2012 මාර්තු 10 : ආවොතින් නොගොසින් බැරිය II ෴ලොකු තාත්තාගේ නික්ම යාම෴


ඉස්සර නිවාඩු කාළෙ ආපු ගමන් පෙරුම් පුරන්නෙ අවිත්තාවෙ ලොකු අම්මලගෙ ගෙදර දුවන්න… ගෙදර තිබුණෙ ඉත්තෑපානෙ – ගලතර (අවිත්තාවට හැතැක්ම පහකටත් වැඩිය දුරින්) නමුත් මම ලොකු අම්මට අවිත්තාවෙ ලොකු අම්මා කියපු නිසා හැමෝම කිවුවෙ ලොකු අම්මලගෙ ගෙදර යනව නම් අවිත්තාවෙ යනවා කියලා. ලොකු අම්මගෙ ගෙදර තිබුණෙ පහුරකන්ද කියන සුන්දර කඳු ගැටයට ටිකක් මෑතින්…. උදේට නැගිට්ටාම පහුර කන්ද පේනවා… අවිත්තාවෙ ඉඳලා අළුත්ගම බස් එකේ යනකොට බහින තැන ලඟයි කියලා හිතා ගන්නෙ පහුර කන්ද පේන්න ගත්තාම….

ලොකු අම්මා විවාහ වෙලා හිටියේ ආයුර්වේද වෙද මහත්තයෙක් එක්ක… ඉස්සර ලොකු අම්මා හරි ලස්සනයි.. (වයසට ගියත් – දැනුත් එහෙමයි)  ඒ ආදර කතාවත් හරිම අපූරුයි… ගමේ ආයුර්වේද බෙහෙත් ශාලාවට අළුතෙන් පත් වෙලා ආපු වෙද මහත්තයා කෑම ගත්තෙ සීයගෙ කඩෙන්… සීයගෙ ලොකු දුව දැකපු මේ වෙද මහත්තයාට ඒ දූ ගැන සිතක් පහල වෙලා… ඒ කාලෙ ලොකු අම්මා ඉස්කෝලෙ යන කෙල්ල… ලොකු තාත්තා ලොකු අම්මට වැඩිය අවුරුදු 20 ක් වැඩිමල්… ඒක යෝජනාවක් ද ආදර කතාවක්ද කියන්න මම දන්නෙ නෑ… කොහොම නමුත් මේ වෙනස ඒ කාලෙ ඒ දෙන්නට බලපෑවෙ නැතුව ඇති.. (වෙන කාටවත් බලපෑවෙත් නෑ මම දන්න තරමට) මේ දෙන්නට දූවරු තුන්දෙනයි පුතයි.. ඒ අය අනිත් අයට ලොකු දූ, පොඩි දූ, ලොකු පුතා, සහ මැණිකේ වෙද්දි මට ලොකු අක්කා, සුදු අක්කා, අයියා, සහ මැණිකේ, වුනා. ඒ පොඩි අක්කා සුදුම සුදු නිසා වෙන්න ඇති. මට ඒ අය වගේම ඒ අයත් මට සහෝදර සහෝදරියො වුනේ අපි හැමදාම වගේ එකටම හැදී වැඩුන නිසා.. නිවාඩුවට ඒ අය ආච්චිලගෙ ගෙදර එනකල් අපි බලාගෙන ඉන්නවා. විශේෂයෙන් අවුරුදු නිවාඩුවට. ඉස්සර නම් හතර දෙනාම ලොකු අම්මා එක්ක ඇවිත් සති දෙකක් විතර ඉන්නවා… ලොකු අක්කයි සුදු අක්කයි ටික ටික ලොකු වෙනකොට ඒ දෙන්නට ඉස්කෝලෙ වැඩ වැඩි වෙනකොට ඒ දෙන්නගෙ නිවාඩුව එන ගමන් නැවතුනා.. නමුත් ඉස්සර අපි පස් දෙනයි සමන් මාමයි ගල්හිරේ කන්දෙ තේ කෑල්ලෙ තියෙන අඹ ගස්වල අඹ කඩන්න, ගොරකා ගස් වලට පොලු ගහලා ගොරකා කඩාගෙන එන්න බත් බැඳගෙන ගිහින් දවසම ගතකරලා එන දවස්, ඊලඟට දිවිතුර ඇලේ දෙපැත්තෙ තියෙන දං ගස් වල දං කඩාගෙන එන්න ගියපු හැටි  තවමත් මතකයේ තියෙන්නෙ අද ඊයෙ වගේ..

ඒ අය ලොකු වෙද්දි මට වැඩ අඩු කාළෙ (ඒ කියන්නෙ පහේ ශිෂ්‍යත්වයට ඉස්සර) මගේ නිවාඩු කාළෙ නැවතුම්පල වුනේ අවිත්තාවෙ ලොකු අම්මලගෙ ගෙදර… පාර අයිනෙම තිබුණ ගෙදරට උඩහින් තව ලොකු ගෙයක් හදන්න අත්තිවාරම දැම්මෙත් ඒ නිවාඩු කාලෙක එක දවසක.  ඊට අවුරුදු කීපයකට පස්සෙ ඒ ගෙදරට ගෙවැදුනෙත් නිවාඩු කාළෙ දවසක… ඉස්සර වැඩ කරපු ගලතර ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ පරණ ගෙදර ලොකු තාත්තගෙ බෙහෙත් ශාලාව වුනා… ඒ මම හිතන්නෙ 1984 විතර.. සමහර වෙලාවට මම ඒ බෙහෙත් ශාලාවෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන හැටි, බෙහෙත් හදන හැටි බලන් ඉන්නවා… මම පහේ ශිෂ්‍යත්වය ලියලා සම්පූර්ණ නිවාඩුවම ගත කළේ ලොකු අම්මලගේ ගෙදර… ඒ කාලෙ ලොකු අක්කයි සුදු අක්කයි උසස් පෙළ පටන් ගත් කාළෙ (මේ දෙන්නගෙ අතර වයස පරතරය අවුරුද්දක් පමණ ) ඉතින් මමත් ඒ අයගෙ පොත් කියවන්න ගත්තා.. මට සුදු අක්කා මුළින්ම ඉගැන්වූ දේවල් තමයි ශාඛ වලට කියන උද්භිද විද්‍යාත්මක නම්.. Centella asiatica කියන්නේ ගොටුකොළ වලට කියන විද්‍යාත්මක නාමය කියලා මුලින්ම ඉගෙන ගත්තෙ එහෙමයි. මා විද්‍යා අධ්‍යාපනය පැත්තට නැඹුරු වෙන්න ඒ දෙන්නගේ බලපෑම ලොකු පිටිවහලක් වුනා.

ලොකු තාත්තා බොහොම නිහඬ චරිතයක්, නමුත් නීති කාරයා, ඒ වගේම ලොකු මාන්නයක් තිබුණා.. පිරිසිදුවට අඳින්න පළඳින්න, නීතියට වැඩ කරන්න විතරක් නෙවෙයි කිසි කෙනෙකුට නැමෙන්නෙ නැති හොඳ පිට කොන්දක් ඇති මනුස්සයෙක් වුනත්, අපට බොහොම ආදරයක් දැක්වුවා.. ලඟට අරන් හුරතල් නොකරත් අපට ඉඳලා හිටලා විහිළුවක් කරන්න අමතක නොකරපු ලොකු තාත්තා ගමේ කාගෙත් ආදරයට පාත්‍ර වුනේ ඒ මිනිස්සුන්ට නොමිලේ හෝ බොහොම අඩු මුදලකට බෙහෙත් කරපු නිසා.. එක කාළයක් මට වැළඳිලා තිබුණ කැස්සක් මොන බෙහෙතකින් වත් හොඳ කරගන්න බැරුව හිටි වෙලාවක මාව එක්කරගෙන ගිහින් ආයුර්වේද බෙහෙත් දීලා සනීප කළේ ලොකු තාත්තා. හැම නිවාඩුවෙම ලොකු අම්මලාගෙ ගෙදර ගියාම මගේ කටු ඇඟ මහත් වෙන්න එක එක බෙහෙත් දෙන එකත් ලොකු තාත්තගෙ සිරිතක්.. හරියට මම එයාගෙ ඇඟ මහත්වෙන බෙහෙත් පර්යේෂණවල Guinea Pig කෙනෙක් වගේ (මම හිතන්නෙ ඒ පර්යේෂණය සාර්ථක වුනේ නැහැ – මගේ කටු බොඩිය තාම එහෙමමයි)…

ඒ විතරක් නෙවෙයි ලොකු තාත්තා හරි ගොවියා ඒ කාලෙ… එයා එක්ක කුඹුරට යන්නත් අපි හරිම කැමැත්තෙන් ඉන්නෙ… ඒ පැත්තෙ නම් වෙල්වල බහින එක මාරාන්තික වැඩක්… ලොකු මිනිස්සුත් බෙල්ල ගාවටම එරෙන ලොකු හැල් කුඹුරු තියෙන්නෙ ඒ පලාතෙ… ඒනිසා අපට කුඹුරට බහින්න නම් ඉඩ ලැබුණෙ නෑ… නමුත් නියරෙ වවලා තිබුණ උක් ගස් දෙක තුනකට වග කියන්න නම් අපි අමතක කළේ නැහැ… ඒ නිසාම අපි ලොකු තාත්තා එක්ක කුඹුරට යනවා.. ඒ වගේම ගෙදර වවලා තිබුණ පළතුරු අපිට ඕනම වෙලාවක කන්න නිදහස තිබුණා… සමහර දවස් වල ලොකු තාත්තයි මායි ගෙදර වත්තෙ තියෙන ආඬිචොක්කා අල ගලවලා සුද්ද කරලා ලොකු අම්මට දෙනවා තම්බන්න…පාඩම් කිරිල්ල අනිවාර්යය වුනත්, මේ තැන් වලට යන්න ඕන කියලා බල කිරීමක් ලොකු තාත්තා තමන්ගෙ දරුවොන්ට කළේ නැහැ… ලොකු අක්කත් සුදු අක්කත් දෙන්නම ගුරු වෘත්තිය තෝර ගනිද්දි ලොකු තාත්තා සංතෝෂ වුනා… අයියා විශ්ව විද්‍යාලයට තේරුණ දවසෙ ලොකු තාත්තා හිටියෙ රටක් රාජ්‍යයක් දිනපු ගානට… අයියා ආණ්ඩුවේ ලොකු තැනක රාජකාරි කරනවා කියන ආඩමබරය ලොකු තාත්තට හොඳින් තිබුණා.. තමන්ගෙ දරුවො දීග යනකොට තමන්ට ඇතිවන පාළුව මොකක්ද කියලා ලොකු තාත්තා දැන ගෙන ඉන්න ඇති.. ඒත් කවුරුවත් ඒක දන්නෙ නැතුව ඇති.. මොකද තමන්ගෙ හැඟීම් වැඩිය කාත් එක්කවත් කියපු පුද්ගලයෙක් නොවෙයි ලොකු තාත්තා… ලොකු අම්මා එක්ක වුනත් වැඩිපුර කතා බහක් නොතිබුණේ ආදරයට වඩා ලොකු අම්මා ලොකු තාත්තා ගැන තිබුණ ගෞරවය නිසාමද මන්දා.. ලොකු අම්මා ලොකු තාත්තට කතා කළේ වෙද මහත්තයා කියලාම තමයි..ලොකු අම්මාට ලොකු තාත්තා කොහොම කතා කළාද කියලා කියන්න මට මතකයක් නෑ. ලොකු තාත්තාට කෑම දෙන්න ඕන මේසයට ලෑස්ති කරලයි.. ඉතින් අපි හැමෝමත් මේසය වටේ ඉඳගෙනයි කෑම කන්න ඕන.. දවසකට පලා මැල්ලුමක් මාළු පිණි හතරක් පහක් වරදින්නෙම නෑ…. ඒ සියල්ලම වගේ තමන්ගෙ වත්තෙන්ම සපයා ගන්නට ලොකු තාත්තා ලොකු වෙහෙසක් දැරුවා..

අපි ඉඳලා හිටලා එහේ ගියාම හරිම සන්තෝසෙන් ඉන්න ලොකු තාත්තා ටික ටික වයසට ගියා.. දරුවොන්ගෙ දරුවො ගේ පුරා දුව ඇවිදිනකොට ඒ දරුවො එක්ක සෙල්ලම් කරන ගමන්ම ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට බර දීගෙන ඒ සියල්ල දිහා උපේක්‍ෂාවෙන් ලොකු තාත්තා බලාගෙන හිටියා.. මම අවසාන වතාවට ලොකු තාත්තා දැක්කෙ 2007 දි.. ඒ කාලෙ නම් බොහොම සනීපෙට හිටියා…. ඒ අතරවාරයෙදි තමයි ලොකු තාත්තා පුරස්ථිත ග්‍රන්ථියේ (ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ) ශල්‍යකර්මයකට භාජනය කළේ… එය සාර්ථක වුනත් පසුව නැවත නැවතත් ඒ ආබාධය මතු වෙන්න ගත්ත නිසාම ලොකු තාත්තා විටින් විට අසනීප වුනා.. ඒ නිසාම තරමක් අබල දුබල වුනා… දෙතුන් වතාවක්ම හෘදයේ විසංකූලතා මතු වුනත් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් නිසා ලොකු තාත්තා සුව වුනා..

නමුත් ගිය සතියේ අම්මාට කතාකළ පසු දැනගන්න ලැබුණෙ ලොකු තාත්තාගෙ තත්ත්‍වය තරමක් අසතුටුදායක බවයි… නමුත් මා පැවසුවෙත් දැන් දෙතුන් වතාවක්ම එසේ වූ නිසා මේ වතාවෙත් ඔහුට හොඳ වෙයි කියායි… අද උදේ 3.30 ට නාද වන දුරකථනය අතට ගනිද්දි හිතට ඇතිවුනේ අමුතුම හැඟීමක්… ලංකාවෙන් මේ වෙලාවට එන ඇමතුම් ගේන්නේ හොඳ පණිවුඩ නොවන බව දන්න නිසා… දුරකථනයේ අනෙක් පස උන්නේ මල්ලි…

“අයියෙ…. ලොකු තාත්තා නැති වුනා….”

“මම දැනගත්තා”

“ඒ කොහොමද ? “

“ඊයෙ අම්මට කතා කළාම අම්මා කිවුවා ලොකු තාත්තට අමාරුයි කියලා”

ඒ ටික කියලා ඉවර කරනකොට අනික් පැත්තෙ රිසීවරය තියලත් ඉවරයි… ඒ එයාගෙ හැටි… එයා එක්ක දිගට කතාවක් කරන්න බොහොම අමාරුයි…

ලොකු තාත්තා මහ ලොකුවට පින් දහම් කරනවා කියලා යමක් නොකෙරුවත්, සුව කරපු රෝගීන් ගණනම ඇති පිං ලබන්න… මිනිස්සු මොනවා කිවුවත් මොනවා කෙරුවත් කවදාවත් වැඩ වර්ජනයක් නොකර තමන් දන්න පමණින් බෙහෙත් දීලා ඒ මිනිස්සු සුව කරපු ලොකු තාත්තා මේ ආත්මෙ නිවන් දකින්නෙ නැති බව දන්න නිසාම මම ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙ හොඳ තැනකට යන්න කියලා විතරයි……. ලොකු තාත්තා අයෙත් දකින්න නොලැබීම ගැන තියෙන්නේ දුකක්.. ඒ වුනත් ලොකු තාත්තා හඬ නඟා හිනාවෙන හැටි… ඒ හිනාවෙ සද්දෙ තවමත් ඇහෙනවා වගේ…….. ජීවිතය අනිත්‍ය බව දන්න නිසාත් දුක් වීමෙන් පළක් නැති බව දන්න නිසාත් කොච්චර වැඩ තිබුණත් ලොකු තාත්තාගේ අවුරුදු 89 ක ජීවිතය ගැන මා දන්න ටික මෙහෙම ලියන්න තීරණය කළා… දැන් ලොකු අම්මා අර මහා ගේ සාගරේ තනිවම කොහොම ඉඳීවිද කියන්න මම නම් දන්නෙ නැහැ.. ලොකු අක්කාත්, අයියාත් මැණිකෙත් ඉන්නේ කොළඹ.. සුදු අක්කා නම් ඉන්නෙ මතුගම, ඒත් එයාලට ගලතර මහ ගෙදර ඇවිත් පදිංචි වෙන්න බැහැ.. දරුවො යන්නෙ මතුගම පාසල් වලට.. සුදු අක්කාගේ සැමියා වන මහින්ද අයියගේ ව්‍යාපාරය තියෙන්නෙත් මතුගම… දැන් ලොකු අම්මා තනි වේවි… ඒත් එයාලගෙ දරුවො ලොකු අම්මව තනියම තියන්න තරම් දරුණු අය නොවන නිසා හොඳ යමක් කරාවි….

සමහර වෙලාවට හිතෙනවා මේ වගේ දේකට වත් ඒ අය ගාව ඉන්න බැරි අපි කොච්චර අසරණද කියලා…..

Advertisements

Posted on මාර්තු 9, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. බූඩිත් ඇලෝගේ ලොකු තාත්තට නිවන් සුව ප්‍රාර්තනා කරනවා !

    //මිනිස්සු මොනවා කිවුවත් මොනවා කෙරුවත් කවදාවත් වැඩ වර්ජනයක් නොකර තමන් දන්න පමණින් බෙහෙත් දීලා ඒ මිනිස්සු සුව කරපු ලොකු තාත්තා// සල්ලි බලාගෙන නෙමේ නෙ වෙදකම් කරන්නේ ඉතින් ඒකෙන් ගොඩාක් පිං කරගන්න පුලුවන් තමා. මේක දැන් කාලේ ඉන්න මදුරු දොස්තරලට හොද පාඩමක් !

  2. ලොකු තාත්තට නිවන් සුව !!!!

  3. උපන්නොත් මැරෙන්න එපාය. නමුත් ජීවත් වෙන අයට තමයි දුක. විශේෂයෙන් ළොකු අම්මට. නමුත් ජීවීතේ අවබෝධ කරගත් කෙනෙක් නම්. මුදල් හදල් තීයෙන්වනම්. මේක සාමාන්‍ය දෙයක්.

  4. සංවේදී සටහනක් ඇල්….අපූරුවට ගලාගෙන යන හැඟීම්බර ලියවිල්ලක්….අනිවාර්යයෙන්ම මෙහෙම අපූරු නිර්මාණ බිහිවෙන්නෙ හදවත පතුලෙන්ම නැඟෙන අව්‍යාජ සිතුවිලි අකුරු කරන කොටයි,

    මගෙත් සමීප යාලුවෙක් ඉන්නව අවිත්තාවෙ…අවිත්තාව ගැන කියනකොට ඔන්න මතක් උනා….

    ලොකු තාත්ත වගෙ මිනිස්සු මිහිතලෙන් වඳ වී යන සත්ව කොට්ඨාශයක්…. Kind of an endangered species

  5. හරිම කණගාටුයි ඇල්. විශේෂයෙන්ම ලෝකේ අනිත් පැත්තේ ඉඳගෙන මේ වගේ වෙලාවක වත් ලේසියෙන් යාගන්න බැරි වෙනකොට ඇතිවෙන අසරණ කම කියන්න වචන නැහැ. මෙහෙ ඉඳගෙන පුළුවන් දෙයක් කරන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඇල් ඒ දෙයින් ලොකු කොටසක් මේ ලිපිය ලිවිල්ලෙන්ම කරලා තියනවා. ලොකු තාත්තට නිවන් සුව!

  6. ලොකු තාත්තාට නිවන් සුව පතමි! 😦

  7. Alkemiyage lokuthaththata Niwan suwa labewa. ow loke anik paththe indagena katahari vipathak dukak maranayak unamaya ganna bari unama hithata danenne loku dukak. mage loku nandamma, e keewe mage mahaththayage amma ledwela iddi call kalama ahawwa puthe umba enawa neda mawa balanna kiya eeta tika dawasakata passe unda mala kiyanna bari tharam dukak awa

  8. ලොකු තාත්තට නිවන් සුව ලැබේවා!!!

  9. ඒ ටික කියලා ඉවර කරනකොට අනික් පැත්තෙ රිසීවරය තියලත් ඉවරයි… ඒ එයාගෙ හැටි… එයා එක්ක දිගට කතාවක් කරන්න බොහොම අමාරුයි…
    ලොකු තාත්තා අයෙත් දකින්න නොලැබීම ගැන තියෙන්නේ දුකක්.. ඒ වුනත් ලොකු තාත්තා හඬ නඟා හිනාවෙන හැටි… ඒ හිනාවෙ සද්දෙ තවමත් ඇහෙනවා වගේ……..
    ලොකු තාත්තා ලොකු අම්මට කතා කරන්නෙ නෝනා කියලා නේද???ඇත්තටම අද දවස නම් ජීවිතේට ලොකු දුකක් දැනුනු දවසක්…දැන් අපිට ලොකු තාත්තලා දෙන්නම නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: