2012 ජුලි 08: සරා සළෙළු දන සතොසේ….. ඕන දෙයක් කරන ලෙසේ….


ඉස්සර නං පාරෙ බල්ලෙක් මැරිලා හිටියත් අනේ අපොයි කියපු අපේ ගමේ උන්දලා දැන් නම් මිනී හතක් මැරුවත් හුම් කියලා කටක් ඇරලා කතා කරන්නෙ නැති ගානකට හිත් ගල් වෙලා. ඉස්සර කිවුවෙ අවුරුදු 20 කට 30 කට විතර ඉස්සර… කොටි හපුවා බෝම්බ පුපුරවන්න ඉස්සර.. කොටි හපුවා මහ දවල් තොග ගණනේ මිනී මරනකොට සහ ඒ මිනී රූපවාහිනියෙයි පත්තරෙයි අමු අමුවෙ පෙන්නනකොට අපේ මිනිස්සුන්ගෙ සංවේදීතාවය කොහේ හෝ රැගෙන යන්න ඇති. දැන් මිනිහෙක් මැරෙන්න යනවා නම් අපේ උන් ඉස්සෙල්ලම කරන්නෙ ජංගම දුරකථනය අරගෙන ඒක වීඩියෝ කරගන්න එක… ඊට පස්සෙයි බලන්නෙ ඌට මොකද වුනේ කියලා. මේකට හොඳම උදාහරණය අර කොච්චිකඩේ මියගිය තරුණයන්ගෙ මළකඳන් වලට වටේ පිටේ මිනිස්සු (ද මන්දා) දීපු උපහාරය.

පත්තරයක් ගත්තොත් ස්ත්‍රී දූෂණ, හොරකම්, මිනීමැරුම් පිළිබඳ ප්‍රවෘත්තීන් අනන්තවත්. එක්කෝ පත්තර කරන්නේ මේවා විකුණගෙන කන එක, නැත්නම් පත්තරවලටත් ලියන්න දෙයක් නැහැ. එසේත් නැත්නම් පත්තරත් බංකොලොත් – රටත් බංකොලොත්. ඒක ගැන ඒ තරම්ම කියන්න දෙයක් නැහැ. මරණාධාර සමිතියේ ඡන්දයත් ප්‍රදේශයේ දේශපාලන බලවතාට අවශ්‍ය විදියටයි සිදු විය යුත්තෙ. ඉඩමක් කඩමක් විකුණුවත්, එයටත් කප්පම් ගන්න බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. මේ අයුරින් මුළු සමාජයම දැඩි ලෙස දේශපාලනය නම් වූ පිළිකාවෙන් වෙලාගෙන. දේශපාලනඥයො මොන වැරැද්ද කළත් නිවැරදිව යළිත් සමාජය වෙත පැමිණෙනවා. ලොකුම වැරැද්ද ඊලඟ ඡන්දයේදීත් ඔවුන්ම පත් කරගන්නට අපේ ඡන්ද දායකයින් බුද්ධිමත් වීම. පසුගිය සතියේ පමණක් ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් සිදු කරනලද ළමා අපරාධ කිහිපයකම පුවත් – පුවත් පත් සහ අන්තර්ජාලයේ පැතිර ගියා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුන්ගෙත් පහසුම බිල්ල අපේ අනාගත දරු පරපුර වෙලා. ඔවුන් කවදත් අසරණයි. හොඳ නරක නොදන්න කිරි සප්පයන් වගේම වල පයයි ගොඩ පයයි ඉන්න ආච්චිලාත් මේ නරුමයන්ගෙ ගොදුරු බවට පත් වෙන්නේ අපේ වර්තමාන සමාජයේ ඇති වී ඇති පරිහාණිය මොනවට කියා පාමින්.

රටක නීතියක් සහ නීතිය රකින – නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොපමණ තිබුණත්, රටේ හරියට එක නීතියක් ක්‍රියාත්මක වන්නෙ නැතිනම් ඒ රටේ ප්‍රගමනයක් නැහැ. එල්ලුම් ගසට අළුතෙන් කඹයක් ගෙනාවත් ඒ කඹේ දිරා පත් වනතුරුත් ඒ නීතිය ක්‍රියාත්මක වන්නෙ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙනුවට මහජනතාව නීතිය ක්‍රියාත්මක කරන්නට යාම අති භයානක ප්‍රවණතාවයක්. එසේ වුනත් මිනිසුන් හැමදාම ඉවසන එකක් නැහැ… මේ ස්ත්‍රී දූෂකයින්ට නීතියෙන් හරි හැටි දඬුවමක් නොදෙන තැන අපට කරන්නට තිබෙන්නේ අරාබි දඬුවම් දෙන්නටයි. අදාල අවයවය කපා දැමුවාම ආයෙ ජීවිතේට ඒ වගේ දෙයක් කරන්න අවස්ථාව අහිමි වෙනවා. මගේ කාටහරි ඒ වගේ අතවරයක් කළොත් මම නම් කරන්නේ ඒ පුද්ගලයා අල්ලලා ඒ කොටස කපලා දානවා ආයෙම චූ කරන්නවත් බැරි වෙන්න…

ස්ත්‍රී දූෂණ – මිනී මැරුම්,  මත් ද්‍රව්‍ය බෙදාහැරීම වැනි සමාජමය පිළිලයන්ට මරණ දඬුවම දුන්නා කියා කවුරුවත් පවතින රජයට දොස් කියාවි කියා මම නම් සිතන්නෙ නැහැ. මිනිසුන්ට බයක් සැකක් නැතිව ජීවත් වීම අවශ්‍යයි. එවිටයි ඔවුන්ගේ කාර්යක්‍ෂමතාවය ඉහළ යන්නෙ. ඒකීය කාර්යක්‍ෂමතාවය ඉහළ යාම ජාතියක දියුණුවට හේතු වෙනවා. රටක අධ්‍යාපනය විධිමත් වන විටයි අනාගත පරපුරට ආත්ම විශ්වාසයකින් ඉදිරිය බලන්න පුළුවන් වෙන්නෙ. රටක ආර්ථිකය අර්ථවත්ව හැසිරවෙන විටයි මිනිසුන් මුදල් වියදම් කිරීමට පෙළඹෙන්නෙ (මේ කතාව නම් ලාංකිකයාට අදාල නැහැ – ඔවුන්ට ආර්ථිකයට හෙන ගැහුවත් කමක් නෑ කැමති විදියට වියදම් කරනවා ) රටේ පර්යේෂණ සිදුවන විට – අළුත් දෑ සොයා ගන්නා විටයි රටේ අනාගතය ආශ්චර්යමත් වන්නෙ. එසේ නැතිනම් වන්නේ අනාගතය අනාත වීම…..

මිනිස්සු හිතන්න පුරුදු වෙන එක රටකට හොඳ වුනත් දේශපාලනඥයොන්ට නම් අහිතකරයි. ඒත් අපේ රටේ මිනිස්සු එහෙම හිතන්නෙ නැති නිසා ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. රටේ අධ්‍යාපනයට මුදල් යොදවන්න කියලා මහාචාර්යවරු වර්ජනයෙ යෙදෙන ලෝකෙ එකම රට අපේ රට වෙන්න ඇති.  අළුතෙන් පලාත් සභාවලට පත් වෙන්න ඉන්න මහත්වරුත් පරණ මහත්වරුන්ගෙ අඩි පාරෙම ගියොත් ඉතිං අපේ රටට නාථ දෙයියොන්ගෙම පිහිටයි. ඒත් ඉතිං අපේ මිනිස්සු හැමදාම වගේම ජීවත් වේවි. යකාගෙ හැටියටලු විමානෙ.

මේ ටික ලිවුවෙ හිතේ කළකිරීම නිවා ගන්න…. වැඩිදුර හිතන්න එපා… එහෙම හිතුවයි කියලා රටට සෙතක් වෙන්නෙත් නැහැ…

මේ දවස්වල බස් රේඩියෝවෙ බ්ලොග් තරඟාවලියක් යනවා. මෙන්න මෙතැනින් ඒකත් බලන්න.

බස් රේඩියෝවෙ තවත් අගනා වැඩක්.

Advertisements

Posted on ජූලි 7, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. සහතික ඇත්ත. කොටි හපුවා දැන නැහැනේ. ඒත් මේ අවුරුදු තුන ඇතුලත තත්ත්වය තවත් දරුනු වෙලා නේද?
    මම නම් දකින්නේ බොල් පිලිම වන්දනාවට මිනිස්සු පුරුදු වෙලා. ඒ නිසා මහ ගස් කැලේට වෙලා බලා ඉන්නවා. අපි එහෙම මහ ගස් නොවුනත් අපිත් පැත්තකට වෙලා ඉන්නවා.
    කවුද මේ තත්ත්වය වෙනස් කරන්නේ? එහෙම කෙනෙක් නැහැ. ඉන්න හැමෝම බොල් පිලිම, කවදාවත් මේවා වෙනස් කරන්න බැරි දුකට වෙනතක් බලා ගන්න අපිට වෙලා තියන්නේ.
    හැම දේටම මුල අපේ කොන්ද පණ නැතිකම. අපි කියලා මොනවා කරන්නද ? අපි කියන දේ මේ රටේ මිනිස්සු අහන් නැති කොට ?????
    මහවෙදනා.

  2. එක එක නැගුමවල් රට වටේම වෙනවා,නිතිය [මේ වෙද්දී නිතිපතිවරයකු ලෙස හෙලුවැල්ලෙන් බලු වැඩ කරන එකෙකු පත්කර හමාරය] මැදමුලන හැතිකාරයන්ගේ අතේය, ලංකාවේ ජනතාව ලබන මාසෙත් මුන්ටම කතිර ගසනාවය.අපිනම් ඉන්නේ පිටරටය.අපි ලංකාවෙන් ගියේ ප්‍රේමෙට පින්සිද්ද වෙන්න. [කියවන අය සමාවන්න,කුමාරෝදය,අමර,සාමා,ශ්‍රීලංකාව ලෝකෙන් උතුම් රට සහ ඉන්දියන් සාගරේ මුතු ඇටය ගැන අහද්දීනම් ,ආච්චි සිල්ගන්න එක්කගන ගියාම අහන බණ ඇහුවම හිතුවේ මමත් මේ දේවල් උගෙන ලංකාවටම යමක් කරමි යන සිතුවිල්ලය.]ප්‍රේමේ තරුණ/තරුණියන්ට හොදටම දුන්නේය,පුතා හොදට හෑරුවේය.මහින්ද රජතුමා සමග ඉන්න බලු රැල ඉතිරි ටික වලදයි.

  3. මේ ලිපිය කියවද්දී මට මතක්වුනා මම පාසලේ 7 හෝ 8 ශ්‍රේණියේ ඉගෙනගත්ත කාලේ සිදුවීමක්. (1960 දශකය) මිනිහෙක් එල්ලිලා මැරුණා තරමක් කැලෑබද ඉඩමක මහා දෙල් ගහක. අඩුම ගණනේ මිනිස්සු 2000 ක්‌ වත් ආවා ඈත ගම්වල ඉඳලා ඒ සිද්ධිය බලන්න. අද එක ගහේ 10 ක්‌ එල්ලිලා මැරුනොත් කීදෙනෙක් එයිද?

  4. //දැන් නම් මිනී හතක් මැරුවත් හුම් කියලා කටක් ඇරලා කතා කරන්නෙ නැති ගානකට හිත් ගල් වෙලා.//
    මිනිස්සුන්ගේ හිත් ගල්වෙලා නේන්නම්…. 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: