Monthly Archives: සැප්තැම්බර් 2012
2012 ඔක්තෝබර් 01 : ළමුන් සහ වැඩිහිටියන් එකම දිනක සමරමු…..
අද ඔක්තෝබර් 01 වන දිනය… ලෝක ළමා සහ වැඩිහිටි දිනය…. ළමුන්ටත් වැඩිහිටියන්ටත් වෙන වෙනම දින වෙන් කරන්න ඕන නැති නිසා එකම දිනයක දෙකම සැමරීමත් එක්තරා අන්දමකට බොහෝ දේ ඉතිරි කර ගැනීමක්…
ඒත්…. ළමුන්ට සමරන්න දිනයක් ඉතිරි වෙලා තියෙනවද ? වෙන රටවල කෙසේ වුවත් අපේ ළමුන්ගෙන් නම් ළමා කාළය වැඩිහිටියන් විසින් සොරකම් කරලා ඉවරයි. වැඩිහිටියන්ගේ උවමනා එපාකම්, මහන්තත්තකම්, බලාපොරොත්තු වෙනුවෙන් අනුන්ගෙ ළමයිනුත් තමන්ගේ ළමයිනුත් බිළි දෙන කාළයක් මේ. ඉතින් අද රට වටා උත්සව තියෙයි ළමුන් වෙනුවෙන්. ජනාධිපති තුමා විශේෂ කතාවක් කරයි.. උත්සවයකුත් සංවිධානය කරයි… අද පමණක් ළමුන්ට මුල් තැන දීලා වැඩ කරාවි…. ඒත් මේ සියල්ල මෙහෙම වුනත් ළමුන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්න ළමුන්ට කිසි කෙනෙක් නැහැ.
ඉස්සර අපි…..
මේ කතා කරන්නේ හෝඩියෙ ඉඳලා හතර වසරට වෙනකල්….
උදේට නැගිටලා නැවුම් කිරි කෝප්පයක් බීලා පාසැල් යනවා… නැවුම් කිරි නැතිනම් කිරිපිටි හරකාගෙන් හරි කෝප්පයක් බීලා පාසැලට යනවා. උදේ පාසල පටන් ගන්නකල් මොනවා හරි සෙල්ලම් කරනවා.. පාසැල පටන් අරගෙන පාසැලේ වැඩ කරලා, සරඹ කාලපරිඡෙදය එනකල් බලාගෙන ඉන්නවා.. නැතිනම් විවේකය එනකල්… සෙල්ලම් කරන්න.. ඒ දවස නිම වෙලා ගෙදර එන අපි පාසැලේ දෙන ගෙදර වැඩ කරලා අහළ පහළ ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා. හවස ගෙදරින් ගියාම ගෙදර එන්නේ ඇඳිරි වැටිලා… වටේ පිටේ වැඩිහිටියො හැම දෙනාම ඇහැ ගහගෙන හිටිය නිසා වැරැද්දක් කරන්නත් ලැබුණෙ නැහැ… වැරැද්දක් කරපු ගමන් එක්කො ගුටි කනවා නැතිනම් ගෙදරට පණිවුඩේ එනවා.. ඒ අත්දැකීම් වලින් අපි සතා සීපාවට-පරිසරයට ආදරය කරන්න ඉගෙන ගත්තා විතරක් නෙවෙයි ඒ සමඟ සහජීවනයෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා.. කන්න අවශ්‍ය ගෙඩියක් කඩාගෙන කනවා මිසක් නාස්ති කිරීම නොකිරීම… මාළුවෙක් ඇල්ලුවත් ආයෙම වතුරට දැමීම වගේ දේවල් ඉගෙන ගත්තෙ කවුරුවත් කියලාම නොවෙයි.. ඒ නිසාම අපට පරිසරය ගැන පුළුල් දැනුමක් වගේම අත්දැකීමුත් ලැබුවා…
ඔහොමයි අපේ කාළෙ අපි ළමා කාළය ගෙවුවෙ… ඇත්ත… දැන් ළමයින්ට එහෙම බෑ.. තියෙන තරඟය එක්ක උදේ නැගිට්ට වෙලේ ඉඳලා වැඩ කරන්න ඕන.. ශිෂ්‍යත්‍වයට ලෑස්ති වෙන්නෙ දෙක වසරෙ ඉඳලා. එලකියුෂන් නොගියොත් ඉංග්‍රීසි බැරි වෙනවා. කරාටෙ නොගියොත් කවුරු හරි ගැහැවුවත් ආරක්‍ෂා වෙන්න බැරි වෙනවා. ස්විමින් නොගියොත් වතුරේ ගිළිලා මැරෙනවා… සංගීතෙ නොකළොත් වස ලැජ්ජාව.. සිංදුවක් වත් කියාගන්න බැරි ළමයෙක් හැදුවා කියයි… මේ වගේ දහසක් දේ මැද්දෙ දෙමාපියන්ගෙ බලාපොරොත්තු අතරේ ළමයින්ගේ ළමා කාළය හොරා අරගෙන.. ඒ කොළඹ රටේ කතාව. ඈත පිටිසර ළමුන්ට තියෙන්නෙ වෙන ප්‍රශ්න.. අම්මා රට… තාත්තා ළමයි බලාගෙන ගෙදර ඉන්නවා.. නැතිනම් වෙනත් ගෑණීයෙක් එක්ක ජීවත් වෙනවා… නැතිනම් රෑට කටගොන්නක් බීගෙන ගෙදර එනවා… ඇවිත් කන්න ඉල්ලනවා.. ඒ මිනිහගෙන් බේරෙන්න කැලේ හැංගෙන්න ඕන… ඒ වගේ ප්‍රශ්න.. එහෙම නැතත්, දෙමාපියො දෙදෙනාම ගෙදර හිටියත් නොයෙකුත් ප්‍රශ්න.. සමහර විට අම්මා තාත්තා වැඩ කරලා ගෙදන එනකල් තමන්ගේ නංගිලා මල්ලිලා බලා ගන්න ඕන…. කෑම හදලා තියෙන්න ඕන… ගෙවල් බලාගෙන ඉන්න ඕන… මේ වගේ දේවල්… ඔවුන්ට වැඩිය හීන නෑ… හෙට ජීවත් වෙන්න අද රෑට කාලා නිදා ගන්නෙ කොහොමද කියන දේ වෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නය….. ඒ අතරේ සිදු වන අතවර ගැන කතා නොකර ඉඳිමු….
ඉතින් මේ අපේ දරු පරපුරේ අන්ත දෙකක්…. මේ අන්ත දෙක ඇතුළේ විවිධාකාර පරිසර වල විවිධාකාර ළමුන් ජීවත් වෙනවා… ඒ හැමෝම ගැන අපි හැමෝටම බලන්න බෑ… ඒත් අපට පුළුවන් ඔවුන්ට උදවු කරන්න… තමන්ගෙ දරුවො ඒ පැත්තට යොමු කරන්න… මීට පස්සෙ ඔබේ පුතාගෙ දුවගෙ උපන් දිනේ වෙනුවෙන් සාදයක් පවත්වනවා වෙනුවට ළමා නිවාසයකට දානයක් දුන්න නම්, ඔබේ දරුවාට පෙනෙයි තමන්ට වඩා වෙනස් දරුවන් කොටසක් ජීවත් වෙනවා කියලා.. ඔවුන් තේරුම් ගනීවි තමන් සමහර විට කරන ඉල්ලීම් කොච්චර අසාධාරණද කියලා… ඔවුන් ඉගෙන ගනීවි බදාගෙන ජීවත් වෙනවට වඩා බෙදාගෙන ජීවත් වීම කොයි තරම් අගනේද කියලා…
ඉතින්… ළමුන් වගේම වැඩිහිටියන්ටත් එකසේම සළකන්න… වැඩිහිටියන් බවට පත් වුනාම කොයි කෙනත් ළමුන් බවට ඉබේම පත් වෙනවා… තමන්ගෙ දෙමාපියො ගැන තරහ ගන්න එපා… ඔවුන් පිළිකුල් කරන්න එපා.. රෝගී වුනාම බෙහෙත් අරන් දෙන්න සේවකයො යවන්නෙ නැතිව තමන් ම ගිහින් බෙහෙත් අරන් දෙන්න… එතකොටයි ඔවුනට සතුටු… තමන්ගෙ ලේවලින් හදපු දරුවා ඒ බීපු කිරි වලට, හළපු දහඩිය වලට ණය නැති බව ඔවුන් පසක් කර ගනීවි… දුර ඈතක ඉන්නවා නම් තමන්ගෙ අම්මට තාත්තට සතියකට එක වතාවක් හෝ දුරකථනයෙන් කතා කරලා විස්තර අහන්න… ඔබේ කටහඬ ඇසීමත් ඔවුනට සුවයක් ගෙන දේවි….. පුළුවන් හැම වෙලාවෙම දෙමාපියො බලන්න යන්න.. ඔවුන් වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ.. ඉන්න කාලෙ සතුටින් තියන්න.. ඔවුන් බලන්න යන සති අන්තය හෝ පැය කිහිපය අපතේ යන්නෙ නැහැ… ඔවුන් ඔබ වෙනුවෙන් ජීවිත කාළයම කැප කළ එකේ ඔබට ඔවුන් වෙනුවෙන් සති අන්තයක් කැප කරන්න බැරි නම් ඔබේ දරු කම වැඩක් නැහැ….. ඔබට ඔවුන්ගේ වටිනාකම දැනෙන්නෙ ඔවුන් නැති වුනාම… නමුත් ඔබ ඒ වනවිට පරක්කු වැඩි වෙන්න පුළුවන්… ඒ නිසා… නිතරම තමන්ගෙ දෙමාපියන්.. නෑදෑයන් වැඩිහිටියන් කෙරෙහි අවධානය යොමු කරන්න… ඔවුන්ගේ ඕනෑ එපාකම් හොයලා බලන්න.. ඒ වෙලාව වත්, සල්ලිවත් අපතෙ යන්නෙ නැහැ… එබට කවදා හරි සැනසෙන්නට පුළුවන්.. මට කළ හැකි උපරිම යුතුකම් කොටස මම කළා කියලා..
පිට රටවල ඉන්න අපට ඒ වාසනාව නැහැ… ලංකාවට පැමිණෙන හැම වාරයකම හැකි සෑම වෙලාවම ඔවුන් සමඟ ගත කරන්න අපි යොදා ගන්නෙ ඒකයි… ඔවුන් දමා අපි නැවත එනවිට අපිට දරා ගන්න බැරි ඒකයි… ලංකාවෙ ඉන්න ඔබට එහෙම නැහැ… ඔබට වෙලාව හදා ගන්න පුළුවනි… දරුවන්ට පෙන්වන්න ඔබ ඔබේ දෙමාපියන්ට සළකන ආකාරය.. කවදා හරි ඔවුන් ඒ දෙස බලාගෙන සිට ඔබටත් ඒ ආකාරයෙන්ම සළකාවි… ඔවුන්ට නරක ආදර්ශයක් දුන්නොත් එහි පළ විපාක විඳින්න ලැබෙන්නෙත් ඔබටමයි…
ළමුන් මල් පොහොට්ටු වගේ… ඔවුන් ආරක්‍ෂා කරන්න… පිපෙන්න ඉඩ හරින්න…
වැඩිහිටියන් පිපුණු මල් වගේ…. ඔවුන් අනාගතයට ප්‍රාර්ථනා එකතු කරලා පරවෙලා යනවා… පරවී යන්න ඉස්සර ඔබේ යුතුකම් ඉටු කරන්න….
ඔක්තෝබර් පළවෙනිදා මට කියන්න තියෙන්නෙ එච්චරයි….. හිතලා බලන්න ඔබ මොන වගේ කෙනෙක් ද කියා…
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
Blogger.com සයිට් වල ඉන්න සාමාජිකයින්ට WordPress.com හි පළ වන දිනපොතේ ප්‍රතිචාර පළ කිරීමේ අපහසුවක් තිබෙන නිසා දැන් ඒ දෙකේම එකම ලිපිය පළ වෙනවා.. මෙන්න මෙතැනින් Blogger.com එකේ ලිපියට යන්න…
මා සමඟ මෙතෙක් කළක් රැඳී සිටියාට ස්තුතියි…………….!
ජුලි මාසෙ පැවැත්වුන බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොග් අඩවියත් ඇතුළත් කළේ දහසකුත් එකක් වැඩ රාජකාරි අතරෙයි… ඔබ සැම සියළුම දෙනා දන්නා පරිදි මට අළුතෙන් ජර්මනියෙ රැකියාව ලැබුණෙත් ඒ නිසාම ලංකාවට එන්න තිබුණෙත් මේ බ්ලොග් සම්මාන උළෙලට ලිපි ලියලා පළ කළ යුතු කාලෙමයි.. තරඟ නීති රීති වලට අනුකූලව ලිපි දින පතා පළ කළ යුතු නිසාම, ඒ වැඩ මොනවා තිබුණත් සුපුරුදු රටාවටම ලිපි ලියා පළ කරන්න සිදු වුනා… සමහර විට ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන තමයි මේ ලිපි ලියැවුනේ…. බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොගය ඉදිරිපත් කළා කියලා අමුතුවෙන් නිර්මාණාත්මක ලිපි ලියන්නවත්, මගේ පාඨකයන්ගෙන් ඒවා බෙදා ගන්නවත් කියලා අමුතුවෙන් ඉල්ලන්න නොගියෙ මම ඉල්ලුවත් නැතත් හොඳ ලිපියක් තිබුණා නම් ඔබ ඒක බෙදා ගන්න බව දැනගෙන….
ඉතින් මගේ බ්ලොග් අඩවියත් කැටගරි දෙකකටම තේරිලා තිබුණ බව දන්නෙත් අද උදේ…
විනිසුරු මඬුල්ල දිහා බැලුවාම මගේ බ්ලොග් අඩවිය තේරිලා තිබීමම ගෞරවයක්… නියෝජනය වෙලා තිබුණ බ්ලොග් අඩවි දිහා බැලුවාම මට සමහර විට තැනක් නොඑයි කියලත් හිත්නෙ පසුගිය මාස දෙකේ වැඩිපුර ලිපි ලියන්නත් බැරි වුන නිසා… මොකද ලංකාවෙ නිවාඩුවකට ඇවිත් නෙ හිටියෙ… නිවාඩුවට ආවම කවුද බ්ලොග් ලියන්නෙ ?
ඉතින් අද බ්ලොග් සම්මාන උළෙලට සවන් දුන්නෙත් අහම්බෙන්… ඒ උදේ බස් රේඩියෝව අහද්දියි දැනගත්තෙ අද සම්මාන දෙනවා කියලා…
ඉතින් මගේ බ්ලොග් අඩවිය හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවිය ලෙස තේරී පත් වුනා… ඒ ගැන ඇත්තටම සතුටුයි… සම්මාන උළෙලකට ඉදිරිපත් කළ දෙවන අවස්ථාව මේ… ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්ත කාළෙම රාජකීය විද්‍යාලය මඟින් පවත්වපු සම්මාන උළෙලට එය ඉදිරිපත් කළත් ටිකක් පරක්කු වෙලා තමයි ඉදිරිපත් කළේ… ඒ වගේම ඒ කාළෙ බ්ලොගය වැඩිපුර ජනප්‍රිය හෝ පරිණත වෙලා තිබුණෙත් නැහැ.. ඒ නිසාම ඉඩක් ලැබුණෙ නැහැ…. ඉතින් මේ ජය ගැන නිහතමානීව ආඩම්බරයි… සන්තෝසයි…
ඒත් එක්කම මේ සම්මාන උළෙල පවත්වපු බස් රේඩියෝ කාර්ය මණ්ඩලයට සුවිශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි මේ වගේ දෙයක් සංවිධානය කළාට. බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු ඇහුම්කන් දෙන, ඉහළ රසඥතාවයක් සහිත සහ හොඳ ගීත ප්‍රචාරය කෙරෙන.. බස් රේඩියෝවෙ කටයුතු ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන් මෙය සංවිධානය කිරීමේදී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න ඇති… ඒ සියල්ල මැඩගෙන ඔවුන් කළ මේ දේ අගය කළ යුතුයි.
ඒ වගේම මේ සම්මාන සඳහා තමන්ගෙ බ්ලොග් ඉදිරිපත් කළ සියළුම දෙනා සුවිශේෂයි… බ්ලොගයක් පවත්වාගෙන යනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නොවෙයි… ඒ සියළුම දෙනා අගය කළ යුත්තෙ තමන්ගේ දැනුම සිතුවිලි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න තමන් තුළ ඇති පරාර්ථකාමී හැඟීම සහ ඊට කාළය යෙදවීම ගැන…
අවසානයේ මම ස්තුතිවන්ත වෙන්නෙ මගේ පාඨකයන්ට.. ඔබ නිසයි මම මේ බ්ලොගය ලියන්නෙ.. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අගෙයි මට… ඒ වගේමයි විවේචන…. මගේ වැරදි හදා ගන්න පුළුවනි. මගේ ලිපි ලිවීමේදී ඔබේ ප්‍රතිචාර වලටත් ලොකු සැලකිල්ලක් ලැබෙනවා. සමහරු දේශපාලන ලිපි වලට කැමතියි…(ඇල්කෙමිච්චි නම් කැමතිම නෑ) සමහරු අධ්‍යාපනික ලිපි වලට කැමතියි… මම කතන්දර නම් ලියන්නෙ නෑ… මොකද ඒවා ලියන්න ඕනතරම් කට්ටිය ඉන්න නිසා.. ඉදින් මම දන්න දෙයක් බෙදා හදාගෙන මම කැමති දේවල් අගයමින් ඒ වගේම මම අකමැති දේවල් විවේචනය කරමින් මම බොහොම හෙමින් ගමනක් යනවා. ඒ සියල්ල කියවාගෙන මට දිරි දෙන ඔබට බොහොම තුති…
ඉතින් පෙර වගේම ඉදිරියේදිත් මම ඔබට සේවය කරන්නම්… මේ සම්මානය මට ගෞරවයක්, දිරියක්… සමහර විට මේ නිසා මට තව තවත් ලිපි ලියන්න කැමැත්ත ඇති වේවි..
ඉතින්… තවත් ලිපියකින් හමු වෙමු… ඔබ සියල්ලටම බොහොම ස්තුතියි.
2012 සැප්තැම්බර් 22 : අපේ අවසානය ලඟද ? තව ටිකක් නටමුද ?
කවුද කිවුවා මේක ඇල්කෙමියාගෙ දිනපොත වුනාට දේශපාලන කතා ලියැවෙනවා වැඩියි කියලා…. මම දේශපාලන සත්‍වයෙක් ඒක නතර කරන්න බැහැ. ඉතිං අපේ කට්ටිය හිටු කියලා පිස්සු කෙළිනකොට ඇඟේ මාළු ගඟේ නටනකොට නොලියවිය යුතු දේවලුත් ඉඳලා හිටලා ලියැවෙනවා. ඒක එහෙමයි.. ඇල්කෙමිච්චිත් කට කැඩෙනකල් බණින්නෙ මේ හේතුව නිසාමයි. අනේ දෙයියනේ රටේ ලෝකෙට වැඩක් ඇති දෙයක් ලියන්න කියලා… කොයි මිනිහද දෙයියනේ තමන්ගෙ ගෑණි කියන දේ ඇහැවුවෙ ? එහෙම ඇහැව්වනං මිනිස්සු කොච්චරක් කියලා දියුණු වෙලාද ? (බොහොමයක් දෙනා අහන්නෙ ඉතිං අනිත් ගෑණි කියන දේ විතරනෙ)… මේ දවස්වල නං ඉතිං පරිසරය වෙනස් නිසා ලියන්න දේවල් ගොඩයි.. දැන්වත් කියන්න ඕන අර පිය-පුතු යුවලට පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න කියලා…. නැත්තං ආයෙම ලියන්න වෙනවනේ….
දේශපාලනය හැරුණාම මගේ ප්‍රියතම විෂයය පරිසරය…. පුංචිකාලෙ නම් 1. පරිසරය 2. ක්‍රීඩාව……… කොහොම වුනත් රසායන විද්‍යාව කරලා පරිසරයේ විනාශයට හේතු වන දේවල් ගැන අධ්‍යයනය කරන්න ගත්ත කාළෙ ඉඳලා මට මේ කාළගුණය-දේශගුණය ආදී නොයෙක් බර දේවල් ගැන අවධානය යොමු වුනා.. ඒ නිසාමයි කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම ගැන සහ ඊට කළ හැකි දේ ගැන පර්යේෂණ කරන්න යොමු වුනේ… වාසනාවකට දැනුත් පර්යේෂණ කරන්න තියෙන්නෙ ඒ ගැනමයි… සන්තෝසයි… ඉතිං මම පහුගිය ලිපි ගණනාවක අත කැඩෙනකල් ලියුවා අපි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුකළ යුතු ඇයිද කියලා… මේ නිසා ලෝකෙට වෙන්න පුළුවන් විනාශය අති විශාලයි… ඒත් අපි හැමෝටම ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. රුපියල් 7500 කින් මාසයක් ගත කරන එක ලෝකෙ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමට වඩා ප්‍රශ්නයක්. දරුවන්ට පාසලක් – පාසැල් ගිය දරුවොන්ට උසස් පාසැලක් – උසස් පෙළ සමත් දරුවොන්ට විශ්ව විද්‍යාලයට යන්න හැකියාවක්, ආදී නොයෙක් දේවල් නිසාම අපිට ලෝකයක් තියෙනවාද කියලා හිතෙන්නෙවත් නැහැ… ඒක ලෝක ස්වභාවය… අපිට අපි ගැන විතරයි මතක් වෙන්නෙ… වැරැද්දක් කියන්න කොහොමටවත් බෑ… බුදු හාමුදුරුවොත් තමන් බුදු වෙලා තමයි අනිත් අයට නිවන් යන පාර කිවුවෙ…. ප්‍රශ්නෙ තියෙන්නේ අපට ඒ තමන් බුදු වෙන මාර්ගය හොයා ගන්න ලේසි නැති එක.. ඒ නිසාම අනුන් වෙත කරුණාව පතුරන්න වෙලාවක් නෑ… එහෙම වැරදිලාවත් හිතෙන්නෙවත් නෑ…
පහුගිය මාස එකහමාරෙ ලංකාවෙ ගත කළ කාළයෙදි මට තේරුණේ ලංකාවෙ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා.. ඉස්සර තිබුණ අනුන් ගැන සිතීම දැන් NGO වලට පමණක් දීලා අපේ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද කියලා හිතුනා. පාරේ වාහන එළවන්නෙ තමන් යනවා කියලා හිතාගෙන විතරයි… අනිත් අය තමන්ට ඉඩ දීලා යන්න ඕන… පාරේ එක පැත්තක ඉඳලා අනෙක් පැත්තට යන්න සිග්නල් ඕනම නෑ… දවසක් අපේ වාහනයෙ පිටි පස්සෙ මෝට බයිසිකලයක් හප්පලා.. අන්තිමට බයිසිකල් කාරයා බැණගෙන ගියා වාහනේ ට්‍රැෆික් එක මැද්දෙ වේගය අඩු කළා කියලා.. දෙයියනේ හෙමින් තමයි ගියේ… නැතුව ඉස්සරහ වාහනේ පෙරළගෙන යන්නයෑ… ඔන්න ඔහොමයි.. තවත් දවසක නෝනා කෙනෙක් ලොකු ජීප් එකක මහ දවල් යූ ටර්න් එකක් දානවා පාර හරහා…. අපි ඔක්කොම එයා දෙතුන් පාරක් ඉස්සරහට පස්සට අරගෙන කහ ඉරි දෙක කපාගෙන යූ ටර්න් දානවා බලන් ඉන්න ඕන… ටිකක් ඈතින් සුදුපාට අත් දිගට දාපු ට්‍රැෆික් පොලිස් රාලහාමිලා දෙන්නෙකුත් ඉන්නවා… අනේ කාලේ කියලා හිතුනා… ඒ එක පැත්තක්…
ඉතිං මේ ගැන කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි… ඉතින් කාටත් වැදගත් දෙයක් කතා කරමු…
දැනට ගෝලීය උෂ්ණත්‍වය පමණක් ෆැරන්හයිට් 1.33 කින් එහෙමත් නැතිනම් සෙන්ටිග්‍රේඩ් 0.79 කින් වැඩි වෙලා. මේ වැඩි වීමෙ ලොකුම අගය වාර්තා වෙලා තියෙන්නෙ 1979 න් පසුව එනම් බාගයකට වැඩි ප්‍රමාණයක්. තවත් වෙනසකම් බොහොමයක්.. සතුන් සිය චර්යා වෙනස් කරගෙන, ශාක සිය චර්යාවන් පරිසර වෙනස්වීමට අනුව වෙනස් කරගෙන, මල් හට ගන්න ගෙඩි හට ගන්න වකවානු වෙනස් වෙලා… සතුන්ගේ සිරුරු වල DNA වෙනස් වෙමින් පවතිනවා…අළුත්ම සොයා ගැනීම් අනුව හිමාලයේ ග්ලැසියර් හිතුවට වඩා වේගයෙන් දියවෙනවලු… මෙච්චර කල් වැඩි සද්දයක් බද්දයක් නැතුව තිබුණ ඇන්ටාක්ටිකාවත් දියවෙන්න පටන් අරන්.. උත්තර ධ්‍රැවය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ… දියවෙලා පොළව මතු වෙන කොටස් වල ඇමරිකාවයි, රුසියාවයි තෙල් හාරන්නත් පටන් අරන්… තව ටික දවසකින් කට්ටිය Santa Clause Resort කියලා උත්තර ධ්‍රැවයෙ ලොකු ව්‍යාපෘතියක් පටන් ගනීවි… කොහොම වුනත් ඉදිරි කාළයේ මේ හිම දියවීම වැඩි වෙන්න ගන්නවා.. මම කියන්නෙ තව වසර පහක් ඇතුලත.. මේ කාළය ඇතුලත ලෝකයේ කාළගුණයෙ බොහොමයක් වෙනස්කම් සිදු වේවි… කොහොමද අපි අවම වශයෙන් මේක පාලනය කරන්නවත් උත්සාහ කරන්නෙ ?
ලෝකයේ උෂ්ණත්‍වය ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ වැඩිවන ජනගහනය විසින් බලශක්තිය වැඩිපුර භාවිතා කිරීම. ඒ නිසා වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ අනෙකුත් හරිතාගාර වායූන් නිසා වායු ගෝලය රත් වෙනවා.. එවිට බොහෝ විපර්යාස සිදු වෙනවා. අපට කරන්න තියෙන්නේ දැන් දැන් බලශක්ති පරිභෝජනය සීමා කිරීම.. ඒක අපි තනි තනි පුද්ගලයින් වශයෙන් කළ හැක්කක්. එපමණක් නොවෙයි එය අපේ වියදම අඩු කිරීමටත් උදවුවක්. මේ ගැන මම මීට පෙරත් කතා කරලා තිබෙනවා.
- CFL විදුලි බල්බ වෙනුවට හැකි නම් LED විදුලි බල්බ භාවිතා කළ හොත් අපට 80% කින් විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවනි.
- LED විදුලි බල්බවල මිල තරමක් වැඩි වුනත් ඒවා දීර්ඝකාලීනව වාසිදායකයි.
- භාවිතා නොකරන අවස්ථාවල විදුලි උපකරණවල විදුලි පේනු ගලවා තැබීම.
- බොහෝ දෙනා නොදන්නවා වුනාට විදුලි පේනු විදුලියට සම්බන්ධ කර ඇති විට යම් විදුලි ප්‍රමාණයක් එය පරිභෝජනය කරනවා. මෙසේ ගලවා තැබීමෙන් විදුලි බිලෙන් 10% ක් පමණ ඉතිරි කරගන්නට පුළුවන්.
- වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
- රෙදි මැදීම වැනි අධික විදුලි පරිභෝජනය වන දේ භාවිතා කරන අවස්ථා අවම කිරීම. උදාහරණයක් ලෙස නිවසේ සියළුම දෙනාගේ සතිය පුරා අඳින ඇඳුම් ඉරිදා වැනි දිනයක සියල්ලම මැදීම වැනි සුළු කළමණාකරණයකින් බොහෝ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.
- විදුලි උදුන් වෙනුවට දහයියා උදුන් භාවිතය.
- ජල පරිභෝජනය කළමණාකරණය.
- වැසි ජලය එකතු කර භාවිතයට ගැනීම.
- ගමන් බිමන් කළමණාකරණය – විශේෂයෙන් මෝටර් රථයක් භාවිතයේදී
- මෝටර් රථයේ වීදුරු වසාගෙන ගමන් කිරීම – මෙමගින් ඉන්ධන ඉතිරි කිරීම වැඩි කරගන්න පුළුවන් : වාත ප්‍රතිරෝධය අඩු වන නිසා.
- මෝටර් රථය නිසි ලෙස සර්විස් කර නිසි ටයර් පීඩනය රඳවා භාවිතා කිරීම මගින් ඉන්ධන ඉතිරි කර ගන්න පුළුවන්.
- පොදු ප්‍රවාහනය භාවිතය වැඩි කිරීම
- සිය ආහාර සිය වත්තේම වගා කර ගැනීම සහ භාවිතය
- අඩුවෙන් භාවිතය, නැවත භාවිතය, සහ ප්‍රතිචක්‍රීකරණය, (Reduce, Reuse & Recycle)
- හැකි නම් සූර්ය කෝෂ දෙක තුනක් වහලේ සවි කරගෙන එය තමන්ගෙ විදුලි මීටරය හරහා ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කර ගන්න (Smart metering system) පුළුවන් සැලැස්මක් කර ගත්තොත්, තමන් නිවසේ නැති අතරේ ජනනය වන විදුලි බලය නිසා අමතර වියදම් පිරිමැස්මක් කර ගන්නත් පුළුවන්… නමුත් මෙය මුලින් තරමක් වියදම් අධිකයි.. ප්‍රතිලාභ ලැබෙන්නෙ පහු වෙලා…
මේ කරන්න පුළුවන් දේ වලින් බොහොම පොඩ්ඩක්… ඇත්තෙන්ම සරළව පොඩ්ඩක් හිතලා බැලුවොත් හැම දෙනාටම කරන්න පුළුවන් දෙයක්… දවසකට එක්කෙනෙක් කිලෝ වොට් එකක් ඉතිරි කළොත් රටට බොහොමයක් බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ගෙදර වියදමත් ඉතිරි වෙනවා..
මම ජර්මනියෙ දුටු එක දෙයක් තමයි බලශක්තියට උපරිම අයකිරීමක් කරනවා.. මේ නිසා මිනිස්සු බලශක්තිය පාවිච්චි කරන්නෙ හරිම අර පරිස්සමින්… මම හිතන්නෙ අපේ රටෙත් විදුලි බිල වැඩි කළොත් ඒක සිදු වෙයි සමහරවිට… ඒත් විදුලි බිල වැඩි කරන්න ඉස්සර විදුලිබල මණ්ඩලයේ නාස්තිය සහ දූෂණය නැති කරලා ඉන්න වෙයි.. අන්න එතකොට අපිට විදුලිය ඉතාමත් අඩු මුදලකට දෙන්නත් පුළුවන් වේවි… ඉස්සර කිවුවා වගේ නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරය හදලා ඉවර වුනාම විදුලි බිල සෑහෙන අඩු වෙයි.. ඒක හදලා ඉවර වෙනකල් ඉන්න වෙනවා….
මේ ආකාරයට පාලනයක් නැතිව ගියොත් අපට වැඩි දවසක් නොගොස් ඒකෙ පළවිපාක දකින්නට පුළුවන් වේවි. දැනටමත් අප අත් දකින විවිධ කාළගුණ රටා වෙනස් වීම් මේ විනාශයේ පෙර නිමිති. ටික කාළයකින් අපට වෙරළබඩ තීරයෙන් ලොකු කොටසක් අහිමි වෙන්න පුළුවන්.. ඉතින් ජීවිත පූජ කරලා සටන් කරළා බේර ගත්ත ප්‍රදේශ අපට අහිමි වෙනවා කියලා ලොක්කො දන්නෙ නැතුව ඇති… නැත්නම් අනිත් ප්‍රශ්න වලදි වගේම නොදන්නවා වගේ ඉන්නවා ඇති…
ඉතිං අර ලිපගිණි මොළවන තෙක් හැලියට කෙළිය කකුළුවා වගේ අපි හැමෝම නට නටා ඉන්නවද ? එහෙමත් නැතිනම් අනාගත පරපුර ගැන හිතලා තම තමන්ගේ පමණින් ලෝකය ආරක්‍ෂා කරන්න තමන්ගෙ දායකත්‍වය දෙනවද කියන දේ නැවතත් හිතා බලන්න කාළය ඇවිත්….
තීරණය ඔබේ අතේ.
2012 සැප්තැම්බර් 19 : ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට නිවන් සුව පතමු………
අපේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා කවුද ඇහුවොත් කතා දෙකක් නැතිව කියන්න පුළුවන් ප්‍රසිද්ධම පුද්ගලයා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා කියලා. ඒ මැතිතුමා ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති වීම… අඩු ගානෙ ජනාධිපතිතුමාටවත් බය නෑනෙ මේ මනුස්සයා… ඉතිං කවර කතාද ? කාලි අම්මටවත් බය නෑනෙ… අර මුන්නේෂ්වරම් දේවාලෙ කාලි අම්මට පූජ කරන්න තිබුණ එළුවො ටික නෙ ඒ මැතිතුමා බය නැතිව ගිහින් බේරගෙන ආවෙ… ඒකෙන්ම තේරෙනවා ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති බව…
දෙවනි කාරණේ තමයි ඒ මැතිතුමාගෙ කලා රිට… වැරදුනා… කලා කුසලතාවය. බලන්න…. සිංදු කියන්නද, සිංදු වර්ණනා කරන්නද, නැටුම් අගය කරන්නද, කුක්කු අගය කරන්නද, ආදී වශයෙන් විවිධාකාර කලා කුසලතාවයන්ගෙන් අගතැන්පත් මේ මැතිතුමා සත්තකින්ම මුළු ඇමති මණ්ඩලයටම ආදර්ශයක්… තමන් කරන දේ කෙසේ වෙතත් වෙනත් දේ ගැන බොහොම කුසලතාවයක් තිබීම…
තෙවැන්න තමයි ඒ මැතිතුමාගෙ නිර්ලෝභී දාන පාරමිතාව… දවස ගානේ රුපියල් පනස් දාහක් ගානෙ පන්සල් වලට පූජ කරන්න කාටද පුළුවන්… මම හිතන්නෙ අනේපිඬු සිටුතුමා හිටියත් කරන්න බැරි දෙයක් තමයි ඒක…. ඒ නිසා ඒ උත්තමයා ඒ පැත්තෙනුත් ප්‍රසිද්ධ වෙනවා.
අනිත් කාරණේ තමයි රට පුරා අච්චර මිනී මරණ භයානකම ඩෙංගු මදුරුවා ඒ මැතිතුමා ඉස්සරහ දණ ගහපු එක… අපි හැමෝම බය ඩෙංගු මදුරුවා වගේ අසමජ්ජාති නරුමයෙක් අර බුදු හාමුදුරුවන්ගෙ ඉදිරියෙ දණ ගහපු නාලාගිරි හස්තියා දණ ගහනවා වගේ දණ ගැස්සෙවුවා කියන්නෙ ආයෙ සුළු පටු දෙයක්ද ?
පස්වැන්න… කසාද බඳින දවසෙ ඇරෙන්න මොන මිනිහද තමන්ගෙ කැමැත්තෙන් බැඳගන්නෙ… අර කාණු සුද්ද කළේ නැති සමෘද්ධි නියාමකයෙකුගෙ හිත, මර්වින් සිල්වා මැතිතුමාගෙ අසාමාන්‍ය අධිමානසික බලය යොදාගෙන තමන් විසින්ම ගහේ බැඳෙන්න සලස්වන එක වගේ ප්‍රාතිහාර්යයක් පාන්න අඩුම ගානෙ අච්චර සෝවාන් වෙලා ඉන්න පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවන්ටවත් පුළුවන්ද ? වඳුරඹ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වත් පුළුවන් ද ? බෑනෙ…
තව ඉවර නෑ ලිස්ට් එක…
ඊලඟට රට වටේ සෙල්ලම් දාන සිරසට කැළණියෙ පස් පාගන්න නොදී තමන්ගෙ මාධ්‍ය ආවරණය කරන්න ආපු වෙලේදිම අර මයික් එක බිම දාලා පාගපු වික්‍රමය… බලන්න… සිරස වගේ සංවිධානයක් එක්ක හැප්පෙන්න එතුමට තියෙන ගට… ඒ විතරක්ද ? ඒ ගට ඇවිත් තියෙන්නෙ තමන්ගෙ දුටු ගැමුණු පරම්පරාවෙන් කියලා අතීතය දක්නා නුවණ භාවිතා කරලා සොයා ගත්ත අපූරුව…
එහෙම හොයා ගත්තා විතරක් නම් මදෑ… ඒ පිළිබඳ තැනුන ඓතිහාසික නිර්මාණයෙ එම චරිතයටම එතුමා පත්වෙච්චි එක… මම නම හිතන්නෙ දෛවෝපගත සිද්ධියක් කියලයි….
ඒ විතරක් නෙවෙයි.. එතුමා අලි රෑණක් මැදට වන් සිංහයෙක් වගේ රූපවාහිනී සංස්ථාව ඇතුලට තනියම ගිහින් ඒකෙ හිටපු දාහක් පමණ දෙනාට විරුද්ධව තනියම යුද්ධ ප්‍රකාශ කරලා එක ලේ බිඳක් හලා නොගෙන ආපු අපූරුව… මතක් වෙන්නෙ දුටු ගැමුණු රජතුමා විජිතපුර බලකොටුව ආක්‍රමණය කළා වගේ..
බුද්ධිය අතිනුත් ඒ මැතිතුමා කිසිවෙකුට දෙවැනි නැහැ.. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇති එතුමාගේ හසළ දැණුමට ගෞරව කරනු වස් එතුමට ලැබුණ ආචාර්ය උපාධිය මේ රටේ එවැන්නෙකුට ලැබුණ පළමු උපාධිය… අපේ රටට ඒ වගේ බුද්ධිමතුන් වාසනා කරන්න ඕන…
ඉතින් මේ මැතිතුමාගෙ ගුණ කඳ අනන්තයි… අප්‍රමාණයි…. ඒ ගුණ කඳට තවත් මැණිකක් අද එකතු වෙලා කියලා පත්තරේක තිබුණාම මගෙ හිත වාවන්නෙ නැතුව ගියා…
ඒ තමයි ඒ මැතිතුමා මේ ආත්මයේ කළ දෑ සම්පූර්ණ කරගෙන දැන් ලබන ආත්මය වෙනුවෙන් කටයුතු කරනවා කියලා… මෙන්න බොරු නම් පත්තරේ විස්තරේ මෙතැනින් බලන්න…
“He also mentioned that he is getting ready for the comforts of the afterlife and that he has already completed the requirements to go there and that when he or his son cracks the skull of another person, it will not interfere with his progress.“
ඇත්තෙන්ම මේ මැති තුමාගේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මට සිතුනා.. ඇයි මේ ගුණ කඳ අපිව දාලා යන්න හදන්නෙ ? මම හිතන්නෙ එතුමා මේ බව දැනගෙනම තමයි රුවන්වැලි සෑයෙ හුණු පිරියම කෙරෙව්වෙත්…. අර මඛාදේව රජතුමා නර කෙසක් දැකලා වනගත වුනා වගේ මම හිතන්නෙ මර්වින් සිල්වා මැති තුමත් කවද හරි වනගත වේවි..
ඉතින් බලන්න….. මේ වගේ පරාර්ථකාමීව, උපේක්‍ෂා සහගතව සිතන කෙනෙක් දැකලා තියෙනවාද ? ඒ වගේ ප්‍රාර්ථනා කරන කෙනෙකු වෙනුවෙන් අපිත හැමෝම එකතු වෙලා එතුමා ඉක්මනින්ම ඒ තමන් පතන තැනට යන්න කියලා ප්‍රාර්ථනා කළොත් නරකද ? අර පිරිත්, යාඥා, යාග හෝම, වැනි බොහෝ දෙනෙක් එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරන දේවල් වල චිත්ත බලවේගයන් එකට එකතු වෙලා ශක්තියක් විදියට ක්‍රියා කරලා ඒ ප්‍රාර්ථනා හරි යනවා කියලා කතාවක් තියෙන්නෙ….
අන්න ඒ වගේ අපි ඔක්කොම එකතු වෙලා ඒ මැතිතුමාගෙ ප්‍රාර්ථනාව හරි යන්න කියලා පතමු…. මම හිතන්නෙ අපට ගොඩක් කට්ටිය එකතු වෙයි….. මුළු රටේම ජනතාවගෙ පැතුම එතුමගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක කියලයි මට තේරෙන්නෙ….
ඉතින්… එතුමාට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා ! කියලා අපි පතමු…..
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ඉතිං දැන් අපේ දේශද්‍රෝහියො මට බනියි ඒ මහත්තයා මරන් කන්න හදනවා කියලා….. මම කියපු කතාවක් නෙවෙයි මේක… ඒ මහත්මයා මයි ලබන ආත්මෙට වැඩ කරනවා කියලා පත්තරේට කියලා තියෙන්නෙ.. මාව අල්ලගන්න එපා …. ඔය පත්තරේට ලියපු පත්තරකාරයව අල්ලගන්න….
හොඳේ……………………………… ඇහුනයි…………………………
2012 සැප්තැම්බර් 18…. ආදරණීය මාලක…… ඔබ අපටත් රටටත් ආඩම්බරයකි….
අද හරි විදියට වැඩට යන දවස… උදේම නැගිටලා ජංජාලෙට සැට් වෙනකොටම ඇල්කෙමිච්චියි පැටියයි අනිත් පැත්තෙන් බලාන ඉන්නවා කතා කරන්න… ඉතින් ඒ කතා කරලා ලැහැත්ති වෙලා පයින්ම රසායනාගාරයට ඇවිදගෙන යනකොට නවයයි. රසායනාගාරයෙ මට භාර දෙන්න යන පර්යේෂණය තෝර ගන්න එකට අදාලව පර්යේෂණ පත්‍රිකා කියවන එක තමයි අද දවසෙම කළේ. කාලෙකින් රසායන විද්‍යාව කියවපු නිසා මොලේ තිබුණ මළකඩ ටික ටික කැඩිලා යනවා වගේ තේරෙනවා… සවස ආරක්‍ෂක විධි විධාන ගැන කියලා දුන්නා.. මෙන්න මෙහේ සමාගම් වල මේ වගේ වැඩක් තියෙනවා ලු.. තමන් වැඩට එන්න උදේ ගෙදරින් එළියට බැහැලා වැඩ කරලා ගෙදර ගිහින් දොර අරිනකල් අතරේ වෙලාව රාජකාරියට අයිතියි ලු… එහෙව් එකේ අතරමගදි අනතුරක් වුනොත් ඒක රාජකාරියට අදාල අනතුරක් කියලා සලකලනවලු… ඒ නිසා පාරෙ යන අතරමගදි වුනත් නියම ආරක්‍ෂක විධි විධාන පළිපදින්නලු…. හොඳ වෙලාවට ලංකාවෙ මෙහෙම සීන් නැත්තෙ….
ඉතින් මේ ගැන ගැඹුරින් සළකා බැලුවම ඇත්තකුත් තියෙනවා. මෙහේ හැම දෙයක්ම බලන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙන්…. සේවකයන්ට, මිනිස්සුන්ට යහපතක් වෙන ආකාරයටයි… වැඩ කරනකොට වුනත්, වැඩිපුර කාළයක් වැඩ කළ යුතු නැහැයි කියලයි කියන්නෙ. අවශ්‍ය විවේකය ගන්නම ඕන… අපට අවුරුද්දකට දවස් තිහක් අනිවාර්ය නිවාඩු තිබෙනවා. ඒ වගේම අසනීප වුනා කියලා ඒ නිවාඩු වලින් නිවාඩු ගන්න තහනම්… ඒ නිවාඩු තියෙන්නෙ තමන් කැමති දිහාවක ගිහින් ගත කරලා එන්න…… ඔන්න ඔහොමයි අද උදේ මට ලැබුණ උපදෙස්….
කෙනෙක් රාජකාරියට යන විට අනතුරකට පත් වෙලා ඒ කෙනාගෙ ඵලදායීතාවය අඩු වුනොත් හානිය සිදු වන්නෙ ඒ කෙනාට පමණක් නොවෙයි වැඩ කරන ආයතනයටත්. ඒ නිසා තමන්ගෙ සේවයකයා මඟතොටදී වුනත් ආරක්‍ෂා කරන එක අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන සමාගම්/ආයතන වල වගකීමක්. බලාගෙන ගියාම සාධාරණයි…
ඉතින් අද වැඩ නිම කරලා ඉක්මනටම ආවෙ මැච් එකේ ඉතිරි වෙලා තියෙන කොටස බලන්න…. ජීවන් මෙන්ඩිස් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා කියලා බැලුවා… ඊට පස්සෙ තමයි අනිත් මෙන්ඩිස් වැඩේ බාර ගත්තෙ… කොහොම වුනත් ඒ තරඟය මෙන්ඩිස්ලා Vs සිම්බාබ්වේ වුනා… ජීවන් මෙන්ඩිස් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරලා කඩුළු තුනක් ගත්තත් මම හිතන්නෙ අජන්ත මෙන්ඩිස්ට තරඟයේ වීරයා සම්මානය හිමි විය යුතුයි.. ඒ T-20 තරඟ ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළාට…. ඒ විතරක් නෙවෙයි මෙන්ඩිස් අපිව පමණක් නෙවෙයි තමන් වෙනුවෙන් පරිවර්තනය කරන්න ආපු මහේලවත් පුදුමයට පත් කළේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කතා කරලා තමන්ගෙ අදහස් ප්‍රකාශ කළ එකට… ඇත්තෙන්ම අගය කරන්න ඕන මෙන්ඩිස්ගේ ආගමනය… ක්‍රිකට් මෙන්ම පෞරුෂත්‍වය……
ඉතිං මෙන්න මෙහෙම දිගටම ක්‍රීඩා කළොත් අපට කිසි ප්‍රශ්නයක් නැතිව T-20 ලෝක කුසලානෙ දිනන්න පුළුවන් ඉන්දියාව අවසාන මහා තරඟෙට ආවෙ නැතොත්…. වැරදිලාවත් ඉන්දියාව අවසාන මහා තරඟෙට ආවොත් අපරාදෙ විදුලි බිලයි රුධිර පීඩනයයි වැඩි කරගන්නෙ නැතිව රූපවාහිනිය වහලා නිදා ගන්න… දැන් වෙන දේ වල් වල හැටියට ඒක හිතටත් ගතටත් හොඳයි….
දත් මිටි කනවට වඩා හිනා වෙන එක රුධිරය පිරිසිදු කරනවා කියලා සඟරාවක තිබුණා… මේ හිනා වෙන්න පුංචි ජෝක් විසි පහක්….
- ජෝක් අංක එක
- ජෝක් අංක දෙක
- ජෝක් අංක තුන
- ජෝක් අංක හතර
- ජෝක් අංක පහ
- ජෝක් අංක හය
- ජෝක් අංක හත
- ජෝක් අංක අට
- ජෝක් අංක නවය
- ජෝක් අංක දහය
2012 සැප්තැම්බර් 17 : රසායනික ද්‍රව්‍ය කම්හලක් විසින් වෙලාගත් නගරයක්…. Ludwigshafen.
ලෝකෙ විවිධ නගර විවිධාකාර දේ වලට ප්‍රසිද්ධයි. පැරීසිය කෞතුකාගාර වලට, රෝමය පැරණි නටබුන් වලට, ලාස් වේගාස් විනෝදයට, නිව්යෝක් විශාලත්‍වය සහ ප්‍රසිද්ධියට….Delaware ප්‍රාන්තය ප්‍රසිද්ධ Dupont කර්මාන්තශාලාව නිසා ආදී වශයෙන් විවිධ නගරවලට ආවේනික ප්‍රසිද්ධීන් තිබෙනවා… නමුත් කවුරු හරි අහලා තියෙනවාද රසායන ද්‍රව්‍ය කම්හලක් නිසා තැනුන නගරයක් ගැන ?
ඉතින් අන්න ඒ නගරයට මම අද උදෙන්ම ගියා. ඒ නගරයේ නම තමයි Ludwigshafen. ඒක ප්‍රසිද්ධ BASF කියන රසායන ද්‍රව්‍ය සමාගම පිහිටවා තිබීම නිසා… මේ නගරය පිහිටා තිබෙන්නේ ජර්මනියෙ Frankfurt නගරයට දකුණින්.. BASF කියන්නෙ ලෝකයේ විශාලතම විවිධාංගීකරණය කරන ලද රසායන ද්‍රව්‍ය කම්හල.. එනම් එහි ඇති උප කොටස් හෝ සමාගම් ගණන අනන්තවත්. 1865 දී Manheim කියන නගරයේදී ෆ්‍රෙඩ්රික් එන්ගල්හෝන් විසින් කුඩා කර්මාන්තශාලාවක් පිහිටවූයේ ඩයි වර්ග හදන්නයි. නමුත් එයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව නිසා මෙම කර්මාන්ත ශාලාව වැඩි දියුණු කළා ඩයි වර්ගවල අමුද්‍රව්‍ය වන සෝඩා සහ අම්ල වර්ග හදන්න… මෙම ප්‍රදේශයට කියන්නේ Baden කියලා… Baden වල හැදු Aniline and Soda Factory කියන වචන වල මුල අකුරු එකතු වෙලා තමයි BASF කියලා හැදුනෙ. පසුව නගර සභාවෙ විරෝධය නිසා මේ කර්මාන්ත ශාලාව ගඟෙන් අනිත් පැත්තේ වන Ludwigshafen වල පිහිටවූවා… ඉන් පසුව ඒ නගරය දියුණු වුනේ කර්මාන්තශාලාවෙ දියුණුවත් සමඟයි.
මේ කර්මාන්ත ශාලාවෙ ජර්මන් මධ්‍යස්ථානයෙ පමණක් සේවකයින් 50,000 කට අධික ප්‍රමාණයක් සේවය කරනවා… ලොව පුරාම ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් කර්මාන්ත ශාලා 390 කට අධික ප්‍රමාණයක සේවය කරනවා… මෙන්න මෙහමයි ඒකෙ විස්තරේ.
මම සේවය කරන්න යන රසායනාගාරයත් මේ සුවිසල් ආයතනයෙ සෙවණ ලබන්නක්… අපිත් කරන්නෙ ඒ ආයතනයට අවශ්‍ය පර්යේෂණ නිසාම අපිත් වැටෙන්නෙ BASF සේවකයො විදියටයි. අපේ පඩි නඩි වගේම සියල්ලම සැපයෙන්නෙ ඒ ආයතනය මගින්. ඉතින් අද මම මුලින්ම සේවයට වාර්තා කරන දිනයට ඒ ආයතනයට ගියා. බොහොම සුහදශීලී ලෙස පිළි අරගෙන මට බොහෝ දේ කියා දීලා මගෙන් ලේ ටියුබ් දෙකකුත් අරගෙනයි ගෙදර එව්වෙ… ඒ ලේ ටියුබ් දෙකට කරන්න ඕන පරීක්‍ෂණ ඔක්කොම කරයි… මම මත්ද්‍රව්‍ය ගන්නවද ආදී වශයෙන් සොයා බලයි… සති දෙකකින් විස්තරේ එයි… ඊට පස්සෙ තමයි ඔක්කොම එළි වෙන්නෙ….
ඉතින් හෙට ඉඳලා මමත් වැඩ… අද උදෙන්ම රහස්‍යභාවය සුරැකීමේ ලිපියකට අත්සන් තිබූ නිසා රසායනාගාරයේ සිදු වන කිසිදෙයක් කියන්න බැරි වේවි… නමුත් එතැන හරිම සුන්දර, වැඩ කරන්න ආස හිතෙන තැනක්…. මට ලොකුම ලොකු කාර්යාලයක් තියෙනවා…. ඉතින් අපි බලමු ලෝකෙට යමක් හොයලා දෙන්න…. ඒක කාට හරි වැදගත් වෙනවා නම් වටිනවනේ.. වැඩියෙන්ම වටින්නෙ ඉතිං BASF ආයතනයට… ඒත් මොකද… කාට හරි යහපතක් වේවි… අඩුම ගානෙ පරිසරය වත් සුරැකේවි….
2012 සැප්තැම්බර් 16 : ඇල්කෙමියාගේ Epic Journey එක…. තව ඉවර නෑ……
ඉතින් ඔන්න ආයෙත් ඔබ අතරට එන්න පුළුවන් වුනා…
මොකවත් වෙලා තිබුණෙ නැහැ… පසුගිය මාස එකහමාරෙම හිටියෙ ලංකාවෙ… නිවාඩුවකටත් වඩා අනිවාර්ය නිවාඩු යවලා වගේ හිටියෙ.
සමහර විට ඔබට මතක ඇති මට ජර්මනියේ BASF ආයතනයට සම්බන්ධ රසායනාගාරයක රැකියාවක් ලැබුණ බව… ඉතින් මේක ඒ ආයතනයෙම නොවුනත් එයට සම්බන්ධ නිසා මට ඉදිරියේදී ඒ ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩියි… ලැබුනොත් ගොඩ… නැත්නම් ඉතිං මඩ තමයි… ඒ නිසාම ඒ අන්තරාය අරගෙන මම මැයි මාසයේ ජර්මනියට ආවෙ සම්මුඛ පරීක්‍ෂණයට… ඒ අවසානයේ ජුනි මාසයේ මුල මට රැකියාව ලැබුණා. අපට කරන්න තියෙන්නේ BASF ආයතනයේ ඇති සමහර පර්යේෂණ මේ රසායනාගාරයේ සිදු කිරීම… ඉන් ලබන ප්‍රතිඵල අනුව අපි ඒ පර්යේෂණය නැවතත් BASF ආයතනයට ලබා දෙනවා දිගට කරගෙන යන්නට. පිටතින් හරිම සරළ වුනත් වැඩ කරනකොටයි ඒකෙ අමාරුව දැනෙන්නෙ… ඒ අතරෙමයි මගේ ඇමරිකානු රැකියාවෙ කාළය නිම වුනේ. හරියටම ජුනි 01 වෙනිදා. ඒ වුනත් ඇල්කෙමිච්චි රැකියාව කරගෙන හිටි නිසා මම ඇයත් සමඟ නතර වුනා… පැටියත් ඒ වෙනකොටත් පාසල් යනවා.
රැකියාව ලැබුනත් වීසා ප්‍රශ්නය හරහට හිටියා… අපේ ආසියානු කලාපයේ කට්ටිය ජර්මනියට හොරෙන් පැනීම වැඩි නිසා අපට වීසා දෙන්න හරි කල් යනවා… හොඳට හොයලා බලලයි දෙන්නෙ.. මේ නිසාම මට ඒ ආයතනයෙන් දැනුවූවා ලංකාවට ගිහින් වීසා අයැදුම් කරන්න කියලා… ඉතින් ගෙදර බඩු වෙනම පෙට්ටි වලට දාලා ජර්මනියට යවන්න සැලසුම් කරලා වාහනයත් විකුණලා අනිත් බඩු දන් දීලා ආදී වශයෙන් අපි ලංකාවට ගොඩ බැස්සේ ජූලි 19 වෙනිදා…
මුලින් මුලින් අපිට හොඳ සත්කාර ලැබුණත් අපි ගොඩක් තැන්වල ගියත් පහු පහු වෙනකොට නම් අපටත් කම්මැලි හිතෙන තරමට පත් වුනේ අපට කරන්න දෙයක් නොතිබූ නිසාමයි. මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා….
ඊට පස්සෙ ගමන් බොහොමයක් ගියා අපි. පින්නවල, කතරගම, සිතුල් පවුව, යාල, හුම්මානය, නුවර එළිය, උණවටුන, කැළණියේ water world, කොස්ගොඩ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථාන ආදිය එයින් ටිකක්…. ඒ අතරෙ අපේ වීසා වැඩ කෙරුණත් අදාල දිනය වූ සැප්තැම්බර් 03 වෙනිදා වෙනකොට නම් ජර්මනියට එන්න ලැබුණෙ නැහැ… කොහොමින් කොහොම හරි අවසානයේ වීසා ලැබුණෙ ගිය සතියෙ… එතකොටම වගේ ටිකට් එකත් බුක් කරගෙන මම විතරක් ජර්මනියට ආවෙ බ්‍රහස්පතින්දා…… ඒ ආපු හැටි නම් කියලා වැඩක් නෑ,..
ලංකාවෙන් පිටත් වන ටිකට් එකක සඳහා නිකුත් කරන්නෙ යුරෝ 700 ක් වැනි සුළු මුදලක් විතරයි… ඒ මුදල මදි මට නවාතැනට දෙන්නවත්.. ඉතින් නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරගෙන යන්තම් අවශ්‍ය ප්‍රමාණයට මුදල් අරගෙන ආවා… ඒ වැඩේට විතරක් දවස් තුනක් මහ බැංකුවටත් සම්පත් බැංකුවටත් බඩ ගෑවා… අන්තිමට සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණයි සංචාරක චෙක්පත් ගන්න පුළුවන් වුනේ…..
බදාදා රෑ පිටත් වුන ගුවන් යානය මාලේ වලත් නවත්වලා ඩුබායි බලා ගියා… මට එහා අසුනෙ හිටියෙ කෑගල්ලෙ කාන්තාවක්… මම හිතන්නෙ ඇය ගෘහ සේවයට යන කෙනෙක්. කවදාවත් ගුවන් යානයක ගිහින් නැහැ… ගුවන් යානයේ පටි තදකරගන්න දන්නෙත් නැහැ… මම ඉතින් ඇයට උදවු කළා… මම හිතන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුවෙදි ගෘහ සේවිකාවන්ට ගුවන් යානයේදී කළ යුතු දෑ කියලා දෙනවා නම් හරිම වැදගත්. කන බොන හැටි, ආසන පටි තද කරගන්න හැටි ආදිය… මට ඇහුනා ගුවන් සේවිකාවො කිහිප වතාවක්ම එක එක්කෙනාට පටි තද කරගන්න අයුරු කියලා දෙනවා… ඩුබායි වලින් පිටත් වෙලා Frankfurt වලට එනකොට උදේ නවයයි. කොහොම හරි Frankfurt ගුවන් තොටුපලෙන් බැහැලා ආගමන විගමන කවුන්ටරේ අතරින් කරදරයක් නැතිව ආවා… සමහරුන්ගෙන් නම් වැලට ප්‍රශ්න ඇහුවත් මට BASF ආයතනයෙන් දීපු ලියුම් නිසා කිසි කරදරයක් නැතිව එන්න පුළුවන් වුනා…. ගුවන් තොටුපල සම්බන්ධ වෙන්නෙ දුම්රියපොළට… එතැනට එනවිට උෂ්ණත්‍වය සෙන්ටිග්‍රේඩ් දහයයි… හනික බෑග් එකේ තිබුණ උණුසුම් කබායක් ඇඟලා ගත්තා….. ලංකාවෙ උණුසුමේ ඉඳලා මෙතැන සීතල දරා ගන්න බැරි වෙනවා එකපාරටම….
එතැනින් මම ගත්තෙ දුම්රියක්.. ටිකට් එක යුරෝ 25 යි.. දුම්රියෙන් බැහැලා Manheim වලදි තවත් දුම්රියක් ගන්න ඕන… එතැන දුම්රිය මාරුවට තියෙන්නෙ විනාඩි පහයි… කිලෝ 30 ක බෑගයත් උස්සගෙන පඩි පේලියක් බැහැලා යනකොට උඩට යන්න හොඳ වෙලාවට Escalator එකක් තිබුණා.. එතැනින් උඩට නගිනකොටම දුම්රියේ දොර වැහුනා… යන්තම් බොත්තමක් ඔබලා දොර ඇරගන්න කොටම දුම්රිය පිටත් වුනා…. නැත්නම් තව පැය බාගයක් ඉන්න ඕන අනෙත් දුම්රිය එනකල්….
Heidelberg වලින් බැහැලා මම කළේ එතැන තිබුණ ටැක්සියක් ගන්න එක… අවශ්‍ය ලිපිනය කිවුවාම ටැක්සි රියැදුරා GPS එකට ලිපිනය ඇතුළු කරලා යනවා. මම ගියේ බෙන්ස් එකක… ලංකාවෙ කොහෙද බෙන්ස් ටැක්සි… රියැදුරාට ටිකක් ඉංග්‍රීසි පුළුවන්… ඉතින් අපි ගියේ අපට වෙන් කරලා තිබුණ නිවස වෙත… ගියාට පස්සෙ තමයි තේරුණේ ජර්මනියට ආපු මෝඩකම….
ඒ නිවස තියෙන්නේ කඩුගන්නාව වගේ කන්දක් මුදුනෙ…. බස් එකට එන්න විනාඩි 15 ක් ඇවිදින්න ඕන… හැබැයි එක දෙයක් තමයි මට අළුතෙන් ව්‍යායාම අවශ්‍ය නෑ…. ඉතින් ගෘහ පාලිකාව මට දොර ඇරලා නිවස පෙන්වුවා… පැටියත් එනවා කියලා තිබුණ නිසා එයාට වෙනම කාමරයක් ලෑස්ති කරලා.. ලස්සනට සරසලා… නමුත් ඒක බලන්න පැටියට එන්න වුනේ නෑ… තවම ලංකාවෙනෙ….
ඉතින් පොඩ්ඩක් හති ඇරලා ගෘහ පාලිකාව එක්කම මට බඩු ටිකක් ගන්න මාකට් එකට ගියා… ජීවත් වෙන්නත් ඕනනෙ.. දන්න කියන බඩු ටිකක් අරගෙන ඇවිත් හොඳ නින්දක් දාලා පරිඝණකය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා… ජර්මනියෙ විදුලි බලය වෝල්ට් 230 වුනත් විදුලි පේනු ලංකාවෙත් ඇමරිකාවෙත් පේනු වලට වඩා වෙනස්… මම adapter එකක් අරන් ආවත් ඒක නියම එක නෙවෙයි… ඒ මදිවට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හැදුවත් ගෙදර මනුස්සයාගේ පරිඝණකය කැඩිලා අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටිලා… ඉතින් මොනවා කරන්නද ? තනිකමයි පාළුවයි මදිවට මුළු ලෝකෙන්ම වෙන් වෙලා… මම නින්දට ගියා….
පැයක් පමණ නිදාගෙන ඉන්නකොටයි මට ලෝකෙ වටිනම දුරකථන ඇමතුම ආවෙ… ඇල්කෙමිච්චිගෙන්… එහෙම දුරකථන ඇමතුමක් ආවම කොයිතරම් සැනසීමක්ද කියලා දන්නෙ තනිවෙලා ඉන්න කෙනෙක් ම තමයි…. ඉතින් විස්තර කතා කරලා යන්තම් සැනසුනා.. පරිඝණකය ක්‍රියාත්මක කරවන්නවත්, අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නවත් නැති නිසා ලෝකෙම පාළුයි… හොඳට නිදා ගත්තා…
පසු දිනයෙ මට මඟ පෙන්වන්න පත් කරපු කාන්තාවක් පැමිණියා. ඇගේ උදව්වෙන් බැංකු ගිණුමක් විවෘත කරලා රැගෙන ආ මුදල් මාරු කරගෙන මුලින්ම කළේ පරිඝණකයට adapter එකක් ගන්න එකයි.. අවම වශයෙන් යමක් කරන්න හරි පුළුවන් නිසා… ඒ ඉන්න අතරෙයි මේ සටහන ලියුවෙ… ඊටත් පස්සෙ දුරකථන සම්බන්ධතාවයක් ගත්තා.. ඇල්කෙමිච්චිට ඊයක් යවපු මම මගේ දුරකථනය නාද වෙනකල් බලාගෙන හිටියා.. ආයෙම ඇල්කෙමිච්චි කතා කළා… ඔහොම ගිහින් ඉතිං යන්තම් සිත සනස ගත්තා…
ජීවිතේට යමක් තනියම උයාගෙන කාපු නැති මම දැන් තනිවම උයනවා… තවමත් හොද්දට ලුණු මදි. නමුත් ඔම්ලට් එකක්, පොඩි බැදුමක් හදා ගන්න පුළුවන් නිසා යන්තම් ජීවිතේ ගැට ගහගන්න පුළුවන්… ඊයේ ගියා නගරයට… නගරයේ සිතියමක් අරගෙන දුම්රිය මාර්ග සියල්ල ගැන දැනගෙන ටිකට් ගන්න අයුරු අහගෙන දවල් ගෙදර ආවා…. දුම්රිය නැවතුමේ ඉඳලා නිවසට හරියටම විනාඩි 15 ක් එක දිගට කන්ද නැගගෙන එන්න වෙනවා… නියමයි….
අද උදේ තමයි අන්තර්ජාල පහසුකම ලැබුණෙ… ඒ වෙලාවෙම අන්තර්ජාලයට ලොග් වෙලා ස්කයිප් එකේ හිටපු දුකට සැපට දෙකටම පිහිට වෙන මගේ මිතුරා මෙවන් ට කියලා ඇල්කෙමිච්චිට පණිවුඩයක් දුන්නා… ඊට පස්සෙ ඇල්කෙමිච්චියි පැටියයි ස්කයිප් එකෙන් දැක්කට පස්සෙයි සිතට සැනසුමක් ආවෙ… කොහොම හරි මේ ලියන අවස්ථාව වෙනකොට ඒ දෙන්නට තුන් පාරක් කතා කරලා ඉවරයි….
ළබැඳියන්ගෙන් ඈත් වෙලා ඉන්නකොට තමයි අපි ඒ අයට කොච්චර ආදරේද, කොච්චර ඒ අය අපට වටිනවා ද කියලා තේරෙන්නෙ.. පහු ගිය දවස් තුන ගත කළේ හිර ගෙයක වගේ. අද ඒ තත්ත්‍වය සහමුලින්ම වෙනස් වුනා… පැටියටයි ඇල්කෙමිච්චිටයි කතා කරපු නිසා දවස හරිම සන්සුන්… ඉතින් හෙට යන්න ඕන මූලස්ථානයට පළමු දවස වාර්තා කරන්න…. හෙටින් පස්සෙ වෙන දේවල් වැඩිය කියන්න බෑ…. රහස්‍යභාවය සුරකින ලිපියකට අත්සන් කරලා තියෙන නිසා…. නමුත් හයිඩ්ල්බර්ග් නගරය සුන්දරයි… ඒකෙ විස්තර පසුව කියන්නම්…
නමුත් එකක් කියන්න ඕන… මම කවදාවත් මේ වනතෙක් දෛවය කියන දේ විශ්වාස කළේ නැහැ…. නමුත් අප්‍රේල් මාසෙ අන්තිම සතියෙන් පටන්ගෙන අද දක්වා සිදු වූ සියළුම දේ මම කවදාවත් වෙයි කියලා විශ්වාස කරපු දේවල් නොවෙයි… ඒ විතරක් නෙවෙයි මීට තිබුණු බාධක අනන්ත අප්‍රමාණයි… ඒ සියල්ල බිඳගෙන මේ වෙනතෙක් ඇවිත් තියෙනවා…. හෙටින් ඇරඹෙන නව ජීවිතය මොන වගේ වෙයිද කියලා කියන්න අමාරුයි… නමුත් කොහොම හරි මුහුණ දීලා ජයගන්න වෙනවා…..
ඒකයි දෛවය…..
පසුව හමු වෙමු….
මේ හැමටම ඉහළින් පියාසර කරනකොට ගනිපු පින්තූරයක්………….
2012 සැප්තැම්බර් 06 : අනිද්දා ඔබේ මනාපය කාටද ? මැතිවරණ කෑල්ලට පෙරවදනක්…..
යළිත් මැතිවරණය කෑල්ලක් අපේ ඇඟ උඩ පටවා තිබේ. මෙය අපි කිසිවකුත් බලෙන් ඉල්ලූ මැතිවරණයක් වත්, ආණ්ඩුව පෙරළෙන්නට ගොස් ඇඟ බේරා ගැනීමට කළ මැතිවරණයක්වත් නොව කල් පිරෙන්නට පෙර බබා එළියට ගැනීමකි. ආණ්ඩුවේ නායකයන්ට වියදම් කරන්නට වෙනත් කිසිවක් නැතිකළ ජනතාවගේ සිත් සතන් සනහන්නට අපට ලබා දුන් මැතිවරණයකි. ජයවේවා……. !
අපට දැන් ප්‍රශ්න නැත. සරසවි ආචාර්යරු සතුටිනි. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දාසයක් අධ්‍යාපනය වෙත බෙදා හැර දුන් අපේ රටේ සරසවි සිසුන් උද්දාමයෙන් සරසවි යති. උන් දිවා රෑ නොබලා පර්යේෂණයන් හි නියැළෙමින් රටේ අභිවෘද්ධියට දායක වෙති. රාජ්‍ය සේවකයෝ දිවා කෑම පැය – පැය බාගයක් දක්වා අඩු කර ස්වයං ව සේවයේ යෙදෙති. රට ධන ධාන්‍ය වලින් ස්වයංපෝෂිතය. චීනයට සහල් පටවන්නට නෞකා පෝලිමේ හම්බන්තොට වරායට ඇදෙති. විදුලිබල අතිරික්තයෙන් අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය එළිය කිරීමේ පින අපට ලැබී ඇත. විදුලිය වැඩි නිසාම දැන් එස් එල් පී එල් දෙවැනි අදියරද පටන් ගැනීමට නියමිතය. ගොවියා සතුටිනි. ප්ලාස්ටික් පෙට්ටිවල දැමු එළවළු නිසා දැන් ඒවා නරක් නොවේ. අතරමැදියන්ගෙන් තොර වෙළඳාම නිසා ඔවුන්ගේ අතමිට සරුව ඇත. මත්ස්‍ය සම්පත බහුල අප රටේ සුවිසාල ටින් මාළු කර්මාන්තශාලා දෙකෙන් අසල්වැසි රටවලටද ටින්මාළු අපනයනය කෙරේ. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය අති සාර්ථකය. ඩෙංගු මර්ධනය කෙතරම් සාර්ථකද යත්, කියුබාවෙන් විශේෂඥයෝ පැමිණ මදුරු මර්ධනය කෙරෙන්නේ කෙසේදැයි අපෙන් උගනිති. බෙහෙත් නිශ්පාදන කර්මාන්තශාලා නිසා ඕනෑම බෙහෙතක් ඉතාම අඩු මිලට ලබා ගත හැක. රටේ නිෂ්පාදන ධාරිතාව විසිගුණයකින් වැඩි වී ඇත. රටට අවශ්‍ය සියළුම දෑ අප විසින්ම නිෂ්පාදනය කරනු ලබයි. 2020 දී ජනගහනයෙන් බාගයක් දියවැඩියා රෝගීන් වනවා යැයි අනුමාන කළ රටේ කිසිදු දියවැඩියා රෝගියෙකු සොයාගත නොහැක. වෛද්‍යවරු පැය විසිහතරේම රෝහල්වල රැඳෙමින් ලෙඩුන් ගැන සොයා බලති. මැති ඇමතිවරු සිය මැතිවරණ කොට්ඨාසවල සිය පවුල සමගම ගොස් ඒවායේ අඩුපාඩු සොයා බලමින් රට නැඟුමට සිය දායකත්‍වය ලබා දෙති. රටේ අපරාධකාරයින් නැත. සිරගෙවල් වසා දමා ඒවා කෞතුකාගාර කර ඇත. කෞතුකාගාරය කෞතුක වස්තු වලින් පිරී ඉතිරී යයි. විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කිරීම කිසිදු අඩුපාඩුවක් නැතිව සිදු වේ. Z අකුර උගුරේ හිර වන නිසා O අකුරින් සැදුම් ලත් O Score එකක් නිර්මාණය කිරීමෙන් ඒ ප්‍රශ්නය මඟ හැරී ගියේය. ශිෂ්‍යත්‍වය අහෝසි ය. රටේ සියළුම පාසැල් දැන් ජනප්‍රිය පාසැල් නිසා තරඟයක් නැත. දෙමාපියන් දරුවන් පාසල් වලට දමා ගන්නට මැති ඇමතිවරු පස්සේ නොයති. මන්නාරම ද්‍රෝණියේ හමු වූ තෙල් නිසා රට තෙලින් ස්වයංපෝෂිතය. මේ නිසාම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 දක්වා පහත දමා ඇත. කැළණි ගං ද්‍රෝණියේ රන් නිධි හමුව ඇත… ජනතාවට සියළු සහන ලබා දී ඇත…… අපට දැන් ප්‍රශ්න නැත. මේ නිසා ඡන්ද පැවැත්විය යුතුය.
මේ සියල්ල සිදුවෙද්දී ආත්මාර්ථකාමී පටු ආකල්ප වලින් යුත් අවස්ථාවාදී විපක්‍ෂ නායකයෝ බොරු කියමින් රට වටා ඇවිදිති. රට සංවර්ධනයක් නැතැයි ඔවුන් පට්ටපල් බොරු ඇදබාති. රටේ අධ්‍යාපනය මී හරක් දෙදෙනෙකු විසින් කා දමා ඇති බවට බොරු බේගල් ඇදබාති. මන්ත්‍රීවරු – ඇමතිවරු සුළු දේටත් අල්ලස් ගන්නා බව කියමින් අභූත චෝදනා ඉදිරිපත් කරති. ඇමතිවරුන්ගේ සොහොයුරන් සහල් මාෆියාවක් ඇති කර ඇතැයි ද එළවළු අතිරික්ත සහ කිරි අතිරික්ත මග හලා ගොවියන් ගෙදර යනු ඇතැයිද කියමින් ජනතාව නොමඟ යවමින් සිටිති. බොරු බියක් මවා පාමින් රටේ ඇති ඛණිජ තෙල් බාල තත්ත්‍වයේ යැයිද , ඒවාට බැක්ටීරියා මුසුව ඇතැයිද කියමින් ඉන්දියානු තෙල් කොම්පැණි පෝසත් කරන්නට කැස කවති. තවද ඔවුහු සිය මැතිවරණ කොට්ඨාසවල ඩෙංගු වගාබිම් ඇති කරමින් රජය අපහසුවට පත් කරන්නට උත්සාහ දරති. චීනයෙන් ත්‍යාග ලෙස ලැබුණ විදුලි බලාගාරවලට විපක්‍ෂ සේවකයින් රිංගවා ඒවා සතියෙන් සතිය අඩපණ කර රජය හෑල්ලුවට ලක් කරති. විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසි ගන්වමින් විශ්ව විද්‍යාල යාන්ත්‍රණය අඩපණ කරන්නට උත්සාහ දරති. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හොරෙන් රැගෙන ඒවායේ ප්‍රශ්න වැරදියට හරවා රජයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අපහසුතාවයට පත් කරන්නට උත්සාහ දරති. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර මණ්ඩලයට තමන්ගේ හෙංචයියන් දමා වැරදි ප්‍රශ්න සදා සිසුන් අමාරුවේ දමති. දේශපාලනඥයින් තරුණියන් සහ දරුවන් දූෂණය කරනවා යැයි රාවයක් ගෙන යති.. වැරදි කරන්න තමන්ගේ හෙංචයියන්ට දඬුවම් නොකරන බව කියමින් වැරදි මත පළ කරති. මෙකී නොකී දහසකුත් එකක් දේ කියමින් මෙතෙක් දිනූ රට ඉදිරියට ගෙන ආ ගමන ආපස්සට හරවන්නට ඔවුන් උත්සාහ දරමින් සිටිති.
මේ නිසාම අප ඡන්දය දිය යුතුය…. හොර බොරු නැති, අවංක, නිර්භීත, බුද්ධිමත්, තරුණ, සදාචාර සම්පන්න නායකයින් අප පත් කළ යුතුය…… අප ඡන්දය දිය යුතුය…….
මුලින්ම පෙර කී ආකාරයේ දේශපාලනඥයින් සිටී දැයි අප සොයා බැලිය යුතුය…. සිටී නම් උන්ට ඡන්දය දිය යුතුය….. මොන පක්‍ෂයේදැයි කියා නොබැලිය යුතුය… ඡන්දය දිය යුත්තේ සුදුස්සාටය…. නුසුදුස්සන් පත් කර ගන්නේ ද ඔබමය… කෙඳිරි ගාන්නේ ද ඔබමය…. ඒ නිසා සුදුස්සන්ට ඡන්දය දිය යුතුය….. ඔබ ප්‍රදේශයේ අනාගතය තීරණය කරන්නේ ඔබය… මේ ඔබට ලැබුණ මහඟු අවස්ථාවකි…… නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කිරීමට කාළය එළඹ ඇත……
එසේ සුදුස්සෙක් නැත්නම්, ඡන්ද කොළය පුකේ ගා සුවඳවත් කර පෙට්ටියට දැමිය යුතුය……. තීරණය ඔබටය….
මට ඡන්දය නැත… තිබුණා නම් කරන්නේ දෙවැන්නය…… ඒ මගේ Standard වලට හරියන එකුදු දේශපාලුවෙකු ලංකාවේ නොමැති නිසාය….