Daily Archives: අප්‍රේල් 3, 2012
2012 අප්‍රේල් 04 : රේස් පදින හරකාගෙ අතේ ගහපු ඉලෙක්ට්‍රොණික් ටැටූ එක……
ලංකාව අධිවේගයෙන් අයිස්චර්යය කරා යද්දි ලෝකයත් ටික ටික හරි විද්‍යාව සහ තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යනවා… විද්‍යාව හදාරන විද්‍යාව පිළිබඳ කුතුහලයක් ඇති කෙනෙකු වශයෙන් මමත් දිනපතා අමුතු අමුතු දේවල් ගැන හොයා බලනවා… අද අපේ ලොක්කගෙ පන්තියේ ළමුන්ට විභාගයක් පවත්වන අතරේ මට ටිකක් අන්තර්ජාලයේ නිදහසේ සැරිසරන්න වෙලාව ලැබුණා..
ඒ අතරේ තමයි හරකගේ අතේ ගහපු ඉලෙක්ට්‍රොණික් ටැටූ එකක් ගැන දැකගන්නට ලැබුණෙ…
කවුද මේ හරකා. ? මේ හරකා ඇවිල්ලා රේස් දුවන හරකෙක්… මෙයාගෙ වෙබ් අඩවියට මෙතැනින් යන්න… මේ හරකා ඇයි විද්‍යාත්මකව වැදගත් වුනේ ? ඇත්තෙන්ම මේ හරකා විද්‍යාත්මකව වැදගත් වුනේ අළුත්ම සොයාගැනීමකට දායක වුන නිසා..
සජලනය, නැතිනම් Hydration කියලා සිංහලෙන් කියන දේ ක්‍රීඩකයෙකුට වගේම මිනිසුන්ට බොහොම වැදගත්, විජලනය වුන විට තීරණ ගැනීමේ හැකියාව, කාර්යක්ෂමතාවය වැනි දේවල් අඩු වෙනවා. අපේ හරක් 225 ටත් මේක කියලා දෙන්න ඕන, මීට පස්සෙ දියවන්නාවෙන් නාලා පාර්ලිමේන්තුවට යන්න කියලා.. එතකොටවත් හරකා වගේ වැඩ කරන එක නවත්වයිද බලන්න… (ඔන්න ට්‍රැක් පැන්නා) ඉතින් මේ නිසා ක්‍රීඩකයෙකු ගේ ශරීරයේ ජල ප්‍රතිශතය නිවැරදිව මැනගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ වුනත් සත්‍ය වශයෙන්ම ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවල (Real time) මෙවැනි මිනුම් ගැනීම සමහරවිට අපහසු වෙන්නට පුළුවන්. නමුත් චිකාගෝ හි ඉලිනෝයි විශ්ව විද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් විසින් කෙනෙකු ක්‍රීඩාවේ යෙදෙන විට ශරීරයේ ජල ප්‍රමාණය නිරීක්ෂණය කළ හැකි ඉලෙක්ට්‍රොණික් ටැටූ එකක් නිපදවා තිබෙනවා.
මේ පර්යේෂණය සඳහා ස්ව කැමැත්තෙන් සහභාගී වන්නේ පෝලී හරකා (Paulie Harraka) නම් NASCAR රේස් පදින ක්‍රීඩකයා. ලබන සෙනසුරාදා පැවැත්වෙන රේස් එකකදී මේ ටැටූ එක සහ පර්යේෂණය අත්හදා බලන්නයි ඒ අයගේ සූදානම. මේ ටැටූ එක පහසුවෙන් ශරීරයේ අලවන්නට පුළුවන්. ඉන් පසු අවශ්‍ය නම් එය ආරක්ෂාකාරීව වසා තබන්න පුළුවන්. මේ ටැටූ එක සම සමඟ ඍජු සම්බන්ධතාවයක් පවත්වන්නේ අර ඊසීජී ගන්න සම මත අලවන ඉලෙක්ට්‍රෝඩ වගේම පහසුවෙන් සහ කාර්යක්ෂමව. ඒ වගේම මෙය උඩසම ගැලවී යනතුරු සති දෙකක් පමණ ශරීරයේ රඳවා තබන්නත් පුළුවන්. මෙය බලගැන්වෙන්නේ රේඩියෝ තරංග මගින්, ඒ වගේම දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙත් එහෙමයි.
හරකාගේ සම මත අලවන මේ ටැටූ එකෙන් තරය අවස්ථාවේදී ඔහුගේ ශරීරයේ ජලප්රතිශතය, ශරීර උෂ්ණත්වය සහ ශරීරයේ ආතතිය වැනි දෑ මැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මූලික පර්යේෂණ මෙසේ වුනත් ඔවුන් මෙය මීටත් වඩා වැඩි සහ උසස් දේවලට යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ අනුව සමහර විට අපේ ඇඟට අලවන ටැටූ එකකින් අපේ ශරීරයේ සම්පූර්ණ දත්ත වාර්තාවක් වෛද්‍යවරයා වෙන ස්වයංක්‍රීයවම යවන්න පුළුවන් වෙන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවනි.
ඔරිජිනල් ලිපියට මෙතැනින් යන්න…