Daily Archives: ජූලි 2, 2012

2012 ජුලි 02 : පළමුව ආරක්‍ෂාව…. ඔබේ ජීවිතයේ වගකීම ඇත්තේ කාටද ?


දුරදිග නොබලා විනෝදය පිණිසම (සහ ලාභය තකා) පැවැත්වූ රේස් තරඟාවලියක් මරණ දෙකකින් කෙළවර වී තිබේ. ලංකාව අපූරු රටකැයි මා පැවසුවේ වරක් දෙවරක් නොවේ. බොහෝ දෙනා බොහෝ දේ සංවිධානය කරන්නේ එක් පැත්තක් පමණක් බලාගෙනය. ලංකාවේ බොහෝ දේ මෙන්ම නරඹන්නන්ගේ සහ අනෙක් අයගේ ආරක්‍ෂාවට දෙන්නේ අවම ප්‍රමුඛත්‍වයකි.

සේවා ස්ථානවල නම් දැන් දැන් ආරක්‍ෂාවට මුල්තැන ලබා දෙමින් (Safety First) ආදී පාඨ පෙරමුණු කරගත් විවිධාකාර ව්‍යාපෘති කෙරෙන අතරම අනතුරු අවම කිරීම, විවිධ දේශන – පුහුණුවීම් ආදී කරුණු නිසා සංවිධානය වූ – එනම් සමාගම් ආදී සේවා ස්ථානවල අනතුරු අවම තත්ත්‍වයක පවතී. එසේ නමුදු රාජ්‍ය අංශය යටතේ පාලනය වන සේවා ස්ථාන සහ ආයතනවල මේ අනතුරු අවම කිරීම හරිහැටි සිදුවනවා දැයි මම නොදනිමි. බැලූ බැල්මට විදුලි බල සේවකයන්, ජලාපවාහන සහ විදුලි සංදේශ ආයතනවල සේවකයන් යම් තරමකට හෝ ආරක්‍ෂක විධි විධාන සැලකිල්ලට ගත්තත්, 100 % ඒ කරුණු කෙරෙහි අවධානය යොමු කරනවා දැයි සැක සහිතය.

ජීවිතයටත් වඩා වැදගත්වන්නේ අවුවෙන් බේරීමයි….

පාරක තොටක ගමන් කරද්දී නොයෙකුත් අනතුරුදායක ස්ථාන, සහ සිදුවීම් අනන්තවත් දැකිය හැක. ත්‍රි රෝද රථයක ගමන් කළ හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව තුන්දෙනෙකුට සීමා කළද, පස්දෙනෙකු එකම ස්ථානයේ මරු දුටුවේ ද මේ නීතිය හරිහැටි පිළිනොපැදීම නිසාය. නීති පැනවූවාට හෝ නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් පමණින් එය සිදු නොවේ. මහජනයා එය හරිහැටි පිළිපැදීම ද කළ යුතුය. පිළිපදින්නේ නැත්තවුන් වන්දි ගෙවන්නේ ජීවිතයෙනි. පාසල් බස් රථයක ලෑල්ලක් කැඩුන තැනකින් සිසුවියක් ඇද වැටී මියගිය කතාවක් ද, දුම්රිය මගෙහි පසෙක ඇති පාලමකින් කළු ගඟට වැටී තරුණ යුවලක් මියගිය පුවතද මෙසේ අනුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ අදාල පුද්ගලයින් හෝ ආයතන සොයා නොබැලීමේ හේතුවෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ලෙස මතක් කර දිය හැකිය. (එසේම ඒ අදාල පාලම මගීන්ට ගමන් කිරීමට සුදුසු පාලමක්ද හෝ එසේ ගමන් කිරීමට නීතියෙන් ඉඩක් ඇද්ද යන්න මා නොදනී – නීති විරෝධිව එසේ ගමන් කළා නම් ඔවුන්ගේ මරණ පිළිබඳව ඔවුන්ටට වගකීමක් ඇත.)

බොහෝ දෙනා පාරේ ගමන් කරන්නේද, පාරේ වාහන එලවන්නේද ගමන්ගේ ජීවිතය ගැන වගකීම ඇත්තේ අනුනට හෝ රජයට යැයි සිතාගෙනය. බොහෝ අනතුරුවලට හේතුව වන්නේ නොසැලකිල්ලයි. එසේම අනතුරුදායක සංඥා නොසැලකීමයි. පැයට කිලෝමීටර 50 ක වේග සීමාවේ 80 ට යාමේදී වාහනයේ පාලනය ගිළිහිය හැක. එයින් අනතුරට පත් වන්නේ තමන් පමණක් නොව අහිංසකයින් එකෙකු හෝ කිහිප දෙනෙකි. අප රටේ මිනිස් ජීවිත වලට ලබා දී ඇති ලංසුව බෙහෙවින්ම සරළය. ආවේගාත්මක කතාබහක කෙළවර මරණයකින් නිමවන අවස්ථා සුලභ වෙමින් පවතී. පාර මැද්දේ වෙඩි තබා ගන්නා දේශපාලනඥයින් සහ පාතාල නායකයින් සිටින රටක මිනිස් ජීවිතවල වටිනාකම දැන් දැන් අවම වෙමින් පවතී. පසු ගිය දිනක උගුරේ රඹුටන් ඇටයක් හිර වී මිය ගිය දැරියගේ පියා ඒ පිළිබඳ සිතා දරුවාට රඹුටන් ගෙඩිය දෙකට කපා දුන්නා නම් සමහර විට ඇය තවමත් ජීවතුන් අතර සිටීමට ඉඩ තිබෙන්නට ඇත. බොහෝ ස්ථානවල මෙසේ අනතුරු සිදු වේ. හරි හැටි නොසොයා නොබලා විවිධ ඖෂධ වර්ග ලබා දීම නිසා රෝගීන් මිය යාම ද වෘත්තීයමය නොසැලකිල්ල නිසා සිදු වන්නකි. එසේ වුවත් ඒ කිසිවකට නඩු නොමැති වීම කාගේත් අවාසනාවයි. බොහෝ රටවල මෙසේ සිදුවන පුද්ගල මරණ මිනීමැරුම් ලෙස සලකා අදාල පුද්ගලයාට හෝ පිරිසට දඬුවම් පැමිණවීම සිදු වේ. මෝටර් රථ අනතුරකින් කුඩා දරුවකු මියගියහොත් රියැදුරුට මිණීමැරුම් චෝදනා නිතැතින්ම හිමි වේ. එසේව වෙනත් අනතුරුවලද තත්ත්‍වය එයමය.

කොච්චිකඩේ රේස් තරඟාවලියේදී සිදු වූ මාරක අනතුරට හේතුව වන්නේ එක් තරුණයෙකු ඉහළට ඔසවන රථය ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමට යාමයි. තමන්ගේ ආරක්‍ෂාව ගැන නොසිතා බොහෝ විට තමන්ටත් අනුන්ටත් කිසිම වැඩක් නැති සිදුවීමක් විඩියෝ කිරීමට ගොස් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. අනෙක් තරුණයාද එතැන සිටි අයෙකි. ඔහුද සිදුවිය හැකි අනතුර ගැන නොසිතා එතැන සිටින්නට ඇත. මේ දෙදෙනාම දැන් මිය ගොස් හමාරය. ඔවුන් නැවත නොඑනවා සේම මෙය මෙසේ සිදු වන හෝ සිදු වූ අවසාන අනතුර ද නොවේ. මේ මරණ දෙකෙහි වගකීම ඔවුන් දෙදෙනාට පමණක් නොව එම තරඟය සංවිධානය කළ අයට ද පැවරේ. මෙසේ බර වාහනයක් ඉහළට එසවීමේදී සිදු විය හැකි අනතුරු පිළිබඳ සළකා පළමුව සෙනඟ  ඒ අවටින් ඉවත් කළ යුතු බව කිසිවෙකුටත් නොහැඟී ඇති බව පෙනේ.

අපි සෑම විටම යමක් පිළිබඳ කතා කරන්නේ දරුණු හානියක් සිදු වූවාට පසුය… මාර්ග නීති හරිහැටි පිළිපැදීම, මාර්ග නීති හරිහැටි ක්‍රියාත්මක කිරීම මෙන්ම නීතිය හරිහැටි ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම මගින් මිනිසුන් විනයගරුක පිරිසක් කළ හැක. එසේ නොකරන තාක් කල් මිනිසුන් අයාලේ යනු ඇත.

ඔබට සිතන්නට කාළයයි මේ

පළමුව තමන්ගේ ආරක්‍ෂාව තමන් සලසාගත යුතුය. තමන්ගේ ජීවිතයේ වටිනාකම හරියටම දන්නේ තමන් ය. එසේම සමාජයීය සත්ත්‍වයකු වන මිනිසාගේ ජීවිතය තවත් ජීවිත බොහෝ ගණනකට බැඳී  පවතී. ඉන් එක පුරුකකට හානියක් සිදු වූ විට අනෙක් පුරුක් වලට එය විවිධාකාරයෙන් බලපායි. මේ නිසා ඔබේ ජීවිතයේ අයිතිය ඇත්තටම 100 % ක් ඔබට අයිති නොවේ. එය ඔබේ බිරිඳ/සැමියා, දරුවන්, දෙමාපියන්, නෑදෑයින්, මෙන්ම සේවා ස්ථානය ආදී සියල්ලටම  අඩු වැඩි සේ වැදගත් වේ. මේ නිසා අනතුරුදායක විය හැකි යමක් කිරීමට පෙර අනතුරු විශ්ලේෂණයක් (Risk Analysis) කිරීම සියල්ලටම වඩා උචිතය.

මේ ජීවිතය ඔබේය…. එය කෙසේ කෙළවර කරනවාද යන්න ඔබට බාරය. යමක් කිරීමට පෙර දෙවරක් තෙවරක් නොව සිවු වරකි සිතුවත්, එහි වාසිය ඔබටම විනා වෙනත් කාටවත් නොවේ..

පනින්නට පෙර සිතා බලන්න….. පැනීමෙන් පසු සිතා බැලීමෙන් පළක් නැත…… කොටු පැනීමට ද මෙය අදාලය…. පළමුව ආරක්‍ෂක උපකරණ පැලඳීමෙන් බොහෝ අනතුරු වලක්වාගත හැක…..

ඔබටත් අන්‍යයන්ටත් වන අනතුරු අවම කිරීම අප සැමගේ සමාජයීය වගකීමකි….

%d bloggers like this: