2012 සැප්තැම්බර් 16 : ඇල්කෙමියාගේ Epic Journey එක…. තව ඉවර නෑ……


ඉතින් ඔන්න ආයෙත් ඔබ අතරට එන්න පුළුවන් වුනා…

මොකවත් වෙලා තිබුණෙ නැහැ… පසුගිය මාස එකහමාරෙම හිටියෙ ලංකාවෙ… නිවාඩුවකටත් වඩා අනිවාර්ය නිවාඩු යවලා වගේ හිටියෙ.

සමහර විට ඔබට මතක ඇති මට ජර්මනියේ BASF ආයතනයට සම්බන්ධ රසායනාගාරයක රැකියාවක් ලැබුණ බව… ඉතින් මේක ඒ ආයතනයෙම නොවුනත් එයට සම්බන්ධ නිසා මට ඉදිරියේදී ඒ ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩියි… ලැබුනොත් ගොඩ… නැත්නම් ඉතිං මඩ තමයි… ඒ නිසාම ඒ අන්තරාය අරගෙන මම මැයි මාසයේ ජර්මනියට ආවෙ සම්මුඛ පරීක්‍ෂණයට… ඒ අවසානයේ ජුනි මාසයේ මුල මට රැකියාව ලැබුණා. අපට කරන්න තියෙන්නේ BASF ආයතනයේ ඇති සමහර පර්යේෂණ මේ රසායනාගාරයේ සිදු කිරීම… ඉන් ලබන ප්‍රතිඵල අනුව අපි ඒ පර්යේෂණය නැවතත් BASF ආයතනයට ලබා දෙනවා දිගට කරගෙන යන්නට. පිටතින් හරිම සරළ වුනත් වැඩ කරනකොටයි ඒකෙ අමාරුව දැනෙන්නෙ… ඒ අතරෙමයි මගේ ඇමරිකානු රැකියාවෙ කාළය නිම වුනේ. හරියටම ජුනි 01 වෙනිදා. ඒ වුනත් ඇල්කෙමිච්චි රැකියාව කරගෙන හිටි නිසා මම ඇයත් සමඟ නතර වුනා… පැටියත් ඒ වෙනකොටත් පාසල් යනවා.

රැකියාව ලැබුනත් වීසා ප්‍රශ්නය හරහට හිටියා… අපේ ආසියානු කලාපයේ කට්ටිය ජර්මනියට හොරෙන් පැනීම වැඩි නිසා අපට වීසා දෙන්න හරි කල් යනවා… හොඳට හොයලා බලලයි දෙන්නෙ.. මේ නිසාම මට ඒ ආයතනයෙන් දැනුවූවා ලංකාවට ගිහින් වීසා අයැදුම් කරන්න කියලා… ඉතින් ගෙදර බඩු වෙනම පෙට්ටි වලට දාලා ජර්මනියට යවන්න සැලසුම් කරලා වාහනයත් විකුණලා අනිත් බඩු දන් දීලා ආදී වශයෙන් අපි ලංකාවට ගොඩ බැස්සේ ජූලි 19 වෙනිදා…

මුලින් මුලින් අපිට හොඳ සත්කාර ලැබුණත් අපි ගොඩක් තැන්වල ගියත් පහු පහු වෙනකොට නම් අපටත් කම්මැලි හිතෙන තරමට පත් වුනේ අපට කරන්න දෙයක් නොතිබූ නිසාමයි. මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා….

ඊට පස්සෙ ගමන් බොහොමයක් ගියා අපි. පින්නවල, කතරගම, සිතුල් පවුව, යාල, හුම්මානය, නුවර එළිය, උණවටුන, කැළණියේ water world, කොස්ගොඩ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථාන ආදිය එයින් ටිකක්…. ඒ අතරෙ අපේ වීසා වැඩ කෙරුණත් අදාල දිනය වූ සැප්තැම්බර් 03 වෙනිදා වෙනකොට නම් ජර්මනියට එන්න ලැබුණෙ නැහැ… කොහොමින් කොහොම හරි අවසානයේ වීසා ලැබුණෙ ගිය සතියෙ… එතකොටම වගේ ටිකට් එකත් බුක් කරගෙන මම විතරක් ජර්මනියට ආවෙ බ්‍රහස්පතින්දා…… ඒ ආපු හැටි නම් කියලා වැඩක් නෑ,..

ලංකාවෙන් පිටත් වන ටිකට් එකක සඳහා නිකුත් කරන්නෙ යුරෝ 700 ක් වැනි සුළු මුදලක් විතරයි… ඒ මුදල මදි මට නවාතැනට දෙන්නවත්.. ඉතින් නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරගෙන යන්තම් අවශ්‍ය ප්‍රමාණයට මුදල් අරගෙන ආවා… ඒ වැඩේට විතරක් දවස් තුනක් මහ බැංකුවටත් සම්පත් බැංකුවටත් බඩ ගෑවා… අන්තිමට සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණයි සංචාරක චෙක්පත් ගන්න පුළුවන් වුනේ…..

බදාදා රෑ පිටත් වුන ගුවන් යානය මාලේ වලත් නවත්වලා ඩුබායි බලා ගියා… මට එහා අසුනෙ හිටියෙ කෑගල්ලෙ කාන්තාවක්… මම හිතන්නෙ ඇය ගෘහ සේවයට යන කෙනෙක්. කවදාවත් ගුවන් යානයක ගිහින් නැහැ… ගුවන් යානයේ පටි තදකරගන්න දන්නෙත් නැහැ… මම ඉතින් ඇයට උදවු කළා… මම හිතන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුවෙදි ගෘහ සේවිකාවන්ට ගුවන් යානයේදී කළ යුතු දෑ කියලා දෙනවා නම් හරිම වැදගත්. කන බොන හැටි, ආසන පටි තද කරගන්න හැටි ආදිය… මට ඇහුනා ගුවන් සේවිකාවො කිහිප වතාවක්ම එක එක්කෙනාට පටි තද කරගන්න අයුරු කියලා දෙනවා… ඩුබායි වලින් පිටත් වෙලා Frankfurt වලට එනකොට උදේ නවයයි. කොහොම හරි Frankfurt ගුවන් තොටුපලෙන් බැහැලා ආගමන විගමන කවුන්ටරේ අතරින් කරදරයක් නැතිව ආවා… සමහරුන්ගෙන් නම් වැලට ප්‍රශ්න ඇහුවත් මට BASF ආයතනයෙන් දීපු ලියුම් නිසා කිසි කරදරයක් නැතිව එන්න පුළුවන් වුනා…. ගුවන් තොටුපල සම්බන්ධ වෙන්නෙ දුම්රියපොළට… එතැනට එනවිට උෂ්ණත්‍වය සෙන්ටිග්‍රේඩ් දහයයි… හනික බෑග් එකේ තිබුණ උණුසුම් කබායක් ඇඟලා ගත්තා….. ලංකාවෙ උණුසුමේ ඉඳලා මෙතැන සීතල දරා ගන්න බැරි වෙනවා එකපාරටම….

එතැනින් මම ගත්තෙ දුම්රියක්.. ටිකට් එක යුරෝ 25 යි.. දුම්රියෙන් බැහැලා Manheim වලදි තවත් දුම්රියක් ගන්න ඕන… එතැන දුම්රිය මාරුවට තියෙන්නෙ විනාඩි පහයි… කිලෝ 30 ක බෑගයත් උස්සගෙන පඩි පේලියක් බැහැලා යනකොට උඩට යන්න හොඳ වෙලාවට Escalator එකක් තිබුණා.. එතැනින් උඩට නගිනකොටම දුම්රියේ දොර වැහුනා… යන්තම් බොත්තමක් ඔබලා දොර ඇරගන්න කොටම දුම්රිය පිටත් වුනා…. නැත්නම් තව පැය බාගයක් ඉන්න ඕන අනෙත් දුම්රිය එනකල්….

Heidelberg වලින් බැහැලා මම කළේ එතැන තිබුණ ටැක්සියක් ගන්න එක… අවශ්‍ය ලිපිනය කිවුවාම ටැක්සි රියැදුරා GPS එකට ලිපිනය ඇතුළු කරලා යනවා. මම ගියේ බෙන්ස් එකක… ලංකාවෙ කොහෙද බෙන්ස් ටැක්සි… රියැදුරාට ටිකක් ඉංග්‍රීසි පුළුවන්… ඉතින් අපි ගියේ අපට වෙන් කරලා තිබුණ නිවස වෙත… ගියාට පස්සෙ තමයි තේරුණේ ජර්මනියට ආපු මෝඩකම….

ඒ නිවස තියෙන්නේ කඩුගන්නාව වගේ කන්දක් මුදුනෙ…. බස් එකට එන්න විනාඩි 15 ක් ඇවිදින්න ඕන… හැබැයි එක දෙයක් තමයි මට අළුතෙන් ව්‍යායාම අවශ්‍ය නෑ…. ඉතින් ගෘහ පාලිකාව මට දොර ඇරලා නිවස පෙන්වුවා… පැටියත් එනවා කියලා තිබුණ නිසා එයාට වෙනම කාමරයක් ලෑස්ති කරලා.. ලස්සනට සරසලා… නමුත් ඒක බලන්න පැටියට එන්න වුනේ නෑ… තවම ලංකාවෙනෙ….
ඉතින් පොඩ්ඩක් හති ඇරලා ගෘහ පාලිකාව එක්කම මට බඩු ටිකක් ගන්න මාකට් එකට ගියා… ජීවත් වෙන්නත් ඕනනෙ.. දන්න කියන බඩු ටිකක් අරගෙන ඇවිත් හොඳ නින්දක් දාලා පරිඝණකය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා… ජර්මනියෙ විදුලි බලය වෝල්ට් 230 වුනත් විදුලි පේනු ලංකාවෙත් ඇමරිකාවෙත් පේනු වලට වඩා වෙනස්… මම adapter එකක් අරන් ආවත් ඒක නියම එක නෙවෙයි… ඒ මදිවට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හැදුවත් ගෙදර මනුස්සයාගේ පරිඝණකය කැඩිලා අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටිලා… ඉතින් මොනවා කරන්නද ? තනිකමයි පාළුවයි මදිවට මුළු ලෝකෙන්ම වෙන් වෙලා… මම නින්දට ගියා….

පැයක් පමණ නිදාගෙන ඉන්නකොටයි මට ලෝකෙ වටිනම දුරකථන ඇමතුම ආවෙ… ඇල්කෙමිච්චිගෙන්… එහෙම දුරකථන ඇමතුමක් ආවම කොයිතරම් සැනසීමක්ද කියලා දන්නෙ තනිවෙලා ඉන්න කෙනෙක් ම තමයි…. ඉතින් විස්තර කතා කරලා යන්තම් සැනසුනා.. පරිඝණකය ක්‍රියාත්මක කරවන්නවත්, අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නවත් නැති නිසා ලෝකෙම පාළුයි… හොඳට නිදා ගත්තා…

පසු දිනයෙ මට මඟ පෙන්වන්න පත් කරපු කාන්තාවක් පැමිණියා. ඇගේ උදව්වෙන් බැංකු ගිණුමක් විවෘත කරලා රැගෙන ආ මුදල් මාරු කරගෙන මුලින්ම කළේ පරිඝණකයට adapter එකක් ගන්න එකයි.. අවම වශයෙන් යමක් කරන්න හරි පුළුවන් නිසා… ඒ ඉන්න අතරෙයි මේ සටහන ලියුවෙ… ඊටත් පස්සෙ දුරකථන සම්බන්ධතාවයක් ගත්තා.. ඇල්කෙමිච්චිට ඊයක් යවපු මම මගේ දුරකථනය නාද වෙනකල් බලාගෙන හිටියා.. ආයෙම ඇල්කෙමිච්චි කතා කළා… ඔහොම ගිහින් ඉතිං යන්තම් සිත සනස ගත්තා…

ජීවිතේට යමක් තනියම උයාගෙන කාපු නැති මම දැන් තනිවම උයනවා… තවමත් හොද්දට ලුණු මදි. නමුත් ඔම්ලට් එකක්, පොඩි බැදුමක් හදා ගන්න පුළුවන් නිසා යන්තම් ජීවිතේ ගැට ගහගන්න පුළුවන්… ඊයේ ගියා නගරයට… නගරයේ සිතියමක් අරගෙන දුම්රිය මාර්ග සියල්ල ගැන දැනගෙන ටිකට් ගන්න අයුරු අහගෙන දවල් ගෙදර ආවා…. දුම්රිය නැවතුමේ ඉඳලා නිවසට හරියටම විනාඩි 15 ක් එක දිගට කන්ද නැගගෙන එන්න වෙනවා… නියමයි….

අද උදේ තමයි අන්තර්ජාල පහසුකම ලැබුණෙ… ඒ වෙලාවෙම අන්තර්ජාලයට ලොග් වෙලා ස්කයිප් එකේ හිටපු දුකට සැපට දෙකටම පිහිට වෙන මගේ මිතුරා මෙවන් ට කියලා ඇල්කෙමිච්චිට පණිවුඩයක් දුන්නා… ඊට පස්සෙ ඇල්කෙමිච්චියි පැටියයි ස්කයිප් එකෙන් දැක්කට පස්සෙයි සිතට සැනසුමක් ආවෙ… කොහොම හරි මේ ලියන අවස්ථාව වෙනකොට ඒ දෙන්නට තුන් පාරක් කතා කරලා ඉවරයි….

ළබැඳියන්ගෙන් ඈත් වෙලා ඉන්නකොට තමයි අපි ඒ අයට කොච්චර ආදරේද, කොච්චර ඒ අය අපට වටිනවා ද කියලා තේරෙන්නෙ.. පහු ගිය දවස් තුන ගත කළේ හිර ගෙයක වගේ. අද ඒ තත්ත්‍වය සහමුලින්ම වෙනස් වුනා… පැටියටයි ඇල්කෙමිච්චිටයි කතා කරපු නිසා දවස හරිම සන්සුන්… ඉතින් හෙට යන්න ඕන මූලස්ථානයට පළමු දවස වාර්තා කරන්න…. හෙටින් පස්සෙ වෙන දේවල් වැඩිය කියන්න බෑ…. රහස්‍යභාවය සුරකින ලිපියකට අත්සන් කරලා තියෙන නිසා…. නමුත් හයිඩ්ල්බර්ග් නගරය සුන්දරයි… ඒකෙ විස්තර පසුව කියන්නම්…

නමුත් එකක් කියන්න ඕන… මම කවදාවත් මේ වනතෙක් දෛවය කියන දේ විශ්වාස කළේ නැහැ…. නමුත් අප්‍රේල් මාසෙ අන්තිම සතියෙන් පටන්ගෙන අද දක්වා සිදු වූ සියළුම දේ මම කවදාවත් වෙයි කියලා විශ්වාස කරපු දේවල් නොවෙයි… ඒ විතරක් නෙවෙයි මීට තිබුණු බාධක අනන්ත අප්‍රමාණයි… ඒ සියල්ල බිඳගෙන මේ වෙනතෙක් ඇවිත් තියෙනවා…. හෙටින් ඇරඹෙන නව ජීවිතය මොන වගේ වෙයිද කියලා කියන්න අමාරුයි… නමුත් කොහොම හරි මුහුණ දීලා ජයගන්න වෙනවා…..

ඒකයි දෛවය…..

පසුව හමු වෙමු….

මේ හැමටම ඉහළින් පියාසර කරනකොට ගනිපු පින්තූරයක්………….

Advertisements

Posted on සැප්තැම්බර් 16, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 31.

  1. ඇල්කෙමිච්චියි දරුවයි ආපුදවසට ඔයා පරණ ජීවිතයට වැටේවි. ලංකාවෙන් සලිලි එලියට ගෙනියන්ට බැරි උනත් NRFC එකවුන්ට් එකකින් පිටට තමන්ගෙ අයට යවන්ට පුලුවන්නේද?

    • ඔව්…. එයාල එක්ක ස්කයිප් එකෙන් නිතර නිතර කතා කරන නැසා පාළුව මඟ හැරිලා ගිහින් තියෙන්නෙ…
      NRFC එක බොහොම අළුත් නෙ. මම ඇමරිකාවෙ ඉන්න කාළෙ NRFC එකක් ඇරියෙ නැහැ…. නිදහසේ සල්ලි ගෙනියන්න සහ යවන්න පුළුවන් වුන නිසා..මේ පාර තමයි ඇරියෙ…… කොහොම වුනත් අවශ්‍ය ප්‍රමාණයක ගෙනාවා…

  2. All the best for your research life in Germany (BASF). I was reading your article and felt sad sometimes and happy other time. I guess its a good chance to go to Sri lanka and meet you relatives and old day friends. I guess life is always like that.
    Good luck with your future endevours and regards to your wife and Pasindu putha.
    I am in thirst of reading your interesting blog letters in future.

  3. Santhosai. Hondata wedakarala Inna.
    Eunata uyagena kanna beri eka gena Mata pAw kiyala hituna. ETH lajjawenna One berikamata.
    Onna ekata Mama. Aurudu 17 hitiye pitarata.
    Denuth gedara uyanne Mama. Dannawada hetuwa?. Araya uyanaewa rasa neha.

    • උයාගෙන කන්න බැරි එක ගැන නම් අන්තිම ලැජ්ජයි… සාමාන්‍යයෙන් රසායනඥයෝ උයන්න දක්‍ෂයි, මොකද රෙසිපියක් බලාගෙන කරන්න තියෙන දේනෙ… ඒත් මට ඒක පිහිටලා නෑ…
      කොහොම වුනත් දැන් උයාගෙන කනවා… මට තියෙන ප්‍රශ්නෙ ඇල්කෙමිච්චිට මාර හොඳට උයන්න පුළුවන්… ඒ නිසා ඒ කෑම කාලා වෙන මොනවා කෑවත් කිසි ගතියක් නෑ,…

  4. Good luck!!! Well I’m about to do what you have done with my 4 month old twins.

  5. /ලංකාවෙන් පිටත් වන ටිකට් එකක සඳහා නිකුත් කරන්නෙ යුරෝ 700 ක් වැනි සුළු මුදලක් විතරයි… ඒ මුදල මදි මට නවාතැනට දෙන්නවත්.. ඉතින් නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරගෙන යන්තම් යුරෝ දෙදාහකට ආසන්න ගණනක් සංචාරක චෙක් පත් සහ මුදල් විදියට අරගෙන ආවා… ඒ වැඩේට විතරක් දවස් තුනක් මහ බැංකුවටත් සම්පත් බැංකුවටත් බඩ ගෑවා… අන්තිමට සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණයි සංචාරක චෙක්පත් ගන්න පුළුවන් වුනේ…../

    WHAT? According to Sri Lankan laws you can take ANY AMOUNT you want. Only issue is the banks have put a limit to the amount of notes you can take. That is for their convienience and that too varies from bank to bank. Even with that you can take ANY AMOUNT in travellers cheques. I am not surprised the bank didn’t advise you on this. They took the easiest way out for them not for you. Could have helped if I knew this.

  6. නියමයි අයියා,
    “BASF සමාගම ගැන ටිකක් දන්නවා, ඒ බඩු ලැබ් එකේදී පාවිච්චි කරලා තියන නිසා.

    සුභ අනාගතයක් අයියා, තව විස්තර ඉස්සරහට දැන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
    මතක විදිහට මේක අයියගෙ බ්ලොග් 1 දාන පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනි, හැබැයි සෑහෙන කාලයක ඉදන් ලිපි කියවනවා

  7. අලුත් රැකියාව හා අළුත් ජීවිතය ඔබට වාසනාව ගෙනේවා කියල හදවතින්ම පතනවා ඇල්කෙමි. ඉක්මනින්ම දරුවා හා ඇල්කෙමිච්චි ඔබ ළඟට ගෙන්න ගන්න ලැබේවා!

  8. ඇල්කෙමියා ජර්මනියේ ආරම්භකිරීමට යන නව ජීවිතය සර්වප්‍රකාරයෙන්ම ප්‍රීතිමත් සිදුවීම්මාලා වලින් ගහන , වර්ණවත් එකක්ම වේවා !!!! මට ඊයේ පෙරේදා ලංකාවේදී හමුවූ ඇල්කෙමියා ගැනද වචනයක් කිවයුතුයි – – – – – – – !!!! ඇල්කෙමියා තාමත් ඉස්සර වගේම කිසිම බරක් හෑල්ලුවක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් ජීවත්වෙන ඒ පරණ පුරුදු කෙළිලොල් ඇල්කෙමියාමයි !!!! ඒක එහෙමම තියා ගන්න – – – – – — !!!!

    • මෙවන් ගෙන් complement එකක් ගත්තා කියන්නෙ ඉතිං ගොඩම තමයි…
      බොහොම ස්තූතියි උදව් ඔක්කොටම…
      අපි ඉතිං කවදාවත් වෙනස් වෙන්නෙ නැති මිනිස්සු නෙ…
      යකතොට අරගෙන යන්නෙ මතකයන් විතරයි කියන දේ ගොඩක් දෙනෙක්ට අමතක වෙලා… ඒකයි මිනිස්සු මතකයන් අමතක කරලා වෙන වෙන දේ පස්සෙ වැඩියෙන් දුවන්නෙ….

  9. ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ ඉපදුනු ඔබ, ඉතාලියට හරි ජර්මනියට හරි යන්නේ කොහොමද කිසියම් උදව් උපකාරයක් නැතිව මම අහන්නේ අන්න ඒ සම්බන්ධතාව ගැන? ආ.. ඒකද? මගේ යාළුවෙක් හිටියා 71 කැරැල්ලට අහුවෙලා ජර්මනියට ගිය. එයා මට ටිකට් එකක් එව්වා ජර්මනියට එන්න. මම ඒ විදිහට ජර්මනියේ අවුරුදු 6ක් විතර හිටියා. ඊට පස්සේ තමයි අණ්නා හම්බවෙලා, විවාහ වෙලා ඉතාලියේ පදිංචියට ගියේ. 71 කැරැල්ලට ඔබ සම්බන්ධවෙලා හිටියද? නෑ..නෑ… මම සම්බන්ධ වුණේ නෑ. සමහර විට ජර්මනියට ගිය මගේ යාළුවා සම්බන්ධ වෙන්න ඇති.

    • මම ජර්මනියට යන්නේ අනිත් අය වගේ සම්බන්ධතා මත නොවෙයි… මගේ අධ්‍යාපන සුදුසුකම් නිසා ජර්මනියේ BASF ආයතනයෙන් පිරිනමපු රැකියාවකටයි මම ජර්මනි යන්නෙ…. බොහෝ දෙනෙක් ජර්මනි යනවා කියපු ගමන් හිතන්නෙ වෙන රටකට ගිහින් පනින්න හරි එහෙමත් නැතිනම් කවුරු හරි ටිකට් එකක් එවලා හරි කියන මතයෙ ඉඳලා… ඔය ප්‍රශ්නෙම තමයි මට ජර්මන් වීසා ගන්න තානාපති කාර්යාලයට ගියාම එතැන නිලධාරිනියකුත් ඇහුවෙ.
      ඔයාට කොහොමද මේ වගේ රැකියාවක් හම්බ වුනේ කියලා…
      ජර්මනිය සමඟ සම්බන්ධතා පවත්වත මගේ මිතුරෙක් මට කිවුවෙ මේක මිලියනයකට එකක් වගේ කෙනෙකුට ලැබෙන අවස්ථාවක් කියලා… මොකද ජර්මනියෙ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි දරන අය නැතුව නොවෙයි… නමුත් ඒ අය අභිබවා යන්න මගේ යම් කිසි හොඳක් ඒ සමාගම දකින්න ඇති…
      මම කිසි සම්බන්ධතාවයක් නැතිව මගේ හැකියාව මත BASF ආයතනයට අයැදුම් කරලා ලබා ගත්ත රැකියාවක් මේක… ඒකයි මම ගොඩක්ම ආඩම්බර….

  10. ඇයි මනුස්සයෝ අර authorised money exchange කඩේකට ගියා නං ඕනෑ තරං රට සල්ලි ගන්න පුළුවනිනේ.

  11. අළුත් රැකියාවටත් Epic journey එකටත් සුභ පතනවා…

  12. ඔබ යම් දවසක ඇමරිකාවට වඩා යුරෝපයට ප්‍රිය කරාවි. ඇමරිකාවේ වගේ නවීන ගොඩනැගිලි නැතුවට, ඒ තරම් කාර්ය බහුල නොවුනට, ඇමරිකාවට වඩා සාමකාමී ජිවිතයක් යුරෝපයේදී ඔබ අත්විදිවී. ඒ හැමදේටම වඩා සිංහල භාෂාව ගැන ඉතාමත් ආඩම්බර කමක් ඔබට දැනේවි යුරෝපීයන් තම තමන්ගේ භාෂාවන් ගැන කොඉතරම් ආඩම්බර වෙනවද කියල දැක්කම. මම යුරෝපයට එනකල් හිතන් හිටියේ ඉංග්‍රීසි තරම් භාෂාවක් තවත් න කියල. යුරෝපියන්ට කෙතරම් හොදින් ඉංග්‍රීසි බස හසුරවන්න පුළුවන් උනත් ඔවුන්ගේ පළමු තැන තමන්ගේ මව් භාෂාවට. ලංකාවේදී ඉංග්‍රීසියෙන් කතා නොකර බොහෝ තැන වල කිසිම දෙයක් කරගන්න බෑ වගේ යුරෝපයේදී ඒ රටවල භාෂාව නොදැන සමහරවිට කිසිම දෙයක් කරගන්න බැරි වේවි. ඔබට හැකිනම් ඔවුන්ගේ බස ටිකක් ඉගෙනගන්න. ඔබ වැරදි වැරදි කතා කරද්දී ඔබ අහන්නත් කලින් ඔවුන් ඔබට උදව් කරාවි. ඔවුන් ඔබේ සමීපතමයින් වේවි. ඔබේ බිරිදත් දරුවත් රැගෙන ආ දවසක ඔබට එය වඩාත් පහසුවක් වේවි. අලුත් ජීවිතයට සුභ පැතුම්!!!

  13. “අද නම් මහා චාටර්ම දවසක් අප්පා!” කියලා කවදා හරි හිතිලා තියෙනවද? ඇයි නැත්තෙ නේ? මටත් එහෙම හිතිච්ච දවස් කොච්චර තියෙනවද? නමුත් මට දැන් එහෙම හිතෙනවා අඩුයි. මොකද මෙන්නෙ මේ කතාව ඇහුවට පස්සෙ. මේ බුවාට වෙච්ච ඇබැද්දිය ඇහුවොත් ආයි ජීවිතේට එහෙම හිතෙන එකක් නෑ. නරකම වැඩේ කෙනෙකුට වෙච්ච විපතක් අහලා හිනාවෙන එකනෙ. අනේ ඒ වුනාට මේ කතාව අහපු දවසෙ මම හිනා වුනා හිනාවිල්ලක්, ලොවෙත් නෑ.

  14. මේ ලිපි ටික මම දැක්කේ දැන්. බොහොමත්ම සතුටුයි ඔබගේ අලුත් රැකියාවට. මගෙන් සුබ පැතුම්. මේ පොස්ට් ටික මම දැක්කේ අද.

  1. පින්ග්කිරීම: 2012 ඔක්තෝබර් 26 : මේ මමයි…. මගේ ජීවිතයයි…. මගේ ඉට්ටැයිල් එකයි…. « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: