Daily Archives: ජූනි 5, 2012

2012 ජුනි 05: ආශ්චර්යය කරා නැවත පැමිණීම….. එය කළ හැක්කක්ද ?


නැවතත් මම දෙබරයකට ගල් ගැසීමට සූදානම් වෙමි. මෙය එසේ මෙසේ දෙබරයක් නොවේ… විසාල දෙබරයකි. මේ කාරණය සම්බන්ධයෙන් දෙපක්‍ෂයටම සිය මත ඉදිරිපත් කිරීමට සාධාරණ හේතු ඇත…. ආත්මාර්ථකාමීත්‍වයට පයින් ගසා පරාර්ථකාමීත්‍වය කැටි කරගත් දේශප්‍රේමය කුළු ගන්වාගත් මහානුකම්පාව පෙරදැරිකරගෙන යමෙකුට මේ ගැන කතා කළ හැක. තවත් කෙනෙකුට අනුන්ට කෙළවූවත් තමන්ට හරි යායුතුය යන න්‍යාය පෙරදැරිකරගෙන තර්ක කළ හැක… මේ මගේ මතයයි…. අපි විවෘතව කතා කරමු.

මා උපන්නේ ශ්‍රී ලංකාවේය. තවමත් මගේ ජාතිකත්‍වය ශ්‍රී ලාංකික ය. පළමු පන්තියේ සිට උසස් පෙළ තෙක් මා උගත්තේ රජයේ පාසල්වල මහජන බදු මුදලිනි. එසේ නම් මා රටට ජාතියට ණයය. ඒ මගේ අධ්‍යාපනය වෙනුවෙන් රටෙන් සිදු වූ සේවය අරභයා යි. ටික කාලයක් ලංකාවේ සේවය කළ මා පිට රටට ආවේ උසස් අධ්‍යාපනය ලබන්නටයි. ලංකාවේ ලබා ගත නොහැකි රසායන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගනු පිණිසයි. අවුරුදු 27ක්ම ලංකාවේ අවුල් සහගත ජීවන රටාව සමග හැප්පුණු මම ක්‍රමවත්, නීතිගරුක මේ ජීවන රටාව වැලඳ ගත්තේ නිතැතින්මය.

“අයිතිවාසිකම් ලබා ගැනීමට නම් මුලින් සිය යුතුකම් ඉටු කළ යුතුය” යන්න මා කුඩා කළ සිටම ඇදහූ ධර්මයකි. යුනිලීවර් ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති නිවුටන් පෙරේරා සමග හැප්පුනේ ද මේ ධර්මතාවයෙහි එල්බ කටයුතු කිරීම නිසාය. යූනියන් ප්‍රතිපත්ති සහ ඒ පද්ධතියට අනුගත වීමට මට නොහැකි විය. මේ නිසාම ගැටුම් ඇතිවිය. සමහර මිතුරන් මා ඇමරිකන් කාරයෙකු ලෙස හංවඩු ගැසුවේද මේ ලාංකීය මොඩලයේ මා නොසිටි නිසාවෙනි. ටික කලකින්ම මා ඇමරිකානු වෘත්තීය හර පද්ධතීන් වලට අනුගත වූවද සංස්කෘතිකව ඇමරිකන් කාරයෙකු නොවීමි. ඒ වෙනුවට මගේ ශ්‍රී ලාංකික සංස්කෘතිකය එළියට පැමිණුනි. ලංකාව වෙනුවෙන් මහා වැඩ කොටසක් කිරීමට නොහැකි වූවද මා උසස් අධ්‍යාපනය ලැබීමට රිසි බොහෝ දෙනෙකුට මඟ පෙන්වීමට උත්සාහ ගතිමි. එය ලිපි මගින්, ලංකාවට පැමිණි අවස්ථාවල සිදුකළ දේශන මගින් මෙන්ම වෙනත් මාර්ගයන්ගෙන් ඉටු කිරීමට උත්සාහ ගතිමි. දැනට අධ්‍යාපනය අතින් මටත් වඩා සාර්ථකත්‍වයක් ලබා ඇති මගේ සොයුරු ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ හෘද සාක්‍ෂියන් ඊට සාක්‍ෂි සපයනු ඇත.

යුද්ධය නිම වන විට අනෙකුන් මෙන්ම මා ද දෑස් අයා බලා සිටියේ සශ්‍රීකත්‍වය කරා පා නගන ලංකාවක සිහිනයයි. මාර්ග පද්ධති වැඩි දියුණු වෙද්දී, කොළඹ නගරය දියුණු වෙද්දී, උතුරු නැගෙනහිර සංවර්ධනය වෙද්දී මගේ සිතේද නැවතත් ශ්‍රී ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනය කෙමෙන් කෙමන් මෝදු වන්නට විය. රසායන කර්මාන්ත අංශය අතින් ලංකාව දියුණු නොවුනත්, එප්පාවල ඇපටයිට් නිධිය, පුල්මුඩේ ඛණිජ වැලි නිධිය, පරන්තන් රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වැනි අප රටට සරිලන, රසායනිකව වැදගත් වන ස්ථාන නව සංකල්ප වලට අනුව දියුණු වනු ඇතැයි මමද සිහින මැවුවෙමි. විශ්ව විද්‍යාලයක රටට සරිලන විද්‍යා පර්යේෂණයක් ඇරඹිමට මමද කෙටුම්පත් සැකසූවෙමි. ආචාර්ය උපාධියෙන් පසු ටික කලක පුහුණුවකින් අනතුරුව ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනයෙන් මමද පෙළුණෙමි.

අන් සියල්ල යටපත් කරගෙන දේශපාලන කුහකත්‍වය මතුවීම, සුදුස්සාට නොව ඥාති මිත්‍රාදීනට තනතුරු ලැබීම, සියළුම අංශවල ඒකාකාරී පරිහාණිය මෙන්ම දැනට සේවය කරන්නන්ගේ කළකිරීම ආදිය දකිනවිට, අසන විට මගේ ශ්‍රී ලාංකික සිහිනය ද කෙමෙන් කෙමෙන් බොඳව යන්නට විය… මා දකින්නට නිති පෙරුම් පුරන දෙමාපියන් – ඥාති මිත්‍රාදීන් පවා නැවත නොඑන්නැයි පැවසූවේ පවසන්නේ ඔවුන් මා පිළිබඳ හොඳින්ම දන්නා නිසාවෙනි. පද්ධතියට අනුගත නොවන කල්හි පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ දරන්නාට සිදුවන්නේ පද්ධතියේ ගොදුරක් බවට පත් වීමටයි. එය එක්කෝ පද්ධතිය විසින්ම උරා ගන්නා අතර ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාව වන්නේ පද්ධතිය විසින් ඒ තැනැත්තා විනාශ කිරීමයි. එයින් මා හට දෙවැන්න සිදු වීමේ ඉඩ කඩ බොහෝ වැඩි ය. ඒ නිසාම මා ගැන දන්නා අය මගේ ආගමනය වලක්වන්නේ මට සිදුවිය හැකි අනතුර දන්නා නිසාමය.

මා දන්නා බොහෝ විද්‍යාර්ථීන්ගේ තත්ත්‍වය මෙසේම වේ. කිසිවකුට නැවතත් ආශ්චර්යය කරා පානැගීමේ දැඩි උවමනාවක් නොමැත. එසේ සාර්ථක වූවන් නැවත ගෙන්වා ගැනීම ගැන කෙතෙක් කතා කළද, ක්‍රියාවට නැංවීමට හැකියාවක් නැත. එසේ වීමට හේතු කීපයකි. විදේශයන්හි වෘත්තීයමය හර පද්ධතීනට අනුතගව ඇති පුද්ගලයින් එසේ නොවන පද්ධති වලට දක්වන්නේ බියකි. ඒ මා පෙර කී පද්ධතිය විසින් තමන්ව බිලිගනු ඇතැයි යන බිය සිත් සතන් තුළ ඇතිවීමයි. තවද බොහෝ විද්‍යාර්ථීන් දැන් තනිකඩයින් නොව දරු මල්ලන්, පවුල් නඩත්තු කරන වගකීම් දරන අය වීමයි. තමන් කෙසේ හැඩ ගැසුනද, තමන්ගේ දරු මල්ලන්  ඇමරිකාවටත් වඩා සංකර වූ ශ්‍රී ලාංකික සංස්කෘතික හර පද්ධතියට කෙසේ අනුගත විය හැකිදැයි යන බියෙන් ඔවුන් පෙලේ. වෙනත් රටවල අධ්‍යාපනයට දෙනු ලබන ප්‍රමුඛත්‍වය රජයෙන් නිසි ලෙස ලබා නොදීම, විභාගවලට පමණක් හුරු කරවන, රේස් අශ්වයන් ඇති කිරීමේ විෂය මාලාවන්, විභාග රටාවන් නිසා විදේශයන්හිදී දරුවන් ලැබූ විවිධාංගීකරණය වූ අධ්‍යාපන රටාවෙන් මිදී යන්ත්‍ර බවට ඔවුන් පත් වීමේ බිය දෙමාපියන් සතුය. කිසිදු පාලනයක් නොවූ, කිසිදු ප්‍රමිතියකට යටත් නොවන ටෙලි නාට්‍ය, මනස වඩන අධ්‍යාපනික වැඩසටහන් අවම රුපවාහිනී වැඩ නාලිකා, නොයෙකුත් විසූක දස්සනයන්ගෙන් සපිරි රියැලිටි වැඩසටහන් වලින් යුත් රූපවාහිනි චැනල වැනි දෑ අසන දකින කිසිදු දෙමාපියෙකු සිය දරුවාගේ අනාගතය දැන දැනම අඳුරු කරන්නට කිසි විටෙක පෙළඹෙත්ද ?

එසේම කෙතරම් සුදුසුකම් තිබුණද, දේශපාලන හයියක්, දේශපාලන අතකොළුවක් නොවන කෙනෙකුට පෞද්ගලික අංශයේ වුවද සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලැබීම සිහිනයක් වැන්න. රටේ ජනාධිපතිවරණයේ සිට ගමක මරණාධාර සමිතිය දක්වා වූ තෝරා ගැනීම්වල කිසිදු විශ්වාසයක් නොමැත. දේශපාලනඥයන් 40 ක් මත්ද්‍රව්‍ය වෙළඳාමට ඍජුව සම්බන්ධ යැයි අගමැතිවරයාම පවසද්දී, වරෙන්තු නිකුත්කළ  සුධර්මන් රදැලියගොඩ වැන්නවුන් නිදහසේ සැරිසරද්දී, රටේ පවතින්නේ කුමන නීතියක්දැයි පිටරටවල සිටින, රටට ඒමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපේ රටේ ආයෝජනය කරන්නැයි ජනාධිපතිතුමා ආරාධනය කළේ මෑතකදීය. එසේ වනවා නම්, රට දියුණු වනවා නම් එය ඉතා හොඳ කටයුත්තකි. නමුත්, නොවිය යුතු බොහෝ දේ සිදු වෙද්දී සහ සිය දාඩිය මහන්සියෙන් උපයන යම් මුදලක් කප්පම් වශයෙන් දීමට සිදු වීම. අධික නිලධාරී වාදය, අකාර්යක්‍ෂමතාවය, අල්ලස් ගැනීම  වැනි කාරණා නිසා කිසිවෙකු ලංකාවේ එසේ ආයෝජනය කරාවි දැයි සැක සහිතය.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නැවතත් රටට පැමිණීමට බොහෝ කැමැත්තක් දක්වති. ඔවුහු බොහෝ දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය සහිත අයවළුන් වෙති. බොහෝ දෙනෙකුට ඉඩ කඩම්, වතුපිටි තවමත් ලංකාවේ ඇත. ඒ නිසාම සහ සිංහල අමතක වුවත් ශ්‍රී ලාංකික ලේ ඇඟේ දුවන නිසාම, ඔවුහු නැවතත් ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටිති. නමුත් රජයෙන් ඒ සඳහා සුදුසු අනුබලයක් ලැබෙන සෙයක් නොමැත. ඔවුනට කොතරම් කැමැත්තක් තිබුණද, සිටින තැනකින් අපායට වැටීමට කිසිවක් අකැමැතිය. එසේ නම් කල යුත්තේ ලංකාවේ ජීවන තත්ත්‍වය නඟා සිටු වීමයි. මංමාවත් තැනීම, නගර සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්‍වය ඉහළ නැංවීමේ කටයුතු ක්‍රියාවට නැංවිය යුතුය. සම-හරක් ඇමතිවරුන්ට අනුව ලංකාවේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නොමැත. එසේ වුවද ආදායමට සාපේක්‍ෂව වියදම දිනපතා ඉහළ යයි. සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යන මිනිහා දේශපාලනඥයෙකු හෝ හෙංචයියකු අතින් මියයයි. නමුත් ඒ පිළබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොමැත. විදේශයන්හි සාමකාමීව ආරක්‍ෂා සහිතව දිවි ගෙවන ශ්‍රී ලාංකිකයා නැවත රටට පැමිණීමට සැලසුම් කිරීමේදී මේ පිළිබඳ කිහිප විටක් සිතයි. සිය දරු මල්ලන්ගේ ආරක්‍ෂාව අන් සියල්ලට ම වඩා වැදගත් කොට සලකයි.

ඔවුනට නිසි ආරක්‍ෂාවක්, නීතියක් සාමයක් පිළිබඳ සහතිකයක් ලැබේ නම්, ඔවුහු නැවතත් ශ්‍රී ලංකාව කරා පැමිණෙනු ඇත. දූෂණය නාස්තිය සහ දේශපාලන ඇඟිලිගැසීම් නැති ලංකාවක් එනතුරු ඔවුන් බලා සිටිනු ඇත…

විද්‍යාත්මක පර්යේෂණ අතින් ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රාථමික තත්ත්‍වයකයි. දැනට SLINTEC ආයතනයේ සහ විශ්ව විද්‍යාල කිහිපයක සිදු වන පර්යේෂණ ඇරෙන්නට, රටට වැඩදායී, ලෝකයට වැඩදායී පර්යේෂණයක් එළි දැක්වෙන්නේ හෝ ඇසෙන්නේ නැති තරම්ය. ලෝකයේ වෙනත් රටවල දශක ගණනාවකට වඩා ඉහත දී සොයා ගැනුන දේ නැවතත් සොයාගැනීම වැනි (ඩස්ට් මයිටා නැවත සොයා ගැනීම) ඇදගෙන නෑමේ කටයුතු හැරෙන්නට වෙනත් සැලකිය යුතු යමක් අසන්නට නොමැත. මා දන්නා පරිදි, බටහිරින් ඉගෙන ගත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් අප සතුව ඇත. ඔවුහු සිය ආයතනයන්හි විස්කම් නිමැවුම් සහ පර්යේෂණ, සොයා ගැනීම් කරති. ඔවුන්ගේ බුද්ධිය අපට නැවතත් ලබා ගත හැක්කේ ඔවුනට සිය අනාගතය පිළිබඳ සහතිකයක් ලබා දීමෙන් පමණි. නැවතත් වතාවක් මා ලංකාවට පැමිණ යමක් කිරීමට සිතුවද, පවතින විකාරරූපී දේශපාලන රටාව සහ අවිනිශ්චිතභාවය නැවතත් මා වලක්වන ලදී….

මා වැන්නවුන් අනන්තවත් විදේශයන්හි සේවය කරමින් ජීවිතයේ හොඳම කාළය විදේශයනට පූජා කරමින් සිටිති. ඔවුන් නැවතත් ගෙන්වාගෙන ලංකාව ආශ්චර්යයේ මාවත කරා ගෙන යාම කළ යුත්තේ මහජනතාව නොව රට වෙනුවෙන් සැලසුම් හදන්නන් සහ පාලක පාර්ශවයන් ය. එය කවදා හෝ සිදු නොවනතුරු රටට වැඩදායී කරගත හැකි බුද්ධිමත් මිනිසුන් රාශියක් අන් රටවල් පෝෂණය කරමින් සිටිනු ඇත. ලංකාව සම්පත් වලින් අනූන රටකි, ඒ සියල්ලටම වඩා ශක්තිමත් සහ බුදුධිමත් මානව සම්පතක් අප සතුව ඇත. එය හරියට කළමණාකරණය කර ගතහොත් අසල්වැසි රටවල් පවා පැරැද්දවීමට අපට නොහැකිවා නොවේ.

%d bloggers like this: