2012 සැප්තැම්බර් 06 : අනිද්දා ඔබේ මනාපය කාටද ? මැතිවරණ කෑල්ලට පෙරවදනක්…..


යළිත් මැතිවරණය කෑල්ලක් අපේ ඇඟ උඩ පටවා තිබේ. මෙය අපි කිසිවකුත් බලෙන් ඉල්ලූ මැතිවරණයක් වත්, ආණ්ඩුව පෙරළෙන්නට ගොස් ඇඟ බේරා ගැනීමට කළ මැතිවරණයක්වත් නොව කල් පිරෙන්නට පෙර බබා එළියට ගැනීමකි. ආණ්ඩුවේ නායකයන්ට වියදම් කරන්නට වෙනත් කිසිවක් නැතිකළ ජනතාවගේ සිත් සතන් සනහන්නට අපට ලබා දුන් මැතිවරණයකි.  ජයවේවා……. !

අපට දැන් ප්‍රශ්න නැත. සරසවි ආචාර්යරු සතුටිනි. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දාසයක් අධ්‍යාපනය වෙත බෙදා හැර දුන් අපේ රටේ සරසවි සිසුන් උද්දාමයෙන් සරසවි යති. උන් දිවා රෑ නොබලා පර්යේෂණයන් හි නියැළෙමින් රටේ අභිවෘද්ධියට දායක වෙති. රාජ්‍ය සේවකයෝ දිවා කෑම පැය – පැය බාගයක් දක්වා අඩු කර ස්වයං ව සේවයේ යෙදෙති. රට ධන ධාන්‍ය වලින් ස්වයංපෝෂිතය. චීනයට සහල් පටවන්නට නෞකා පෝලිමේ හම්බන්තොට වරායට ඇදෙති. විදුලිබල අතිරික්තයෙන් අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය එළිය කිරීමේ පින අපට ලැබී ඇත. විදුලිය වැඩි නිසාම දැන් එස් එල් පී එල් දෙවැනි අදියරද පටන් ගැනීමට නියමිතය. ගොවියා සතුටිනි. ප්ලාස්ටික් පෙට්ටිවල දැමු එළවළු නිසා දැන් ඒවා නරක් නොවේ. අතරමැදියන්ගෙන් තොර වෙළඳාම නිසා ඔවුන්ගේ අතමිට සරුව ඇත. මත්ස්‍ය සම්පත බහුල අප රටේ සුවිසාල ටින් මාළු කර්මාන්තශාලා දෙකෙන් අසල්වැසි රටවලටද ටින්මාළු අපනයනය කෙරේ. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය අති සාර්ථකය. ඩෙංගු මර්ධනය කෙතරම් සාර්ථකද යත්, කියුබාවෙන් විශේෂඥයෝ පැමිණ මදුරු මර්ධනය කෙරෙන්නේ කෙසේදැයි අපෙන් උගනිති. බෙහෙත් නිශ්පාදන කර්මාන්තශාලා නිසා ඕනෑම බෙහෙතක් ඉතාම අඩු මිලට ලබා ගත හැක. රටේ නිෂ්පාදන ධාරිතාව විසිගුණයකින් වැඩි වී ඇත. රටට අවශ්‍ය සියළුම දෑ අප විසින්ම නිෂ්පාදනය කරනු ලබයි. 2020 දී ජනගහනයෙන් බාගයක් දියවැඩියා රෝගීන් වනවා යැයි අනුමාන කළ රටේ කිසිදු දියවැඩියා රෝගියෙකු සොයාගත නොහැක. වෛද්‍යවරු පැය විසිහතරේම රෝහල්වල රැඳෙමින් ලෙඩුන් ගැන සොයා බලති. මැති ඇමතිවරු සිය මැතිවරණ කොට්ඨාසවල සිය පවුල සමගම ගොස් ඒවායේ අඩුපාඩු සොයා බලමින් රට නැඟුමට සිය දායකත්‍වය ලබා දෙති. රටේ අපරාධකාරයින් නැත. සිරගෙවල් වසා දමා ඒවා කෞතුකාගාර කර ඇත. කෞතුකාගාරය කෞතුක වස්තු වලින් පිරී ඉතිරී යයි. විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කිරීම කිසිදු අඩුපාඩුවක් නැතිව සිදු වේ. Z අකුර උගුරේ හිර වන නිසා O  අකුරින් සැදුම් ලත් O Score එකක් නිර්මාණය කිරීමෙන් ඒ ප්‍රශ්නය මඟ හැරී ගියේය. ශිෂ්‍යත්‍වය අහෝසි ය. රටේ සියළුම පාසැල් දැන් ජනප්‍රිය පාසැල් නිසා  තරඟයක් නැත. දෙමාපියන් දරුවන් පාසල් වලට දමා ගන්නට මැති ඇමතිවරු පස්සේ නොයති. මන්නාරම ද්‍රෝණියේ හමු වූ තෙල් නිසා රට තෙලින් ස්වයංපෝෂිතය. මේ නිසාම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 දක්වා පහත දමා ඇත. කැළණි ගං ද්‍රෝණියේ රන් නිධි හමුව ඇත… ජනතාවට සියළු සහන ලබා දී ඇත…… අපට දැන් ප්‍රශ්න නැත. මේ නිසා ඡන්ද පැවැත්විය යුතුය.

මේ සියල්ල සිදුවෙද්දී ආත්මාර්ථකාමී පටු ආකල්ප වලින් යුත් අවස්ථාවාදී විපක්‍ෂ නායකයෝ බොරු කියමින් රට වටා ඇවිදිති. රට සංවර්ධනයක් නැතැයි ඔවුන් පට්ටපල් බොරු ඇදබාති. රටේ අධ්‍යාපනය මී හරක් දෙදෙනෙකු විසින් කා දමා ඇති බවට බොරු බේගල් ඇදබාති. මන්ත්‍රීවරු – ඇමතිවරු සුළු දේටත් අල්ලස් ගන්නා බව කියමින් අභූත චෝදනා ඉදිරිපත් කරති. ඇමතිවරුන්ගේ සොහොයුරන් සහල් මාෆියාවක් ඇති කර ඇතැයි ද එළවළු අතිරික්ත සහ කිරි අතිරික්ත මග හලා ගොවියන් ගෙදර යනු ඇතැයිද කියමින් ජනතාව නොමඟ යවමින් සිටිති. බොරු බියක් මවා පාමින් රටේ ඇති ඛණිජ තෙල් බාල තත්ත්‍වයේ යැයිද , ඒවාට බැක්ටීරියා මුසුව ඇතැයිද කියමින් ඉන්දියානු තෙල් කොම්පැණි පෝසත් කරන්නට කැස කවති. තවද ඔවුහු සිය මැතිවරණ කොට්ඨාසවල ඩෙංගු වගාබිම් ඇති කරමින් රජය අපහසුවට පත් කරන්නට උත්සාහ දරති. චීනයෙන් ත්‍යාග ලෙස ලැබුණ විදුලි බලාගාරවලට විපක්‍ෂ සේවකයින් රිංගවා ඒවා සතියෙන් සතිය අඩපණ කර රජය හෑල්ලුවට ලක් කරති. විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසි ගන්වමින් විශ්ව විද්‍යාල යාන්ත්‍රණය අඩපණ කරන්නට උත්සාහ දරති. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හොරෙන් රැගෙන ඒවායේ ප්‍රශ්න වැරදියට හරවා රජයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අපහසුතාවයට පත් කරන්නට උත්සාහ දරති. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර මණ්ඩලයට තමන්ගේ හෙංචයියන් දමා වැරදි ප්‍රශ්න සදා සිසුන් අමාරුවේ දමති. දේශපාලනඥයින් තරුණියන් සහ දරුවන් දූෂණය කරනවා යැයි රාවයක් ගෙන යති.. වැරදි කරන්න තමන්ගේ හෙංචයියන්ට දඬුවම් නොකරන බව කියමින් වැරදි මත පළ කරති. මෙකී නොකී දහසකුත් එකක් දේ කියමින් මෙතෙක් දිනූ රට  ඉදිරියට ගෙන ආ ගමන ආපස්සට හරවන්නට ඔවුන් උත්සාහ දරමින් සිටිති.

මේ නිසාම අප ඡන්දය දිය යුතුය…. හොර බොරු නැති, අවංක, නිර්භීත, බුද්ධිමත්, තරුණ, සදාචාර සම්පන්න නායකයින් අප පත් කළ යුතුය…… අප ඡන්දය දිය යුතුය…….

මුලින්ම පෙර කී ආකාරයේ දේශපාලනඥයින් සිටී දැයි අප සොයා බැලිය යුතුය…. සිටී නම් උන්ට ඡන්දය දිය යුතුය….. මොන පක්‍ෂයේදැයි කියා නොබැලිය යුතුය… ඡන්දය දිය යුත්තේ සුදුස්සාටය…. නුසුදුස්සන් පත් කර ගන්නේ ද ඔබමය… කෙඳිරි ගාන්නේ ද ඔබමය…. ඒ නිසා සුදුස්සන්ට ඡන්දය දිය යුතුය….. ඔබ ප්‍රදේශයේ අනාගතය තීරණය කරන්නේ ඔබය… මේ ඔබට ලැබුණ මහඟු අවස්ථාවකි…… නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කිරීමට කාළය එළඹ ඇත……

එසේ සුදුස්සෙක් නැත්නම්, ඡන්ද කොළය පුකේ ගා සුවඳවත් කර පෙට්ටියට දැමිය යුතුය……. තීරණය ඔබටය….

මට ඡන්දය නැත… තිබුණා නම් කරන්නේ දෙවැන්නය…… ඒ මගේ Standard වලට හරියන එකුදු දේශපාලුවෙකු ලංකාවේ නොමැති නිසාය….

Advertisements

Posted on සැප්තැම්බර් 6, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. මං මුකුත් කීවෙවත් කියන්ට හිතුවෙවත් නැත

  2. ඔයාගේ දේශපාලන පෝස්ට් වලින් පේන්නෙ ඔයා පැහැදිලි ඇණ්ඩු විරෝධියෙක් කියලයි…..ඒක ප්‍රශ්ණයක් නැ…..ආණ්ඩු විරෝධියකුට තමන් ආණ්ඩු විරෝධියකු වීම සාධාරණිකරණය කරන්න ඕන තරම් හේතු ආණ්ඩුව විසින්ම සපයලා දීල තියෙනවා….
    ඒ එක්කම පැහැදිලි වන දෙයක් තමයි ඔයා විපක්ෂයට කඩේ යන බව…..ඔයා කැමතියි මේ ආණ්ඩුව පරාජය වෙලා විපක්ෂය බලයට එනව නම්…..ඒත් ඔයාට ඒක කෙලින් කියන්න කොන්දක් නෑ……නිකන් වහෙන් ඔරෝ දොඩවනව විතරයි…….එක අතකට…..උගත් පුද්ගලයෙක් වන ඔයාගෙ (ආණ්ඩු විරෝධි) හැගීම් වලට වඩා බුද්ධිය ඉදිරියට එනව වෙන්න පුලුවන්…..ඔයාට දැනෙනවා මේ ආන්ඩුවට විකල්පය මේ විපක්ෂය නොවන බව….මේ ආණ්ඩුවට විකල්පය ලෙස විපක්ෂයේ යම් පුද්ගලයෙක් හෝ දේශපාලන ධාරාවක් ඔයා පැහැදිලිව නොදක්වන්නේ එමගින් ඔයාගේ තරම අනෙක් අයට පැහැදිලි වන නිසයි…..!

    මේක අභියෝගයක්…….පුලුවන් නම් මේ ආණ්ඩුවට විකල්පය මොකක්ද කියලා කෙලින් කියන්න……!

    “මට ඡන්දය නැත… තිබුණා නම් කරන්නේ දෙවැන්නය…… ඒ මගේ Standard වලට හරියන එකුදු දේශපාලුවෙකු ලංකාවේ නොමැති නිසාය….”

    යනුවෙන් පවසා පලායාම නපුංසක කමක්.

    හැමෝම තමන්ගේ ඔලුවල තියෙන standard වලට හරියන දේශපාලකයන් සොයමින් හිටියොත් කෙදිනකවත් මැතිවරණ ක්‍රමයක් රටක පවත්වා ගන්න පුලුවන් වෙන්නෙ නෑ.

    අපි වෙනස්කල යුත්තෙ පවතිනා දෙයක්.
    (ඔය standard politician ලා හරියට අපි අර රීගෙන එක එක සූත්තර දාල ගණන් හදපු perfect gases වගේ. perfect gases කියන්නෙ හරියට කල්පිතයක් වගේ.සෛද්ධාන්තික දේවල් ඔප්පු කරන්න අපි perfect gases එක්ක ඔට්ටු උනාට සැබැ ලෝකයේදී අපට වැඩ කරන්න වෙන්නෙ real gases එක්ක. perfect gases නැති තැන ඊට වඩාත් ආසන්න real gas එක තෝරාගන්න වෙනවා.)

    අපේ රටේ මොන යම් හෝ ආණ්ඩුවක් හා විපක්ෂයක් පවතිනවා. සැම පුරවැසියෙක්ම තමන්ගේ රට වෙනුවෙන් මේ දෙකෙන් “වඩා” හොද කෝකද යන්න තෝරා ගැනීමේ වගකීමෙන් බැදී සිටිනවා. (ඊටත් වඩා තමන් තෝරගත්තු ආණ්ඩුව හරිදේ කරනවාද කියල මැදහත්ව කටයුතු කිරීමේ වගකීමෙන් ඒ ආණ්ඩුව පත් කරපු අය බැදී සිටිනවා – හුගක් real gases විශේෂිත තත්ව යටතේ perfect gases හැසිරෙන ආකාරයට “පත්කරවන්න” පුලුවන්….!!!!!)

    ඔයා වගේ “standard” ප්‍රකාශ නිකුත් කරල ඒ වගකීමෙන් පලා යන්න මට නම් බැ. මගේ standard වලට අනුව ගත්තත් ඒකට හරියන කිසිම දේශපාලකයෙක් මේ රටේ නෑ. ඒත් “වඩා හොද” ‍කෙනා මට තේරෙන විදියට තෝරල පත් කරන වගකීම මම ඉටු කරනවා.

    මම අභියෝගය සරල කරන්නම්…..පුලුවන් නම් මේ රටේ තියෙන දේශපාලන ධාරාවන් ගෙන් එකිනෙකාට සාපේක්ෂව ” වඩා හොද ” මොකක්ද කියල කෙලින් කියන්න.

    මම වඩා හොද දේ තෝරගත්තා. මම මැදහත් ආණ්ඩු පාක්ෂිකයෙක්. මට ඒ ක කෙලින් කියන්න කොන්දක් තියෙනවා. මගේ විශ්වාසය වෙන්නෙ මේ ආණ්ඩුවට විකල්පයක් තිබිය යුතුයි, ඒක මේ ආණ්ඩුව තුලින්ම මතුවිය යුතුයි කියලයි….. විපක්ෂයෙ කාර්යය මධ්‍යස්ථ ආණ්ඩු පාක්ෂිකයන් අතට ගත යුතුයි….ඒ හැරෙන්න මේ විපක්ෂය ආණ්ඩුවට විකල්පයක් තියා අභියෝගයක් වත් නෙමෙයි.

    ඔන්න අපට වඩා හොදට ඔයාට තේරෙන chemistry යෙන්ම උත්තර දුන්නා…..මේක ඔයා පල කරයිද සැකයි…ඔයාගේ සුදු වැන් ප්‍රලාපයට මං දුන්න උත්තරේ ඔයා පල කලේ නැ….මේ කමෙන්ට් එක දාන්න ගත්ත කාලයටත් වඩා මේවගේ එකම විදියේ දේශපාලන “ප්‍රලාප” කියවන්න යන කාලය අපරාදෙ කියල හිතුනා….ඒත් FB එකේ ලින්ක් එකදැකලා කොටන්න හිතුනා…..මටත් ඔයාට වාග් පුකේ අමාරුව….ඉතිං කමෙන්ට් කරන්න හිතුනා…..සමාවෙන්න. (ආයෙ කාලෙ කන්නැ කියල හිතා ගත්තා…බලමු…)

    • බොහොම ස්තූතියි දීර්ඝ ප්‍රතිචාරයට.
      පළමුවැන්න… මම ඔබේ පළමු ප්‍රතිචාරය පළ කළා… වුනේ ප්‍රමාද වීමක්… මම ඒ ලිපිය පළ කරලා ගමනක් ගියා.. නැවත පැමිණි පසුවයි ප්‍රතිචාර පළ කිරීම ඊට පිළිතුරු ලිවීම කළේ…
      අන්න ගිහින් බලන්න… ඒක පළ වෙලා තියෙනවා

      මම ආණ්ඩු විරෝධියෙක් නොවෙයි. මගේ ලිපි මුල ඉඳලම අධ්‍යයනය කරනවා නම් ඔබට ඒ බව පෙනේවි. මම ජනතා විරෝධීන්ගේ විරෝධියෙක්… මම ආණ්ඩුවත් විපක්‍ෂයත් පොන්සේකත් වෙන කවුරු වුනත් වැරැද්දක් කරනවා නම් මම විවේචනය කරනවා. ඒ වගේම ඒ කවුරු වුනත් හොඳ දෙයක් කරනවා නම් මම ඒකත් අගය කරනවා… හොඳ ළමයා වගේ ගිහින් මගේ ලිපි මුළ ඉඳලා බලන්න ඊට පස්සෙ අපි ඒ ගැන කතා කරමු.
      මගේ Standard දේශපාලනඥයෝ හිටියා. ලලිත් ඇතුලත්මුදලි, ලක්‍ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු… මම ඒ දෙන්නා ජීවතුන් අතර හිටියා නම් කියන්නේ අන්න ඒ අයයි මගේ Standard කියලා..

      Perfect Gas වලට අපි සූත්‍ර දාගෙන හැදුවා වගේම Real Gases වලට හරි යන්න අපි විවිධාකාර කොටස් එකතු කරන බව ඔබට මතක් වුන එක ගැන සතුටුයි. පීඩනයටත් පරිමාවටත් අපි යම් අගයයන් එකතු කරලා අර Perfect Gas සමීකරණය Real Gases වලට හරි යන්න වෙනස් කරනවා.
      අන්න ඒ වෙනස් කිරීම තමයි අපි කරන්න ඕන….
      කොහෙන්ද පටන් ගන්නෙ ? අර දූෂණය වංචාව නැති සදාචාරාත්මකව හිතට එකගව ඡන්දය දෙන්න පුළුවන් මිනිහෙකුට… ඒ වගේ මිනිස්සු ඡන්දයට ඉදිරිපත් කිරීම පාලකයන් දැන ගත යුතුයි.
      ඒකයි මම කිවුවෙ
      “මුලින්ම පෙර කී ආකාරයේ දේශපාලනඥයින් සිටී දැයි අප සොයා බැලිය යුතුය…. සිටී නම් උන්ට ඡන්දය දිය යුතුය….. මොන පක්‍ෂයේදැයි කියා නොබැලිය යුතුය… ඡන්දය දිය යුත්තේ සුදුස්සාටය…. නුසුදුස්සන් පත් කර ගන්නේ ද ඔබමය… කෙඳිරි ගාන්නේ ද ඔබමය…. ඒ නිසා සුදුස්සන්ට ඡන්දය දිය යුතුය….. ඔබ ප්‍රදේශයේ අනාගතය තීරණය කරන්නේ ඔබය… මේ ඔබට ලැබුණ මහඟු අවස්ථාවකි…… නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කිරීමට කාළය එළඹ ඇත……” කියලා….

      මට මේ දේශපාලන රටාවෙ තෝරාගන්න ඒ වගේ සුදුසු දේශපාලනඥයෙක් නැහැ… ඒකයි මම මගේ ඡන්දය පුකේ ගාලා ඡන්ද පෙට්ටියට දාන්නෙ.. ඒක මගේ කැමැත්ත… අනෙක් අය තමන්ට කැමති දේ කරනවා…
      ඔබට මගේ ලිපි කියවන්න අවශ්‍ය නැතිනම් කියවන්න එපා… මම ලිපි ලියන්නෙ මගේ කැමැත්තට… ඒ අය බලන්නේ ඒ අයගේ කැමැත්තට… ඒ අය කමෙන්ට් දාන්නෙ ඒ අය කැමති නිසා… කුණුහරුප ඇරෙන්න අනික් හැම කමෙන්ට් එකක්ම මම පළ කරනවා…. ගිහින් බලන්න… ඉස්සෙල්ලා තමන් කතා කරන දේ ගැන Home work කරලා ඇවිත් විවේචනය කරන්න…. ඔයාම නේද ඉස්සෙල්ලා කිවුවෙ ” ඇල්කෙමියා මම හිතපු තරම් කුහක නෑ” කියලා ?

      මම ලියන්නෙ මට හරියි කියලා හිතෙන දේ.. මම හැමදාම කිවුවා වගේ මම කඩේ යන්නෙ සාමාන්‍ය මිනිහාට… මට දේශපාලන පක්‍ෂයක් නෑ… කවදා හරි මහින්ද රාජපක්‍ෂ තමන්ගෙ වැරදි හදාගෙන ආවොත් මම ඒ මිනිහාට ඡන්දය දෙනවා. රනිල් වික්‍රමසිංහ හරි දෙයක් ඉදිරිපත් කළොත් මම ඒ මිනිහට ඡන්දය දෙනවා.. ඒ මගේ කැමැත්ත… මගේ ස්වාධීනත්‍වය…

      මම ලියපු සමහර දේවල් සමහර අයට අගුණ වුන අවස්ථා තිබෙනවා.. ඔබ දන්නෙ ටිකයි.. මම දන්නවා මගේ බ්ලොගය ගැන… ඒ නිසයි මම සුදු වෑන් කතාව කියුවෙ… උපහාසයටත් එක්ක… ඕ උපහාසය ඔබට විඳින්න බැරි වුනා නම් ඒක මට කරන්න දෙයක් නෑ,..

      මට කියන්න තියෙන්නෙ එච්චරයි…

      මගේ බ්ලොග් එක බැලුවටත් කමෙන්ට් කළාටත් බොහොම ස්තූතියි… ඔබ වැනි අයගේ කමෙන්ට් නිසා මට මගේ වැරදි හදා ගන්න පුළුවන්….

  3. ඇල්….මගේ කමෙන්ට් එකට ඔයාගේ රිප්ලයි කිරීමම මට ගෞරවයක්. ඒත් නොසන්ඩාල කෑලිත් එක්ක කමෙන්ට් එකක් දැමීමෙන් ඔයාට යම් අගෞරවයක් කලා කියල මට දැනෙනෙවා…සමාවෙන්න. කිසිදු දෙයක හොදක් නොදකින ජෙප්පෙකු ගේ කොලම් එකකුයි, ජනප්රිලය ගොසිප් සයිට් එකක ද්වේශ සහගත, අපහාසාත්මක කමෙන්ට් දාල ආණ්ඩු වට්ටන්න පුලුවන් කියල හිතන එවුන්ගේ කමෙන්ට් ටිකකුයි දැකලා ඉන්න වෙලාවකයි ඔයාගෙ ලින්ක් එක දැක්කෙ. ඒක දැක්ක ගමන් ඇලාත් දැන් අර තත්වයට වැටිලාද කියන මල පැනීම ඔස්සේයි මම කමෙන්ට් කලේ. (ඔයා ඊට වඩා ගොඩක් ඉහලින් සිටිය යුතුයි…ඒකයි මේ “මල” )

    මම පිලිගන්නවා මම ඔයාගේ දේශපාලන ලිපි සියල්ල කියවා නැතිබව. මම ඇත්තටම බොහෝ දුරට ඒවා කියවන්නෙ අහම්බෙන් දකින ලින්ක් එකක් ඔස්සේයි. ඒත් කියවපු ස්වල්පය ඔස්සේ මම යම් නිගමනයක පිහිටා ඉන්නවා. අනෙක් අතට ඒ නිගමන මත පිහිටලා මම කමෙන්ට් එක මූලික වශයෙන් ඉලක්ක කලේ ඔයාගේ මේ ඡන්දය ඉලක්ක කරලා දාපු ලිපියයි.

    ඔයාගෙ ලිපිය කොටස් දෙකකින් යුක්තයි. පලමු කොටසේදී ඔයා වහෙන් ඔරෝ කරන්නේ ආණ්ඩුව 100%ක් පට්ට ගහල දාන එකයි. (සමහර දේවල් හරිවුවත් වලිගය පැගුන අවස්ථා බොහොමයක් තියෙනවා.) දෙවන කොටසේදීත් ඔයා කරල තියෙන්නෙ පට්ට ගහපු ආණ්ඩුව විපක්ෂය වීරයෙක් කරමින් එල්ලලා දාන එකයි. (මෙතැනදී ඔයා බරපතල ලෙස වලිගය පාග ගත්තු තැන් බොහොමයක් ති‍යෙනවා – ශිෂ්යාත්ව විභාගය හා නොරොච්චෝලේ ඉන් දෙකක් විතරයි ) කෙහොම හරි ඡන්දයට පෙර අවඅවාදාත්මක ලිපියේ තනිකරම තියෙන්නේ ආණ්ඩුව පිලිබද විවේචනයක් විතරයි. (ඒකත් 100% සාධාරණ නැ) මේ තරම් වැරදි තියෙන ආණ්ඩුවකට මේ වගේ අවස්ථාවකදිවත් විකල්පයක් ඉදිරිපත් කරන්න තියා අභියෝගයක් එල්ල කරන්නවත් බැරි විපක්ෂය ගැන විවේචනයක් ඔයාගෙ ලිපියෙ නෑ. හැබැයි වහෙන් ඔරෝ ආණ්ඩුවේ වැරදි හරහා (ඔවුන් එය විවේචනය කිරීම මත) ඔවුන්ට වීරත්වයක් ආරෝපණය කරලා තියෙනවා.

    සමස්තයක් වශයෙන් ගත් කල ඔයාගේ ලිපියේ තියෙන්නේ ආණ්ඩු විරෝධී හැගීම් උද්දීපනය කිරීමට උත්සාහ කිරීමක් පමණයි. කිසිම මැදහත් භාවයක් ඒකෙ නෑ. ඔයා තමන් ආණ්ඩු විරෝධියෙක් නොව් කියල රිප්ලයි කලාට ඒක කිසිම විදියකින් මෙතැනදි පෙනෙන්නැ. ඔයා ආණ්ඩු විරෝධියෙක් වීම මට කිසිම ප්‍රශ්ණයක් නෙමෙයි. ඒක ඔයාගෙ අයිතිය. මම අභියෝග කලේ වර්තමාන ප්ර යෝගික දේශපාලන ප්රනවාහ තුල “වඩා හොද” එහෙම නැත් නම් “ වඩා නරක අඩු “ දේශපාලන ධාරාව නම් කරන්න විතරයි. ඒ පිලිබද ඔයාගේ පුතිචාරය “ අනියමාර්තයේ අසම්භාව්යඅ ක්රිායා “ ඝණයේ එකක්. ඒ වගේම මියගිය standard දේශපාලකයො වැදගත් වෙන්නෙ ආදර්ශයක් ගන්න විතරයි. දැන් ජීවත්ව සිටින අයගෙන් යම් හෝ කෙනෙක් ( සාපේක්ෂව වඩා හොද කෙනෙක්) නායකත්වයට ගෙන ඒම සැමපුරවැසියකුගේම වගකීමයි. එහෙම නැතිව තමන්ගේ standard දේශපාලකයා බිහිවී හෝ පරිවර්තනය වී හෝ පැමිණෙන තෙක් බලා සිටීම මම අනුමත කරන් නැ. ඒත් ඒක ඉතින් තම තමන්ගෙ කැමැත්ත.. හැබැයි ඔයා වගේ පාවෙන ඡන්ද දායකයො ගොඩක් වටිනවා. ඒත් තමන්ගේ මතය වැඩිපුර ක්‍රියාත්මක කරන්න පුලුවන් ප්‍රවාහයකට එකතුවීම හෝ එවැන්නක් හදා ගැනීම හෝ පවතින ප්‍රවාහයක් තුල අරගල කරන එක හෝ ඊට වඩා හුගක් වටිනවා……තනියම කල්පිත පරමාදර්ශී තලයක පාවෙන එකට වඩා. ඒක ඉතින් මගේ මතය.

    ඔයා කියන තරම් ස්වාධිනත්වයක් හෝ අපක්ෂපාත්ත්වයක් මම කියවපු ලිපි ස්වල්පයේ නැ. සමහරවිට මට වැරදිලා ඇති. කෙහොම උනත් ඔයා රිප්ලයි එකෙන් කියපු දේ ඔයාගෙ ලිපිය තුල නෑ. ඒ හැරෙන්න මට වෙනත් තර්ක කරන්න අවශ්ය් නැ. කොහොම උනත් තමන් කැමති දේ ලියන්න තමන්ට අයිතියක් තියෙනවා වගේම ඒක බලන නොලබන එක අනෙක් අයගෙ කැමැත්ත නම් තමයි. ඔයා‍ගේ බ්ලොග් එක වර්ජනය කරන්න තරම් මම කුහක නැ හරිද..?

    තව දෙයක් කියන්න තියෙනවා…. සුදුවෑන් කතාවේ උපහාසය මට විදින්න බැරිවී ඇතැයි ඔයා කියනවා…ඒත් ඒක එහෙම වෙන්න සුදු වැන් එක මගේද….? මගෙ කමෙන්ට් එකෙන් කියන්න ඕන උන එක දෙයක් උනෙත් උපහාසයක් විදියට පවා යොදා ගන්න බැරිතරමට දැන් ඔයා ඒක පිලුනු කරලා කියන එකයි. කියන්න ඕන වුන සියල්ල ඒකෙ තියෙනවා. එකම දේ නැවත ලියන්න ඕන නැ. (SLPL ලිපියට ගිහින් ඕන කෙනෙකුට ඒක බලන්න පුලුවන්)

    කාලෙකට පස්සෙ මොලේට හොද විරේකයක්…..ඇලාට ගොඩක් ස්තුතියි.

  4. චන්දය දීමට තරම් එකදු සුදුස්සෙකු වත් ලංකාවෙන් සොයාගත නොහැක. නමුත් චන්දය දෙමි. ඒ මන්ද නොදැම්මොත් ඒ චන්දය හොරෙන් දමන නිසාය. ප්‍රතිපත්ති ගරුක මිනිසුන් ඉතා දුලබය. එක්කෝ ඔවුන් මිය ගොසිනි, නැත්නම් ඉපදෙන්නට බලා සිටිති.

  5. චන්දය ඉවරයි ඇලා ඔබගේ ලිපිය කෙතරම් අදේශපාලනිකදැයි දැන්වත් වැටහෙනවාද? කුඹුරු නොකොටන කාලයට බෝක්කුවක් උඩ වාඩිවී බීඩියක් ගහන ලංකාවේ මහ පොලොවේ ඇත්ත මිනිසා බීඩි කොටය ඇලට වීසි කොට ගොස් චන්දය දී අවසන්ය. බටහිර රටක විද්‍යාගාරයක රසායනික කලවම් කරන ඔබේ අදහසට වඩා මේ උතුරු මැද මහ පොලොවේ මිනිසාගෙ චන්දය දේශපාලනිකය. මේ චන්දය දීපු මිනිස්සු මුලා වෙලා එහෙම නැත්නං මෝඩ කමට රැවටිලා නැත්නම් ඔබ ඉහත කියපු කිසිවක් නොතේරෙන පිරිසක්ද? එහෙම නැත්නම් ඔබ කියපු කාරනා කිසිවක් මුන්ට අදාල නැති හින්දද ගිහින් චන්දෙ දුන්නේ?මං හිතන විදියට නම් මේ මිනිස්සු හොඳටම දන්නව තමන් කරන්නේ මොකක්ද කියල. Like Jesus you might think now “Father, forgive them; for they do not know what they are doing. (Voting inappropriate candidates to your standards)” but believe me Ala…People know what they do; frequently they know, why they do what they do; and they know what they do does too. If you want to live in Sri Lanka you have to accept Sri Lanka. I know you not going to…so your ideas mean nothing to yourself or nothing to them too. That’s why it’s so apolitical .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: