Daily Archives: මාර්තු 13, 2012

2011 මාර්තු 14 : අනේ සුදූ……………… වෑන් එකේ යන්න එන්න………..


සුදු පාට හැමදාමත් පියකරුය…. යමකට සුදු පාට ලැබී ඇත්තේ පතිත වන සියළුම ආලෝක කිරණ පරාවර්තනය වන නිසා ය කියා හතේ පන්තියේ විද්‍යාව ඉගැන්වූ යෝධ රාලහාමි සර් කියා දුන්නා මතකය (ඒ සර් හරියට ඉස්සර මිහිර පත්තරේ චිත්‍ර කතාවක හිටපු යෝද රාලහාමි වගේ නිසා සර්ට කොල්ලො කිවුවෙ යෝද රාලහාමි කියලා – සර්ගෙ නම නං දැන් මතක නෑ ) ඉස්සර අපි ඉස්කෝලෙ යන්නෙ සුදු කලිසමයි සුදු කමිසෙයි ඇඳගෙන. හැමදාම සෙල්ලං කරලා ගෙදර එනකොට සුදු ඇඳුම් දුඹුරු පාට වෙලා එන්නෙ.. ඉස්සර අම්ම නං කියන්නෙ අපේ චරිතෙත් මෙන්න මේ වගේ උදේට ඇඳං යන ඇඳුම්  වගේ පිරිසිදු වෙන්න ඕන කියලයි.. ඉඳලා හිටලා මඩ ගා ගත්තත් මගේ චරිතෙ නොමැකෙන කහට පැල්ලං හදාගත්තෙ නැත්තෙ අම්මගෙයි තාත්තගෙයි වටේ පිටේ හිටපු හැමෝගෙම බැල්ම මට වැටිලා තිබුණ නිසා.. නැත්තං මගේ හැටියට මකන්න බැරි කහට පැල්ලං බොහොමයක් චගේ සුදු චරිතෙට වැදෙන්න ඉඩ තිබුණා..

සුද්දවන්තයොන්ගෙ වැඩ

කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙන කොටලු.. හංසයා නම් හැමදාම සුදුයි…. මේ දවස්වල රස්නෙ වේගෙන එන නිසා අපේ සරසවියෙ නං හංස පැටවු උඩ පනිනවා… සමහර වෙලාවට හිර වෙලා ඉන්න බෑ කියනවා වගේ සුදු හංස පැටවු එළියට පනින්න දඟලනවා…. ආසයි බලං ඉන්නත්….  කිරි කොකා වගේ හිටියට මගේ හැබෑ ගතිය පේන්නෙත් මාත් එක්ක වැඩ කරනකොට… ඇල්කෙමිච්චි නං දැං දන්නවා මම මේ කියාගෙන පෙන්නගෙන ඉන්න තරං සුදනෙක් නෙවයි කියලා… ඒ නිසාම උන්දෑ මාව හදන්න යන එක නවත්තලා තියෙන්නෙ.. ඒ වුනාට මගේ නෑදෑයො නං හිතං ඉන්නෙ මම හරිම සුද්දවන්තයෙක් කියලා. (දන්න සමහරු ඉන්නවා – කට වහගෙන). හරියට අපේ දේශපාලනඥයො තම තමන් ගැන හිතන් ඉන්නවා වගේ. උන් ඔක්කොම සුදට සුදේ පිටට පේන්න බැබලි බැබලි හිටියට උන්ගෙ ඇතුලාන්තය හරිම කළුයි.. ලස්සනට සුදට ඇඳගෙන හිටපු ප්‍රේමදාස මහත්තයයි, කොණ්ඩෙ පවා සුදට පාට කරගෙන හිටපු ඒ මහත්තයගේ ආරක්‍ෂක ඇමති තුමායි එකතු වෙලා කොරපු සුද්ද කිරිල්ල කට්ටියටම මතක ඇතිනෙ…ඉස්සර කාලෙ සමාජයෙ වැදගත් මිනිස්සු සුදුම සුදු ජාතික ඇඳුම අඳිනවා වැදගත් අවස්ථාවකදි… ඒ මිනිස්සු ඇත්තෙන්ම වැදගත්… ඉස්කෝලෙ මහත්වරු, වෙද මහත්වරු, ආදී පරණ නමුත් පිදිය යුතු උදවිය මේ ඇඳුම උජාරුවට ඇඳන් යනවා. ඒ වගේම දැන් නම් ඒ ඇඳුම උජාරුවට ඇඳන් යන කට්ටිය ගැන කතා කරන්නත් එපා වෙනවා… ඒ නිසා කතා නොකර ඉන්නවා.

සුදු කියන්නේ පිවිතුරු බවේ පාට කියලයි බොහෝ දෙනා කියන්නෙ. ඒක නිසාම තමයි මංගල රාත්‍රියට මනාලියගෙ පිවිතුරු බව බලන්න කියලා මනාලියගෙ ඇඳුම් බෑග් එකට සුදු රෙද්දක් දාන්නෙ (අනේ මන්දා ඕක කොහොම බලනවද කියලා සුදු රෙද්දෙන්). මංගල්‍යයකදි මෙන්ම පන්සලට, බුදුන්ට පූජා කරන මල් සුදු මල් වෙන්න ඕනත්, අවමංගල්‍යයකදි සුදු පැහැයෙන් සරසන්නෙත්, මේ පිවිතුරු බව හැම තැනකම තිබෙන්න ඕන නිසා වෙන්න ඇති.  ගෙදරක බිත්තියට සුදු පාට ගෑවමත් ගෙදරට එළියක් එනවා වගේම තරමක් පැහැබර සමක් ඇති පුද්ගලයන්ටත් “සුදු” කියන විශේෂණ පදයත් එක්ක ආමන්ත්‍රණය කරනවා… ඒත් ඒ සියළුම දෙනා පිවිතුරු නිසා නෙවෙයි… අන් අයට වඩා සුදු නිසා… සුදු පුතා, සුදු දුව, සුදු නංගි, සුදු මල්ලි, සුදු අයියා, සුදු අක්කා, සුදු මහත්තයා, සුදු පූසා, සුදු බලු පැටියා, ගැන කතා කරද්දි සුදු නැන්දා ගේ දොර වහලා හීන් නගා ගේ මුල්ලට දාපු එක ගැන නෝක්කාඩු කිවුවෙ ගුණදාස කපුගේ. දීගෙක ගිහිපු සුදු හාමිනේ එනකල් මඟ බලාගෙන ඉන්නෙ නන්දා මාලිනී.. සුදු රෝස මූණ පුරා හිනා ඇඳෙනවා බලාගෙන සිංදු කියන්නෙ රාජු බණ්ඩාර, අළුයම හිරු එළිය වගේ සුදු මැණිකේ ගැන කතා කරන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන..  සුදු සඳරැස් ගැන මොහිදීන් බෙග් වගේම විවියන් ද සිල්වා බොරලැස්ස හෝ රුක්මණී දේවීත්,  සුදු සඳ එළියෙ දෙන මල් සුවඳ ගැන ලතා වල්පොලත් ගායනා කරලා තිබුණා., මාගේ සූදා තාම නෑ කියලා ක්‍රිස්ටෝපර් පෝල් කියනවා වගේම .. සුදු සීයා අපේම සීයෙක් වගේ හැම ඉරිදාම ගෙදර සාලයට එක්කන් ආවෙ නාලන් මැන්ඩිස්… ඉතිං සුදු අය ගැන ඕන තරම් කතා… ඒ වගේම ඔය සුදු පුතා, සුදු දුව කියලා පුංචි කාලෙ කතා කරන අය ලොකු වුනාම ගොරක ලෙලි වගේ කළුයි සමහර වෙලාවට… එතකොට නම් මොනවා හිතෙනවා ද දන්නෙ නෑ ඒ අයට… සමහරු තමන්ගෙ නෝනට හෝ මහත්තයාට ආදරේට කියන්නෙත් සුදූ කියලා…. අපි නං ඉතිං කළු නිසා කවුරුවත් අපිට සුදූ කියලා කතා කරන්නෙ නෑ.. දවසක් එක්කෙනෙක් මට කියනවා ඔයාලගෙ තාත්තා කළුම කළුයි කියලා …. මම කිවුවා ඒ වුනාට තමුසෙගෙ දත් වලට වඩා අපේ තාත්තගෙ දත් සුදුයි කියලා… ඊට පස්සෙ එයා ආවෙ නෑ තාත්ත කළුයි කියන්න….

අල්ලපු පන්තියෙ ඉන්න සුදු ටීචර්ගෙන් හුණු කෑල්ලක් ඉල්ලගන්න ලියුමක් යවපු සර් අමාරුවෙ දැම්ම ඇම්ඩලා වගේ අයත් හිටියා… “සුදු චෝක් කෑල්ලක් එවන්න” කියලා යවපු ලියුං කෑල්ලට කුපාඩි කොලුවෙක් සුදු කියන වචනෙට පිටුපසින් කොමාවක් දාලා අර්ථය වෙනස් කළේ සිංහළ භාෂාවෙ අරුමය පෙන්වමින්… ඉස්සර මමත් සුදු කෙල්ලොන්ට හරිම කැමතියි… මගේ හද දිනාගෙන හිටපු කෙල්ලො බොහොමයක පොත්ත සුදුයි.. මගේ යාළුවො සමහරක් ඒ කාලෙ මට විහිළු කළේ ඔයිට වැඩිය හොඳයි හාෆ්ශීට් එකක් තුරුළු කරගණින් කියලා.. අනේ ඒ සුදු කෙල්ලො දැන් කොහේ ඇද්ද ? හිටියා නං උං එකෙක් නේ අද ඇමරිකාවෙ ඉන්නෙ මාත් එක්ක…. හොඳ වැඩේ උන්ට… මාව දාලා ගියාට…..

සුදු අය කව වෙන්න දඟලනකොට කළු අය සුදු වෙන්න දඟලනවා...

මෙහේ නම් බලපු බලපු අත ඉන්නෙ සුදු කෑලි යි සුදු කොල්ලොයි… සුදු කොල්ලො ගැන මට ඒ හැටි ආසාවක් නැති නිසා සුදු කෙල්ලෝ ගැන නම් බලනවා… ලංකාවෙන් ඇමරිකාවට ආපු කාලෙ ලංකාවෙ හිටපු මගේ යාළුවො කිවුවෙ “අපි ඉන්ටනෙට් එකෙන් දකින සුදු කෑලි උඹ හැබැහින් දකිනවා නේ ද ?” කියලා ඕවට උත්තර බඳින්න යන්නෙ නැත්තෙ තව ටික කාලයක් හරි පවුල් ජීවිතෙත් තියා ගන්න ඕන නිසා… ඒ වුනාට මේ සුදු කෑලි හැම එකක්ම අර තනි පාට හෝ වෛර්ණ චිත්තරපටි වල පෙන්නන විදියට හැමතිස්සෙම දිග ඇරගෙන ඉන්නෙවත්, ඕන වෙලාවට ඕන කෙනෙකුට ඕන දේකට පාවිච්චි කරන්නවත් ඉඩ දෙන්න සූදානම් නැහැ.. ඒවටත් ක්‍රම සහ විධි තියෙනවා… (එච්චරයි කියන්නෙ).. හැබැයි වැඩේ කියන්නෙ මේ සුදු කට්ටිය කළු වෙන්න පුදුම ආසයි.. සමර් එකට ටෑනිං ක්‍රීම් ගාගෙන අඩ නිරුවස්තරෙන් අවුව තපින උන් ගැන මගේ හිතේ තියෙන්නෙ පුදුම අනුකම්පාවක්.. අපට බලන්න වගේ ඔය තැඹිලි ගෙඩි එළියෙ දාගෙන හිටියට පහු පහු වෙනකොට හමේ පිළිකා හැදිලා දුක් විඳින්නෙත් මේ සුද්දියොම තමයි…

මෙයාගෙ ආඩම්බර... සුදු නිසාද කොහෙද...

සුදු කියන්නෙ පිවිතුරු පාටක් වුනත් යමෙක් අසාමාන්‍ය ලෙස සුදු නම් හෝ සාමාන්‍ය පැහැ සතෙකු සුදු පැහැති නම් හෝ හදුන්වන්නෙ ඇලි සතුන් කියලා.. සමේ වර්ණක නැති මේ සතුන් කායිකවත් පරිණාමිකවත් දුර්වලයි.. පහසුවෙන් ගොදුරු බවට පත් වෙන්න පුළුවන් වගේම ඉතා මිල අධික ප්‍රදර්ශන භාණ්ඩ බවටත් මේ සතුන් පත් වෙනවා. අපේ ලංකාවෙ ගෑණු ළමයිනුත් දැන් සුදු වෙන්න කියලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බ්ලීචිං කරගන්නවා කියලා ආරංචියි…. ඒකෙ තියෙන භයානක කම තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තියෙන මුක්ත ඛණ්ඩ විසින් සම ඉක්මනින්ම වසයට යවනවා… ඒ කියන්නෙ ඉක්මනින්ම කට්ටිය නාකි පෙනුමක් එනවා…. ඒ මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙන කට්ටිය ගැන…

ඒ වගේමයි….

බැලූ බැලූ අත සුදු පාට දේවල් හැම තැනම… වාහන පවා එහෙමයි…. සුදු පාට වාහන වලට සමහරු කැමති වුනත් සමහරුන්ගෙ වැඩි ආසාවක් නෑ.. දූවිලි  වැදිලා කැත වෙන නිසා.. නමුත් බොහොමයක් වෑන් නම් සුදු පාටයි.. මේ දවස්වල සුදු පාට වෑන් එකක් දැක්කත් සමහරු බයේ වෙවුලනවා.. සමාජයෙ සුද්දවන්තයෝ වගේ ඉන්න කළු චරිත ටික දෙනෙක් මේ සුදු වෑන්වල ගිහින් තිබුණා… මේ සුදු වෑන්වල ගමන් කරපු බොහොම දෙනෙක් සමාජයෙන් අයින් කරන්න ඕන අය කියලයි තතු දත් අය පවසන්නෙ… නමුත් මේ ක්‍රමයට සමාජයෙන් මිනිස්සු අයින් කරන්න පුළුවන් ද ? මෙය යතාර්ථවාදීද ? නීති ගරුකද ?  ඒ වගේම මේ සුදු වෑන් සම්ප්‍රදායෙ අහිතකර පැත්ත වෙන්නෙ හැමෝම සුදු වෑන් පාවිච්චි කරන්න ගත්තොත් තමයි.. මතකනේ ඉස්සර ආණ්ඩුවෙනුයි රතු සහෝදරයොයි දෙගොල්ලො හරි හරියට මිණී මරණ කොට වටේ පිටේ අයත් ඒ ගිණුමටම බැර කරලා තරහකාරයො මරපු හැටි..

සුදු වෑන් එකේ නිවන් යන්න.....

මේ කතාව ලියන්න හිතුනෙ සුදු වෑන් කාරයො කට්ටියක් අහුවෙලා කියන ආරංචිය ආවම… යතාර්ථවාදියා ලියන නිහාල් අයියගේ ශෛලිය කොපි කිරීමක් වත්, ඒ වගේ වචනයක් අල්ලගෙන දිගට ලියන්න උත්සාහ කිරීමක් වත් නෙවෙයි මේක… ඒ සම්බන්ධව නිහාල් අයියා තරම් මගේ භාෂාව සියුම් නෑ….

%d bloggers like this: