Daily Archives: ජූලි 5, 2012

2012 ජුලි 05 : මදුරුවන් දණගස්සවන්න පුළුවන් මර්වින් සිල්වා ඇමතිතුමාට විතරද ?


ඩෙංගු රෝගය රටේ බොහෝ දිස්ත්‍රික්ක ආක්‍රමණය කර ඇති නිසාම සහ එහි භයානක කම නිසාම අද බොහෝ දෙනා මදුරුවන්ට දක්වන්නේ දැඩි ගෞරවයකි. පසුගිය දිනෙක ඩෙංගු රෝගය වැලඳුන මර්වින් සිල්වා මැතිතුමා නම් මදුරුවන් එතුමා ඉදිරියේ දණගස්වා ඒ රෝගයෙන් සුව වීම ලංකාවේ අති මහත් බහුතරයකගේ දැඩි සංතෝෂයට පත් වූ කාරණයකි.

ඩෙංගු රෝගීකාරක වෛරසය රැගෙන යන්නේ මදුරුවෙකි. මේ මදුරුවා බොහෝ විට මිනිසුන්ට දෂ්ඨ කරන්නේ දවල් කාලයේ නිසා මදුරු දැල් වැනි ආරක්‍ෂක උපක්‍රම වලින් මෙයින් ගැලවිය නොහැක. කළ හැකි එකම දේ පිරිසිදු ජලය රැඳෙන ස්ථාන අවම කිරීම වුවත්, එයද රඳ පවතින්නේ තමන් මෙන්ම අසල්වැසියන් ද එක හා සමානව කැපවීමකින් කටයුතු කළහොත් පමණි. මේ නිසා ඒ පිළිබඳවද විශ්වාසයක් නොමැත.

මදුරුවා මිනිසුන් සහ සතුන් වෙතට ආකර්ෂණය වන්නේ ඔවුන්ගෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඇති රස හෝ ගුණ නිසාය. මේ නිසා බොහෝ රටවල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කාබන් ඩයොක්සයිඩ් පිට කරන කුඩා මදුරු උගුල් සකසා ගෙවතුවල මදුරුවන් පාලනය සිදු කරනු ලබයි. මදුරු දඟරවල අධික මිල ගණන් මෙන්ම එහි දුමාරයේ තිබිය හැකි අහිතකර බලපෑම් (තවමත් පර්යේෂණ කර  නැති හෝ පිටතට හඟවන්නේ නැති) නිසා මදුරු දඟර  භාවිතය අවම කිරීම සුදුසුය.

බොහෝ ප්‍රශ්න වලට මිනිසුන් සරළ විසඳුම් සොයා ගැනීම නිතර සිදු වේ. මදුරුවන් අල්ලන මේ මිල අධික උගුල සරළව සාදාගත හැකි ආකාරයක් මෑතකදී අන්තර්ජාලයේ සංසරණය වූ විදුලි ලිපියක් මාර්ගයෙන් මටද දැනගන්නට ලැබිණ.

  1.  ලීටර දෙකේ සෝඩා බෝතලයක් ගෙන පහත දැක්වෙන අන්දමට කපා ගන්න.
  2. දුඹුරු සීනි (සුදු සීනි වුවත් කමක් නැති බව මට හැඟේ) උණු වතුරින් (200 mL) දියකර පරිසර උෂ්ණත්‍වයට වඩා මඳක් වැඩියෙන් සිටින සේ (40 C) නිවා ගන්න. යීස්ට් වැඩියෙන්ම ක්‍රියාකාරී වන්නේ මේ උෂ්ණත්‍වයේ දීය
  3. යීස්ට් ස්වල්පයක් (20 – 50 g) එයට දමා බෝතලය කපා ඉවත් කළ කොටස මුණින් හරවා වසා ගන්න.
  4. කළු කඩදාසියකින් එය ආවරණය කර වත්තේ හෝ නිවසේ කොණක තබන්න.

    සකසා ගැනීම 2

  5. දින කිහිපයකින් ප්‍රතිඵල බලා ගන්න.
  6. මදුරුවන් නිවසට පැමිණීමේ අඩුවක් ඇත්දැයි බලන්න.

    ප්‍රතිඵල

මේ ක්‍රමයට සාදා ගත් මදුරු උගුලෙන් මදුරුවන් විනාශ කර ඔබ ඉදිරියේ මදුරුවන් දණගැස්වීමට කටයුතු කරන්න…

මේ නිසා සීනි මිල වැඩි වුව හොත් ඒ පිළිබඳ වගකීම ඇල්කෙමියා භාර ගනු නොලැබේ…. පේටන්ට් බලපත්‍රයක් නොමැති නිසා මේ උගුල මොළයක් ඇති ඕනෑම කෙනෙකුට සාදාගත හැක… සීනි ටිකක් කඩයෙන් සහ බේකරියකින් යීස්ට් ටිකක් ඉල්ලාගෙන මෙය තනාගත හැක… කළින් කළට සීනි සහ යීස්ට් එකතු කිරීමෙන් හෝ නව ද්‍රාවණයක් මාරු කිරීමෙන් දිගු කළක් මෙය පවත්වාගත හැක….

අපේ ආරක්‍ෂාව අප විසින්ම සලසාගත යුතුය…..

%d bloggers like this: