2012 මැයි 29: ලසිත් මාලිංග නම් දේශද්‍රෝහියා…… නිදහස් මිනිසා…..


ලසිත් මාලිංග ලංකාවේ දැනට සිටින භයානකම සහ දක්‍ෂතම පන්දු යවන්නා මෙන්ම ලෝකයේ දැනට ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙක් බවට කිසිදු සැකයක් නැත. ගාල්ලේ කුඩා පාසලක ටෙනිස් බෝලවලින් ක්‍රිකට් ගහ ගහා හිටි මේ කොළු ගැටයා ලෙදර් බෝල ගස්සවන්නට ගෙන ආවේ ගුරුතුමෙකි. විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන අතරතුර එක තරඟයක් විනිශ්චය කළ මහතෙකු (මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා උපදේශකවරයාදැයි මම නොදනිමි) මහින්දයේ දොර විවර කර දුනි. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය අළුතින් ලියැවුණි.

ක්‍රිකට් ක්‍රීඩාවට නව ආරක පන්දු යවන්නෙක්, පිතිකරුවනට අළුත් භීතිකාවක්, ක්‍රිකට් ලෝලීන්ට අළුත් මාතෘකාවක්, අළුත් විලාසිතාවක්, අළුත් උන්මාදයක් බිහි වූයේ එතැන් සිටය. ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් කොතෙක් සිටියද, මාලිංගගේ විලාසිතා සහ පන්දු යැවීමේ රටාවට සම කළ හැකි කිසිවෙක් මෙතෙක් ලොව බිහිව නොතිබුණි. මේ නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ආභරණයක් විය. ඉලක්කයට, සිතා මතා යෝකර් පන්දු යැවීමට හැක්කේ පන්දු යවන්නන් අතලොස්සකට පමණි. ඉන් මාලිංග සිටින්නේ ඉදිරියෙන්මය. පිතිකරණයේදී ද ඉඳහිට සහ අවශ්‍ය අවස්ථාවල සිය දායකත්‍වය ඔහු සැපයීය. ඇන්ජලෝ මැතිව්ස් සහ මාලිංගගේ සුපිරි වික්‍රමයම එයට සාක්‍ෂි දරයි.

මාලිංග දන්නේ ක්‍රිකට් පමණි. එය ඔහුගේ රැකියාවය. අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් මා දන්නා පමණින් ඹහු ව්‍යාපාර වලට තවමත් අතගසා නැත. එසේ අතගසා ඇත්නම් ඉතා හොඳය. මාලිංගගේ ක්‍රීඩා ශෛලිය නිසාම ක්‍රීඩා කිරීමේදී, පුහුණුවේදී, ඔහුගේ ශරීරයට අනවශ්‍ය බරක් පැටවේ. මේ නිසාම ආබාධවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. පසුගිය වසරක ඔහුට සිදු වූ දණහිස් ආබාධයකින් වසරක් පමණම ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුවිය. මේ කාලය ඇතුලත ඔහුව මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කරන්නටත් අපේ ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා තිබුණා. සුව වූ අන්දම ආශ්චර්යයක් වුවත්, ජනාධිපතිතුමා මාර්ගයෙන් (ජනාධිපතිතුමාගේ වෛකල්පිත වෛදයවරයා යැයි කියන – එහෙත් ප්‍රතික්‍ෂෙප කරන) එලියන්ත වයිට් මහතා වෙත යොමු කෙරුණු ඔහු සුවය ලබා නැවත ක්‍රීඩාවට පිවිසියා. මේ යථාර්තයයි.

මා දකින අන්දමට ඔහු වෘත්තීය ක්‍රීඩකයෙක්. ලංකාවේ අන් සියළුම වෘත්තියකයන් මෙන් ඔහුද රැකියාවක් කරන්නෙක්, ඔහුගේ රැකියාව ක්‍රිකට් ක්‍රීඩාව. ගිවිසුම් අත්සන් කළ නිසා ඔහු ලාංකීය ක්‍රිකට් කණ්ඩයමේ සාමාජිකයෙක් වුනා. ගිවිසුම් වලින් නිදහස් වූ අය වෙනත් රටවල හෝ කණ්ඩායම් වල ක්‍රීකට් ක්‍රීඩා කළා. චමින්ද වාස් හොඳ උදාහරණයක්. ඔහුට පල නොකියා පලා බෙදෙද්දී ඔහු එංගලන්න ප්‍රාන්ත ක්‍රිකට් සමාජවල ක්‍රීඩා කර තරඟයේ වීරයා සහ තරඟාවලිවල ඉහළ පිළිගැනීමකට ලක් වුනා. ඒ අතරතුරදී වත් ඔහු නැවත කණ්ඩායමට කැඳවූයේ නැහැ. (ඔහුට කැඳවීමක් ලැබුණත් එය බංකුවට සීමා වුනා) මාංලිගට තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉවහල් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ ගැන විවාදයක් නැහැ. වෙනත් වෘත්තිකයින් ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගන්නවා හා සමානයි.

දැන් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කරන නිසාම සමහරු ඔහුව දේශද්‍රෝහියෙකු ලෙස පවා හංවඩු ගසන තත්‍ත්‍වයකට පත්ව ඇත. ගොසිප් 9 හි ලිපියේ ප්‍රතිචාර බලන්න. හේතුව වන්නේ ඔහු ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම, මේ නිසා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය පරිදි ඔහුව පාලනය කිරීමට නොහැකි වීම. මේ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම නිසා ඔහුට වාරණ දැමීමට ක්‍රිකට් ආයතනයට හැකියාවක් නැහැ. දැන් ඉතිං ක්‍රීඩකයන්ට මාධ්‍යයට කතා කරන්නත් අවසර ගන්න වෙලානෙ…. එසේම ඔහුට අවශ්‍ය නම් සංචිතයෙන් වුවත් ඉවත් වීමට පුළුවන්.

යමෙක් යම් ක්‍ෂෙත්‍රයක දක්‍ෂයෙක් නම් ඔහු/ඇය ට තමන්ගේ වටිනාකම අනුව ක්‍රියාකිරීමට හැකියාවක් පවතිනවා. අදක්‍ෂයින් බොහෝ දෙනා පසුපස යනවිට හෝ පවතින ක්‍රමය මත යැපෙන විට (පවතින ක්‍රමය දක්‍ෂයන්ට වඩා අදක්‍ෂයන්ට මුල් තැන දෙන නිසාම) දක්‍ෂයින් තම හැකියාවන් වලට මිලක් දෙන්නෙ (Demanding) ඒ බව දන්න නිසාම. හැකියාවන් සහ සුදුසුකම් ඇත්නම් හොඳ තැනකට යන්න කාටවත් බැරි වෙන්නෙ නැහැ. අපි විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන, ආචාර්ය උපාධි ගන්න කටු කාලා සුදුසුකම් සහ අගය වැඩි කර ගන්නවා වගේම මාලිංගත් උදේ හවා නොබලා පුහුණු වීම් කරලයි ඔය තැනට ඇවිත් ඉන්නෙ. නිකම් ඉඳලා ඔය වගේ හැකියාවන් ලබා ගන්න පුළුවන් නම් හැමෝම සාර්ථක වෙයි. (ඒ අතින් ලංකාවේ සාර්ථක වෙන්න පුළුවන් එකම රැකියාව දේශපාලනය විතරයි). හැකියාවන් ඇති අය සම්මුඛ පරීක්‍ෂණ වලදි තම වේතනය සහ පහසුකම් වැඩි කරගන්න තර්ක කරන්නෙත් ඒ වටිනාකම නිසාමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ලංකාවෙ දූෂිතම ආයතන දෙදාහක් පමණ අතරින් පෙරමුණේ සිටින ආයතනයක්.  සුදුසුකම් වලට වඩා ඥාති හිත මිතුරු සංග්‍රහ වලට මුල්තැන් දීපු මෙතැන සිදුවන කටයුතු පිළිබඳ කිසිවෙකු යහපත් ආකල්පයක් දරන්නෙ නැහැ. අති විශාල ලාභයක් ගන්නට තිබූ ලෝක කුසලාන තරඟ සංවිධානය සහ අනුග්‍රහය වැනි දේ වලින් අලාභයක් ලැබීම, ඉහළ නිලධාරීන්ට සංතෝෂම්, ක්‍රීඩකයන්ට වැටුප්වත් නොගෙවීම සහ තේරීම් මණ්ඩලයේ අක්‍රමිකතා වැනි දේ නිසාම මේ ආයතනය දූෂිත ආයතන වලින් ප්‍රමුඛස්ථානයේ පසු වන්නක්.

මගේ ආයතනයේ ප්‍රධානියා මම ආයතනයට අය කර දෙන මුදල විනාශ කරනවා නම්, මට නිසි වේතනය ලබා නොදෙනවා නම්, මම ඒ ආයතනයට තවත් සේවය කරනවාද නැද්ද යන්න පිළිබඳව මා වරක් නොව තෙවරක් වත් සිතා බලනවා. එසේම මා වෙත ඉහළ වටිනාකමක්, ඉහළ පිළිගැණීමක් ලබා දෙන්නට වෙනත් ආයතනයක් සූදානම් නම්, මුලින් සඳහන් කළ ආයතනය මා හට කෙතරම් පුහුණුවක් ලබා දුන්නත්, මගේ අනාගතය ගැන සිතා මම දෙවන ආයතනය වෙත යනවා. ඒ මනුෂ්‍ය ස්වභාවය සහ යතාර්ථය.

ලසිත් මාලිංග දක්‍ෂතාවයන් ඇති ඉහළම ගණයේ ක්‍රීඩකයෙක්. ඔහුව ලබා ගන්නට ක්‍රීඩා සමාජ පොරකනවා. තම පුරවැසිභාවය වෙනස් කර වෙනත් රටකට ක්‍රීඩා කිරීමට ඔහුට අවශ්‍ය යැයි ඔහු වැරදිලාවත් ප්‍රකාෂ කළහොත් රටවල් කීයක් ඔහුව මිලදී ගන්නට පොර කාවිද ? මෙයයි ඇත්ත තත්ත්‍වය.

අපේ රටේ කොතැනත් සිදු වන්නේ හරි දේ නොවෙයි. නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීම, වැරදි කළවුන් ආරක්‍ෂා කිරීම රටේ සම්ප්‍රදායක් වෙලා. මේ නිසාම සුදුස්සන්, උගතුන් සහ වෘත්තිකයන් රට හැර යන තත්ත්‍වයට පත් වෙලා. රටට නැවත පැමිණ සේවය කිරීමට උගතුන් සහ වෘත්තිකයන් සූදානම් නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් බිහි වී නැහැ. මෑතකදී මගේ මිතුරකු අපූරු කතාවක් කිවුවා. ඒ ඔහුගේ මිතුරකු වන ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙක් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණ යම් ආයතනයක ඉතා ඉහළ තනතුරක වැඩ භාර අරගෙන තිබෙනවා. ටික කලක් සේවය කරගෙන යද්දී මේ ආයතනයේ සිදුවන යම් යම් අක්‍රමිකතා හඳුනාගෙන ඒවා නැති කිරීම/ අඩු කිරීමට පටන් අරගෙන ඇති මේ මහාචාර්යවරයා තම දෙවැනියාගේ සහ ඔහුගේ සහායකයන් ගේ අප්‍රසාදයට පත් වී තිබෙනවා. දේශපාලන හෙංචයියන් වූ මේ පිරිස ඉහළ තැන්වල ආධාරයෙන් මේ මහතා එතැනින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ගැන කළකිරුණු මේ මහතා නැවත ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ තවත් මෙවන් මෝඩ වැඩ “රට වෙනුවෙන්” කරන්නේ නැති බව ශපථ කරමින්. මේ එක් අවස්ථාවක් පමණයි. මෙවන් සිදු වීම් කීයක් රටේ සිදු වනවා ඇද්ද ?

ලසිත් මාලිංග සිය කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අසාධාරණ ඉල්ලීමක් ද කර තිබෙනවා. එනම්  සියළුම කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයන්ගේ වටිනාකම ම තමන්ට ද දෙන ලෙස කළ ඉල්ලීම. මෙය ඔහු කළ යුත්තක් නොවෙයි. ඒ අනෙක් ක්‍රීඩකයන් රට වෙනුවෙන් ඔහුට වඩා කැපවීමක් කරන නිසා. සේවයට සරිලන වැටුපක් ඉල්ලීම සාධාරණ වුවත් සමහර වෘත්තීය සමිති මෙන් ක්‍රියා කිරීම කළ යුතු නැහැ. කෙසේ වුවත් මා ලසිත් මාලිංග ගත් තීරණය බෙහෙවින්ම අගය කරනවා. බොරු දේශප්‍රේමීන් කෝටි ගණන් සිටින මේ රටේ කොන්දක් කෙළින් තියාගෙන තීරණයක් ගන්නට, තමන්ගේ අගය වටහා ගෙන එය තක්සේරු කර එයට අගයක් ලබා දෙන්නට මාලිංගට ඇති හැකියාව අගය කරනවා. ඔහුට ටෙස්ට් ක්‍රීඩා කිරීමට නොහැකි බව පැවසීම ඔහුගේ කටයුත්තක්. තමන්ට හැකි දේ තමන්ට නොහැකි දේ තක්සේරු කරගැනීමත් යම් හැකියාවක්. පිටත සිට ඔහුව විවේචනය කරන අයට සමහර විට මීටර සියයක් කෙළින් දුවාගන්න බැරිව ඇති, නමුත් ඔවුන් මාලිංගව විවේචනය කරන්න සූදානම්. තවමත් තරමක් හෝ ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක් හැටියට එහි ඇති අමාරුකම් මමත් දන්න කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩාව නිසාම මගේ ඇඟේ මැහුම් දමාපු අවස්ථා, ඇඟිලි කඩා ගනිපු අවස්ථා තිබෙනවා. එය ලේසිපාසු කාර්යයක් නෙවෙයි. තමන්ගේ සේවය ලංකාවට අවශ්‍ය නිසාම සහ ඒ සඳහා අවශ්‍ය සූදානම, ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම සඳහා ඔහු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය සමඟ වූ ගිවිසුමද අවලංගු කර තිබෙනවා. වෙනත් හේතු බලපෑවත්, ඔහු තවමත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිය කැමැත්ත දක්වා තිබෙනවා.

මේ නිසා මා ලසිත් මාලිංග දකින්නේ ඇත්තෙන්ම සිය හැකියාවන් මනාව හඳුනාගෙන සිය වටිනාකම මනාව තක්සේරු කළ කෙනෙක් හැටියට. ඒ වගේම සියළුම අනෙක් ක්‍රීඩකයන්ට ද තමන්ගේ වටිනාකම සොයා බැලීමට ඇස් ඇරවීමක් ලෙස. අනෙක් සියළුම වෘත්තිකයන්ට වෙනත් රටක සේවය කිරීමට හැකිවාක් මෙන්ම මාලිංගටද කැමති රටක කැමති ක්‍රීඩා සමාජයකට  ක්‍රීඩා කිරීමේ අයිතිය තිබෙනවා.

සිදු විය යුත්තේ මාලිංගව නිසි ලෙස පාවිච්චි කිරිමයි. නමුත් කළමණාකරණය යන කාරණය අතින් අතිශයින්ම පිටුපසින් සිටින ලංකාව සහ ලංකාවේ ආයතන වලින් මීට වඩා අවුලක් (Screw up) බලාපොරොත්තු වන්නට බැහැ..

ලසිත් මාලිංග දේශද්‍රෝහියෙක්ද ? නිදහස් මිනිසෙක් ද යන්න තීරණය කිරීම ඔබම කරන්න…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 28, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 31.

  1. ඇල්කෙමියා මල්ලි, දිනපොතේ දිනය 29? මේ දවස්වල ටයිම් ට්‍රැවල් ද?

    කැමතියි

  2. ඔබේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි , මාලිංගත් එක්ක වලි දාගෙන 20-20 කප් එකෙන් අයින් කරගත්තොත් අපේ කට්ටියට සෙම් ෆයිනල්වත් යන්න බැරි වෙන්න පුලුවන්

    කැමතියි

  3. කතාව ඇත්ත. බූඩි නම් ඔය සෙල්ලම ගැන එච්චර උනන්දුවක් නෑ. නමුත් මාලිංග ගත්ත තීරණේට නම් මාත් එකගයි. රට වෙනුවෙන් සෙල්ලම් කරනවා නම් හැමෝම රට ගැන හිතන්න ඕනේ. බෝඩ් එකේ ඉන්න බයියලා ටික ක්‍රිකට් කද්දි එයාලා දේශප්‍රේමියෝ වෙන්න ඇති. කොන්ද කෙලින් තියාගෙන මේ වගේ තීරණයක් ගන්න ලැබීමගැන මාලිංගට බූඩිගේ ප්‍රණාමය !!!

    කැමතියි

    • ඔන්න ඔතැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ… වෙන දේශප්‍රේමියොන්ට රට බෙදාගෙන හරි බදාගෙන හරි කන්න හොඳයි… මේ වගේ ටැලන්ටඩ් පොරක් වෙනස් විදියට හිතුවොත් ඉවරයි.
      මේ අයගෙ පැවැත්ම තියෙන්නේ එහෙයියො ඉන්නකල් විතරයි… වෙනස් විදියට හිතලා වෙනසක් කරන්න හදන කෙනෙක් දැක්ක ගමන් බය වෙනවා…
      මමත් මාලිංගට කැමති මේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අගය දැනගෙන වැඩ කරන නිසා.

      කැමතියි

  4. IPL ආවට පස්සේ තමා ඔය සීන් එක වුනේ මම දන්න තරමට.. එක අතකින් බැලුවම (ඔයා කියන විදියට) මාලිගේ තීරණය හරි.. අපි වුනත් අපිට සෑහීමකට පත් වෙන්න බැරි වැටුපක් තියෙන තැනක වැඩට යන්නේ නෑ නේ.. කොහොම වුනත් ලංකාවේ ඔය තත්ත්වය වෙනස් කරන්න නම් බෑ.. කවුරුත් එන්නේ ඕවා වෙනස් කරනවා කියාගෙන.. අන්තිමට ඒවගේ රස දැනුනම මුලින් කියපු දේවල් මතක නෑ..

    කැමතියි

  5. ක්‍රිකට් ගැන නම් සත පහක ආසාවක් නෑ… ඒත් මාලිංග කරපු වැඩේ හරි… මනුස්සයගෙ රස්සාවනෙ….

    කැමතියි

  6. මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම ඔය කියන දේද ? මාලිංග කියන ක්‍රීඩකයන්ව හැදුවේ චම්පක රාමනායක වගේ ලංකාවේ වේගපන්දු යවන්නන් පුහුණු කරුවන් විසින්. මාලිංග ටෙස් තරඟ ක්‍රීඩා කරනවද නැද්ද යන්න ඔහුගේ වැඩක්. නමුත් ඔහු ටෙස් තරඟ සඳහාද ලබාදෙන මුදල ඉල්ලීම කොයි තරම් අසදරණද ? සාමාන්යෙන් ටෙස් තරඟය සඳහා 60% ක මුදලකුත් එක්දින තරඟ සඳහා 40% ක මුදලක් තමයි දෙන්නේ. නමුත් ඔහු ටෙස් තරඟ ක්‍රීඩා නොකර 100% මුදලක් කොන්ත්‍රාත්තුව වචයෙන් ඉල්ලා සිටිනවා. ඒක ටෙස් සහ එක්දින තරඟ දෙකම ක්‍රීඩා කරන සිදුවෙන අසාදාරනයක් නෙමෙයිද ?
    ඔබ කියා ඇති අයුරින්ම ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ දුෂිතම ආයතන වලින් එකක්. ඕකට තේරෙන පුද්ගලයින් බද කාට පුරෝ ගන්නවා මිසක් ක්‍රීඩකයින්ගේවත් රටේ යහපත උදෙසාවත් කිසි දෙයක් කරන මිනිස්සු නෙමෙයි. ඕක තිලංග සුමති පාල වගේ මිනිස්සුන්ගේ පුද්ගලික බුදලයක් වෙලා. ලංකාවේ හැම දෙයකටම වෙලා තියන දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවටත් දැන් වෙලා තියෙන්නේ. ලඟදි කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉතා අඩු මුදලකට ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය වුවද ජනාදිපති පුත්‍රයාගෙ චැනල් ඒක වන කාල්ටන් ස්පෝර්ට්ස්චැනල් එකට විකුනලා තියෙනවා. එයින් වෙලා තියෙන පාඩුව සුළු පටු පාඩුවක් නෙමෙයි. ඉදිරියේදී හැම දෙයක්ම වගේ ක්‍රිකට් ක්‍රීඩාවත් ලංකාවෙන් නැත්තටම නැතිවෙලා යයි, මේ අයුරින් දුශිතයින්ගෙන් පිරි තැනක් වුනොත්.

    කැමතියි

  7. මේ කරුණු වලට එකඟයි. සාමාන්‍ය ජනතාවට මේක තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා මේ කාරණයේ දී, ඇල්කේමියා ඒ නොතේරෙන තැන ලස්සනට ලිහලා හිතන්න අවස්ථාව දීලා තියෙනවා මෙන්න මේ කොටසින්.

    //අපි විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන, ආචාර්ය උපාධි ගන්න කටු කාලා සුදුසුකම් සහ අගය වැඩි කර ගන්නවා වගේම මාලිංගත් උදේ හවා නොබලා පුහුණු වීම් කරලයි ඔය තැනට ඇවිත් ඉන්නෙ. නිකම් ඉඳලා ඔය වගේ හැකියාවන් ලබා ගන්න පුළුවන් නම් හැමෝම සාර්ථක වෙයි. (ඒ අතින් ලංකාවේ සාර්ථක වෙන්න පුළුවන් එකම රැකියාව දේශපාලනය විතරයි). හැකියාවන් ඇති අය සම්මුඛ පරීක්‍ෂණ වලදි තම වේතනය සහ පහසුකම් වැඩි කරගන්න තර්ක කරන්නෙත් ඒ වටිනාකම නිසාමයි.

    කැමතියි

  8. මාලිංග දක්ෂයෙක් බව ඇත්තක්. ඒත් එයා ටෙස්ට් ක්‍රීඩා නොකර කොන්ත්‍රාත්තුවේ සම්පූර්ණ මුදලම බලාපොරොත්තු වෙනව නම් ඒක අසාධාරණයි. කොහොම වුණත් මේ වගේ ක්‍රීඩයෙකු ‍රැක ගන්නෙ කොහොමද කියන එක ගැනත් ක්‍රිකට් පාලක මණ්ඩලයට යම් කිසි අදහසක් තියෙන්න ඕනෙ. ඒ දේ ට හැබෑ උවමනාවක් තියෙන්නත් ඕනෙ. හැබැයි මෙහෙම දේවල් වෙන කොට මේ වගේ ක්‍රීඩකයෝ හදන්න මහන්සි වුණ අයටත් හැබෑවටම ඇති වෙන්නෙ වේදනාවක්. ඒ වගේම රටේ උන් දැන් මාලිංගට දේශ ද්‍රෝහියා කියනව නම් ඒක පිටිපස්සෙ තියෙන්නෙත් මූ අපිට අහිමිවීමේ හැබෑ වේදනාව බවත් අපි මතක තියා ගන්න ඕනෙ…………

    කැමතියි

  9. අනේ මේ ඇත්ත තවත් කාට හරි තේරුන එක ගැන මගේ සතුට!
    ගොස්සිප්9 ලිපියෙ කොම්මෙන්ට්ස් දැක්කම , මට හිතුනෙ..
    අපෙ මිනිස්සු තමන්ගෙ අයිතින් ගැන දන්නෙ මොනවද කියලා..

    ලන්කාඉනිව්ස් එකේ තියන්වා, මින් පසු ක්‍රිකට් ක්‍රිඩකයින් ප්‍රසිද්ද මාද්‍ය් වලට කත කරන්න,ක්‍රිකට් මන්ඩලෙ අනුමතිය ගන්ඩ් ඔනේ කියලා…
    මීට වඩා මර්දනය ගැන මොන උදාහරනද?

    මාලින්ගට බිස්නස් නැති නිසා තමයි මෙහෙම කොන්ද පන තියන දෙයක් කියන්නවත් පුලුවන් උනේ.ඇයි ඉතින් නැතිවෙන්ඩ දෙයක් නැනේ.

    මේක බුකියෙ බෙදාගන්නද?තව කාගේ හරි ඇස් ඇරෙන්ඩ්..

    කැමතියි

    • කිසි ප්‍රශ්නයක් නෑ… බෙදා ගන්න…

      ස්තුතියි

      කැමතියි

    • ලංකාවෙ දේශපාලනඥයො කැමති නෑ සංගක්කාරලා වගේ බුද්ධිමත්, පිළිගැනීමක් ඇති අය ඉහළට යනවට….
      ඒකනෙ අර බූරු ඇමතියා සංගක්කාරගේ කෞඩ්‍රි දේශනය ගැනත් වාර්තාවක් ඉල්ලුවෙ…
      උන්ට යමක් කරගන්න බැරි වුනාම කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් එවුන්ට වල කපනවා.
      මම මහේල නම් කරන්නෙ තරඟය ගැන මාධ්‍ය සාකච්ඡාවත් ඇමතිටම කරන්න කියලා පැත්තකට වෙනවා. Man of the match Interview එක වෙලාවට කියනවා Board එකේ අවසරය නැතිව කතා කරන්න බෑ කියලා…

      කැමතියි

  10. ‘ඇල්කෙමියා ආදී ශිෂ්‍යකු වූ මහින්ද කොලීජියේ තවත් ආදී ශිෂ්‍යයෙක් වූ ලසිත් මාලිංග ගැන ලියා ඇති දේවල් වල ඇල්කෙමියා නොදුටු තවත් පැති බොහොමයක් ඇති බව මගේ හැගීමයි !!!! ඔක්කෝටම ඉස්සෙල්ල කියන්න ඕනැ ම‍මත් ලසිත් මාලිංගට ගොඩක් කැමති ගොඩක් ආදරේ කෙනෙක් . අර්ජුන රණතුන්ගලා , මුරලිදරන්ලා ,අරවින්දලා ,සනත් ජයසූරියලා , නාකත්වයෙන් ,පන්දු යැවීමෙන්,පිතිකරණයෙන් ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ව හිටියා වගේමයි මාලිංග ඔහුටම ආවේනික ඇති විශිෂ්ට පන්දු යැවීමෙන් සෙල්ලම් කරන, ලෝක මට්ටමේ ගෞරවනීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් . තරඟයක් පැවැත්වෙන අතරවාරයේ සම්භාවනීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරඟ විචාරකයො, මාලිංග ගැන වර්ණනා කරනකොට , ඔහු නොම්මර එකේ අතිවිශිෂ්ට යෝකර් පන්දු යැවීමේ ශ්‍රේෂ්ඨතමයෙක්ය කියල වර්ණනා කරනකොට අපිටත් ලාංකිකයෝ හැටියට ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා .ඒකෙ වචන දෙකක් නැහැ !!!! කොයි හැටි උනත් මාලිංග එවැනි තීරණයක් අරං තියෙනවානම් මම ඒ තීරණයට කොහෙත්ම කැමති නැහැ !!!! හුඟක් සරලවම කියනවානම් , හුඟක් මෝඩ, දුරදිග නොබලා ගත්ත අසාධාරණ තීරණයක් හැටියටයි මම ඒ තීරණය ගැන හිතන්නේ කාරණා බොහොමයක් හින්දා .මා දන්නා තරමට මීට කලින් ටෙස්ට් ක්‍රිකට් ගහන්න ප්‍රතික්ෂේප කරපු කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සමග ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ගිවිසුමකට එළඹුණේ නැහැ . නමුත් මාලින්ගව , මහේල , සංගක්කාර ඉන්න , ඉහලම වැටුපක් ගෙවන ,පළමු වැනි ශ්‍රේනියටම ඇතුලත් කරලයි ගිවිසුම් ගතකරන්න උත්සාහ කෙරුනේ . ඉතින් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ නැත්නම් ගෙවනුයේ මුළු මුදලින් 40% ය කියන එක අලුත් නීතියක් නෙමෙයි .ඔබ මොහොතකට හිතන්න ඔහුට මුළු මුදලම ගෙවුව කියල ටෙස්ට් ක්‍රිකට් නොගහ ඉන්න ඉඩදීලා . ඒක, මාස ගානක් අඹු දරුවන්ගෙන් වෙන්වෙලා පිටරටවල් වල අවුවේ කරවෙලා ටෙස්ට් ක්‍රිකට් ගහන මහේලලා සංගක්කරලා වගේ ජේෂ්ටක්‍රීඩකයන්ට දෙන නරක පූර්වා දර්ශයක් නොවන්නේ කොහොමද ???? කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්ගේ විනයක් පවත්වාගෙන යන්නේ කොහොමද ???? අපේ ඉන්නා අනිකුත් ජෙෂ්ට ක්රීඩකයනුත් ටෙස්ට් ක්‍රිකට් වලින් ඉවත්වී මුළු මුදලම ලබාගෙන ලංකාව ටෙස්ට් ක්‍රිකට් ගහන කාල වකවානු වලට ප්‍රාන්ත ක්‍රිකට් හෝ IPL වැනි වෙනත් තරඟ මාලා වලට සහභාගී වී තවත් විශාල ලෙස මුදල් උපයාගැනීමට යොමු උනොත් ශ්‍රී ලාංකික කණ්ඩායමට මොනවා වේවිද ???? ඒ ඔක්කොමත් අමතක කරලා මාලිංගගේ පැත්තෙන් විතරක් ඔහු කරගන්නට හදනා පාඩුව ගැන පොඩ්ඩක් හිතමු . මොහොතකට හිතන්න .ක්‍රිකට් පාලක මණ්ඩලය මාලිංගගේ ඉල්ලීමට එකඟ වෙන්නේ නැහැයි කියල 100 % මුදල් දීමට . එහෙම උනොත් ගිවිසුමක් නැත . එම නිසා මාලිංගගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියද එතනින් අවසාන වනු ඇත . ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන්කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදදින ක්‍රීඩා කෞශල්‍යයන් ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න . සවුරෝවූ ගංගුලි වේවා ඇඩම් ගිල්ක්‍රිස්ට් වේවා ඇන්ඩ්රූ සිමන්ස් වේවා ඩැනියල් විටෝරි වේවා අද අප දකින්නේ එදා අප දුටු ඒ දැවැන්ත තේජවන්තයන්මද ???? හේතුව කුමක් විය හැකිද ???? කෑම බීම පාලනය කරමින් බෙහෙත් හේත් වෙලාවට දෙමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිතිපතා ශාරීරික ව්‍යායාම කරවමින් විනයානු කූලව ජාතික කණ්ඩායමකින් රෑ දහවල් දෙනු ලබන පුහුණුව තව දුරටත් නොලැබී යාමයි යන්න මගේ පුද්ගලික හැගීමයි .එවැනි වෘත්තීමය පුහුණු සංචිතයකින් මිදුණු අයෙකුට කිසි සේත් එවැනි පුහුණුවක් ලද නොහැකි බව මගේ පුද්ගලික විශ්වාසයයි . ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීමය ක්‍රීඩකයකුගේ ප්‍රධාන අභියෝගය වනුයේ එවැනිම මට්ටමක වූ ශාරීරික යෝග්‍යතාවයකින් පසු වීමයි .මාලිංග වැනි නිතර නිතර ආභාද වලට ලක්වන අග්‍රගණයේ වේග පන්දු යවන්නකුට මේ තත්වය තවත් හය හත් ගුණයකින් වැඩි විය යුතුව ඇත . තම පොරොව මුවහත නොතියා ඒ වෙලාවෙත් තව තවත් ගස් කැපීමට ගොස් මුල් දවස් වල කැපූ ගස් ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ගස් කැපුන අයුරු දැක වික්ෂිප්ත වූ ගස් කපන්නා ගැන අප අසා ඇත්තෙමු !!!! මේ සියලු කරුණු කාරනා සලකා බැලූ විට මට නම් පෙනෙනුයේ මාලිංගගේ මේ තීරණය ඔහුට කිසිම ආකාරයකින් වාසි ගෙන නොදෙන තීරණයක් බවයි !!!! ‘

    කැමතියි

    • අපූරු විග්‍රහය. නමුත් මෙතැන තියෙන්නෙ ඒක නෙවෙයි කියලයි මට හිතෙන්නෙ…
      මාලිංගට ඉස්සර සලකපු විදියට එකට එක කිරීමක් කියලයි මට හිතෙන්නෙ. IPL නවත්තලා Test ගහන්න බල කරද්දි මාලිංග Test ක්‍රිකට් වලින් විශ්‍රාම ගියා… දැන් මාලිංග කියන්නෙ කාටත් උවමනා සම්පතක්. මිනිහා ඒක දන්න නිසා ගනං උස්සනවා… හැබැයි මම කියන්නෙ නෑ ඒ ගණං වලට යටත් වෙන්න කියලා.. නමුත් දෙපැත්තටම සාධාරණයක් වෙන්න ඕන…
      ක්‍රිකට් පාලක මණ්ඩලය සල්ලි ගසාකන ආයතනයක් වෙද්දි උන් මහන්සි වෙලා අනුන්ට ගසා කන්න සල්ලි හොයලා දීලා වැඩක් නෑ නෙ…
      මම හිතන්නෙ නෑ ඔය කවුරු වුනත් විශ්‍රාම ගිහින් අවුරුදු දෙක තුනක් ගියාට පස්සෙ අගයක් තියෙනවා කියලා….. දැන් ඩ්‍රාවිඩ් මහ ලොකුවට විශ්‍රාම ගියා… අනිල් කුම්බ්ලේ ශේන් වෝන්, මැක්ග්‍රා… ඒ අය ගැන කවුද කතා කරන්නෙ ?
      මාලිංග කරන්නෙ අනාගතේට ගානක් හොයාගන්න වැඩක්.. දේශපාලනඥයො අසාධාරණව කරන් දේ මාලිං තමන්ගෙ හැකියාවන් මාර්ගයෙන් කරනවා…

      කැමතියි

  11. නමුත් දිල්හාර ප්‍රනාන්දු , චාමර කපුගෙදර වැනි ක්‍රීඩකයින් ටෙස්ට්, එක්දින ,විස්සයි විස්ස යන අංශ තුනටම ගිවිසුම් අත්සන් කර ඇතිබැවින් ඔවුනට ලැබිය යුතු මුළු මුදලම ලැබේ. නමුත් එවැනි ක්‍රීඩකයින් මෙම අංශ වල ක්‍රීඩා කරන්නේ ඉතාමත් අල්ප වශයෙනි. එනමුත් ඔවුනට ලැබිය යුතු මුළු මුදලම ලැබෙන අතර ඊට වඩා මහන්සි වී අනෙකුත් අංශ වල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හට ලැබෙන්නේ එවැනි ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් හට ලැබෙන මුදලට වඩා අඩු මුදලකි.

    කැමතියි

    • නෑ. ඔබ ඔය සඳහන් කල ක්‍රීඩකයින් මුල් පෙළ ලැයිස්තුවට ඇතුලත් වෙන්නේ නෑ. එයට ඇතුලත් වෙන්නේ සංගා , මහේල , දිල්ෂාන් සහ මාලිංග යන ක්‍රීඩකයින් පමණයි. එම මුල් පෙළ ලයිස්තුවේ සිටින ක්‍රීඩකයින්ට ගෙවන ගාස්තුව අනෙත් ඇයට සාපේක්ෂව ඉතා ඉහල අගයක්.

      කැමතියි

  12. අනිත් අය වගේම මමත් කැමති ලසිත් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරනවට එහෙත් මේ විදියට ගියොත් ටික දවසකින් ඔහු වෙන රටක වස්තුවක් වෙන බව නම් ඒකාන්තයි.

    කැමතියි

  13. 40%k දෙන්න තමා යෝජනා කරලා තිබුනේ! ඒ කියන්නේ ලක්ෂ 40ක් විතර! එය ඇත්තටම සෑහෙන්නෙ නැති වග ඕන කෙනෙක්ට තේරෙනවා! The best thing abt this fellow is he dsnt give a shit to any one! though its nt a gd attitude it suits in these conditions!

    කැමතියි

  14. ඇයි අපි රට ගැන හිතන්න ඖනි..
    අපේ රජය ක්‍රකට් නිසා හම්බකරගන්න ගානින් තමුන්ට නියමිත ගාන නොලැබෙනවනම් ඉතිං මාලිංග ගියාට කමක් නෑ….
    මොන කතාව කිව්වත් අද මාලිංග අයින් වුනත් එයාට තියෙන ගරුත්වය අඩු වෙන්නෙ නෑ…හන්සි ක්‍රොන්යෙ නැතිවුනේ එයාගෙ හොදම කාලෙ චාටර් වැඩකට සැට් වෙලා…
    ඒත් එයාගෙ කීර්ථිය නං අදටත් හෙමයි…
    මාලිංග තාමත් ජයසූරිය වගේ පල් වෙලා නෑ…එයා අද අයින් වුනොත් ගරුත්වය ඉතිරි වෙයි…
    රටක් කියන්නෙත් එක්තරා විදියක ආයතන පද්ධතියක්..
    නොගැලපෙන මිනිසුන් වැඩිපුර වෙහෙස නොවී මුදල් උපයන විට ඒ වෙනුවෙන් නන්ස්ටොප් මැරෙන්න කවුරුත් ලේස්ති වෙන්න ඕනි නෑ….මේ සිස්ටම් එක ඇතුලෙ රටක්ද ප්‍රාන්තයක්ද කියල මහ ලොකු වටිනකමක් නෑ….

    කැමතියි

  15. ක්‍රිකට් ක්‍රීඩාවත් පාපන්දු බාස්කට් බෝල් වගේම දේශ සීමා ආක්‍රමණය කරලා වානිජකරණය වෙලා.ඒ මේ ලෝකය යන විදිහ.ඒ අනුව පාපන්දු වගේ ලීග් සිස්ටම් එකකට ක්රිකටුත් ඇවිල්ල තියෙනවා.මේ 96 දී අපි දැකපු ක්‍රිකට් වලට වඩා සහමුලින්ම වෙනස් ක්‍රිකට් ලෝකයක්.දුර්වල පරිපාලනයකට ක්‍රීඩකයන් කළමනාකරණය කර ගන්න බෑ.කොදෙව්වන්ට ලෝකයේ අද ඉන්න හොඳම ප්‍රහාරාත්මක පිතිකරු ක්රිස් ගේල් ගේ සේවය ගන්න බැරි වෙලා තියෙන එක හොඳම උදාහරණය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න