2012 ජුනි 19 : ඩෙඟා නටන ඩෙංගු අතර නිදියන අපේ ලොක්කෝ…..


ඩෙංගු නැවතත් හිස ඔසවා තිබේ… නිකංම නොව වසංගත තත්ත්‍වයක් වශයෙනි. අපේ මිනිසුන්ගේ නොසැලකිළිමත්කමට සහ බලධාරීන්ගේ අමනෝඥභාවයට පාඩම් උගන්වමින් බාළ-මහළු, දුප්පත් – පෝසත්, ආදී කිසිදු භේදයකින් තොරව ඩෙංගු වසංගතය විසින් ජනතාව ගොදුරු කරගනිමින් සිටී…. තවමත් මියගොස් නැත්තේ ප්‍රබල දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ ඥාතියෙකු පමණි… එය එසේ වනවා නම් ඉතා හොඳය… එවිට වත් මේ නිද්‍රාවෙන් ඇහැ ඇරී ඔවුන් ක්‍රියාත්මක වීමට ඉඩක් ඇත.

ඕනෑම දෙයක් නොසලකා හැරි විට පාලනය කර ගත නොහැකි තත්ත්‍වයට පත් වේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න බැරි කරගන්නට එපා යැයි පැරැණ්නෝ පැවැසුවේ කට කහනවාට නොවේ. නමුත් වර්තමාන ජන සමාජයේ බොහෝ දෙනා කරන්නේද එයමැයි. සෞඛ්‍ය බලධාරීන් සහ වෙනත් බොහෝ දෙනාගේ නොසැලකිල්ල සහ කඹ ඇදිල්ල නිසාවෙන් පාලනය කරගත හැකිව තිබූ ඩෙංගු මදුරුවා ත්‍රස්තවාදියෙකුගේ තත්ත්‍වයට පත් කරගෙන ඇත.

අපේ අය ඩෙඟා නටන විට ඩෙංගු මදුරුවන්ට රජ මගුල්…

එසේම ඩෙංගු වෛරසයේ ක්‍රියාකාරීත්‍වය ද දැන් දැන් වෙනස් වී ඇතැයි පැවසේ. වෛරස පරිණාමය වන විට අපද ඊට සරිලන සේ පරිණාමය විය යුතුය. වෛරස පාලනය කළ හැක්කේ එවිටයි. එසේ වුවද අප සියළුම දෙනා තවමත් වසර විස්සක පමණ අතීතයේ ජීවත් වන නිසාම ඉදිරියක් ගැන සිතන්නේ නැති යැයි මට සිතේ. එක්කෝ බොහෝ දෙනා කර අරිනවා විය යුතුය. එසේ නැතහොත් කොතැනකින් හෝ පගාවක් හෝ වෙනත් වාසියක් ලැබෙනවා විය යුතුය.

කෙසේ වුවත් ප්‍රමාද වී හෝ මෙය පාලනය කළ යුතු තත්ත්‍වයකි. බොහෝ ඩෙංගු පතුරන මධ්‍යස්ථාන රජයේ ආයතන වීමෙන්ම ඒවායේ සහ ඒවා පාලනය කරන්නවුන්ගේ කකුළු න්‍යායේ තරම පෙනේ. ඔවුනට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප බලා සිටිය යුතුය. මෙම තත්ත්‍වය පාලනය කිරීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ තමන්ගේ කිසිවකු හෝ මිය ගිය විටය…. කිසිවෙකුගේ මරණය අපේක්‍ෂා නොකරන මුත්… කිසිවක් කරකියාගත නොහැකි වූ මිනිසුන්ට ස්වභාව ධර්මය හෝ පිහිටක් විය යුතුය.

පහත දැක්වෙන කොටස උපුටා ගනු ලැබුවේ මගේ ම ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියේ මෙයට අවුරුදු දෙකකට පමණ පෙර ලියැවුන ලිපියකිනි.

ඩෙංගු වලට විශේෂ ප්‍රතිකාරයක් නැත්තේ. ඒ වෛරස් රෝගයක් නිසාවෙනි. නමුත් රෝගය මුලින්ම හරිහැටි හඳුනා ගැනීමෙන් පසුව කරනු ලබන සාත්තුව සහ නිසි විවේකය, උණ පාලනය යන දේ ප්‍රතිකාර ලෙස දැක්විය හැකිය. අසාධ්‍ය තත්ත්‍වයේ ‍රෝගීනට රුධිරය පාලවිනය (Blood transfusion)  සිදු කෙරේ. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු රෝගීනට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දේ. ඩෙංගු – රක්තපාත උණ බවට පත් වී කම්පනයට පත් වන රෝගීන්ගෙන් 50 % ක් පමණ දෙනා යළි ගොඩ ඒමට තරම් වාසනාවන්ත වන‍්නේ නැත. ඒ නිසා රෝගය සෑදීම වැලැක්වීම තරම් සාර්ථක ප්‍රතිකාරයක් ඩෙංගු සඳහා තවත් බලාපොරොත්තු විය නොහැක.

නමුත්, මෑතකදී මට ලැබුණ විද්‍යුත් ලිපියකින් ඩෙංගු සඳහා ගොඩ බෙහෙතක් හඳුන්වා දී තිබුණා. ඒ අන් කවරක් වත් නොවෙයි, අප හොඳින් දන්නා පැපොල් ගසේ කොළවල යුෂ රෝගියාට පානය කිරීමට දීමයි. මෙය මට තරමක් පුදුමයට කරුණක් වූ බැවින් මම ඒ ගැන තරමක් සොයා බැලුවා. මේ ඒ පිළිබඳ මගේ විමර්ශනයේ ප්‍රතිඵල. එය පිළිගැණීම හෝ ඉවත ලෑම ඔබ සතු අයිතියක්…

පැපොල් (Carica papaya) යනු ආසියාවේ ඕසට්‍රේලියාවේ සහ ලතින් අමෙරිකානු රටවල වැවෙන ශාකයක්. මෙය ඉතා හොඳ පළතුරක් ලෙස කවුරුත් දන්නවා. එමෙන්ම අපේ ගෘහණියන් මස් මෙලෙක්වීම සඳහා අමු පැපොල් කැබැලි හොද්දට දමන්නේ පාරම්පරික දැනීමෙන් මිසක් එහි පැපේන් නම් එන්සයිමය ඇති බව දැනගෙන නොවෙයි.

නමුත් නවතම පර්යේෂණ අනුව පැපොල් යුෂ වලට පිළිකා සුවකිරීමේ හැකියාවක් ඇතිබව සොයාගෙන තිබෙනවා. එය පර්යේෂණාත්මකව සොයාගැණීමට බොහෝ කලකට පෙර බොහෝ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමවල අංගයක් ලෙස යොදාගෙන තිබෙනවා. ඇබොරිජීන්වරුන්ගේ බෙහෙත් වට්ටෝරුවක් අනුව පැපොල් කොළ තම්බා බීමෙන් පිළිකාවක් සුව කරගත්  ස්ටැන් ෂෙල්ඩන් නම් 70 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පිළිබඳ එහි පුවත්පතක වාර්තාවක් පවා පළවී තිබුණා. අමෙරිකානු පර්යේෂක කණ්ඩායමක් පැපොල් ශාකයෙන් පිළිකා නාශක රසායන සංයෝගයක් වෙන්කරගත් බව මෑතදී වාර්තාවක් පළ වී තිබුණා. මෙම රසායනික සංයෝගය දැනට පිළිකා නාශකයක් ලෙස භාවිතා කරන “ඇඩ්‍රියමයිසින්” වලට වඩා මිලියනයක වතාවක් ප්‍රබල බව සැලකෙනවා.

මෙම පර්යේෂණවල ප්‍රතිඵල අමෙරිකානු ‍ආහාර සහ ‍ඖෂධ අධිකාරිය මගින් පර්යේෂණාත්මකව සනාථ කළ යුතුව තිබෙනවා. එහෙත් මෙම පර්යේෂණයෙහි යම් සත්‍යතාවක් ඇතිබව එය අත්හදා බැලූ බොහෝ පිළිකා රෝගීහු පවසා තිබෙනවා.

ඉතින් ඔබට ප්‍රශ්නයක් පැන නඟින්න පුළුවන් ඖෂධ සමාගම් මේ සංයෝගය වෙන් කරගෙන පිළිකානාශක ඖෂධ තනන්නේ නැත්තේ ඇයි කියලා. ඒ අයගෙන් මම අහන්න කැමතියි ඔබට කියන්න පුළුවන්ද කියලා මේ ඖෂධ සමාගම් විසින් යම් රෝගයක් නිට්ටාවට සුවකරන්න පුළුවන් එක බෙහෙතක් වෙළඳපලට හඳුන්වාදී තිබෙනවාද කියා.

රසායනඥයෙකු හැටියට මගේ මතය මෙහෙමයි,….

පැපොල් ශාකය ආදිකාලයේ සිට පැවත එන්නක්. දන්නා හැටියට පැපොල් කා මියගිය කෙනෙකු පිළිබඳ ඉතිහාසයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. දියේ ගිලෙන්න යන එකාට පිදුරු ගහක් දුන්නොත් ඒකෙත් එල්ලෙනවා. ඉතින් මැරෙන්න යන පිළිකා රෝගියෙකුට හෝ ඩෙංගු රෝගියෙකුට පැපොල් යුෂ දීලා ගොඩගන්න පුළුවන් නම් ඒක කළාට කමක් නැහැ. මොකද ඒ යුෂ සෑදීමේදි කිසිම අමතර ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. තනිකරම පැපොල් පත්‍ර තම්බලා ඉන් ලැබෙන ද්‍රාවණය බිවුවා කියලා මැරෙන්නේ නැහැ. එය ස්‍වභාවික දෙයක් නිසා.

මේ පැපොල් ප්‍රතිකාරය බොහොම අප්‍රිය බීමක් කියලා එය පාවිච්චි කරපු අය සඳහන් කරනවා. ලංකාවේ ආයුර්වේද කසාය බීපු අපට තවත් මොනවා අප්‍රිය වෙන්නද ?

ඉතින් පිළිකා වැනි භයානක රෝගයන්ට පවා විකල්ප ප්‍රතිකාරයක් වූ මෙය ඩෙංගු රෝගය වෙනුවෙන් අත්හදා බලපු හෝ බලන කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ප්‍රතිචාර දක්වන්න.

ඔබේ දැනගැනීම පිණිස පැපොල් යුෂ පිළියෙල කර ගන්නා අයුරු පහත සඳහන් කරනවා.

  • පැපොල් කොළ සහ නටු හොඳින් සෝදා පිරිසිදුකර ගන්න.
  • ඉතා කුඩා කැබලිවලට කපා ගන්න
  • සාස්පානක් පිරෙන්න කපාගත් පැපොල් කොළ සහ නටු දමා ජලය දමන්න ලීටර 2 – 3.
  • හොඳින් තම්බන්න (boil).
  • ඉන් පසු පැය දෙකක් මඳ උණුසුමේ (simmer) තම්බන්න.
  • දියරය පෙරාගෙන බෝතලයකට දමාගන්න (ලීටර 2ක් පමණ)

වරකට මි.ලී. 250 ක් බැගින් දවසට තුන්වරක් පානය කරන්න. බෝතලය හොඳින් සොලවා පාවිච්චියට ගන්න. ඉතිරිය ශීතකරණයක දමා පාවිච්චියට ගන්න. එක බෝතලයක් නරක් නොවී දින 5 ක් පමණ තබාගත හැක. නැවුම් කොළ භාවිතය වඩා යෝග්‍යයි. මෙම දියරය අප්‍රිය රසකින් සහ අමුතු සුවඳ/ගඳකින් යුක්තයි.

මේ ව්‍යසනය ඇත්තටම ස්වභාව ධර්මයෙන් අප වෙත ලබා දුන් දෙයක්. අධික පලිබෝධ නාශක සහ පොහොර භාවිතය හේතුවෙන් මදුරු කීටයන් ආහාරයට ගන්නා ගප්පි උඩ්ඩන් වැනි මසුන් වඳ වී ගියා.. කානුවල එක් රැස් වන ජලයේ බිත්තර දමන ඩෙංගු මදුරුවාගේ ස්වභාවික පාලනය සිදු වන්නට ඇත්තේ මෙමගින්. ඒ වගේම පරිසරය පිරිසිදු නොකර තබා ගන්නා මිනිසුන්ට තමන් අවට පිරිසිදුව තබා ගන්න යැයි මතක් කර දෙන දැඩි දඬුවම් ක්‍රමයක්.

මේ මොනවා කළත් තමන් විසින් සමාජයට කළ යුතු යමක් තිබෙනවා. අන්න ඒ දේ තමන් විසින් කළ හොත් මේ ව්‍යසනයෙන් රට ගලවා ගන්නට අපට බැරි වෙන එකක් නැහැ. තමන්ගේ වටපිටාවෙ ඇති පිරිසිදු ජලය එකතු වන තැන් නැති කිරීම, අසල්වාසීන් සියළුම දෙනා එක්ව පොදුවේ පරිසරය පිරිසිදු කිරීම, තමන් සහ තමන්ගේ අසල්වාසීන් මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට ඇති එකම මඟයි. සමහර විට අපට ස්වාභාව  ධර්මය මගින්ම උගන්වන පාඩම් ගොන්නට මෙයත් අයිතියි. පස් පවු වලින් වැලකීම මගින් ඒඩ්ස් වැනි මාරාන්තික රෝගයන්ගෙන් වැලකිය හැකිවාක් මෙන්ම, පරිසරය නිසි ලෙස පවත්වාගෙන යාම ඩෙංගු වලින් බේරීමට ඇති ප්‍රධාන මාර්ගය වෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් හැම දේම කරන කල් බලා නොසිට තමනුත් තමන්ගෙන් රටට විය යුතු යුතුකමක් තිබෙනවා නම් නොපැකිලව ඉටු කිරීමට මෙය ආරම්භයක් කර ගනිමු….

අපි අපි ගැන හිතන එක මොහොතකට නතර කරලා අපි අනුන් ගැන සිතමු… නරක පුරුදු වගේම හොඳ පුරුදුත් බෝ කරන්න අපට පුළුවන්… පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි.. නමුත් එහෙම වෙන මහන්සිය තමන් ජීවිතයෙන් වන්දි ගෙවන්නෙ නැති අතපසු වීමක් නොවෙන්න පුළුවන්…

හිතලා බලන්න….

මේ තියෙන්නේ ඩෙංගු ගැන සඳහන්ව ඇති වෙබ් අඩවි….

http://www.denguewar.com/index.htm

http://en.wikipedia.org/wiki/Dengue_fever

http://www.searo.who.int/en/section10/section332/section1631.htm

Advertisements

Posted on ජූනි 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. කියුබාවෙන් ගෙන්නනවා කියලා ඒ කාලේ කස්තිරම් ගැහුව බැක්ටීරියාවට මොකද දන්නේ නැහැ වුනේ

  2. පැපොල් සහ ඩෙංගු අතර සම්බන්ධය ගැන පරීක්ෂණ කරල නැද්ද?
    අපේ ඔෆීස් එකේ කෙනෙකුගෙ ළමයෙකුට ඩෙංගු හැදිල එයාට පැපොල් කොල යුෂ දුන්නට පස්සෙ ගුණ ලැබුන කියල කිව්ව. හැබැයි ඩෙංගු වලට ගන්න යුෂ හදාගන්නෙ පිරිසිදු පැපොල් කොල කොටා මිරිකාගත් යුෂයෙන්. වතුර කලවම් කිරීමක් කරන්නෙ නෑ. තේ හැන්දක් දෙකක් තමයි වරකට දෙන්නෙ.

    රජයේ ආයතන විතරක් නෙවේ හැමෝටම උවමනාවක් තියෙන්න ඕන යම් දෙයක් කරද්දී. කරුමෙට ලංකාවෙ ඒක නෑ. එතකල් ඩෙංගු තියේවි.
    -රාජ්.

  3. පැපොල් කොල බොන්න කියල හැමෝම කිව්වට නියම විදිය දැනග්තෙ මෙතනින්..ස්තූතියි…

  4. කිසි ලෙසකින් බලාපොරොත්තු නොවිය හැකි ලෙසට , අල්කෙමියාට තරම් නොවන ආකාරයට ඇල්කෙමියා අවිද්‍යාව පතුරනවා කියලයි මම හිතන්නේ !!!! ඇල්කෙමියා මුලින් කියා ඇති ලෙසට, මා දන්නා තරමට වයිරස් ලෙඩ වලට බෙහෙත් නැහැ !!!! පැපොල් [ ඇල්කෙමියාගේ දීව්‍ය ඖෂධය නොවේ ] ,සරම්ප , වසූරිය , පෝලියෝ ,ජලභීතිකාව ආදියට බෙහෙත් හොයාගෙන ඇති බවක් මා නම් අසා නැහැ . දුර්වල කල ඒ ඒ වයිරසයන් රෝගය ඇතිවීමට පෙර එන්නත් කිරීම මගින් ශරීර වල ස්වාභාවික ප්‍රතිශක්ත පද්ධති උත්තේජනය කර නිපදවා ගන්නා ප්‍රතිදේහ මගින් සටන් කර එම වයිරස විනාශ කර දමා රෝගය වැළඳීම වලක්වා ගැනීමක් තමා මා දන්නා ආකාරයට සිදුකෙරෙනුයේ . ලංකාවේ ඩෙංගු රෝගය වැළඳුන සියලු දෙනා මිය යන්නේ නැහැ . ප්‍රතිශතයක් ලෙස ගත කල ඉතාමත් ඉහල ප්‍රමාණයක් මෙම රෝගයෙන් සුවය ලබනවා .ඉතාමත් අසාද්‍ය තත්වයේ සිට බටහිර වයිද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර මත මේ රෝගයෙන් සුවය ලැබූ අය ගැන මා පුද්ගලිකව දන්නවා . ඔබ හිතන්න යම් හෙයකින් ඒ අයත් ඔය පැපොල් කොළ පානය කර තිබුනා කියා . එහෙම දෙයක් කෙරී තිබුනානම් ඔවුනුත් අනිවාර්යයෙන්ම නිගමනය කරනවා මෙය පැපොල් කොලේ හාස්කමක් කියා . ලංකාවේ මිනිස්සු එහෙමයි .දෙවැනි කාරණය නම් ඇල්කෙමියා කියා ඇති පරිදි “මැරෙන්න යන කෙනෙකුට “ගස්ලබු කොළ පොවා බලන්න අවස්තාවක් ප්‍රායෝගිකව කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ .මොකද ලෙඩා මිය යන තුරුම කිසි කෙනෙක් ඔහු මැරෙන්න යන කෙනෙකි කියා නොසිතන නිසා .ලෙඩ රෝග වලට ලංකාවේ තරම් ඉතා පහසු ප්‍රතිකාර සොයා ගන්නා තවත් රටවල් ලෝකයේම නැතුව ඇති . පිට ගැස්මට වෙනිවැල් ගැට , කොලෙස්ටරෝල් නිට්ටාවට නැති කර ගැනීමට කරපිංචා කැඳ , උළු හාල් පානය ආදිය සහ ජලභීතිකාවට ,සර්ප විෂට තවත් පාරම් පාරික ප්‍රතිකාර ගැන විස්වාස කරන්නෝ ගොඩක් ලංකාවේ ඉන්නවා .වසූරිය , මහාමාරිය සහ [පෝලියෝ ආසන්න වශයෙන් ] වැනි වසංගත මේ ලෝකයෙන් තුරන් කර දැමුවේ ඔය වැනි ගොඩ වෙදකම් වලින් නොවේ – – – – – !!!! නියමාකාරයෙන් පරීක්ෂණ කර නිවැරදිව විද්‍යාවෙන් ඔප්පු කරනා තුරු මෙවැනි ගොඩ වෙදකම් මත යැපීම ප්‍රඥාගෝචර නොවේය යන්න මගේ පුද්ගලික මතයයි .මෙවැනි ගොඩ වෙදකම් වලින් අමුත් හානියක් ලෙඩාට නොවෙතත් මෙවැනි දේ කරන බහුතරයක් අන්ධ විශ්වාසයේ ගැලී සම්මත ප්‍රතිකාර වලට යොමු වීම අතපසු කිරීමට හොඳටම ඉඩ තියෙනවා !!!!මිනිසුන් දහස් දෙනෙකුට ඩෙංගු වැලඳෙනවා එයින් නවසිය අනූ නව දෙනෙක් සුවය ලබනවා ඒ සුවය ලැබූ නවසිය අනූ නම දෙනාගෙන් දහ දෙනෙක්ම ගස්ලබු කොළ කොටන් බීපු අය . මෙවැනි දේකින් කිසිම නිගමනයකට ආ නොහැකියි යන්න මගේ පුද්ගලික විශ්වාසයයි . මදුරුවන් බෝවෙන ස්ථාන අවම කර ගැනීම ඩෙංගු රෝගය වැලදී ඇතැයි සක සිතුනහොත් නිර්දේශිත වයිද්‍ය උපදෙස් අකුරටම පිලි පැදීම මෙවැනි අවාසනාවන්ත මරණ සංක්‍යාව අවම කර ගැනීමට උපකාර වේයැයි මම විශ්වාස කරනවා . අවසාන වශයෙන් කිව යුත්තේ මා දන්නා ආකාරයට නටනා උෂ්ණත්වයට රත්කළ විට ” පැපේන් ” එන්සයිමය පමණක් නොව අනෙකුත් ඕනෑම එන්සයිමයක් නියත වශයෙන්ම විනාශ වන බවයි !!!!

    • ඇත්ත, කියපු සියළුම දේ හරි…
      නමුත් අපි අවුරුදු සිය ගානක් තිස්සේ උණට හෙම්බිරිස්සාවට බීපු ඉඟුරු කොත්තමල්ලි ගැන බටහිර ජාතීන් කතා කරන්නෙ දැන්… කවුරුවත් උණ හැදිලා ඉන්න නියැදියක් අරගෙන උණ නොසෑදුන නියැදියක් එක්ක සංසංදනය කරලා නෙවෙයි උණට හෙම්බිරිස්සාවට ඉඟුරු කොත්තමල්ලි හොඳයි කියලා සොයාගෙන තියෙන්නෙ…
      කවුරු හරි ගොබිලෙක් ඒක ජර්නලයක දැන් ප්‍රසිද්ධ කරයි.. ඒත් ඒවා පාරම්පරික දැනුම… මම දන්නා පමණට (දැනට අවුරුදු 10 කට 15 කට පෙර) මෙවන් වුනත් උණට හෙම්බිරිස්සාවට මුලින්ම බොන්නෙ ඉඟුරු කොත්තමල්ලි…
      සෙංගමාලයට ගොදුරු වෙලා බටහිර බෙහෙත් වලින් හොඳ කරන්න බැරිව ගෙදර මියෑදෙන්න දාපු මිනිස්සු සිය ගානක් මුස්සැන්ද ගහේ පස්වගේ කසාය දෙහි ඇඹුලෙන් පදම් කරලා හිස්බඩ දවස් 14 ක් දීලා ගොඩ දාපු මිනිහෙක් මගේ සීයා. මගේ අම්මා දැන් කරන්නෙත් ඒ වෙදකමමයි. මේක කවදාවත් ඒ දෙන්නම සල්ලි බලාගෙන කළ දෙයක්වත් කරන දෙයක්වත් නෙවෙයි. මගේත් අදහසක් තිබුණා මේ ගැන පර්යේෂණයක් කරන්න… නමුත් අම්මා තමයි කිවුවේ මේවා පර්යේෂණ කරන්න තරම් සුදුසු දේවල් නෙවෙයි, පාරම්පරිකව ඉදිරියට ගෙන යා යුතු උරුමයන් බව… මේ වෙදකමේ සත්‍යතාවය ඔප්පු කරන්න සීයගේ මරණෙට ආපු දහසක් දෙනා වැලපෙමින් කියපු කාරණාම ඇති.. අළුත් පර්යේෂණ අවශ්‍ය නැහැ. මම කොයි තරම් විද්‍යාත්මකව ඉදිරියට ගියත්, මේ වගේ දේවල් ගැන නම් විශ්වාස කරනවා. ඉදිරියේ ඩෙංගු වලටත් කවුරුහරි මේ වගේම යමක් හොයා ගනීවි… හොඳ කරන්න බැරි වුනත් පාලනය කරන්න හරි….
      වෛරස් කියන්නේ දැන් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි… අර තරම් සංකීර්ණ යැයි සැලකුණ ඒඩ්ස් වලටත් දැන් පාලනයට ඖෂධ තියෙන එකේ ඩෙංගු කජ්ජක්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: