2012 ජුලි 10 : අවුරුදු අටක් දුකට සැපට ලඟ හිටිය ඔබ…. දාල යන්න දුකයි… (පළමු කොටස……)


අපි නොහිතපු මොහොතක, අපි නොහිතපු දවසක, අපි නොහිතපු වෙලාවක, අපි නොහිතපු විදියකට ඔබ අප අතරට ආවා… ඒ 2004 පෙබරවාරි 02 වෙනිදා….එදා ඉඳලා අපි ඔබට සැලකුවෙ අපේම කෙනෙක් විදියට…. අවශ්‍ය වෙලාවට කන්න නැතත් බොන්න දීලා, නාවලා පිසදාලා… ඉන්න වෙනම තැනක් වෙන් කරලා.. අපේ අවශ්‍යතා වලට ඔබව යොදා ගත්තත්…. ඔබ අපේම කෙනෙක් වුනා….

මුලින් මමයි ඇල්කෙම්ච්චියි එක්ක ගමන් බිමන් ගිය ඔබ අපේ ජීවිතයේ බොහෝ වෙනස්කම් දෑසින් ම දුටුවෙක්… 2005 මාර්තු 18 වෙනිදා ලෙදර් බෝලයක් වැදිලා මගේ ඇහැ තුවාල වෙච්ච දවසේ ෆිලඩෙල්ෆියා නගරයේ පාරක් අයිනෙ බය නැතිව තනියම පැය ගණනක් හිටියේ සමහර විට මට මොනවා වෙලාද කියලා නොදැන. පැටියා උපදින්න ඉන්නකොට හැම අපි ගිය ගමනක්ම පරිස්සමින් අපිව එක්කරගෙන ගියේ තමන් ගැනට වඩා අපි ගැන හිතලා වගේ…. පැටියා ඉපදුන දවසෙ රෑ බොහොම චකිතයෙන් මහ රෑ රෝහලට ගියෙත්, පැටියා ඉපදිලා ගෙදර එනකල්ම රථ ගාලට වෙලා තනියම හිටියෙත්, අපිට අපේ වැඩක් බලාගන්න ඉඩ දීලා..

පැටියා ගෙදර එක්කන් එන්න, බෙහෙත් ගේන්න යන්න, තව අමතර ගමන් බිමන් යන්න කිසි විටෙක බෑ නොකියා ඔබ ආවෙ අපි ගැන හිතලා මයි… අපේ වැඩ වැඩි වෙද්දි, සමහර වෙලාවට නාවන්න පිසදාන්න අමතක වුනත් කටක් ඇරලා මොනවත් කිවුවෙ නැත්තෙ අපේ කාර්ය බහුල බව දැනගෙන වගේ… පැටියා ටික ටික ලොකු වෙද්දි ඔබ ගැන ආදරේ දක්වද්දි, ඒ වගේම පැටියා ඔබේ ඇඟ උඩ නැගලා මඩ ගාද්දි ඔබව සූරද්දි , ඔබ උපේක්‍ෂාසහගතව බලාගෙන හිටියා… දවසක් මතකයි… පාරෙ යනකොට ආච්චි කෙනෙක් වාහනේක ඇවිත් ඔබව හප්පලා ඔබට තුවාල කළ වෙලාවෙ අපි හොඳටම බය වුනා.. නමුත් නැවතත් කිසි දෙයක් නොවුනා වගේ ඔබ අප අතරට ආවා…

ඉඳලා හිටලා ලෙඩ වුනත් ඔබේ රෝග සුව කරන්න අපට මහ වියදමක් ගියේ නැහැ… අළුතෙන් යම් යම් දේ ගෙනැත් ඔබව අලංකාර කළේ අප ඔබට ඇති ආදරේ නිසාමයි. සමහර වෙලාවට පැටියා ඔබ කැතයි කියලා නෝක්කඩු කිවුවත් ඔබ නැහැ කිසි විටෙක අමනාප වුනේ…. ඔබත් එක්ක අපට ලොකු අතීතයක් තිබෙනවා. ඔබ එක්ක ගිය කිසිම ගමනකදී ඔබ අපව අතරමං කළේවත් අපට කරදරයක් දුන්නෙ වත් නැහැ.. ලඟ වගේම හැතැක්ම තුන්දාහකට වැඩි දුර ගමන් එකවර ඔබ අපට එක්කගෙන ගියා… කිසිදු මැසිවිල්ලක් නොනඟා….

මම නම් හිතාගෙන උන්නේ ඔබ මිය යනතෙක්ම අප සමඟ තබාගන්න… මොනවා වුනත් ඔබ අපට කිසිම අඩුවක් නැතිව සේවය කළා… තවමත් ඔබට අපි ආදරෙයි.. නමුත්… හැම සම්බන්ධතාවයක් වගේම මේ සම්බන්ධතාවයත් කිසියම් ම හෝ හේතුවක් මත නිම කරන්න වුනා…. අපට ඔබව එක්කගෙන යන්න පුළුවන් නම් එක්කරගෙන යනවා.. නමුත් බොහෝ දෑ එයට හරස් වෙනවා… අපට කරන්න තිබෙන හොඳම දේ ඔබව බලාගන්න පුළුවන්, බලාගන්න කැමති කෙනෙකුට ඔබව බලාගන්න දෙන එකයි….

ඔබේ අළුත් අයිතිකාරයා ඔබව හොඳින් බලාගනී කියලා හිතනවා… ඔහු පොරොන්දු වුනා ඔබට හොඳට සලකනවා කියලා.. මම ඔබ ගැන සියළුම දේ ඔහුට කියලයි තියෙන්නෙ… ඉතින් ඔබ අපට සැලකුවා වගේම ඔහුටත් සලකන්න… ඔහු ඔබව හොඳින් බලාගනීවි…

මේ එයා….

ඔබට සුබ ගමන්…

මේ අර බස් රේඩියෝවෙ පින්තුරෙ…

Advertisements

Posted on ජූලි 10, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. අනේ , තමන්ට බුදු වෙන්න පිට දීපු ඇසතු බෝ ගහ දිහා බලාගෙන ගෞතම බුදු රජාණන් වහන්සේ සතියක්ම අනිමිසලෝචන පූජාව සිද්ධ කලායින් පස්සෙ තමන්ට උදවු උපකාර කල පණ නැති රෝද හතරකට කාලගුණ දක්වන උත්තමයෙක් – – – – – – – !!!! අපේ ඇල්කෙමියා උත්තමයත් මතු ආත්මයක මේ සත් ක්‍රියාවේ බලයෙන් බුදු වෙන්න ඕනැ – – – – – – – – !!!!

  2. හයියෝ ටොයෝටා මොනා උනත් අවුරුදු අටක් පාවිච්චි කරලා අතාරිද්දි දුකයි නෙහ්

  3. කැම්රියක්ද?
    මාත් පාවිච්චිය කැම්රියක්. දැන් අවුරුදු එකොලහක් වෙනවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: