Monthly Archives: අප්‍රේල් 2012

2012 අප්‍රේල් 28 : ඇල්කෙමියාගේ රසායනාගාරය ආයෙමත් විවෘත කරන්නයි යන්නෙ…


ඇල්කෙමියට පොත් කියවන්නයි ලිපි ලියන්නයි තියෙනවා නම් වෙනත් මොකුත් ඕන නෑ.. කවුරු හරි කන්න ගෙනැත් දෙනවා නම්, සහ ජීවිතේ ගැට ගහගන්න සල්ලි හොයලා දෙනවා නම් ජීවිත කාලෙම ලිය ලිය ඉන්න පුළුවන්.  ලියන්නෙ නම් බොහෝ දුරට සිංහලෙන්.. නමුත්  ඇල්කෙමියාගේ රසායනාගාරය යනුවෙන් මුලින්ම මා පටන් ගත් බ්ලොග් අඩවිය ඇල්කෙමිච්චි ඇතුළු මගේ පාට පාට පාඨක පිරිසගේ ඉල්ලීම නිසා නැවතත් විවෘත කරන්නයි හිතාගෙන ඉන්නෙ. නමුත් මේ වතාවෙ නම් එය වෙනස් ආකාරයක් ගන්නවා.

සිංහලෙන් ලියන්න ඇල්කෙමියාගේ දිනපොත තිබෙන නිසා ඇල්කෙමියාගේ රසායනාගාරය ඉංගිරිසියෙන් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. වැඩ වශයෙන්ම මේ ලිපි රසායන විද්‍යාවට සහ පරිසරයට අදාලව ලියැවේවි.

ඉතිං තවමත් ඒ ගැන සිතාගෙන ලිපියකට කරුණු එකතු කරමින් පවතින නිසාත්, අතරමග හදිසියෙම ඇත්තම රසායනාගාරයේ ඉක්මනින් අවසන් කරන්න ඕන වැඩක් පංගාර්තු වුන නිසාත්, ඇල්කෙමියාගේ රසායනාගාරයේ නැවත විවෘත වීම  තරමක් කල් යාවි. නමුත් ළඟදිම යමක් ලියැවේවි… සිංහලෙන් ලියැවෙන දේවල් බොහොමයක් දිනපොතේ ලියැවේවි.

පස්සෙ හමුවෙමු….

2012 අප්‍රේල් 26 : වැඩිවන ගෝලීය උණුසුම හමුවේ සිදුවන නොසිතූ වෙනස්කම් | 10 Surprising Results of Global Warming.


ෆොසිල ඉන්ධන දහනය සහ වැඩිවන ජනගහනය හමුවේ ගෝලීය උෂ්ණත්‍වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව මා කළින් ලිපියෙනුත් පැවසුවා… මේ වැඩිවන ගෝලීය උණුසුම නිසා අපේ ලෝකයේ බොහෝ වෙනස්කම් වෙමින් පවතිනවා. සමහරක් මිනිසාට සුභදායක මෙන් පෙනුනත් ඒ දේවල් දිගුකාලීනව අහිතකරයි: මිනිසාටත් අනෙත් සත්ත්‍වයින්ටත්…. බලන්න… ඔබත් මේ ගැන සිතා බැලුවද කියලා.

10. වැඩිවන ලැව්ගිණි

ඇවිළුණු ගිණි දැල් නිවෙන්නෙ නෑ ලේසියෙන්

ඇමරිකා එක්සත් ජනපදය ස්වභාවික ලැව්ගිණිවලට ලක්වන රටක්. නිරන්තරයෙන්ම කොතැනක හෝ ලැව්ගින්නක් ගැන පුවතක් අසන්නට පුළුවන්. ඒ භූමි ප්‍රමාණය වැඩි වීම වගේම අධික වියලි බව නිසා. මෑත දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලැව්ගිණි ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා අවට පරිසරය උණුසුම් වෙනවා සේම සිදුවන දේපල හානියද උපරිමයි. එක් අතකින් දැනට ඉතිරිව පවතින වනාන්තර විනාශ වෙන අතර අනෙක් පසින් උණුසුම වැඩි වීම, දහනයෙන් කාබන් ඩයොක්සයිඩි වැඩි වීම යන කරුණු නිසා ගෝලීය උණුසුම වැඩි වීමට උපකාරී වෙනවා. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලැව්ගිණි වැඩි වෙනවා. මෙය චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

09. නටබුන් වෙන නටබුන්.

නටබුන් වන නටබුන්

කල්ප කාලාන්තරයක් පුරාවට ලොව වටා තිබූ පෞරාණික වටිනාකමකින් යුත් විවිධාකාර නටබුන් විවිධ පරිසර තත්ත්‍වයනට ඔරොත්තු දෙමින් මෙතුවක් කල් පැවතුනා. නමුත් දැන් දැන් වැඩිවන ස්වභාවික විපත් නිසාත්, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දිය වීම නිසා ඇතිවන අම්ල ගතිය වැඩි වීම නිසාත් ඒ නටබුන් ඉක්මනින් නටබුන් බවට පත් වෙන්නට පටන් අරගෙන තිබෙනවා. අම්ල වැසි ඇතිවෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම නිසාම නොවෙයි. රථවාහන දුම්වලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දියවීම නිසා සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය ද යම් ප්‍රමාණයක් නිපදවේ. මේ සියල්ල එකතු වී අම්ල වැසි ලෙස නටබුන් මතට පතිත වීමේදී ඒ නටබුන් ඛාදනය වී නටබුන් බවට පත්වේ (දිරා යයි.) මේ වෙනස වැඩි වශයෙන්ම දක්නට හැක්කේ කැල්සියම් කාබනේට් හෝ කිරිගරුඬ වලින් තැනූ එළිමහනේ ඇති පිළිම සහ ඇඹුම් වලය.

08. කඳු පන්තිවල වැඩීම.

යූරල් කඳු වැටිය උස ගිහින්...

සාමාන්‍ය ඇසට නොපෙනුනද, අයිස් තට්ටු වලින් වැසී ඇති කඳු පන්තිවල වැඩීමක් පසුගිය වසර සියය තුළදී දක්නට  ලැබී ඇත. අයිස් තට්ටු වලින් වැසී දැඩි පීඩනයකට හසු වී ඇති ගිරි ශිඛර ඒ අයිස් තට්ටු දියවී යාමේදී එම පීඩනයෙන් මිදීම නිසා පෘථිවියේ භූ තල අතර ක්‍රියාකාරීත්‍වයත් සමග කෙමෙන් කෙමෙන් ඉහළට එසවෙන බව සොයාගෙන ඇත. එමෙන්ම හිමාලය අඩවියේ ඇති අධික ජලවාශ්ප සාන්‍ද්‍රණය ඝණ වීම හේතුවෙන් ඒවායේ උසද ක්‍රමයෙන් වැඩි වන පව පෙනේ. මෙය සිදු වන්නේ කඳුමත හිම පතනය වැඩි වීම නිසාය. නමුත් ඉහත කී කරුණ වන්නේ කඳු පන්තිවල පාෂාණමය උස වැඩි වීමයි.

07. පණිවුඩ හුවමාරු සහ අනෙකුත් චන්‍ද්‍රිකාවල වේගය වැඩි වීම.

කාබන් ඩයොක්සයිඩ් නිසා චන්‍ද්‍රිකාවලටත් හෙමින් ගමනක් නෑ

කාබන් ඩයොක්සයිඩ් යමක් සිසිල් කරනවායැයි ඔබ මෙතෙක් අසා ඇත්ද ? කාබන් ඩයොක්සයිඩ් නිසා ඉහළ අහසේ වායු අණුවල ක්‍රියාකාරීත්‍වය වෙනස් වීම සිදු වේ. මෙය සිදු වන්නේ මෙසේය. වායුගෝලයේ පිටතම ස්ථරය ඉතා තුනී ස්ථරයකි. එසේ වුවද, වායු අණු චන්‍ද්‍රිකාවල ගැටී යම් ඝර්ෂණයක් ඇතිකරයි.මේ නිසා ඒවායේ වේගය අඩු වී කක්‍ෂ වලින් පිටතට ගමන් කරයි. මේ නිසා කළින් කලට ඉංජිනේරුවරුන් විසින් චන්‍ද්‍රිකාවල වේගය වැඩ් කර නැවත කක්‍ෂගත කරනු ලබයි. නමුත් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යයි. වායුගෝලයේ පහළ ස්ථරවල වූ කාබන් ඩයොක්සයිඩ් වායු අණු එකිනෙක ගැටීමේදී ශක්තිය තාපය වශයෙන් පිට වීමේදී අවකාශය උණුසුම් වේ. මේ නිසා ඉහළ වායු ගෝලය ප්‍රසාරණය වී වායු අණු ඈත් වේ. මෙසේ ඈත්වන වායු අණු අවට අවකාශය සිසිල් කරයි. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වනවිට මේ සිසිල්වීම වැඩි වී ඝර්ෂණය අඩු වේ. චන්‍ද්‍රිකා වේගයෙන් ගමන් කරයි.

06. වෙනස් වන්නෝ දිනන්නෝය.

පරිසරයට අනුවර්තනය වීම හෙවත් Environment එකට Adjust වීම

ගෝලීය උණුසුම වැඩි වන විට සිදුවන ප්‍රධානම දේ වසන්ත ඍතුව ඉක්මනින් උදා වීමයි. එනම් ගස් වල මල් හට ගැනීම, පළ හට ගැනීම ඉක්මන් වීමයි. සාමාන්‍ය රටාවකට හුරු වී ඇති සතුන් පැරණි ආකාරයටම ආහාර සොයා යෑමේදී සිදු වන්නේ කළින් මල පල හට ගැනීම නිසා ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වීමයි. නමුත් නව කාලගුණ රටාවට හුරු වන සතුන් ස්වභාවික වරණයේදී ඉතිරි නොනැසී පවතී, මේ නිසා නව කාලගුණ රටාවට හුරු වන සතුන්ගේ ජාන ඇති පරම්පරාව ඉදිරියට රැකෙමින් පවතින අතර පැරණි තාලයට හැඩ ගැසුන පරම්පරාව වඳවී යයි.

05. හිම දියවීම

මිදුනු හිම දියවෙද්දි ගොඩක් රහස් එළියට එන්න පුළුවන්.

මිහිතලය උණුසුම් වීම නිසා සිදු වන්නේ ධ්‍රැවීය අයිස් දියවීම පමණක් යැයි කියා ඔබ සිතනවා නම් මෙන්න තවත් සිතන්න දෙයක්.  මේ ධ්‍රැවීය අයිස් තට්ටු යටින් ඇති මෘදු පස් ස්ථරයේ අධික කාබන් සංයෝග ප්‍රමාණයක් අඩංගුයි. මෙයට ඉංගිරිසියෙන් කියන්නේ Permafrost  කියායි. එනම් ස්ථිර වශයෙන්ම දිගු කාළයක් මිදීමකට ලක් වූ පස් ස්ථරයයි. ධ්‍රැවීය අයිස් දියවීමෙන් මේ ස්ථරය නිරාවරණය වෙනවා. මෙය දියවුනොත් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් සංයෝග ප්‍රමාණය අති විශාලයි. ඒ එක පැත්තක්. අනෙක් දේ වන්නේ පොළවේ අනෙක් ප්‍රදේශවල පවා ඉහළම ඇති සාමාන්‍ය පාෂාණ තට්ටුවට යටින් ඇති මෘදු පස් තට්ටුව දියවීම නිසා ඉහළම ඇති පස් තට්ටුව අවිධිමත් ලෙස හැකිලෙන්නට පටන් ගනී. මෙය පොළව මතුපිට ඇති ගොඩනැගිලි ගිලා බැසීම, මංමාවත් ගිලා බැසීම මෙන්ම ක්‍ෂණික ගිලා බැසීම් ආදිය ඇතිකිරීම සිදු කරයි. එසේම අයිස් යුගයේ ආදී ඈත යුගවල මියගිය මිනිසුන්/සතුන් ගේ සිරුරු මේ දියවීමේදී නිරාවරණය වන නිසා මේ ලෝකයෙන් තුරන් වී ගිය වසූරිය වැනි රෝගවල රෝග කාරක වෛරස නැවත සක්‍රීය වීමේ අවදානමක් ද ඇති වී ඇත.

04.  ධ්‍රැවීය විල් සිඳී යාම

විල් සිඳී යාම නිසා සිදුවන අහිතකර දෑ බොහෝයි.

උත්තරධ්‍රැවයේ පැවති විල් 125 ක් පසුගිය දශකය ඇතුලත සිඳී ගොස් ඇත්තේ නාන තටාකයක පතුලේ වූ ඇබයක් ගලවා දැමුවාක් මෙන් ජලය පොළවට උරා ගැනීමෙනි. මීට පෙර කරුණේ පැවසූ Permafrost ස්ථරය දියවී යාමේදී පසේ යටි ස්ථරය නිරාවරණය වී ජලය ඒ පස අතරින් ගලා ගොස් සිඳී යාමයි. මෙසේ විල් සිඳී යාමේදී ඒ හා බැඳුනු පරිසර පද්ධති සහ ජෛව පද්ධති සියල්ල අස්ථායී වී විනාශ වේ. මේ නිසා ධ්‍රැව ආසන්නයේ වූ ඉතා සාරවත් ජෛවීය පද්ධති බිඳ වැටේ. මෙය අහිතකර තත්ත්‍වයක්.

03. ආක්ටික් ධ්‍රැවයේ පිබිදීම.

පිබිදෙන ආක්ටික් ධ්‍රැවය

සාමාන්‍යයෙන් ආක්ටික් ධ්‍රැවය බොහෝ දුරට අයිස් තට්ටු වලින් වැසී පවතින කලාපයක්. නමුත් දැන් දැන් වැඩිවන ගෝලීය උණුසුම හමුවේ අයිස් දියවී යාම නිසා පස් තට්ටු මතු වීමට පටන් අරගෙන තිබෙනවා. මේ නිසා පසේ උණුසුම වැඩි වී සහ ජලයේ උණුසුම වැඩි වී නව පරිසර පද්ධති බිහි වීමට පටන් අරගෙන තිබෙනවා. මෙය එක අතකට සුභදායී දෙයක්. මක් නිසාද යත් පොළවේ වඩාත්ම පෝෂණය අතින් පොහොසත් මුහුදු ඇත්තේ ධ්‍රැවීය පෙදෙස් ආසන්නයේ. මේ නිසා  පෝෂණය අතින් සරු සාර වෙනවා. මසුන් වැඩිපුර ඇති වෙනවා. සාමාන්‍යයෙන් තල්මසුන් ආහාර සොයාගැනීම පිණිස සංක්‍රමණය වන්නේ ද මේ පෙදෙස් වලට. මෙහි වැඩෙන කුඩා ඉස්සන් වැනි මත්ස්‍ය විශේෂ වන Krill නම් සතුන් තල්මසුන්ගේ ප්‍රණීත ආහාරයක්.

02. කඳුවලට සංක්‍රමණය වන ආක්ටික් වාසී සතුන්.

කඳු නගින්නත් බෑ.. නොගිහිනුත් බෑ

පසුගිය ශතවර්ෂය පුරා සතුන්ගේ හැසිරීම සොයා බැලීමේදී විද්‍යාඥයන් දුටු දෙයක් වන්නේ ඒ සතුන් කඳු සහිත පෙදෙස් වලට සංක්‍රමණය වීමට රුචිකත්‍වයක් දක්වන බව. මෙයට ප්‍රධාන හේතු වී ඇත්තේ ජනාවාස වැඩි වීම සහ ගෝලීය උණුසුම් වීමයි. මේ අයුරින්ම ආක්ටික් පෙදෙස්වල ජීවත් වන සතුන් බොහොමයක් දැන් දැන් කඳු පෙදෙස් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා ලු. හිම වලසුන්, හිම වෘකයන් සහ වෙනත් සතුන් මුහුදුබඩ පෙදෙස් වලින් ඈත් වන්නට පටන්ගෙන තිබෙන්නේ මේ හේතුව  නිසා බවයි ඔවුන් පවසන්නේ.

01. ආසාත්මිකතාවයන් ගේ අසාමාන්‍ය වැඩි වීම.

හා ච්... චිං....

පසුගිය දශකය පුරාවට බොහෝ දෙනෙකුගේ ආසාත්මිකතාවයන් ඉහළගොස් ඇතිබව සංඛ්‍යාලේඛණ වලින් සොයාගෙන තිබෙනවා. මෙම වැඩි වීමට පරිසර දූෂණය සහ වෙනස්වන ආහාර සහ ජීවන රටා බලපෑවද, පාරිසරික හේතු නිසා ඇතිවන ආසාත්මිකතාවයන්ට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම සහ උෂ්ණත්‍වය වැඩි වීමයි. මේ කරුණු දෙක වැඩි වීමේදී වසන්ත ඍතුවේදී (Spring Season) ශාකවල මල් ඵල හට ගැනීම ඉක්මන් වනවා සේම හට ගන්නා මල් ඵල ප්‍රමාණය ද වැඩි වෙනවා. මේ නිසා වැඩිපුර පරාග වර්ග නිෂ්පාදනය වෙනවා. එලිමහනේ සිටීම නිසා ඇතිවන ආසාදන (Outdoor Allergies) වලට ප්‍රධාන හේතුව වන්නේ මේ පරාග සහ තණකොළ ආදී දේ. මෙසේ මේවා වැඩි වන්න වැඩි වන්න ආසාත්මිකතාවයන් ඇතිවනවා වැඩියි. වසන්ත සමයේ මුල්කාලයේ වැඩිපුර පරාග නිපදවීම සිදු වන විට ආසාත්මිකතාවයන් පවතින කාලපරිච්ඡේදය වැඩි වෙනවා.

වෙනස්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වැඩිවන ගෝලීය උෂ්ණත්‍වය හමුවේ සිදුවන අසාමාන්‍ය වෙනස්කම් දහයක් තමයි මේ… සමහරවිට අපට මේවා නොදැනෙන්න පුළුවන්. නමුත් ඇත්ත නම් මේ කරුණු සමග ලෝකය වෙනස්වන බවයි. හොඳ පැත්තට වෙනස් වනවාද නරක පැත්ත වෙනස් වනවාද යන්න ඉදිරි කාලයේදී අපට බලාගන්න පුළුවන් වේවි.

2012 අප්‍රේල් 24 : ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් එක්ක නිරුවත් කොළණියක මිහිකත දිනේ සැමරූ හැටි…. දහ අට ප්ලස් අයට පමණයි….


ජගත් මිහිකත දිනය වුනේ අප්‍රේල් 22 වනදා… ලෝකෙ එක එක සංවිධාන එක එක විදියට මේ මිහිකත දිනය සමරනවා… සමහරු සරළව අර්ථාන්විතව සැමරුවත් සමහරු අන්තයටම යන අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතිං හැම අවස්ථාවකම දකින්න පුළුවන් නේ…. අපිත් මිහිකත දිනේ සැමරුවා… අපි කියන්නෙ මම කිවුවොත් හරියටම හරි….

පාවෙන ඇඳක්...

ඉතින් මමත් දන්න කියන කට්ටියක් මිහිකත දිනේ සමරන්න ලක ලෑස්ති වුනේ අමුතුම අන්දමකට… පරිසරයට බොහොම ලැදි කට්ටියක් වන මේ අය පරිසරයට බොහොම ලං වෙන්න ඕන නිසා උපන් ඇඳුමෙන්ම පරිසර දිනේ සමරන්න යොදා ගත්තා… පරසරය සුරැකීමෙ සංවිධාන කියන්නෙ පාවිච්චිය අඩු කරන්න (Reduce) නැවත පාවිච්චි කරන්න (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) කරන්න කියන එකනෙ… ඉතිං මේ ගොල්ලොත් ඇඳුම් අඩුවෙන් ඇඳලා බොහෝ දේවල් නැවත නැවත පාවිච්චි කරලා.. තවත් දේවල් ප්‍රතිචක්‍රීකරණය කළා…..ඇමරිකාවෙ ලිංගික නිදහස කොච්චරද කියනවා නම් නීති ප්‍රකාරව පවත්වාගෙන යන නිරුවත් කොළණි බොහොමයක් තිබෙනවා… මෙය සාමාන්‍ය මිනිසුන් එතරම් අනුමත නොකළත් මානව නිදහස අගයනවා යැයි කියන සමහර මිනිස්සු සහ තවත් සමහර වෙනත් අභිමතාර්ථ ඇති උදවිය මේවට යනවා ඕන තරම්… ඉතිං මම නම් මේකට ගියේවත් එහෙම සිදුවීමක් සිදු වුනේවත් නැහැ….

ලිපියෙ ඉතිරි ටික ඉවර කරන්න ඉස්සර ඔය සමහර මහත්වරුන්ට සහ නෝනාවරුන්ට අම්බානකට බණින්න මට ඕන…. මේ මම අත් විඳපු, මම අත්හදා බලපු කාරණයක්… මේ බ්ලොග් අඩවිය අනුසාරයෙනුත් මම විවිධ පර්යේෂණ කරනවා… මම ලියන හැම ලිපියක්ම යම් හේතුවක් ඇතුවයි මම ලියන්නෙ.. දැනුම බෙදීමට අමතරව, සමහර විට එය ඔබේ රුචිකත්‍වය කුමක්ද කියලා බලන්න ලියපු දෙයක් වෙන්නත් පුළුවන්. මම ලිපියකට එන හිට්ස් ගණන ගැන එච්චර සැලකිළිමත් නොවුනත් මෙච්චර කාලයක් මම ලියපු හැම ලිපියකටම ආපු හිට්ස් ගණන මා සතුව තිබෙනවා. මිනිසා දේශපාලන සත්ත්‍වයෙක් සහ ලිංගික සත්ත්‍වයෙක් කියන කාරණය සත්‍ය බව පසක් කරන්නට මෙය හොඳ සාක්‍ෂියක්. මා ලියූ ලිපිවලින් වැඩිපුරම හිට්ස් ලැබී ඇත්තේ මේ අංශ දෙකට අදාල ලිපි වලටයි. සතියක් තිස්සේ කරුණු සොයාගෙන ඔබ දැනුවත් කරන්න, ඔබ වෙනුවෙන් ජගත් මිහිකත දිනය වෙනුවෙන් ලියූ ලිපියට පෙර කියූ ලිපි වලට ලැබූ අවධානයෙන් දහයෙන් එකක්වත් ලැබුණෙ නැහැ…. ඔබේ මානසිකත්‍වය ඔබම සිතා බලන්න….

ඔන්න බලන්න මේ ලිපිය කී දෙනෙක් බලන්න එනවද කියලා…

දැන් ආපු එකේ මෙන්න මේකත් බලලම යන්න… ලෝකය යහමඟට හරවන්න දේශපාලන නායකයොන්ට පමණක්ම බැහැ…. අපි අපිම ලෝකය ගැන සිතලා වෙනස් වෙන්න ඕන…. අපි වෙනස් වෙමු… හිතන විදිය, කරන දේ වෙනස් කරමු… එක දවසකට එක දෙයක් බැගින්…..

මේ මිහිකත දිනය වෙනුවෙන් මා ලියපු, කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඒ ලිපිය…. මුල ලිපිය බලන්න අවශ්‍ය නම් මෙතැනින් යන්න.

මේ වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7 ක් ඉක්මවා ගොස් ඇත. අප්‍රේල් පළමුවැනි දින වන විට හරියටම එය 7,004,110,246 කි. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටී. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළද, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරති.

අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා ඇත. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවේ. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය.

කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා මිස අඩු වීමක් නොවීය. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 394 ක් (394.45 ppm) පමණ වේ. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm කි. මෙය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2010 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක්  (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ.  තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.

මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.

මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම  – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්.   ඒ පාරිසරික පැත්ත.

සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා. මේ අනෙක් පැත්ත.

අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒ ප්‍රධාන වශයෙන්ම අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම නිසායි. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.

බලශක්ති පරිභෝජනය කළමණාකරණය කිරීම.

මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා  ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.

තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.

  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
    • උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
  • ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
  • සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
    • උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
    • දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
  • Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
  • කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම

රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී

  • හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
    • සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
    • රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
  • ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
    • සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
    • එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
  • ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
    • අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.

තව ලිවීමට බොහෝ දේ ඇතත් ලිපිය දිග වැඩි වන නිසා මෙසේ කෙටියෙන් සටහන් කිරීමට සිදු විය.

අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇත. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වේ. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතී. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද ? පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙනි. මේ කිසිවෙකු අනාගත පරපුරේ පැවැත්මක් ගැන නොසිතති.

සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ MIT සරසවියේ සිට දැන් Harvard සරසවියට මාරු වී ගොස් ඇති මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවකි. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී ඇත. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙනි. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටී.

ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුය… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුය….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැත.

අපේ නොසැලකිළිමත් කමින් අද අප විනාශ කරන්නේ අපේ දරුවන්ගේ හෙට දවසයි……

ඔබට ඔබේ දරුවන් ගැන ආදරයක් ඇත්නම් මෙහි අඩංගු දෑ හැකි පමණ බෙදා ගන්න……..

2012 අප්‍රේල් 21 : අනාගත පරපුර වෙනුවෙන්……….. අද අපේ ලෝකය සුරකිමු… මිහිකත දිනය වෙනුවෙන් සටහනක්……


අනාගත පරපුර වෙනුවෙන්.....

මේ වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7 ක් ඉක්මවා ගොස් ඇත. අප්‍රේල් පළමුවැනි දින වන විට හරියටම එය 7,004,110,246 කි. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටී. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළද, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරති.

අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා ඇත. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවේ. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය.

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම

කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා මිස අඩු වීමක් නොවීය. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 394 ක් (394.45 ppm) පමණ වේ. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm කි. මෙය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2010 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක්  (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ.  තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.

ගෝලීය උණුසුම වැඩිවීම පිළිබිඹු කෙරෙන දර්ශක දහය

මෙසේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම වැඩි වනවා. එසේ වැඩිවීමේ මූලික ප්‍රතිඵලය වන්නේ ධ්‍රැවීය අයිස් දිය වී යාමයි. එසේ දියවන අයිස් සාගර වලට එකතු වීමෙන් මුහුදු මට්ටම ඉහළ යනවා. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් තවමත් ජීවත් වන්නේ වෙරළ ආසන්න නගරවල. මෙසේ වැඩිවන ජලමට්ටම නිසා ඔවුනට වෙරළබඩ අතහැර උස් බිම් කරා ඇදෙන්නට වෙනවා. එවිට සිදු වන්නේ උස්බිම් එළි පෙහළි වීම සහ වන විනාශයයි. වායුගෝලයේ ඇති ගිගා ටොන් 800 ක් වූ කාබන් අඩංගු සංයෝග වලින් ගිගා ටොන් 120 ක්ම ප්‍රතිචක්‍රීකරණය වන්නේ වනාන්තර මගින්. වනාන්තර සහ කෘෂි භෝග මගින් ප්‍රභාසංසලේෂණයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනු ලබනවා. උත්තරාර්ධගෝලය වැඩිපුරම ගොඩබිම් ප්‍රමාණයකට උරුමකම් කියන නිසාම, උත්තරාර්ධගෝලයේ ශීත ඍතුව කාළයේදී  (ශීත ඍතුවේදී ශාකවල කොළ හැලීම නිසා) සාමාන්‍යයෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්නේ මේ නිසායි.

පසුගිය වසර තුළ දී වායුගෝලීය උණුසුම ඉහළ ගිය අයුරු

මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.

මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම  – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්.   ඒ පාරිසරික පැත්ත.

සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා. මේ අනෙක් පැත්ත.

අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒ ප්‍රධාන වශයෙන්ම අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම නිසායි. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.

බලශක්ති පරිභෝජනය කළමණාකරණය කිරීම.

මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා  ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.

තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.

  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
    • උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
  • ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
  • සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
    • උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
    • දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
  • Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
  • කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම

රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී

  • හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
    • සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
    • රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
  • ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
    • සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
    • එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
  • ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
    • අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.

තව ලිවීමට බොහෝ දේ ඇතත් ලිපිය දිග වැඩි වන නිසා මෙසේ කෙටියෙන් සටහන් කිරීමට සිදු විය.

අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇත. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වේ. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතී. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද ? පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙනි. මේ කිසිවෙකු අනාගත පරපුරේ පැවැත්මක් ගැන නොසිතති.

සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ MIT සරසවියේ සිට දැන් Harvard සරසවියට මාරු වී ගොස් ඇති මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවකි. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී ඇත. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙනි. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටී.

ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුය… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුය….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැත.

අපේ නොසැලකිළිමත් කමින් අද අප විනාශ කරන්නේ අපේ දරුවන්ගේ හෙට දවසයි……

ඔබට ඔබේ දරුවන් ගැන ආදරයක් ඇත්නම් මෙහි අඩංගු දෑ හැකි පමණ බෙදා ගන්න……..

2012 අප්‍රේල් 20 : මේ ලංකාවේ අනාගත්ත ආශ්චර්යය……. පය බරවායට පිටිකර බෙහෙත් බඳින ගමන්…… වැටයි නියරයි ගොයම් කනවා….


ඇයි මට දේශපාලන ලිපි ලියන්න හිතෙන්නෙ… ? වෙන ලිපි ලියන්න බැරි නිසාද ? පහසු නිසාද ? මට දේශපාලනඥයන්ව පේන්න බැරි නිසාද ? හොඳක් පේන්නෙම නැති නිසාද ? ඒ අය කරන කියන මෝඩ වැඩ – මෝඩ කතා වලට අපට කට තියන් ඉන්න බැරි නිසාද ?

අංක එක.

ලංකාවට එන සංචාරකයොන්ගෙ ආරක්‍ෂාවට පොලීසියෙ මහත්වරුන්ගෙ සංඛ්‍යාව වැඩි කරන්න යනවා ලු.

අපරාදෙ කියන්න බෑ මේ තීරණය ගත්ත මහත්තයාගෙ අම්මටයි තාත්තටයි මල් තියලා වඳින්න ඕන මේ වගේ බුද්ධිමතෙක් හැදුවට… දැන් එතකොට ලංකාවට එන සංචාරකයො  හැම එකාටම පොලිස් එස්කෝට් එක දෙන්නයි යන්නෙ. මොකද මදන කුලප්පුව හැදිච්ච ප්‍රාදේශීය සභා සභාපතිවරු එහෙම ඒ අයට අතවර කරලා මරලා දාන නිසා…. එතකොට පොලිස් නිලධාරීන්ගෙ සංඛ්‍යාව වැඩි කළාම ඒ මහත්වරුන්ට පඩි දෙන්නෙ අර තීරණය ගත්ත මහත්තයගෙ අස්ථි උගස් තියලද ? ඒ වගේම ඒ පොලීසියට ගන්න මහත්වරුන්ගෙ සුදුසුකම් මොනවද ? අට පාස් එකද පහ ෆේල් එකද ? උපාධිධාරී රැකියා විරහිත තරුණ තරුණියො සෑහෙන ප්‍රමාණයක් ලිප්ටන් වට රවුමෙ සැරින් සැරේ ප්‍රතිචාර දක්වනවා. ඔන්න ඒ අයට රැකියා දෙන්න අවස්ථාවක් ඇවිත්….

පොලීසියෙ ප්‍රමාණය වැඩි කරනවා නෙවෙයි, රටේ ඉන්න හැම එකාම පොලීසියට බඳව ගත්තත් රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් වැඩක් නෑ… බලයයි සල්ලියි ඇති එකාට එක නීතියකුත් අහිංසකයොන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවිට රටට සංචාරකයො නෙවෙයි මැස්සෙක්වත් එන්නෙ නෑ… පොලීසියෙ ප්‍රමාණය වැඩි කරන එක හොඳයි, රැකියා නැති මිනිස්සුන්ට රැකියා ලැබෙයි… නමුත් එතැනිනුත් ලැබෙන්නෙ තම තමන්ගෙ දේශපාලන හෙංචයියොන්ට…. ඒ වගේම නුසුදුස්සොන්ට… නමුත් දැන් දැන් නුසුදුස්සො ඉහළ තැන්වල රජකරන යුගයක් ඇති නිසා ඒක පුදුම වෙන්නත් දෙයක් නෙවෙයි. මේ නිසා පොලීසිය ගැන තියෙන ගරුත්වය (එහෙම එකක් තිබුණා නං) නැතිව යනවා… පඳුරකට පයින් ගැහුවම පොලීසියෙ 20 ක් විතර විසිවෙන තත්ත්‍වයක් ඉදිරියේදී ඒවි…

ඇයි අපිට නීති රීති දැඩි කරලා හැමෝටම එක විදියට දඬුවම් දීලා මිනිස්සුන්ව විනය ගරුක කරන්න බැරි ? ඇයි අපට මිනිස්සුන්ගේ ආකල්ප හරිගස්සන්න බැරි ? බොරුවට පොලීසියේ නිලධාරී සංඛ්‍යාව වැඩි කරලා ජනතාවගේ පිට තවත් බර පටවනවාට වඩා විකල්පයක් ඇත්තෙම නැද්ද ?

මේකයි ආසියාවේ අනාගත්ත ආශ්චර්යය……

අංක දෙක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැරදි කරන දේශපාලනඥ‍යන්ට විරුද්ධව විනය පරීක්‍ෂණ කිරීම නවත්වන්න යනවා ලු... ඉහළ තනතුරු වල අයගෙ උනන්දුවක් නැති නිසා…..

මේක ගැන නම් ලියන්න දෙයක් නෑනෙ…. බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ…..

ඒ නිසාම තමයි ඩේලි මිරර් පත්‍රයේ මෙන්න මෙහෙම කාටූන් එකක් දාලා තියෙන්නෙ

ගෙදරක දෙමාපියො අවලමේ යනකොට දරුවොන්ට හොඳට හැදෙන්න කියන්න ඒ මිනිස්සුන්ට සදාචාරාත්මකව බැහැ. මහ කකුළුවා ඇදට ගමන් කරන ගමන් පොඩි එවුන්ට කෙළින් යන්න කියනවා වගේ අපේ ලොකු ලොක්කොත් අපට හැදෙන්න කියලා බණ කියනවා හැම තැනම… ඒ වුනාට තමන්ගෙ කකුල් පාමුලම ඉන්න හෙංචයියො වැරදි කරනකොට උන්ට දඬුවම් දෙන්නෙ නැතිව පාරෙ අයිනෙ තියෙන මඤ්ඤොක්කා පඳුරක් බඩ ගින්නට ගලවගෙන යන එකා හිර කූඩුවෙ දාන්න අපේ දේශපාලනඥයන්ට යි පොලීසියටයි පුළුවන්…

මේක හැදෙන සමාජයකවත්, පවතින රජයක වත් ලක්‍ෂණ නොවෙයි…. හැමදාම මිනිස්සු හිරවෙලා ඉන්න එකක් නැහැ…. පුපුරා යන දවසක් එනවා… එදාට නම් මොන හමුදාව දැම්මත් ඒ ප්‍රවාහය වලක්වන්න බැරි වේවි….

රටට ආදරය කරන මිනිසා පවතින ආණ්ඩුවට ආදරය කල යුතු යැයි නීතියක් නැහැ….. නමුත් අපේ දෙකයි පණහේ දේශප්‍රේමීන් හිතන් ඉන්නෙ රටට ආදරය කරනවා කියන්නෙ ආණ්ඩුවට කඩේ යනවා කියන එක යි කියලා….

කතා කරලා වැඩක් නෑ………

2012 අප්‍රේල් 19: කෙට්ටු ගෑණු ඉන්න පවුල්වල විවාහ ජීවිතේ සැප වැඩියි ලු……….


පසුගිය සතියක කතන්දර කාරයා කියලා තිබුණේ කාන්තාවන් ව්‍යායාම කළාම සුරාන්තය ලබනවා කියලා.. ඒකෙ ඉංගිරිසි ප්‍රවෘත්තිය මෙතැනින් බලන්න. දැන් ලංකාවෙ කට්ටිය ගෙදර වැඩත් බලන්නෙ නැතුව ව්‍යායාම් කරනවා කියලා පත්තරවල තිබුණා… මේ තියෙන්නේ ඒකට තවත් බෝනස් එකක් එන ප්‍රවෘත්තියක්… ඒ වගේම ගෑණු කට්ටියට කෙට්ටු වෙන්න තවත් හේතුවක්… මම නෙවෙයි කියන්නෙ… ඩිස්කවරි ප්‍රවෘත්ති වල…

ටෙනිසී සරසවියේ පර්යේශකයන් පිරිසක් විසින් අළුතින් විවාහ වූ පවුල් 170 ක දත්ත අනුසාරයෙන් තමයි මේ ප්‍රවෘත්තිය එළි දක්වලා තියෙන්නේ. මේ සඳහා යොදා ගෙන ඇති දත්ත වන්නේ ශරීරයේ පරිවෘත්තීය අගයයක් (BMI) සහ විවාහ ජීවිතේ අළලා සැකසුන ප්‍රශ්නාවලියක්.

BMI එක මනින්නේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් ගණන උස මීටර ගණනින් බෙදීමෙන්… ගණනය කරන තැනට මෙතැනින් යන්න. ඒ අනුව මේ සතුටින් සිටින පවුල්වල පිරිමියාගේ BMI අගයට වඩා ගැහැණියගේ BMI අගය අඩුවෙනුයි තිබී ඇත්තේ. එනම් ගැහැණිය පිරිමියාට වඩා හොඳ ශරීර සෞඛ්‍යයකින් සහ නම්‍යශීලී බවකින් යුක්තයි. සාමාන්‍යයෙන් අඩු BMI අගයක් ඇති උදවිය ක්‍රියාශීලී බවින් වැඩියි. ඒ නිසාම සතුටිනුත් සිටිනවා.  මේ පර්යේෂණයට අනුව සහභාගී වූ උදවියගෙන් අඩු BMI අගයක් ඇති විවාහක කාන්තාවන් පවා විවාහ ජීවිතය පිළිබඳ සතුටින් සිටින බවයි වාර්තා වෙන්නෙ. එසේම සතුටින් සිටින බිරියන් ඇති පවුල් බොහොමයක පිරිමියාත් සතුටින් සිටින බවත් වාර්තා වෙනවා.

කොටින්ම කියනවා නම් පිරිමියාගේ ශරීර ප්‍රමාණය කුමක් වුනත් ගැහැණිය එයට වඩා කුඩාවට හුරුබුහුටියට සිටීමෙන් සහ සතුටින් සිටීමෙන් විවාහ ජීවිතය සතුටින් ගෙවිය හැකි බව පැවසෙනවා.

සාමාන්‍ය දැනුමට අනුව වුනත් පවුලක සතුට බොහෝ දුරට රඳා පවතින්නේ දෙන්නා දෙමාල්ලෝ සතුටින් සිටීම නිසා. මූණ පුම්බන් ඉන්න ගෑණියෙකුට හෝ නිතර තරහ යන ගෑණියෙක්ට කිසිම මිනිහෙක් කැමති වෙන්නෙ නෑ… ඒ වගේමයි අනිත් පැත්තත්. නිතරම දෙන්නා සමබරව සිටිය යුතුයි. ඒ වගේමයි කෙනෙකුගේ නිරෝගී බව මත සතුට රඳා පවතිනවා.  රෝගී ස්වාමියෙක් බිරිඳක් ඉන්න පවුලක සන්තෝසය අඩුයි. නිරෝගී බව රඳා පවතින සාධක කිහිපයක් තියෙනවා. ඒ අතර ශරීර සෞඛ්‍යය රැක ගැනීම ප්‍රධාන කරුණක්. කෙනෙකු මහත් වෙන්න මහත් වෙන්න ශරීර සෞඛ්‍යය පිරිහෙනවා. එමෙන්ම ආකර්ෂණීය බවත් අඩු වෙනවා. එවිට දෙදෙනා අතර බැඳීමත් අඩු වෙනවා.

ශරීරය මහත් වෙනවිට අවශ්‍ය ඇඳුම් ලොකු වෙනවා. රෙදි ගන්න සල්ලි වැඩියෙන් යනවා.  කන්න අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. අවශ්‍යතා වැඩි වෙනවා. එතකොට රුපියල් 7500 කින් පවුලකට ජීවත් වෙන්න බැරි වෙනවා. ඉතිං හදිසියේ චිත්‍රපටියක්වත් බලන්න සල්ලි නැති වෙනවා. එවිට පවුලෙ සංතෝසය නැති වෙනවා. අන්න බලන්න මහත ගෑණු ඉන්න පවුල් වලට ඇති වෙන ප්‍රශ්න… ඒ වගේම කිසිම නම්‍යතාවයක් නැති වුනාම ඇඳේදි වුනත් ප්‍රශ්න වැඩියි… හරියට නිදා ගන්නවත් බෑ… වාත අමාරු වගේ රටේ ලෝකෙ නැති ලෙඩ…..

පවුලක සතුට බොහෝ දුරට රඳා පවතින්නේ පවුලේ මව – කාන්තාවගේ ආකල්ප සහ ක්‍රියා පටිපාටිය අනුව… ලෝකෙ කොතරම් පීතෘ මූලික සමාජයක් වුනත් පවුලේ වැඩි වගකීමක් දරන්නෙ මව…. අම්මා නැති කළ –  අප්පා කවර කල කියලා කියන්නේ මව නැති පවුලක සංවර්ධනය පිළිබඳව වෙන්න ඇති… ඒ පවුලේ සන්තෝසය ඇති කරන්න පියාගෙ – පිරිමියාගෙ සහය ලබා ගන්නත් ගැහැණිය දැනගන්න ඕන… හුචක්කුවක් වගේ ඉන්නෙ නැතිව ප්‍රිය මනාපව ඉන්න ඕන… ස්වාමියාව හැම දේටම කන්න බලාගෙන ඉන්නෙ නැතිව ඒ මනුස්සයාට ටිකක් ආදරයෙන් සලකන්න ඕන.

අපිට සලකනවනං තමයි අපිටත් සලකන්නෙ කියන කතාව දෙදෙනාටම පොදුයි…. ඉතිං දෙන්නට දෙන්නා සලකගෙන දෙයියනේ කියලා සංතෝසෙන් ඉන්න….

ඒ වගේම තමන්ගෙ සහ පවුලේ සංවර්ධනය ගැන හිතලා ඔය බෙර කොට වගේ ඉන්න කට්ටිය ටිකක් හිතලා බලලා කෙට්ටු වුනොත් හැමෝටම හොඳ වේවි….

ඉංගිරිසියෙන් කියවන්න කැමති අය මෙතැනින් බලන්න…

2012 අප්‍රේල් 18 : හදිසියෙම ලංකාවට ගිහින් ආවා…. කියන්න බැරි වුනා කාටවත්…. මෙන්න විස්තරේ….


අපට අවුරුද්ද ලබන්නෙ ලංකාවට ලැබුවට පැය 10.30 කට පස්සෙ.. උදේ පාන්දර තලබනුව නාද වෙනකොට මම නම් හිතුවෙම මොකක් හරි මරාලයක් කියලා. සාමාන්‍යයෙන් අවේලාවේ තලබනුව නාද වෙනකොට හිතට දැනේනෙ සංතෝසයක් නෙවෙන නිසා.

හලෝ… මම ඇමතුවා

සුබ අළුත් අවුරුද්දක් වේවා පුතා….. කවුද කියලා කියන්නෙත් නැතිව අවුරුද්දට සුභ පැතුවෙ ගැහැණු කටහඬක්…

සු.. සුභ අළුත් අවුරුද්දක්.… නිදිමතේම මමත් සුභපැතුවා…. කවුද මේ ? මම ඇහුවෙ කටහඬ අඳුනගන්න බැරි නිසාමයි….

මේ මම කොළඹ ඇන්ටි…. අඳුරගන්න බැරි වුනාද ? වෙනදා අවුරුද්දට කතා කරන පර්සි මාමා වෙනුවට අද එහා පැත්තෙ හිටියෙ කොළඹ ඇන්ටි.

අනේ ඇන්ටි අඳුරගන්න බැරි වුනානෙ…. කාළෙකින් කතා කළෙත් නැහැනෙ

ඒකනෙ පුතා… මේ දවස්වල හරියට වැඩ…. ඉතිං කොහොමද ?…

නිදි මතේම මමත් අපේ විස්තර බොහොම කෙටියෙන් කිවුවා.

මේ මම පුතාට කතා කරන්න හිටියේ පොඩි වැඩකට… පුළුවන් නම් වහාම ලංකාවට ඇවිත් යන්න එන්න… ලොකු හදිසියක් නෙවෙයි..හිත කලබල කරගන්න එපා.. කාටවත් කරදරයක් නෑ…. නමුත් පුතාට කියලා ලොකු වැඩක් කරවගන්න තියෙනවා… මම ටිකට් හදවලා FedEx කරලයි තියෙන්නෙ… අද උදේ පුතාට ටිකට් හම්බවෙයි… හවසම එන්න ලෑස්ති වෙන්න…

මේ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හිත හිත ඉන්නකොටම ගෙදර දොරට කවුදෝ තඩිබානවා…. දොර ඇරලා බැලින්නං මෙන්න ඉටි කිරිස් කෑල්ලක් FedEx ලිපිකවරයක් දික් කරගෙන ඉන්නවා…. කබ කඩ කඩ එයා කියපු තැන අත්සන් කරපු මම ලියුම් කවරය  ඇතුලෙ තිබුණ ගුවන් ටිකට්පත අරගෙන බලලා දඩිබිඩියෙ ලෑස්ති වුනා….

මා ලංකාවට එනකොටම එක්කගෙන යන්න  කොළඹ ඇන්ටි ගුවන් තොටුපලටම කට්ටියක් එවලා තිබුණා… ගමනෙ දිග වැඩිකමටත් සුවපහසුවටත් එක්ක නින්දත් ගියා… ඇහැ ඇරුණෙ පර්සි මාමලගෙ මහගෙවල් ලඟදි… ගෙදර යන්නත් ඕන…. ඒ ගමන්ම….

අවුරුදු ජයයි වගේ නේද ? මාව එක්කගෙන ආපු එක්කෙනෙක්ගෙන් මම ඇහුවා…

ඔව් සර්… දැං ලංකාව සුරපුරයක් වගේ…. මේ ළඟදි නිමල් සිරිපාල ඇමතිතුමත් කියලා තිබුණෙ.... ඔහු මගේ දිහා නොබලාම පැවසුවා..

දැං ඉතිං ඔය 2500 කින් එක්කෙනෙකුට කාලා ඉන්න පුළුවන්ද ? මගෙ අළුගුත්තේරු කට ආයෙම ඇරුණා…

ඔව් සර්… එළවළුත් දැන් ලාබයි…. ලයිට් බිලත් අඩුයිනෙ නොරොච්චෝලෙ හැදුවට පස්සෙ… පොඩි පරහකට තියෙන්නෙ තෙල් මිල වැඩි එක විතරයි.. ඒත් වාහන අඩු නිසා ඒකත් එච්චර බලපාන්නෙ නෑ….

එහෙම කියද්දිම වාහනේ පර්සි මාමලගෙ ගෙදරට සේන්දු වුනා… ඇත්තෙන්ම තවමත් එහේ සුරපුරයක් වගේ…. අවුරුදු උත්සවේ පැවැත්වෙනවා..

යකෙක් කන්න බඩගිනියි… මෙන්න කොළඹ ඇන්ටි කැවුම් පිඟානක් අරගෙන එනවා…. ආ දැන්ද ආවෙ… මම මේ මග බලාගෙන හිටියෙ පුතා එනකල්…

මොකද ? හදිස්සිය ? මම හොඳ වෙලාවට නිවාඩු දාලා හිටියෙ සතියක්ම අවුරුද්ද නිසා… මම කිවුවා…

කාලා බීලා නිවි සැනසිල්ලෙ කතාකරමු පුතා… කොළඹ ඇන්ටි කෑම මේසයට මාව එක්කන් ගියා….

ආ මේ ලලිත් අංකලුත් ඇවිල්ලා ඉන්නෙ…. කොහොමද අංකල්.. ? ලලිත් අංකල් කියන්නෙ මාමගෙ ලොකුම හිතවතා… හරි හොඳ මනුස්සයා.

අංකලුත් එක්ක ආගිය තොරතුරු කතා කරමින්  බඩ කට පිරෙන්න කෑවා..

කෝ මේ මල්ලිලා… ? මම ඇහුවෙ එතැනම හිටපු කොළඹ ඇන්ටිගෙන්….

ඈ දිග සුසුමක් හෙළුවා….

මොකද ඇන්ටි ? මල්ලිලා මොකුත් ප්‍රශ්නයක් කරගෙනද ? කට්ටියගෙ හැටි දන්න නිසා මම එහෙම ඇහුවා…

ඒකම තමයි පුතාට එන්න කිවුවෙ… මේ ලොකු පුතා අපි කියන කිසිම දෙයක් අහන්නෙ නෑනෙ… අඩුම ගානෙ ඔයා කියන දෙයක් වත් අහයිද කියලා බලන්නයි ඔයාව ගෙන්න ගත්තෙ….

කෝ දැන් මල්ලිලා ?

මද්දුමයා ගිහින් සිංගප්පූරුවෙ… චුට්ටා මේ දවස්වල එංගලන්තෙ .. ලොක්කා නං ඔන්න පල්ලෙහා හිටියා කට්ටියක් එක්ක ක්‍රිකට් ගහ ගහා….

කෝ මාමලා  ?

අන්න එයා එයාගෙ ගෝලයො එක්ක කණා මුට්ටි ගහනවා… හැමදාම කරන්නෙ ඒකනෙ… දැන් එයාටත් ගෝලයො වැඩියි… ඉස්සර වගේ නෙවෙයි…. එක්කෙනෙක් අන්න සූදු පිටියක් දාලා…. එයා ඉතිං හැමදාම අනුන්ගෙන් ගාන කඩා ගන්න එකනෙ… ලොකු මාමා නම් වෙද මහත්තයා එක්ක වත්ත පහල කතා කර කර ඉන්නවා දැක්කා…. කොළඹ ඇන්ටිගෙ මුහුණ ඒ තරම් හොඳ නෑ..  කොළඹ ඇන්ටි ගැන හොඳට දන්න නිසා ලලිත් අංකලුත් නොදැක්කා වගේ මාරු වුනා…

ඉතිං මොකද ලොකු මල්ලි කරගෙන තියෙන්නෙ… ? කෙල්ලෙක් එක්කවත් ප්‍රශ්නයක් ඇතිකරගෙනද ?

නෑ පුතා… එක වැඩක් නෙවෙයි… හැම දේම බදා ගන්නවා… කාළයක් රගර් ගහ ගහ හිටියා.. ඔන්න ක්‍රිකට් ගහන්න ඕන කියලා ඒක කරන්න ගියා… ඒකත් එච්චර හරි ගියේ නැහැ… ඊට පස්සෙනෙ ඔය නීතිය කරන්න ඕන කියලා ගියේ… ඒක නං කොහොමද මන්දා කරගත්තා…. දැන් ඒ අස්සෙ මල්ලිත් එක්ක රණ්ඩු වෙනවා එයාටත් රගර් ටීම් එකේ වයිස් කැප්ටන්කම හරි අරන් දෙන්න කියලා… එහෙම පුළුවන්ද එකම පවුලෙ දෙන්නෙක් කැප්ටනුයි වයිස් කැප්ටනුයි කරන්න ? ලෝකෙ මිනිස්සු මොනවා නොකියයිද ? ඒකට තරහ වෙලා ඔන්න යාළුවො ටිකක් එක්ක පුස්තකාලෙ පෙරළුවා… මොකද්ද මන්දා ගොයම් කොලේක කේස් එකක් අල්ලගෙන තර්ක කරන්න ගත්තා… තවමත් ඒක ගැන හිතනවා… ගොයම් කපපු කාලෙත් ඉවරයි… තවම ගොයම් කොළයක් බදාගෙන ඉන්නවා…

ඒ මදිවට මාමටත් තරහා ගිහින් ඉන්නෙ.. එයාට කියන්නෙ නැතිව රේස් ගියා කියලා…. දන්නවනෙ ඉතිං එයාට තරහ ගියොත්…. යන්තම් පිංසෙන්ඩු වෙලයි මේ දරුවො තුන්දෙනා බේර ගත්තෙ…. තව පොඩ්ඩෙන් තුන් දෙනාම ගුටි කනවා….. පුතා දන්නෙ නෑ දවසක් අර ගඟ ලඟ කඩේ දාගෙන ඉන්න මර්වින් කාටද මන්දා  මාමා ගැන මොකක්ද කියලා පාරම් බාලා මර්වින්ට ආයෙම මේ ගෙදර පස් පාගන්න එපා කියලා බැන්නා….. ඒ මිනිහව මේ වත්තෙ හතර මායිමට වත් වැද්ද ගන්න එපා කියලා වැඩ කාරයොන්ටත් කියලා තියෙන්නෙ… අර පහළ ගෙදර අමුතු කොල්ලා කැලේ හිටපු මීමින්නෙක් මරාගෙන කාලා ඒ මදිවට බස් හෝල්ට් එකේ මාමා හදපු වැටත් කඩලා…. ඒකට නං දුන්නා කණ රත් වෙන්න.. මුං එකෙක්වත් මාමට නිවි සැනසිල්ලෙ ඉන්න දෙන්නෙ නෑනෙ පුතා…. අර අපේ වත්තෙ වැඩ කර කර හිටපු ලකියා මරපු උස මහත කොල්ලාව මාමා ගමෙනුත් පැන්නුවානෙ… අයෙම මේ ගමේ පස් පාගන්න දෙන්නෙ නෑ කියලයි කිවුවෙ…. අනේ මන්දා පුතා මේ කට්ටියගෙ වැඩ නිසා මාමගෙ ඔළුවත් අවුල් වෙනවා. කොහොමට හිටපු මනුස්සයෙක්ද ?

ඉතිං ඇන්ටි මර්වින් අංකල් මාමගෙ හැම දේම කරපු අතීසාර සේවකයනෙ….

ඒක තමයි පුතේ… දැන් මාම හරිම රෙගුලාසි කාරයා වෙලානෙ…. දැන් කිසිම කෙනෙකුට කිසිම බුරුලක් නෑ… ගියපාර අවුරුදු උත්සවේ සංවිධානය කරපු සෝමචන්‍ද්‍රයි එයාගෙ කට්ටියයි ඒකෙන් සල්ලි ගහගෙන කියලා දැනගත්ත දවසෙ නං මාමාට හොඳටම තරහ ගියා… අපේ පරම්පරාවෙ ගෑවිච්ච බල්ලෙක්වත් නොකරන නොහොබිනා වැඩක් උඹ කරලා තියෙන්නෙ කියලා හොඳටම ගහලා පොලීසියටත් අරන් යන්න හැදුවෙ… හොඳ වෙලාවට අපි බේර ගත්තෙ… නැත්තං සෝමචන්‍ද්‍රයා තවම හිරේ විලංගුවෙ…. පැට්‍රල් ශෙඩ් එකේ සල්ලි වගයක් හොරකං කරපු අපේ මස්සිනාත් මම කියලයි බේර ගත්තෙ… නැත්තං ඒකවත් පොලීසියට අල්ලං යන්නයි හැදුවෙ. හරියට නීතියට වැඩ දැං…..

ඉතිං ඔන්න ඔහොම කොළඹ ඇන්ටිගෙ කතාව ඇදිලා ගිහින් ඉවර වුනාට පස්සෙ මමත් පර්සි මාමා කණා මුට්ටි ගහන තැන පහු කරගෙන ලොකු මල්ලිලා වත්ත පහල ක්‍රිකට් ගහන තැනට ගියා…

විමලසිරියි, අල අයියයි, රණායි, ජොනියයි, ටෙරානුයි, රවියයි, දයාසිරියි, පේමදාසගෙ කොළුවයි, අළුතින් එතැනට සෙට් වෙච්ච කණ්නාඩි දාගෙන හිටපු පොරකුයි කට්ටිය එක්ක බරට ක්‍රිකට් ගහනවා…

ආ… ඇල්කෙමි අයියා… මොකද හොරෙන්ම ඇවිත් ? දන්නෙවත් නෑ එනවා කියලා…. ලොකු මල්ලි බෝලෙ පිහිදන ගමන්ම කෑ ගහනවා….

හදිසියෙ ආවා ලොකු මල්ලි.. පොඩි නිවාඩුවක් හම්බ වුනා…… සෙල්ලම් කරලා ඉවර කරන්නකො…. ටිකක් කතා කරන්න…

හිතුවට වඩා ලොකු මල්ලි වැඩකාරයා…. හිටපු ගමන් බවුන්සරුත් දානවා… එහා පැත්තෙ බැට් කරපු රවියට දැම්ම යෝකර් එකෙන් තව පොඩ්ඩෙන් රවියගෙ මැද පොල්ල කඩලා යනවා…. ඒක දැකපු පේමදාසගෙ කොළුවට හිනා…. උන් දෙන්නා කොහොමත් ටිකක් තරහයි එදා ඉඳලම…..

ඉතිං… කොහොමද ? සෙල්ලම ඉවර කරපු ලොකු මල්ලි කෙළින්ම මං ළඟට ඇවිත් කරටත් අතක් දාගෙන ඇහුවා..

වැඩ මල්ලි… හොඳටම වැඩ…. පිටරට හිටියත් අපිත් වැඩ කරන්නෙ Government එකේ නෙ….

මෙහෙත් එහෙම තමයි අයියා… නිවාඩු දවස්වලත් වැඩ… මට නං මේ දවස් ටික විතරයි තියෙන්නෙ… හෙලවෙන්නවත් බෑ….

මොනවද එච්චර තියෙන වැඩ ?

කවුන්සිලේ වැඩයි, ලෝ ෆර්ම් එකේ වැඩයි, චැරිටි වැඩයි, රගර් ගැහිල්ලයි… කොච්චර වැඩද ?

ඉතිං කොහොමද ඔය ඔක්කොම මැනේජ් කරගන්නෙ ?

එකක් වත් හරියට නොකෙරුණත් වැඩ නං කොහොම හරි මැනේජ් කරගෙන යනවා….

ඉතිං දැං ලෝ ෆර්ම් එකේ වැඩ කොහොමද ?

හරියට වැඩ… පටන් ගත්ත දවසෙ ඉඳලාම මට හරියට කේස් එනවා…. මේ දවස්වල කොල්වින්ගෙ ගොයම් කොලේ කේස් එක කියනවනවා… මමත් ඉතිං මෙහෙම ඉඳලා බෑනෙ… නිකංම ඉඳලා කේස් දිනන්න බෑනෙ.. වැඩ පෙන්නන්න එපායෑ…

මට තේරෙනවා.. ඒක තමයි මේ ඇන්ටි ටිකක් කලබල වෙලා තියෙන්නෙ… ඔයා ඔයා ගැන හිතන්නෙත් නැතිව මහන්සි වෙනව කියලා…

ඔච්චර මහන්සි වෙන්න එපා මල්ලි… ඔයාට සල්ලි නැතුවද ? වස්තුව නැතුවද ? මොනවයින්ද අඩු ? ටිකක් රිලැක්ස් එකේ ඉන්න… නිවාඩුවකට එහේ එන්න… මම කිවුවා….

එහෙම කියන්න එපා අයියා… මේ මිනිස්සු අපි ගැන විශ්වාසය තියලා තියෙන්නේ අපි ඒ මිනිස්සුන්ට සහනයක් දේවි වැඩක් කරයි කියලා හිතලා… ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා… මලයට මල පැනලා….

හරි හරි… මම කිවුවෙ හැමදාම රිලැක්ස් කරන්න නෙවෙයි… ඉඳලා හිටලා…

ඉඳලා හිටලාවත් බෑ… මේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු කඩ කරන්න බෑ මට….

හරි… අපි පස්සෙ කතා කරමුකො නිවි සැනසිල්ලෙ… බීච් එක පැත්තෙ ගිහින් බියර් එකක් බොන ගමන්…

මොන බියර්ද අයියා… ඔයාට ලැජ්ජ නැද්ද ඔය දේවල් බොන්න ? මම නම් ඕවා කටේ තියන්නෙ නෑ.. දැන් තාත්තා නීතියක් දාලා තියෙන්නෙ… කාටවත් රහමෙර කටේ තියන්න බෑ කියලා… වැඩ කරන අයටත් එහෙමයි… මේ ලඟදි නං කට්ටිය දියතලාවෙ ගිහින් හොඳට ගත්තා කියලා ආරංචියි…  ඒකටත් තාත්තට හොඳටම තරහ ගිහින් තියෙන්නෙ… මාමලත් මොනවද කරගෙන ඒවටත් පොඩ්ඩක් තරහින් ඉන්නෙ… දැන් ඔන්න කට්ටියම එකතු වෙලා කණා මුට්ටි ගහනවා…. මට නං ඒ පැත්තට යන්න බෑ…. ඔක්කොම නාකි අය තැන් අල්ලගෙන… අපිට තැනක් නෑ… ඒ කට්ටිය ඒක දාලා යන්නෙත් නෑ.. පොල්ල බදාගෙනම ඉන්නවා….

ඔහොම තමයි මල්ලි…. ඒ අයටත් ආස ඇති නේ මුට්ටියට පාරක් ගහන්න…. මම කිවුවා….

ඉන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්… දැන්ම යන්නෙ නෑනෙ…. ලොකු මල්ලි ගේ පැත්තට යන ගමන් කියාගෙන ගියා….

බන්දුල අයියයි මොහාන් අයියයි සුමනෙ අයියයිත් බුලත් විටක් හපන ගමන් ඉස්කෝලෙ ගැන බර කතාවක්  එතැනම විජිත අයියා තිරුවාණ ගල් ටිකක් අරන් හැඩ බලනවා…. නිමල් අයියා අහල පහල යන ගෑණු දිහා හොරෙන් බලනවා මම දැක්කා නොදැක්කා ගානට හිටියා.. රත්නෙ සීයත් හෙමි හෙමින් නිමල් අයියා ගාවටම සෙට් වුනා… අනේ මන්දා හැට පැන්නත් පරණ පුරුදු එහෙමමයි…. සිරිසේන මාමා වත්ත පහල බෙහෙත් කොරටුවට බැහැලා බේත් හොයනවා. තිස්ස මාමා සරත් මාමා එක්ක පිටරටවල පර්යේෂණ කෙරෙන හැටි කතා කරනවා… බලාගෙන ගියාම එයාලත් යමක් කමක් දන්නවා. උඩහ ගෙදරට අළුතෙන් ආපු ආරුමුගම් තවමත් කුකුල්ලු පස්සෙ දුවන එකමයි වැඩේ… ඒ මනුස්සයාට කවදා නිවනක් ලැබෙයිද මන්දා… කුමාර මාමා බස් එක හෝදනවා… ඒ අස්සෙ සුසිල් මාමා බස් එකට තෙල් ගහනවා… බලාගෙන ගියාම මෙයාලට අවුරුදු කාලෙ කියලා නෑ වැඩ…

ආ පුතා… දැන්ද ආවෙ ? සෙනෙහෙලතා ඇන්ටි කට පුරා හිනාවක් දාගෙන බැබලි බැබලි ආවා….

අනේ ඇන්ටි දැක්ක කල්…. තවමත් ඒ වගේමයි….. මට කියැවුනා….

අනේ යන්න පුතා විහිළු නොකර….. ඇන්ටි නෝක්කඩුවෙන් වගේ කිවුවා… මේ ඉන්නෙ ස්වර්ණා… පුතා දන්නවද දන්නෙත් නෑ… මේ පැත්තට ආපු අළුත් කෙල්ලක්… සෙනෙහලතා ඇන්ටි ඉටි කිරිස් කෑල්ලක් වගේ එකක් පෙන්නලා මට අඳුන්වලා දුන්නා. ඇති ගතියකුත් නෑ….. ඒත් නැතිම වෙලාවට වැරැද්දකුත් නෑ…. අම්මපා දැං ලංකාවෙ මේ වගේ ඒවත් ඉන්නවද කියලා මට හිතුනා…

Hello…. ඇමරිකන් ඉංගිරිසියටත් වඩා හොඳ ඉංගිරිස් ඇක්සන්ට් එකකින් මෙයා මට හායි කිවුවා… මමත් ලැජ්ජාවෙන් වගේ හලෝ කියාගෙන එතනින් මාරු වුනා… ඇල්කෙමිච්චි දැනගත්තොත් මල කෙලි හතයි…

ඉතිං ඔන්න ඔහොම දවස ඉක්මනින්ම ගෙවුනා…. ලොකු මල්ලි හොයන්න ගියාම එයා මටත් නොකියා පුස්තකාලෙ පෙරළගෙන පොත් කියවනවා… ලෝ එක සෑහෙන්න ඔළුවට ගහපු පාටයි… මමත් එතැනම තිබුණ පොතක් අරගෙන කියවන්න ගත්තා…

මානව හිමිකම් හා ලාංකීය නීතිය – ආචාර්ය. ජී. රාජපක්‍ෂ සහ සරත් චන්‍ද්‍රලාල්

යකඩෝ මේ පොඩි මාමායි එයාගෙ ගෝලයයි ලියපු පොතක් නේද ? අම්මපා මේ දෙන්නා පොතුත් ලියලා මම නැති ටිකට….. මට ආරංචි වුනේ දෙන්නා එක්ක එකතු වෙලා මාමලගේ වත්තෙ උඩහ කෑල්ල අල්ගෙන හිටපු පිල්ලෙට වැඩේ දුන්නා කියලා විතරයි.. මෙයාල මාරයි නෙ….ඒත්  ඒක ටිකක් කියවගෙන යනකොට තේරුණා වැඩේ බෝරිං කියලා…

මේ වැඩේ හරි යන්නෙ නැති නිසා වත්ත පහළ දොළ ගාවට ගියා පොඩ්ඩක් පරණ කාලෙ මතක් වෙන්නත් එක්කලා…. ඉස්සර අපි මෙතැන දණ්ඩි අල්ලනවා… පර්සි මාමා මාළු අල්ලන්න රුසියා… සරම බාගෙට වතුරට දාලා ඉස්සුවාම මාළු ගොඩක් සරම ඇතුළේ…. ඒකනෙ ඉස්සර මාළු අල්ලන වැඩේ එයාට දීලා තිබුණෙ…. දැන් නං මාළු අල්ලන එක නවත්තලා අලි අල්ලනවා කියලයි විකී අංකල් විහිළු කරන්නෙ…. තවමත් මාළුන්ට මාව මතකයි වගේ…. උන් එතැන උඩ පණිනවා… හරිම ලස්සනයි…..

වතුරට කකුලක් දාගෙන ලඟ තිබුණ ගලක් උඩ වාඩි වෙලා ගමේ සිරිය නැරඹුවා මම…. ඈත කන්ද මුදුනෙ තියෙන පන්සල හරිම ලස්සනයි.. සිරියාවයි… රතනසිරි හාමුදුරුවො තවමත් එහේ වැඩ ඉන්නවද දන්නෙ නෑ…. පන්සලේ ඇබිත්තයාව හිටි රණාගෙන් අහන්නත් බැරි වුනානෙ ඒ ගැන…. ඒ ගමේ සිරියාව විඳගන්න මට වැඩි වෙලාවක් හම්බ වුනේ නෑ… එකපාරටම වතුරෙන් මතු වෙච්චි මහ පත කිඹුල් තඩියෙක් මගේ කකුලෙන් ඇදගෙන යන්න ගත්තා…

බුදු අම්මෝ…. පර්සි මාමේ.. මාව බේර ගන්නෝ…….

මම යටි ගිරියෙන් බෙරිහන් දුන්නා….

මොකද මනුස්සයෝ මේ උදේ පාන්දර කෑ ගහන්නෙ  ? පොඩි එකත් ඇහැ ඇරෙනවා සද්දෙට…… මම කිවුවනේ රෑ තිස්සෙ පත්තර බල බල ඉන්නෙ නැතිව නිදා ගන්න කියලා….. ඇල්කෙමිච්චි පිටට පාරක් ගහන ගමන් මට අවුරුදු දා උදේ පාන්දර බැනගෙන බැනගෙන ගියා…

අවුරුදු දවසෙ මගේ හිත කැඩුනෙ මගේ හීනෙ බිඳුන එකටද නැත්තං ඇල්කෙමිච්චි ගහපු පාරට ද කියලා මම තවමත් හිතනවා…..

2012 අප්‍රේල් 13 : නව අවුරුදු සුභ වේවා !


අවුරුදු සුභ වේවා !

දකිනා දේ හොඳ වේවා
ලියනා දේ රස වේවා
කියවන්නට සිත් දේවා
දැනුම තවත් වැඩි වේවා

පතන පැතුම් ඉටු වේවා
සිතන සිතුම් හොඳ වේවා
සුව සහනය වැඩි වේවා
නව අවුරුදු සුභ වේවා….

 

ඇල්කෙමියා, ඇල්කෙමිච්චි සහ ඇල්කෙමි පැටියාගෙන් පාඨක ඔබ සැමටත්

අන්තර් ජංජාලයේ සැමටත් අවුරුදු සුබපැතුම්…..

2012 අප්‍රේල් 11: ප්‍රැන්සිස්කුකරණය – දෙවන කොටස


ඊයේ දිනපොතේ ලියැවුනේ සහතික නැති මරණ ගැන…. බලෙන් පැහැරගැනීම් හෝ ස්වකැමැත්තෙන් පැහැර ගැනීමට ලක්වීම කියන්නේ මම කතාකරන්න අකමැති මාතෘකා දෙකක්…. ප්‍රතිඵලය එකම වන නමුත් ඒ දෙකේ අභිප්‍රායන් සම්පූර්ණයෙන් වෙනස්. පළමුවැන්න බොහෝ දුරට සිදු කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයකින්, සමහරවිට එය කෙළවර වන්නේ අදාල පුද්ගලයාගේ මරණයෙන් හෝ අවම වශයෙන් ශරීරයේ අස්ථි 206 ඊට වඩා තරමක වැඩි අගයකට පත් වීමෙන්. නමුත් දෙවැන්නේ ප්‍රතිඵලය තරමක් සුභදායකයි. අදාල පුද්ගලයා බොහෝ විට නිරුපද්‍රිතව නිවසටම හෝ අවම වශයෙන් නිවසට යා හැකි තැනක දමා යනවා.

සෑම දේශපාලන පක්‍ෂයකම කවටයින් සිටිනවා. සමහර කවටයින් අහිංසකයි. ඒ ජේ රණසිංහ කියන්නේ හරිම අහිංසක කවටයෙක්, දකුණු පලාත් සභාවේ හිටපු ෆ්‍රැන්සිස්කු කියන්නේ තවත් අහිංසක කවටයෙක්, දැන් ඉන්න කවටයෝ අහිංසක නැහැ.. දැන් ඉන්න කවටයෝ මැරයො…. ප්‍රේමදාස යුගයේ අවසාන කාළයේදී දකුණු පලාත් සභාවේ අය-වැය ඡන්දය හෝ වෙනත් තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට පෙරදින රාත්‍රියේ ප්‍රැන්සිස්කු ව පැහැරගෙන ගියා… ඉන්පසු දකුණු පලාත්සභාව විසිරවූවා… මහ ඇමති වුනේ දිවංගත අමරසිරි දොඩංගොඩ මහතා, ප්‍රේමදාස ආණ්ඩුව පෙරලීමේ මූලාරම්භය වුයේ මෙයයි…..

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීමකට ලක් වූවා ලු. කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු ජාතිකත්‍වය ඇති නිසා සහ දිමුතු ආටිගල ඒ සමගම පැහැර ගැනීමකට ලක් වූ නිසා නිදහස් වූවාලු…. කුමාර් ගුණරත්නම් නීති විරෝධීව ලංකාවේ සිටි නිසා පිටුවහල් කෙරුණාලු… මේ සියල්ලම සියයට සියයක් තාර්කික ප්‍රකාෂ නෙවෙයි කියලා බැලූ බැල්මට පේනවා… ඒත් මේ ලංකාව… ඕනම දෙයක් වෙන්න පුළුවන් රටක්. දිමුතු ආටිගලගේ ප්‍රකාශ සමහරක් පරස්පරයි… පක්‍ෂ සාමාජිකයන්ගෙ ගෙවල් වලට යන පාරවල් අහන්නෙ මේ පැහැරගෙන ගිය අය ඒ සාමාජිකයන් ගැන තොරතුරු නොදැනද ?  ටී පනස් හයේ ඒවා තියෙන්නෙ ආරක්‍ෂක අංශ වලට විතරද ? අපරාදෙ කියන්න බෑ පැහැර ගනිපු අය සල්ලිත් දීලා ගෙදර යන්න…

මට නම් පේන්නෙ මේක ප්‍රැන්සිස්කුකරණයේ දෙවන කොටස….ප්‍රසිද්ධිය ලබන්න මිනිස්සු අම්මා තාත්තා වුනත් විකුණන්න සූදානම් රටක් මේක….

මම ඊයෙ කිවුවා වගේ මේ පැහැරගැනීම් නැවතත් 88-89 කාළයේ පැහැරගැනීම් වලට සමානකම් දක්වනවා…. මෑතකදි පැහැර ගැනීමකට ලක් වූ ජීවන් කුමාරණතුංග මන්ත්‍රීවරයාගේ මස්සිනා ඉහළ තැන්වලට දැන්වුවාට පසු නිදහස් වෙලා…. හැමෝටම ඉහළ තැන් අල්ලන්න බෑ….

නීතිය වල් වැදුන තැන මිනිසුන් නීතිය අතට ගන්නවා… ඒක භයානකයි… ආයෙ නම් 88- 89 කාලෙ වගේ වෙන්න ඉඩ තියන්න එපා….. වෙන කියන්න දෙයක් නෑ….

2012 අප්‍රේල් 10: සහතික නැති මරණ…… ලියා අවසන් කර, කොටසක් මකා දැමූ සටහනක්


කාල වකවානුව:  1989 ජනවාරි මාසයේ අන්තිම සතිය……

“මහත්තයෝ, අන්න කීඹි ඇල ලඟ කොල්ලො ටිකක් ටයර් සෑයක පුච්චලා දාලා, ලොකු පුතාගෙ වයසෙම වගේ ටිකක්” ගමේ මනුස්සයෙක් තාත්තට කිවුවා ලු…

ඒ වනවිට මා හිටියේ මාතර, පුංචි අම්මලාගේ ගෙදර සති අන්තය ගත කරන්න ගිහින්… එදාම තමයි මම ගාල්ලෙ ඇන්ටිලාගෙ ගෙදර ආවෙ… තාත්තා මල්ලිවත් C-90 යෙ තියාගෙන මාතර ගිහින් තියෙන්නේ බඩේ ගින්දර පත්තු කරගෙන… මාතර ගියපු තාත්තාට දැනගන්නට ලැබිලා තියෙන්නේ මම උදෙන්ම ගාලු ආපු බව… තාත්තා ඒ පිටන්ම ගාලු ඇවිත් ඇන්ටිලාගේ ගෙදර… මම පන්ති ගිහින්…. තාත්තා මගේ පන්තිය ලඟට ඇවිත් මම දැක්කා..

“දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉණුවෙ, ලොකු පුතා දකිනකල් ඉවසුමක් තිබුණෙ නෑ” ඒ පිය සෙනෙහසක අරුමය….

ඒ 1988 – 90 භීෂණ කාළය… මතුගම හිටපු උසස් පෙළ ලියපු ලොකු අම්මගෙ ලොකු පුතා ඇවිත් නතර වෙලා හිටියේ අපේ ගෙදර, මම හිටියෙ ගාල්ලෙ… මගේ යාළුවො කීප දෙනෙක් දන්නෙම නැතුව අතුරුදහන් වෙලා තිබුණා.. එකෙක් තමයි පැට්ටා… පැට්ටා කියන්නේ නමින් ගනේෂ ගමගේ. දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දක්‍ෂ මළල ක්‍රීඩකයෙක්, නිවුන් සහෝදරයා නිමල්, ඒ කියන්නෙ බේබි, දෙන්නම තකට තක… නිමල් සහ ගනේෂ දෙදෙනාම අපේ ඉස්කෝලෙ මළල ක්‍රීඩාව වෙනුවෙන්  කරපු කැපකිරීම් අනන්තයි. ජයග්‍රහණ නිමක් නෑ.. බේබිට තරමක ඉවසීමක් තිබුණත් පැට්ටා  නහයට අහන්නෙ නෑ.. ඕනම කුණුගොඩකට අතදානවා… ඒ වගේම හදවත රත්තරං කොල්ලා… ඒක නිසාම සමහර විට වැරදුනා.. ඉස්කෝලෙ රණ්ඩුවකට චීන කොරටුවෙ ගැන්සියකට තනියම ගිහින් චීනකොරටුවෙදීම ගහන්න තරම් හයිය හිතක් තිබුණා. දවසක් පැට්ටා ගාල්ලෙ පොලිස් නිලධාරියෙකුගෙ දුවකට විහිළුවක් කළා කියලයි ආරංචි… ඒ වුනත් ඒ පිටුපස තවත් කතා ගොඩක් තියෙනවා ලු… කොහොම වුනත් පැට්ටා අතුරුදහන් වුනා… බොහෝ දෙනාට මෙය දරා ගන්න බැරි වුනත් කාළයේ වැලි තලාවෙන් එය යට ගියා.. නමුත් තවමත් මතක තියෙන අයට ඒවා මතකයි… මේ එක සිද්ධියක් පමණයි… තව මේ වගේ කතා සිය දාස් ගානක් ඒ කාළෙ මේ රටේ ලියැවෙන්න ඇති….

ඒ ප්‍රේමදාස භීෂණ යුගය අවසන් වුනේ ප්‍රේමදාස විසින්ම ගෙන ගිය භීෂණයේ අතුරු ඵළයකින්…. කළ කළ දේ පළ පළ දේ කියන්නාක් මෙන් අවසානයේ ඔහුටත්, ඔහුගේ ක්‍රියාදාමයන් මෙහෙයවූ රංජන් විජේරත්න, ලකී අල්ගම, ජානක පෙරේරා මෙන්ම පසු කාළයකදී ජාතික වීරයෙකු වශයෙන් බොහෝ දෙනා සැලකූ කපිතාන් මුතාලිෆ්ටත් (මම දන්න තරමට ඔහුත් මේකට හවුල් -වැරදි නම් නිවැරදි කරන්න) අයත් වුනේ ඒ වගේම ඉරණමක්.. මොනවා කළත් කරුමය (හෝ කර්මය) වෙනස් කරන්න බෑ.. තමන් වැපිරූ බීජ වල ඵල තමන්ම නෙලා ගත යුතුයි…..

ඒ කාළයේ මානව හිමිකම් කරතියාගෙන ජිනීවා ගිය අය දැන් ලොකුම ලොකු පුටුවල… ඒ කාලෙ අපි ආදරෙන් හංගගෙන බලපු හිරු පත්තරේට ලේ උණුවෙන ලිපි ලියපු  විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම වගේ විප්ලවකාරයෝ දැන් ආණ්ඩුවේ ලොකු පුටුවල…. නමුත් ඒ කාලෙ නීතිය වල් වැදුන බවට කෑ මොර දුන් ඔවුන්ගේ කටවල් අගුළු වැටිලා..  හෘද සාක්‍ෂිය කකුස්සියේ දාලා වතුර ගහලාද, නැතිනම් ඔවුනුත් ජීවිතය ගැන බයෙන් ඉන්නවාද දන්නෙ නෑ… නමුත් බොහෝ අය නිහඬයි… ඒක භයානකයි… ආචාර්ය මාර්ටින් ලූතර් කිං කිවුවා ලු “මේ යුගයේ දරුණුතම ඛෙදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියාකලාපය නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි” කියලා. මේ නිහඬ බව මහා මේඝයක් වෙන දවස වැඩි ඈතක නැති වෙන්න පුළුවන්.

කොහොම වුනත් ප්‍රේමදාසගෙ පාලන කාළය අවසන් වුනේ බොහොම ඛෙදජනක විදියට… ඒ කාලෙ නම් විකල්ප නායකයො හිටියා රට බාරගන්න….. මැයි පළවෙනිදත් එනවා….

මෙතැන ඉඳලා ලියපු ටික දෙතුන් පාරක් හිතලා බලලා මකා දැමුවේ, මම නැතත් මගේ ඥාතියො ලංකාවෙ ජීවත් වෙන්න ඕන නිසා..

නමුත්, එදා මේ වගේ ගීත කියපු නන්දා මාලිනී වැනි කලාකරුවන් අද ජනතාව වෙනුවෙන් අවදි වෙයිද ? කපුගේ හිටියා නම් එදා වගේම අදත් කෙළින් නැගිට සිටීවිද ?

ඒ ගැන දුකා හොඳින් ලියලා තියෙන නිසා මම ලියන්න යන්නෙ නෑ…

කොහොම නමුත් ඒ වගේ කාළයක් නැවත නොඒවා කියලා උදේ හවා ප්‍රාර්ථනා කරනවා…..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පසුව ලියමි.

ලිපි 250 ට සුභපැතුම් පළකළ හැමෝටම බොහොම ස්තුතියි….. හැම ප්‍රතිචාරයකටම ස්තුති කරන්න ගියා නම් සෑහෙන වෙලා යනවා. ඔබේ ප්‍රතිචාරයි විවේචනයි දිරිගැන්වීමයි නිසා තමයි මෙච්චර කලක් ඇදගෙන ගියේ…..

ඊටත් පසුව ලියමි.

මේක ඇල්කෙමිච්චිට පෙන්වලා අවසර අරන් දාන්න ගියා…. එකසිය ගානට බැණුම් අහන්න වුනා…. දේශපාලනය ලියන්න එපාය, නරක දේවල් ගැනම ලියන්න එපාය කියලා….. මොනවා කොරන්නද ? හිතුවක්කාර හිත…. යන්නෙම වැරදි පැත්තට.

%d bloggers like this: