2012 අප්‍රේල් 26 : වැඩිවන ගෝලීය උණුසුම හමුවේ සිදුවන නොසිතූ වෙනස්කම් | 10 Surprising Results of Global Warming.


ෆොසිල ඉන්ධන දහනය සහ වැඩිවන ජනගහනය හමුවේ ගෝලීය උෂ්ණත්‍වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව මා කළින් ලිපියෙනුත් පැවසුවා… මේ වැඩිවන ගෝලීය උණුසුම නිසා අපේ ලෝකයේ බොහෝ වෙනස්කම් වෙමින් පවතිනවා. සමහරක් මිනිසාට සුභදායක මෙන් පෙනුනත් ඒ දේවල් දිගුකාලීනව අහිතකරයි: මිනිසාටත් අනෙත් සත්ත්‍වයින්ටත්…. බලන්න… ඔබත් මේ ගැන සිතා බැලුවද කියලා.

10. වැඩිවන ලැව්ගිණි

ඇවිළුණු ගිණි දැල් නිවෙන්නෙ නෑ ලේසියෙන්

ඇමරිකා එක්සත් ජනපදය ස්වභාවික ලැව්ගිණිවලට ලක්වන රටක්. නිරන්තරයෙන්ම කොතැනක හෝ ලැව්ගින්නක් ගැන පුවතක් අසන්නට පුළුවන්. ඒ භූමි ප්‍රමාණය වැඩි වීම වගේම අධික වියලි බව නිසා. මෑත දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලැව්ගිණි ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා අවට පරිසරය උණුසුම් වෙනවා සේම සිදුවන දේපල හානියද උපරිමයි. එක් අතකින් දැනට ඉතිරිව පවතින වනාන්තර විනාශ වෙන අතර අනෙක් පසින් උණුසුම වැඩි වීම, දහනයෙන් කාබන් ඩයොක්සයිඩි වැඩි වීම යන කරුණු නිසා ගෝලීය උණුසුම වැඩි වීමට උපකාරී වෙනවා. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලැව්ගිණි වැඩි වෙනවා. මෙය චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

09. නටබුන් වෙන නටබුන්.

නටබුන් වන නටබුන්

කල්ප කාලාන්තරයක් පුරාවට ලොව වටා තිබූ පෞරාණික වටිනාකමකින් යුත් විවිධාකාර නටබුන් විවිධ පරිසර තත්ත්‍වයනට ඔරොත්තු දෙමින් මෙතුවක් කල් පැවතුනා. නමුත් දැන් දැන් වැඩිවන ස්වභාවික විපත් නිසාත්, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දිය වීම නිසා ඇතිවන අම්ල ගතිය වැඩි වීම නිසාත් ඒ නටබුන් ඉක්මනින් නටබුන් බවට පත් වෙන්නට පටන් අරගෙන තිබෙනවා. අම්ල වැසි ඇතිවෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම නිසාම නොවෙයි. රථවාහන දුම්වලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දියවීම නිසා සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය ද යම් ප්‍රමාණයක් නිපදවේ. මේ සියල්ල එකතු වී අම්ල වැසි ලෙස නටබුන් මතට පතිත වීමේදී ඒ නටබුන් ඛාදනය වී නටබුන් බවට පත්වේ (දිරා යයි.) මේ වෙනස වැඩි වශයෙන්ම දක්නට හැක්කේ කැල්සියම් කාබනේට් හෝ කිරිගරුඬ වලින් තැනූ එළිමහනේ ඇති පිළිම සහ ඇඹුම් වලය.

08. කඳු පන්තිවල වැඩීම.

යූරල් කඳු වැටිය උස ගිහින්...

සාමාන්‍ය ඇසට නොපෙනුනද, අයිස් තට්ටු වලින් වැසී ඇති කඳු පන්තිවල වැඩීමක් පසුගිය වසර සියය තුළදී දක්නට  ලැබී ඇත. අයිස් තට්ටු වලින් වැසී දැඩි පීඩනයකට හසු වී ඇති ගිරි ශිඛර ඒ අයිස් තට්ටු දියවී යාමේදී එම පීඩනයෙන් මිදීම නිසා පෘථිවියේ භූ තල අතර ක්‍රියාකාරීත්‍වයත් සමග කෙමෙන් කෙමෙන් ඉහළට එසවෙන බව සොයාගෙන ඇත. එමෙන්ම හිමාලය අඩවියේ ඇති අධික ජලවාශ්ප සාන්‍ද්‍රණය ඝණ වීම හේතුවෙන් ඒවායේ උසද ක්‍රමයෙන් වැඩි වන පව පෙනේ. මෙය සිදු වන්නේ කඳුමත හිම පතනය වැඩි වීම නිසාය. නමුත් ඉහත කී කරුණ වන්නේ කඳු පන්තිවල පාෂාණමය උස වැඩි වීමයි.

07. පණිවුඩ හුවමාරු සහ අනෙකුත් චන්‍ද්‍රිකාවල වේගය වැඩි වීම.

කාබන් ඩයොක්සයිඩ් නිසා චන්‍ද්‍රිකාවලටත් හෙමින් ගමනක් නෑ

කාබන් ඩයොක්සයිඩ් යමක් සිසිල් කරනවායැයි ඔබ මෙතෙක් අසා ඇත්ද ? කාබන් ඩයොක්සයිඩ් නිසා ඉහළ අහසේ වායු අණුවල ක්‍රියාකාරීත්‍වය වෙනස් වීම සිදු වේ. මෙය සිදු වන්නේ මෙසේය. වායුගෝලයේ පිටතම ස්ථරය ඉතා තුනී ස්ථරයකි. එසේ වුවද, වායු අණු චන්‍ද්‍රිකාවල ගැටී යම් ඝර්ෂණයක් ඇතිකරයි.මේ නිසා ඒවායේ වේගය අඩු වී කක්‍ෂ වලින් පිටතට ගමන් කරයි. මේ නිසා කළින් කලට ඉංජිනේරුවරුන් විසින් චන්‍ද්‍රිකාවල වේගය වැඩ් කර නැවත කක්‍ෂගත කරනු ලබයි. නමුත් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යයි. වායුගෝලයේ පහළ ස්ථරවල වූ කාබන් ඩයොක්සයිඩ් වායු අණු එකිනෙක ගැටීමේදී ශක්තිය තාපය වශයෙන් පිට වීමේදී අවකාශය උණුසුම් වේ. මේ නිසා ඉහළ වායු ගෝලය ප්‍රසාරණය වී වායු අණු ඈත් වේ. මෙසේ ඈත්වන වායු අණු අවට අවකාශය සිසිල් කරයි. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වනවිට මේ සිසිල්වීම වැඩි වී ඝර්ෂණය අඩු වේ. චන්‍ද්‍රිකා වේගයෙන් ගමන් කරයි.

06. වෙනස් වන්නෝ දිනන්නෝය.

පරිසරයට අනුවර්තනය වීම හෙවත් Environment එකට Adjust වීම

ගෝලීය උණුසුම වැඩි වන විට සිදුවන ප්‍රධානම දේ වසන්ත ඍතුව ඉක්මනින් උදා වීමයි. එනම් ගස් වල මල් හට ගැනීම, පළ හට ගැනීම ඉක්මන් වීමයි. සාමාන්‍ය රටාවකට හුරු වී ඇති සතුන් පැරණි ආකාරයටම ආහාර සොයා යෑමේදී සිදු වන්නේ කළින් මල පල හට ගැනීම නිසා ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වීමයි. නමුත් නව කාලගුණ රටාවට හුරු වන සතුන් ස්වභාවික වරණයේදී ඉතිරි නොනැසී පවතී, මේ නිසා නව කාලගුණ රටාවට හුරු වන සතුන්ගේ ජාන ඇති පරම්පරාව ඉදිරියට රැකෙමින් පවතින අතර පැරණි තාලයට හැඩ ගැසුන පරම්පරාව වඳවී යයි.

05. හිම දියවීම

මිදුනු හිම දියවෙද්දි ගොඩක් රහස් එළියට එන්න පුළුවන්.

මිහිතලය උණුසුම් වීම නිසා සිදු වන්නේ ධ්‍රැවීය අයිස් දියවීම පමණක් යැයි කියා ඔබ සිතනවා නම් මෙන්න තවත් සිතන්න දෙයක්.  මේ ධ්‍රැවීය අයිස් තට්ටු යටින් ඇති මෘදු පස් ස්ථරයේ අධික කාබන් සංයෝග ප්‍රමාණයක් අඩංගුයි. මෙයට ඉංගිරිසියෙන් කියන්නේ Permafrost  කියායි. එනම් ස්ථිර වශයෙන්ම දිගු කාළයක් මිදීමකට ලක් වූ පස් ස්ථරයයි. ධ්‍රැවීය අයිස් දියවීමෙන් මේ ස්ථරය නිරාවරණය වෙනවා. මෙය දියවුනොත් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් සංයෝග ප්‍රමාණය අති විශාලයි. ඒ එක පැත්තක්. අනෙක් දේ වන්නේ පොළවේ අනෙක් ප්‍රදේශවල පවා ඉහළම ඇති සාමාන්‍ය පාෂාණ තට්ටුවට යටින් ඇති මෘදු පස් තට්ටුව දියවීම නිසා ඉහළම ඇති පස් තට්ටුව අවිධිමත් ලෙස හැකිලෙන්නට පටන් ගනී. මෙය පොළව මතුපිට ඇති ගොඩනැගිලි ගිලා බැසීම, මංමාවත් ගිලා බැසීම මෙන්ම ක්‍ෂණික ගිලා බැසීම් ආදිය ඇතිකිරීම සිදු කරයි. එසේම අයිස් යුගයේ ආදී ඈත යුගවල මියගිය මිනිසුන්/සතුන් ගේ සිරුරු මේ දියවීමේදී නිරාවරණය වන නිසා මේ ලෝකයෙන් තුරන් වී ගිය වසූරිය වැනි රෝගවල රෝග කාරක වෛරස නැවත සක්‍රීය වීමේ අවදානමක් ද ඇති වී ඇත.

04.  ධ්‍රැවීය විල් සිඳී යාම

විල් සිඳී යාම නිසා සිදුවන අහිතකර දෑ බොහෝයි.

උත්තරධ්‍රැවයේ පැවති විල් 125 ක් පසුගිය දශකය ඇතුලත සිඳී ගොස් ඇත්තේ නාන තටාකයක පතුලේ වූ ඇබයක් ගලවා දැමුවාක් මෙන් ජලය පොළවට උරා ගැනීමෙනි. මීට පෙර කරුණේ පැවසූ Permafrost ස්ථරය දියවී යාමේදී පසේ යටි ස්ථරය නිරාවරණය වී ජලය ඒ පස අතරින් ගලා ගොස් සිඳී යාමයි. මෙසේ විල් සිඳී යාමේදී ඒ හා බැඳුනු පරිසර පද්ධති සහ ජෛව පද්ධති සියල්ල අස්ථායී වී විනාශ වේ. මේ නිසා ධ්‍රැව ආසන්නයේ වූ ඉතා සාරවත් ජෛවීය පද්ධති බිඳ වැටේ. මෙය අහිතකර තත්ත්‍වයක්.

03. ආක්ටික් ධ්‍රැවයේ පිබිදීම.

පිබිදෙන ආක්ටික් ධ්‍රැවය

සාමාන්‍යයෙන් ආක්ටික් ධ්‍රැවය බොහෝ දුරට අයිස් තට්ටු වලින් වැසී පවතින කලාපයක්. නමුත් දැන් දැන් වැඩිවන ගෝලීය උණුසුම හමුවේ අයිස් දියවී යාම නිසා පස් තට්ටු මතු වීමට පටන් අරගෙන තිබෙනවා. මේ නිසා පසේ උණුසුම වැඩි වී සහ ජලයේ උණුසුම වැඩි වී නව පරිසර පද්ධති බිහි වීමට පටන් අරගෙන තිබෙනවා. මෙය එක අතකට සුභදායී දෙයක්. මක් නිසාද යත් පොළවේ වඩාත්ම පෝෂණය අතින් පොහොසත් මුහුදු ඇත්තේ ධ්‍රැවීය පෙදෙස් ආසන්නයේ. මේ නිසා  පෝෂණය අතින් සරු සාර වෙනවා. මසුන් වැඩිපුර ඇති වෙනවා. සාමාන්‍යයෙන් තල්මසුන් ආහාර සොයාගැනීම පිණිස සංක්‍රමණය වන්නේ ද මේ පෙදෙස් වලට. මෙහි වැඩෙන කුඩා ඉස්සන් වැනි මත්ස්‍ය විශේෂ වන Krill නම් සතුන් තල්මසුන්ගේ ප්‍රණීත ආහාරයක්.

02. කඳුවලට සංක්‍රමණය වන ආක්ටික් වාසී සතුන්.

කඳු නගින්නත් බෑ.. නොගිහිනුත් බෑ

පසුගිය ශතවර්ෂය පුරා සතුන්ගේ හැසිරීම සොයා බැලීමේදී විද්‍යාඥයන් දුටු දෙයක් වන්නේ ඒ සතුන් කඳු සහිත පෙදෙස් වලට සංක්‍රමණය වීමට රුචිකත්‍වයක් දක්වන බව. මෙයට ප්‍රධාන හේතු වී ඇත්තේ ජනාවාස වැඩි වීම සහ ගෝලීය උණුසුම් වීමයි. මේ අයුරින්ම ආක්ටික් පෙදෙස්වල ජීවත් වන සතුන් බොහොමයක් දැන් දැන් කඳු පෙදෙස් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා ලු. හිම වලසුන්, හිම වෘකයන් සහ වෙනත් සතුන් මුහුදුබඩ පෙදෙස් වලින් ඈත් වන්නට පටන්ගෙන තිබෙන්නේ මේ හේතුව  නිසා බවයි ඔවුන් පවසන්නේ.

01. ආසාත්මිකතාවයන් ගේ අසාමාන්‍ය වැඩි වීම.

හා ච්... චිං....

පසුගිය දශකය පුරාවට බොහෝ දෙනෙකුගේ ආසාත්මිකතාවයන් ඉහළගොස් ඇතිබව සංඛ්‍යාලේඛණ වලින් සොයාගෙන තිබෙනවා. මෙම වැඩි වීමට පරිසර දූෂණය සහ වෙනස්වන ආහාර සහ ජීවන රටා බලපෑවද, පාරිසරික හේතු නිසා ඇතිවන ආසාත්මිකතාවයන්ට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම සහ උෂ්ණත්‍වය වැඩි වීමයි. මේ කරුණු දෙක වැඩි වීමේදී වසන්ත ඍතුවේදී (Spring Season) ශාකවල මල් ඵල හට ගැනීම ඉක්මන් වනවා සේම හට ගන්නා මල් ඵල ප්‍රමාණය ද වැඩි වෙනවා. මේ නිසා වැඩිපුර පරාග වර්ග නිෂ්පාදනය වෙනවා. එලිමහනේ සිටීම නිසා ඇතිවන ආසාදන (Outdoor Allergies) වලට ප්‍රධාන හේතුව වන්නේ මේ පරාග සහ තණකොළ ආදී දේ. මෙසේ මේවා වැඩි වන්න වැඩි වන්න ආසාත්මිකතාවයන් ඇතිවනවා වැඩියි. වසන්ත සමයේ මුල්කාලයේ වැඩිපුර පරාග නිපදවීම සිදු වන විට ආසාත්මිකතාවයන් පවතින කාලපරිච්ඡේදය වැඩි වෙනවා.

වෙනස්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වැඩිවන ගෝලීය උෂ්ණත්‍වය හමුවේ සිදුවන අසාමාන්‍ය වෙනස්කම් දහයක් තමයි මේ… සමහරවිට අපට මේවා නොදැනෙන්න පුළුවන්. නමුත් ඇත්ත නම් මේ කරුණු සමග ලෝකය වෙනස්වන බවයි. හොඳ පැත්තට වෙනස් වනවාද නරක පැත්ත වෙනස් වනවාද යන්න ඉදිරි කාලයේදී අපට බලාගන්න පුළුවන් වේවි.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 26, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. වටින ලිපියක්…
    ගෝලීය උෂ්නත්වය ගැන තිබුන ඩේ ආෆ්ටර් ටුමාරෝ එකේ කියන විදිහට ස්වභාවධර්මය විසින්ම ගෝලීය උෂ්නත්වය අඩු කරන ක්‍රියාවලියක් ආරම්භ වෙන්න පුළුවන්ද?…

    කැමතියි

  2. අගේ ඇති ලිපියක්. බොහොම ස්තූතියි දැනුම බෙදා දුන්නාට .

    කැමතියි

  3. බොහොම ස්තූතියි දැනුම බෙදා දුන්නාට .

    කැමතියි

  4. මොන පිස්සුද තාක්ෂණයේ දියුණුව නිසා පරිසරය රැකී ඇති බව ඔප්පු කරන්න පුළුවන්. ඕගොල්ලො ඒව පිළිගන්නෙ නෑ. පසුගාමී චින්තනය පතුරුවන්න එපා. ධනාත්මකව හිතන්න. ඇමරිකාව වගේ දියුණු වෙන්න.

    කැමතියි

  5. kramayen siduwemin pawathinne yam deyak athiveemata hethu unu karanawan nawathasakkriya veemai. mata hithuna hati. vishwaya sadakalikai ehi athi dewal warin wara vivida akakarayen venasveemwelata bajanaya wena wa kiyalai .

    කැමතියි

  6. වටින ලිපියක්! මිනිස්සු දැන්ම අැහරෙන්න ඔ්න! එ්ත් එ් අය ඉන්නෙ මර නින්දෙ කියලයි මට හිතෙන්නෙ! 😦

    @elabuwa
    ගොංපාට් නොකර තාක්ශණය හරියට පාවිච්චි කරන්න ගත්තොත් තත්වය ටිකක් යහපත් කරගන්න බැරි වෙන එකක් නෑ!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: