2012 ජුනි 05: ආශ්චර්යය කරා නැවත පැමිණීම….. එය කළ හැක්කක්ද ?


නැවතත් මම දෙබරයකට ගල් ගැසීමට සූදානම් වෙමි. මෙය එසේ මෙසේ දෙබරයක් නොවේ… විසාල දෙබරයකි. මේ කාරණය සම්බන්ධයෙන් දෙපක්‍ෂයටම සිය මත ඉදිරිපත් කිරීමට සාධාරණ හේතු ඇත…. ආත්මාර්ථකාමීත්‍වයට පයින් ගසා පරාර්ථකාමීත්‍වය කැටි කරගත් දේශප්‍රේමය කුළු ගන්වාගත් මහානුකම්පාව පෙරදැරිකරගෙන යමෙකුට මේ ගැන කතා කළ හැක. තවත් කෙනෙකුට අනුන්ට කෙළවූවත් තමන්ට හරි යායුතුය යන න්‍යාය පෙරදැරිකරගෙන තර්ක කළ හැක… මේ මගේ මතයයි…. අපි විවෘතව කතා කරමු.

මා උපන්නේ ශ්‍රී ලංකාවේය. තවමත් මගේ ජාතිකත්‍වය ශ්‍රී ලාංකික ය. පළමු පන්තියේ සිට උසස් පෙළ තෙක් මා උගත්තේ රජයේ පාසල්වල මහජන බදු මුදලිනි. එසේ නම් මා රටට ජාතියට ණයය. ඒ මගේ අධ්‍යාපනය වෙනුවෙන් රටෙන් සිදු වූ සේවය අරභයා යි. ටික කාලයක් ලංකාවේ සේවය කළ මා පිට රටට ආවේ උසස් අධ්‍යාපනය ලබන්නටයි. ලංකාවේ ලබා ගත නොහැකි රසායන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගනු පිණිසයි. අවුරුදු 27ක්ම ලංකාවේ අවුල් සහගත ජීවන රටාව සමග හැප්පුණු මම ක්‍රමවත්, නීතිගරුක මේ ජීවන රටාව වැලඳ ගත්තේ නිතැතින්මය.

“අයිතිවාසිකම් ලබා ගැනීමට නම් මුලින් සිය යුතුකම් ඉටු කළ යුතුය” යන්න මා කුඩා කළ සිටම ඇදහූ ධර්මයකි. යුනිලීවර් ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති නිවුටන් පෙරේරා සමග හැප්පුනේ ද මේ ධර්මතාවයෙහි එල්බ කටයුතු කිරීම නිසාය. යූනියන් ප්‍රතිපත්ති සහ ඒ පද්ධතියට අනුගත වීමට මට නොහැකි විය. මේ නිසාම ගැටුම් ඇතිවිය. සමහර මිතුරන් මා ඇමරිකන් කාරයෙකු ලෙස හංවඩු ගැසුවේද මේ ලාංකීය මොඩලයේ මා නොසිටි නිසාවෙනි. ටික කලකින්ම මා ඇමරිකානු වෘත්තීය හර පද්ධතීන් වලට අනුගත වූවද සංස්කෘතිකව ඇමරිකන් කාරයෙකු නොවීමි. ඒ වෙනුවට මගේ ශ්‍රී ලාංකික සංස්කෘතිකය එළියට පැමිණුනි. ලංකාව වෙනුවෙන් මහා වැඩ කොටසක් කිරීමට නොහැකි වූවද මා උසස් අධ්‍යාපනය ලැබීමට රිසි බොහෝ දෙනෙකුට මඟ පෙන්වීමට උත්සාහ ගතිමි. එය ලිපි මගින්, ලංකාවට පැමිණි අවස්ථාවල සිදුකළ දේශන මගින් මෙන්ම වෙනත් මාර්ගයන්ගෙන් ඉටු කිරීමට උත්සාහ ගතිමි. දැනට අධ්‍යාපනය අතින් මටත් වඩා සාර්ථකත්‍වයක් ලබා ඇති මගේ සොයුරු ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ හෘද සාක්‍ෂියන් ඊට සාක්‍ෂි සපයනු ඇත.

යුද්ධය නිම වන විට අනෙකුන් මෙන්ම මා ද දෑස් අයා බලා සිටියේ සශ්‍රීකත්‍වය කරා පා නගන ලංකාවක සිහිනයයි. මාර්ග පද්ධති වැඩි දියුණු වෙද්දී, කොළඹ නගරය දියුණු වෙද්දී, උතුරු නැගෙනහිර සංවර්ධනය වෙද්දී මගේ සිතේද නැවතත් ශ්‍රී ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනය කෙමෙන් කෙමන් මෝදු වන්නට විය. රසායන කර්මාන්ත අංශය අතින් ලංකාව දියුණු නොවුනත්, එප්පාවල ඇපටයිට් නිධිය, පුල්මුඩේ ඛණිජ වැලි නිධිය, පරන්තන් රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වැනි අප රටට සරිලන, රසායනිකව වැදගත් වන ස්ථාන නව සංකල්ප වලට අනුව දියුණු වනු ඇතැයි මමද සිහින මැවුවෙමි. විශ්ව විද්‍යාලයක රටට සරිලන විද්‍යා පර්යේෂණයක් ඇරඹිමට මමද කෙටුම්පත් සැකසූවෙමි. ආචාර්ය උපාධියෙන් පසු ටික කලක පුහුණුවකින් අනතුරුව ලංකාවට ගොස් සේවය කිරීමේ සිහිනයෙන් මමද පෙළුණෙමි.

අන් සියල්ල යටපත් කරගෙන දේශපාලන කුහකත්‍වය මතුවීම, සුදුස්සාට නොව ඥාති මිත්‍රාදීනට තනතුරු ලැබීම, සියළුම අංශවල ඒකාකාරී පරිහාණිය මෙන්ම දැනට සේවය කරන්නන්ගේ කළකිරීම ආදිය දකිනවිට, අසන විට මගේ ශ්‍රී ලාංකික සිහිනය ද කෙමෙන් කෙමෙන් බොඳව යන්නට විය… මා දකින්නට නිති පෙරුම් පුරන දෙමාපියන් – ඥාති මිත්‍රාදීන් පවා නැවත නොඑන්නැයි පැවසූවේ පවසන්නේ ඔවුන් මා පිළිබඳ හොඳින්ම දන්නා නිසාවෙනි. පද්ධතියට අනුගත නොවන කල්හි පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ දරන්නාට සිදුවන්නේ පද්ධතියේ ගොදුරක් බවට පත් වීමටයි. එය එක්කෝ පද්ධතිය විසින්ම උරා ගන්නා අතර ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාව වන්නේ පද්ධතිය විසින් ඒ තැනැත්තා විනාශ කිරීමයි. එයින් මා හට දෙවැන්න සිදු වීමේ ඉඩ කඩ බොහෝ වැඩි ය. ඒ නිසාම මා ගැන දන්නා අය මගේ ආගමනය වලක්වන්නේ මට සිදුවිය හැකි අනතුර දන්නා නිසාමය.

මා දන්නා බොහෝ විද්‍යාර්ථීන්ගේ තත්ත්‍වය මෙසේම වේ. කිසිවකුට නැවතත් ආශ්චර්යය කරා පානැගීමේ දැඩි උවමනාවක් නොමැත. එසේ සාර්ථක වූවන් නැවත ගෙන්වා ගැනීම ගැන කෙතෙක් කතා කළද, ක්‍රියාවට නැංවීමට හැකියාවක් නැත. එසේ වීමට හේතු කීපයකි. විදේශයන්හි වෘත්තීයමය හර පද්ධතීනට අනුතගව ඇති පුද්ගලයින් එසේ නොවන පද්ධති වලට දක්වන්නේ බියකි. ඒ මා පෙර කී පද්ධතිය විසින් තමන්ව බිලිගනු ඇතැයි යන බිය සිත් සතන් තුළ ඇතිවීමයි. තවද බොහෝ විද්‍යාර්ථීන් දැන් තනිකඩයින් නොව දරු මල්ලන්, පවුල් නඩත්තු කරන වගකීම් දරන අය වීමයි. තමන් කෙසේ හැඩ ගැසුනද, තමන්ගේ දරු මල්ලන්  ඇමරිකාවටත් වඩා සංකර වූ ශ්‍රී ලාංකික සංස්කෘතික හර පද්ධතියට කෙසේ අනුගත විය හැකිදැයි යන බියෙන් ඔවුන් පෙලේ. වෙනත් රටවල අධ්‍යාපනයට දෙනු ලබන ප්‍රමුඛත්‍වය රජයෙන් නිසි ලෙස ලබා නොදීම, විභාගවලට පමණක් හුරු කරවන, රේස් අශ්වයන් ඇති කිරීමේ විෂය මාලාවන්, විභාග රටාවන් නිසා විදේශයන්හිදී දරුවන් ලැබූ විවිධාංගීකරණය වූ අධ්‍යාපන රටාවෙන් මිදී යන්ත්‍ර බවට ඔවුන් පත් වීමේ බිය දෙමාපියන් සතුය. කිසිදු පාලනයක් නොවූ, කිසිදු ප්‍රමිතියකට යටත් නොවන ටෙලි නාට්‍ය, මනස වඩන අධ්‍යාපනික වැඩසටහන් අවම රුපවාහිනී වැඩ නාලිකා, නොයෙකුත් විසූක දස්සනයන්ගෙන් සපිරි රියැලිටි වැඩසටහන් වලින් යුත් රූපවාහිනි චැනල වැනි දෑ අසන දකින කිසිදු දෙමාපියෙකු සිය දරුවාගේ අනාගතය දැන දැනම අඳුරු කරන්නට කිසි විටෙක පෙළඹෙත්ද ?

එසේම කෙතරම් සුදුසුකම් තිබුණද, දේශපාලන හයියක්, දේශපාලන අතකොළුවක් නොවන කෙනෙකුට පෞද්ගලික අංශයේ වුවද සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලැබීම සිහිනයක් වැන්න. රටේ ජනාධිපතිවරණයේ සිට ගමක මරණාධාර සමිතිය දක්වා වූ තෝරා ගැනීම්වල කිසිදු විශ්වාසයක් නොමැත. දේශපාලනඥයන් 40 ක් මත්ද්‍රව්‍ය වෙළඳාමට ඍජුව සම්බන්ධ යැයි අගමැතිවරයාම පවසද්දී, වරෙන්තු නිකුත්කළ  සුධර්මන් රදැලියගොඩ වැන්නවුන් නිදහසේ සැරිසරද්දී, රටේ පවතින්නේ කුමන නීතියක්දැයි පිටරටවල සිටින, රටට ඒමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපේ රටේ ආයෝජනය කරන්නැයි ජනාධිපතිතුමා ආරාධනය කළේ මෑතකදීය. එසේ වනවා නම්, රට දියුණු වනවා නම් එය ඉතා හොඳ කටයුත්තකි. නමුත්, නොවිය යුතු බොහෝ දේ සිදු වෙද්දී සහ සිය දාඩිය මහන්සියෙන් උපයන යම් මුදලක් කප්පම් වශයෙන් දීමට සිදු වීම. අධික නිලධාරී වාදය, අකාර්යක්‍ෂමතාවය, අල්ලස් ගැනීම  වැනි කාරණා නිසා කිසිවෙකු ලංකාවේ එසේ ආයෝජනය කරාවි දැයි සැක සහිතය.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නැවතත් රටට පැමිණීමට බොහෝ කැමැත්තක් දක්වති. ඔවුහු බොහෝ දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය සහිත අයවළුන් වෙති. බොහෝ දෙනෙකුට ඉඩ කඩම්, වතුපිටි තවමත් ලංකාවේ ඇත. ඒ නිසාම සහ සිංහල අමතක වුවත් ශ්‍රී ලාංකික ලේ ඇඟේ දුවන නිසාම, ඔවුහු නැවතත් ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටිති. නමුත් රජයෙන් ඒ සඳහා සුදුසු අනුබලයක් ලැබෙන සෙයක් නොමැත. ඔවුනට කොතරම් කැමැත්තක් තිබුණද, සිටින තැනකින් අපායට වැටීමට කිසිවක් අකැමැතිය. එසේ නම් කල යුත්තේ ලංකාවේ ජීවන තත්ත්‍වය නඟා සිටු වීමයි. මංමාවත් තැනීම, නගර සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්‍වය ඉහළ නැංවීමේ කටයුතු ක්‍රියාවට නැංවිය යුතුය. සම-හරක් ඇමතිවරුන්ට අනුව ලංකාවේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නොමැත. එසේ වුවද ආදායමට සාපේක්‍ෂව වියදම දිනපතා ඉහළ යයි. සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යන මිනිහා දේශපාලනඥයෙකු හෝ හෙංචයියකු අතින් මියයයි. නමුත් ඒ පිළබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොමැත. විදේශයන්හි සාමකාමීව ආරක්‍ෂා සහිතව දිවි ගෙවන ශ්‍රී ලාංකිකයා නැවත රටට පැමිණීමට සැලසුම් කිරීමේදී මේ පිළිබඳ කිහිප විටක් සිතයි. සිය දරු මල්ලන්ගේ ආරක්‍ෂාව අන් සියල්ලට ම වඩා වැදගත් කොට සලකයි.

ඔවුනට නිසි ආරක්‍ෂාවක්, නීතියක් සාමයක් පිළිබඳ සහතිකයක් ලැබේ නම්, ඔවුහු නැවතත් ශ්‍රී ලංකාව කරා පැමිණෙනු ඇත. දූෂණය නාස්තිය සහ දේශපාලන ඇඟිලිගැසීම් නැති ලංකාවක් එනතුරු ඔවුන් බලා සිටිනු ඇත…

විද්‍යාත්මක පර්යේෂණ අතින් ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රාථමික තත්ත්‍වයකයි. දැනට SLINTEC ආයතනයේ සහ විශ්ව විද්‍යාල කිහිපයක සිදු වන පර්යේෂණ ඇරෙන්නට, රටට වැඩදායී, ලෝකයට වැඩදායී පර්යේෂණයක් එළි දැක්වෙන්නේ හෝ ඇසෙන්නේ නැති තරම්ය. ලෝකයේ වෙනත් රටවල දශක ගණනාවකට වඩා ඉහත දී සොයා ගැනුන දේ නැවතත් සොයාගැනීම වැනි (ඩස්ට් මයිටා නැවත සොයා ගැනීම) ඇදගෙන නෑමේ කටයුතු හැරෙන්නට වෙනත් සැලකිය යුතු යමක් අසන්නට නොමැත. මා දන්නා පරිදි, බටහිරින් ඉගෙන ගත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් අප සතුව ඇත. ඔවුහු සිය ආයතනයන්හි විස්කම් නිමැවුම් සහ පර්යේෂණ, සොයා ගැනීම් කරති. ඔවුන්ගේ බුද්ධිය අපට නැවතත් ලබා ගත හැක්කේ ඔවුනට සිය අනාගතය පිළිබඳ සහතිකයක් ලබා දීමෙන් පමණි. නැවතත් වතාවක් මා ලංකාවට පැමිණ යමක් කිරීමට සිතුවද, පවතින විකාරරූපී දේශපාලන රටාව සහ අවිනිශ්චිතභාවය නැවතත් මා වලක්වන ලදී….

මා වැන්නවුන් අනන්තවත් විදේශයන්හි සේවය කරමින් ජීවිතයේ හොඳම කාළය විදේශයනට පූජා කරමින් සිටිති. ඔවුන් නැවතත් ගෙන්වාගෙන ලංකාව ආශ්චර්යයේ මාවත කරා ගෙන යාම කළ යුත්තේ මහජනතාව නොව රට වෙනුවෙන් සැලසුම් හදන්නන් සහ පාලක පාර්ශවයන් ය. එය කවදා හෝ සිදු නොවනතුරු රටට වැඩදායී කරගත හැකි බුද්ධිමත් මිනිසුන් රාශියක් අන් රටවල් පෝෂණය කරමින් සිටිනු ඇත. ලංකාව සම්පත් වලින් අනූන රටකි, ඒ සියල්ලටම වඩා ශක්තිමත් සහ බුදුධිමත් මානව සම්පතක් අප සතුව ඇත. එය හරියට කළමණාකරණය කර ගතහොත් අසල්වැසි රටවල් පවා පැරැද්දවීමට අපට නොහැකිවා නොවේ.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූනි 5, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 15.

  1. ඔබත් මාත් ජීවත් වෙන්නේ එකම රටේ. දෙකොණක. මමත් නිතරම ඔබ මෙන්ම හීන මවන්නෙක්.
    ජීවත්වෙන්න , ඉගෙන ගන්න , රැකියාවක් කරන්න , ඉතිරි කරන්න , මිනිහෙක් වගේ සැනසිල්ලෙන් විශ්‍රාම සුව විඳින්න සුදුසු ලෝකයේ තියෙන රටවල් අතරින් එකක් ඇමරිකාව. ඉඳල හිටල සමහර සිද්ධි අපි දකිනවා ප්‍රවෘත්ති වල. රටේ විශාලත්වය හා ජනගහනය සලකා බලන විට ඒවා ඉතාම සුළු සිද්ධි.

    රටක් දියුණු වෙන්න එහි විශාලත්වය හා සම්පත් බලපාන්නෙ නෑ. ලංකාව
    තරම් යහපත් කාළගුණයක් හා සරු පසක් ලොව කොහේවත් නැහැ. සම්පත් කළමණාකරනයේ අවුල තමා අපට ඇති එකම ගැටළුව.

    තට්ටු මාරු ක්‍රමයට වරින් වර බලයට එන ආණ්ඩු තම තමන්ගේ බඩ වඩා ගන්නවා මිස රටට සේවයක් කරන්න හිතන්නෙ නෑ. එහෙම කරන්න හිතන කෙනෙකුට ඉඩ දෙන්නෙත් නෑ.

    මගේ බ්ලොග් එකේ සමහර තැන් වල ලියා ඇති පරිදි.. රටක නීතිය වල් වැදුනු කල කවර කතාද ? රටක නීතිය ගින්දර මෙන් විය යුතුය. ගින්දරට හැමෝම පිළිස්සේ. බලවතාට හා දුබලයාට එහි රශ්මිය අඩු වැඩි නොවිය යුතුය. අන්න මුල එතන. එතැනින් පටන් ගත්තාම අනික්වා ඉබේටම හරියනවා ඇත.

    අපේ රටේ හොඳ කියන්න ගිහින් මා නිතරම අතරමං වෙන ප්‍රශ්නෙ….” උඹලගෙ රට ඔච්චරම හොඳ නම් මෙහේ ආවෙ ඇයි ” කියන එක.

    කැමතියි

  2. ලංකාව අතහැර වෙනත් රටකට තාවකාලිකව හෝ ස්ථිරවම පදිංචියට යන එකේ වරදක් මම දකින්නේ නැහැ. ඒකට කෙනෙකුට නිදහසක් තියෙන්න ඕනි. ඒවගේම නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන ගත්තා කියන්නේ තමන්ගේ හැකියාව. ඒක කරුමයක් වෙන්න ඕනිත් නැහැ.

    ඒත් සමහර උගත්තු තමන්ට ලංකාවේ ඉන්න බැරි හේතු ලෙස ඉදිරිපත් කරන කාරණා ගැන මට පුදුමත් හිතෙනවා. ඒතරම් උගත්කමක් නැති නිල් කොලර් ජොබ් කරන අය කියන කතා මීට වඩා යථාර්ථවාදීයි.

    කැමතියි

  3. මමත් ඔබගේ අදහස් වලට එකඟයි. මම සිටින්නේ ඔබේ තත්වයේ අනිත් පැත්තේ. අවුරුදු කීපයක් රටවල් කීපයක (සිංගප්පූරුව හා ජපානය) අධ්‍යාපනය ලැබීමෙන් හා රැකියා කිරීමෙන් පසු නැවත ලංකාවට පැමිණියේ නැවත මවු රටේ ජීවත් වීමේ ආසාව නිසා. නමුත් පලමුවෙන්ම ලැබූ රැකියාවෙන්ම මගේ නීතියට අනුකූලව හා කාර්්‍යයක්ෂමව කිරීමේ වැරැද්ද නිසා මටම එපා වී ඉන් ඉවත් වී වෙනත් විදේශිකයෙකු යටතේ ලංකාව තුල වෙනත් රැකියාවක් කරමි. ඔහු විදේශිකයෙක් නිසා මගේ පුරුදු වලට ගැලපෙන ලෙස ආයතනය මෙහෙයවයි. නමුත් දිනෙන් දිනම ඇතිවන කලකිරීම නිසා නැවතත් විදේශගතවීමේ අවස්ථාවක් බලා සිටිමි.

    ඔබගේ ලිපියේ තිබූ කරුණු බොහෝ දේ නියම සත්‍ය බව ඕනෑම කෙනෙකුට වැටහේවි.

    මා දින කීපයකට පෙර කාර්්‍යාලයේ අවශ්‍යතාවයක් සඳහා රේගුවේ (කස්ටම්) වැඩක් කර ගැනීමට ගියෙමි. ගියේ මගේ ප්‍රධානියා වන විදේශිකයාගේ ඇලියොන් රථයෙනි. පලමුවෙන්ම මගේ වාහනය දකිද්දීම මට ඇසුනේ ගේට්ටුව අසලදී “හොඳ අලියෙක්, ගානක් සෙට් වෙයි“ කියන රුවන් වැකියයි. අවශ්‍යතාවය සඳහා නියමිත ගාස්තුව වූ රුපියල් 40000 ආසන්න මුදල ගෙවා සියලුම ලිය කියවිලි බාර දුන් අතර දින කීපයක් ගත වුවත් අදාල කාර්්‍යයට අනුමැතිය නොලැබුනි. දන්නා අඳුනන කෙනෙකු මාර්ගයෙන් සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ තවත් ගෙවිය යුත් ගාස්තුවක් වශයෙන් රුපියල් ලක්ෂයක් ඇති බවයි. නමුත් මට ඇති ප්‍රශ්නය වන්නේ මේ ගාස්තුවට අදාල රිසිට් පත් නිකුත් නොකිරීමයි. මා එය ගෙවා කෙසේ හෝ කාර්්‍යය කරගන්නට හැකියාව තිබුනද රිසිට් පත් මා ආයතන ප්‍රධානී විදේශිකයාට ඉදිරිපත් කළ නොහැකි නිසා ඒ මුදල මා ලබා ගත් බව සිතන්නට ඉඩ ඇත.

    ලංකාව තුල ආයෝජනය කරන්නට කියන්නේ මෙවන් පසුබිමක් තුලද?

    කැමතියි

  4. අසීරු මොහො‍තේ පිටට පැන සැපසේ ඉඳ දැන් මෙහෙට පනින්න උවමනාවක් නැත මැතිඳුනි. ඔය හිටියා වගේම දැහැමෙන් සෙමෙන් ඔහේම වෙසෙන්න. ලංකාවට උගතුන් පොදි පිටින් ඇවසි නැත. මෙවැනි රටකට ඇවසි පොළව සමඟත් කර්මාන්ත ආදිය සමඟත් ගැටිය හැකි මධ්‍යස්ථ උගත් කය වෙහෙසිය හැකි අයවළුන්ය. ඔබ වැන්නන් නඩත්තු කිරීමට වන්නේත් අවසානයේ නූගත් කම්කරුවන්ටය. එහෙයින් ඔය සිටි ආකාරයෙන්ම ඇමරිකාවට වී සිටීම මෙරට වෙසෙන දුප්පතුන්ට තව සුළු හෝ බරක් අඩු වීමක් මිස කරදරයක් නොවේ.

    කැමතියි

  5. //පද්ධතියට අනුගත නොවන කල්හි පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ දරන්නාට සිදුවන්නේ පද්ධතියේ ගොදුරක් බවට පත් වීමටයි.//
    මෙම අදහසට නම් 100%ක් එකඟ වෙමි..

    කැමතියි

  6. වීදුරු ගෙවල්වල සිට අනුන්ට ගල් නොගැසිය යුතු යැයි සඳහන් වැදගත් කියමනක්ද තිබේ.ඉන් අදහස් වනුයේ දුබලතා තිබෙන අය, අනුන්ව විවේචනයකිරීමට පෙර මුලින්ම තමන් නිවැරදි විය යුතු බවයි. නමුදු අද සිදුවනුයේ මුලින්ම නිවැරදි කරන්නටඋත්සහ කරනුයේ අනුන්වය. දෙවෙනිව හෝ තමන් නිවැරදිවීම පසෙකතබා වඩවඩාත් වැරදිඅතටම යෑමට පෙළඹීම මේඅයගේ සිරිතයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදීබවේ වැදගත්වූ ලක්ෂණයකි. නමුදුඅද අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් හා ඉඩකඩක් ලැබෙන්නේ එකම අනුකාරයක පැළැන්තියකට පමණකි.කෙතරම් උසස් ස්වාධීන අදහසක් වුවද මේඅනුකාරකවාදී පෙළැන්තිය නිසා පළ කර ගැනීමට කිසිදු ඉඩක් හිමි නොවීම අවාසනාවන්ත තත්වයකි. මේනිසා මේ ඇත්තන්ට අද සිය සෘජු නිර්මාණශීලි අදහස් ප්රුකාශ කරන්නට සිදුවීඇත්තේ අමුතුම වක්රත මඟ කිනි.සැබෑව නම් එයයි.එබඳුදේ බුද්ධිමතුන්ට වැටහේ.ඒ ක්රිදයාමාර්ග ගන්නේ ඒඅයට නිවැරදිව වටහා ගැනීම සඳහාමය.
    බුද්ධිමතුන් සිටිනුයේ විශ්වවිද්යා.ල හෝ උසස්අධ්යාසපන ආයතනවල පමණක් නොවේ. අද එබඳු තැන්වල නැත්තේද උගතුන් බුද්ධිමතුන්බවද පැවසේ.ඇතැම්විට මේබව පවසන්නේද සරසවි වල උගන්වන ආචාර්ය මහාචාර්ය වරුන්මවීම හාස්යැජනකය.මේ පිළිබඳව අපට සිතන්නට ඇත්තේ ඔවුන් ඇතැම්විට ඇත්ත කතා කිරීමටද කැමැත්තෙන් පසුවන බවය.සමහරු තමා බලාපොරොත්තු වන උසස් තනතුරු,වරප්ර්සාද සරසවිවල නොලැබුණවිට ජන මාධ්යන තුළින් ඒවා‍යේ වැරදි විවේචනය කරනු දැකියහැක.එසේ විවේචනය කරමින් සිටිද්දී සරසවිවල අධ්යායනාංශ වල මුල් පුටු හිමිවීම නිසා යළිත් ඒවායේ නැතිගුණ සිහිවී වර්ණනා කිරීමටද යොමුවන අය පවා සිටිති. අනුභව කිරීමට අවශ්ය වූවිට කබරගොයාත් තලගොයා කරගන්නා උදවියටනම් ඒවා එතරම් විශාල දේවල් නොවිය හැක.සමහරුන්ට උගත්කම හා බුද්ධිමත්කම දෙකම පටලැවේ.ඇතැම්විටකදී විශ්වවිද්යාිලවල හෝ උසස් අධ්යා පන ආයතනවලද බුද්ධිමතුන් සිටිය හැකිය. එසේ වුවද අද ඒවායේ වැඩකටයුතු සිදුවන ආකාරය අනුව සලකා බැලූවිට පැහැදිලි වනුයේ ඒ අදහසේ කිසිදු ගතයුතු හරයක් නොමැති බවයි. බුද්ධිමත්කම නැති පතපොතේඋගතුන් වුවද ඒවායේ සිටිය හැක.වඩාත් නිර්මාණශීලී බුද්ධිමතුන් සිටිනුයේඒවා තුළ නොව බාහිර සමාජයේය. සමාජඋගත්කම සෑම උපාධියකටම වඩාවටී. උපාධිය යනු උගත්කම පිළිබඳ අදාළ එක් නිර්ණායකයක් පමණි.අද දේශපාලන හයිකාරකම් ලැබ යහතින් වැජඹෙන පාතාල ලෝකයේ ජාවාරම්කාර මදාවියන්ට පවා ආචාර්ය උපාධි පට්ටම් ඇතිබව අමතක නොකළ යුතුය.උපාධියට පරිබාහිර උගත්කම පිළිබඳ සමාජ නිර්ණායක විශාල ප්රපමාණයක් පවතී. ගුණවත්කමද උගත්බවේ එක් නිර්ණායකයකි.එබඳු සමාජ නිර්ණායක හිමිකරගත් අයට ඉහතකී එකම නිර්ණායකවූ උපාධිය නැතිවවුවද නිර්මාණශීලී බුද්ධිමතෙකු වීමට සමාජයේ කිසිදු බාධාවක් නැත.නමුදු සමහරු සිතනුයේ විශ්ව විද්යා ලයෙන් ලබන පතපොතේ දැනුම උගත්කම පිණිස අදාළ එකම මහාපොදු සාධකය ලෙසටය.නමුදු විශ්ව විද්යා ලයෙන්ලැබෙන ශාස්ත්රීනය පර්යේෂණ දැනුම පහත් කර සැලකීමක් මින් අදහස් වෙතැයි වරදවා නොවටහා ගත යුතුය.
    සමහරු දේශයට,සංස්කෘතියට,ආගමට ගරුකරන බව මතුපිටට පෙන්වනුයේ සැබවින්ම ඔවුන් ඒවාට ගරු කරන නිසා නොවේ.ඒවාට ගරුකරන,ඒවා රැකීමට දිවිනොතකා සටන්කරන බව පෙන්වා ඉන්උදරපෝෂණයලැබීම පිණිසය. සමහරු බොරුවට සටන්පාඨ කියති.සැබවින්ම ඒවා රැකීමට සටන් කළ අයට සිනා පහළ වෙන්නේ ඒවා දුටු විටය. යුදබිම මැද මහසටනක නිරතවන රණවිරුවන්ට නොමැතිදේශප්රේකමී අදහස් වායුසමනය කළ කාමරවලට වී දිව බොජුන් හා සමාන අහර වළඳමින් පස්කම් සුව විඳිමින් අඹුදරුවන් පෝෂණයෙහි නිමග්නවූ ඇවිදින මස්පරුවත බඳු පුද්ගලයින්ට ඇතිවීම අදහාගත නොහැක. ඒවා දුටුවිට සිනා නැ‍ඟෙනුයේ මුවින් පමණක් නොවේ. දෙකොනින්ම සිනා නැ‍ඟෙනවා යන්නෙහි නියම ‍තේරුම එයයි.සමාජය මෙබඳු වංචනික අදහස් ඇත්තන් නිසියාකාරව වටහාගැනීමටද බුද්ධිමත්විය යුතුය. නැතිනම් කියන, ඇසෙන,කියවනදේ එක්වරම ගිල නොදමා පවසන කරුණුවල සත්යී අසත්යිතාවය විචාර පූර්වකව විමසා බැලීමට තරම් මධ්යටස්ථ බවක් ඇති කර ගත යුතුය.නැතහොත් ඔවුන් අපේ සමාජය ඇඳගෙන මේ යන්නේ කොතැනකට දැයි සිතින්වත් සිතා ගත නොහැක. මිනිසුන් බුද්ධිමත්ව සිතිය යුතු බව පැවසුවාට බලහත්කා රෙන් ඔවුන්ව බුද්ධිමතුන් කළ නොහැක.හැකියාව ඇත්තේ නිසිමඟ පෙන්වීමට පමණි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමේ අර්ථයක් නැත.එනිසා පසුව පසුනොතැවීමට නම් කළයුතුදේ ඉඩ ලැබී ඇතිවිට නොපමාව කළ යුතුමය.
    මීයක් කඩන්නේ අතලෙව කන්නටම නොවේ.මෙබදුඅයගේ උත්සහයවනුයේ කෙසේහෝ කර තමාගේ රැකී රක්ෂා සම්පාදනය කරගෙන උදරපෝෂණය කරගැනීම පමණි.එනිසා බාහිරව දෘෂ්යරමාන සතුරන්ට වඩා ප්රළවේශම් විය යුත්තේ මෙබඳුඅයගෙනි.මන්ද සතුරා සෘජුව විවෘතව එදිරිවාදිකම් කරන අතර මෙබඳු අයගේ සතුරුකම් රහසේ සිදුවිය හැකි බැවිනි. අ‍ඟේ සිට කණ කන්නේ මෙබඳු අයයි. එනම් ළංව සිටිමින් විරුද්ධවාදීකම් හා සතුරුකම් බහුලව මෙබඳු අයගෙන් සිදු වේ. බලවත්ව සිටින උදවිය වඩා ප්රබවේශම් වියයුතු වනුයේද මෙබඳු අයගෙනි. තමාට ළංව සිට සතුරා වෙත රහස් ගෙනයෑමට මෙබඳු අය බහුලව භාවිතාවීම එක් සතුරු උපක්රශමයක් බැවිනි. මේ කාලයේ මිනිසුන්ගේ මානව ගුණ දම් වේගයෙන් පිරීහීයමින් පවතින බැවින් සතුන්ගෙන් ආරක්ෂා වීමට වඩා ප්රනවේශම් විය යුත්තේ මිනිසුන්ගෙනි.අතදෙන අතරම කකුලෙන්ද ඇදීමට මිනිසා තරම් හපනෙක් තවත් නැති තරම්ය. මේ නිසා තමාගේ පෞද්ගලිකත්වය හැකිතාක් තමාටම සීමාවීම මේ යුගයේ මානව චර්යාව අනුව වඩා සුබදායකය.නැතහොත් සිදුවනුයේ තමාගේ රහස් තමාගේම මුවින් අසාසිට,අතින්ද තව කරුණු එකතු කර පදමට ලුණු ඇඹුල්ද දමා, තමන් සොයා ගත්තාක් මෙන් අනුන්ට පවසා හිත යටින් සතුටුවීමට මිනිසුන් හුරු පුරුදුව සිටින බැවිනි. නවීන තාක්ෂණයට වඩා කටකතා බොහෝ වේගවත්ය.
    සාර්ථක පුද්ගලයින් පසුපස කටකතා ඉතාවේගවත්ව පැමිණේ.ඕනෑම සාර්ථක පුද්ගලයෙකු පිළිබඳව මෙය එක ලෙස අදාළය.ඒනිසා කටකතා පිළිබඳ අනවශ්යි අවධානයක් යොමු කිරීම අවශ්යමදෙයක් නොවේ.ඕනෑමකෙනෙකු සම්බන්ධයෙන් තවත්අයෙකුට ඕනෑමදෙයක් කිව හැකිය.එය ප්රඅජාතත්ත්රිවාදී සමාජඅයිතියකි.එවිට අනෙකාගේ මානව හිමිකම් මේනිසා කඩවේදැයි සොයාබැලීමට තරම් විවේකබුද්ධියක් කටකතා ශ්ර‍වණයකරනඅ‍නෙක්අයට තිබිය යුතුය. නැතහොත් කෙතරම්හොඳ පුද්ගලයෙකුවුවද ක්ෂණයකින් සමාජය ඉදිරියේ නරක අයෙකු කිරීමට දුර්ජනයෙකුට ගත වනුයේ ඉතාසුළු කාලයකි.තොරතුරු සන්නිවේදනයට පිළිගත් ක්ෂණික තාක්ෂණික ක්රනමවේද රාශියක් පැවතියද අප සමාජයේ තවමත් විශ්වාසදායක ආරංචි මාර්ග ලෙස කට කතා වලට හිමිව ඇතිතැන තාක්ෂණයට නැත.සමහරු සිතා මතාව යමෙකුව අපහසුතාවයට ලක් කිරීම සඳහා ව්යාටජ කටකතා නිර්මාණය කරති.ඒසඳහා පුංචිපහේඇත්තක්ද දමා ගැනීම මෙබඳු කට කතා නිර්මාණකරුවන්ගේ සිරිතයි.එවිට ඒ පුංචිඇත්ත අසන සෙස්සන් සිතනුයේ මුළු කට කතාවම සත්යුයකැයි කියාය.මෙබඳු දේවලට ඕනෑතරම් නිදසුන් සමාජයෙන් ඉදිරිපත් කළ හැක. නමුදු එවැන්නකින් සිදුවනුයේ තවතවත් එබඳු මඩපිරුණුකටකතාවලට අත්තටු ලැබීමක් වන හෙයින් ඒවාට නිදසුන් සැපයීමද අයෝග්යුසේ පෙනේ.
    අද සමහරු නවීනතාක්ෂණය භාවිතාකරනුයේද අනුන්ට විවිධ හිරිහැර සිදු කිරීම සඳහාමය. අනුන්ගේ දියුණුව නුරුස්නා අය බහුලව එසේ කරති. අත ඇති ජංගම දුරකථනය ලොව සැනෙකින් විශ්ව ගම්මානයක් බවට පත්කරවයි.ඒ තාක්ෂණය නිවැරදිව ප්රනවේශම්සහිතව භාවිතා කරනුයේද සුළුතර පිරිසකි. අන්තර්ජාල භාවිතයද එසේමය. බහුලව එය අද භාවිතාවනුයේ තොරතුරු සන්නිවේදන ක්රිවයාවළිය වේගවත් කරගැනීම උදෙසා පමණක්මනොවේ.එනිසා ඉන් ලැබිය හැකි අති විශාල තාක්ෂණික ප්රියෝජන රාශියක්ලැබීමේ මංමාවත් මෙරට වැසියන්ට සීමා වී තිබේ. අද මෙරට වැසියන්ට සෑමදෙයකටම පොලිසියක් ඕනෑවී තිබේ. පොලිසිය අවශ්යය වනුයේ වැරදි කරන හෙයිනි. තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමට නොදැනීම නිසා තාක්ෂණයද පොලිසියභාරයේ තැබීමට අවශ්ය වී තිබේ. මෙහි පොලිසිය යැයි ව්යිවහාර කරන ලද්දේ නීති රීති මඟින් බැඳ දැමීමේ ක්රි්යාවළියක අවශ්ය තාවයයි. හරකෙකු බැඳීමට කඹයක අවශ්යයතාව මතුවන්නාක් මෙන් බුද්ධිමත්ව ක්රි්යා නොකරනු ලබන්නාත් සමාජ සුරක්ෂිතතාව සඳහා කිසියම් නීතියකින් බැඳ දැමීමට අවශ්යව වේ. නමුදු උසස් ආකල්ප සහිතව ස්වයං විනයකින් ක්රිතයා කරන්නාට එබඳු වාරණ, තහංචි, සීමාවල අවශ්යුතාවක්ද නොමැත.

    කැමතියි

  7. ආශ්චර්යය කරා නැවත පැමිණිය හැකියි; ඒ මෙහෙමයි මම දකින හැටියට.

    උත්සාහවන්තයින්ට ඒ උත්සාහයේ තරමට වාසි ලබා දී ඔවුන්ව තියාගන්නට, ගෙන්නා ගන්නට, තරඟකාරී ලෙස කේවල් කරමින් ඕනෑම රටක ඉන්නා පුරවැසියන් විසින් උත්සාහවන්තයින් අගය කරන දා ට ඒ රටේ සශ්‍රීකත්වය වැඩි වෙනවා. උත්සාහවන්තයින්ගේ දක්ෂතා වල අගයක් නොදකින රට පාඩු විඳිනවා.

    ඉතින් දක්ෂතාවය තියාගෙන නිකම් බලාගෙන ඉන්නේ නැති උත්සාහවන්තයෝ යාවි තමන් අගය කරන රටවල් සොයාගෙන. උත්සාහයක්, දක්ෂතාවයක් වැඩිය අගය කරන්නේ කොයි රට ද, ඒ රටේ සශ්‍රීකත්වය වැඩිවෙන බව දකිද්දී අනිත් රටවල් තමන් ද අනුන්ගේ ආශ්චර්යයෙන් හිඟා කාලා ඉන්න බැරි යැයි දැක්ක දාට තමන් ද ප්‍රතිපත්ති වෙනස් කරාවි. විස්කොන්සන් පැත්තෙන් වෙනසක් පටන් ගෙන!!!

    වැඩියෙන් ම මට ආදරෙයි කියපු කොල්ලා එක්ක මම ගියා වගේ 😀 වැඩියෙන් ම ඔයාගෙ කුසලතාවය අගය කරන දේශයේ ආශ්චර්යයට එකතු වෙන්න. එතකොට සෙසු රටවල් වලට වැටහේවි අගය කළ යුත්තේ කාව ද පරපෝෂිතයන් වී ඉන්නේ කවුරුන් ද කියා. කාට කාටත් ඕවා හොඳ පාඩම්!!!!

    කැමතියි

  8. ඇල්කෙමියාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ ඊට ගැලපෙන ලාංකික රැකියා ගැන විශ්ලේෂණයක් කිරීමට තරම් දැනුමක් මට කොහෙත්ම නැත !!!! එසේ වුවද ඇල්කෙමියාගේ ලිපියේ ඇති සමහර කාරනා පිළබඳව මට යම් යම් දේ කීමට ඇත . ඇල්කෙමියා නිදහස්, ස්වයිරී ,ස්වාධීන පුද්ගලයෙකි !!!! ඇල්කෙමියාගේ ඉදිරි ජීවිත කාලය ගැන තීරණ ගතයුත්තේ ඇල්කෙමියා විසින්ම මිස වෙන කිසිවකු විසින් නොවේ !!!!ඇල්කෙමියාගේ ලිපිය කුමන කරුණක් අරභයා ලීවාදයි මට සිතාගැනීමට නොහැකිය !!!! තමන්ට අධ්‍යාපනය දුන්නා කියා පෙරලා රටට සේවය කිරීමට රැකියා කරන කී දෙනකු ලංකාවේ ඉන්නවාදැයි මම අවන්කවම නොදනිමි . වෙනත් රැකියාවක් සොයාගත නොහැකි වූ නිසා ලැබුන රජයේ රැකියාව කරන අයගෙන් වක්‍රව ලැබෙන එවැනි සේවයක් ඇල්කෙමියා කියනා ඝනයට වැටේයැයි මම නොසිතමි . මෙම තත්වයට වෙනස් තත්වයක් වනුයේ තම ආණ්ඩුවේ රාජකාරී වලට අමතරව පුද්ගලිකව තම වෘත්තීය කර තෘප්තිමත් මුදල් ඉපයීමක් කරනා වයිද්‍ය වරුන් පමණක් විය හැකිය . සමහර විටෙක රසායන විද්‍යාඥයෙක් නොවී ආචාර්ය උපාධියක් නොමැතිව හෝ විශේෂඥය වයිද්යවරයකු වූවානම් ඔය ඇල්කෙමියා කියා ඇති දූෂිත , දේශපාලන බලපෑම් වලින් යුත් සමාජයේ වුවද ලංකාවට නැවත විත් ඇල්කෙමියාගේ සිහිනය යතාර්ථයක් කර ගැනීමට ඇල්කෙමියාට හැකි වීමට ඉඩ තිබුණි .ඇල්කෙමියාගේ දෙමාපිය හිත මිත්රාදීන්ද එවිට අල්කෙමියාව අධර්යය මත් කිරීමට ඉදිරිපත් නොවනු ඇත !!!! එසේ නොමැතිනම් ඇල්කෙමියාට තිබුනේ යහමින් මුදල් හරි හම්බ කරගෙන ලංකාවට පැමිණ තමාගේම සමාගමක් ආරම්භ කර අන් අයටද ආදර්ශයක් දීමය !!!! ඇල්කෙමියාගේ දිනපොතේ දිගින් දිගටම පුන පුනා කියූ දෙයක් මට සිහිවේ . ලංකාවේ වගේ “අපිට රස්සා දියවූ “කියල දියුණු රටවල් වල උපාධිධාරියෝ උද්ඝෝෂණය කරන්නේ නැහැ !!!! ඒ අය තමන්ගෙ රැකියා තමන්ම හොයාගන්නවා!!!! ” යයි ඇල්කෙමියා කීවරක් නම් තම දිනපොතෙහි ලියා ඇතිද ???? දයිවයේ සරදමට මෙන් ඇල්කෙමියා අද කරන්නෙත් මේ ඇල්කෙමියා පුනපුනා නොකෙරිය යුතුයි කියා හාස්‍යයට ලක් කල දෙයම නොවේද ???? ” අප වැන්නවුන්ගෙන් රටට වැඩක් ගැනීම ආණ්ඩුව කළයුතුව තිබුණි නමුත් ඔවුන් ඒ දේ නොකර නොයෙකුත් දූෂනයන්හි යෙදෙමින් රට අඝාතයට ගෙනයනවා විනා අපෙන් වැඩක් ගැනීමට ඕනෑකමක් නැත “යන්න ඇල්කෙමියාගේ ලිපියේ හරය නොවේද ???? ඉන් වක්‍රව කියනුයේ අපට නිසි රැකියාවක් දී ආංඩුව අපෙන් වැඩක් ගතයුතුව තිබුනා යන්න නොවේද ???? මෙවැන්නක් ලිවීමට සිදුවීම දයිවයේ සරදමක් නොවේද ???? මා මවිතයට පත්කළ තවත් කියමනක්ද ඇල්කෙමියා ලියා තිබේ ඒ “එසේම කෙතරම් සුදුසුකම් තිබුණද, දේශපාලන හයියක්, දේශපාලන අතකොළුවක් නොවන කෙනෙකුට පෞද්ගලික අංශයේ වුවද සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලැබීම සිහිනයක් වැන්න ” යන්නයි !!!! මෙවැනි යමක් මානම් කිසි විටෙකත් ලංකාවේ අසා නැත !!!! කුමන කාරනා දත්ත මත පිහිටා ඇල්කෙමියා මෙවැන්නක් ලීවාදැයි මම නොදනිමි !!!! කෙසේ වෙතත් ඇල්කෙමියා පෙන්නා ඇති පරිදි ඇල්කෙමියා නැවත ලංකාවට පැමිණ රටට සේවය කිරීමට නොහැකි වීම පිළිබඳව ” වරදකාර මානසිකත්වයකින් ” පෙළිය යුතු නොවේයැයි මම අවන්කවම සිතමි .එහෙත් මා ඉහතින් කියා ඇති කාරණාත් ඊට අමතරව ලංකාවේ රූපවාහිනී චැනල /රියලිටි ෂෝ වැනි දේ නිසා ලංකාවේදී ළමයෙක් හදාගැනීමට නොහැකිය වැනි ඉතා දුර්වල කාරණාත් ඒ සඳහා හුවා දැක්වීම නොකළ යුතුව තිබුනා යයි මම සිතමි . “මට මෙහෙ හොඳයි මම මෙහෙ දිගටම ඉන්නවා ” වැනි යමක් කිවුවානම් කිසිවකු ඇල්කෙමියා සමග උරණ වෙතයි මම නොසිතමි . පිට රට මොහොතකට අමතක කරන්න !!!!ඇල්කෙමියාගේ ගම ගාල්ලේය . ගාල්ලේ සිට අතිමහත් බහුතරයක් රැකියා සඳහා කොළඹ ඇවිත් නවතින්නෝය. එයින් කී දෙනෙක් කොළඹ රැකියාව ඇත හැර දමා තමන් හුඟක් ආදරේ ගම පලාතට සේවය කිරීමට නැවත ගමට ගොස් පදිංචි වී ඇද්ද ????

    කැමතියි

  9. Oba hithanawa wagema math oya gana hithuna wara ananthai kawada lankawe honda angathayak dakinna labevida kiya. duka hithenawa lankawa gana hithana kota.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: