මේ වඳුරා ඉංගිරිසි දන්නෙ නැති නිසා CNN  එකේ පළ වුන මේ වගේ ප්‍රවෘත්තියක් කියවන්න දන්නවද දන්නෙත් නෑ…

ඇත්තටම ලංකාව ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කළොත් මොකද වෙන්නෙ ? ඇමරිකාවට අපේ නිෂ්පාදන වර්ජනය දැඩිව දැනේවිද ? වැරදිලාවත් ඇමරිකාව අපේ නිෂ්පාදන වර්ජනය කළොත්…..එතකොට අපට මොකද වෙන්නෙ ? GSP+ සහනය වගේ දේවල් නිසා MAS Holdings  වල නිපදවන වික්ටෝරියාස් සීක්‍රට් ජංගි වගේ දේවල්, GAP එකේ හදන ඇඳුම් විතරක් නෙවෙයි තව බොහෝ දේ අපි ලංකාවෙන් ඇමරිකාවට පටවනවා. ඒ වගේම ඇමරිකාවෙන් අපි ලංකාවට මොනවද ගෙන්වන්නෙ ? නාමල් බේබි ගෙ Chevy Camero එක වගේ දේවල් ඇරුණාම ලංකාවට වෙන ගෙන්වන දේවල් දන්න කෙනෙක් කියන්න.. Coca- Cola, McDonalds, KFC, Starbucks,  වගේ දේවල් ඇමරිකන් නිෂ්පාදන වුනාට ඒවා නිපදවන්නෙ මෙහේ… ඒ කියන්නෙ අපේ කොල්ලො කෙල්ලො රැකියා කරන්නේ ඒ නිසා… ඒ වගේම ඔය නිෂ්පාදන දෙක තුනක් අපි ගත්තා කියලා ඩොලර් වලට හරවලා ගන්නකොට ඇමරිකාවට ඇති ලාභයක් නෑ… ඔබාමගෙ බල්ලට මාසෙකට වියදම් කරනවා ඇති ලංකාවෙන් ඇමරිකාවට එන ඔය නිෂ්පාදනවල ලාභයට වඩා… ගූගල් ෆේස්බුක් වගේ දේවල් අපි පාවිච්චි නොකළා කියලා ඒවයෙ ලාභය අඩු වෙන්නෙත් නෑ.. ලංකාවෙ පාරිභෝගිකයො සංඛ්‍යාව ලෝකයේ ප්‍රතිශතයෙන් 1/100 ක් වත් නෑ… මේ හරකට ඒක තේරෙන්නෙත් නෑ…

චීනය මේකෙ අනිත් පැත්ත.. චීනය වගේ බලවත් රටක් ඇමරිකාවට විරුද්ධ වුනොත් ඒකෙ තත්ත්‍වය වෙනස්.. ඒ නිසා තමයි චීනය තමන්ගේ දුර්ලභ ලෝහ පිටරටට අපනයනය කරන ප්‍රමාණය අඩු කිරීමේ තීරණය ගනිත්දි ඇමරිකාවටයි යුරෝපයටයි රිදුනෙ.. දැන් නාහෙන් අඬනවා ඒ තීරණය වෙනස් කරන්න කියලා… කළේ නැත්තං ලෝක වෙලඳ සංවිධානයට පැමිණිලි කරනවා ලු.. දුර්ලභ ලෝහ අපනයනය සීමා කළ නිසා පැතලි තිර රූපවාහිනී, ජංගම දුරකථන පමණක් නොවෙයි ඇමරිකානු ආයුධ නිෂ්පාදනයටත් දැඩි පහරක් වදිනවා… මේ නිසා ඇමරිකාව බයයි චීනය මේ ලෝහ අපනයනය අඩු කිරීම ගැන.. චීනය ගත්තෙ උපායමාර්ගික පියවරක්.. එක් අතකින් තමන් කවුද කියලා ඇමරිකාවට පෙන්වන ගමන්ම, ඇමරිකානු ආධිපත්‍යය තමන්ට පාලනය කළ හැකි බව සහ තමන්ට තමන්ගේ සම්පත් පාලනය කළ හැකි බව ලෝකයටම පෙන්වන දෙයක් තමයි චීනය කළේ.. චීනය ගූගල් වත් ෆේස් බුක් වත් පාවිච්චි කරන්නෙ නෑ… තමන්ගෙම මයික්‍රොසොෆ්ට් ප්‍රෝග්‍රෑම් පවා තියෙනවා.. වෙනකක් තියා ඇමරිකාවෙ හදන හැම දෙයක්ම චීනයෙත් තියෙනවා තමන්ගෙ විදියට…

ලංකාව ඇමරිකානු ප්ලග් එක ගලවන්න තව කල්පයක් යන්න වෙනවා… මේ වගේ ගොං හරක් ඉන්නකල් ඇමරිකානු ප්ලග් එක නෙවෙයි, අපට පොඩ්ඩක් හරි දියුණු වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. අපේ ඇමති මණ්ඩලයෙ ඉන්න කට්ටියට තණකොළ කන්න දීලා එන ගොම වලින් පෝර හැදුවනං මීට වඩා හොඳ ආදායමක් ගන්න තිබුණා… අම්මපා අනිත් රටවල ඉන්න තරමක් හෝ උගත් දේශපාලනඥයන් දිහා බැලුවම අපිට ඉන්න සෙට් එක කොමඩි ෆිල්ම් එකකට යවන්න හොඳයි කියලයි මට හිතෙන්නෙ… බන්දු සමරසිංහටයි ටෙනිසන් කුරේටයි විශ්‍රාම යන්න කියලා මෙන්න මේ සෙට් එක දාලා ෆිල්ම් එකක් හැදුවනං හොඳ ගාණක් ගන්න තිබුණා… හැබැයි පාර්ලිමේන්තු සැසිවාරයන් සජීවීව රටටම පෙන්වන්න යන නිසා ඒකත් නොමිලෙම බලාගන්න පුළුවන් වේවි….

ඉතිං අපේ වඳුරු කැළත් ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරලා ඇමරිකාවෙන් අහයි දැන්වත් උඹලා අපි කියන දේ අහනවද කියලා… හරියට “වඳුරා අර ඇතින්ගෙන් රිදුනද ඩාලිං” කියලා ඇහුවා වගේ.

කොහොම නමුත් මේ වගේ බූරුවංශලා අපේ රටේ වැදගත් තැන් පාලනය කරන තාක් කල් අපේ රට හැමදාම එකතැන… අපට තියෙනවා ගොඩක් රටවලට නැති ස්වභාවික සම්පත් ආකර බොහොමයක්… රටේ තියෙනවා තව අවුරුදු 100 කට සෑහෙන්න පොහොර සපයන්න පුළුවන් ඇපටයිට් නිධියක්, මුලතිවු වල තියෙන ඉල්මනයිට් නිධියෙන් ඕනෑතරම් ටයිටෙනියම් ඩයොක්සයිඩි නිපදවලා විදේශ විනිමය ගන්න පුළුවන්. සංචාරක කර්මාන්තය නිසි පරිදි කළමණාකරණය කළොත් එයම ඇති දියුණු වෙන්න.. මත්ස්‍ය සම්පත, ඛණිජ සම්පත්, ඒ ආශ්‍රිත රසායන ද්‍රව්‍ය කර්මාන්ත ආදිය ඇති කළොත් අපට වෙ රටවලට ණය වෙන්න අවශ්‍යතාවයක් නෑ.. අපට ඇති මානව සම්පත නිසි මගට යොමු කළොත් අපේ මිනිස්සු වැඩ නොකර ඉන්නෙ නෑ..

නමුත් මේ රට අරක්ගෙන ඉන්න ප්‍රේතයො ටික ඉන්නකල් අපේ රටට සෙතක් නෑ.. කළු චරිත දේශපාලනයට ගෙන ආ අයට දඬුවම් දෙන්න සූදානම් වෙනකොට දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා වගේ සුදු චරිත රැකපු ලොකු ලොකු නායකයොන්ටත් ඒ දඬුවම් ම ක්‍රියාත්මක කරාවිද ? රටේ ලොකු මිනිස්සුන්ට, සල්ලි සහ බලය ඇති මිනිස්සුන්ට එක නීතියකුත්, අසරණයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනකොට ඇතිවන තත්ත්‍වය කුමක්ද ? මේවා වෙනස් කරන්න කවුරුවත් නැද්ද ? නැතිනම් වෙනස් කරන්න ඕනකමක් නැත්ද ?

අපි ඊලඟ මැතිවරණයෙදිත් මේ කට්ටියම බලයට පත් කරලා ආයෙම බැණ බැණ  ජීවිතය ගතකරනවද ?

හිතලා බලන්න….

2011 මාර්තු 14 : අනේ සුදූ……………… වෑන් එකේ යන්න එන්න………..


සුදු පාට හැමදාමත් පියකරුය…. යමකට සුදු පාට ලැබී ඇත්තේ පතිත වන සියළුම ආලෝක කිරණ පරාවර්තනය වන නිසා ය කියා හතේ පන්තියේ විද්‍යාව ඉගැන්වූ යෝධ රාලහාමි සර් කියා දුන්නා මතකය (ඒ සර් හරියට ඉස්සර මිහිර පත්තරේ චිත්‍ර කතාවක හිටපු යෝද රාලහාමි වගේ නිසා සර්ට කොල්ලො කිවුවෙ යෝද රාලහාමි කියලා – සර්ගෙ නම නං දැන් මතක නෑ ) ඉස්සර අපි ඉස්කෝලෙ යන්නෙ සුදු කලිසමයි සුදු කමිසෙයි ඇඳගෙන. හැමදාම සෙල්ලං කරලා ගෙදර එනකොට සුදු ඇඳුම් දුඹුරු පාට වෙලා එන්නෙ.. ඉස්සර අම්ම නං කියන්නෙ අපේ චරිතෙත් මෙන්න මේ වගේ උදේට ඇඳං යන ඇඳුම්  වගේ පිරිසිදු වෙන්න ඕන කියලයි.. ඉඳලා හිටලා මඩ ගා ගත්තත් මගේ චරිතෙ නොමැකෙන කහට පැල්ලං හදාගත්තෙ නැත්තෙ අම්මගෙයි තාත්තගෙයි වටේ පිටේ හිටපු හැමෝගෙම බැල්ම මට වැටිලා තිබුණ නිසා.. නැත්තං මගේ හැටියට මකන්න බැරි කහට පැල්ලං බොහොමයක් චගේ සුදු චරිතෙට වැදෙන්න ඉඩ තිබුණා..

සුද්දවන්තයොන්ගෙ වැඩ

කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙන කොටලු.. හංසයා නම් හැමදාම සුදුයි…. මේ දවස්වල රස්නෙ වේගෙන එන නිසා අපේ සරසවියෙ නං හංස පැටවු උඩ පනිනවා… සමහර වෙලාවට හිර වෙලා ඉන්න බෑ කියනවා වගේ සුදු හංස පැටවු එළියට පනින්න දඟලනවා…. ආසයි බලං ඉන්නත්….  කිරි කොකා වගේ හිටියට මගේ හැබෑ ගතිය පේන්නෙත් මාත් එක්ක වැඩ කරනකොට… ඇල්කෙමිච්චි නං දැං දන්නවා මම මේ කියාගෙන පෙන්නගෙන ඉන්න තරං සුදනෙක් නෙවයි කියලා… ඒ නිසාම උන්දෑ මාව හදන්න යන එක නවත්තලා තියෙන්නෙ.. ඒ වුනාට මගේ නෑදෑයො නං හිතං ඉන්නෙ මම හරිම සුද්දවන්තයෙක් කියලා. (දන්න සමහරු ඉන්නවා – කට වහගෙන). හරියට අපේ දේශපාලනඥයො තම තමන් ගැන හිතන් ඉන්නවා වගේ. උන් ඔක්කොම සුදට සුදේ පිටට පේන්න බැබලි බැබලි හිටියට උන්ගෙ ඇතුලාන්තය හරිම කළුයි.. ලස්සනට සුදට ඇඳගෙන හිටපු ප්‍රේමදාස මහත්තයයි, කොණ්ඩෙ පවා සුදට පාට කරගෙන හිටපු ඒ මහත්තයගේ ආරක්‍ෂක ඇමති තුමායි එකතු වෙලා කොරපු සුද්ද කිරිල්ල කට්ටියටම මතක ඇතිනෙ…ඉස්සර කාලෙ සමාජයෙ වැදගත් මිනිස්සු සුදුම සුදු ජාතික ඇඳුම අඳිනවා වැදගත් අවස්ථාවකදි… ඒ මිනිස්සු ඇත්තෙන්ම වැදගත්… ඉස්කෝලෙ මහත්වරු, වෙද මහත්වරු, ආදී පරණ නමුත් පිදිය යුතු උදවිය මේ ඇඳුම උජාරුවට ඇඳන් යනවා. ඒ වගේම දැන් නම් ඒ ඇඳුම උජාරුවට ඇඳන් යන කට්ටිය ගැන කතා කරන්නත් එපා වෙනවා… ඒ නිසා කතා නොකර ඉන්නවා.

සුදු කියන්නේ පිවිතුරු බවේ පාට කියලයි බොහෝ දෙනා කියන්නෙ. ඒක නිසාම තමයි මංගල රාත්‍රියට මනාලියගෙ පිවිතුරු බව බලන්න කියලා මනාලියගෙ ඇඳුම් බෑග් එකට සුදු රෙද්දක් දාන්නෙ (අනේ මන්දා ඕක කොහොම බලනවද කියලා සුදු රෙද්දෙන්). මංගල්‍යයකදි මෙන්ම පන්සලට, බුදුන්ට පූජා කරන මල් සුදු මල් වෙන්න ඕනත්, අවමංගල්‍යයකදි සුදු පැහැයෙන් සරසන්නෙත්, මේ පිවිතුරු බව හැම තැනකම තිබෙන්න ඕන නිසා වෙන්න ඇති.  ගෙදරක බිත්තියට සුදු පාට ගෑවමත් ගෙදරට එළියක් එනවා වගේම තරමක් පැහැබර සමක් ඇති පුද්ගලයන්ටත් “සුදු” කියන විශේෂණ පදයත් එක්ක ආමන්ත්‍රණය කරනවා… ඒත් ඒ සියළුම දෙනා පිවිතුරු නිසා නෙවෙයි… අන් අයට වඩා සුදු නිසා… සුදු පුතා, සුදු දුව, සුදු නංගි, සුදු මල්ලි, සුදු අයියා, සුදු අක්කා, සුදු මහත්තයා, සුදු පූසා, සුදු බලු පැටියා, ගැන කතා කරද්දි සුදු නැන්දා ගේ දොර වහලා හීන් නගා ගේ මුල්ලට දාපු එක ගැන නෝක්කාඩු කිවුවෙ ගුණදාස කපුගේ. දීගෙක ගිහිපු සුදු හාමිනේ එනකල් මඟ බලාගෙන ඉන්නෙ නන්දා මාලිනී.. සුදු රෝස මූණ පුරා හිනා ඇඳෙනවා බලාගෙන සිංදු කියන්නෙ රාජු බණ්ඩාර, අළුයම හිරු එළිය වගේ සුදු මැණිකේ ගැන කතා කරන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන..  සුදු සඳරැස් ගැන මොහිදීන් බෙග් වගේම විවියන් ද සිල්වා බොරලැස්ස හෝ රුක්මණී දේවීත්,  සුදු සඳ එළියෙ දෙන මල් සුවඳ ගැන ලතා වල්පොලත් ගායනා කරලා තිබුණා., මාගේ සූදා තාම නෑ කියලා ක්‍රිස්ටෝපර් පෝල් කියනවා වගේම .. සුදු සීයා අපේම සීයෙක් වගේ හැම ඉරිදාම ගෙදර සාලයට එක්කන් ආවෙ නාලන් මැන්ඩිස්… ඉතිං සුදු අය ගැන ඕන තරම් කතා… ඒ වගේම ඔය සුදු පුතා, සුදු දුව කියලා පුංචි කාලෙ කතා කරන අය ලොකු වුනාම ගොරක ලෙලි වගේ කළුයි සමහර වෙලාවට… එතකොට නම් මොනවා හිතෙනවා ද දන්නෙ නෑ ඒ අයට… සමහරු තමන්ගෙ නෝනට හෝ මහත්තයාට ආදරේට කියන්නෙත් සුදූ කියලා…. අපි නං ඉතිං කළු නිසා කවුරුවත් අපිට සුදූ කියලා කතා කරන්නෙ නෑ.. දවසක් එක්කෙනෙක් මට කියනවා ඔයාලගෙ තාත්තා කළුම කළුයි කියලා …. මම කිවුවා ඒ වුනාට තමුසෙගෙ දත් වලට වඩා අපේ තාත්තගෙ දත් සුදුයි කියලා… ඊට පස්සෙ එයා ආවෙ නෑ තාත්ත කළුයි කියන්න….

අල්ලපු පන්තියෙ ඉන්න සුදු ටීචර්ගෙන් හුණු කෑල්ලක් ඉල්ලගන්න ලියුමක් යවපු සර් අමාරුවෙ දැම්ම ඇම්ඩලා වගේ අයත් හිටියා… “සුදු චෝක් කෑල්ලක් එවන්න” කියලා යවපු ලියුං කෑල්ලට කුපාඩි කොලුවෙක් සුදු කියන වචනෙට පිටුපසින් කොමාවක් දාලා අර්ථය වෙනස් කළේ සිංහළ භාෂාවෙ අරුමය පෙන්වමින්… ඉස්සර මමත් සුදු කෙල්ලොන්ට හරිම කැමතියි… මගේ හද දිනාගෙන හිටපු කෙල්ලො බොහොමයක පොත්ත සුදුයි.. මගේ යාළුවො සමහරක් ඒ කාලෙ මට විහිළු කළේ ඔයිට වැඩිය හොඳයි හාෆ්ශීට් එකක් තුරුළු කරගණින් කියලා.. අනේ ඒ සුදු කෙල්ලො දැන් කොහේ ඇද්ද ? හිටියා නං උං එකෙක් නේ අද ඇමරිකාවෙ ඉන්නෙ මාත් එක්ක…. හොඳ වැඩේ උන්ට… මාව දාලා ගියාට…..

සුදු අය කව වෙන්න දඟලනකොට කළු අය සුදු වෙන්න දඟලනවා...

මෙහේ නම් බලපු බලපු අත ඉන්නෙ සුදු කෑලි යි සුදු කොල්ලොයි… සුදු කොල්ලො ගැන මට ඒ හැටි ආසාවක් නැති නිසා සුදු කෙල්ලෝ ගැන නම් බලනවා… ලංකාවෙන් ඇමරිකාවට ආපු කාලෙ ලංකාවෙ හිටපු මගේ යාළුවො කිවුවෙ “අපි ඉන්ටනෙට් එකෙන් දකින සුදු කෑලි උඹ හැබැහින් දකිනවා නේ ද ?” කියලා ඕවට උත්තර බඳින්න යන්නෙ නැත්තෙ තව ටික කාලයක් හරි පවුල් ජීවිතෙත් තියා ගන්න ඕන නිසා… ඒ වුනාට මේ සුදු කෑලි හැම එකක්ම අර තනි පාට හෝ වෛර්ණ චිත්තරපටි වල පෙන්නන විදියට හැමතිස්සෙම දිග ඇරගෙන ඉන්නෙවත්, ඕන වෙලාවට ඕන කෙනෙකුට ඕන දේකට පාවිච්චි කරන්නවත් ඉඩ දෙන්න සූදානම් නැහැ.. ඒවටත් ක්‍රම සහ විධි තියෙනවා… (එච්චරයි කියන්නෙ).. හැබැයි වැඩේ කියන්නෙ මේ සුදු කට්ටිය කළු වෙන්න පුදුම ආසයි.. සමර් එකට ටෑනිං ක්‍රීම් ගාගෙන අඩ නිරුවස්තරෙන් අවුව තපින උන් ගැන මගේ හිතේ තියෙන්නෙ පුදුම අනුකම්පාවක්.. අපට බලන්න වගේ ඔය තැඹිලි ගෙඩි එළියෙ දාගෙන හිටියට පහු පහු වෙනකොට හමේ පිළිකා හැදිලා දුක් විඳින්නෙත් මේ සුද්දියොම තමයි…

මෙයාගෙ ආඩම්බර... සුදු නිසාද කොහෙද...

සුදු කියන්නෙ පිවිතුරු පාටක් වුනත් යමෙක් අසාමාන්‍ය ලෙස සුදු නම් හෝ සාමාන්‍ය පැහැ සතෙකු සුදු පැහැති නම් හෝ හදුන්වන්නෙ ඇලි සතුන් කියලා.. සමේ වර්ණක නැති මේ සතුන් කායිකවත් පරිණාමිකවත් දුර්වලයි.. පහසුවෙන් ගොදුරු බවට පත් වෙන්න පුළුවන් වගේම ඉතා මිල අධික ප්‍රදර්ශන භාණ්ඩ බවටත් මේ සතුන් පත් වෙනවා. අපේ ලංකාවෙ ගෑණු ළමයිනුත් දැන් සුදු වෙන්න කියලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බ්ලීචිං කරගන්නවා කියලා ආරංචියි…. ඒකෙ තියෙන භයානක කම තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තියෙන මුක්ත ඛණ්ඩ විසින් සම ඉක්මනින්ම වසයට යවනවා… ඒ කියන්නෙ ඉක්මනින්ම කට්ටිය නාකි පෙනුමක් එනවා…. ඒ මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙන කට්ටිය ගැන…

ඒ වගේමයි….

බැලූ බැලූ අත සුදු පාට දේවල් හැම තැනම… වාහන පවා එහෙමයි…. සුදු පාට වාහන වලට සමහරු කැමති වුනත් සමහරුන්ගෙ වැඩි ආසාවක් නෑ.. දූවිලි  වැදිලා කැත වෙන නිසා.. නමුත් බොහොමයක් වෑන් නම් සුදු පාටයි.. මේ දවස්වල සුදු පාට වෑන් එකක් දැක්කත් සමහරු බයේ වෙවුලනවා.. සමාජයෙ සුද්දවන්තයෝ වගේ ඉන්න කළු චරිත ටික දෙනෙක් මේ සුදු වෑන්වල ගිහින් තිබුණා… මේ සුදු වෑන්වල ගමන් කරපු බොහොම දෙනෙක් සමාජයෙන් අයින් කරන්න ඕන අය කියලයි තතු දත් අය පවසන්නෙ… නමුත් මේ ක්‍රමයට සමාජයෙන් මිනිස්සු අයින් කරන්න පුළුවන් ද ? මෙය යතාර්ථවාදීද ? නීති ගරුකද ?  ඒ වගේම මේ සුදු වෑන් සම්ප්‍රදායෙ අහිතකර පැත්ත වෙන්නෙ හැමෝම සුදු වෑන් පාවිච්චි කරන්න ගත්තොත් තමයි.. මතකනේ ඉස්සර ආණ්ඩුවෙනුයි රතු සහෝදරයොයි දෙගොල්ලො හරි හරියට මිණී මරණ කොට වටේ පිටේ අයත් ඒ ගිණුමටම බැර කරලා තරහකාරයො මරපු හැටි..

සුදු වෑන් එකේ නිවන් යන්න.....

මේ කතාව ලියන්න හිතුනෙ සුදු වෑන් කාරයො කට්ටියක් අහුවෙලා කියන ආරංචිය ආවම… යතාර්ථවාදියා ලියන නිහාල් අයියගේ ශෛලිය කොපි කිරීමක් වත්, ඒ වගේ වචනයක් අල්ලගෙන දිගට ලියන්න උත්සාහ කිරීමක් වත් නෙවෙයි මේක… ඒ සම්බන්ධව නිහාල් අයියා තරම් මගේ භාෂාව සියුම් නෑ….

2012 මාර්තු 10 : ආවොතින් නොගොසින් බැරිය II ෴ලොකු තාත්තාගේ නික්ම යාම෴


ඉස්සර නිවාඩු කාළෙ ආපු ගමන් පෙරුම් පුරන්නෙ අවිත්තාවෙ ලොකු අම්මලගෙ ගෙදර දුවන්න… ගෙදර තිබුණෙ ඉත්තෑපානෙ – ගලතර (අවිත්තාවට හැතැක්ම පහකටත් වැඩිය දුරින්) නමුත් මම ලොකු අම්මට අවිත්තාවෙ ලොකු අම්මා කියපු නිසා හැමෝම කිවුවෙ ලොකු අම්මලගෙ ගෙදර යනව නම් අවිත්තාවෙ යනවා කියලා. ලොකු අම්මගෙ ගෙදර තිබුණෙ පහුරකන්ද කියන සුන්දර කඳු ගැටයට ටිකක් මෑතින්…. උදේට නැගිට්ටාම පහුර කන්ද පේනවා… අවිත්තාවෙ ඉඳලා අළුත්ගම බස් එකේ යනකොට බහින තැන ලඟයි කියලා හිතා ගන්නෙ පහුර කන්ද පේන්න ගත්තාම….

ලොකු අම්මා විවාහ වෙලා හිටියේ ආයුර්වේද වෙද මහත්තයෙක් එක්ක… ඉස්සර ලොකු අම්මා හරි ලස්සනයි.. (වයසට ගියත් – දැනුත් එහෙමයි)  ඒ ආදර කතාවත් හරිම අපූරුයි… ගමේ ආයුර්වේද බෙහෙත් ශාලාවට අළුතෙන් පත් වෙලා ආපු වෙද මහත්තයා කෑම ගත්තෙ සීයගෙ කඩෙන්… සීයගෙ ලොකු දුව දැකපු මේ වෙද මහත්තයාට ඒ දූ ගැන සිතක් පහල වෙලා… ඒ කාලෙ ලොකු අම්මා ඉස්කෝලෙ යන කෙල්ල… ලොකු තාත්තා ලොකු අම්මට වැඩිය අවුරුදු 20 ක් වැඩිමල්… ඒක යෝජනාවක් ද ආදර කතාවක්ද කියන්න මම දන්නෙ නෑ… කොහොම නමුත් මේ වෙනස ඒ කාලෙ ඒ දෙන්නට බලපෑවෙ නැතුව ඇති.. (වෙන කාටවත් බලපෑවෙත් නෑ මම දන්න තරමට) මේ දෙන්නට දූවරු තුන්දෙනයි පුතයි.. ඒ අය අනිත් අයට ලොකු දූ, පොඩි දූ, ලොකු පුතා, සහ මැණිකේ වෙද්දි මට ලොකු අක්කා, සුදු අක්කා, අයියා, සහ මැණිකේ, වුනා. ඒ පොඩි අක්කා සුදුම සුදු නිසා වෙන්න ඇති. මට ඒ අය වගේම ඒ අයත් මට සහෝදර සහෝදරියො වුනේ අපි හැමදාම වගේ එකටම හැදී වැඩුන නිසා.. නිවාඩුවට ඒ අය ආච්චිලගෙ ගෙදර එනකල් අපි බලාගෙන ඉන්නවා. විශේෂයෙන් අවුරුදු නිවාඩුවට. ඉස්සර නම් හතර දෙනාම ලොකු අම්මා එක්ක ඇවිත් සති දෙකක් විතර ඉන්නවා… ලොකු අක්කයි සුදු අක්කයි ටික ටික ලොකු වෙනකොට ඒ දෙන්නට ඉස්කෝලෙ වැඩ වැඩි වෙනකොට ඒ දෙන්නගෙ නිවාඩුව එන ගමන් නැවතුනා.. නමුත් ඉස්සර අපි පස් දෙනයි සමන් මාමයි ගල්හිරේ කන්දෙ තේ කෑල්ලෙ තියෙන අඹ ගස්වල අඹ කඩන්න, ගොරකා ගස් වලට පොලු ගහලා ගොරකා කඩාගෙන එන්න බත් බැඳගෙන ගිහින් දවසම ගතකරලා එන දවස්, ඊලඟට දිවිතුර ඇලේ දෙපැත්තෙ තියෙන දං ගස් වල දං කඩාගෙන එන්න ගියපු හැටි  තවමත් මතකයේ තියෙන්නෙ අද ඊයෙ වගේ..

ඒ අය ලොකු වෙද්දි මට වැඩ අඩු කාළෙ (ඒ කියන්නෙ පහේ ශිෂ්‍යත්වයට ඉස්සර) මගේ නිවාඩු කාළෙ නැවතුම්පල වුනේ අවිත්තාවෙ ලොකු අම්මලගෙ ගෙදර… පාර අයිනෙම තිබුණ ගෙදරට උඩහින් තව ලොකු ගෙයක් හදන්න අත්තිවාරම දැම්මෙත් ඒ නිවාඩු කාලෙක එක දවසක.  ඊට අවුරුදු කීපයකට පස්සෙ ඒ ගෙදරට ගෙවැදුනෙත් නිවාඩු කාළෙ දවසක… ඉස්සර වැඩ කරපු ගලතර ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ පරණ ගෙදර ලොකු තාත්තගෙ බෙහෙත් ශාලාව වුනා… ඒ මම හිතන්නෙ 1984 විතර.. සමහර වෙලාවට මම ඒ බෙහෙත් ශාලාවෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන හැටි, බෙහෙත් හදන හැටි බලන් ඉන්නවා… මම පහේ ශිෂ්‍යත්වය ලියලා සම්පූර්ණ නිවාඩුවම ගත කළේ ලොකු අම්මලගේ ගෙදර… ඒ කාලෙ ලොකු අක්කයි සුදු අක්කයි උසස් පෙළ පටන් ගත් කාළෙ (මේ දෙන්නගෙ අතර වයස පරතරය අවුරුද්දක් පමණ ) ඉතින් මමත් ඒ අයගෙ පොත් කියවන්න ගත්තා.. මට සුදු අක්කා මුළින්ම ඉගැන්වූ දේවල් තමයි ශාඛ වලට කියන උද්භිද විද්‍යාත්මක නම්.. Centella asiatica කියන්නේ ගොටුකොළ වලට කියන විද්‍යාත්මක නාමය කියලා මුලින්ම ඉගෙන ගත්තෙ එහෙමයි. මා විද්‍යා අධ්‍යාපනය පැත්තට නැඹුරු වෙන්න ඒ දෙන්නගේ බලපෑම ලොකු පිටිවහලක් වුනා.

ලොකු තාත්තා බොහොම නිහඬ චරිතයක්, නමුත් නීති කාරයා, ඒ වගේම ලොකු මාන්නයක් තිබුණා.. පිරිසිදුවට අඳින්න පළඳින්න, නීතියට වැඩ කරන්න විතරක් නෙවෙයි කිසි කෙනෙකුට නැමෙන්නෙ නැති හොඳ පිට කොන්දක් ඇති මනුස්සයෙක් වුනත්, අපට බොහොම ආදරයක් දැක්වුවා.. ලඟට අරන් හුරතල් නොකරත් අපට ඉඳලා හිටලා විහිළුවක් කරන්න අමතක නොකරපු ලොකු තාත්තා ගමේ කාගෙත් ආදරයට පාත්‍ර වුනේ ඒ මිනිස්සුන්ට නොමිලේ හෝ බොහොම අඩු මුදලකට බෙහෙත් කරපු නිසා.. එක කාළයක් මට වැළඳිලා තිබුණ කැස්සක් මොන බෙහෙතකින් වත් හොඳ කරගන්න බැරුව හිටි වෙලාවක මාව එක්කරගෙන ගිහින් ආයුර්වේද බෙහෙත් දීලා සනීප කළේ ලොකු තාත්තා. හැම නිවාඩුවෙම ලොකු අම්මලාගෙ ගෙදර ගියාම මගේ කටු ඇඟ මහත් වෙන්න එක එක බෙහෙත් දෙන එකත් ලොකු තාත්තගෙ සිරිතක්.. හරියට මම එයාගෙ ඇඟ මහත්වෙන බෙහෙත් පර්යේෂණවල Guinea Pig කෙනෙක් වගේ (මම හිතන්නෙ ඒ පර්යේෂණය සාර්ථක වුනේ නැහැ – මගේ කටු බොඩිය තාම එහෙමමයි)…

ඒ විතරක් නෙවෙයි ලොකු තාත්තා හරි ගොවියා ඒ කාලෙ… එයා එක්ක කුඹුරට යන්නත් අපි හරිම කැමැත්තෙන් ඉන්නෙ… ඒ පැත්තෙ නම් වෙල්වල බහින එක මාරාන්තික වැඩක්… ලොකු මිනිස්සුත් බෙල්ල ගාවටම එරෙන ලොකු හැල් කුඹුරු තියෙන්නෙ ඒ පලාතෙ… ඒනිසා අපට කුඹුරට බහින්න නම් ඉඩ ලැබුණෙ නෑ… නමුත් නියරෙ වවලා තිබුණ උක් ගස් දෙක තුනකට වග කියන්න නම් අපි අමතක කළේ නැහැ… ඒ නිසාම අපි ලොකු තාත්තා එක්ක කුඹුරට යනවා.. ඒ වගේම ගෙදර වවලා තිබුණ පළතුරු අපිට ඕනම වෙලාවක කන්න නිදහස තිබුණා… සමහර දවස් වල ලොකු තාත්තයි මායි ගෙදර වත්තෙ තියෙන ආඬිචොක්කා අල ගලවලා සුද්ද කරලා ලොකු අම්මට දෙනවා තම්බන්න…පාඩම් කිරිල්ල අනිවාර්යය වුනත්, මේ තැන් වලට යන්න ඕන කියලා බල කිරීමක් ලොකු තාත්තා තමන්ගෙ දරුවොන්ට කළේ නැහැ… ලොකු අක්කත් සුදු අක්කත් දෙන්නම ගුරු වෘත්තිය තෝර ගනිද්දි ලොකු තාත්තා සංතෝෂ වුනා… අයියා විශ්ව විද්‍යාලයට තේරුණ දවසෙ ලොකු තාත්තා හිටියෙ රටක් රාජ්‍යයක් දිනපු ගානට… අයියා ආණ්ඩුවේ ලොකු තැනක රාජකාරි කරනවා කියන ආඩමබරය ලොකු තාත්තට හොඳින් තිබුණා.. තමන්ගෙ දරුවො දීග යනකොට තමන්ට ඇතිවන පාළුව මොකක්ද කියලා ලොකු තාත්තා දැන ගෙන ඉන්න ඇති.. ඒත් කවුරුවත් ඒක දන්නෙ නැතුව ඇති.. මොකද තමන්ගෙ හැඟීම් වැඩිය කාත් එක්කවත් කියපු පුද්ගලයෙක් නොවෙයි ලොකු තාත්තා… ලොකු අම්මා එක්ක වුනත් වැඩිපුර කතා බහක් නොතිබුණේ ආදරයට වඩා ලොකු අම්මා ලොකු තාත්තා ගැන තිබුණ ගෞරවය නිසාමද මන්දා.. ලොකු අම්මා ලොකු තාත්තට කතා කළේ වෙද මහත්තයා කියලාම තමයි..ලොකු අම්මාට ලොකු තාත්තා කොහොම කතා කළාද කියලා කියන්න මට මතකයක් නෑ. ලොකු තාත්තාට කෑම දෙන්න ඕන මේසයට ලෑස්ති කරලයි.. ඉතින් අපි හැමෝමත් මේසය වටේ ඉඳගෙනයි කෑම කන්න ඕන.. දවසකට පලා මැල්ලුමක් මාළු පිණි හතරක් පහක් වරදින්නෙම නෑ…. ඒ සියල්ලම වගේ තමන්ගෙ වත්තෙන්ම සපයා ගන්නට ලොකු තාත්තා ලොකු වෙහෙසක් දැරුවා..

අපි ඉඳලා හිටලා එහේ ගියාම හරිම සන්තෝසෙන් ඉන්න ලොකු තාත්තා ටික ටික වයසට ගියා.. දරුවොන්ගෙ දරුවො ගේ පුරා දුව ඇවිදිනකොට ඒ දරුවො එක්ක සෙල්ලම් කරන ගමන්ම ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට බර දීගෙන ඒ සියල්ල දිහා උපේක්‍ෂාවෙන් ලොකු තාත්තා බලාගෙන හිටියා.. මම අවසාන වතාවට ලොකු තාත්තා දැක්කෙ 2007 දි.. ඒ කාලෙ නම් බොහොම සනීපෙට හිටියා…. ඒ අතරවාරයෙදි තමයි ලොකු තාත්තා පුරස්ථිත ග්‍රන්ථියේ (ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ) ශල්‍යකර්මයකට භාජනය කළේ… එය සාර්ථක වුනත් පසුව නැවත නැවතත් ඒ ආබාධය මතු වෙන්න ගත්ත නිසාම ලොකු තාත්තා විටින් විට අසනීප වුනා.. ඒ නිසාම තරමක් අබල දුබල වුනා… දෙතුන් වතාවක්ම හෘදයේ විසංකූලතා මතු වුනත් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් නිසා ලොකු තාත්තා සුව වුනා..

නමුත් ගිය සතියේ අම්මාට කතාකළ පසු දැනගන්න ලැබුණෙ ලොකු තාත්තාගෙ තත්ත්‍වය තරමක් අසතුටුදායක බවයි… නමුත් මා පැවසුවෙත් දැන් දෙතුන් වතාවක්ම එසේ වූ නිසා මේ වතාවෙත් ඔහුට හොඳ වෙයි කියායි… අද උදේ 3.30 ට නාද වන දුරකථනය අතට ගනිද්දි හිතට ඇතිවුනේ අමුතුම හැඟීමක්… ලංකාවෙන් මේ වෙලාවට එන ඇමතුම් ගේන්නේ හොඳ පණිවුඩ නොවන බව දන්න නිසා… දුරකථනයේ අනෙක් පස උන්නේ මල්ලි…

“අයියෙ…. ලොකු තාත්තා නැති වුනා….”

“මම දැනගත්තා”

“ඒ කොහොමද ? “

“ඊයෙ අම්මට කතා කළාම අම්මා කිවුවා ලොකු තාත්තට අමාරුයි කියලා”

ඒ ටික කියලා ඉවර කරනකොට අනික් පැත්තෙ රිසීවරය තියලත් ඉවරයි… ඒ එයාගෙ හැටි… එයා එක්ක දිගට කතාවක් කරන්න බොහොම අමාරුයි…

ලොකු තාත්තා මහ ලොකුවට පින් දහම් කරනවා කියලා යමක් නොකෙරුවත්, සුව කරපු රෝගීන් ගණනම ඇති පිං ලබන්න… මිනිස්සු මොනවා කිවුවත් මොනවා කෙරුවත් කවදාවත් වැඩ වර්ජනයක් නොකර තමන් දන්න පමණින් බෙහෙත් දීලා ඒ මිනිස්සු සුව කරපු ලොකු තාත්තා මේ ආත්මෙ නිවන් දකින්නෙ නැති බව දන්න නිසාම මම ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙ හොඳ තැනකට යන්න කියලා විතරයි……. ලොකු තාත්තා අයෙත් දකින්න නොලැබීම ගැන තියෙන්නේ දුකක්.. ඒ වුනත් ලොකු තාත්තා හඬ නඟා හිනාවෙන හැටි… ඒ හිනාවෙ සද්දෙ තවමත් ඇහෙනවා වගේ…….. ජීවිතය අනිත්‍ය බව දන්න නිසාත් දුක් වීමෙන් පළක් නැති බව දන්න නිසාත් කොච්චර වැඩ තිබුණත් ලොකු තාත්තාගේ අවුරුදු 89 ක ජීවිතය ගැන මා දන්න ටික මෙහෙම ලියන්න තීරණය කළා… දැන් ලොකු අම්මා අර මහා ගේ සාගරේ තනිවම කොහොම ඉඳීවිද කියන්න මම නම් දන්නෙ නැහැ.. ලොකු අක්කාත්, අයියාත් මැණිකෙත් ඉන්නේ කොළඹ.. සුදු අක්කා නම් ඉන්නෙ මතුගම, ඒත් එයාලට ගලතර මහ ගෙදර ඇවිත් පදිංචි වෙන්න බැහැ.. දරුවො යන්නෙ මතුගම පාසල් වලට.. සුදු අක්කාගේ සැමියා වන මහින්ද අයියගේ ව්‍යාපාරය තියෙන්නෙත් මතුගම… දැන් ලොකු අම්මා තනි වේවි… ඒත් එයාලගෙ දරුවො ලොකු අම්මව තනියම තියන්න තරම් දරුණු අය නොවන නිසා හොඳ යමක් කරාවි….

සමහර වෙලාවට හිතෙනවා මේ වගේ දේකට වත් ඒ අය ගාව ඉන්න බැරි අපි කොච්චර අසරණද කියලා…..

2012 මාර්තු 04 : මෙහෙමත් කාලකන්නි රටක්….


උනුත් එකයි මුනුත් එකයි... අපේ ගොන්නු අපිටම තමයි හොඳ

එක දිගට වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන නිසා ලියන්න වුනේම නැහැ… නමුත් මේ ප්‍රවෘත්තිය දැක්කාම නං ලංකාවෙ පරිපාලනයෙ ඉන්නෙ මේ ලෝකෙ වැඩකට නැති ගොන්නු ටිකක් කියලා හොඳටම පේනවා.. මුන්ට අපි සලකන්න ඕන මොන විදියටද කියලා ඔබම හිතන්න…

දඹුල්ලෙ ආර්ථීක මධ්‍යස්ථානයේ වම්බටු, තක්කාලි, බීට් රෑට්, මිරිස්, ගෝවා සහ පිපිඥ්ඥා යන භෝගවල පළදාවේ අතිරික්තයක් ඇති නිසා හොඳ මිලකට විකුණන්නට බැරි නිසා විනාශ කරලාලු… ඒ ප්‍රවෘත්තිය මෙතැනින් බලන්න...

අපට අතිරික්ත එලවලු සුරක්‍ෂිතව කල් තබා ගන්නට හෝ වෙනත් මාර්ගයකින් ඵලදායී ලෙස පරිභෝජනයට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? මේවගේ විනාශ කරන්නේ ? මේ තීරණ ගන්න අතිරික්ත නිලධාරීන් අපට විනාශ කරන්න බැරිද ? උන් ගෙන් වැඩකුත් නෑනෙ….

ඵලදාව වැඩි වන විට මිල පහළ යන බව හැම දෙනාම දන්න කරුණක්, නමුත් ඒ වැඩි පළදාව එක්කෝ ඵලදාව නැති කාලයක නිකුත් කිරීමට කල් තබා ගැනීම, වෙනත් මිල එකතු කළ (Value Added) යමක් තැනීම (උදාහරණ වශයෙන් ජෑම් සෑදීමට භාවිතා කිරීම) වැනි දෙයකට යොදා ගන්න කවුරුවත් කල්පනා කළේ නැද්ද ?

අනේ අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගොං රැලත් අපට කිසි කමකට නැති නිසා මේ වගේ දෙයක් උන් ටිකටත් කරන්න කවුරුවත් හිතුවෙ නැද්ද දන්නෙ නෑ නේද ?

ඒ විතරක් නෙවෙයි, අර නිලධාරීන් ගස් බැඳපු මැරයගෙ පලාතෙ අන්න ආයෙම ඩෙංගු හිස ඔසවලා ලු.. කැළණියෙ විතරක් දැනට ඩෙංගු රෝගීන් 12 කට අධික සංඛ්‍යාවක් හමු වෙලාලු.. මගේ ලඟම ඥාතියෙකුත් ඩෙංගු හැදිලා දැන් සුව වේගෙන එනවා… මේ වගේ පඩ ශෝ දාගෙන ඉන්න එවුන්ට ඩෙංගු හැදෙන්නෙ නැත්තෙ මොකද මන්දා…

ආණ්ඩුව ආරක්‍ෂා කරන්න පෙලපාලි ගියාම ඇති….