Daily Archives: අප්‍රේල් 1, 2012
2011 අප්‍රේල් 01 : සියඹලාණ්ඩුවේ ඉන්නා හරක් වෙත, අපටම වෙන්වූ දවසේ ලියමි.
සියඹලාණ්ඩුවේ හරකුනි…
උඹලා දියවන්නාවෙ මඩ වගුරට වෙලා එකාට එකා මඩ ගහගෙන මඩ නාගන්නා හැටි බලාන ඉන්න අපේ හරක් පත්තර කාරයොයි රූපවාහිනී කාරයොයි නිසා උඹලාගේ මැටි මෝල් මූණු සහ විකාර නිතරම පෙනේ… උඹලා අපේ ආධාරයෙන්ම දියවන්නා මඩ වගුරට පැනගත්තත් දැන් උඹලා අපේ පැත්ත බලා ගොම බෙට්ටක් වත් දාන්නේ නැති බව අපට පෙනේ…උඹලා කරන්නේ උඹලාගේ තණකොළ ගොඩ ලොකු කරගෙන උඹලා මඩ වගුර මැඩවීමෙන් විශ්‍රාම ගියපසු උඹලාගේ වැස්සියෝ සහ වහු පැටවුන් ඇතුළු හත්මුතු පරම්පරාවටම කන්න තණකොළ එකතු කරගැණීම බව රටේම ඉන්න හරක්ට දැන් තේරුම් ගොස් අවසානය.
උඹලා 225 දෙනාට කන්න දෙන්න වැයකරන සල්ලිවලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් අඩුම ගානේ උන් නගුට හරි වනාවි යැයි අපේ සීයා කෙනෙක් දවසක් කිවුවේ උන්දෑගේ කට කහනට නොවේය… උඹලා ඒ තරම්ම ගුණමකු, මැටි මෝල් ගොං හරක් ටිකක් නිසාය… උඹලාගේ වැඩි හරියක් ඇඟපත පුරා ගොම ගාගෙන තප්පුලමින් රටවටා යති. එක හරකෙක් කැළණිය පැත්තේ තප්පුලාමින් සිට දැන් ආගිය අතක් නැත… ආයෙම පාරක් මොකක් හෝ හරක් වැඩක් කර, හරක් කතාවක් කියා අළියට එනු ඇති බව අපේ විශ්වාසයයි. තවත් එකෙක් ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි තප්පුලෑවේ ඌත් පාවිච්චි කරන්නේ ඇමරිකානු නිෂ්පාදන බව අමතක වීලාය. ඌට සුද්දාගේ භාෂාව තප්පුලෑමට බැරි නිසා ඌට සුද්දා එක්ක මලය… තවත් එකෙක් තණකොළ 7500 කින් හරක් තුන්දෙනෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියා තප්පුලෑවේ මෑතකදීය… ඒ හරකා බාරව ඉන්නේ රටේ ඉන්න හරක්ට උගන්වන එකය.. අනේ ඉතිං අපි ගොන්නු ජීවත් වෙන්නේ ඒ වගේ ගොන්නු පාලනය කරන ගව ගාලකය… ඒ මදිවට ඒ ගොනා ඒ ගාණ තුණෙන් බෙදා එක හරකෙකුට තණකොළ 2500 කින් ජීවත් වෙන්න පුළුවන් කියාත් කීවේය… දැන් අපි කියන්නේ ඒ හරකාට තණකොළ 7500 කින් මාසයක් ජීවත් වී පෙන්වන ලෙසයි..
මෑතකදී තවත් හරකෙක් විසින් මරු කතාවක් කියා ඇත.. ඒ කොළඹ ගවගාල ආසියාවේ ගවගාල් වලින් 8වන ස්ථානය ලබා ඇති බවයි… එසේ නම් අපේ ගවපට්ටිය ආසියාවේ හොඳම ගවපට්ටියක් විය යුතුය… ආසියාවේ ගවපට්ටිවල ඇති පර්යේෂණ දෙස බැලූ විට අපේ ගවපට්ටිවල කෙරෙන්නේ බොහෝ ප්‍රාථමික මට්ටමේ පර්යේෂණ වේ. ගවපට්ටියක සාර්ථකත්‍වය මැනිය හැක්කේ ගවපට්ටියේ වෙබ් අඩවියට ලැබෙන ප්‍රතිචාරය අනුව නම් බ්ලොග් අවකාශයේ ලොකු ලොක්කන් වන සඳරු ගේ කතන්දරගේ බ්ලොග් අඩවි පවා කොළඹ ගවගාලට වඩා ඉදිරියෙන් සිටිය යුතුය. ස්ථානය මොකක් වුනත් ලංකාවේ ගවගාල් පිටරටවල ගවගාල් හා සමකරන්නට බැරිය… ඒවායේ ඉන්නා හරක් පැටවු මහන්සියෙන් ඉගෙනගෙන හොඳ තැන්වලට ආවත්, ගවගාල්වලට වියදම් කරන තණකොළ ප්‍රමාණය ඇත්තටම මදිය… වෙනත් පිටරට ගවගාලවල ඇනුවල් බජට් එකම අපේ ගවගාල් ඔක්කෝගේම ඇනුවල් බජට් එක වගේ දෙතුන්ගුණයකි… ඒවායේ කෙරෙන වැඩ ද මරුය.. මේ අපේ දියවන්නාවෙ ඉන්නා හරක්ගේ තරමයි… දැන් ඉන්න බොහොමයක් හරක් වංචාව, දූෂණය සහ හොරකම සිය ජීවිකාව කරගෙන ඇත… ඒකට ගොදුරු වෙන්නේ උඹලා වෙනුවෙන්ම කඹුරන අසරණ හරක් වීම මහා පාපයකි, දුකකි.
දැන් උඹලා පාරේ කරත්ත වැඩි නිසා කරත්තවල බද්දත් වැඩි කරලා නේද ? පොඩි ගොන්නු යන කරත්තවල බද්ද වැඩි කර එක නම් අන්තිම අසාධාරණය… උඹලාගේ මහගොනා ඇස්දෙක පියාගෙන ඉන්නකොට උගේ වහු පැටවුන්ට රටපුරා තිරික්කල රේස් යන්න හොඳය.. ඒ මදිවට අපේ හරක් කට ඇරගෙන ඒවා බලන්නත යනවා ය… ඒ අපේ රටේ ඉන්නා හරක්ගේ මොළේ තරමය.. ඔය මගුල් තිරික්කල රේස් බලන්න නොගියොත් අපේ හරක්ට කන්න නැති වෙනවා වගේය… ඒ උඹලා අපේ රටේ හරක්ගේ මොළ ශෝධනය කර ඇති තරමය… උඹලාගේම හරක් ඇණ කොටාගෙන එකෙක් මැරී අනෙකා පශුවෛද්‍ය තුමා ලඟට ගිය පසුව වත් මහ හරකා උඹලාට අවවාදයක් දී කුලප්පු වෙන්නේ නැතිව තියෙන වැඩ ටිකක් කරගෙන හිටපල්ලා කියා සිටීවි යැයි සිතුවත් ඒකත් එසේ නොවීය… දැන් දැන් කුලප්පු වෙලා ජරමර කරන්නේ උඹලා වගේ හරක්ය. මොන අපරාධයකට හෝ උඹලාගේ ජාතියේ හරකෙක් ගෑවී ඇත. පිටරටින් ආ වැස්සියකට අතවර කළේත්, ගමක අහිංසක නෑම්බියකට අතවර කළේත් උඹලාගේම පහල ස්ථරයේ ඉන්නා හරකුන් දෙදනෙකි.. එක හරකෙකුගේ නම් හරක් පක්‍ෂ සාමාජිකත්‍වය අහෝසි කර ඇති බන දැනන්නට ලැබී ඇත. ඒ උඹලාගේම හරක් නීතියයි.
උඹලාට දැන් තියෙන්නේ මදන කුලප්පුව සහ වැරදිලා තණකොළ වෙනුවට අමු කැවීලා ය… උඹලාගේ මේ කෙරුවාවල් හැමදාම හරි යන්නේ නැත… උඹලා ද කවදා හෝ වෙන්දේසියට වැටෙන දවසක් එනවා ය… හැබැයි එදාට අපේ ගොන්නු වෙන්දේසි පොලට ගිහින් ආයෙම උඹලා දියවන්නා මඩ වගුරට දක්කන්නට පුළුවන… කොච්චර කන්න තණකොළ නැති වුනත් අපේ ගොන්නු එහෙමය…. උන්ට මොළේ නැත… තිබුණත් පාවිච්චි කරන්නේ ද නැත…. අනෙක් කාරණය නම් ඔඹලාට විරුද්ධව නැගී සිටින්න ගොනෙක් නැත.. නාමිකව ඉන්න ගොනා උගේ තණකොළ දීමනාවට කෙළවෙන නිසා දෝ උඹලා දෙන දෙයක් කාලා ඔහේ ගොං කතාවක් කියාගෙන ඔහේ ඉන්නවාය… අනික් ගොන්නු ඌත් එක්ක ගොං පොර වලට යන්න බලාගෙන ඉන්න නිසා උඹලාට ගානක් වත් නැතිය.. හරි හමන් ගොනෙක් පට්ටියට ආ දවසක උඹලා ඉවරය… නමුත් ඉතිං ඒ වගේ කේප්ප ගොනෙක් හැදීගෙන එනකොටම උඹලා ඌව මස්කඩේට දක්කන නිසා උඹලාට ඒකෙනුත් ප්‍රශ්නයක් නැත..
උඹලා මේකරන දේ හරි නැත… උඹලාද ඒ බව දනී.. නමුත් උඹලාට රට තණකොළ ලැබෙන නිසා උඹලා කට වහගෙන තණකොළ එකතු කරකර සිටින බව අනෙක් ගොන්නු දනී.. උඹලාගේ මේ ගොං රාජ්‍යය හැමදාම පවතින්නේ නැත.. උඹලා අනෙක් ගොන්නු අතරට ආපු දාට උඹලාට අම්බානකට අං පාර කන්න වෙනවාය….
එතකල් ඉතිං රට තණකොළ කකා හිටපියවු…. ආයෙම වෙන්දේසි කරන්න එන කාලෙට අපිත් මස්කඩයක් දාගන්නවා…!