Monthly Archives: ජූලි 2012
2012 ජුලි 26 : සත් වසක මතකයන් විසි වසකට පසු අවදි වී…….
කවුරුත් දන්න පරිදි මම නම් දැන් ඉන්නෙ සිරි ලංකාවෙ… හිතපු තරම්ම සමහර දේ නරක නැති වුනත් වැඩි වෙනසක් වෙලත් නෑ සමහර දේ වල… සමහර ගති පැවතුම් වල… දැන් ඉතිං අර ලංකාවෙ බොහොම හෙමින් ගලන වැඩිපුර වගකීමක් නැති ජීවිතේට හුරු වේගෙන යන්නෙ…. ලංකාවට ආපු ගමන්ම වැඩ ගොඩක් තිබුණා…. මුලින්ම තිබුණෙ ටිකක් නිදහසේ ගිමන් හරින්න.. පසුගිය සති කිහිපයම අධික ලෙස මහන්සි වුනේ ජර්මනියට යවන බඩු පැක් කරන්නයි, ලංකාවට ගේන බඩු පැක් කරන්නයි, නිවස සුද්ද කරන්නයි ආදී දහසක් දේ වලට. ඒ නිසාම ලංකාවට ඇවිත් ටිකක් නිදහසේ ඉන්න හිතුවා…
නමුත් නිවාඩුවක් කියන්නෙ නිවාඩුවක් නෙවෙයි කියන එක වැටහෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ගමන් ගොඩක් විතරයි… මුලින්ම ජර්මනියට යන වීසා ලිපි ලේඛණ සකසන්න දවසක්ම ගියා. ඒත් සිකුරාදා එම්බසිය වහලා නිසා ඒකත් මේ සතියට කල් ගියා. සිකුරාදා රෑ ගමේ මහගෙදර ගියේ මහ රෑ දොළහට විතර අධිවේගී මාර්ගය දිගේ.. අවට වට පිට බලන්න හැකියාවක් නොතිබුණත්, අපි අධිවේගයේ (ඇමරිකාවෙ නම් සාමාන්‍ය මාර්ගයක වේගය පැයට හැතැක්ම 60) අසිරිය විඳගෙන ගියා… පසුදා උදේම නැගිටලා අම්මයි තාත්තයි හදලා තිබූ කොළකැඳ කෝප්පයක රස බීලා ටිකක් නිදහසේ සිටියා… ඉන් පසුවයි හොඳ හරිය….
මගේ ඉස්කෝලෙ පන්තියේ මිතුරන්ගේ හමුවක් සංවිධානය කරලා තිබුණා මමත් තවත් මිතුරන් දෙදෙනෙකුත් විදේශයන්හි සිට එන නිසාම. එකතුව 23ක් මම නම් බොහෝ දෙනෙක් හමු වෙන්නෙ අවුරුදු 20 කට පසුවයි. දැන් මේ ඔක්කොම ඉන්නෙ බොහොම හොඳ තැන්වල… විවිධ අය විවිධ මාවත්වල… දොස්තරවරු හයක්, ඉංජිනේරුවරු හයක් හතක්, පෞද්ගලික ව්‍යාපාර හිමි අය, ආයතනවල සභාපතිවරු, නීතීඥයො, විවිධ ආයතනවල අධ්‍යක්‍ෂවරු, ආදී මෙකී නොකී බොහෝ දෙනෙක් මෙතැන ඉන්නවා. ඉතින් මගේ මිතුරු සුමිත් එක්ක මම මුලින්ම සුමිත්ගෙ ගෙදර ගියේ අනිත් මිතුරන් සියළුම දෙනා කොළඹ ඉඳලා එන්න ටිකක් පරක්කු වෙන නිසා… සුමිත්ගෙ ගෙදර ගියාම හමු වුනේ සුමිත්ගෙ පවුලෙ අයට අමතරව නිවසේ ඇති කරන සුරතලා: ටුටූ. මේ ඉන්නෙ ටුටූ… බලන්න කවුද කියලා..
ඉන් පසුව ටික වෙලාවකින් අපි දිවා ආහාරය ගන්න ඉන්ඩියන් හට් එකට ගියා. එතැන තමයි අපි ඔක්කොම එකතු වෙන්න හිටිය තැන. එතැන සිට දිවා ආහාරය ගන්න අතරතුරේ අපි දෙන්නාගෙ ආගිය කතා ඔක්කොම කතා කළා. ටික වෙලාවකින් අනිත් මිතුරනුත් වාහනයක නැගී ආවා.. එතැන රස සාගරයක්… සමහරුන්ට බත් කන්න ඕන. මේ අතර සමහරුන්ට පළතුරු යුෂ බොන්න ඕන.. කොහොමහරි බොහෝ දෙනෙක් පළතුරු යුෂත් බීලා බතුත් කාලයි ගමන ඇරඹුවෙ.
අතරමගදී බුද්ධිකව ගෙදරින් ගන්න යොදාගෙන තිබුණා. බුද්ධිකයා අපි අතරෙ හිටපු යාළුවො සමහරක් අවුරුදු 20 කින්ම දැකලා නැහැ. මම ගියේ රතු පාට වෑන් එකක තවත් යාළුවො හතර දෙනෙක් එක්ක. අපේ එක යාළුවො කට්ටියක් ගියේ සුදු පාට වෑන් එකක…. බුද්ධිකයාව සුදු වෑන් එකක පැහැරගෙන යන්න යෝජනාවක් ඇවිත් තිබුණෙත් ඔය අතරෙමයි. මෙන්ඩිස් කියන්නේ අපි අතරෙ හිටපු හොඳ මහත දෙහෙත තිබෙන පුද්ගලයෙක් මේ නිසා මෙන්ඩිස්ව වැඩේට යොදාගෙන… බුද්ධිකයා කලිසමේ චූ කරගත්තෙ නැති එක විතරයි…. කොහොම හරි ඒ සිද්ධිය වෙනකොට අපිත් දෙවනි වෑන් එකෙන් එතනට ලඟාවෙලා… සුදු වෑන් එක පිරිලා තිබුණ නිසා බුද්ධික අපේ වෑන් එකට නැග්ගා. හොඳ හරිය ඊට පස්සෙ… අනිත් වෑන් එකේ ආපු අය බුද්ධිකලාගෙ පාරෙ ඉඳලා අමනයාගේ ගෙදරට යන්න දන්නෙ නෑ… ඉතින් අපිව ෆලෝ කරගෙන තමයි කට්ටිය යන්න ආවෙ… කොහොම හරි ඉස්සෙල්ලා කට්ටිය අපිව පහු කරගෙන ගිහින් හන්දියක් ලඟ නවත්තං ඉන්නවා අපි එනකල්…
මේක තේරුම් ගනිපු අපි හනික වෙනත් පාරකට දාලා වාහනේ හංගගත්තා. අර කට්ටිය අර වැරදි පාරෙ කඩාගෙන බිඳගෙන ගියා.. නැවත හරි පාරට හරවගත්ත අපි අර ගොල්ලන්ට හැතැක්මක් පමණ යන්න දීලා දුරකථන ඇමතුමක් දීලා නැවතත් හරි පාරට දම්මවගෙන අමනයාගේ ගෙදර බලා ගියා. එතැනට යන්න තියෙන්නෙ වංගු ගොඩක් ඇති පාරක… බොහෝ දෙනාට කැරකිල්ල.. කොහොම හරි අමනයාගේ ගෙදරට ගියාම රජ සැලකිලි.. දවාලෙ එහේ දානෙකුත් තිබිලා…. කන්නත් ඇතිවෙන්න… අපේ කට්ටිය තිතට මතත් ගෙනැත්… බොන්නත් බැරි උදවිය එතැන හිටියෙ…
ආගිය තොරතුරු කතා කරලා මුලින්ම කළේ පින්තූරයක් ගන්න එකයි… නැත්නම් ඉතිං කට්ටිය කට් වුනාට පස්සෙ පින්තූර කැත වෙනව නේ… මේ ඉන්නෙ අපේ කට්ටිය… සමහරු නම් බොහොම ප්‍රසිද්ධ උදවිය… හොඳට බලන්න දන්න මූණු තියෙනවද කියලා මේ අතරේ….
ඉතිං අපි එකතු වුන තැන කොහොමත් රස සාගරයක්… ඒ පැය කීපය තමයි කාලෙකින් නොනවත්වා හිනා වුන පැය කීපය…. එහෙන් එනකොට රෑ එකහමාරයි… ගෙදරින් බහිනකොට උදේ හතරයි….
කොහොම වුනත් ඇමරිකාවෙන් ආපූ ගමන් ඇති තෙහෙට්ටුව තිබුණත් මේ ගතකළ කාළය නම් බොහෝ කලකට අමතක වෙන එකක් නැහැ… ඒක මට බොහොම වටිනවා… මේ ලිවුවෙ තාරබර අඩු කරලා… ඔක්කොම සිද්ධි ලිවුවා නං අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලයි මාතෘකාවෙ දාන්න වෙන්නෙ…
මේ මහින්දෙ E පන්තියෙ කට්ටිය වෙනුවෙන් ලියැවුන සටහනක්… එදා ඉඳලා අද දක්වාම අපේ තියෙන එකමුතුකමට උපහාර පිණිස ලියැවිච්ච අව්‍යාජ සටහනක්….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පසුව ලියමි.
ලංකාවේ දේශපාලන තත්ත්‍වය සහ අධ්‍යාපනය ගැන ලිවීමට අත කැසුවත්, දෙමාපියන් සහ තවත් දන්නා කියන මට ආදරය කරන බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම පරිදි ඒ දේවල් නොදැක්කා සේ සිටීමට අදහස් කරගෙන සිටින බව කරුණාවෙන් දැනුම් දෙමි.. එසේම ලංකාවේ සිට බ්ලොග් ලිවීමට කාලය සොයා ගන්නා කට්ටියට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි… නිවාඩුවට ඇවිත් ලියන්න හිතුනත් ලියන්න වෙලාවක් නැතිව සිටින මා ගැන සිතන විට දහසකුත් එකක් වැඩ රාජකාරි මැද සිටින ඔබේ ලිවිල්ලට මාගේ ප්‍රණාමය….
ආයෙම වෙලාවක් ලැබුණොත් ලියන්නම්… හෙට සිට සතියක්ම කොළඹින් පිට….
2012 ජුලි 19 : ටොරිංටන් චතුරස්‍රයේ වට කිහිපයක්… ගෝඨභය රාජපක්‍ෂට මල් මිටක්……
ඉතිං ටික කළකින් හමු වෙන පොරොන්දුව අමතක කර ඔබ වෙත එන්න නැවතත් අවකාශ ලැබුණා. අද උදෑසන හතරට පමණ අප තිදෙනා ලංකාවට ගොඩ බැස්සා… සුපුරුදු පරිදි ආගමන – විගමන වැඩකටයුතු, බඩු ගොඩ බෑම් ආදී කටයුතු වලින් පසුව උදෑසන හය වගේ වනවිට අපි ගෙදරට ලඟා වුනා…. තරමක විඩා නිවීමක් – පිරිසිදු වීමකට පසු, උදෑසන අප වෙනුවෙන්ම සකසා තිබූ ඉඳිආප්ප 25 කට පමණ වගකිවුවා….
මිතුරු මිතුරියන්ට පණිවුඩ දීමෙන් කතා කිරීමෙන් අනතුරුව කළ යුතුව තිබූ ලිපි ලේඛණ කිහිපයක වැඩ කටයුතු සහ ඊ මේල් සහ මූණු පොතේ වැඩ කටයුතු නිම කිරීමෙන් අනතුරුව පැටියා එක්ක තරමක් කාළය ගත කළා… පැටියට නම් මෙහේ ජීවිතේ හරි ජොලි….. වැඩ කරන කට්ටියට වැඩ වැඩි කරනවා…
දවල් පොඩි නින්දක් දාලා ඇල්කෙමිච්චිගෙ සහෝ එක්ක ටොරිංටන් චතුරස්‍රයට ගියා රවුමක් දුවන්න… ලංකාවෙ හිටියත් සරීර සවුක්කිය ගැන උනන්දු වෙන්න ඕන නෙ..
අපරාදෙ කියන්න බෑ එතන නියමෙට හදලා තියෙනවා… එපමණක් නෙවෙයි සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු එතැනින් හරි ප්‍රයෝජන ගන්නවා… මෙතැන මේ විදියට හදපු ආරක්‍ෂක ලේකම් තුමාට මගේ ප්‍රණාමය පුද කරනවා…. අපි එතැන පැය ගානක් ඇවිද්දා… හරිම සුන්දර තැනක්…. ආයෙම දවසක යනවා… පින්තූර ටිකක් ගන්න…
හෙට වික්ටර් රත්නායක මහත්තයගෙ අවසාන “ස“ ප්‍රසංගය හිටගෙන නරඹන්න අවස්ථාවක් ලැබුණත්, එය පැත්තකින් තියලා රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ගේ දක්‍ෂතා පෙන්වන ප්‍රසංගයක් නරඹන්න යනවා හවස… අපි බලමු පොඩි එවුන්ගෙ දක්‍ෂතා…..
හෙට ඉඳලා සඳුදා වනතුරු ගමනෙ… ඒ නිසා දින කිහිපයකට දිනපොත ලියැවෙන එකක් නැහැ… මගේ ඉස්කෝලෙ පන්තියෙ යාළුවො 25 දෙනෙක් විතර හමු වෙනවා 21 වනදා රෑ… ඒක නම් හරිම සුන්දර හමුවීමක් වෙන්න පුළුවනි.
මම බලාගෙන ඉන්නවා ඒ අය අවුරුදු 20 කට පමණ පස්සෙ හමු වෙන්න….
සෙස්ස පස්සට……………..
සමුගන්නට අවසරයි……. ටික කලකට….
මැයි මාසෙ කියන්නෙ මගේ ජීවිතයේ වෙනස්කම් ගොඩක් සිදුකළ මාසයක්. මගේ පශ්චාත් උපාධි පර්යේෂක තනතුරේ වැඩ අවසන් වෙන්නට තිබුණේ මැයි 31 වනදින. එදායින් පස්සේ මට රැකියාවක් නැහැ…. ඒ නිසාම ලෝකෙ හතර වටේ තියෙන මට සුදුසු යැයි හැඟුන රැකියා හැම එකකටම අයදුම් කරන්න මම තීරණය කළා. ලංකාවෙන් ඇමරිකාවට ආපු මට වෙනත් රටකට යන්න බැහැ කියන හැඟීම තිබුණෙ නැහැ. මම ලෝකයටම අයිති මිනිහෙක් කියලයි මගේ මහාචාර්යවරයෙක් මට කිවුවෙ. ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක් ලෝකයට අයිති වස්තුවක්. එක රටකට – එක ගමකට – එක පවුලකට අයිති වස්තුවක් නොවෙයි. ඔහුගෙ/ ඇයගෙ සේවය ලැබෙන්නෙ එක පරාසයටක නෙවෙයි. මුළු ලෝකයටම. ඒ නිසාම මම ලෝකයට අයිති වස්තුවක්…. ඉතිං මමත් ලෝකයේ ඕනම තැනකට යන්න සූදානම් වුනා. ඒ අතරෙයි චිකාගෝ වල ඉලිනෝයි විශ්ව විද්‍යාලයේ නැවතත් පශ්චාත් උපාධි පර්යේෂක තනතුරක් ලැබුණෙ.. අළුත් රසායනාගාරයක අළුත්ම පර්යේෂණයක පර්යේෂක කණ්ඩායම මෙහෙයවන තනතුරක්.. නරකම නැති වුනත් ඒ වනවිටත් කරමින් හිටියෙ ඒ වගේම දෙයක් නිසා ඒ තනතුර හැර වෙනත් රැකියාවක් කළොත් හොඳයි යන සිතිවිල්ලත් හිතේ කොණක තිබුණා. ඒ වගේම දැන් දැන් මේ රටේ සිදුවන ආර්ථික පරිහාණිය සහ ජීවන තත්ත්‍වයේ පහළ යාම නිසා පොඩි කළකිරීමකුත් නොතිබුණාම නොවෙයි.
මේ අතරෙ ඇල්කෙමිච්චි සොයා දුන් තොරතුරක් මත මම ජර්මනියේ විශ්ව විද්‍යාලයකුත් රසායනික ද්‍රව්‍ය නිපදවන සමාගකත් 50 : 50 හවුල් ආයතනයක් වන රසායනාගාරයක පර්යේෂණ විද්‍යාඥ තනතුරකට අයැදුම් කළේ ඒ ආයතන දෙකම ජර්මනියේ ඉතා ප්‍රසිද්ධ ඒ වගේම බොහෝ පැරණි ආයතන දෙකක් නිසාමත්, ඉන් අනතුරුව ලැබෙන අවස්ථාවල අගය වැඩි නිසාමත්. මේ තනතුර අවුරුදු දෙකක් වුනත්, ඉන් පසු ලැබෙන අවස්ථා බොහෝ දුරට මගේ සිහින සැබෑ කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක්. ඒ නිසාම මම ඒ ආයතනයට අයැදුම් කළා. සතියක් යනවිට එහි වූ මහාචාර්යවරයෙකු මට දන්වා සිටියේ මගේ අයැදුම් පත්‍රය ඔවුන් සලකා බලන බවයි. ඊටත් සතියකට පසු ඔවුන් මගේ මහාචාර්යවරුන්ගෙන් මා නිර්දේශ කරන ලිපි (reference letters) ඉල්ලා සිටියා. ඒ සියල්ල යවා දින කිහිපයකින් මා බලාපොරොත්තු තබාගෙන හුන් ලිපිය පැමිණියා. ඒ.. මාව සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවන බව…. නමුත් එතැන ලොකු ප්‍රශ්නයක් තිබුණා. මගේ වීසා ලිපි…
මගේ ශිෂ්‍ය වීසා මා මැයි 31 වන දින සේවය හමාර කරන විට අවලංගු වනවා. නමුත් දින 60 ක සහන කාළයක් තිබෙනවා. ඒත් වෙනත් රැකියාවක් අතේ ඇතිනම් පමණයි. මේ නිසා මා තීරණය කළා ඔවුන් සමග අන්තර් ජාලයේ Skype හරහා සම්මුඛ පරීක්‍ෂණය පවත්වන්නට. නමුත් ඔවුන් කැමති වුනේ නැහැ. ඔවුන් මගේ ගමන් වියදම් ගෙවා මාව එහි ගෙන්වා ගන්න කටයුතු කළා. නැවත ඇමරිකාවට පැමිණීම තරමක් අවදානම්කාරී ගමනක් වුනත්, මගේ මහාචාර්යවරු බොහෝ දෙනා පැවසුවේ මේ අවස්ථාව අත නොහැරිය යුතු බවයි.
යමක් සිදුවන්නට තිබේ නම් එය සිදු විය යුතුමය යන කියමන සත්‍ය බව මම හැමදාම විශ්වාස කරන කෙනෙක්. ගමනට ජර්මන් වීසා ගන්න තානාපති කාර්යාලයේ දිනයක් ගන්න ගියාමයි තරු පෙණුනෙ. ළඟම ඇති දිනය මැයි 31 – මට සම්මුඛ පරීක්‍ෂණය යෙදිලා තියෙන්නෙ 25 – මට 23 වනදා වත් එහේ යන්න ඕන.. අද දිනය 11 යි. කෙසේ හෝ තානාපති කාර්යාලයට ඇමතුමක් රැගෙන මගේ ප්‍රශ්නය කී විට ඔවුන් 14 වන දින පැමිණෙන්නැයි දැන්වුවා. සියල්ලටම තිබෙන්නේ දින දෙකයි. ගුවන් ටිකට් පත්, හෝටල් ආදිය වෙන් කරවා ගන්නවත් විදියක් තිබුණෙ නැහැ, සති අන්තය නිසා ක්‍රෙඩිට් කාඩ්පත් වලට මුදල් මාරු කරන්නවත් ක්‍රමයක් තිබුණෙ නැහැ. කොහොම වුනත් 14 වනදා තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. දින 10 කින් නැවත පැමිණෙන විට අදාල ලිපි ලේඛණ රැගෙන එන ලෙස.. නමුත්, 24 ? මැයි 21 වන දින උදේ තානාපති කාර්යාලයට ඇමතුමක් ගත් විට වීසා සකසා අවසන් බව දැන්වූවා. පැය තුනක් වාහනය පැදගෙන ගොස් විසා ලබා ගෙන නැවතත් පැය තුනක් පැදගෙන ආපසු ආවා. කෙසේ හෝ 22 සවස ගුවන්ගත වුනා.
ජර්මනියට යනකොට 23 දහවල්.. එතැනින් කෝච්චියක් අරගෙන (සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව කෝච්චියක්ම ගත්තා) හයිඩ්ල්බර්ග් නගරයට යනවිට හවස 1.00 යි. ඒ නගරය හරිම අපූරු තැනක්… එතැන තොරතුරු වෙනම සටහනකින් කියන්නම්. එතැනින් බස් රථයකට නගින්න සිටින විට ඉංග්‍රීසි කතා කරන ජර්මන් තරුණයෙකු හමු වුනා. ඔහු සමඟ සාකච්ඡාවෙන් බොහෝ දේ දැනගත්තා.. කොහොම වුනත් මේ නගරයේ වැසියන් තරමක් ඉංග්‍රීසි කතා කරන්න හැකි අය… හෝටලයට ගිහින් නා කියාගෙන කෑම කන්න පහලට බැස්සා. හෝටලේ පහල තට්ටුවේ ඇත්තේ බේකරියක්.. බේකරියෙ තියෙන්නෙ බොහොමයක් ලංකාවෙ කෑම වගේ දේවල්. බනිස් ජාති දෙකතුනකුත් අරගෙන එතැනම ඇති පාක් එකේ බංකුවකට වෙලා කෑම කනකොට තමයි එක මහාචාර්යවරයෙකුට “මාව හමු වෙන්න අවශ්‍යයි දැන්මම” කියලා පණිවුඩයක් ආවෙ… ඉන්පසු මම හෝටලේ ඉඳලා ඇවිදගෙනම අදාල රසායනාගාරයට ගියා.
එතැන හරිම සුන්දර තැනක්.. ඉන්න පර්යේෂණ විද්‍යාඥයින් සියළුම දෙනා විවිධ රටවල – විවිධ ජාතීන්ට අයත් අය.. ඔක්කොම හරි හරියට වැඩ… බොහොම නිදහස්… එතැන සිදුවන පර්යේෂණ පිළිබඳ, ආගිය තොරතුරු අදාල මහාචාර්යවරයා සමඟ කතා කරගත්තා. ඔහුට මගේ සම්මුඛ පරීක්‍ෂණයට එන්න වෙන්නෙ නැති නිසායි ඔහුට මාව හමු වෙන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඒ කතා බහ අවසාන කරලා රෑ හතට විතර එළියට බැස්සා රෑට කන්න… කඩවල් බොහොමයක් වහලා… ජර්මනියේ එහෙමලු… හැතැක්මයක් විතර ඇවිදලා (ඇවිදින්න ආසයි.. හරිම ලස්සන පලාත – මාලිගාවක් තියෙනවා ගඟෙන් එහා – වැඩි විස්තර පසුවට) තායි අවන්හලකට ගිහින් බඩ පිරෙන්න කෑවා… ඉන් පසු හෝටලයට ඇවිත් ඊලඟ දවසෙ තිබෙන දේශනයට සහ සම්මුඛ පරීක්‍ෂණයට සූදානම් වුනා.
ඊලඟ දවසෙ සම්මුඛ පරීක්‍ෂණය : මමත් තවත් බ්‍රිතාන්‍ය ජාතික ෆිලිප් ජොලී නම් තරුණයාත් තම තමන්ගේ රසායන විද්‍යා දේශන පැවැත්වූවා…. එතැන හිටපු මහාචාර්යවරයෙක් නම් වැල නොකැඩී ප්‍රශ්න ඇහුවා.. කොහොම හරි ජාමෙ බේරගෙන පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණයටත් මුහුණ දුන්නා. ඉන් පසුවයි සිතට නිදහසක් ආවෙ… ඉන් පසුව රසායනාගාරයේ අනෙකුත් අයත් සමඟ දහවල් කෑමට ගියා…. සවස හෝටලේට ගිහින් පොඩි නින්දක් දාලා වටපිට බලන්න යන්නයි හිටියෙ… ඇහැ ඇරෙනකොට රෑ නවයයි. මොන ඇවිදිලිද ?…. දවල්ට කාලා ඉතිරි වෙච්ච පිට්සා එකේ ඉතිරි ටිකත් ගිලදාලා ඉවරවෙලා මහන්සිය යන්නත් එක්ක ආයෙම නිදා ගත්තා… ඊට පස්සෙන්දා උදෙන්ම ෆ්‍රැන්ක්ෆර්ට් බලා කෝච්චියෙන් ගිහින් 1.45 ට නැග්ගා ගුවන්යානයට.. 3.45 ට ෆිලඩෙල්ෆියා වලින් බහිනකොට පැය දෙකහමාරෙ චිත්තරපටි තුනක්ම බලලා ඉවර කළා…
ඊට දින දෙකතුනකට පසුව මම බලාපොරොත්තු වෙච්ච ආරංචිය ලැබුණා… ඒ තමයි මාව ඒ තනතුරට තෝරා ගනිපු බව… ඉන් පසුව සියල්ල වෙනස් වුනා.. මාසයක් ඇතුළත සියල්ල වෙනස් වුනා… ඉතින් මම අළුත් රටක පදිංචියට යනවා. මේ දිනවල බොහෝ වැඩ අධික වූවා… අවශ්‍ය දේ තෝරන්න, අනවශ්‍ය දේ ඉවත් කරන්න…පෙට්ටි පැක් කරන්න… තියෙන දේවල් අරගෙන යන්න.. ආදී වශයෙන්… ඒ රැකියාව ගැන පසුව විස්තර කියන්නම්. බොහෝ දේවල් රහසිගතයි… ඒ නිසා වැඩිය විස්තර කියන්නත් අමාරුයි…..
ඇමරිකාවෙ ජීවිතයෙ පරිඡෙදයට කොමාවක් තබලා ඉතින් අපි හෙට ගුවන්ගත වෙනවා… තව දින කිහිපයක් හෝ සතියක් පමණ යනතුරු අපේ මට අන්තර්ජාලයට එන්න බැරි වේවි. ඉතිං අපි පසුව හමුවෙමු…. කවදා හෝ අන්තර්ජාලයට සම්බන්ධ වනතුරු……… සමු ගන්නට අවසරයි…. ආයේ ආපු දවසක හැමදාම වගේ කියවන්න එන්න….. ලංකාවට ආපු දවසක අපි කතා කරමු….. සමහරවිට හමු වෙන්නටත් පුළුවන් වේවි…. ගිහින් එන්නම්…
2012 ජුලි 13 : ෆ්‍රෙඩී සිල්වටයි ප්‍රේමකීර්ති ද අල්විස්ටයි ලිංගික අපචාර (Sexual Harassment) චෝදනා නැගිය හැකි සිංදුව මොකද්ද ?
අද ලියන්න හිටිය ලිපිය වුනේ ඇයි සිකුරාදා දිනයට මාසයේ 13 වනදා වැටුනම (Friday the Thirteenth) බොහෝ අය බය වෙන්නෙ කියලා.. නමුත් ඒ ගැන ලියනවාට වඩා වැදගත් නිමිත්තක් ලැබුණා.. දහතුන්වන සිකුරාදා වල් ඕනතරම් ඉදිරියට ඒවි.. නමුත් මේ සිදුවීම අමතක වුනොත් ආයෙ ලියන්න වෙන්නෙ නැහැ… ඒ නිසාම මෙය ලියන්න ගත්තා…. නමුත් මේ ලිපියෙ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මගේ මිත්‍ර සමිත් ට. මොකද කියනවා නම් ඒකේ නිමිත්ත ලබා දුන්නෙ ඔහු නිසා.
ඉස්සර කාලෙ ගීත කියන්නේ තවමත් අපි රස කරකර අහන දේවල්. ප්‍රබුද්ධ නැහැයි කියලා ප්‍රබුද්ධ අය කියන (අපි නම් එහෙම නොකියන) තවමත් ජනප්‍රිය හිත රත්තරං ජෝතිපාලගෙ ඉඳලා ප්‍රබුද්ධත්‍වයේ අගතැන්පත් විශාරද අමරදේවයන්ගේ ගී. මේ ගීවල ඇත්තෙ සංගීතමය රසයටත් වඩා අර්ථ රසය… සමහර ගීතවල අර්ථය අමු අමුවෙම එළියට දාලා තිබුණත්, සමහර ගීතවල රසය තියෙන්නෙ වචන අතර හංගලා. තවත් සමහර ගීතවල පදවැල් මුල-මැද- අග එලිසමයන් පිහිටවලා ලියා තිබෙන්නෙ. මේ නිසාම පැරණි ගීතවල විවිධ රසයන් තවමත් අපව කුල්මත් කරනවා.
මේ ගීත බිහි වන්නෙ ගායකයො නිසාම නොවෙයි. තිරයෙන් පිටුපස ඉඳගෙන ගීතය රචනා කරන රචකයා කිසි විටෙක ඇගයීමකට ලක් නොවුනත්, රචකයාගේ පරිණත බව නිසාමයි ගීතයට ගීතයක් වගේ හැසිරෙන්න ලැබෙන්නෙ. මේ ගීත රචකයෝ අතර කරුණාරත්න අබේසේකර පරම්පරාවෙන් පසු හිතට දැනෙන ගීත රචනා කරන්න හැකි ගීතරචකයො හිටියෙ අතලොස්සයි… මේ අතර අකාලයේ ඝාතනය වුන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විශේෂයි. ඒ මහතාට ගීතයක් රචනා කරන්න තැනක් නොතැනක්, හේතුවක් අවශ්‍ය නැහැ කියලයි මම අහලා තියෙන්නෙ. අපි බොහෝ දෙනා තවමත් ආස කරන දොස්තර හොඳහිත කාටූන් වැඩසටහන් සියල්ලෙම ගීත රචනා කළේ ප්‍රේමකීර්ති. ඒවා කොයිතරම් ලස්සන අර්ථාන්විත ගීතද ?
කොහොම වුනත් ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ අපේ රටේ ගීත සාහිත්‍යය තුළ නොමැකෙන සළකුණක් තැබූ දැවැන්තයෙක්. මේ දැවැන්තයාගේ පෑන් තුඩින් ගීතයක් නොලියවුන ජාතික තලයේ ගායකයෙක් නොමැති තරම්. ප්‍රේමකීර්ති වැඩිපුරම ගීත රචනා කරන්න ඇත්තෙ වික්ටර් රත්නායක මහතාට වෙන්න ඇති. ආදරයේ උල්පත වූ අම්මා, දෙව්රම් වෙහෙරේ, තනිතරුවේ ආදි නොමැකෙන ගීත. මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන එදා රෑ, මට මෙන් ඔහුටද කඳුල ඔබයි වැනි බීපු සහ නොබීපු වෙලාවට හිතට වැදෙන බොහෝ ගීත, මර්වින් පෙරේරා ගායනා කරන සමහර ගීතවල ඇති ගීතවත් බව වගේම නැවත නැවතත් අහන්න ආස හිතෙන බව ඔහුගේ ගීත රචනා ශෛලියේ විශේෂත්‍වයයි. මේ සමනළයා 1989 ජුලි මස 31 වනදා සහදටම අප අතරින් වෙන්කළා…. සිටියා නම් අපට කොච්චර අළුත් ගීත ලැබෙන්න තිබුණද ?
මේ අතර උපහාස ගීත රචනාවත් ඔහුගෙන්ම මේ ලෝකයට බිහිවූවක්… ෆ්‍රෙඩී සිල්වා ගයන පාංකිරිත්තා ගීතය, අළුත් කලාවක් හොයාගත්ත මං ගීතය වගේ ගීත සමාජයේ ඇති අඩු ලුහුඬුකම්වලට ගසන සියුම් පහරක්… මේ අතර ඔහු ලියූ ගීතයක් ෆ්‍රෙඩී සිල්වා ගායනා කරනවා යුග ගීතයක් වශයෙන්.. මේ ගීතය ඉස්සර නම් අපි බොහොම සිනාමුසු මුහුණින් ඇසුවා.. දැන් නම් තියෙන මානව හිමිකම් ප්‍රශ්න, ලිංගික අපචාර ප්‍රශ්න එක්ක බැලුවාම ගායනා කරන්නත් බයයි වගේ. ඉස්සර විශාරද නන්දා මාලිනී ගායනා කරපු චන්‍ද්‍ර මඬුළු යට සුරංගනාවන් කියනා ගීතයෙ කොටසක් ළඟදි අයින් කළාලු… ජාතිවාදය ඇවිස්සෙනවා කියලා… ඒ වගේ වාතාවරණයක් උඩ මේ සිංදුව නම් ඇහුවොත් කවුරු හරි දෙන්නටම අල්ලලා නඩු දානවා….
හොඳයි දන්න අය කියමු බලන්න මේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියපු ෆ්‍රෙඩී සිල්වා මහතා ගායනා කරපු, මේක ලිවීම සහ ගායනා කිරීම නිසා ලිංගික අපචාර චෝදනා නගන්න පුළුවන් සිංදුව මොකද්ද කියලා ?
අදත් බොහොම අමාරුවෙන් ලිපියක් අකුරු කළා… බස් එකේ තරඟෙට……. තව එක දවසයි… ඊට පස්සෙ නම් ලියන්න වෙන්නෙ නෑ… සති අන්තෙ බරටම වැඩ.. අඟහරුවාදා ඉඳලා දැගටම ගමනෙ .. ලොකු නිවාඩුවක්, ජීවිතයේ ලොකුම ලොකු වෙනසක්….. සමහර විට අඟහරුවාදා ලිපියක් දාන්න පුළුවන් වේවි… ඊට පස්සෙ ලිපියක් දාන්න වෙන්නෙ කවදද කියන්න දන්නෙ නෑ… ඒ වගේම මොන රටෙන් මතු වේවිද දන්නෙත් නෑ… ඒ ගැනත් පස්සෙ කියන්නම්.
2012 ජුලි 12 : රැකියා විරහිත උපාධිධාරීනට රැකියා අවස්ථාවක්…. අදම අයැදුම් කරන්න….
ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඒ අතරින් කිසිදු රැකියාවක් හෝ ස්වයං රැකියාවක් කරගැනීමට සුදුසුකම් හෝ ශක්තියක් නැති අය ලිප්ටන් වට රවුමට ඇවිත් ආණ්ඩුවෙන් රැකියා දියවු යැයි කියමින් උද්ඝෝෂණය කරති. අවම සුදුසුකමට වඩා යමක් ඇති, තවත් සුදුසුකම් ඇති බුද්ධිමත් සිසුහු ස්වෝත්සාහයෙන් තමන්ට සුදුසු හෝ නුසුදුසු නමුත් කන්න යමක් ගත හැකි පඩියක් ලැබෙන රැකියාවක් සොයා ගනිති. සිය බුද්ධිය සහ ශ්‍රමය උපයෝගී කරගෙන ස්වෝත්සාහයෙන් අනුන්ට අත නොපා ජීවත් වීමට කැමැත්තෝ ස්වයං රැකියාවකට අතගසා සමහර විට දියුණු වන්නටත්, බුද්ධිය මෙහෙයවා දියුණුවේ හිණිපෙත්ත කරා පානැගීමටත් සූදානම් ව තමන්ට කියා යමක් කරගනිති.
අද දිවයින පුවත්පතේ ඇති ප්‍රවෘත්තියකට අනුව එල්ලුම් ගස ක්‍රියාත්මක කරවන අළුගෝසුවකුගේ ඇබෑර්තුවක් ඇතිවී තිබේ. මේ තනතුර සඳහා සුදුසුකම් ඇති තරුණයන් දහස් ගණනක් අප රටේ සිටිති. වැටුප රුපියල් 17,600 ක් වන අතර සමහර විට මිය යනතෙක් හෝ විශ්‍රාම යනතෙක් කිසිදු රාජකාරියක් නොකර පඩි ගත හැකි දෙවන රැකියාව මෙය විය හැක. (පළමු වැන්න දේශපාලනඥයෙක් වීමයි). මෙය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා තමන් මිනියක් මරන්නේද නැද්ද යන්න අදාල නොවේ. ලංකාවේ රාජ්‍ය අංශයේ බොහෝ රැකියා මෙන්ම මේ රැකියාවද කිසිදු වැඩක් නොකර වේතනය ලබා ගත හැකි එකකි.
නමුත් වැරදිලා හෝ අපේ ජනාධිපතිතුමාට රටේ අපරාධ රැල්ල නවත්වන්න සිතී එල්ලුම් ගස ක්‍රියාත්මක කළ හොත් රටේ වැඩ අධිකම රාජ්‍ය සේවකයා වීමේ ගෞරවයද ඒ පුද්ගලයා සතු විය හැක…
දැන් අපේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජය රැකියා නොදෙන්නේ යැයි උද්ඝෝෂණ කළ නොහැක. එක් අතකින් එසේ කළ හොත් බඩුම තමාය… අනෙක් අතින් ඔවුනට සරිලන රැකියාවක් ලබා දී ඇත.. නවක වදය ලබා දීමෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන ඔවුනට මේ රාජකාරිය මැනවින් ඉටු කළ හැක. සමහර විට එල්ලුම් ගසට ගෙනයන්නට පෙරම චුදිතයා අපේක්‍ෂා භංගත්වයකට පමුණවා සිය දිවි නසාගිනීමේ තත්ත්‍වයකට පත් කිරීමට ඔවුනට හැකි වනවා ඇත.
අදම අයදුම් කරන්න…. හැඟීම් පෙන්වීම අනවශ්‍යයි…
මේ තියෙන්නේ බස් එකේ පින්තූරෙ…. හෙට නම් වැඩ අධික වේවි…. පුළුවන් වුනොත් තමයි ලියන්නෙ….. බලමු…
2012 ජූලි 11: හුටා…. මයිටා…..
ඉස්සර ජංගි කොටයක් ගහගෙන ගෙදර ඉස්සරහ බළලුන් ජරා කරපු වැලි ගොඩේ ලැගගෙන බිංගෙවල් හාරනකොට අම්මලා අපව හෝදලා ගෙට ගන්නෙ ගෙදර නහයක් තියාගෙන ඉන්න බැරි නිසා. දවල්ට කාලා ආච්චිලගේ ගෙදර අයිනෙ තියෙන වැලි ගොඩවල බිංකුණ්ඩො හොයාගෙන ඇවිත් උන් බිම හාරගෙන ඇතුලට යනවා බලන්න අපටත් අතීතයක් තිබුණා. හවසට ලිඳට නාන්න ගියාම සීයා වෙලේ වතුර බැඳලා තියෙන වතුර පිරිච්ච කුඹුරේ මී හරක් වගේ දඟලලා දඟලලා මඩ නාගෙන ඉවර වෙලා තමයි අපි නාන්න ලිඳ ගාවට එන්නෙ. කුඹුරු මඩවන කාලෙට අන්තිම මී හරක් හතර දෙනාගෙ පස්සෙන් “හේ… මල්ලියේ….. ජහ්” කිය කියා මී හරක් පස්සෙ දිවුවත් කවුරුවත් නෙවෙයි වචනයක් කිවුවෙ… පොඩි එවුන්ගෙ ආසාවටත් වඩා ඒ අත්දැකීම් අපටත් ලබා දෙන්න ඒ අයට උවමනාවක් තියෙන්න ඇති. එහෙම වුනා කියලා අපට ඉඳලා හිටලා ඇතිවෙන සෙම් කෝපයකට වඩා ඉහෙන් බහින ලෙඩක් තිබුණෙත් නැහැ දෙයියනේ කියලා.. ඒ අපේ කුඩා කාළය…
දැන්..ඒකටත් එක්ක….. අපේ පැටියට දහයක් ජාති ආසාත්මිකයි… කන්න යමක් දෙන්න ඉස්සර වෙලා දහසක් ජාති අහන්න බලන්න වෙලා. අරවා තියෙනවාද මේවා තියෙනවාද කියලා. දැන් එයති ඒකට පුරුදු වෙලා කඩේකට ගියත් ගන්න කෑම වල ලේබලේ බලන්න පුරුදු වෙලා. පාරෙ වැටිලා ඉන්න කොල්ලන්ට මේ කිසි අමාරුවක් නෑ… උන් ජරාවත් එක්ක ජීවත් වෙලා පුරුදු වෙලාද කොහෙද ප්‍රතිශක්තිය වැඩියි… අපේ නිවෙස් පිරිසිදු වැඩියි… ඉතිං නිකම්ම ලෙඩ බෝ වෙනවා….
ඉස්සර නැති මයිටෝ දැන් දැන් ජංගම දුරකථනවලින් සොයා ගන්නවාලු… එකෙක් හොයාගෙන කවුද නොබෙල් ත්‍යාගය ගන්න තරම් ලොකු ප්‍රචාරයක් ගියා… මෙන්න දැනුත් හොයාගෙනලු…. අනේ මන්දා..
දූවිලි මයිටා කියන්නෙ ඔය ගෙවල්වල ඉන්න මකුළුවොන්ගෙ ජාතියෙම කුඩා සත්තු ජාතියක්; මොවුන් වැඩිපුර නෑකම් කියන්නෙ කිණිතුල්ලන්ටයි. මොවුන් හැම තැනකම වගේ ඉන්න සත්තු ජාතියක්. බොහෝ විට දූවිලි එකතුවන ස්ථානවල තමයි ගැවසෙන්නෙ. ඇත්තෙන්ම මේ සතුන් ක්‍ෂුද්‍ර විලෝපිකයන් කොටසක්. ඍජු සූර්යාලෝකයට නිරාවරණය වුනොත් මොවුන් මිය යනවා. ඒ නිසා වෙන්න ඇති අපේ ආච්චිලා ඉස්සර දවල්ට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ආදී සියල්ල වේලෙන්න අවුවට දැම්මෙ. දැන් නම් ඒවා කරන්න වෙලාවක් නැහැනෙ. ඉතිං මයිටො බෝ වෙලා ඉතිරි වුනොත් ඇති. කොහොම වුනත් ගෙවල් ඇතුලෙ ඇති ආර්ද්‍රතාවය, අඳුරු බව, සූර්යාලෝකයට නිරාවරණය නොවීම වැනි කාරණා මේ මයිටොන්ට ජීවත් වෙන්න, ප්‍රචාරණය වෙන්න හොඳ තෝතැන්නක්.
මයිටන් අනතුරුදායක වෙන්නෙ ඔන් අපට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සෑදීමට මුල් වන නිසා. සමහර විට ඔබ මයිටාවන්ට සංවේදී නම් දිගු කාලීන නිරාවරණය ඔබට ආසාත්මිකතාවයන් ඇතිකරවනවා විය හැකියි. ඔබ දැනටමත් ආසාත්මික නම් ඔබට ඔවුන් දැඩි අපහසුතා ඇති කරවන්නට පුළුවනි. සමහර විට ඇදුම පවා ඇති කරන්නට පුළුවනි.
දූවිලි මයිටාවන් නිසා ඇතිවන ආසාත්මිතකාවයන්ගේ රෝගලක්‍ෂණ වන්නේ,….
- සුළු උණ තත්ත්‍වයන්, නාසයෙන් හොටු ගැලීම, කැසීම, කිවිසුම් යාම
- සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්‍ෂණ නොමැති වුවත් නාසයේ අවහිරතාවයක් වැනි ගතියක්
- ඇස් යට තද පැහැති ඉදිමුණ බවක්
- ඇස්වලින් කඳුළු ගැලීම
- ශ්වසන අපහසුතා, ඇදුම වැනි රෝග ලක්‍ෂණ
- සම වියළීම වැනි ආසාත්මිකතාවයන් නිසා මතුවන රෝගලක්‍ෂණ මතු වීම
- මුහුණේ රිදීමක් ඇතිවීම (රණ්ඩු වලට යන අයට මෙය අදාල නැත)
දූවිලි මයිටාවන්ගේ ඔබට ආසාත්මිකතාවයන් ඇති කරන්නේ ඔවුන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය සම වැනි කොටස් වලිනි. මයිටාවන් ශරීර ප්‍රමාණයෙන් විශාල වනවිට ඔවුන් හැව ඇරීමක් කරයි. මේ සම ඔබට ආසාත්මික විය හැක. ඔවුන්ගේ කෙටි ජීවිත කාළය තුළ සාමාන්‍යයෙන් මළද්‍රව්‍ය සහ සමේ කොටස් කැබලිති 2000 ක් පමණ ඔවුන් ඉවත දමයි. මේ කොටස් වල ඇත්තේ විවිධ ප්‍රෝටීන වර්ගයි. මේවා පෙනහළු තුළින් අප ශරීර වලට ඇතුළු වූ විට අපේ ශරීර ඒවාට සළකන්නේ ආගන්තුක ද්‍රව්‍ය ලෙසයි. එවිට ශරීරය ඒවා බැහැර කිරීමේ ප්‍රතික්‍රියාවක් දක්වයි, එය ආසාත්මිකතාවයක් ලෙසින් පිටතට දිස් වේ.
මේ මළ ද්‍රව්‍ය සහ සමේ කොටස් එකතු වන්නේ ඔබේ මෙට්ටයේ හෝ පුටුවේ වැනි ස්ථාන වලය. ඔවබ ඒවාට නිරාවරණය වූ විට ඔබට සමහර විට මේ ආසාත්මිකතා රෝග ලක්‍ෂණ ඇති විය හැකිය. සමාජයේ වෙසෙන බොහෝ දෙනෙකු මේ ආසාත්මිකතාවයන් දක්වන්නේ නැත.. එය පෙන්නුම් කරන්නේ බොහොම ස්වල්ප දෙනෙකි. මේ නිසා මෙය බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවේ.
දූවිලි මයිටාවන්ගෙන් සදහටම නිදහස් විය හැකිද ?
නැත, ඔවුන් ඇත්තෙන්ම දේශපාලනඥයින් මෙනි. මිනිසුන් ඇති තාක් කල් දේශපාලනඥයින් ඇති සේම දූවිලි ඇති තාක්කල් මයිටාවන් ද දැකිය හැක. ඔවුන් ඇති කරන්නේ අපමය.. දූවිලි සහිත තෙතමනය සහිත ස්ථාන ඔවුන්ගේ වගා බිම් වේ.. නිතර නිවෙස් සූර්යාලෝකයට විවෘතව තැබීමෙන් මෙය තරමකට පාලනය කරගත හැකිය. එසේම කොට්ට, මෙට්ට, පුටු ආදිය වේලෙන්න දැමීම, නිතර පිරිසිදු කිරීම වැනි පුරුදු වලින් දූවිලි මයිටාවන් පාලනය කරගත හැක… නිවසේ කිසිවෙකු දිගින් දිගටම ආසාත්මික ලක්‍ෂණ වලින් පෙළෙනවා නම් මේ ගැන සොයා බැලීම වටී. බොහෝ බටහිර රටවල මේ ප්‍රශ්නය වැඩිපුර දක්නට නොලැබෙන්නේ ඒ රටවල් ආර්ද්‍රතාවයෙන් අඩු වීම (වියලි) නිසයි.
බොහෝ දෙනා මේ ආසාත්මිකතාවයන්ට ගොදුරු වෙන්නෙ නැහැ.. එයත් ජානමය ලක්‍ෂණ මත තමයි යැපෙන්නෙ. එකම කාමරයේ සිටින දෙදෙනෙකු ගත හොත් එක්කෙනෙක් ආසාත්මිකතා ලක්‍ෂණ පෙන්නුම් කරලා අනෙකා නිරෝගී වෙන්න පුළුවනි.
මෙම දූවිලි මයිටාවන් පාලනය කළ හැක්කේ ආසාත්මිකතාවයන්ට ප්‍රතිචාර දක්වන බෙන්සිල් බෙන්සොඒට් අඩංගු පිරිසිදු කිරීමේ ද්‍රාවණ මගින්.
ඉතින් පිරිසිදුව සිටීමෙන් සහ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නිතිපතා අවුවට දැමීමෙන් මේ මයිටාවන්ගෙන් බේරෙන්න පුළුවනි. ජංගම දුරකථනයේ ඉන්න මයිටාවොන්ට නම් ඉතින් කරන්න තියෙන්නේ ඕන නැති තැන්වල ඒක නොදාන එකයි… කොහොම වුනත් මේ මයිටාවන්ගෙන් ලොකු හානියක් සිදු වන්නෙ නැහැ….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ බස් රේඩියෝවෙ තරඟාවලිය නිසා හැමදාම ලිපි දාන්න වෙලා… එක අතකට හොඳයි… මේ දවස්වල අධික වැඩ… කොහොම වුනත් මේක හොඳ දෙයක්… පුළුවන් තරම් දුරට මේ වැඩේ කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ… බලමු….
2012 ජුලි 10 : අවුරුදු අටක් දුකට සැපට ලඟ හිටිය ඔබ…. දාල යන්න දුකයි… (පළමු කොටස……)
අපි නොහිතපු මොහොතක, අපි නොහිතපු දවසක, අපි නොහිතපු වෙලාවක, අපි නොහිතපු විදියකට ඔබ අප අතරට ආවා… ඒ 2004 පෙබරවාරි 02 වෙනිදා….එදා ඉඳලා අපි ඔබට සැලකුවෙ අපේම කෙනෙක් විදියට…. අවශ්‍ය වෙලාවට කන්න නැතත් බොන්න දීලා, නාවලා පිසදාලා… ඉන්න වෙනම තැනක් වෙන් කරලා.. අපේ අවශ්‍යතා වලට ඔබව යොදා ගත්තත්…. ඔබ අපේම කෙනෙක් වුනා….
මුලින් මමයි ඇල්කෙම්ච්චියි එක්ක ගමන් බිමන් ගිය ඔබ අපේ ජීවිතයේ බොහෝ වෙනස්කම් දෑසින් ම දුටුවෙක්… 2005 මාර්තු 18 වෙනිදා ලෙදර් බෝලයක් වැදිලා මගේ ඇහැ තුවාල වෙච්ච දවසේ ෆිලඩෙල්ෆියා නගරයේ පාරක් අයිනෙ බය නැතිව තනියම පැය ගණනක් හිටියේ සමහර විට මට මොනවා වෙලාද කියලා නොදැන. පැටියා උපදින්න ඉන්නකොට හැම අපි ගිය ගමනක්ම පරිස්සමින් අපිව එක්කරගෙන ගියේ තමන් ගැනට වඩා අපි ගැන හිතලා වගේ…. පැටියා ඉපදුන දවසෙ රෑ බොහොම චකිතයෙන් මහ රෑ රෝහලට ගියෙත්, පැටියා ඉපදිලා ගෙදර එනකල්ම රථ ගාලට වෙලා තනියම හිටියෙත්, අපිට අපේ වැඩක් බලාගන්න ඉඩ දීලා..
පැටියා ගෙදර එක්කන් එන්න, බෙහෙත් ගේන්න යන්න, තව අමතර ගමන් බිමන් යන්න කිසි විටෙක බෑ නොකියා ඔබ ආවෙ අපි ගැන හිතලා මයි… අපේ වැඩ වැඩි වෙද්දි, සමහර වෙලාවට නාවන්න පිසදාන්න අමතක වුනත් කටක් ඇරලා මොනවත් කිවුවෙ නැත්තෙ අපේ කාර්ය බහුල බව දැනගෙන වගේ… පැටියා ටික ටික ලොකු වෙද්දි ඔබ ගැන ආදරේ දක්වද්දි, ඒ වගේම පැටියා ඔබේ ඇඟ උඩ නැගලා මඩ ගාද්දි ඔබව සූරද්දි , ඔබ උපේක්‍ෂාසහගතව බලාගෙන හිටියා… දවසක් මතකයි… පාරෙ යනකොට ආච්චි කෙනෙක් වාහනේක ඇවිත් ඔබව හප්පලා ඔබට තුවාල කළ වෙලාවෙ අපි හොඳටම බය වුනා.. නමුත් නැවතත් කිසි දෙයක් නොවුනා වගේ ඔබ අප අතරට ආවා…
ඉඳලා හිටලා ලෙඩ වුනත් ඔබේ රෝග සුව කරන්න අපට මහ වියදමක් ගියේ නැහැ… අළුතෙන් යම් යම් දේ ගෙනැත් ඔබව අලංකාර කළේ අප ඔබට ඇති ආදරේ නිසාමයි. සමහර වෙලාවට පැටියා ඔබ කැතයි කියලා නෝක්කඩු කිවුවත් ඔබ නැහැ කිසි විටෙක අමනාප වුනේ…. ඔබත් එක්ක අපට ලොකු අතීතයක් තිබෙනවා. ඔබ එක්ක ගිය කිසිම ගමනකදී ඔබ අපව අතරමං කළේවත් අපට කරදරයක් දුන්නෙ වත් නැහැ.. ලඟ වගේම හැතැක්ම තුන්දාහකට වැඩි දුර ගමන් එකවර ඔබ අපට එක්කගෙන ගියා… කිසිදු මැසිවිල්ලක් නොනඟා….
මම නම් හිතාගෙන උන්නේ ඔබ මිය යනතෙක්ම අප සමඟ තබාගන්න… මොනවා වුනත් ඔබ අපට කිසිම අඩුවක් නැතිව සේවය කළා… තවමත් ඔබට අපි ආදරෙයි.. නමුත්… හැම සම්බන්ධතාවයක් වගේම මේ සම්බන්ධතාවයත් කිසියම් ම හෝ හේතුවක් මත නිම කරන්න වුනා…. අපට ඔබව එක්කගෙන යන්න පුළුවන් නම් එක්කරගෙන යනවා.. නමුත් බොහෝ දෑ එයට හරස් වෙනවා… අපට කරන්න තිබෙන හොඳම දේ ඔබව බලාගන්න පුළුවන්, බලාගන්න කැමති කෙනෙකුට ඔබව බලාගන්න දෙන එකයි….
ඔබේ අළුත් අයිතිකාරයා ඔබව හොඳින් බලාගනී කියලා හිතනවා… ඔහු පොරොන්දු වුනා ඔබට හොඳට සලකනවා කියලා.. මම ඔබ ගැන සියළුම දේ ඔහුට කියලයි තියෙන්නෙ… ඉතින් ඔබ අපට සැලකුවා වගේම ඔහුටත් සලකන්න… ඔහු ඔබව හොඳින් බලාගනීවි…
ඔබට සුබ ගමන්…
මේ අර බස් රේඩියෝවෙ පින්තුරෙ…
2012 ජුලි 09: කිසි වියදමක් නැතිව රෙදි වැකියුම් සීල් කරන්නෙ මෙහෙමයි… අත්දුටුවයි සත්තයි… හරිගියාම ගාස්තුව ගෙවන්න….
මේ දවස්වල ගෙදර පොඩි යුද්ධයක්…. ගෙදර පුරාවටම පෙට්ටි ගොඩ ගහලා.. හැම පෙට්ටියකම මොනවා හෝ අඩුම කුඩුම පුරවලා… යන්තම් ඇවිදින්න පාරක් තියෙනවා හැම තැනම පෙට්ටි…. හරියට පිටකොටුව වගේ…
අපි වෙනත් තැනකට මාරු වෙන්නයි යන්නෙ… ඒ නිසාම බොහොම කාර්ය බහුලයි… මේ පෙට්ටිවල ඇසිරෙන්නෙ අළුත් තැනට ගෙනයන්න අවශ්‍ය දෑ… බොහෝ දේ විකුණුනා.. සමහර දේ අසරණයන්ට සේවා සපයන ස්ථානවලට දන් දුන්නා…. ඉතිරි වෙච්ච දෑ අරගෙන යනවා අළුත් තැනට…. සමහර වෙලාවට අපිත් අහිකුණ්ඨිකයො වගේ කියලා හිතෙනවා.
සමහර දෑ ඒ අයුරින්ම ගෙනියන්න ගියොත් බොහොම ඉඩ අරගන්නවා. මේ නිසා රෙදි – බ්ලැන්කට්ටු වගේ දේවල් ප්‍රමාණය කුඩා වෙන්න රික්ත ඇසුරුම් (සිංහලෙන් කිවුවොත් වැකියුම් සීල්) කරලා ගෙන යන එක පහසුයි. නමුත් මේ වැඩේ ටිකක් වියදම් යන වැඩක්. වැකියුම් සීල් කරන්න වෙනම බෑග් තියෙනවා. මෙන්න මේ වගේ…
නමුත් මේවා හරි ගණන්… මේ වගේ බෑග් දහයක් ගන්න සල්ලි වලින් අළුතෙන් ඇඳුම් ගන්නත් පුළුවන්… නමුත් මේ වැඩේ නොකරත් බෑ… ඉතිං මමත් මගේ ඥාණය පාවිච්චි කරලා ගූගල් දෙයියන්ගේ පිහිට පැතුවා… ටික වෙලාවක් යනකොට වැඩේ අහු වුනා…. මෙන්න ක්‍රමය…. අත්දුටුවයි සත්තයි… හරි ගියාම ගාස්තුව ගෙවන්න.
අවශ්‍ය ද්‍රව්‍ය.
- සිදුරු නොමැති වාතය කාන්දු නොවන ප්ලාස්ටික් කුණු දමන බෑග්.
- රබර් පටි
- වැකියුම් ක්ලීනර් එකක්
ක්‍රමය.
- මුලින්ම අවශ්‍ය ඇඳුම් බෑගයට දමා ගෙන කට වසන්නට ඉඩ ඇති සේ අසුරන්න.
- දෙවනුව වැකියුම් ක්ලීනරයේ බටය ගෙන එය සිහිනිම බටය දමාගෙන බෑගයේ මැද දක්වා ගෙන යන්න.
- ඉන්පසු වැකියුම් ක්ලීනරය ක්‍රියාත්මක කර බෑගය වැකියුම් කරගන්න.
- ඔබේ බෑගය බලා හිඳිත්දී වාතය ඉවත් වී වැකියුම් වන සැටි පෙනේවි.
- අවශ්‍ය ප්‍රමාණයට වැකියුම් වූ පසු සෙමින් බටය ඉවතට අදින අතරම බෑගයේ කට වාතය ඇතුළට නොයන සේ අඹරවාගන්න.
- ඉන් පසුව අඹරවාගත් කොටස දෙකට නවා හොඳින් රබර් පටියෙන් ගැටගසා ගන්න.
- අවසාන ප්‍රතිඵලය මෙසේ වේවි.
මේ අයුරින් සාදා ගත් වැකියුම් බෑග දින කිහිපයක් කිසිදු ප්‍රශ්නයකින් තොරව වැකියුම් වී පවතී. කොපමණ දිනක් මෙසේ පවතීදැයි යන්න පසු දිනක සඳහන් කරන්නම්. මෙසේ වැකියුම් කරගත් බෑග පෙට්ටියක ඇසිරීමෙන් තැනකින් තැනකට මාරු වීමේදී ඉඩ පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගත හැක.
කොට්ට ඇඳ ඇතිරිලි සහ ටෙඩි බෙයාර් වැනි දෑ ඉතා පහසුවෙන් අසුරා ගැනීමට මේ ක්‍රමයෙන් පුළුවන් වෙනවා. ඒ වෙග්ම ඉඩත් අඩු කරගන්න පුළුවන් පහසුවෙන්ම….
ඔබත් අත්හදා බලන්න….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
බස් රේඩියෝවෙ බ්ලොග් තරඟාවලියට මමත් ඇතුලත් වුනා…. දිනන්නම නෙවයි බස් රේඩියෝවට සහයෝගය දක්වන්න…. මම ආසම සින්දු නොනවත්වාම යන බස් රේඩියෝව හොඳ වැඩක්… නමුත් සමහර වෙලාවට සමහර නිවේදකයන්ට වචන නැති වෙලා ආ ආ ගානකොට නම් ටිකක් එපා වෙනවා… ඒක හදා ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන් වේවි. තරහට නෙවෙයි කිවුවෙ… හැදෙන්න
2012 ජුලි 08: සරා සළෙළු දන සතොසේ….. ඕන දෙයක් කරන ලෙසේ….
ඉස්සර නං පාරෙ බල්ලෙක් මැරිලා හිටියත් අනේ අපොයි කියපු අපේ ගමේ උන්දලා දැන් නම් මිනී හතක් මැරුවත් හුම් කියලා කටක් ඇරලා කතා කරන්නෙ නැති ගානකට හිත් ගල් වෙලා. ඉස්සර කිවුවෙ අවුරුදු 20 කට 30 කට විතර ඉස්සර… කොටි හපුවා බෝම්බ පුපුරවන්න ඉස්සර.. කොටි හපුවා මහ දවල් තොග ගණනේ මිනී මරනකොට සහ ඒ මිනී රූපවාහිනියෙයි පත්තරෙයි අමු අමුවෙ පෙන්නනකොට අපේ මිනිස්සුන්ගෙ සංවේදීතාවය කොහේ හෝ රැගෙන යන්න ඇති. දැන් මිනිහෙක් මැරෙන්න යනවා නම් අපේ උන් ඉස්සෙල්ලම කරන්නෙ ජංගම දුරකථනය අරගෙන ඒක වීඩියෝ කරගන්න එක… ඊට පස්සෙයි බලන්නෙ ඌට මොකද වුනේ කියලා. මේකට හොඳම උදාහරණය අර කොච්චිකඩේ මියගිය තරුණයන්ගෙ මළකඳන් වලට වටේ පිටේ මිනිස්සු (ද මන්දා) දීපු උපහාරය.
පත්තරයක් ගත්තොත් ස්ත්‍රී දූෂණ, හොරකම්, මිනීමැරුම් පිළිබඳ ප්‍රවෘත්තීන් අනන්තවත්. එක්කෝ පත්තර කරන්නේ මේවා විකුණගෙන කන එක, නැත්නම් පත්තරවලටත් ලියන්න දෙයක් නැහැ. එසේත් නැත්නම් පත්තරත් බංකොලොත් – රටත් බංකොලොත්. ඒක ගැන ඒ තරම්ම කියන්න දෙයක් නැහැ. මරණාධාර සමිතියේ ඡන්දයත් ප්‍රදේශයේ දේශපාලන බලවතාට අවශ්‍ය විදියටයි සිදු විය යුත්තෙ. ඉඩමක් කඩමක් විකුණුවත්, එයටත් කප්පම් ගන්න බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. මේ අයුරින් මුළු සමාජයම දැඩි ලෙස දේශපාලනය නම් වූ පිළිකාවෙන් වෙලාගෙන. දේශපාලනඥයො මොන වැරැද්ද කළත් නිවැරදිව යළිත් සමාජය වෙත පැමිණෙනවා. ලොකුම වැරැද්ද ඊලඟ ඡන්දයේදීත් ඔවුන්ම පත් කරගන්නට අපේ ඡන්ද දායකයින් බුද්ධිමත් වීම. පසුගිය සතියේ පමණක් ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් සිදු කරනලද ළමා අපරාධ කිහිපයකම පුවත් – පුවත් පත් සහ අන්තර්ජාලයේ පැතිර ගියා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුන්ගෙත් පහසුම බිල්ල අපේ අනාගත දරු පරපුර වෙලා. ඔවුන් කවදත් අසරණයි. හොඳ නරක නොදන්න කිරි සප්පයන් වගේම වල පයයි ගොඩ පයයි ඉන්න ආච්චිලාත් මේ නරුමයන්ගෙ ගොදුරු බවට පත් වෙන්නේ අපේ වර්තමාන සමාජයේ ඇති වී ඇති පරිහාණිය මොනවට කියා පාමින්.
රටක නීතියක් සහ නීතිය රකින – නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොපමණ තිබුණත්, රටේ හරියට එක නීතියක් ක්‍රියාත්මක වන්නෙ නැතිනම් ඒ රටේ ප්‍රගමනයක් නැහැ. එල්ලුම් ගසට අළුතෙන් කඹයක් ගෙනාවත් ඒ කඹේ දිරා පත් වනතුරුත් ඒ නීතිය ක්‍රියාත්මක වන්නෙ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙනුවට මහජනතාව නීතිය ක්‍රියාත්මක කරන්නට යාම අති භයානක ප්‍රවණතාවයක්. එසේ වුනත් මිනිසුන් හැමදාම ඉවසන එකක් නැහැ… මේ ස්ත්‍රී දූෂකයින්ට නීතියෙන් හරි හැටි දඬුවමක් නොදෙන තැන අපට කරන්නට තිබෙන්නේ අරාබි දඬුවම් දෙන්නටයි. අදාල අවයවය කපා දැමුවාම ආයෙ ජීවිතේට ඒ වගේ දෙයක් කරන්න අවස්ථාව අහිමි වෙනවා. මගේ කාටහරි ඒ වගේ අතවරයක් කළොත් මම නම් කරන්නේ ඒ පුද්ගලයා අල්ලලා ඒ කොටස කපලා දානවා ආයෙම චූ කරන්නවත් බැරි වෙන්න…
ස්ත්‍රී දූෂණ – මිනී මැරුම්, මත් ද්‍රව්‍ය බෙදාහැරීම වැනි සමාජමය පිළිලයන්ට මරණ දඬුවම දුන්නා කියා කවුරුවත් පවතින රජයට දොස් කියාවි කියා මම නම් සිතන්නෙ නැහැ. මිනිසුන්ට බයක් සැකක් නැතිව ජීවත් වීම අවශ්‍යයි. එවිටයි ඔවුන්ගේ කාර්යක්‍ෂමතාවය ඉහළ යන්නෙ. ඒකීය කාර්යක්‍ෂමතාවය ඉහළ යාම ජාතියක දියුණුවට හේතු වෙනවා. රටක අධ්‍යාපනය විධිමත් වන විටයි අනාගත පරපුරට ආත්ම විශ්වාසයකින් ඉදිරිය බලන්න පුළුවන් වෙන්නෙ. රටක ආර්ථිකය අර්ථවත්ව හැසිරවෙන විටයි මිනිසුන් මුදල් වියදම් කිරීමට පෙළඹෙන්නෙ (මේ කතාව නම් ලාංකිකයාට අදාල නැහැ – ඔවුන්ට ආර්ථිකයට හෙන ගැහුවත් කමක් නෑ කැමති විදියට වියදම් කරනවා ) රටේ පර්යේෂණ සිදුවන විට – අළුත් දෑ සොයා ගන්නා විටයි රටේ අනාගතය ආශ්චර්යමත් වන්නෙ. එසේ නැතිනම් වන්නේ අනාගතය අනාත වීම…..
මිනිස්සු හිතන්න පුරුදු වෙන එක රටකට හොඳ වුනත් දේශපාලනඥයොන්ට නම් අහිතකරයි. ඒත් අපේ රටේ මිනිස්සු එහෙම හිතන්නෙ නැති නිසා ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. රටේ අධ්‍යාපනයට මුදල් යොදවන්න කියලා මහාචාර්යවරු වර්ජනයෙ යෙදෙන ලෝකෙ එකම රට අපේ රට වෙන්න ඇති. අළුතෙන් පලාත් සභාවලට පත් වෙන්න ඉන්න මහත්වරුත් පරණ මහත්වරුන්ගෙ අඩි පාරෙම ගියොත් ඉතිං අපේ රටට නාථ දෙයියොන්ගෙම පිහිටයි. ඒත් ඉතිං අපේ මිනිස්සු හැමදාම වගේම ජීවත් වේවි. යකාගෙ හැටියටලු විමානෙ.
මේ ටික ලිවුවෙ හිතේ කළකිරීම නිවා ගන්න…. වැඩිදුර හිතන්න එපා… එහෙම හිතුවයි කියලා රටට සෙතක් වෙන්නෙත් නැහැ…
මේ දවස්වල බස් රේඩියෝවෙ බ්ලොග් තරඟාවලියක් යනවා. මෙන්න මෙතැනින් ඒකත් බලන්න.
2012 ජුලි 05 : මදුරුවන් දණගස්සවන්න පුළුවන් මර්වින් සිල්වා ඇමතිතුමාට විතරද ?
ඩෙංගු රෝගය රටේ බොහෝ දිස්ත්‍රික්ක ආක්‍රමණය කර ඇති නිසාම සහ එහි භයානක කම නිසාම අද බොහෝ දෙනා මදුරුවන්ට දක්වන්නේ දැඩි ගෞරවයකි. පසුගිය දිනෙක ඩෙංගු රෝගය වැලඳුන මර්වින් සිල්වා මැතිතුමා නම් මදුරුවන් එතුමා ඉදිරියේ දණගස්වා ඒ රෝගයෙන් සුව වීම ලංකාවේ අති මහත් බහුතරයකගේ දැඩි සංතෝෂයට පත් වූ කාරණයකි.
ඩෙංගු රෝගීකාරක වෛරසය රැගෙන යන්නේ මදුරුවෙකි. මේ මදුරුවා බොහෝ විට මිනිසුන්ට දෂ්ඨ කරන්නේ දවල් කාලයේ නිසා මදුරු දැල් වැනි ආරක්‍ෂක උපක්‍රම වලින් මෙයින් ගැලවිය නොහැක. කළ හැකි එකම දේ පිරිසිදු ජලය රැඳෙන ස්ථාන අවම කිරීම වුවත්, එයද රඳ පවතින්නේ තමන් මෙන්ම අසල්වැසියන් ද එක හා සමානව කැපවීමකින් කටයුතු කළහොත් පමණි. මේ නිසා ඒ පිළිබඳවද විශ්වාසයක් නොමැත.
මදුරුවා මිනිසුන් සහ සතුන් වෙතට ආකර්ෂණය වන්නේ ඔවුන්ගෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඇති රස හෝ ගුණ නිසාය. මේ නිසා බොහෝ රටවල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කාබන් ඩයොක්සයිඩ් පිට කරන කුඩා මදුරු උගුල් සකසා ගෙවතුවල මදුරුවන් පාලනය සිදු කරනු ලබයි. මදුරු දඟරවල අධික මිල ගණන් මෙන්ම එහි දුමාරයේ තිබිය හැකි අහිතකර බලපෑම් (තවමත් පර්යේෂණ කර නැති හෝ පිටතට හඟවන්නේ නැති) නිසා මදුරු දඟර භාවිතය අවම කිරීම සුදුසුය.
බොහෝ ප්‍රශ්න වලට මිනිසුන් සරළ විසඳුම් සොයා ගැනීම නිතර සිදු වේ. මදුරුවන් අල්ලන මේ මිල අධික උගුල සරළව සාදාගත හැකි ආකාරයක් මෑතකදී අන්තර්ජාලයේ සංසරණය වූ විදුලි ලිපියක් මාර්ගයෙන් මටද දැනගන්නට ලැබිණ.
- ලීටර දෙකේ සෝඩා බෝතලයක් ගෙන පහත දැක්වෙන අන්දමට කපා ගන්න.
- දුඹුරු සීනි (සුදු සීනි වුවත් කමක් නැති බව මට හැඟේ) උණු වතුරින් (200 mL) දියකර පරිසර උෂ්ණත්‍වයට වඩා මඳක් වැඩියෙන් සිටින සේ (40 C) නිවා ගන්න. යීස්ට් වැඩියෙන්ම ක්‍රියාකාරී වන්නේ මේ උෂ්ණත්‍වයේ දීය
- යීස්ට් ස්වල්පයක් (20 – 50 g) එයට දමා බෝතලය කපා ඉවත් කළ කොටස මුණින් හරවා වසා ගන්න.
- කළු කඩදාසියකින් එය ආවරණය කර වත්තේ හෝ නිවසේ කොණක තබන්න.
- දින කිහිපයකින් ප්‍රතිඵල බලා ගන්න.
- මදුරුවන් නිවසට පැමිණීමේ අඩුවක් ඇත්දැයි බලන්න.
මේ ක්‍රමයට සාදා ගත් මදුරු උගුලෙන් මදුරුවන් විනාශ කර ඔබ ඉදිරියේ මදුරුවන් දණගැස්වීමට කටයුතු කරන්න…
මේ නිසා සීනි මිල වැඩි වුව හොත් ඒ පිළිබඳ වගකීම ඇල්කෙමියා භාර ගනු නොලැබේ…. පේටන්ට් බලපත්‍රයක් නොමැති නිසා මේ උගුල මොළයක් ඇති ඕනෑම කෙනෙකුට සාදාගත හැක… සීනි ටිකක් කඩයෙන් සහ බේකරියකින් යීස්ට් ටිකක් ඉල්ලාගෙන මෙය තනාගත හැක… කළින් කළට සීනි සහ යීස්ට් එකතු කිරීමෙන් හෝ නව ද්‍රාවණයක් මාරු කිරීමෙන් දිගු කළක් මෙය පවත්වාගත හැක….
අපේ ආරක්‍ෂාව අප විසින්ම සලසාගත යුතුය…..