2012 මාර්තු 23: ජිනීවා කෙළියෙන් උගතහැකි පාඩම්… සහ ෆේස්බුක් දේශප්‍රේමය……


පසුගිය සති දෙක පුරාවට සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දෙනාම දන්නා අඳුනන නගරයක් වූයේ ජිනීවා නගරයයි. තියෙන්නේ කොහේද කියා නොදනිතත්, ජිනීවා කියා එකක් තිබෙන බවත්, එහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයක් පැවැත්වෙන බවත්, කොළඹ හතේ මැටිල්ඩා මෙන්ම මහවිලච්චියේ බබුන් සීයා ද දැනගත්තේ අපේ කට්ටිය දිවා රෑ වෙහෙස වී ඒ පිළිබඳ දැනුවත් කළ නිසාවෙනි. රජයේ මෙන්ම විපක්‍ෂයේද දෛවඥයන් පැවසූ සියළුම අනාවැකි පසක් කරමින් ලංකාවේ ආණ්ඩුව ජිනීවාහිදී පරාජයට පත් වූයේ ඊයේ බංගලිදේශය පකිස්ථානයට පරාජය වූවාට වඩා එක ලකුණකිනි. (24-23) (සමහරු නම් කියන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටිනවා යනු අපට කැමති වුනත් ඇමරිකාවට බය නිසා පැත්තක් නොගෙන සිටීම කියාය – ඒ නිසා ඒ ඡන්ද ගොඩත් අපිටම දමා ගෙන හිත හදාගන්නවා – හරියට ලංකාවෙ ඡන්ද කරනවා වගේමයි) ඒ කොහොම වුනත් දැන් ඡන්දය පරාදය… ඒ අනුව ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන දේ පිළිගන්න වෙනවාය. ගොසිප් ලංකා වෙබ් අඩවියට අනුව නම් ලංකාවේ ආණ්ඩුවට මොකුත් වෙන්නේ නැති බව ජනාධිපතිතුමාම කියා ඇත… ඒ නිසා අහක යන බල්ලෝ ඇමරිකාවට බිරුවේ අපරාදේ යැයි දැන් සිතේ.

සමහරු හිටු කියා අපට ඡන්දය දුන් අයට ස්තුති කරමින් ෆේස් බුක් එකේ දේශප්‍රේමය පතුරති. තවත් සමහරු ඊමේල් මාර්ගයෙන් අනේ මේකත් බෙදා ගන්න යැයි ආයාචනය කරති…  තවත්සමහරු විවිධාකරයෙන් තමන්ගේ දේශප්‍රේමය අන්තර්ජාලයේ පතුරවති. ඒ කෙසේ වුනත් කිසි කෙනෙකු මේ ප්‍රශ්නයේ ඇතුලාන්තය හරි හැටි විග්‍රහ කරනවා දැයි මට සැකය…

තිස් වසරක යුද්ධයක් සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීම අප වැනි පුංචි රටකට අපහසු වුවද, රටේ නායකත්‍වය වෙනත් රටවල සහයෝගය ඇතිව හෝ නැතිව (විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් විවිධ දේ කියන නිසා මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට නොහැක – එසේ නමුත් පිටරටවල සහය නොලැබුණා යැයි කීමට අපහසුය) සහ පිටරටවලින් එන දැඩි පීඩනය සමනය කරගනිමින් යුද්ධය අවසාන කිරීම මේ රටේ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා උර දුන් ජනාධිපති තුමාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා  වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විවිධ නිලධාරීනට රටක් වශයෙන් ප්‍රණාමය සහ භක්තිය පිරිනැමුවෙමු. කවුරු කෙසේ කීවත් ඒ යුද්ධයට දේශපාලනමය වශයෙන් ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් තුමා, බැසිල් රාජපක්‍ෂ මැතිතුමා සහ විදේශ ඇමතිතුමා ආදී ස්වල්පයක් දෙනා ද, සම්බන්ධීකරණයෙන් සහ උපායමාර්ගික වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද, නායකත්‍වයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සෙසු නිලයන් නොවන්නට එය එක් පුද්ගලයෙක් විසින් කරනලද කර්තව්‍යයක් නොවන බව බොහෝ දෙනා හිත යටින් දනිතත්, දැන් දැන් තමන්ගේ දේශපාලන කුහකකම් එළියට පැමිණීම නිසා එකළ මේ සියල්ලන්ටම සහයෝගය දුන් අය පවා පැති බෙදී තමන්ගේ අයව පමණක් වර්ණනා කරනු දැකිය හැක. එය අතිශය කණගාටුදායක තත්ත්‍වයකි.

යුද්ධයක් යනු මල්වට්ටි රැගෙන පන්සල් යන අන්දමේ සාමකාමී ක්‍රියාදාමයක් නොවන බව පොඩි එකෙකුට වුවද වටහා ගැනීම අපහසු නොවේ. වසර 30 ක් පුරා පැතිරුණ මේ යුද්ධයේදී අගතියට පත් පාර්ශව ගණනාවකි. රටේ අනාගතය භාරගත හැකිව තිබූ ප්‍රධාන දේශපාලනඥයන් සියල්ලම පාහේ මියගියේ මේ යුද්ධයට බිලි වීමෙනි. යුද්ධයට කිසි අයුරකින් සම්බන්ධයක් නොතිබූ අහිංසක ජනතාව  බුරුතු පිටින් මියගියේද මේ යුද්ධයේ ආනිසංසයෙනි. ළමා ළපටින්, කාන්තාවන් හෝ ආබාධිත යැයි කිසිදු වෙනසක් නැතිව සියළුම දෙනා මොහොතකින් මරු කරා රැගෙන ගියේ මේ යුද්ධයෙනි. මිනිසාගේ හැඟීම් දවා අළු කර, ලාංකිකයා හැඟීම් නොමැති පිරිසක් බවට පත් කළේද මේ යුද්ධයයි. මේ යුද්ධය නිසා අගතියට පත් වූයේ සිංහලයන් පමණක් නොවේ. ද්‍රවිඩයන් සහ මුසල්මානුවන් පවා මේ යුද්ධයෙන් ගැලවුනේ නැති. මේ සියල්ලම යුද්ධයට කෙළින්ම සම්බන්ධයක් නැති අය වුනත්, කෙළින්ම සම්බන්ධ වූ සොල්දාදුවන් සහ නිලධාරීන් සියල්ලම අකාලයේ දිවි පිදුවේ, ආබාධිත වූයේ මේ යුද්ධයට සාපකරමිනි. තමන්ගේ උපදින්නට සිටින දරුවා නොදැක මියගිය පියවරුන්, විවාහයෙන් දින කීපයකට පසු මියගිස සැමියන්, විවාහයට දින කීපයනට පෙර මියගිය පෙම්වතුන් නිසා අසරණ වූ පවුල් සාප කරන්නේ ද මේ යුද්ධයටය.

මේ යුද්ධය බොහෝ දෙනෙකුට සාපයක් වුවද, එය නිධානයක් වූයේ එය වවාගෙන කෑ ආයුධ වෙළඳුන්, යුධ සැපයුම් කළ වෙලෙන්දන් සහ අත යටින් බොහෝ දේ ලබා ගත් දේශපාලනඥයින් ස්වල්පදෙනෙකුට සහ වැඩි වශයෙන්ම යුද්ධය විකුණාගෙන කෑ රාජ්‍ය නොවන සංවිධාන ගොන්නකටය. එවැනි ජඩයන් නොවන්නට මේ යුද්ධයේ අවසානය බොහෝ කාලයකට පෙර දකින්නට තිබුණ බව මට හැඟේ. යුද්ධයක් ඇති විට ත්‍රස්තවාදීන් පමණක් තෝරා බේරා ඝාතනය කිරීම කල හැක්කක් නොවේ. කවුරු කෙසේ කීවත්, මානුෂික මෙහෙයුමක් නොව සීල ව්‍යාපාරයක් කියා නම් කෙරුවත්, යුද්ධයකදී සාමාන්‍ය වැසියන් ඝාතනය වීම, සමහර විට යුධ අපරාධ සිදු වීම වැලැක්විය හැක්කක් නොවේ. පෘත:ජන මිනිසුන් වන සොල්දාදුවන් මෙන්ම ත්‍රස්තවාදීන්ද බොහෝ විට සටන් කරන්නේ තමන්ගේ යුද්ධයක් නොවේ. ත්‍රිවිධ හමුදාවට බැඳුන පසු සහ ඒ මානසික්‍වය මත දේශානුරාගය ඇවිලී රට වෙනුවෙන් දිවිපිදුවද, බොහෝ සොල්දාදුවන් සාමාන්‍ය නිලයනට බැඳීමේ මූලික පරමාර්ථය ස්ථිර ආදායමක් ලබා ගැනීම නොවන්නේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. අට පාස් තරුණයන්ට ඇඟළුම් කම්හලක රැකියාව කරනවාට වඩා ගරුත්‍වයක් ඇතිව හමුදාවේ සේවය කිරීම සහ ඒ මගින් ලැබෙන වෙනත් දීමනා, ආදිය බොහෝ විට මේ තත්ත්‍වයට හේතු විය හැක. මේ කරුණ හෙළි කිරීම නිසා සමහරවිට දේශප්‍රේමීන් මා මරා කන්නට තැත් තළත් සත්‍යය මෙයයි. මේ යුද්ධය අවශ්‍ය වූයේ දේශපාලනඥයන්ට සහ ත්‍රස්තවාදී නායකයන්ට විනා සාමාන්‍ය අසරණ සිංහල හෝ ද්‍රවිඩයන්ට මේ යුද්ධය අවශ්‍ය වූවා යැයි කෙනෙකුට සාධාරණ තර්කයක් ගෙන ඒමට නොහැක. යුද්ධය වවාගෙන කෑවේ දේශපාලනයයි. වරෙක දිගුදුර මෙහෙයුම් බලකායෙන් ඉලක්ක කර තිබූ කොටින්ගේ දෙවනියාව සිටි කරුණා විනාශ කිරීමේ අනුමැතිය ලබා දීමට එකළ සිටි ජනපතිනිය මැලි වූයේ යැයි රාවයක් පැවතුනි. කොටින්ට ආයුධ සහ සිමෙන්ති  දුන් ප්‍රේමදාස මහතා කොටින් අතින්ම ඝාතනය වූයේද ඒ වවාගෙන කෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වුවත් යුද්ධය අවසන් විය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සහ විශේෂයෙන්ම නෝර්වේ හි දේශපාලනඥයන් කොටි රෑන බේරාගැනීමට වලි කෑවේ නිකම් නොවේ. කොටින්ගේ ප්‍රචාරක ජාලය ලොව අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වීමත්, අල්ලාගත යුතු ලොකු අතු සියල්ල කොටින් විසින් අල්ලාගෙන නතු කර ගැනීමත් නිසාය. ඇමරිකාවට ඉන්දීය සාගර කලාපයේ බලතුලනය පිළිබඳ තිබූ දෙගිඩියාව නිසාද මේ ප්‍රශ්නයට අත දැමීමට හේතුවක් විය. කෙසේ වුනත් අපි ගොඩබිම යුද්ධයෙන් දිනුවද, ප්‍රචාරක යුද්ධයෙන් නම් සිටියේ බොහෝ පිටුපසිනි. මේ නිසාම ජීවත්ව සිටි කොටියාට වඩා  මියගිය කොටියා බලවත් විය. රට සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වුවත් මහින්ද රාජපක්‍ෂ රජය තමන්ට බෙදා ගැනීම සහ සියල්ල දේශපාලනීකරණය කරගැනීම නිසා තානාපති ජාලයද තම හෙංචයියනට භාර දීමෙන් වගකිවයුතු සහ සුදුසුකම් ඇති දක්‍ෂ පුද්ගලයින් ඒ ඒ තනතුරු වලට පත් කිරීමට අපොහොසත් වීම නිසා විදේශීය ප්‍රචාරණ ජාලයේ අඩපණ වීමක් ඇතිවූ බව පෙණුනි. මේ තත්ත්‍වය තවත් වර්ධනය වෙමින් රජයේ ඉහළ තනතුරු පවා සුදුසුකම් නොමැති හෙංචයියන්ටම ලැබීමෙන් රටම අවුල් ජාලයක් වී ඇති සෙයක් පෙනේ.

රටේ බොහොමයක් අපරාධ කෙරෙන්නේ දේශපාලන‍ඥයින් අතිනි. ප්‍රාදේශීය දේශපානඥයන් 40 කට වැඩි සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරන බව දැනගන්නට ලැබී ඇත.. වැටත් නියරත් ගොයම් කන විට ජනතාවට වැට සහ නියර කඩා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඒ මදිවාට රටේ වැදගත් යැයි කියාගන්නා ඇමතිවරු මී හරක් කතා කියමින් ජනතාවට විහිළු සපයති. එකෙක් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමට කතා කරන අතර රටේ අධ්‍යාපනය භාරව සිටින (මොළයක් ඇතැයි සිතා සිටි ) ඇමතිවරයා රටේ ජනතාවට (තුන් දෙනෙකු සිටින පවුලකට) රුපියල් 7500 කින් මසකට ජීවත් විය හැකි බවට බූරු කතාවක් ද කියා තිබේ. එකම පක්‍ෂයේ දෙදෙනෙකු වෙඩිතියාගෙන කෙනෙක් මියගියේත් අනෙකා මන්දබුද්ධික ආබාධිතයෙක් වුනේත් මේ ඇස් පියාගෙන සිටීමේ ප්‍රතිපත්තියේම ප්‍රතිඵලයකිනි. ගාල්ලේ මන්ද බුද්ධිකයෙක් පලාතේ සමුපකාරයකවත් ඡන්දයක් නිදහසේ තැබීමට ඉඩ ලබා දී නැත. කැළණියේ දුටුගැමුණු  රජතුමාට දූෂණ චෝදනා තිබුණත් එතුමා ද යහතින් වැජඹෙති. අසරණ සරණ ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. කවදාවත් නැතිව දියවඩන නිලමේ තුමාට ද චෝදනා එල්ල වී ඇත.  දූෂණ චෝදනා ලැබූ මහනුවර දේශපාලනඥයෙකු ජනාධිපති සමාවෙන් නිදහස ලැබූයේ මේ රටේ ය. රටේ එළවළු මිල අස්ප ගණන් වුනත් කිලෝ දාස් ගණනින් එළවළු ඉවත දමන්නේ ගොවියන්ට එළවළු විකුණාගත නොහැකි නිසාය.. රටම නුහුලන ද්විත්ව ඝාතනයකට ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද හවුල්ය. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන මහත්වරු විදේශීය සංචාරකයෙකු පරලොව යවා ඔහුගේ පෙම්වතිය කන්‍යාවියක් කළේ ද මේ ජඩ දේශපානයේම ඓශ්චර්යයෙනි. තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අවුරුදු 19 ක දැරියක් රැයක් පුරා දූෂණය කර ඇත. රටේ මුදුන් මල්කඩ වූ මහනුවර දෙවනත් කරමින් ලෝකයේ සමහර රටවල තහනම් කරන ලද වීදි රේස් තරඟ පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහය මතය.  තවත් බොහෝ දේ ඇත…. කියුවාට වැඩක් නැත…

මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ රට වැටී ඇති අගාධයයි. සංස්කෘතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද අපි අගාධයකට යමින් පවතී. ලක්‍ෂ පහක් හා රන් කඩුවක් ලබා ගැණීමට තමන් හා බොහෝ සේ කුළුපගව සිටි හාමුදුරුවන් දෙනමක් ඝාතනය කළේ දේවාලයක බස්නායක නිලමේ කෙනෙකි… ඒ අපි වැටී ඇති අඝාධයේ පතුල නොවේ… ඉදිරියේ දී මීට වඩා පොළව නුහුලන අපරාධ අසන්නට ලැබෙනවා ඇත. අපි ඒ බලාගෙන කරකියාගත හැකි කිසිවක් නැතිව සිටිමු.  ඒ සියල්ලම මැද පාලකයන් මර නින්දේ ය… ඔවුනට තමන්ගේ මඩිය තර කරගන්නවා හැරෙන්නට සිතන්නට දෙයක් නැත.  මේ සත්‍යයයි… අපි මොනවා ලියුවත් මේ අයට ඒවා පෙනෙන්නේ නැත. අපේ හිතේ දුකට මෙසේ ලියනවා ඇරෙන්න වෙනත් කරන්නට දෙයක් නැත. විපක්‍ෂය කුලල් කා ගැනීම හැරෙන්නට වෙනකක් කරන්නේ ද නැත. උන්ට තමන්ගේ පක්‍ෂයේ නායකත්‍වයට  පොරකනවා හැරෙන්නට රටට මොන මලදානයක් වුවත් කමක් නැත.

බොහෝ දෙනාට මේ ක්‍රමය එපා වී තිබුණත් එයට විරුද්ධව යන්නට සුදුසු ව්‍යාපාරයකට නායකත්‍වයක් දෙන්නට කෙනෙකු නැත. එසේ නායකත්‍වයක් දෙන්නට කෙනෙකු සිටී නම් ඒ වටා ඒකරාශී වන්නට බොහෝ දෙනා එකතු වනු ඇති. ඒ බටහිරයන්ට අවශ්‍ය පරිදි රටට වෙනසක් අවශ්‍ය නිසා නොව පවතින රජයේ අත්තනෝමතික බව ඉවසා ගැනීමට නොහැකි නිසාය. රටට බොහෝ දේ කළ හැකි නමුත්, අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ දූෂණය වංචාව ඉහවහා යාම නිසා සාමාන්‍ය ජනයාට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබීම නිසා බොහෝ දෙනා සිටිනුයේ පවතින රජය කෙරෙහි පැහැදීමකින් නොවේ…

ඒ අතර අපේ තරුණ පරපුර ෆේස්බුක් දේශප්‍රේමය වපුරමින් සිටිති. ෆේස් බුක් හි පින්තූරයක් පළ කිරීමෙන් හෝ එයට සහය දැක්වීමෙන් යමක තීරණයක් වෙනස් කළ හැකි නම් අද ජනාධිපති වන්නේ සරත් ෆොන්සේකා මහතාය… ඒ මහතා ෆේස්බුක් ජනාධිපති වුවත් ඇත්ත තරඟයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ මහතාය.. සත්‍යය එයයි.

කළ යුත්තේ ෆේස් බුක් දේශපාලනය නොව රජය හරි මාර්ගයට ගැනීමයි. අප රට ස්වභාවික සම්පතින් අනූනය. මානව සම්පතින් ගත් කළ ලෝකය මවිත කරවන නිර්මාණ කිරීමේ ශක්තිය ඇති බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් ඇති රටකි. කළ යුත්තේ මේ සම්පත් හරිහැටි කළමණාකරණය කරගෙන රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීමයි. රටේ සාධාරණත්‍වයක්, දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව නිදහසේ රැකියාවක් කරගෙන යාමට ඇති තත්ත්‍වයක් ඇති වන්නේ නම් නැවතත් අප රටට පැමිණ ලංකාව වෙනුවෙන් සේවය කිරීමට කැමති උගත් බුද්ධිමත් පිරිසක් පිටරටවල සිටිති. වෙනත් රටවල් විද්‍යාව තාක්‍ෂණය ආදී අනාගත ආයෝජන සඳහා වැඩි වැඩියෙන් මුදල් වැය කරද්දි අපේ කට්ටිය රට වටේ කුළුණු සවි කරමින් ලෝකෙට ලොක්කා වන්නට වලි කති. දූෂිත සහ අවස්ථාවාදී  මුග්ධ දේශපාලනඥයින් ඉවත් කර, රටට වැඩදායී උගත්, බුද්ධිමත් සහ සුදුසුකම් සහිත කණ්ඩායමක් පත්කරගෙන රටේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට නායකත්‍වයට බල කිරීමක් කළ හැකි ෆේස්බුක් ව්‍යායාමයක් අරඹන මෙන් මේ සියළු “ෆේස්පුක්” දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිමි… සැබෑ දේශප්‍රේමය එයයි….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මාර්තු 22, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 29.

  1. කතාවේ ඇත්තක් තියෙනවා නොවැ අලෝ ! බූඩිත් හිතන්නේ අපි කොටින්ට විරුද්ධව කරන ප්‍රචාරක යුද්ධය නම් ඉතාම දුබල බව තමා ! ණැතිනම් මෙච්චර මාකට් කරන්න දේවල් තියෙද්දි අපි නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑ නේ, ඇමෙරිකන් එම්බසි එකෙන් නිල පරිවර්තනයක් දාලා තිබ්බා යෝජනාව ගැන ඒක නම් ඉතාම සුලු එකක්, කිසිම අගතියක් නෑ ලංකාවට. හැබැයි බූඩිට පෙන්නනම බැරි දේ තමා උන් යුධ අපරාද කර කර අනිත් උන්ගේ මගුල් වලට හොට දාන එක. ඒ කියන්නේ “”රෙද්ද උස්සන් කෑ ගහන”” එක.

    කැමතියි

  2. ඇල්කෙමියා, සෑහෙන්න හොඳ අර්ථ දැක්වීමක්.

    //ඔහුගේ පාමවතිය කන්‍යාවියක් කළේ ද// ????

    ****

    බුඩී,

    ඇමෙරිකාවේ යුද අපරාධ වලට රට ඇතුලෙන් ම ඇමෙරිකානුවන් වෙතින් ම විරෝධතා පැවැත්වෙනවා; ගුවාන්තනමෝ වැහුවේ එක නැති ගැන තවමත් ඔබාමාට විරෝධතා පැවැත්වෙනවා;

    විවිධ යුද වල දී අපරාධ කරපු ඇමෙරිකන් අයට දැනටමත් ප්‍රසිද්ධියේ දඬුවම් දීලා තියෙනවා; අපරාධය ගැන ප්‍රසිද්ධිය දුන්නාට ඔවුන්ට ලැබුණු දඬුවම් ගැන වැඩිය ප්‍රසිද්ධ කරන්නේ නැහැ ලෝක මාධ්‍ය්‍යන්;

    බින් ලාඩන් මැරුව විදිය ගැනත්, ගඩාෆිගේ මරණයට ඇමෙරිකන් ඇඟිල්ලක් තියනවා ද යන්න ගැනත් මෙහෙ කොංග්‍රසයේ ම කමිටු වලින් සෙවීම් පැවැත්වෙනවා.

    ඇමෙරිකන් ජනාධිපතිට සහ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ බැන වදින්නත්, විරෝධතා පාන්නත් ඇමෙරිකාව ඇතුලේ තියන නිදහසයි ඒ.

    ඇමෙරිකාවේ චන්දය දාන අයට අනන්‍යතා පත්‍රයක් ගෙනෙන්න කියා නීතියක් ගෙන එන්නට දරණ ප්‍රාන්ත ගැන ඇමෙරිකන් නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ජීනීවාත් ගිහින් තියෙනවා!!!!

    ඒත් ඇමෙරිකාවට බනින අය ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ එතකොට බනින්න බැරි නිසා වෙන්නත් ඇති.

    කැමතියි

    • බොහොම ස්තූතියි අරුණි අක්කා…. හිතේ තිබුණ දේවල් විනාඩි 15කින් ලියලා දැම්මා….

      තංගල්ලේ දේශපාලකයා දූෂණය කළ විදේශික තරුණිය බලෙන්ම ඇපොලෝ එකට රැගෙන ගොස් ඇගේ කන්‍යා පටලයත් නැවත සකස් කරලා ලු ඇගේ රටට යැව්වේ…. මේ නිසා ඇය නැවතත් කන්‍යාවක් වුනා අපේ ලොකු ලොක්කන්ගේ ආනුභාවයෙන්…
      ඒකයි එහෙම කිවුවෙ…
      අපේ ලංකාවෙ දැන් ඕනම දෙයක් පුළුවන්..ජේ ආර් ට බැරි වුන දේ (ගෑණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගෑණියෙක් කරන්නත්) වුනත් පුළුවන්

      බූඩි.
      අරුණි අක්කා කිවු දේ හරි… ලංකාවෙ කට්ටියට තියෙන්නේ Selective Amnesia,. තමන්ට ඕන කරන දේ පමණක් පෙරලා ලංකාවෙ කට්ටියට පොවනවා… ඒ වගේම වෙනත් රටවල් ඇමරිකාවට බයයිත් නිසා වැඩිය ලෙඩ දාන්නෙත් නෑ,. පුටින් ආවට ඇමරිකාව බය ඒකයි… දැන් තකට තක ඉන්න නිසා රුසියාවයි චීනෙයි ශේප් එකේ තියාගන්නයි ඇමරිකාව හදන්නෙ…

      කැමතියි

  3. ඉතාමත් වැදගත් සාරවත් ලිපියක්. ඒත් මේවා ගැන කතා කරන එකෙන් මේ රටේ එවුන්ගේ ඇස් ඇරෙයි කියල හිතනවද? මම නම් හිතන්නෙ නෑ. වෙනකක් තියා අතිශය දේශපාලනිකරණය වෙච්ච මනසක් තියෙන ශ්‍රී ලාංකිකයා, මේ වගේ ලිපියක් මග දුරක් කියවන කොටම අතහැරල දානවා. මොකද තමන්ගෙ දේශපාලන මතයට පිටින් යන දේවල් හරි වැරද්දක් ගැන හිතන්නෙ නැතුවම බැහැර කරන එක ඔහුගේ යටි සිතටම කාවැදිලා තියෙන නිසා. (හරියට දාර්ශනිකයෝ වගේ. තමන්ගෙ මතයට එරෙහිව යන කිසිම දෙයක් පේන්නේ නෑ. :D). මේ ශ්‍රී ලාංකිකයාගේ යටි සිතේ පැලපදියම් වෙලා තියෙන කුහකත්වය කවද්දල තියෙන්නේ වෙන කව්රුවත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලනය කල උදවිය විසිනුත් රටේ මෙතෙක් කල් ක්‍රියාත්මක වූ මාධ්‍ය බහුතරය විසිනුත් සහ ඒරොප්පෙන් ඇවිත් ශ්‍රී ලංකාවේ යට ගියාවට අඳුර එක්කරපු අධිරාජ්‍ය වාදීන් විසිනුත් එකට එකතු වෙලා දැන සහ නොදැන කල සාමුහික කරතව්‍යක් විසින්. විපක්ෂයේ වුනත් ආණ්ඩු පක්ෂයේ වුනත් නිවැරදි දේ නිවැරදියි කියන්නටවත් වැරදි දේ වැරදියි කියන්නටවත් මේ රටේ මිනිස්සු කැමති නෑ. ඇත්තටම කියනවනම් අපේ මිනිස්සු කෑ ගැහුවට අපේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය බින්දුවයි. දේශපාලනය කියන්නේ බඩු මිල, පඩි නඩි වගේ දේවල් **විතරක් නෙවෙයි** කියන එක අපේ මිනිස්සු දන්නෙ නෑ. හැමදාම වාද පමණයි. විසදෙන කිසිම ප්‍රශ්නයක් නෑ. ඡන්ද වාසි ලබා ගන්න දේශපාලන අඥානයෝ විසින් ලබා දෙන චන්ද අල්ලස් පොරොන්දු නිසා තමයි අපේ මිනිස්සු මෙතනින් එහාට හිතන්නෙ නැත්තේ. අනික තාම අපේ අධ්‍යාපන ක්‍රමවේදය. රටේ අද්‍යාපනය හැදෙන්න ඕනේ කන්න බොන්න ජිවත් වෙන්න අදායම් මාර්ගයක් හොයා ගන්න හැටි කියල දෙන්න විතරක් නෙවෙයි. කෙටියෙන් කියනවනම් රටේ අද්‍යාපනය දේශීයත්වය මුල් කර ගනිමින්, දේශප්‍රේමිත්වය වටා ගොඩ නැගුනු අද්යාපන ක්‍රමවේදයක් වෙන්න ඕන. දැන් බහුතරයක් තරුණයන්ට ඕනේ කරන්නේ හොඳ ජොබ් එකක් කරලා අයි ෆොන් එකක් අරගෙන, හවසට රවුමක් ගහල ෆිල්ම් එකක් බලල fun එකේ ඉන්න නෙවෙයිද?

    අපි නොදැන උනත් අපි හැමෝම වැඩ කරන්නේ බටහිර න්‍යාය පත්‍රයක් උඩ තමා.. අපේ මිනිස්සුන්ගේ මොළේ හදනකම්, රටට ආදරේ කරන ** *බුද්ධිමත්*** නායකයෝ බිහි වෙනකම් බඩට වඩා රට ගැන හිතන ජන සමාජයක් බිහි වෙනකම් අපිට කවදාවත් ජාතියක් වශයෙන් නැගිටින්න බෑ. අපේ රටවල් යටත් කර ගන්න බටහිරයෝන්ට වෙන මුකුත් ඕනෙ නෑ. ඔය කියපු ටික උන පාලනය කර ගත්තොත් උන්ට ඕනෙ විදිහට අපිව පාලනය කරන්න පුළුවන්. අපේ ජාතිය ලෙඩ වුනු ජාතියක් කරන්න පුළුවන්. එකට උන් වපුරන ප්‍රදානම විෂබීජ තමා ත්‍රස්තවාදය, බෙදුම්වාදය, ජාතිවාදය සහ ආගම් වාදය. අද මුළු දකුණු ආසියාවම මුහුණ දීල ඉන්න ලොකුම ප්‍රශ්න හතර තමා ඔය. පොර ටෝක්ස් දෙන්න යන්නේ නැතිව හරියට හිතන බුද්ධිමත් නායකයෙක් කරන්නේ ඔය විෂබීජ වලට විෂබීජ නාශක යොදන එක.(ත්‍රස්තවාදය මේ රටින් තුරල් කල ජාතියේ පිනට පහල වුනු නායකයෝ මෙහි පළමු පියවර තැබුවත් තවමත් බෙදුම් වාදය කියන දේ මේ රටින් තුරල් කරන්න උත්සහ කරන බවක් පේන්නේ නෑ. ප්‍රශ්ණයක්!!!!)

    කොහොම උනත් මැදිහත්ව ඇත්ත ඇති සැටියෙන් විස්තර කරලා මේ වගේ ලිපියක් ලියන්න තරම් කොන්දක් තියන මොලයක් තියන අය ඉන්නව දකින එකත් සතුටක්.

    අන්තිමට කියන්න තියෙන්නේ වදයට වඩා සංවාදයත් යුද්ධයට වඩා සාමයත් උතුම් කියන එක තමයි…

    කැමතියි

    • ස්තුතියි සෑම්,
      ඇත්තෙන්ම අපට අවශ්‍ය වෙන්නේ බුද්ධිමත් සංවාදශීලී සමාජයක්. නමුත් ඉස්කෝලෙ පළවෙනි පංතියෙ ඉඳලම සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් වෙන්න දතකන ළමුන් සහ ඒ වෙනුවෙන් වෙහෙසවෙන අම්මලා තාත්තලා ඉන්න රටක, සහ බුද්ධිය පරයා හැඟීම් පමණක් ඉස්මතු කරන සමාජයක මේ වගේ බුද්ධිමත් සංවාද ඇති වෙයි කියලා හිතන්න අමාරුයි.
      දැන් ඉන්න දේශපාලනඥයො කරන්නෙත් සමාජය මොට කිරීමක්.. මොකද කියනවා නම් සමාජය මොට වෙන තරමට උන්ට වාසියි… ඒකයි ඇත්ත.. මේක ලංකාවෙ පමණක් නොවයි මුළු ලෝකයේම දැකිය හැකි ප්‍රවණතාවක්.
      සරසවි ශිෂ්‍ය පරම්පරාවෙත් දැන් ඉස්සර තිබුණ විචාර බුද්ධිය නැති වෙලා ගිහින්….
      අනේ මන්දා අපේ අනාගතය….

      කැමතියි

  4. මේ කන්‍යා පටල හැදීමේ කතාවක් ඇහැවුවා මයි. එතකොට අර කඩු ගෙනෙච්චෙ කොහෙටද ශල්‍යගාරෙකටද? “මිනිසාගේ හැඟීම් දවා අළු කර, ලාංකිකයා හැඟීම් නොමැති පිරිසක් බවට පත් කළේද මේ යුද්ධයයි. ” මටත් මෙව්වැක මෙව්ව වෙලා හිංදා වෙලාවකට සමහර දේ ගැන සංවේදීව හිතන්ට බැහැ.

    කැමතියි

  5. “ගොසිප් ලංකා වෙබ් අඩවියට අනුව නම් ලංකාවේ ආණ්ඩුවට මොකුත් වෙන්නේ නැති බව ජනාධිපතිතුමාම කියා ඇත…”

    එහෙම එකක් ගොසිප් ලංකා එකේ නැහැ. මම හිතන්නේ මහත්තයා කියන්නේ gossip9.com එක ගැන වෙන්න ඇති.

    කැමතියි

  6. Kiyanna ona dewal kiyaladanawa aththa. FB eke deshapemaya nikan joliyata karavi eth aththata api ekwenna ona nathinam rata vinaswena eka walakwanna baha . dawasa gane sidu wenne siyalu dewala vinasaya. apita loketa denna thibune Cricket vitharai dan ekath kiyanna bari tharamata vinaswela. ude paththare baluwama danenawa loku dukak. Thanks Alkemiyata.

    කැමතියි

  7. අපේ උන්ට ඇත්තෙන්ම ජාත්‍යාලයක් නැත.. ඒ නිසාම එය පෙන්නීමට තැත් කරයි.. සැබෑ ජාත්‍යාලයක් තිබේ නම් රටේ ඇති ප්‍රශ්නය හඳුනා ගැනීමට උවමනාවටත් වඩා සාධක තිබිණි.. ඒ අවස්ථාවන්හිදී පැවසූවේ, “ඉතින් වෙන කාටද දෙන්නේ.. අපි සිංහල ජාතියේ.. කළ ගුණ සළකන්න මේ පාර දෙනවා, රටේ සංවර්ධනය වෙනවා නම් දූෂණ චුට්ටක් උනාම මොකද, ඒව නවත්තන්න අපිට පුළුව්න්ද, කවුරු ආවත් ඕව කරනවා, මේ මනුස්සය යුද්දේ ඉවර කළානේ දැන් අපිට බයක් නැතිව ඉන්න පුළුවන්නේ.. ඒක නිසා පොඩ්ඩක් ඉවසමු.. ” යනාදී වශයෙනි.
    අපේ මිනිස්සු ඇත්තෙන්ම ගැති වූහ.. රටේ ප්‍රශ්න අවබෝධ කරගේන ඒ වෙනුවෙන් හඬක් නැගීමට මැළි වූහ.. සමහරු පොෂ් වෙන්ඩත් එක්ක “අනේ.. පොලිටික්ස් වලට මං කැමති නෑ.. ඊයා..” කියා ඇස් තදින් පියා ගත්හ. නමුත් ඒ සියල්ලෝම දැන් රට වෙනුවෙන් පුක උඩ දාගෙන කෑ ගසති.. දඬුමොණරයේ නැග ගොස් ඇමරිකාව දෙපළු කරන්නට දොඩති. ඉන්ඩියාවෙන් ගේම ඉල්ලති.. රටේ දෙශපාලනය තමන්ට අදාල නොකරගත්තන් (කුහකයන්, අවස්ථාවාදීන් හා මෝඩයන්) දැන් ලෝක දේශපාලනයට අභියෝග කරති. සමහරු චැනල් 4 භංග වීමට වස් කවි කියති. ජාතිවාදියෝ එළිපිටම ජාතිවාදය වපුරවති. නමුත් රට තුළ ඇති අර්බුදයක් නොමැති බව කියමින්ම එය අපට බේරා ගත හැකි බවද කියති.. කොටින්ම මේ රූකඩ රැළ කන තැන රෙති. රෙන තැන කති..

    රටේ යුද්ධයක් අවසන් වූ පසු මිනිසුන්(දකුණේ අති බහුතරය )සතුටු වූයේ රටක් ලෙස නොව, ජාතිකත්වයක් (සිංහල ජාතිකත්වය ) ලෙසිනි. උතුරේ ඉන් පසු කෙරෙන ක්‍රියාදාමයන් ගැන හෝ යුද්ධයෙන් පසු ආණ්ඩුව කෙළින පිස්සුව ඔවුනට වැදගත් වූයේ නැත. තමන් වැදූ දැරිය කෙළෙසන පියෙකු දෙස බලා අපේ උන් කීවේ දරුව ආරක්ෂා කර ලොකු මහත් කළේ නම් පොඩ්ඩක් කෙළෙසූවට කම් නැත කියාය. රටේ පවතින්නේ ආණ්ඩුවක් නොව රජු පාලනයක් බව ගැත්තන්ට ඒත්තු ගැන්වූ අතර ඒ ගැන සමහරු සතුටු වී රජුට බැති ගීද ගයා උදේ හවස වන්දනාමාන කළහ. රටේ ඇමතියන් කෙළින බුල් බලා ඒවා විනෝදයට කාරණා ලෙස භාර ගත්තා විනා ඒවා හෙළා දැකීමට සංවාදාත්මක නොවීය. රටටම කෙළ වන තුරු තමන්ට කෙළ නොවේ යැයි සිතා සිටි බුම්ම්මැට්ටන් දැන් නින්දෙන් අවදි වූවා සේ, ලෝකයේ උතුන්ම රටට කෙළ කරන අනෙක් බලු රටවල් වලට බුරන්නාහ. ඔවුන් බොහෝ දෙනාට අනුව නම් මානවහිමිකම් යන වචනය ඔවුන් ඇසුවේද ජිනීවා සීන් එක පත්තු වෙද්දීය. ඊට පෙර, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමක් (LLRC) පත්වීමක් හෝ එහි නිර්දේශයන් පිළිබඳ හාංකවිසියක් හෝ නොදත් අතර දැනගනීමට හෝ රටක වැදගත් පුරවැසියෙක් ලෙස පශ්චාත් යුධ වාතවරණයය හා එයින් පීඩනයට පත්වී සිටින්නන් පිළිබඳව උන්නදු වීමට වඩා, අධිවේගී මාර්ග නෙළුම් පොකුණු, කුළුණු, ක්‍රිකට් තරඟ, සත්ව ඝාතන නැවැත්වීම හරහා ආසියාවේ ආශ්චර්යමත් සිහින වල රති කෙළීමට උනන්දු වීය.

    දැන් ෆේස් බුක් තුළ දෙශප්‍රෙමී රෙද්ද ඔසවා ඔසවා පෙන්වීමට වඩා(පෝස්ට් හා පින්තූර පළ කරමින් ) කිරීමට කාර්‍යභාරයක් ඇතිබව තේරුම් ගැනීමෙන් හා ඊට හැකි පමණින් සක්‍රිය වීමෙන් තමන්ගේ දෙශප්‍රේමයට අවංකව සාධාරණයක් ඉටු කළ හැකි බව තේරුම් නොගතහොත් ඇත්තෙන්ම ඉස්සීමට රෙද්දක් නොව පසගැසීමට ඇති දේශයත්, අප සැමටම අහිමි වනවා ඇත.

    කැමතියි

  8. මගේත් අදහස – රට නිසි මගට යොමු කර ප්‍රජානන්ත්‍රවාදය, මානව හිමිකම් රකින රාජ්‍යයක් බිහි කිරීමට මෙය අනගි අවස්ථාවක් බවයි.

    කැමතියි

    • අනේ කතන්දර, කතන්දර කියනවා…
      නිසි මගට යන්න කොච්චර අවස්ථා තිබුණද ? මිනිස්සු යුද්ධෙ ඉවර වෙනකල් පටි තද කරගෙන හිටියා යුද්ධෙ නිසා…
      ඊට පස්නේ බලන් හිටියා රට හැදෙයි කියලා… හැදුනද ? උන් නේ හැදුනෙ…
      මේක සති දෙකකින්අපේ කට්ටියට අමතක වෙනවා..
      ඊට පස්සේ සුපුරුදු කෙරුවාව තමයි..
      ආයෙම මේක මතු වෙන්නේ අර කොමිසමෙන් නිර්දේශ කරපු දේවල් නොකර ඉඳලා කෙළවුනාම.. ඔන්න එතකොට පුක උඩ තියාගෙන කෑ ගහයි… බොරු ද කියුවෙ බලන්නකො….

      කැමතියි

  9. නියම ලිපිය මචං . . .වෙලාව නැති කම මිසක් මටත් මේ ගැන ලියන්න ඕන වෙලා තිබ්බ කරුනු ටික ඔක්කෝම මෙතන ඒ විදිහටම ලියලා තියෙනවා . .. අපේ මිනිස්සුන්ගේ ෆේස්බුක් දේශප්‍රේමේ දැක්කාම තනි ඇහැට ඇඬෙනවා බන් . .

    කැමතියි

    • මට මේ ගැන මලම පැනලා හිටියේ… ඉවරයක් නැතුව දානවා දානවා…. කිසිම තේරුමක් නෑ…. මොකද අපි මේ සිංහලෙන් ඕවා දැම්මා කියලා ස්දුදොන්ටයි ඉන්දියන් කාරයොන්ටයි ඕවා පේනවයි කියලද ? ඔබාමා අපේ ෆේස් බුක් බලනවයි කියලද ?
      මුං ඔක්කොටම පිස්සු… ජාත්‍යාලෙ නෙවෙයි… තියෙන මෝඩකම…. බොරුවට ප්‍රදර්ශනේ…

      කැමතියි

  10. එක එක්කෙනාට හිතෙන විදිහ වෙනස්..තේරේන විදිහ වෙනස්…..ෆේස්බුක් එකේ කුනුහරුප නොදාන තාක් ඒකෙන් කාටවත් කරදරයක් නෑනේ…ෆෙස්බුක් එකේ තමන්ට කෑමති දේයක් පල කරන කොට, ඒක මෝඩයි කියල ඇග්‍රසිව් විදිහට කරන විවේචනයත්…..HRC.එක තමන්ගේ සමුලුවට නිල වශයෙන් ඉදිරිපත් නොවුනු LLRC වාර්ථාව, ලංකාවට ක්‍රියාත්මක කිරීමට බල කිරීම වැනි බලහත්කාරකමක් විදිහටයි මට පෙන්නේ..

    කැමතියි

  11. යුද්ධය පිලිබඳ ස්තුතියක් විදේශ ඇමතිට ගියේ කොහෙන්ද කියන එක මට නම් ප්‍රශ්නයක් , යුද්ධය කාලේ හිටපු විදේශ අමාත්‍යවරයා අතිශයින්ම අසාර්ථක පුද්ගලයෙක් . ඒ වගේම මම සමහර ලිපි වල දැකල තියනවා අපේ රජය එලිපිට නොකියන එහෙත් එක්සත් ජනපදයෙන් පවා යුද්ධයට උපාකාර ලැබුනු අවස්ථාවන් , ඊයෙත් එහෙම එකක් කියෙව්වා . එක් අවස්ථාවක කොටි සංවිධානය සෝවියට් සමුහයෙන් කැඩූණු රටකින් (මට නම මතක නැහැ ) ආයුධ මිලදී ගන්න කරපු උත්සාහයක් එක්සත් ජනපදයෙන් මුල්වරට හඳුනාගෙන දැනුම් දීලා ඉන්දියාව හරහා රුසියාවටත් ඔවුන් හරහා අර අදාල රටටත් දැනුම් දීල නතර කරපු බවකුත් මම අහල තියනවා . මේවායේ සත්‍ය අසත්‍ය තාවය කොහොම උනත් , යම්කිසි සහයක් ලැබුනාය කියන එකයි මගේ විශ්වාසය . ඒ වගේම කොටි හිතවාදි විදේස් දේශපාලකයින් නිසා මුලු රටවල් පිටින්ම තරහ කර ගැනීමත් අපේ අය කරපු මෝඩ කමක් . යසුශි අකාශිට කුණුහරුපෙන් බැනලා මේ වගේ අවස්ථාවක ඉතාම වැදගත් වෙන්න පුලුවන් මිතුරෙක් වෙච්ච ජපානය එක්ක සබඳතාත් නැති කරගත්තා

    ඔය මුණු පොතේ දේශප්‍රේමි ෆෝටෝ ශෙයා කිරිල්ල නම් දැන් එපාම වෙලා , ෆුල් ටයිම් ශෙයා කරන උන්ගේ පොස්ට් අයින් කරලා තියෙන්නේ මම නම්

    උගත් බුද්ධිමත් අයට තැන දෙන්න , උගත් බුද්ධිමත් නායකයො ඉන්න ඕනි . ජිනිවා කතන්දරේදි උනත් ජී .එල් , දයාන් වගේ මිනිස්සු හලපු එක වරදක් , ජී.එල් ගේ අදහස හිලරි එක්ක කථා කරල එකඟතාවයකට පැමිනීමය කියලත් කියනවා , සමහර විට ඔහුට ඒකට ඉඩ දුන්නා නම අවම වශයෙන් යෝජනාවේ සැර බාල කරගන්නවත් හැකියාවක් ලැබෙන්න තිබුනා

    කැමතියි

  12. “වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු – නැග නැග යමු දියුණේ ..
    බාධා වලටද බාධා ගෙනදී – පෙරටම යමු ලංකා…
    ඉපදුන අප හට ලක් පොලවේ – සුරුවිරුකම් උපතින් හුරුවේ …
    දක්වමු දස්කම් ලක්කම් ව්ස්කම් – විස්මවමින් මුලු ලෝ…”

    කැමතියි

  13. යුද්ධය අවසන් වීම ඉතා වැදගත් බවට විවාදයක් නොමැති වූවත් ..එයින් පසු රජය හා වගකිව යුත්තන් ක්‍රියා කල ආකාරය නිසා රට මේ තරම් ලෝකය ඉදිරියේ අපහසු තාවයට පත්වූ බවටද විවාදයක් නැත.
    ඇමරිකානු නියෝජිතවරිය අවධාරණයෙන් කියූ දෙයක් වන්නේ උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි..
    එම කමිටුව පත්කලේ රජයෙන්ම මිස එක්සත් ජාතීන් නොවේ.එමෙන්ම එම කමිටුවට නියෝජිතයින් ලෙස පත් කර තිබූ හිටපු විදේශ ලේකම් වරයෙකු වන පලිහක්කාර මහතාට පවා බැන අඬ ගැසීමට තරම් රජයේ සමහර නියෝජිතයින් පෙළඹීම තුලින් සිදුවන යහපතක් නැත.
    ඉන්දිය විදේශ ලේකම් වරයාට 13 + දෙනවා යැයි කටට අවාට කියා ඉන්දියාව රැවටීමේ ප්‍රථිපල අපට ජිනීවා වලදී ලැබුනි. ලාංකිකයන් රැවටුවාට ලෝකය එහෙම රවටන්නට නොහැකි බව දැන් වත් වගකිවයුත්තන් තේරුම් ගත යුතුව තිබේ.
    තවත් වසරකින් පසුව තමා යලිත් වරක් ලෝකය හමුවේ මීටත් වඩා තීරණාත්මක ලෙස අපහසුතාවයට පත්වනවාද යන්න අපි දැන් දැන්ම තීරණය කලයුතු වන්නෙමු.

    කැමතියි

  14. ඇල්… කරුණු කියලා මිනිසුන් දැනුවත් කිරීම(ෆේස් බුක් වැනි දේ හරහා)මගින් මිනිසුන්ව වෙනස් කරලා මීට වඩා හොඳ ලංකාවක් හැදීම මේක නේ ඔයා සරලව මෙතන කියන්නේ. මං කියන්නේ ඇල්කෙමියා මේක වැරදියි කරුණු කියල දැනුවත් කරල මිනිස්සු වෙනස් කරන්න බැහැ. මගේ මතය නම් මිනිස්සු මේ වෙනදේවල් හොඳට දන්නව. නොදැනුවත්ව නොවෙයි තක්කඩි හොරු චන්ඩි පාර්ලිමේන්තු යවන්නේ.
    බයිබලයේ තියන විදියට නම් ජේසු තුමා තමන්ව මරන මිනී මරුවන්ට සමාව දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලුවෙ මෙහෙමයි මෙහෙමයි
    Father, forgive them; for they know not what they do.
    ලංකාවෙ වැඩේ තියෙන්නෙ ඇල්කෙමියා හැමෝම දන්නව වැඩේ වේගෙන යන විදිය වැරදියි කියල ඒත් හැමෝම ඔන්න ඔහේ වෙන්න අරිනව. ජේසු හිටියනම් දැන් අපේ රටට වෙන හෙනේ ගැන දෙවියන්ගෙන් ඉල්ලන්න වෙන්නේ මෙහෙමයි.
    Father, forgive them;they know what they do, but they still doing it anyway, what to do father they don’t give a s**t about it….

    කැමතියි

  15. අපි උනත් ෆේස් බූක් එකේ හරි දේශප්‍රෙමය පෙන්නුවෙ‍ එක අතකට වෙන කරන්න දෙයක් නැති හින්දා. මම හිතන්නෙ ඔය ෆේස් බුක් ව්‍යාපාරයෙනුත් යමිතාක් දුරකට හරි අපේ මිනිසුන්ව හිතන්නට පොලඹවන්න පුලුවන් කියලයි. මහා ලොකු ව්‍යාපාර වලට යන්න කලින් මිනිසුන්ව අවදිකරන්න, මේවගේ ප්‍රශ්න ගැන යමි සංවේදී බවක් ඇතිකරන්න මෙි කෙනුත් යමි පිටිවහලක් ලැබෙන්නෙම නැතිද? අනික ‍මේ පෝස්ට් දාල තියෙන්නේ ඔබාමට බලන්න නෙමෙයි ….නිකරැනේ ෆේස් බුක් එකේ ඔ‍‍හේ රස්තියාදු ගහන එවුන්ට පෙනිලා උන්ව ටිකක් සැබැ ලෝකෙට ගෙනෙන්න නෙමෙයිද? ‍ෆේස් බුක් දේශප්‍රේමය සහ ඔයාගේ බ්ලොග් දේශප්‍රෙමයෙයි අතර තියෙන ප්‍රධාන වෙනස වෙන්නෙ ෆේස්බුක් දේශප්‍රෙමය ක්ෂණිකව වැඩිදෙනෙකුට සමිප්‍රේශණය වෙන එක නෙමෙයිද? මහා ලොකු දේශප්‍රේමි ව්‍යාපාරයකට පෙර සුදානමක් විදියට හරි පුලුවන් හැමෝම තම තමන්ට පුලුවන් විදියට හරි දායකත්වය සපයන එක වැරැද්දක්ද කියලා කුහක කම පොඩ්ඩකට පැත්තකින් තියලා හිතලා බලන්න……..

    කැමතියි

    • ලංකාවෙ ෆේස්බුක් සාමාජිකයො කීදෙනාද ඉන්නෙ ? ඔතැනත් රස්තියාදු ගහන අයට හැබෑ හැඟීමක් තියෙනවද ? බ්ලොග් එකේ දේශප්‍රෙමයක් පතුරවන්න බැහැ… එතැන ඉන්නෙ ෆේස්බුක් එකටත් වඩා අඩු සංඛ්‍යාවක්… ඒ වගේම බ්ලොග් එකක හොඳ දේවල් කියවනවා අඩුයි.. ඔන්න කුණුහරුප දෙක තුනක් ලියලා කවියක් දැම්මනම් හැමෝම බලලා කියයි නේ ශෝයි කියලා…
      බ්ලොග් අවකාශයේ ප්‍රවණතා ගැන මමත් හොඳින් අධ්‍යයනය කරලා තියෙන්නේ… හරවත් වැදගත් යමක් බලන ප්‍රමාණය හරිම අඩුයි…
      ඒ වගේම මේ සියළුම දේශප්‍රේමී කැම්පේන කරන අයට පුළුවන් නම් බඩ වඩා ගන්න යන්නෙ නැතිව හරි චිත්‍රය මවා පාන්න අන්න එතැනදි මේ කැම්පේන් හරි යන්න පුළුවන්.. නමුත් හරි චිත්‍රය පෙන්වන්නෙ නැතිව බොරුවට කෑ ගහන එක තේරුමක් නෑ නේද ?

      කැමතියි

      • මෙතැනදි මං ගොඩක් දුරට ඔයා එක්ක එකගයි….හැබැයි කිවයුතු දේවල් කිහිපයක් තියෙනවා.

        1. දේශප්‍රෙමී පෝස්ටරයක් share කරල බඩ වඩා ගන්න පුලුවන්නම් මමත් අද කීයක් හරි හොයාගෙන……(සෝබනයට ඕවා කරන අයත් නම් බුරැතු පිටින්….)
        2. පුවත්පතක හරි බිලොග් එකක හරි තියෙන සාරවත් ලිපියකට දෙන්න පුලුවන්වටත් වඩා “දේශප්‍රෙමී තිගැස්මක්” සමහරවෙලා වලට නිර්මාණශීලී facebook පෝස්ටරයකට දෙන්න පුලුවන්..
        ලිපියක් කියවන්න තරමි සංයමයක් තියෙන එවුන් කීයෙන් කීදෙනාද ඉන්නෙ..? සමහර වෙලාවට මේ “දේශප්‍රෙමී තිගැස්ම” යමකුගේ පලමු පියවර වෙන්නත් පුලුවන් (අඩු තරමේ ලිපියක් වත් කියවලා බලන්න හිතෙන)
        – ඉතින් මම නමි දේශප්‍රේමය සන්නිවේදනය/සංවේදනය කරන්න පුලුවන්කිසිම මාධ්‍යයක් හෙලා දකින්නෙ නෑ…..අදුරෙම ඉන්නවට වැඩිය එක පහනක් හරි දල්වන්න ගිනිපෙටිටිය දික්කරන එකත් වටිනවනෙ……

        කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: