Monthly Archives: ජූනි 2012

2012 ජුනි 30 : උගුරේ යමක් හිර වුනොත්……. රෝගියා බේරගන්නෙ කොහොමද ?


පසුගිය දිනක පළවූ පුවතකින් අනාවරණය වුන ඉතාමත්ම ශෝකජනක කතාවක් පදනම් කරගෙනයි අද දිනපොත ලියැවෙන්නෙ.

එනම් කුඩා දැරියක් රඹුටන් ඇටයක් උගුරේ හිර වී මිය යාමක් පිළිබඳව… ඇය රෝහලකට රැගෙන ගියත්, ඒ රෝහලේ වෛද්‍යවරයාට ඒ පිළිබඳ කළ හැකි යමක් තිබී නැති නිසා මහරෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී ඇය මිය ගොස් තිබෙනවා. මෙතැන සම්පූර්ණ වැරැද්ද ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය වරයා වෙත පටවන්න මම සූදානම් නැති වුනත් ඔහුටත් මේ මරණය පිළිබඳ වගකීමක් තිබෙනවා. ඒ සරළ ක්‍රමයක් මගින් සමහරවිට ශ්වාසනාලයේ හිරවූ මේ රඹුටන් ඇටය ඉවතට ගන්න හැකියාව තිබිය හැකිව තිබූ නිසා.

යමක් උගුරේ හිරවූ විට රෝගියා බේරා ගැනීමේ ක්‍රම වේදයන් මෙන්න මෙතැනින් බලන්න.

මෙවැනි සරළ ප්‍රථමාධාර ක්‍රම දැනගෙන සිටීමෙන් ඔබටත් ඔබේ අසල්වැසියන් නෑදෑයන් ආදීන්ගේ ජීවිත යම් ප්‍රමාණයකට හෝ ආරක්‍ෂා කරගැනීමට පුළුවන් වනවා ඇති.

ඒ වගේම පුරුදු පුහුණු වූ වෛද්‍යවරයෙකුට ශ්වාසනාලයේ කුඩා කැපුමක් කර රෝගියාට හුස්ම ගැනීම තාවකාලිකව පහසු කරන්න පුළුවනි. නමුත් මෙය වැරදුනොත් වැඩිපුර බෙල්ල කැපිලා අධික රුධිර වහනයෙන් රෝගියා මිය ගිහින් තමයි නවතින්නෙ. ඒ නිසා මේ ක්‍රමය නම් කළ යුත්තේ පුහුණුව ලත් ශල්‍ය වෛද්‍යවරයෙකු හෝ වෙනත් වෛද්‍යවරයෙක්ම තමයි.

බොහෝ රටවල පාසල්වල සහ රෝහල්වල මෙසේ සරළ ප්‍රථමාධාර ක්‍රම ජනතාවට කියාදෙනවා… එපමණක් නොවෙයි, බොහෝ වෛද්‍ය වෘත්තීය සම්බන්ධ නාට්‍ය මාලා වලත් මේ වගේ සරළ දේවල් අපූරුවට පෙන්වනවා. බොහෝ වෙලාවට ඒ කරුණු කාරණා ඇත්තම සිදුවීම්. ඒ නිසා බොහෝ දෙනා ඒ පිළිබඳ දැනුවත් වෙන්නේ ඒ අයුරින්.

අපටත් ඒ වගේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයකින් යමක් ඉටු කළ හැකි නම් බොහෝ ජීවිත බේරා ගැනීමට පුළුවන් වේවි.. වෛද්‍යවරුන්ටම සංවිධානය වෙලා මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි.. එතකොට තමන්ට එන වැඩ ප්‍රමාණයත් අඩු වෙනවනේ…

හිතලා බලන්න….. ජීවිතයක් බේරගන්න පසුබට වෙන්න එපා….

2012 ජුනි 28: උගතුන් සිටින තාක් කල් මේ රට හැදිය නොහැකිය..


මීට ලිපි දෙකකට පෙර මා ලියූ “අන්තරාවයි…. නූගත්කම ඉදිරියෙන්” යන ලිපියට පසු වදනක් ඉතාමත්ම ඉක්මනින් ලිවීමට සිදුවීම ගැන මගේ කණගාටුව මටම ප්‍රකාශ කර ගනිමි. රටක ඉදිරි ගමන සැකසෙන්නේ ජනතාවගේ බුද්ධියේ ප්‍රමාණය අනුව බව ඔළු කට්ට ඇතුලේ මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. අළුත් දෑ සොයා නොගත්තත්, සොයා ගෙන ඇති දෑ භාවිතයෙන් හෝ තම නැණ පමණින් කටයුතු කළහොත් අගාධයට නොවැටී ජීවත් විය හැක. ලෝකයේ ආර්ථිකව සහ සමාජයීයව ඉදිරියට ගොස් ඇති රටවල් දෙස බැලූ විට අධ්‍යාපනය සහ බුද්ධි වර්ධනයට ඔවුහු සැලකිය යුතු අවධානයක් යොමු කරති.

මෑතකදී ඉදිරිපත් වූ මානව පරිණාමය සම්බන්ධ මතයකට අනුව තවත් අවුරුදු දහසක් හෝ දෙදහසක් පමණ කාළයකදී මානව සංහතිය කොටස් දෙකකට බෙදී යයි. පළමුවැන්න වන්නේ බුද්ධිමත්, ධනවත්, කඩවසම්/රූමත්, සියලුම අතින් සාර්ථක මිනිසුන් කොටසකි. දෙවැන්න එහි ප්‍රතිලෝමයයි. මේ අනුව ලෝකය පාලනය වන්නේ සහ බොහෝ සම්පත් සතු වන්නේ පළමු කොටසටය. බුද්ධිමතා ලෝකය පාලනය කරන අතර මුදල් හදල් තිබූ පමණින්ම එතැනට වැටෙන්නේ නැත. ධනවත් මෝඩයින්ගේ පැවැත්ම අවිනිශ්චිත වන අතර ඔවුහු සමහර විට මධ්‍යම පාන්තිකයන්ගේ තත්ත්‍වයට පත් විය හැක. මෙය මා විසින් කියවූ පුවතක තිබූ කරුණකි.

විමල් වීරවංශ මහතාට අනුව Z Score ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එය නිර්මාණය කළ බුද්ධිමත් මහාචාර්ය වරයායි. ඔහු එය සොයා නොගත්තා නම් බන්දුල ගුණවර්ධන මහතා සහ එස් බී දිසානායක මහතාට මේ ඉරණම අත් වන්නේ නැත. කෙතරම් බුද්ධිමත් තර්කයක් ද ?

ඇත්තෙන්ම මේ රටට හෙණ වැදී තිබෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්යවරු, විශ්ව විද්‍යාල සිසුන් සහ උසස්පෙළ සිසුන් නිසාය. ඔවුන් නොසිටියේ නම් මේ රට පාරාදීසයකි. ආසියාවේ අයිස්ම අයිස්චර්යයි.  උසස්පෙළ සිසුන් නොසිටියේ නම් Z Score පිළිබඳ අර්බුධයක් පැන නගින්නේ නැත. අර මෝඩ මහාචාර්යවරයා Z Score එක නොසෑදුවා නම් මේ ප්‍රශ්නය පැණ නගින්නේ නැත. මහාචාර්යවරු වර්ජනය කර වැටුප් වැඩි කර ගැනීම නිසා ආණ්ඩුවට පාඩු වී ඇත. මේ නිසා ඔවුන්ගේ වැටුප මැති ඇමතිවරුන්ගේ වැටුපට වඩා වැඩි වී තිබේ… මේවා සිදු නොවිය යුතු දේවල්ය. මේ සියල්ල සිදු වී ඇත්තේ ලංකාවේ මහාචාර්යවරුන් උගතුන් වීම නිසාය.

මේ සිද්ධියේ මූලිකම ප්‍රශ්නය වන්නේ බටහිරින් ලබා ගත් සංඛ්‍යාන විද්‍යාව අනුව මේ Z Score එක සැකසීමයි. අපටම ආවේනික සිංහල බෞද්ධ ගණිතාචාර්යවරයෙකු සිටින මේ රටේ Z Score එක සෑදීමට වෙනත් මහාචාර්යවරයෙකුට පැවරීම, Z Score එක යනුවෙන් බටහිරින් අහුලාගත් වචනයක් එයට ලබා දීම වැනි බටහිරට ගැති සංකල්පයක් අනුගමනය කිරීම මේ ප්‍රශ්නයේ මූලයයි. ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුවේ බටහිරට ගැති සේවකයින් බටහිරින් ගෙන ආ පරිඝණක භාවිතා කර මේ දත්ත ඒවාට ඇතුලත් කිරීම නිසා මේ අගයයන් බටහිරට ගැති වී ඇත. මේ නිසා මේ ප්‍රශ්නයට අහිංසක ඇමතිවරුන්ට බැණලා වැඩක් නැත. ඒ මහත්වරු දන්න මගුලක් නැත. ඒ මහත්වරු අහිංසකය… වැරැද්ද ඇත්තේ Z Score එක සැකසූ මහාචාර්යවරයා අතය… අනවශ්‍ය ලෙස රට පුරා කැළඹීමක් ඇති කළ නිසා ඒ මහතා සේවයෙන් පහ කළ යුතුය.

මේ තර්කයට අනුව රටේ අපරාධ වැඩි වූවාට ආණ්ඩුවට හෝ පොලීසියට බැණලා වැඩක් නැත. අපි වටිනා බඩු භාණ්ඩ ලඟ තබා ගන්නා විට හොරුන්ට ඒවා ගන්න සිතේ… ඒ නිසා අපි වටිනා දේ තබා ගත යුතු නොවේ. අපි වැඩිපුර ඉගෙන ගන්නා විට සිතන්නට පුළුවන් වේ. ඒ නිසා අනවශ්‍ය දෑ සිතීම වලක්වා ගැනීමට ඉගෙන ගැනීම නතර කළ යුතුය. පාරේ ගමන් කරන විට අනතුරු ඇතිවේ – රිය අනතුරුවලින් බේරීමට පාරේ ගමන් නොකළ යුතුය. විදුලි බල්බ දැල්වීම නිසා විදුලිය පාවිච්චි කිරීම සිදු වේ – එවිට විදුලි බිල වැඩි වේ – විදුලිබිල අඩු කර ගැනීමට අපි විදුලි බල්බ නොදල්වා සිටිය යුතුය. කොටින්ම කියනවා නම් කාන්තාවන් දූෂණය වන්නේ ඔවුන් සතුව දූෂණයට ලක් විය හැකි අවයව ඇති නිසාය.. පිරිමියෙකු කාන්තාවක් අතින් දූෂණය වූ අවස්ථාවක් කවදාවත් අසන්නට ලැබෙනවාද ? නැත.. එසේ නැත්තේ ඔවුන් එවැනි අවයව ලඟ තබා නොගැනීම නිසාය..

ඒ අනුවම ගත් කළ විමල් වීරවංශ මහතා ඇතුළු බුද්ධිමත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ අපිමය… ඔවුන්ට අනුව හොඳ යමක් කළ විට එහි ගෞරවය අයත් වන්නේ ඔවුන්ටය.. නමුත් ඔවුන් නරක දෙයක් කළ විට එය පැටවෙන්නේ ඔවුන් ඡන්දයෙන් පත් කළ අපටය… දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පත් කර යැවුවේ නැතිනම් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මිය යන්නේ නැත. මේ සියල්ල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ය…..

විමල් වීරවංශ මහතා නිවැරදිය… ඒ මහතාගේ පියා පාන් කරවෙන්න නොදී තිබුණා නම්……………………….

2012 ජුනි 27 : අද විශේෂ…. ජාතික අධ්‍යාපනය….. අතුරුපසට උසස් පෙළ……


2012 ජුලි මාසය වන විට ඇස්තමේන්තු කරන ලද ශ්‍රී ලාංකික ජනගහනය 21,481,334 කි. එයින් 225 දෙනෙකු මේ මිලියන 21 පාලනය කිරීම සඳහා ඡන්ද දායකයින් යැයි කියාගන්නා අප විසින්ම පත් කරගනු ලැබූ අය වෙති. මේ 225 ට අමතරව තවත් හැට හුටහමාරක් දේශපාලනඥයින් යැයි කියාගන්නා පිරිසක් විවිධාකාරයෙන් අපව පාලනය කිරීමට සැදී පැහැදී සිටිති. ඒ අනුව ගත් කළ රටෙන් බාගයක් පමණ ඉතිරි බාගය පාලනය කරයි. මේ 225 න් ආණ්ඩු පක්‍ෂය යැයි සැලකෙන කොටසෙන් තෝරාගත් පිරිසක් වෙත රටේ වැදගත් යැයි හැඟෙන ආයතන, අංශ පාලනයට පත් කරන්නේ ඇමති යන නම ලබා දෙමිනි. මෙසේ ඇමති කම් ලබා දුන් පිරිස 61 කි. මේ 61 ට සහය දීමට නියෝජ්‍ය ඇමතිවරු 31 ක් ද පැල් බැඳගෙන සිටිති. අසරණ තරුණ ඇමතිවරු කිහිප දෙනෙකුගේ මානව අයිතිවාසිකම් කඩ වන නිසා තවත් ඇමති ධුර ඉදිරියේදී ඇති වීමට නියමිතය.

මේ අතර රටේ අනාගතයට වැදගත්ම යැයි ඇමතිවරුන්ට නොහැඟුනත් අපට හැඟෙන ක්‍ෂෙත්‍රය වන අධ්‍යාපනයට ඇමතිලා සෑහෙන්න සිටිති, එහෙත් කරලියේ වැඩිපුරම රඟ දක්වන්නේ උසස් අධ්‍යාපන ඇමති සුමනවීර බණ්ඩා දිසානායක මහතා සහ අධ්‍යාපන ඇමති ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන ආචාර්ය තුමා යන දෙපලයි. ඒ මහතා අධ්‍යාලනයට අමතරව ආර්ථික විද්‍යාවෙනුත් පරතෙරට ගොස් ඇති නිසා විවිධාකාර න්‍යායයන් ඉදිරිපත් කිරීමටද දක්‍ෂය. එතුමා මෙහෙමත් කිවුවලු දවසක්……

රයිගමයයි ගම්පලයයි

ඒ කෙසේ වෙතත් අද අප කතා කරන්නේ මේ දෙපලම හරියට නොකරන දේ ගැනයි. එනම් අධ්‍යාපනය හරිහැටි පරිපාලනය සහ කළමණාකරණය නොකිරීමයි. උසස් පෙළට විෂය නිර්දේශ දෙකක් යටතේ සිසුන් තරඟ වදින බව මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් දැන ගත්තේ උසස් පෙළ ප්‍රතිඵල පිටවීමට දින කිහිපයකට පෙර නොවේ. කවුරු වැරැද්දක් කළාදැයි අපි හරියටම නොදන්නා නමුත්, කොතැනක හෝ වැරැද්දක් සිදු වී ඇත. ප්‍රශ්නය වන්නේ වැරැද්ද පිළි නොගෙන උද්ධච්ච කමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රශ්නය මඟ හැරීමයි. මුලින්ම ” අරකයි මේකයි මෙහෙම කරලා එකට දාලා හදපු Z Score එක” පසුව පරිඝනකවලට දත්ත  ඇතුලත් කරන පිරිසේ වැරැද්දක් බවට සඳහන් වුනා. මේ කවුරු කොහොම මොනවා කළත් ඔවුන් උගසට ගත්තේ රටේ උසස් පෙළ හදාරපු සිසුන්ගේ ජීවිත. උසස් පෙළට පෙනී සිටි සිසුවෙකු ලෙස විභාගයේ ප්‍රතිඵල දෙන දිනය පිළිබඳ මමත් හොඳටම දන්නවා. මේ රටේ බොහෝ දෙනෙකුත් ඒ බව දන්නවා. කෙයි තරම් හොඳින් විභාගයට මුහුණ දුන්නත්, ප්‍රතිඵල පිටවනතුරු බොහෝ දෙනා සිටින්නේ බොහොම බයෙන්.. ඒ බය දෙගුණ තෙගුණ කරවන්නට මේ විභාල අමාත්‍යාංශයේ සිටින නෝනා මහතුන් මෙන්ම ඔවුන් පාලනය කරන මහත්වරුන් ද කටයුතු කරනවා නම් එය සිසුන්ගේ ජීවිත සෙල්ලමකට ගැනීමක් නොවේද ?

මෙසේ සිදුවූ අත්වැරැද්දට තවමත් කිසිවෙකු වගකිවයුතු නැති වීමම මේ රටේ අධ්‍යාපනයේ අභාග්‍ය සම්පන්න බව කියාපාන කරුණක්. දැන් ඒ පාරම් බාපු සූත්‍රය නැවතත් වතාවක් වැරදි බව අධිකරණයෙන් පවා ඔප්පු වී හමාරයි. ඒත් එය පවා පිළි ගැනීමට ඔවුන් සූදානමක් නැති පාටකුයි පෙනෙන්නෙ. මේ කෙසේ වෙතත් ඔවුන් සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක. රටේ අනාගත දියුණුව රඳා පවතින්නේ අනාගතය බාර බුද්ධිමත් දරුවන් මත විනා මෝඩ දේශපාලනඥයින් මත නොවෙයි.

දැන්වත් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් හෝ පෞද්ගලික ආත්මාභිමානය පසෙක ලා රටේ අනාගතය වෙනුවෙන් මේ දේ නිවැරදි කර නැවතත් සිදු නොවන තැනට වග බලාගෙන, වැරදි කරුවන්ට තානාපතිකමක්, උසස්වීමක් වැනි දඬුවමක් ලබා දිය හැකිනම් අගනේය….

2012 ජුනි 22: අන්තරාවයි………. නූගත්කම ඉදිරියෙන්…..


පසුගියදා අන්තර්ජාල පුවත්පතකට මොරටු සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා Danger: Science Illiteracy Ahead ! යන ශීර්ෂයෙන් ඉතා වටිනා ලිපියක් ලියා තිබුණා. මෙය අපේ අනාගත පරපුර පිළිබඳ අවධානයක්, ආදරයක් ඇති කාගේත් ඇස් අරවන ලිපියක්. අවාසනාවට බලධාරීන්ට මේ ගැන හිතන්න වෙලාවක් නැතුව ඇති. වෙනත් වැඩ නිසා.

රටක දියුණුව රඳා පවතින්නෙ ඒ රටේ මිනිස්සුන් හිතන පතන ආකාරය මතයි. ඒ අධ්‍යාපන මට්ටම අනුවයි. බොහෝ බටහිර රටවල්, චීනය, ජපානය වැනි රටවල් අද ආර්ථිකව ශක්තිමත්වත් සමාජයීයව ඉදිරියෙන් ඉන්නෙත් රටේ ජනතාව බුද්ධිමත්ව සිතීම, කැපවීමෙන් වැඩ කිරීම වගේම නායකයින්ගෙ නිවැරදි මග පෙන්වීම නිසා. තුන්වන ලෝකයේ දිළිඳුම රටවල් වන අප්‍රිකානු රටවල සාක්‍ෂරතාවය තවමත් ඉතාම පහළ  මට්ටමකයි පවතින්නෙ. ඉන්දියාව කෙතරම් ආර්ථික බලවතෙක් වුනත්, ජනතාව අන්ත අසරණයි. සමහරුන් ඉතාම පහත් ජීවන තත්ත්‍වයකයි ඉන්නෙ. නමුත් රටේ සුළුතරයක් ඉතාම ඉහළින් එහි ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. දැන් දැන් ඉන්දියානු විශ්ව විද්‍යාල ලෝකයේ අන් රටවල දියුණු විශ්ව විද්‍යාල සමඟ කරට කර. මේ බුද්ධියේ පරිණාමයයි.

බොහෝ දියුණු රටවල අධ්‍යාපනයට සහ පර්යේෂණ සඳහා ඉහළ අගයක් ලබා දෙනවා. බොහෝ විට ඒ රටවලට ආවේණික නිත්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබෙනවා. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවටවත්, ඇමතිවරයාගෙන් ඇමතිවරයාටවත් වෙනස් වන්නක් නොවෙයි. සුදුසුකම් ලත් අධ්‍යාපනඥයින්, අත්දැකීම් ඇති ගුරුවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාවත් ආදී බොහෝ දෙනාගේ අදහස් උදහස් යෝජනා සියල්ල මත පදනම් කරගෙත් දීර්ඝකාලීන දැක්මක් ඇතිව අවුරුද්දක් නොව අවුරුදු දහයක් පහලොවක් ඉදිරිය බලා සැලසුම් කරන ලද්දක්. ඒ වගේම අධ්‍යාපන රටාවේ නව සොයා ගැනීම්, නව අධ්‍යාපන ක්‍රම ආදියත් කළින් කලට මේවාට ඇතුලත් කෙරනෙවා සංස්කරණයන් ලෙසින්. මේ නිසාම ඒ රටවල අධ්‍යපන මට්ටම්, සිසු දැනුම වගේම සිතීමේ හැකියාවන් අන් රටවලට වඩා ඉදිරියෙන් තිබෙනවා. ගුරුවරුන්, අධ්‍යාපනඥයින් මෙන්ම මහාචාර්යවරු පවා මේ සියල්ල හොඳින් අධ්‍යයනය කරලා, සැලසුම් කරලයි මේ ප්‍රතිපත්ති සකස් කරන්නෙ, සුළු වැරැද්දක් සිදු වුනත් තමන්ගෙ රැකියාවෙන් වන්දි ගෙවන්න වෙන නිසා මෙයට සම්බන්ධ වන සියළුම දෙනා උපරිමයෙන් සිය වගකීම් ඉටු කරනවා. (සමහර විට ඔබට මේ ඉහළින් ලියැවුන ඡෙදය බොහොම හුරු පුරුදු ඇති – ලංකාවෙ කෙරනේනේ මේ ඡේදයේ ප්‍රතිලෝමය නිසා)

මෙසේ සැකසුන අධ්‍යාපන පාඨමාලාවන් ගුරුවරුන්ගේ සහභාගිත්‍වයෙන් සහ ඔවුන්ගේ යෝජනා වලින් නිරන්තරයෙන් සංස්කරණය වෙන්නේ සිසු දරුවන්ගේ යහපත, පහසුව, සහ දියුණුව වෙනුවෙන්. අවසානයේ සියළුම දෙනාට සරිලන ආකාරයේ අධ්‍යාපනයක් සැකසෙනවා. මෙය ඇත්තෙන්ම බොහෝ රටවල පරිපූර්ණවම සිදු නොවුනත්, ආසන්නව හෝ සිදු වෙනවා. ඒ වගේම දරුවන්ගේ දක්‍ෂතා වෙනුවෙන් ගුරුවරුන් වගකිව යුතුයි. පන්තියේ සිසුන් පහළ මට්ටමක සිටිනවා නම් ගුරුවරයාගේ රැකියාව අවදානම්. ඉහළ තත්ත්‍වයක සිටින සිසුන්ගේ ගුරුවරුන්ට උසස්වීම් ආදී දෙපැත්තෙන්ම වාසි සහ අවාසි ලැබෙනවා. බොහෝ විශ්ව විද්‍යාලවල නම් අදාල ඒකකය අවසානයේ පැවැත්වෙන ගුරුවරයා ඇගැයීමේ ක්‍රමය නිසා නිතරම ගුරුවරුන් දැනුමින් සන්නද්ධ වනවා වගේම නව ක්‍රම යොදාගෙන සිසුන්ට ආකර්ෂණීය වන අන්දමට උගන්වන්න මහන්සි ගන්නවා.

මෙයට සමගාමීව රූපවාහිනී නාලිකා, වෙනත් අධ්‍යාපනික වැඩසටහන් දැරුවන්ගේ දැනුම මෙන්ම සමාජයේ සාමාන්‍ය දැනුමත් ඉහළට ගෙනයන්න වැඩසටහන් ඉදිරිපත් කරනවා. රියැලැටි වැඩසටහන් වගේම අධ්‍යාපනික තරඟාවලින් ද සංවිධානය කරනවා. සමහර නාට්‍ය පවා ප්‍රේක්‍ෂකයන්ගේ කුතුහලය වැඩිදියුණු කරවන සිතන්නට පුරුදු කරවන නාට්‍ය… රටේ බොහෝ ස්ථානවල අධ්‍යාපනික කෞතුකාගාර තිබෙනවා, මත්ස්‍යාගාර, සත්වෝද්‍යාන පවා සිසුන් පුහුණු කරවන මධ්‍යස්ථාන සහ පර්යේෂණ කරන ස්ථාන ආදිය බවටයි පරිවර්තනය වෙලා තිබෙන්නේ.

ලංකාවේ තත්ත්‍වය මෙයට වඩා වෙනස්, ඒ ගැන විශේෂයෙන් කතා කළ යුතු නැහැ. ඉසෙඩ් ස්කෝර් ක්‍රමය, ප්‍රශ්න පත්‍රවල වැරදි ආදී බොහෝ අවුල් වලට වගකුව යුත්තෝ තවමත් ඒ ඒ තැන්වලම වැජඹෙනවා. නුසුදුස්සන් ඉහළ තැන්වල, හැම දෙයක්ම අවුල්… හොඳයි කියලා ඇහෙන දෙයක් නැහැ. සිසුන් මෙන්ම ගුරුවරුනුත් වර්ජනයේ… බුද්ධියට තැනක් ඇත්තෙ කොතැනද කියලා පෙනෙන්න නැහැ. ඒ සියල්ල ඔබ හොඳින් දන්නවා… මා අළුතෙන් කිවයුතු නැහැ.

මේ තත්ත්‍වය දිගටම පැවතුන හොත් සිදු වන්නේ මොට්ට අනාගත පරපුරක් බිහිවීමයි. මෙය දේශපාලනඥයින්ට බොහොම වාසි සහගත තත්ත්‍වයක්. නමුත් රටක් වශයෙන් භයානකයි. උගතුන් රට හැර යනවා. නූගතුන් ඉහළ තැන්වල වැජඹෙනවා.. රටට නිසි බුද්ධිමත් නායකත්‍වයක් අනාගතයේ ඇති වන්නෙ නැහැ. රටේ ඵලදායීතාවය මෙන්ම අධ්‍යාපනය පැත්තෙන් අගය එක්කළ නිෂ්පාදන (value added products) වෙනුවට ඔප මට්ටම් නොවූ අමුද්‍රව්‍ය වැනි මිනිසුන් භාවිතයට ගැනෙනවා…. රට අගාධයට යනවා…

මේ තත්ත්‍වයේ පැහැදිලි වෙනසක් අනාගතයේ දැකිය නොහැකියි. දැනටමත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවා වර්ජනයට එක්වෙලයි ඉන්නෙ.. මෙය භයානක තත්ත්‍වයක්. බුද්ධිමතුන් නූගතුන්ට එරෙහිව අවි අමෝරා ගත්තොත්, නූගතුන්ගේ එකම මාර්ගය වන්නේ මර්ධනයයි. එය නරක අතට හැරෙන්න පුළුවන්… කාටවත් හැමදාම හැමදෙනාම අන්දවන්න බැහැ… බොරුවෙ සළුපිළි ගැලවුන දවසට හෙළුව පෙනෙන්න ගන්නවා… එදාට එක්කොම අවුල් වෙනවා.. ඉතිං… ඔබ බුද්ධිමත්ව හිතන්න….

අන්තරාවයි… නූගත්කම ඉදිරියෙන්… පරිස්සසමින් ගමන් කරන්න……

2012 ජුනි 19 : ඩෙඟා නටන ඩෙංගු අතර නිදියන අපේ ලොක්කෝ…..


ඩෙංගු නැවතත් හිස ඔසවා තිබේ… නිකංම නොව වසංගත තත්ත්‍වයක් වශයෙනි. අපේ මිනිසුන්ගේ නොසැලකිළිමත්කමට සහ බලධාරීන්ගේ අමනෝඥභාවයට පාඩම් උගන්වමින් බාළ-මහළු, දුප්පත් – පෝසත්, ආදී කිසිදු භේදයකින් තොරව ඩෙංගු වසංගතය විසින් ජනතාව ගොදුරු කරගනිමින් සිටී…. තවමත් මියගොස් නැත්තේ ප්‍රබල දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ ඥාතියෙකු පමණි… එය එසේ වනවා නම් ඉතා හොඳය… එවිට වත් මේ නිද්‍රාවෙන් ඇහැ ඇරී ඔවුන් ක්‍රියාත්මක වීමට ඉඩක් ඇත.

ඕනෑම දෙයක් නොසලකා හැරි විට පාලනය කර ගත නොහැකි තත්ත්‍වයට පත් වේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න බැරි කරගන්නට එපා යැයි පැරැණ්නෝ පැවැසුවේ කට කහනවාට නොවේ. නමුත් වර්තමාන ජන සමාජයේ බොහෝ දෙනා කරන්නේද එයමැයි. සෞඛ්‍ය බලධාරීන් සහ වෙනත් බොහෝ දෙනාගේ නොසැලකිල්ල සහ කඹ ඇදිල්ල නිසාවෙන් පාලනය කරගත හැකිව තිබූ ඩෙංගු මදුරුවා ත්‍රස්තවාදියෙකුගේ තත්ත්‍වයට පත් කරගෙන ඇත.

අපේ අය ඩෙඟා නටන විට ඩෙංගු මදුරුවන්ට රජ මගුල්…

එසේම ඩෙංගු වෛරසයේ ක්‍රියාකාරීත්‍වය ද දැන් දැන් වෙනස් වී ඇතැයි පැවසේ. වෛරස පරිණාමය වන විට අපද ඊට සරිලන සේ පරිණාමය විය යුතුය. වෛරස පාලනය කළ හැක්කේ එවිටයි. එසේ වුවද අප සියළුම දෙනා තවමත් වසර විස්සක පමණ අතීතයේ ජීවත් වන නිසාම ඉදිරියක් ගැන සිතන්නේ නැති යැයි මට සිතේ. එක්කෝ බොහෝ දෙනා කර අරිනවා විය යුතුය. එසේ නැතහොත් කොතැනකින් හෝ පගාවක් හෝ වෙනත් වාසියක් ලැබෙනවා විය යුතුය.

කෙසේ වුවත් ප්‍රමාද වී හෝ මෙය පාලනය කළ යුතු තත්ත්‍වයකි. බොහෝ ඩෙංගු පතුරන මධ්‍යස්ථාන රජයේ ආයතන වීමෙන්ම ඒවායේ සහ ඒවා පාලනය කරන්නවුන්ගේ කකුළු න්‍යායේ තරම පෙනේ. ඔවුනට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප බලා සිටිය යුතුය. මෙම තත්ත්‍වය පාලනය කිරීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ තමන්ගේ කිසිවකු හෝ මිය ගිය විටය…. කිසිවෙකුගේ මරණය අපේක්‍ෂා නොකරන මුත්… කිසිවක් කරකියාගත නොහැකි වූ මිනිසුන්ට ස්වභාව ධර්මය හෝ පිහිටක් විය යුතුය.

පහත දැක්වෙන කොටස උපුටා ගනු ලැබුවේ මගේ ම ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියේ මෙයට අවුරුදු දෙකකට පමණ පෙර ලියැවුන ලිපියකිනි.

ඩෙංගු වලට විශේෂ ප්‍රතිකාරයක් නැත්තේ. ඒ වෛරස් රෝගයක් නිසාවෙනි. නමුත් රෝගය මුලින්ම හරිහැටි හඳුනා ගැනීමෙන් පසුව කරනු ලබන සාත්තුව සහ නිසි විවේකය, උණ පාලනය යන දේ ප්‍රතිකාර ලෙස දැක්විය හැකිය. අසාධ්‍ය තත්ත්‍වයේ ‍රෝගීනට රුධිරය පාලවිනය (Blood transfusion)  සිදු කෙරේ. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු රෝගීනට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දේ. ඩෙංගු – රක්තපාත උණ බවට පත් වී කම්පනයට පත් වන රෝගීන්ගෙන් 50 % ක් පමණ දෙනා යළි ගොඩ ඒමට තරම් වාසනාවන්ත වන‍්නේ නැත. ඒ නිසා රෝගය සෑදීම වැලැක්වීම තරම් සාර්ථක ප්‍රතිකාරයක් ඩෙංගු සඳහා තවත් බලාපොරොත්තු විය නොහැක.

නමුත්, මෑතකදී මට ලැබුණ විද්‍යුත් ලිපියකින් ඩෙංගු සඳහා ගොඩ බෙහෙතක් හඳුන්වා දී තිබුණා. ඒ අන් කවරක් වත් නොවෙයි, අප හොඳින් දන්නා පැපොල් ගසේ කොළවල යුෂ රෝගියාට පානය කිරීමට දීමයි. මෙය මට තරමක් පුදුමයට කරුණක් වූ බැවින් මම ඒ ගැන තරමක් සොයා බැලුවා. මේ ඒ පිළිබඳ මගේ විමර්ශනයේ ප්‍රතිඵල. එය පිළිගැණීම හෝ ඉවත ලෑම ඔබ සතු අයිතියක්…

පැපොල් (Carica papaya) යනු ආසියාවේ ඕසට්‍රේලියාවේ සහ ලතින් අමෙරිකානු රටවල වැවෙන ශාකයක්. මෙය ඉතා හොඳ පළතුරක් ලෙස කවුරුත් දන්නවා. එමෙන්ම අපේ ගෘහණියන් මස් මෙලෙක්වීම සඳහා අමු පැපොල් කැබැලි හොද්දට දමන්නේ පාරම්පරික දැනීමෙන් මිසක් එහි පැපේන් නම් එන්සයිමය ඇති බව දැනගෙන නොවෙයි.

නමුත් නවතම පර්යේෂණ අනුව පැපොල් යුෂ වලට පිළිකා සුවකිරීමේ හැකියාවක් ඇතිබව සොයාගෙන තිබෙනවා. එය පර්යේෂණාත්මකව සොයාගැණීමට බොහෝ කලකට පෙර බොහෝ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමවල අංගයක් ලෙස යොදාගෙන තිබෙනවා. ඇබොරිජීන්වරුන්ගේ බෙහෙත් වට්ටෝරුවක් අනුව පැපොල් කොළ තම්බා බීමෙන් පිළිකාවක් සුව කරගත්  ස්ටැන් ෂෙල්ඩන් නම් 70 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පිළිබඳ එහි පුවත්පතක වාර්තාවක් පවා පළවී තිබුණා. අමෙරිකානු පර්යේෂක කණ්ඩායමක් පැපොල් ශාකයෙන් පිළිකා නාශක රසායන සංයෝගයක් වෙන්කරගත් බව මෑතදී වාර්තාවක් පළ වී තිබුණා. මෙම රසායනික සංයෝගය දැනට පිළිකා නාශකයක් ලෙස භාවිතා කරන “ඇඩ්‍රියමයිසින්” වලට වඩා මිලියනයක වතාවක් ප්‍රබල බව සැලකෙනවා.

මෙම පර්යේෂණවල ප්‍රතිඵල අමෙරිකානු ‍ආහාර සහ ‍ඖෂධ අධිකාරිය මගින් පර්යේෂණාත්මකව සනාථ කළ යුතුව තිබෙනවා. එහෙත් මෙම පර්යේෂණයෙහි යම් සත්‍යතාවක් ඇතිබව එය අත්හදා බැලූ බොහෝ පිළිකා රෝගීහු පවසා තිබෙනවා.

ඉතින් ඔබට ප්‍රශ්නයක් පැන නඟින්න පුළුවන් ඖෂධ සමාගම් මේ සංයෝගය වෙන් කරගෙන පිළිකානාශක ඖෂධ තනන්නේ නැත්තේ ඇයි කියලා. ඒ අයගෙන් මම අහන්න කැමතියි ඔබට කියන්න පුළුවන්ද කියලා මේ ඖෂධ සමාගම් විසින් යම් රෝගයක් නිට්ටාවට සුවකරන්න පුළුවන් එක බෙහෙතක් වෙළඳපලට හඳුන්වාදී තිබෙනවාද කියා.

රසායනඥයෙකු හැටියට මගේ මතය මෙහෙමයි,….

පැපොල් ශාකය ආදිකාලයේ සිට පැවත එන්නක්. දන්නා හැටියට පැපොල් කා මියගිය කෙනෙකු පිළිබඳ ඉතිහාසයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. දියේ ගිලෙන්න යන එකාට පිදුරු ගහක් දුන්නොත් ඒකෙත් එල්ලෙනවා. ඉතින් මැරෙන්න යන පිළිකා රෝගියෙකුට හෝ ඩෙංගු රෝගියෙකුට පැපොල් යුෂ දීලා ගොඩගන්න පුළුවන් නම් ඒක කළාට කමක් නැහැ. මොකද ඒ යුෂ සෑදීමේදි කිසිම අමතර ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. තනිකරම පැපොල් පත්‍ර තම්බලා ඉන් ලැබෙන ද්‍රාවණය බිවුවා කියලා මැරෙන්නේ නැහැ. එය ස්‍වභාවික දෙයක් නිසා.

මේ පැපොල් ප්‍රතිකාරය බොහොම අප්‍රිය බීමක් කියලා එය පාවිච්චි කරපු අය සඳහන් කරනවා. ලංකාවේ ආයුර්වේද කසාය බීපු අපට තවත් මොනවා අප්‍රිය වෙන්නද ?

ඉතින් පිළිකා වැනි භයානක රෝගයන්ට පවා විකල්ප ප්‍රතිකාරයක් වූ මෙය ඩෙංගු රෝගය වෙනුවෙන් අත්හදා බලපු හෝ බලන කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ප්‍රතිචාර දක්වන්න.

ඔබේ දැනගැනීම පිණිස පැපොල් යුෂ පිළියෙල කර ගන්නා අයුරු පහත සඳහන් කරනවා.

  • පැපොල් කොළ සහ නටු හොඳින් සෝදා පිරිසිදුකර ගන්න.
  • ඉතා කුඩා කැබලිවලට කපා ගන්න
  • සාස්පානක් පිරෙන්න කපාගත් පැපොල් කොළ සහ නටු දමා ජලය දමන්න ලීටර 2 – 3.
  • හොඳින් තම්බන්න (boil).
  • ඉන් පසු පැය දෙකක් මඳ උණුසුමේ (simmer) තම්බන්න.
  • දියරය පෙරාගෙන බෝතලයකට දමාගන්න (ලීටර 2ක් පමණ)

වරකට මි.ලී. 250 ක් බැගින් දවසට තුන්වරක් පානය කරන්න. බෝතලය හොඳින් සොලවා පාවිච්චියට ගන්න. ඉතිරිය ශීතකරණයක දමා පාවිච්චියට ගන්න. එක බෝතලයක් නරක් නොවී දින 5 ක් පමණ තබාගත හැක. නැවුම් කොළ භාවිතය වඩා යෝග්‍යයි. මෙම දියරය අප්‍රිය රසකින් සහ අමුතු සුවඳ/ගඳකින් යුක්තයි.

මේ ව්‍යසනය ඇත්තටම ස්වභාව ධර්මයෙන් අප වෙත ලබා දුන් දෙයක්. අධික පලිබෝධ නාශක සහ පොහොර භාවිතය හේතුවෙන් මදුරු කීටයන් ආහාරයට ගන්නා ගප්පි උඩ්ඩන් වැනි මසුන් වඳ වී ගියා.. කානුවල එක් රැස් වන ජලයේ බිත්තර දමන ඩෙංගු මදුරුවාගේ ස්වභාවික පාලනය සිදු වන්නට ඇත්තේ මෙමගින්. ඒ වගේම පරිසරය පිරිසිදු නොකර තබා ගන්නා මිනිසුන්ට තමන් අවට පිරිසිදුව තබා ගන්න යැයි මතක් කර දෙන දැඩි දඬුවම් ක්‍රමයක්.

මේ මොනවා කළත් තමන් විසින් සමාජයට කළ යුතු යමක් තිබෙනවා. අන්න ඒ දේ තමන් විසින් කළ හොත් මේ ව්‍යසනයෙන් රට ගලවා ගන්නට අපට බැරි වෙන එකක් නැහැ. තමන්ගේ වටපිටාවෙ ඇති පිරිසිදු ජලය එකතු වන තැන් නැති කිරීම, අසල්වාසීන් සියළුම දෙනා එක්ව පොදුවේ පරිසරය පිරිසිදු කිරීම, තමන් සහ තමන්ගේ අසල්වාසීන් මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට ඇති එකම මඟයි. සමහර විට අපට ස්වාභාව  ධර්මය මගින්ම උගන්වන පාඩම් ගොන්නට මෙයත් අයිතියි. පස් පවු වලින් වැලකීම මගින් ඒඩ්ස් වැනි මාරාන්තික රෝගයන්ගෙන් වැලකිය හැකිවාක් මෙන්ම, පරිසරය නිසි ලෙස පවත්වාගෙන යාම ඩෙංගු වලින් බේරීමට ඇති ප්‍රධාන මාර්ගය වෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් හැම දේම කරන කල් බලා නොසිට තමනුත් තමන්ගෙන් රටට විය යුතු යුතුකමක් තිබෙනවා නම් නොපැකිලව ඉටු කිරීමට මෙය ආරම්භයක් කර ගනිමු….

අපි අපි ගැන හිතන එක මොහොතකට නතර කරලා අපි අනුන් ගැන සිතමු… නරක පුරුදු වගේම හොඳ පුරුදුත් බෝ කරන්න අපට පුළුවන්… පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි.. නමුත් එහෙම වෙන මහන්සිය තමන් ජීවිතයෙන් වන්දි ගෙවන්නෙ නැති අතපසු වීමක් නොවෙන්න පුළුවන්…

හිතලා බලන්න….

මේ තියෙන්නේ ඩෙංගු ගැන සඳහන්ව ඇති වෙබ් අඩවි….

http://www.denguewar.com/index.htm

http://en.wikipedia.org/wiki/Dengue_fever

http://www.searo.who.int/en/section10/section332/section1631.htm

2012 ජුනි 07 : එන්න මල්ලී…. එන්න නංගී….. රැගක් දීලා… ප්‍රීති වීලා…..


Ragging is a practice in educational institutions in India, Pakistan, Bangladesh and Sri Lanka that involves existing students baiting or bullying new students. It is similar to the American phenomenon of hazing. It often takes a malignant form wherein the newcomers may be subjected to psychological or physical torture. Currently, Sri Lanka is said to be the worst affected country in the world.

මේ විකිපීඩියා වෙබ් අඩවියේ නවක වදය ගැන සඳහන් වෙන ආකාරයයි.

නවක වදය යනු කුමක්දැයි ශ්‍රී ලාංකික ප්‍රජාවට අමුතුවෙන් හඳුන්වාදීමට ඇවැසි නැත. ගමේ කොළු කුරුට්ටාගේ සිට හෙට පණ යන මහල්ලා දක්වා සෑම කෙනෙක්ම නවක වදය ගැන ඕනවටත් වඩා අසා ඇතුවාට කිසිදු සැකයක් නොමැත. නවක වදය වැඩිපුරම සිදු වන්නේ විශ්ව විද්‍යාලවල වුවත්, පාසල්, හමුදා කඳවුරු, ගුරු පුහුණු පාසල් ඇතුළු වෙනත් අධ්‍යාපනික මධ්‍යස්ථාන, සමහර සේවා ස්ථාන ආදියෙහිද නවක වදය අඩු වැඩි වශයෙන් සිදු කෙරේ.

නවක වදයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පැවසුවොත් නවක වදයට පක්‍ෂව කතා කරන උදවිය කියන්නේ නවකයන් හඳුනා ගැනීමේ එක් ක්‍රමයක් ලෙසිනි. නවකයෝ සමහරක් මෙයට අකැමැත්තක් නොදක්වති. බොහෝ විට මෙය ගීතයක් ගායනා කිරීම, විකට නාට්‍යයක් අනුසාරයෙන් යමක් කිරීම හෝ විවිධ විහිළු තහළු වලට සීමා වේ යැයි පැවසුවත්, නවක වදය දෙනු ලබන්නාගේ සහ කණ්ඩායමේ මානසිකත්‍වය අනුව දැඩි ශාරීරික අපහසුතා මධ්‍යයේ සමහර විට නවක වදයට ලක් වන්නා මරණය කරා ගෙනයාමට පවා හැකියාව ඇත. ඒ පිළිබඳව ඕනැවටත් වඩා සාක්‍ෂි අප හමුවේ අනන්තවත් පවතී.

නවක වදයේ බලාපොරොත්තු මේ සරළ හඳුනාගැනීම ඉක්මවා බොහෝ ඈතට දිව යන්නකි. සරළව හඳුනාගැනීමට ඉක්බිතිව ජ්‍යෙෂ්ඨයන් විසින් නවක සිසුවියන් පෙම්වතියන් (සහ සමහර විට දිගුකාලීන ඇසුරකින් පසු භාර්යාවන්) බවට පත් කර ගැනීම ඉන් ප්‍රධාන වන අතර එහි වැරැද්දක් දකින්නට මට නොහැක. සිය දේශපාලන දර්ශනය අනුන්ගේ ඔළු තුළට එබ්බවීමට නවක වදය උපකාරී කරගැනීම නම් ඛෙදජනකය. සරසවි සිසුනට දේශපාලනය අවශ්‍ය නැතැයි මම නොකියමි. තරුණ පරම්පරාවේ දේශපාලන දර්ශනය රටේ අභිවෘද්ධියට අවශ්‍යම දෙයකි. තරුණ රුධිරය – තරුණ ජවය නොමැති රටක් ඉදිරියට ගියේ නැති. එසේ වුවද තරුණ පරම්පරාවට සිය දේශපාලනය තමන්ට රිසි පරිදි කරන්නට ඉඩ දෙනවා වෙනුවට එය බලෙන් එබ්බවීම සහ ඔවුන් බලෙන් සිය දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම කටුක සත්‍යයයි. එයට මා විරුද්ධය. නවක වදයට කිසියම් නවක සිසුවකු විරුද්ධ වන්නේ නම් ඒ ඔහුගේ/ඇයගේ අවසානයම වන්නට ඉඩ තිබීම අතිශය ඛෙදජනකය. ඒ සිසුන්ගේ මානසිකත්‍වය කෙතරම් පිරිහීමකට ලක් වී ඇත්දැයි කියැවෙන කදිම මිම්මකි.

නවක වදය කෙනෙකුට ලබා දීම යමෙකුට සරළ විහිළුවක් වුවත්, තවත් තවත් කෙනෙකුගේ මානසිකත්‍වය සම්පූර්ණයෙන් බිඳ දමා ඒ පුද්ගලයා තනිකරම මානසිකව අඩපණ කරවීමට තරම් සමත් අවියකි. සරසවියට තේරී පත්වන සියළුම සිසුන්ගේ මානසික මට්ටම එකම සහ ඉහල තත්ත්‍වයක පසු වන්නේ නැත. ඔවුන් තම තමන්ට ආවේණික විවිධ ප්‍රශ්න, විවිධ සංකූලතා සහිතව මේ පොදු සමාජය වෙත පැමිණෙන්නවුන් වෙති. මේ සියළුම දෙනා එකම මට්ටමේ ලා සැලකිය නොහැක. නවක වදයෙන් කරන්නට යන්නේ සියල්ලන් එකම මට්ටමකට ගෙන සැලකීමයි. එය කළ හැකිද ? ඔබම සිතා බලන්න.

අනෙක් කාරණය වන්නේ සරළ විහිළුවෙන් ඔබ්බට ගිය ශාරීරික නවක වදයයි. මානසිකව මෙන්ම මේ සියළුම සිසු සිසුවියන් ශාරීරිකවද එකම මට්ටමක නැත. සාමූහිකව ලබා දෙන ශාරීරික නවක වදයකදී මේ සියළුම සිසුන් එකම මට්ටමක එය ඉටු කරන්නේද නැත. එවිට සමහරක් දැඩි පීඩාවකට ලක් වන අතර තවත් සමහරක් මානසිකව ඇද වැටීමටකටද ලක් වේ.  දරාගත නොහැකි වූවන් විවිධාකාර ආබාධ වලටද ලක් විය හැක. මේ දහවල් සිදු වන ක්‍රියාදාමයයි. රාත්‍රිය මෙයට වඩා සම්පූර්ණ වෙනස් විය හැකිය (වෙනස් විය හැකිය යන්න සඳහන් කළේ පුවත්පත් සහ වෙනත් මාධ්‍ය මාර්ගයෙන් මිස, මේ ක්‍රියාදාමය පිළිබඳ ඍජු අත්දැකීමක් හෝ කිසිවෙකුගෙන් අසා දැනගැනීමක් මට නොමැති නිසාය) මා දන්නා පරිදි සමහර නවක වද අතිශය ගුජුප්සාජනක පර පීඩක කාම ක්‍රියාවලින් වෙනස් නොවන්නකි. නිරුවත් කිරීම්, විවිධාකාර  අනියම් “ලිංගික අතවර” මෙයට අයත් වේ. විශ්ව විද්‍යාලයට තේරී පත් වන සමහර ග්‍රාමීය සිසු සිසුවියන් ලිංගිකව එතරම් විවෘත භාවයකින් කතා නොකරති, ක්‍රියාව (විශේෂයෙන් තවෙකෙකු හමුවේ නිරුවත් වීම වැනි දෑ ගැන) කවර කතාද ? මෙයින් සිදු වන්නේ ද මානසිකව බොහෝ දෙනා ඇද වැටීම විනා මානසිකව ශක්තිමත් වීම නොවේ. මේවා ශිෂ්ඨ සමාජය ලක්‍ෂණ නොවේ. අතීතයේ වෙනත් ගෝත්‍රවල මිනිසුන් හමු වූ විට ඔවුන්ට වද දී මරාගෙන කෑ අයුරින්ම විශ්ව විද්‍යාලයට යන නවක සිසුන්ට සැලකීම අතිශයින් ප්‍රාථමික මානසිකත්‍වයක් ඇති පුද්ගලයන් කොට්ඨාසයක ක්‍රියා කලාපයකි. සත්තකින්ම මා හට කිසිවකු නවක වදය දුනහොත් මා උගෙන් කවදා හෝ පලි ගන්නා බව මට සහතිකය.

නවක වදය චක්‍රයකි. අද නවක වදයට ලක් වන්නා ලබන අවුරුද්දේ තමන්ට ලැබුන දේ අනුන්ට දීමට කටයුතු කරති. සමහරක් ඉන් වැලකී සිටියද සියල්ලන්ම එකම මානසිකත්‍වයක නැත. මේ නිසාම නවක වදය සෑම අවුරුද්දකම විවිධාකාරයෙන් සිදු වේ. විශේෂ සිදුවීමක් නොමැති නම් එය විශ්ව විද්‍යාලයෙන් පිටත සමාජයට දැනගන්නට යමක් නැති දෙයකි. සිසුවකු මියගියහොත් හෝ වීඩියෝවක් පිටතට නොපැමිණියහොත් කිසිවකු මේ නවක වදය සිදු වනවාදැයි යන්න නොදනී. මේ ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ සමහර රාජ්‍ය අධ්‍යාපනික ආයතනවල තතත්ත්‍වයයි.

දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල කටයුතු දෙන අවධානය යොමු කරමු. පසුගිය කාළය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ලංකාවේ බිහිවිය. NIBM, SLIIT, රසායන විද්‍යා ආයතනය, සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන මේ ගණයට අයත් වේ. මේ සියල්ලෙහිම ඉගෙන ගන්නේ ලාංකීය සිසුන්ය, සමහරු විශ්ව විද්‍යාලයේ මෙන්ම මේ ආයතනවලද අධ්‍යාපනය ලබන්නෝ වෙති. වෙනස වන්නේ මේ සියළුම ආයතනවල අධ්‍යාපනය ලැබීමට කිසියම් මුදලක් ගෙවිය යුතු වීමයි. එසේම සිසු දේශපාලනය අවම තත්ත්‍වයක පැවතීමයි. මා දන්නා රසායන විද්‍යා ආයතනයේ නවකයන් පිළිගත්තේ නවක වදය වෙනුවට නවකයින් පිළිගැනීමේ සාදයකිනි. දෙවන වසරට සමත්වන සිසුන් විසින් සංවිධානය කරනු ලබන මෙහි තත්ත්‍වය දැන් දස වසරකට පෙර පැවති තත්ත්‍වයෙන් ඉදිරියට ගොස් මනාව සංවිධානය කල ඉතා උසස් ගණයේ සාදයක් බවට පරිවර්තනය වී ඇත. මෙයින් කිසිවකුට සිත්රිදීමක්, ශාරීරික හිංසාවක් හෝ මානසික වදයක් සිදු නොවේ. සිසුන් සහ ගුරුවරුන් සියළුම දෙනා සහභාගී වන මේ සාදය දෙපිරිසටම විනෝද විය හැකි විවිධාංගීකරණය වූ වැඩ සටහන් වලින් සමන්විත වේ. අවසන මේ සියළුම දෙනා සතුටින් විසිර යනවා පමණක් නොව පෙර කී නවක වදයේ වූ අරමුණු වන හඳුනාගැනීම, පෙම්වතියන් සොයා ගැනීම ආදී සියළුම අරමුණු මේ සාදය සිදු වනවිට සාක්‍ෂාත් වී හමාරය.

මේ ආයතනවලට ද ඉගෙන ගැනීමට පැමිණෙනන්නේ ලාංකීය සිසුන් වන අතර ඔවහු සියල්ල රිදී හැන්දෙන් කිරී බිවු ධනවත් අය නොවෙති, බොහෝ දෙනා විශ්ව විද්‍යාලවල මෙන්ම මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ය. නමුත් මෙයින් පෙනෙන්නේ මේ මානසිකත්‍ව දෙකෙහි වෙනසයි.

විදේශ (ඇමරිකානු) විශ්ව විද්‍යාලවල තත්ත්‍වය මෙයට තරමක් වෙනස් වේ. නවකයන් වෙනුවෙන් සාද සහ වෙනත් දෑ අනන්තවත් පැවැත්වේ. එය ද විවිධාකාරය. මේ විශ්ව විද්‍යාලවල සිසු සංගම් කිහිපයක් ඇත. ඒවා Fraternity (පුරුෂ පක්‍ෂය – සහෝදර සංගම්) සහ Sorority (ස්ත්‍රී පක්‍ෂය – සහෝදරියන්ගේ සංගම්) යනුවෙන් පොදුවේ හැඳින්වුනත්, ඒවාට විවිධ ග්‍රීක අක්‍ෂර යොදාගත් (ΚΣΔΨ ආදී නමුත් කිසියම් තේරුමක් ඇති සංගම්)  විශාල මධ්‍යම සංගමයක සාමාජික සංගම් වේ. මේවායේ විවිධාකාර අරමුණු ඇතත් ඒ අතරින් කිහිපයක් හෝ අධ්‍යාපනික වැදගත්කමක් ඇති අරමුණු සහිත සංගම් වේ. (මේ පිළිබඳ වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු ඇත) මේ සංගම් මගින් පැවැත්වෙන විවිධාකාර සාද සහ ක්‍රියාකාරකම් අතර ද සරළ නවක වද අතරින් පතර දක්නට ඇත. එමෙන්ම සියළුම නවක සිසුවෙකු සිසුවියෙකුට ජ්‍යෙෂ්ඨ සිසුවෙකු උපදේශකයෙකු ලෙසින් පත් වේ. ඔහුට/ඇයට මඟ පෙන්වන්නේ මේ ජ්‍යෙෂ්ඨ සිසුවා/සිසුවියයි. ඒ බැඳීම දිගුකල් පවතී.  මේ රටෙහි නවක වදය ලබා දීම සපුරා තහනම් වන අතර එය ලබා දෙන්නවුන් වැරදිකරුවන් වුවහොත් ශිෂ්‍යභාවය අහෝසි වේ. (ඉන් එහාට උද්ඝෝෂණ උපවාස කිසිවක් නැත – වැරැද්ද වැරැද්දමය) අවසන සාදයකි. හඳුනාගැනීම් ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික සම්බන්ධතාද එතැන ඇත. කෙසේ වුවත් හමුදාමය ආයතනවල මේ තත්ත්‍වය තරමක් වෙනස් බව අසන්නට ලැබේ, මෙහිදී විවිධාකාර නවක වදයන් ලබා දෙන්නේ එකිනෙකාගේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව උරගා බැලීමටය – මරා ගැනීමක් සිදු නොවන අතර දන්නා පමණට අභියෝගයට කැමැත්තෝ ඉදිරිපත් වෙති. මේ නවක වදයේ තවත් අන්තයකි.

එසේ නමුත් මෑතකදී ෆ්ලොරිඩාවේ පාසලක බෑන්ඩ් කණ්ඩායමක නවක සිසුවෙකුට නවක වදය ලබා දීම නිසා ඔහු මියගියා.. මෙය ඇමරිකාවේම මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධියක් වුනා. ඇමරිකාවේ පාසල් සිසුන් 47% ක් විශ්ව විද්‍යාලයට පැමිණෙන විට නවක වදයට ලක් වන බව මෑතකදී පළ වුනා. මේ තත්ත්‍වය දැන් දැන් දරුණු වන බවයි පැවසෙන්නෙ. කෙසේ වුනත් මේ රටවල නීති දැඩියි. කවුරු වැරැද්ද කළත් දඬුවම ලැබෙනවා. කවුරුවත් උද්ඝෝෂණ කරන්න යන්නෙ නෑ…. මේ නිසාම එයට සහභාගි වන්නන් තම අනාගතය අඳුරු කරගන්න අවස්ථා ඕන තරම්.

මේ කොහොම වුනත් අපි කවුරුවත් කැමති නැහැ ශාරීරිකව කිසිවෙකුගෙන් පීඩා විඳින්න… නවක වදය නැති විය යුතුම නැහැ. සරළ විහිළුවකින් පටන් අරන් නවක වදය සුන්දර අත්දැකීමක් කරන්න අවශ්‍යතාවය ඇති අයට පුළුවන්. තමනුත් ගිය අවුරුද්දේ තමන්ට ලැබුණ වදය මේ අවුරුද්දේ නවක සිසුන්ගෙන් ලබා ගන්න උත්සාහ කරනවා නම් එතැන ඇත්තේ සරළ නවක වදයක් නොවෙයි පළි ගැනීමක්. මේක චක්‍රයක් වගේ ඉදිරියට යාවි. කවුරු හරි ඒක නවත්වනවා නම් ලොකු දෙයක්. ඒ වගේම නීති මගිනුත් කටයුතු කිරීම කළ යුතුමයි. රටකට සවිමත් නීති පද්ධතියක් අවශ්‍යයි, ඒ වගේම ඒවා හරි හැටි ක්‍රියාත්මක විය යුතුයි.

අවුරුදු 12 ක් පාසල් ගිහින් වසර දෙකක් හෝ වැඩි ගණනක් උසස් පෙළට මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට තේරී පත් වන සිසුන්ට තවත් දෙන්න වදයක් ඉතිරි වෙලා නැහැ… ඔවුන් ඇති තරම් වදයන්ට ලක් වෙලා හෙම්බත් වෙලයි ඇවිත් ඉන්නෙ… ඒ නිසා මේ වදය දැන්වත් නවත්වමු. අපේ සහෝදර සහෝදරියන්ට මිනිසුන් මෙන් සලකන්න පුරුදු වෙමු. අපි අන් අයට සලකන විදියට තමයි අන් අය අපටත් සලකන්නෙ.. තමන් ශාරීරිකව හිංසා පීඩා විඳින්න අකැමැති ආකාරයටම තමන් අනිත් අයත් එයට අකමැති. ඒක තේරුම් ගන්න මොළයක් නැති පුද්ගලයින් විශ්ව විද්‍යාලයකට වටින්නෙ නැහැ. ඉතිං ඔවුන් එතැනින් ඉවත් කරලා ඉගෙන ගන්න කැමති සිසුන්ට එතැන ඉඩ ලබා දීම බලධාරීන්ගෙ යුතුකමක්. විශ්ව විද්‍යාලයක සිටිය යුත්තේ විද්‍යාර්ථින් විනා මැරයින් මැරවරියන් නෙවෙයි. ඉගෙන ගන්න කැමති එකාට ඉගෙන ගන්න දෙන්න.. බලෙන් රැග් වෙන්න එන අයට රැග් දෙන්න… සමහර නවක වද කාලවල සිසුන්ට පුස්තකාලය පරිහරණය කරන්නත් තහනම් ලු… තවත් කියන්න දෙයක් නෑ… ඔබ දන්නවා මේ දේවල් ගැන… ශාරීරික නවක වදය නැවතිය යුතුමයි.

බොහෝ විදේශ විශ්ව විද්‍යාලවල ආරක්‍ෂක කැමරා සවි කරලා තියෙනවා. ආරක්‍ෂාවට මෙන්ම සිදු වන විවිධ අකටයුතුකම් නවත්වන්න… මේ කටයුතු මේ වගේ ඉදිරියට ගියොත් අපේ විශ්ව විද්‍යාලවලත් ආරක්‍ෂක කැමරා, පොලිස් ඒකක ආදී විදේශ විශ්ව විද්‍යාලවල ඇති අංගෝපාංග ඇතුලත් වීම නවත්වන්න බැරි වේවි. තවමත් මේ දේවල් ක්‍රියාත්මක නොවුනෙ ඇයි කියන එකත් මට ප්‍රශ්නයක්…

ඉතිං අපේ සහෝදර නවක සිසු සිසුවියන්ට මිනිස්සුන්ට වගේ සලකමු… ගෞරවය බලෙන් ලබා ගන්න බැහැ.. බලෙන් ලබා ගත් ගෞරවය දිගු කල් පවතින්නෙත් නැහැ… බුද්ධිය වැඩි වන්න වැඩි වන්න මානුෂිකත්‍වයත් වැඩි විය යුතුයි. විනයක් නැති බුද්ධිය සමාජයකට පිළිලයක්… විශ්ව විද්‍යාලවලට සමත් වෙන ඔබ සියළුම දෙනා බුද්ධිමත්, අනෙක් අයට වඩා යමක් කමක් කළ හැකි අය… ඒ හැකියාව හරි පැත්තට යොදන්න… විශ්ව විද්‍යාලවලට අළුතෙන් එන නවක සිසුන්ට සිසුවියන්ට අයියෙක් අක්කෙක් වෙන්න…  බලෙන් නෙවෙයි ආදරෙන්.. එවිට ඔවුන් හැමදාම ඔබට ගෞරව කරාවි,… ළඟින් හිඳීවි..

අද ඉඳලා වෙනස් වෙන්න…. ජීවිතේ සුන්දර වේවි…..

2012 ජුනි 05: ආශ්චර්යය කරා නැවත පැමිණීම….. එය කළ හැක්කක්ද ?


නැවතත් මම දෙබරයකට ගල් ගැසීමට සූදානම් වෙමි. මෙය එසේ මෙසේ දෙබරයක් නොවේ… විසාල දෙබරයකි. මේ කාරණය සම්බන්ධයෙන් දෙපක්‍ෂයටම සිය මත ඉදිරිපත් කිරීමට සාධාරණ හේතු ඇත…. ආත්මාර්ථකාමීත්‍වයට පයින් ගසා පරාර්ථකාමීත්‍වය කැටි කරගත් දේශප්‍රේමය කුළු ගන්වාගත් මහානුකම්පාව පෙරදැරිකරගෙන යමෙකුට මේ ගැන කතා කළ හැක. තවත් කෙනෙකුට අනුන්ට කෙළවූවත් තමන්ට හරි යායුතුය යන න්‍යාය පෙරදැරිකරගෙන තර්ක කළ හැක… මේ මගේ මතයයි…. අපි විවෘතව කතා කරමු.

මා උපන්නේ ශ්‍රී ලංකාවේය. තවමත් මගේ ජාතිකත්‍වය ශ්‍රී ලාංකික ය. පළමු පන්තියේ සිට උසස් පෙළ තෙක් මා උගත්තේ රජයේ පාසල්වල මහජන බදු මුදලිනි. එසේ නම් මා රටට ජාතියට ණයය. ඒ මගේ අධ්‍යාපනය වෙනුවෙන් රටෙන් සිදු වූ සේවය අරභයා යි. ටික කාලයක් ලංකාවේ සේවය කළ මා පිට රටට ආවේ උසස් අධ්‍යාපනය ලබන්නටයි. ලංකාවේ ලබා ගත නොහැකි රසායන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගනු පිණිසයි. අවුරුදු 27ක්ම ලංකාවේ අවුල් සහගත ජීවන රටාව සමග හැප්පුණු මම ක්‍රමවත්, නීතිගරුක මේ ජීවන රටාව වැලඳ ගත්තේ නිතැතින්මය.

“අයිතිවාසිකම් ලබා ගැනීමට නම් මුලින් සිය යුතුකම් ඉටු කළ යුතුය” යන්න මා කුඩා කළ සිටම ඇදහූ ධර්මයකි. යුනිලීවර් ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති නිවුටන් පෙරේරා සමග හැප්පුනේ ද මේ ධර්මතාවයෙහි එල්බ කටයුතු කිරීම නිසාය. යූනියන් ප්‍රතිපත්ති සහ ඒ පද්ධතියට අනුගත වීමට මට නොහැකි විය. මේ නිසාම ගැටුම් ඇතිවිය. සමහර මිතුරන් මා ඇමරිකන් කාරයෙකු ලෙස හංවඩු ගැසුවේද මේ ලාංකීය මොඩලයේ මා නොසිටි නිසාවෙනි. ටික කලකින්ම මා ඇමරිකානු වෘත්තීය හර පද්ධතීන් වලට අනුගත වූවද සංස්කෘතිකව ඇමරිකන් කාරයෙකු නොවීමි. ඒ වෙනුවට මගේ ශ්‍රී ලාංකික සංස්කෘතිකය එළියට පැමිණුනි. ලංකාව වෙනුවෙන් මහා වැඩ කොටසක් කිරීමට නොහැකි වූවද මා උසස් අධ්‍යාපනය ලැබීමට රිසි බොහෝ දෙනෙකුට මඟ පෙන්වීමට උත්සාහ ගතිමි. එය ලිපි මගින්, ලංකාවට පැමිණි අවස්ථාවල සිදුකළ දේශන මගින් මෙන්ම වෙනත් මාර්ගයන්ගෙන් ඉටු කිරීමට උත්සාහ ගතිමි. දැනට අධ්‍යාපනය අතින් මටත් වඩා සාර්ථකත්‍වයක් ලබා ඇති මගේ සොයුරු ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ හෘද සාක්‍ෂියන් ඊට සාක්‍ෂි සපයනු ඇත.

යුද්ධය නිම වන විට අනෙකුන් මෙන්ම මා ද දෑස් අයා බලා සිටියේ සශ්‍රීකත්‍වය කරා පා නගන ලංකාවක සිහිනයයි. මාර්ග පද්ධති වැඩි දියුණු වෙද්දී, කොළඹ නගරය දියුණු වෙද්දී, උතුරු නැගෙනහිර සංවර්ධනය වෙද්දී මගේ සිතේද නැවතත් ශ්‍රී ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනය කෙමෙන් කෙමන් මෝදු වන්නට විය. රසායන කර්මාන්ත අංශය අතින් ලංකාව දියුණු නොවුනත්, එප්පාවල ඇපටයිට් නිධිය, පුල්මුඩේ ඛණිජ වැලි නිධිය, පරන්තන් රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වැනි අප රටට සරිලන, රසායනිකව වැදගත් වන ස්ථාන නව සංකල්ප වලට අනුව දියුණු වනු ඇතැයි මමද සිහින මැවුවෙමි. විශ්ව විද්‍යාලයක රටට සරිලන විද්‍යා පර්යේෂණයක් ඇරඹිමට මමද කෙටුම්පත් සැකසූවෙමි. ආචාර්ය උපාධියෙන් පසු ටික කලක පුහුණුවකින් අනතුරුව ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනයෙන් මමද පෙළුණෙමි.

අන් සියල්ල යටපත් කරගෙන දේශපාලන කුහකත්‍වය මතුවීම, සුදුස්සාට නොව ඥාති මිත්‍රාදීනට තනතුරු ලැබීම, සියළුම අංශවල ඒකාකාරී පරිහාණිය මෙන්ම දැනට සේවය කරන්නන්ගේ කළකිරීම ආදිය දකිනවිට, අසන විට මගේ ශ්‍රී ලාංකික සිහිනය ද කෙමෙන් කෙමෙන් බොඳව යන්නට විය… මා දකින්නට නිති පෙරුම් පුරන දෙමාපියන් – ඥාති මිත්‍රාදීන් පවා නැවත නොඑන්නැයි පැවසූවේ පවසන්නේ ඔවුන් මා පිළිබඳ හොඳින්ම දන්නා නිසාවෙනි. පද්ධතියට අනුගත නොවන කල්හි පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ දරන්නාට සිදුවන්නේ පද්ධතියේ ගොදුරක් බවට පත් වීමටයි. එය එක්කෝ පද්ධතිය විසින්ම උරා ගන්නා අතර ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාව වන්නේ පද්ධතිය විසින් ඒ තැනැත්තා විනාශ කිරීමයි. එයින් මා හට දෙවැන්න සිදු වීමේ ඉඩ කඩ බොහෝ වැඩි ය. ඒ නිසාම මා ගැන දන්නා අය මගේ ආගමනය වලක්වන්නේ මට සිදුවිය හැකි අනතුර දන්නා නිසාමය.

මා දන්නා බොහෝ විද්‍යාර්ථීන්ගේ තත්ත්‍වය මෙසේම වේ. කිසිවකුට නැවතත් ආශ්චර්යය කරා පානැගීමේ දැඩි උවමනාවක් නොමැත. එසේ සාර්ථක වූවන් නැවත ගෙන්වා ගැනීම ගැන කෙතෙක් කතා කළද, ක්‍රියාවට නැංවීමට හැකියාවක් නැත. එසේ වීමට හේතු කීපයකි. විදේශයන්හි වෘත්තීයමය හර පද්ධතීනට අනුතගව ඇති පුද්ගලයින් එසේ නොවන පද්ධති වලට දක්වන්නේ බියකි. ඒ මා පෙර කී පද්ධතිය විසින් තමන්ව බිලිගනු ඇතැයි යන බිය සිත් සතන් තුළ ඇතිවීමයි. තවද බොහෝ විද්‍යාර්ථීන් දැන් තනිකඩයින් නොව දරු මල්ලන්, පවුල් නඩත්තු කරන වගකීම් දරන අය වීමයි. තමන් කෙසේ හැඩ ගැසුනද, තමන්ගේ දරු මල්ලන්  ඇමරිකාවටත් වඩා සංකර වූ ශ්‍රී ලාංකික සංස්කෘතික හර පද්ධතියට කෙසේ අනුගත විය හැකිදැයි යන බියෙන් ඔවුන් පෙලේ. වෙනත් රටවල අධ්‍යාපනයට දෙනු ලබන ප්‍රමුඛත්‍වය රජයෙන් නිසි ලෙස ලබා නොදීම, විභාගවලට පමණක් හුරු කරවන, රේස් අශ්වයන් ඇති කිරීමේ විෂය මාලාවන්, විභාග රටාවන් නිසා විදේශයන්හිදී දරුවන් ලැබූ විවිධාංගීකරණය වූ අධ්‍යාපන රටාවෙන් මිදී යන්ත්‍ර බවට ඔවුන් පත් වීමේ බිය දෙමාපියන් සතුය. කිසිදු පාලනයක් නොවූ, කිසිදු ප්‍රමිතියකට යටත් නොවන ටෙලි නාට්‍ය, මනස වඩන අධ්‍යාපනික වැඩසටහන් අවම රුපවාහිනී වැඩ නාලිකා, නොයෙකුත් විසූක දස්සනයන්ගෙන් සපිරි රියැලිටි වැඩසටහන් වලින් යුත් රූපවාහිනි චැනල වැනි දෑ අසන දකින කිසිදු දෙමාපියෙකු සිය දරුවාගේ අනාගතය දැන දැනම අඳුරු කරන්නට කිසි විටෙක පෙළඹෙත්ද ?

එසේම කෙතරම් සුදුසුකම් තිබුණද, දේශපාලන හයියක්, දේශපාලන අතකොළුවක් නොවන කෙනෙකුට පෞද්ගලික අංශයේ වුවද සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලැබීම සිහිනයක් වැන්න. රටේ ජනාධිපතිවරණයේ සිට ගමක මරණාධාර සමිතිය දක්වා වූ තෝරා ගැනීම්වල කිසිදු විශ්වාසයක් නොමැත. දේශපාලනඥයන් 40 ක් මත්ද්‍රව්‍ය වෙළඳාමට ඍජුව සම්බන්ධ යැයි අගමැතිවරයාම පවසද්දී, වරෙන්තු නිකුත්කළ  සුධර්මන් රදැලියගොඩ වැන්නවුන් නිදහසේ සැරිසරද්දී, රටේ පවතින්නේ කුමන නීතියක්දැයි පිටරටවල සිටින, රටට ඒමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපේ රටේ ආයෝජනය කරන්නැයි ජනාධිපතිතුමා ආරාධනය කළේ මෑතකදීය. එසේ වනවා නම්, රට දියුණු වනවා නම් එය ඉතා හොඳ කටයුත්තකි. නමුත්, නොවිය යුතු බොහෝ දේ සිදු වෙද්දී සහ සිය දාඩිය මහන්සියෙන් උපයන යම් මුදලක් කප්පම් වශයෙන් දීමට සිදු වීම. අධික නිලධාරී වාදය, අකාර්යක්‍ෂමතාවය, අල්ලස් ගැනීම  වැනි කාරණා නිසා කිසිවෙකු ලංකාවේ එසේ ආයෝජනය කරාවි දැයි සැක සහිතය.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නැවතත් රටට පැමිණීමට බොහෝ කැමැත්තක් දක්වති. ඔවුහු බොහෝ දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය සහිත අයවළුන් වෙති. බොහෝ දෙනෙකුට ඉඩ කඩම්, වතුපිටි තවමත් ලංකාවේ ඇත. ඒ නිසාම සහ සිංහල අමතක වුවත් ශ්‍රී ලාංකික ලේ ඇඟේ දුවන නිසාම, ඔවුහු නැවතත් ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටිති. නමුත් රජයෙන් ඒ සඳහා සුදුසු අනුබලයක් ලැබෙන සෙයක් නොමැත. ඔවුනට කොතරම් කැමැත්තක් තිබුණද, සිටින තැනකින් අපායට වැටීමට කිසිවක් අකැමැතිය. එසේ නම් කල යුත්තේ ලංකාවේ ජීවන තත්ත්‍වය නඟා සිටු වීමයි. මංමාවත් තැනීම, නගර සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්‍වය ඉහළ නැංවීමේ කටයුතු ක්‍රියාවට නැංවිය යුතුය. සම-හරක් ඇමතිවරුන්ට අනුව ලංකාවේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නොමැත. එසේ වුවද ආදායමට සාපේක්‍ෂව වියදම දිනපතා ඉහළ යයි. සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යන මිනිහා දේශපාලනඥයෙකු හෝ හෙංචයියකු අතින් මියයයි. නමුත් ඒ පිළබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොමැත. විදේශයන්හි සාමකාමීව ආරක්‍ෂා සහිතව දිවි ගෙවන ශ්‍රී ලාංකිකයා නැවත රටට පැමිණීමට සැලසුම් කිරීමේදී මේ පිළිබඳ කිහිප විටක් සිතයි. සිය දරු මල්ලන්ගේ ආරක්‍ෂාව අන් සියල්ලට ම වඩා වැදගත් කොට සලකයි.

ඔවුනට නිසි ආරක්‍ෂාවක්, නීතියක් සාමයක් පිළිබඳ සහතිකයක් ලැබේ නම්, ඔවුහු නැවතත් ශ්‍රී ලංකාව කරා පැමිණෙනු ඇත. දූෂණය නාස්තිය සහ දේශපාලන ඇඟිලිගැසීම් නැති ලංකාවක් එනතුරු ඔවුන් බලා සිටිනු ඇත…

විද්‍යාත්මක පර්යේෂණ අතින් ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රාථමික තත්ත්‍වයකයි. දැනට SLINTEC ආයතනයේ සහ විශ්ව විද්‍යාල කිහිපයක සිදු වන පර්යේෂණ ඇරෙන්නට, රටට වැඩදායී, ලෝකයට වැඩදායී පර්යේෂණයක් එළි දැක්වෙන්නේ හෝ ඇසෙන්නේ නැති තරම්ය. ලෝකයේ වෙනත් රටවල දශක ගණනාවකට වඩා ඉහත දී සොයා ගැනුන දේ නැවතත් සොයාගැනීම වැනි (ඩස්ට් මයිටා නැවත සොයා ගැනීම) ඇදගෙන නෑමේ කටයුතු හැරෙන්නට වෙනත් සැලකිය යුතු යමක් අසන්නට නොමැත. මා දන්නා පරිදි, බටහිරින් ඉගෙන ගත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් අප සතුව ඇත. ඔවුහු සිය ආයතනයන්හි විස්කම් නිමැවුම් සහ පර්යේෂණ, සොයා ගැනීම් කරති. ඔවුන්ගේ බුද්ධිය අපට නැවතත් ලබා ගත හැක්කේ ඔවුනට සිය අනාගතය පිළිබඳ සහතිකයක් ලබා දීමෙන් පමණි. නැවතත් වතාවක් මා ලංකාවට පැමිණ යමක් කිරීමට සිතුවද, පවතින විකාරරූපී දේශපාලන රටාව සහ අවිනිශ්චිතභාවය නැවතත් මා වලක්වන ලදී….

මා වැන්නවුන් අනන්තවත් විදේශයන්හි සේවය කරමින් ජීවිතයේ හොඳම කාළය විදේශයනට පූජා කරමින් සිටිති. ඔවුන් නැවතත් ගෙන්වාගෙන ලංකාව ආශ්චර්යයේ මාවත කරා ගෙන යාම කළ යුත්තේ මහජනතාව නොව රට වෙනුවෙන් සැලසුම් හදන්නන් සහ පාලක පාර්ශවයන් ය. එය කවදා හෝ සිදු නොවනතුරු රටට වැඩදායී කරගත හැකි බුද්ධිමත් මිනිසුන් රාශියක් අන් රටවල් පෝෂණය කරමින් සිටිනු ඇත. ලංකාව සම්පත් වලින් අනූන රටකි, ඒ සියල්ලටම වඩා ශක්තිමත් සහ බුදුධිමත් මානව සම්පතක් අප සතුව ඇත. එය හරියට කළමණාකරණය කර ගතහොත් අසල්වැසි රටවල් පවා පැරැද්දවීමට අපට නොහැකිවා නොවේ.

%d bloggers like this: