Daily Archives: සැප්තැම්බර් 16, 2012

2012 සැප්තැම්බර් 16 : ඇල්කෙමියාගේ Epic Journey එක…. තව ඉවර නෑ……


ඉතින් ඔන්න ආයෙත් ඔබ අතරට එන්න පුළුවන් වුනා…

මොකවත් වෙලා තිබුණෙ නැහැ… පසුගිය මාස එකහමාරෙම හිටියෙ ලංකාවෙ… නිවාඩුවකටත් වඩා අනිවාර්ය නිවාඩු යවලා වගේ හිටියෙ.

සමහර විට ඔබට මතක ඇති මට ජර්මනියේ BASF ආයතනයට සම්බන්ධ රසායනාගාරයක රැකියාවක් ලැබුණ බව… ඉතින් මේක ඒ ආයතනයෙම නොවුනත් එයට සම්බන්ධ නිසා මට ඉදිරියේදී ඒ ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩියි… ලැබුනොත් ගොඩ… නැත්නම් ඉතිං මඩ තමයි… ඒ නිසාම ඒ අන්තරාය අරගෙන මම මැයි මාසයේ ජර්මනියට ආවෙ සම්මුඛ පරීක්‍ෂණයට… ඒ අවසානයේ ජුනි මාසයේ මුල මට රැකියාව ලැබුණා. අපට කරන්න තියෙන්නේ BASF ආයතනයේ ඇති සමහර පර්යේෂණ මේ රසායනාගාරයේ සිදු කිරීම… ඉන් ලබන ප්‍රතිඵල අනුව අපි ඒ පර්යේෂණය නැවතත් BASF ආයතනයට ලබා දෙනවා දිගට කරගෙන යන්නට. පිටතින් හරිම සරළ වුනත් වැඩ කරනකොටයි ඒකෙ අමාරුව දැනෙන්නෙ… ඒ අතරෙමයි මගේ ඇමරිකානු රැකියාවෙ කාළය නිම වුනේ. හරියටම ජුනි 01 වෙනිදා. ඒ වුනත් ඇල්කෙමිච්චි රැකියාව කරගෙන හිටි නිසා මම ඇයත් සමඟ නතර වුනා… පැටියත් ඒ වෙනකොටත් පාසල් යනවා.

රැකියාව ලැබුනත් වීසා ප්‍රශ්නය හරහට හිටියා… අපේ ආසියානු කලාපයේ කට්ටිය ජර්මනියට හොරෙන් පැනීම වැඩි නිසා අපට වීසා දෙන්න හරි කල් යනවා… හොඳට හොයලා බලලයි දෙන්නෙ.. මේ නිසාම මට ඒ ආයතනයෙන් දැනුවූවා ලංකාවට ගිහින් වීසා අයැදුම් කරන්න කියලා… ඉතින් ගෙදර බඩු වෙනම පෙට්ටි වලට දාලා ජර්මනියට යවන්න සැලසුම් කරලා වාහනයත් විකුණලා අනිත් බඩු දන් දීලා ආදී වශයෙන් අපි ලංකාවට ගොඩ බැස්සේ ජූලි 19 වෙනිදා…

මුලින් මුලින් අපිට හොඳ සත්කාර ලැබුණත් අපි ගොඩක් තැන්වල ගියත් පහු පහු වෙනකොට නම් අපටත් කම්මැලි හිතෙන තරමට පත් වුනේ අපට කරන්න දෙයක් නොතිබූ නිසාමයි. මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා….

ඊට පස්සෙ ගමන් බොහොමයක් ගියා අපි. පින්නවල, කතරගම, සිතුල් පවුව, යාල, හුම්මානය, නුවර එළිය, උණවටුන, කැළණියේ water world, කොස්ගොඩ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථාන ආදිය එයින් ටිකක්…. ඒ අතරෙ අපේ වීසා වැඩ කෙරුණත් අදාල දිනය වූ සැප්තැම්බර් 03 වෙනිදා වෙනකොට නම් ජර්මනියට එන්න ලැබුණෙ නැහැ… කොහොමින් කොහොම හරි අවසානයේ වීසා ලැබුණෙ ගිය සතියෙ… එතකොටම වගේ ටිකට් එකත් බුක් කරගෙන මම විතරක් ජර්මනියට ආවෙ බ්‍රහස්පතින්දා…… ඒ ආපු හැටි නම් කියලා වැඩක් නෑ,..

ලංකාවෙන් පිටත් වන ටිකට් එකක සඳහා නිකුත් කරන්නෙ යුරෝ 700 ක් වැනි සුළු මුදලක් විතරයි… ඒ මුදල මදි මට නවාතැනට දෙන්නවත්.. ඉතින් නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරගෙන යන්තම් අවශ්‍ය ප්‍රමාණයට මුදල් අරගෙන ආවා… ඒ වැඩේට විතරක් දවස් තුනක් මහ බැංකුවටත් සම්පත් බැංකුවටත් බඩ ගෑවා… අන්තිමට සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණයි සංචාරක චෙක්පත් ගන්න පුළුවන් වුනේ…..

බදාදා රෑ පිටත් වුන ගුවන් යානය මාලේ වලත් නවත්වලා ඩුබායි බලා ගියා… මට එහා අසුනෙ හිටියෙ කෑගල්ලෙ කාන්තාවක්… මම හිතන්නෙ ඇය ගෘහ සේවයට යන කෙනෙක්. කවදාවත් ගුවන් යානයක ගිහින් නැහැ… ගුවන් යානයේ පටි තදකරගන්න දන්නෙත් නැහැ… මම ඉතින් ඇයට උදවු කළා… මම හිතන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුවෙදි ගෘහ සේවිකාවන්ට ගුවන් යානයේදී කළ යුතු දෑ කියලා දෙනවා නම් හරිම වැදගත්. කන බොන හැටි, ආසන පටි තද කරගන්න හැටි ආදිය… මට ඇහුනා ගුවන් සේවිකාවො කිහිප වතාවක්ම එක එක්කෙනාට පටි තද කරගන්න අයුරු කියලා දෙනවා… ඩුබායි වලින් පිටත් වෙලා Frankfurt වලට එනකොට උදේ නවයයි. කොහොම හරි Frankfurt ගුවන් තොටුපලෙන් බැහැලා ආගමන විගමන කවුන්ටරේ අතරින් කරදරයක් නැතිව ආවා… සමහරුන්ගෙන් නම් වැලට ප්‍රශ්න ඇහුවත් මට BASF ආයතනයෙන් දීපු ලියුම් නිසා කිසි කරදරයක් නැතිව එන්න පුළුවන් වුනා…. ගුවන් තොටුපල සම්බන්ධ වෙන්නෙ දුම්රියපොළට… එතැනට එනවිට උෂ්ණත්‍වය සෙන්ටිග්‍රේඩ් දහයයි… හනික බෑග් එකේ තිබුණ උණුසුම් කබායක් ඇඟලා ගත්තා….. ලංකාවෙ උණුසුමේ ඉඳලා මෙතැන සීතල දරා ගන්න බැරි වෙනවා එකපාරටම….

එතැනින් මම ගත්තෙ දුම්රියක්.. ටිකට් එක යුරෝ 25 යි.. දුම්රියෙන් බැහැලා Manheim වලදි තවත් දුම්රියක් ගන්න ඕන… එතැන දුම්රිය මාරුවට තියෙන්නෙ විනාඩි පහයි… කිලෝ 30 ක බෑගයත් උස්සගෙන පඩි පේලියක් බැහැලා යනකොට උඩට යන්න හොඳ වෙලාවට Escalator එකක් තිබුණා.. එතැනින් උඩට නගිනකොටම දුම්රියේ දොර වැහුනා… යන්තම් බොත්තමක් ඔබලා දොර ඇරගන්න කොටම දුම්රිය පිටත් වුනා…. නැත්නම් තව පැය බාගයක් ඉන්න ඕන අනෙත් දුම්රිය එනකල්….

Heidelberg වලින් බැහැලා මම කළේ එතැන තිබුණ ටැක්සියක් ගන්න එක… අවශ්‍ය ලිපිනය කිවුවාම ටැක්සි රියැදුරා GPS එකට ලිපිනය ඇතුළු කරලා යනවා. මම ගියේ බෙන්ස් එකක… ලංකාවෙ කොහෙද බෙන්ස් ටැක්සි… රියැදුරාට ටිකක් ඉංග්‍රීසි පුළුවන්… ඉතින් අපි ගියේ අපට වෙන් කරලා තිබුණ නිවස වෙත… ගියාට පස්සෙ තමයි තේරුණේ ජර්මනියට ආපු මෝඩකම….

ඒ නිවස තියෙන්නේ කඩුගන්නාව වගේ කන්දක් මුදුනෙ…. බස් එකට එන්න විනාඩි 15 ක් ඇවිදින්න ඕන… හැබැයි එක දෙයක් තමයි මට අළුතෙන් ව්‍යායාම අවශ්‍ය නෑ…. ඉතින් ගෘහ පාලිකාව මට දොර ඇරලා නිවස පෙන්වුවා… පැටියත් එනවා කියලා තිබුණ නිසා එයාට වෙනම කාමරයක් ලෑස්ති කරලා.. ලස්සනට සරසලා… නමුත් ඒක බලන්න පැටියට එන්න වුනේ නෑ… තවම ලංකාවෙනෙ….
ඉතින් පොඩ්ඩක් හති ඇරලා ගෘහ පාලිකාව එක්කම මට බඩු ටිකක් ගන්න මාකට් එකට ගියා… ජීවත් වෙන්නත් ඕනනෙ.. දන්න කියන බඩු ටිකක් අරගෙන ඇවිත් හොඳ නින්දක් දාලා පරිඝණකය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා… ජර්මනියෙ විදුලි බලය වෝල්ට් 230 වුනත් විදුලි පේනු ලංකාවෙත් ඇමරිකාවෙත් පේනු වලට වඩා වෙනස්… මම adapter එකක් අරන් ආවත් ඒක නියම එක නෙවෙයි… ඒ මදිවට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හැදුවත් ගෙදර මනුස්සයාගේ පරිඝණකය කැඩිලා අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටිලා… ඉතින් මොනවා කරන්නද ? තනිකමයි පාළුවයි මදිවට මුළු ලෝකෙන්ම වෙන් වෙලා… මම නින්දට ගියා….

පැයක් පමණ නිදාගෙන ඉන්නකොටයි මට ලෝකෙ වටිනම දුරකථන ඇමතුම ආවෙ… ඇල්කෙමිච්චිගෙන්… එහෙම දුරකථන ඇමතුමක් ආවම කොයිතරම් සැනසීමක්ද කියලා දන්නෙ තනිවෙලා ඉන්න කෙනෙක් ම තමයි…. ඉතින් විස්තර කතා කරලා යන්තම් සැනසුනා.. පරිඝණකය ක්‍රියාත්මක කරවන්නවත්, අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නවත් නැති නිසා ලෝකෙම පාළුයි… හොඳට නිදා ගත්තා…

පසු දිනයෙ මට මඟ පෙන්වන්න පත් කරපු කාන්තාවක් පැමිණියා. ඇගේ උදව්වෙන් බැංකු ගිණුමක් විවෘත කරලා රැගෙන ආ මුදල් මාරු කරගෙන මුලින්ම කළේ පරිඝණකයට adapter එකක් ගන්න එකයි.. අවම වශයෙන් යමක් කරන්න හරි පුළුවන් නිසා… ඒ ඉන්න අතරෙයි මේ සටහන ලියුවෙ… ඊටත් පස්සෙ දුරකථන සම්බන්ධතාවයක් ගත්තා.. ඇල්කෙමිච්චිට ඊයක් යවපු මම මගේ දුරකථනය නාද වෙනකල් බලාගෙන හිටියා.. ආයෙම ඇල්කෙමිච්චි කතා කළා… ඔහොම ගිහින් ඉතිං යන්තම් සිත සනස ගත්තා…

ජීවිතේට යමක් තනියම උයාගෙන කාපු නැති මම දැන් තනිවම උයනවා… තවමත් හොද්දට ලුණු මදි. නමුත් ඔම්ලට් එකක්, පොඩි බැදුමක් හදා ගන්න පුළුවන් නිසා යන්තම් ජීවිතේ ගැට ගහගන්න පුළුවන්… ඊයේ ගියා නගරයට… නගරයේ සිතියමක් අරගෙන දුම්රිය මාර්ග සියල්ල ගැන දැනගෙන ටිකට් ගන්න අයුරු අහගෙන දවල් ගෙදර ආවා…. දුම්රිය නැවතුමේ ඉඳලා නිවසට හරියටම විනාඩි 15 ක් එක දිගට කන්ද නැගගෙන එන්න වෙනවා… නියමයි….

අද උදේ තමයි අන්තර්ජාල පහසුකම ලැබුණෙ… ඒ වෙලාවෙම අන්තර්ජාලයට ලොග් වෙලා ස්කයිප් එකේ හිටපු දුකට සැපට දෙකටම පිහිට වෙන මගේ මිතුරා මෙවන් ට කියලා ඇල්කෙමිච්චිට පණිවුඩයක් දුන්නා… ඊට පස්සෙ ඇල්කෙමිච්චියි පැටියයි ස්කයිප් එකෙන් දැක්කට පස්සෙයි සිතට සැනසුමක් ආවෙ… කොහොම හරි මේ ලියන අවස්ථාව වෙනකොට ඒ දෙන්නට තුන් පාරක් කතා කරලා ඉවරයි….

ළබැඳියන්ගෙන් ඈත් වෙලා ඉන්නකොට තමයි අපි ඒ අයට කොච්චර ආදරේද, කොච්චර ඒ අය අපට වටිනවා ද කියලා තේරෙන්නෙ.. පහු ගිය දවස් තුන ගත කළේ හිර ගෙයක වගේ. අද ඒ තත්ත්‍වය සහමුලින්ම වෙනස් වුනා… පැටියටයි ඇල්කෙමිච්චිටයි කතා කරපු නිසා දවස හරිම සන්සුන්… ඉතින් හෙට යන්න ඕන මූලස්ථානයට පළමු දවස වාර්තා කරන්න…. හෙටින් පස්සෙ වෙන දේවල් වැඩිය කියන්න බෑ…. රහස්‍යභාවය සුරකින ලිපියකට අත්සන් කරලා තියෙන නිසා…. නමුත් හයිඩ්ල්බර්ග් නගරය සුන්දරයි… ඒකෙ විස්තර පසුව කියන්නම්…

නමුත් එකක් කියන්න ඕන… මම කවදාවත් මේ වනතෙක් දෛවය කියන දේ විශ්වාස කළේ නැහැ…. නමුත් අප්‍රේල් මාසෙ අන්තිම සතියෙන් පටන්ගෙන අද දක්වා සිදු වූ සියළුම දේ මම කවදාවත් වෙයි කියලා විශ්වාස කරපු දේවල් නොවෙයි… ඒ විතරක් නෙවෙයි මීට තිබුණු බාධක අනන්ත අප්‍රමාණයි… ඒ සියල්ල බිඳගෙන මේ වෙනතෙක් ඇවිත් තියෙනවා…. හෙටින් ඇරඹෙන නව ජීවිතය මොන වගේ වෙයිද කියලා කියන්න අමාරුයි… නමුත් කොහොම හරි මුහුණ දීලා ජයගන්න වෙනවා…..

ඒකයි දෛවය…..

පසුව හමු වෙමු….

මේ හැමටම ඉහළින් පියාසර කරනකොට ගනිපු පින්තූරයක්………….