2012 අප්‍රේල් 24 : ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් එක්ක නිරුවත් කොළණියක මිහිකත දිනේ සැමරූ හැටි…. දහ අට ප්ලස් අයට පමණයි….


ජගත් මිහිකත දිනය වුනේ අප්‍රේල් 22 වනදා… ලෝකෙ එක එක සංවිධාන එක එක විදියට මේ මිහිකත දිනය සමරනවා… සමහරු සරළව අර්ථාන්විතව සැමරුවත් සමහරු අන්තයටම යන අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතිං හැම අවස්ථාවකම දකින්න පුළුවන් නේ…. අපිත් මිහිකත දිනේ සැමරුවා… අපි කියන්නෙ මම කිවුවොත් හරියටම හරි….

පාවෙන ඇඳක්...

ඉතින් මමත් දන්න කියන කට්ටියක් මිහිකත දිනේ සමරන්න ලක ලෑස්ති වුනේ අමුතුම අන්දමකට… පරිසරයට බොහොම ලැදි කට්ටියක් වන මේ අය පරිසරයට බොහොම ලං වෙන්න ඕන නිසා උපන් ඇඳුමෙන්ම පරිසර දිනේ සමරන්න යොදා ගත්තා… පරසරය සුරැකීමෙ සංවිධාන කියන්නෙ පාවිච්චිය අඩු කරන්න (Reduce) නැවත පාවිච්චි කරන්න (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) කරන්න කියන එකනෙ… ඉතිං මේ ගොල්ලොත් ඇඳුම් අඩුවෙන් ඇඳලා බොහෝ දේවල් නැවත නැවත පාවිච්චි කරලා.. තවත් දේවල් ප්‍රතිචක්‍රීකරණය කළා…..ඇමරිකාවෙ ලිංගික නිදහස කොච්චරද කියනවා නම් නීති ප්‍රකාරව පවත්වාගෙන යන නිරුවත් කොළණි බොහොමයක් තිබෙනවා… මෙය සාමාන්‍ය මිනිසුන් එතරම් අනුමත නොකළත් මානව නිදහස අගයනවා යැයි කියන සමහර මිනිස්සු සහ තවත් සමහර වෙනත් අභිමතාර්ථ ඇති උදවිය මේවට යනවා ඕන තරම්… ඉතිං මම නම් මේකට ගියේවත් එහෙම සිදුවීමක් සිදු වුනේවත් නැහැ….

ලිපියෙ ඉතිරි ටික ඉවර කරන්න ඉස්සර ඔය සමහර මහත්වරුන්ට සහ නෝනාවරුන්ට අම්බානකට බණින්න මට ඕන…. මේ මම අත් විඳපු, මම අත්හදා බලපු කාරණයක්… මේ බ්ලොග් අඩවිය අනුසාරයෙනුත් මම විවිධ පර්යේෂණ කරනවා… මම ලියන හැම ලිපියක්ම යම් හේතුවක් ඇතුවයි මම ලියන්නෙ.. දැනුම බෙදීමට අමතරව, සමහර විට එය ඔබේ රුචිකත්‍වය කුමක්ද කියලා බලන්න ලියපු දෙයක් වෙන්නත් පුළුවන්. මම ලිපියකට එන හිට්ස් ගණන ගැන එච්චර සැලකිළිමත් නොවුනත් මෙච්චර කාලයක් මම ලියපු හැම ලිපියකටම ආපු හිට්ස් ගණන මා සතුව තිබෙනවා. මිනිසා දේශපාලන සත්ත්‍වයෙක් සහ ලිංගික සත්ත්‍වයෙක් කියන කාරණය සත්‍ය බව පසක් කරන්නට මෙය හොඳ සාක්‍ෂියක්. මා ලියූ ලිපිවලින් වැඩිපුරම හිට්ස් ලැබී ඇත්තේ මේ අංශ දෙකට අදාල ලිපි වලටයි. සතියක් තිස්සේ කරුණු සොයාගෙන ඔබ දැනුවත් කරන්න, ඔබ වෙනුවෙන් ජගත් මිහිකත දිනය වෙනුවෙන් ලියූ ලිපියට පෙර කියූ ලිපි වලට ලැබූ අවධානයෙන් දහයෙන් එකක්වත් ලැබුණෙ නැහැ…. ඔබේ මානසිකත්‍වය ඔබම සිතා බලන්න….

ඔන්න බලන්න මේ ලිපිය කී දෙනෙක් බලන්න එනවද කියලා…

දැන් ආපු එකේ මෙන්න මේකත් බලලම යන්න… ලෝකය යහමඟට හරවන්න දේශපාලන නායකයොන්ට පමණක්ම බැහැ…. අපි අපිම ලෝකය ගැන සිතලා වෙනස් වෙන්න ඕන…. අපි වෙනස් වෙමු… හිතන විදිය, කරන දේ වෙනස් කරමු… එක දවසකට එක දෙයක් බැගින්…..

මේ මිහිකත දිනය වෙනුවෙන් මා ලියපු, කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඒ ලිපිය…. මුල ලිපිය බලන්න අවශ්‍ය නම් මෙතැනින් යන්න.

මේ වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7 ක් ඉක්මවා ගොස් ඇත. අප්‍රේල් පළමුවැනි දින වන විට හරියටම එය 7,004,110,246 කි. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටී. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළද, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරති.

අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා ඇත. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවේ. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය.

කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා මිස අඩු වීමක් නොවීය. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 394 ක් (394.45 ppm) පමණ වේ. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm කි. මෙය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2010 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක්  (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ.  තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.

මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.

මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම  – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්.   ඒ පාරිසරික පැත්ත.

සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා. මේ අනෙක් පැත්ත.

අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒ ප්‍රධාන වශයෙන්ම අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම නිසායි. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.

බලශක්ති පරිභෝජනය කළමණාකරණය කිරීම.

මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා  ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.

තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.

  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
    • උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
  • ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
  • සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
    • උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
    • දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
  • Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
  • කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම

රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී

  • හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
    • සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
    • රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
  • ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
    • සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
    • එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
  • ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
    • අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.

තව ලිවීමට බොහෝ දේ ඇතත් ලිපිය දිග වැඩි වන නිසා මෙසේ කෙටියෙන් සටහන් කිරීමට සිදු විය.

අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇත. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වේ. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතී. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද ? පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙනි. මේ කිසිවෙකු අනාගත පරපුරේ පැවැත්මක් ගැන නොසිතති.

සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ MIT සරසවියේ සිට දැන් Harvard සරසවියට මාරු වී ගොස් ඇති මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවකි. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී ඇත. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙනි. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටී.

ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුය… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුය….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැත.

අපේ නොසැලකිළිමත් කමින් අද අප විනාශ කරන්නේ අපේ දරුවන්ගේ හෙට දවසයි……

ඔබට ඔබේ දරුවන් ගැන ආදරයක් ඇත්නම් මෙහි අඩංගු දෑ හැකි පමණ බෙදා ගන්න……..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 23, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 2.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: