Daily Archives: අප්‍රේල් 9, 2012

2012 අප්‍රේල් 10: සහතික නැති මරණ…… ලියා අවසන් කර, කොටසක් මකා දැමූ සටහනක්


කාල වකවානුව:  1989 ජනවාරි මාසයේ අන්තිම සතිය……

“මහත්තයෝ, අන්න කීඹි ඇල ලඟ කොල්ලො ටිකක් ටයර් සෑයක පුච්චලා දාලා, ලොකු පුතාගෙ වයසෙම වගේ ටිකක්” ගමේ මනුස්සයෙක් තාත්තට කිවුවා ලු…

ඒ වනවිට මා හිටියේ මාතර, පුංචි අම්මලාගේ ගෙදර සති අන්තය ගත කරන්න ගිහින්… එදාම තමයි මම ගාල්ලෙ ඇන්ටිලාගෙ ගෙදර ආවෙ… තාත්තා මල්ලිවත් C-90 යෙ තියාගෙන මාතර ගිහින් තියෙන්නේ බඩේ ගින්දර පත්තු කරගෙන… මාතර ගියපු තාත්තාට දැනගන්නට ලැබිලා තියෙන්නේ මම උදෙන්ම ගාලු ආපු බව… තාත්තා ඒ පිටන්ම ගාලු ඇවිත් ඇන්ටිලාගේ ගෙදර… මම පන්ති ගිහින්…. තාත්තා මගේ පන්තිය ලඟට ඇවිත් මම දැක්කා..

“දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉණුවෙ, ලොකු පුතා දකිනකල් ඉවසුමක් තිබුණෙ නෑ” ඒ පිය සෙනෙහසක අරුමය….

ඒ 1988 – 90 භීෂණ කාළය… මතුගම හිටපු උසස් පෙළ ලියපු ලොකු අම්මගෙ ලොකු පුතා ඇවිත් නතර වෙලා හිටියේ අපේ ගෙදර, මම හිටියෙ ගාල්ලෙ… මගේ යාළුවො කීප දෙනෙක් දන්නෙම නැතුව අතුරුදහන් වෙලා තිබුණා.. එකෙක් තමයි පැට්ටා… පැට්ටා කියන්නේ නමින් ගනේෂ ගමගේ. දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දක්‍ෂ මළල ක්‍රීඩකයෙක්, නිවුන් සහෝදරයා නිමල්, ඒ කියන්නෙ බේබි, දෙන්නම තකට තක… නිමල් සහ ගනේෂ දෙදෙනාම අපේ ඉස්කෝලෙ මළල ක්‍රීඩාව වෙනුවෙන්  කරපු කැපකිරීම් අනන්තයි. ජයග්‍රහණ නිමක් නෑ.. බේබිට තරමක ඉවසීමක් තිබුණත් පැට්ටා  නහයට අහන්නෙ නෑ.. ඕනම කුණුගොඩකට අතදානවා… ඒ වගේම හදවත රත්තරං කොල්ලා… ඒක නිසාම සමහර විට වැරදුනා.. ඉස්කෝලෙ රණ්ඩුවකට චීන කොරටුවෙ ගැන්සියකට තනියම ගිහින් චීනකොරටුවෙදීම ගහන්න තරම් හයිය හිතක් තිබුණා. දවසක් පැට්ටා ගාල්ලෙ පොලිස් නිලධාරියෙකුගෙ දුවකට විහිළුවක් කළා කියලයි ආරංචි… ඒ වුනත් ඒ පිටුපස තවත් කතා ගොඩක් තියෙනවා ලු… කොහොම වුනත් පැට්ටා අතුරුදහන් වුනා… බොහෝ දෙනාට මෙය දරා ගන්න බැරි වුනත් කාළයේ වැලි තලාවෙන් එය යට ගියා.. නමුත් තවමත් මතක තියෙන අයට ඒවා මතකයි… මේ එක සිද්ධියක් පමණයි… තව මේ වගේ කතා සිය දාස් ගානක් ඒ කාළෙ මේ රටේ ලියැවෙන්න ඇති….

ඒ ප්‍රේමදාස භීෂණ යුගය අවසන් වුනේ ප්‍රේමදාස විසින්ම ගෙන ගිය භීෂණයේ අතුරු ඵළයකින්…. කළ කළ දේ පළ පළ දේ කියන්නාක් මෙන් අවසානයේ ඔහුටත්, ඔහුගේ ක්‍රියාදාමයන් මෙහෙයවූ රංජන් විජේරත්න, ලකී අල්ගම, ජානක පෙරේරා මෙන්ම පසු කාළයකදී ජාතික වීරයෙකු වශයෙන් බොහෝ දෙනා සැලකූ කපිතාන් මුතාලිෆ්ටත් (මම දන්න තරමට ඔහුත් මේකට හවුල් -වැරදි නම් නිවැරදි කරන්න) අයත් වුනේ ඒ වගේම ඉරණමක්.. මොනවා කළත් කරුමය (හෝ කර්මය) වෙනස් කරන්න බෑ.. තමන් වැපිරූ බීජ වල ඵල තමන්ම නෙලා ගත යුතුයි…..

ඒ කාළයේ මානව හිමිකම් කරතියාගෙන ජිනීවා ගිය අය දැන් ලොකුම ලොකු පුටුවල… ඒ කාලෙ අපි ආදරෙන් හංගගෙන බලපු හිරු පත්තරේට ලේ උණුවෙන ලිපි ලියපු  විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම වගේ විප්ලවකාරයෝ දැන් ආණ්ඩුවේ ලොකු පුටුවල…. නමුත් ඒ කාලෙ නීතිය වල් වැදුන බවට කෑ මොර දුන් ඔවුන්ගේ කටවල් අගුළු වැටිලා..  හෘද සාක්‍ෂිය කකුස්සියේ දාලා වතුර ගහලාද, නැතිනම් ඔවුනුත් ජීවිතය ගැන බයෙන් ඉන්නවාද දන්නෙ නෑ… නමුත් බොහෝ අය නිහඬයි… ඒක භයානකයි… ආචාර්ය මාර්ටින් ලූතර් කිං කිවුවා ලු “මේ යුගයේ දරුණුතම ඛෙදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියාකලාපය නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි” කියලා. මේ නිහඬ බව මහා මේඝයක් වෙන දවස වැඩි ඈතක නැති වෙන්න පුළුවන්.

කොහොම වුනත් ප්‍රේමදාසගෙ පාලන කාළය අවසන් වුනේ බොහොම ඛෙදජනක විදියට… ඒ කාලෙ නම් විකල්ප නායකයො හිටියා රට බාරගන්න….. මැයි පළවෙනිදත් එනවා….

මෙතැන ඉඳලා ලියපු ටික දෙතුන් පාරක් හිතලා බලලා මකා දැමුවේ, මම නැතත් මගේ ඥාතියො ලංකාවෙ ජීවත් වෙන්න ඕන නිසා..

නමුත්, එදා මේ වගේ ගීත කියපු නන්දා මාලිනී වැනි කලාකරුවන් අද ජනතාව වෙනුවෙන් අවදි වෙයිද ? කපුගේ හිටියා නම් එදා වගේම අදත් කෙළින් නැගිට සිටීවිද ?

ඒ ගැන දුකා හොඳින් ලියලා තියෙන නිසා මම ලියන්න යන්නෙ නෑ…

කොහොම නමුත් ඒ වගේ කාළයක් නැවත නොඒවා කියලා උදේ හවා ප්‍රාර්ථනා කරනවා…..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පසුව ලියමි.

ලිපි 250 ට සුභපැතුම් පළකළ හැමෝටම බොහොම ස්තුතියි….. හැම ප්‍රතිචාරයකටම ස්තුති කරන්න ගියා නම් සෑහෙන වෙලා යනවා. ඔබේ ප්‍රතිචාරයි විවේචනයි දිරිගැන්වීමයි නිසා තමයි මෙච්චර කලක් ඇදගෙන ගියේ…..

ඊටත් පසුව ලියමි.

මේක ඇල්කෙමිච්චිට පෙන්වලා අවසර අරන් දාන්න ගියා…. එකසිය ගානට බැණුම් අහන්න වුනා…. දේශපාලනය ලියන්න එපාය, නරක දේවල් ගැනම ලියන්න එපාය කියලා….. මොනවා කොරන්නද ? හිතුවක්කාර හිත…. යන්නෙම වැරදි පැත්තට.

%d bloggers like this: