Monthly Archives: අගෝස්තු 2012
2012 අගෝස්තු 31 : දොළොස් වසරක් දිවෙන ප්‍රතික්‍රියාවක්…..
මේ ප්‍රතික්‍රියාව ඇරඹෙන්න හේතු පාදක වෙච්ච රසායන ද්‍රව්‍ය එකට පෑහෙන්න අරන් බොහෝ කල් වුනත් හරියටම ප්‍රතික්‍රියාව සඳහා ඒ රසායන ද්‍රව්‍ය එකට එකතු වුනේ අවුරුදු දොළහකට පෙර අද වගේ දවසක….. එදා ඇරඹිච්ච ප්‍රතික්‍රියාව මාස තුනක කාළයක් ප්‍රතික්‍රියා කළේ ලංකාවෙ… මුල් කාළයෙ නම් ප්‍රතික්‍රියාව බොහොම කළබලකාරීයි… මොකද කියනවා නම් රසායන ද්‍රව්‍ය දෙකම විවිධාකාර වැඩ වලට යොමු වෙලා සිටි නිසාත්, ප්‍රතික්‍රියා කරන මාධ්‍යය සහ ස්ථානය ලංකාවෙන් ඇමරිකාව වෙත මාරු වීමට සූදානම් වීම නිසාත් බොහොම කාර්ය බහුල කාලයක් වුනා…
ඉන් පසු ප්‍රතික්‍රියාව සිදු වෙන්න ගත්තෙ ඇමරිකාවෙ ලුයිසියානා ප්‍රාන්තයේ… අවුරුදු දෙකහමාරක් ලුයිසියානා වල ප්‍රතික්‍රියා කළ මේ ප්‍රතික්‍රියක සරළ ඵලයක් නිර්මාණය කළා MS නැතිනම් රසායන විද්‍යාවෙන් ශාස්ත්‍රපති උපාධි දෙකක් වශයෙන්… ඉන් පසුයි මේ ප්‍රතික්‍රියක ඩෙලවෙයාර් ප්‍රාන්තයට සංක්‍රමණය වන්නෙ….. ඒ 2003 දි.
ඉන් පසු මේ ප්‍රතික්‍රියක දෙක වඩාත්ම කාර්ය බහුල වුනා…. ආචාර්ය උපාධියට සූදානම් වෙන්න… අවුරුදු දෙකක් විවිධාකාර තත්ත්ව යටතේ මේ ප්‍රතික්‍රියක දෙක ප්‍රතික්‍රියා කළා… විවිධ උෂ්ණත්වයන් විවිධ පීඩනයන්.. විවිධාකාර භෞතික සහ වෙනත් සාධක මේ ප්‍රතික්‍රියාවට බලපෑවා…
ඒ අතරෙ තමයි මේ ප්‍රතික්‍රියාවෙ අග්‍රඵලය ලැබෙන ලකුණු පෙණුනෙ… 2005 වසරේ මේ ප්‍රතික්‍රියාවෙ ප්‍රධාන ප්‍රතිඵලය මෙ ලොව එළිය දුටුවා….. දැන් ඒකට වසර හය හමාරක්….
මේ ප්‍රතික්‍රියක ලැබුණ ඵලයත් එක්කම තවදුරටත් ප්‍රතික්‍රියා කරගෙන යනවා…. ඇමරිකාවෙත් ලංකාවෙත් විවිධ තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා කළ මේ ප්‍රතික්‍රියාවට වසර දෙළහක් ගත වෙලා…. ඉතිං තවදුරටත් වෙනත් රටවල් වල වෙනත් තත්ත්ව යටතේ මේ ප්‍රතික්‍රියාව දිගටම සිදු වේවි…
ඉතින් මේ අවස්ථාවෙ ඒ ප්‍රතික්‍රියක දෙමාපියන්, සහෝදර සහෝදරියන්, සහ ඥාති හිතමිත්‍රාදීන් නම් වූ බාහිර සහ අභ්‍යන්තර සාධක වලට සිය කෘතඥතාවය පුද කර සිටිනවා…
මේ ප්‍රතික්‍රියාව පින්තූරයක් ඇසුරින් මෙන්න මෙහෙම සරළව සාරාංශගත කරන්න පුළුවන්…. බලන්න හරිද කියලා….
2015 අප්‍රේල් 01 : සංවේගයෙන් දැනුම් දීමයි. ලෝකයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා රොකට්ටුව පිපිරී මිය යයි… ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දැයි සැකයක්….
නිවාඩුව දිග වැඩිද මන්දා…….. කරන්නම දෙයක් නැති නිසා කාමරේට ගිහින් ටීවී එක දා ගත්තා… හීනියට බස් රේඩියෝවත් දාගත්තා සිංදුවක් අහන්න…. මෙන්න බොලේ එතකොටම………… ඉටි කිරිස් කෑල්ලක් ඇවිත් ටීවී එකේ මෙහෙම කියපි………..
මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්..
ලෝකයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා ලෙස හැඳින් වූ ඇමරිකාවේ ජනාධිපති මිට් රොම්නිගේ පුත් ක්‍රෙග් රොම්නි අභ්‍යවකාශ ගත කිරීමේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විශ්වස කරනු ඇතැයි වොෂිංටනයෙන් දැන් ලැබුණ ආරංචියකින් කියැවේ. අභ්‍යවකාශය තෙක් ගමන් කළ මිට්කවරි යානය (Mittcovery) එක් වරම විශාල ආලෝකයක් විහිදුවමින් දර්ශන පථයෙන් නික්ම ගොස් ඇති අතර ලොව පුරා සියළුම රජයයන් ඒ පිළබඳ අවධානයෙන් පසු වන්නේ අවම වශයෙන් පිපිරී ගියා යැයි සැලකෙන රොකට්ටුවේ කොටස් සිය රටවලට පතිත වේදැයි යන සැකයෙනි – බලාපොරොත්තුවෙනි.
2012 වසරේ හිටපු ජනාධිපති බරක් ඔබාමා අති සාර්ථකව පරාජය කළ මිට් රොම්නි ජනාධිපති වූ විගස ආරම්භ කළ පළමු ව්‍යාපෘතිය වන්නේ සිය පුතු ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා කිරීමේ ව්‍යාපෘතියයි. මෙයට හේතුව වූයේ රුසියාවේ ජනාධිපති පුටින් මහතා විසින් ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා පුහුණු කිරීම ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ විසින් දැනුම් දීමත්, රුසියාව වැනි රටකට දෙවැනි වීම ඇමරිකාවේ අභිමානයට තරම් නොවීමත් යන කරුණු නිසා බව වොෂිංටන් ආරංචි මාර්ග පවසයි.
මේ නිසාම ජනාධිපති රොම්නි විසින් වොෂිංටනයේ මධ්‍යයේ වූ වොෂිංටන් කුළුණ(Washington Monument) ගලවා එතැන ඩොලර් ට්‍රිලියන තුනක නවීනතම අභ්‍යවකාශ පර්යෝෂණ සහ ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේ නාසා ආයතනයේ සියළු වියදම් කපා හරිමිනි. මේ අතර ප්රමෝදයට පත් ඇමරිකානු ජනතාව ද සිය වියදම් කපා හරිමින් ඇමරිකානු ජනපතිට සහය පළ කළේ සිය රටින් ලොව පළමුව සඳ මත පා තැබූ මිනිසා මෙන්ම පළමු ලාබාලතම අභ්‍යවකාශ ගාමියා ඇති කිරීමේ අභිප්‍රාය නිසාවෙනි. මේ නිසාම ඇමරිකානු ජනතාව දවසට පැය තුනක් ස්වෙච්ඡා විදුලිය කප්පාදු කිරීමක් සිදු කර ගනිමින් සිය කටයුතු වල ඵලදායීතාවය සියයට 30 ක් අඩුකර රජයේ වියදම පියවූහ. ඇමරිකානු විශ්ව විද්‍යාල සියල්ල වසා දමා සිය වියදම් සියල්ල ඇමරිකානු රජය වෙත යොමු කළේ තම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය මුදුන් පැමිණවීමට ඒකමතිකව එකඟ වෙමිනි. එසේම ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියල්ලෝම සිය රටේ අභිමානය වෙනුවෙන් සියළු වාද භේද දුරැලා එකා වන්ව ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා ගුවනට යැවීමේ අභිමානවත් කර්තව්‍යයට සහයෝගය පළකළහ.
එවන් පසුබිමක් තුළ ජනාධිපති පුත් ක්‍රෙග් රොම්නි ඉතා උනන්දුවෙන් සහ ඔහුගේ සහජ බුද්ධියෙන් සිය අභ්‍යවකාශ පාඨමාලාව හදාරා තම පන්තියේ පළමු වැනියා ලෙස සහ අභ්‍යවකාශ පාඨමාලාවන් හි ප්‍රථම වරට සියළුම විභාගයන්ගෙන් 100% ලබා ගනිමින් (Perfect score) නව ගිනස් වාර්තාවක් ද සමගින් සිය පියාගේ තේරීම අත්‍යන්තයෙන්ම නිවැරදි බව ලොවටම පසක් කරමින් අභ්‍යවකාශ පාඨමාලාව සාර්ථකව නිම කළේය. එවැනි බුද්ධිමත්, දක්ෂ සහ ආදර්ශමත් දරුවකුගේ නික්ම යාම දරාගත නොහැකිව ඇමරිකානු ජනතාව සියළු කටයුතු නවතා සතියක ස්වයං ශෝක කාළයක් ප්‍රකාශ කරගෙන ඇත.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
දෙවන සංස්කරණය…………………….
මේ අතර විශේෂඥයන් දැන් දැන් ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සියට ඇඟිලි දිගු කිරීමට පටන්ගෙන ඇත. 2012 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ භාරකාරත්වය චීනය වැනි තුන්වන පාර්ශවයකට ලබා දීම ගැන ඇමරිකානු බුද්ධි අංශ නොසතුට පළ කිරීමත්, චීන – ඇමරිකානු සබඳතා එතරම් යහපත්ව නොපැවතීම මත මෙවැනි භාරදූර කර්තව්‍යයක් චීනයට භාර දීම ගැන රටේ ජනතාව පැහැදීමක් නොවීමත් ඒ සඳහා වූ ආසන්නතම හේතුවයි. එසේ වුවත් 2012 දී ඇමරිකානු ආර්ථිකය වැටී තිබූ තත්ත්වය අනුව සහ ඇමරිකාව චීනයට ඩොලර් ට්‍රිලියන 15 ක් ණය වී තිබීමම මත මිට් රොම්නිට මේ ව්‍යාපෘතිය චීනයට භාර දීම හැරෙන්නට වෙන කළ හැක්කක් නොතිබූ බව වොෂිංටන් ආරංචි මාර්ග පවසයි. මේ ව්‍යාපෘතිය මිට් රොම්නිගේ අදහසකටත් වඩා ජනාධිපති ආර්යාවගේ සිහිනයක් සැබෑ කිරීමක් බව දැන් දැන් විපක්ෂ දේශපාලනඥයෝ චෝදනා කිරීමට පටන් ගෙන ඇත.
කෙසේ වෙතත් චීනය මේ චෝදනා ප්රතික්ෂෙප කරයි. චීනය මෙම ව්‍යාපෘතිය භාර ගත්තේ ඇමරිකානු ජනාධිපතිගේ කීමට හෝ ඇරයුමට නොව ක්රමාණුකූල ටෙන්ඩර් පටිපාටියකින් සමත්ව ඉරානය, සිරියාව සහ උතුරු කොරියානු රජයයන් වෙතින් ඉදිරිපත් කෙරුණ යෝජනා පරාජය කිරීමෙන් බව චීන ජනාධිපති ලීක් වෙන් චූන් (Leek When Choon) මහතා විසින් මේ දැන් සී එන් එන් වෙත කළ ප්‍රකාශයකින් දැක්වේ.
මේ අතර ගුවන්ගත කෙරුණ අභ්‍යවකාශ යානයේ වැරදි සෙවීම (trouble shooting) ඇරඹි ඇති අතර එහි ඉලෙක්ට්‍රොණික පරිපථ සහ පරිඝණකයන් හි දෝෂ නැති බව ඇපල්සුන් (Apple+Samsung = Applesung) සමාගමේ නිවේදනයකින් දැක්වේ. මේ නිසා දැන් අවධානය යොමු වී ඇත්තේ අභ්‍යවකාශ යානා ඉන්ධන සැපයූ සිංගප්පූරු සමාගම වෙත බව බුද්ධි අංශ දැනුම් දේ.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
තුන්වන සංස්කරණය……
මේ දැන් ලැබුණ ප්‍රවෘත්තියක් අනුව අභ්‍යවකාශ යානා ඉන්ධන බාල තත්ත්වයේ පසු වූ බවට ජාතික තත්ත්ව සහ ප්‍රමිතිකරණ ආයතනය (National Institute of Standardization and Testing) දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික බලශක්ති ලේකම් වේඩ් ජෝන් බෑස් (Wade John Bass) පවසන්නේ තම ආයතනයට ලැබුණ ඉන්ධන සියල්ල නිසි ප්‍රමිතියට ලක් කර අදාල පරීක්ෂණ දෙසිය පණහම සිදු කර ඒ සියල්ලෙන් සමත්වූ නිසා යානාවලට යෙදීමට සහතික කළ බවයි. මේ නිසා ඒ ඉන්ධන වල තත්ත්වය සියයට දෙසිය පණහක් සහතික කළ හැකි බව ඒ මහතා කපිලවස්තු පුරයෙන් ඇමරිකාවට වැඩැම්මවූ ධාතු මත අත ගසා ප්‍රතිඥා දිය හැකි බව සී එන් එන් පුවත් සේවයට ප්‍රකාශ කරයි.
කෙසේ වුවද ඔහු පවසන්නේ මෙය කෙතරම් ප්‍රමිතිකරණයට ලක් කළත් අභ්‍යවකාශ යානාවට ඉන්ධන ලබා දීමේදී කඩා කප්පල්කාරි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ කඩ තිබිය හැකි බවයි. මේ අනුව එහි සේවය කළ සියළුම සේවකයන් දැනට ග්වොන්ටානාමොබේ කඳවුර කරා ගෙන ගොස් මානව හිමිකම් ප්‍රකාරව ප්‍රශ්න කිරීමට ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ නොමැතිව සිය පෞද්ගලික වාසි තකා බාල ඉන්ධන මිලදී ගැනීමක් නොකළ බව ඔහු පුන පුනා පවසයි.
කෙසේ වෙතත් ලොව පුරා මාධ්‍ය ආයතන මෙන්ම රජයයන්, බුද්ධි අංශ මෙන්ම සාමාන්‍ය ජනතාව ද සියළු වැඩ කටයුතු අත් හිටුවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිටිති.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්……
ජනාධිපති පුත් ලොව ලාබාලතම අභ්‍යවකාශ ගාමී ක්‍රෙග් රොම්නි රැගත් යානය චන්ද්‍රයා කරා ලඟා වෙමින් පවතින බව හවායි හි මහ මෙවුනා ලොආ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දුරේක්ෂවල සඳහන් වෙමින් පවතින බවත් සිය මධ්‍යස්ථානය අදාල යානය සමඟ සබඳතා ගොඩ නඟා ගන්නට උත්සාහ කරමින් පවතින බවත් පැවසේ… මෑතකදී චන්ද්‍රයාගේ අති විශාල වශයෙන් රත්‍රං, ටයිටේනියම්, ප්ලැටිනම්, වැනි වටිනා ලෝහ ඇතැයි සොයා ගැනීමත් සමඟම මිට් රොමිනි සිය ව්‍යාපෘතිය හුදෙක් අභ්‍යවකාශයට යාම ඉක්මවා සඳෙහි වූ වටිනා ලෝහයන් අත්පත් කර ගැනීමේ රහස් මෙහෙයුමක් දක්වා විහිදුවා ඇතැයි ඉන්දියානු ජනාධිපතිනී ජයලලිතා ජයරාම් මැතිණිය චෝදනා කර සිටියි. එසේ වුවද ලෝකයේ වැඩිම රත්‍රං ප්‍රමාණය දකුණු ඉන්දියාවේ තරුණියන් අතර බෙදා හැර ඇති බව ඇය ප්‍රකාශ කර සිටින්නේ මහත් ආඩම්බරයෙන් .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴.෴෴෴෴෴෴
මේ විවිධාකාර මත නිසා මේ සිදුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි බව ජනාධිපති ප්‍රකාශක චේ තීය කිං (Chethiya King – ලැරී කිං මහතාගේ පුත් ) මහතා ප්‍රකාශ කර සිටියි.
මේ අතර සඳ මත ගොඩ බසින Mittcovery යානාවේ ඡායාරූපයක් මුලින්ම 7788 ට SMS කර එවන පුද්ගලයාට වටිනා මෝටර් රථයක් පිරිනැමීමට සී එන් එන් ආයතනය කටයුතු යොදා ඇති නිසා දැන්ම සඳට ගොඩ බසින යානාවේ පින්තූරයක් රැගෙන අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු……………….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ නිසා රූපවාහිනිය නරඹමින් සිටි මම ද පොඩි එකාගේ ටෙලස් කෝප්පය රැගෙන හඳ බලන්නට යන්න හැරුණා පමණි.
“කොහෙද මනුස්සයෝ මේ මහ රෑ මගේ අතත් ඇදන් දුවන්න හදන්නෙ ? රෑ තිස්සෙ මගුල් විකාර බලලා මෙතන සැනසිල්ලෙ නිදාගන්නවත් නෑ….. විකාර…. ඉතිපිසෝ ගාතාව තුන් සැරයක් කියලා පැත්තකට වෙලා නිදා ගන්නවා මට වද නොදී….මම ද ටී වී එක ඕෆ් කරන්න ඕන හැමදාම ?
අන්න අර බස් රේඩියෝ මගුලත් ඕෆ් කරනවා…. ඒකත් දවස තිස්සෙම නිවනක් නැතුව සිංදු කියනවා…. මල වදේ”
“මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…..
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න…….”
නන්දා මාලිනී එහෙම කියනවා හීනෙන් වගේ මට ඇහුනා……….
2012 අගෝස්තු 11: මේක ඇවිල්ලා ත්‍රිත්ව කෝටිකයක්….වැස්සොත් SLPL නසී… නොවැස්සොත් ලංවිබ නසී… මොක වුනත් අපි නසී….
වර්තමානයේ වෙනස්වන කාළගුණ රටාව සමග ශ්‍රී ලාංකික ජනතාව මුහුණපා සිටින්නේ උභතෝකෝටිකයකට වඩා එකක් වැඩි චතුස්කෝටිකයකට වඩා එකක් අඩු ත්‍රිත්ව කෝටිකයකටය… ලංකාවේ දිස්ත්‍රික්ක 14 කටම බල පවත්වන නියඟය නිසා ජනතාවට මුහුණපාන්නට සිදුව ඇති අකරතැබ්බ බොහොමයකි. වගාවන්ට ජලය නොමැති වීම මූලිකවම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වුවත් රජයට දැනෙන ප්‍රශ්න දෙකක් වන විදුලිබල නිශ්පාදනයට ජලය නොමැති වීම සහ පානීය ජලය හිඟ වීමද අනියමාර්ථයෙන් දැනෙන්නේ ජනතාවටමය. විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැති නිසා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට සිදු වේ. මෙය මිල අධික නමුත් පාර්භෝගිකයාට සහ ආණ්ඩුවට හැර බොහෝ දෙනාට වාසි දායක ක්‍රියාවලියකි. ඉදිරියේදී මේ නිසා විදුලි බල මණ්ඩලයට සිදු වන පාඩුවට වගකිවයුත්තේද ජනතාවමය.
එසේ නමුත් ජනතාවට මේ නියඟයෙන් සැනසිලිදායක තත්ත්වයක්ද ඇති වී ඇත. කවදා ක්‍රීඩා කළත් හේදී යන බොහොමයක් ක්‍රිකට් තරඟවලට හොඳ කල දසාවක් පැමිණ තිබීම මෙයට හේතුවයි. එය එසේ වුවද කොළඹ පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් රට වටා පැවැත්වෙන්නට නිමිමිත එස් එල් පී එල් තරඟාවලියේ පළමු තරඟයම වැස්සෙන් හේදී ගොස් තිබේ. දැන් මක්කා කරන්නද ?
එක්කෝ අපි ගෘහස්ත ක්‍රීඩාංගනයක් ඇති කර එතුළ වැසි දිනවල ක්‍රීඩා කළ යුතුය. එසේ නැතහොත් මේ තරඟ සියල්ලම කන්ද උඩරට පවත්වා කඳුකර ප්‍රදේශ වලට වැසි ලබා දිය යුතුය.. මේ දෙකම කළත් කෙළවෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාටය.
දැන් ලියන්න හිතෙන්නේම නැත. ලංකාවේ ඉන්න නිසා වන්නට පුළුවන. ලංකාවේ ඉන්න අයගේ කම්මැලිකම මටත් වැහී ඇත. කොම්පියුටරය ඉදිරිපිට වාඩි වෙන්නට සමහර විට වෙලාවක් නැතිකමත් එයට හේතුවකි.
පසුගිය සතියේ දානමය පිංකමක් කළෙමි. දැනුම දානය කළෙමි.අදද දැනුම දානය දී නැවත පැමිණියෙමි. සිතට සතුටක් දැනේ.
ඊට පෙර සතියේ ගමනේ මය… ලබන සතියේ නම් දෙයියනේ කියා නිවාඩුවක් ඇත. බොහෝ දෙනෙකු හමු වන්නට යා යුතුය. මහ වෙදනා මහතා හමු වී බොහෝ දේ කතා කර ඉතා සුවබර කාළයක් ගත කර නැවත පැමිණියෙමි. අහෝ බේදයකි ඉරකි තිතකි. එස් එල් පී එල් තරඟය වැස්සට සේදී ගොස් ඇත.
දෙවැන්නද ඕවර 13 කට සීමා වී ඇත. Six a side tournament එකක් ගැහුවා නම් මීට වඩා හොඳය…
තවත් ලිවුවොත් සුදු පාට වෑන් එකක් ගේ ඉදිරිපිට නවත්වනවා සිකුරුය.
අදට නවතිමි. පසුව හමුවෙමු.