Daily Archives: සැප්තැම්බර් 17, 2012

2012 සැප්තැම්බර් 17 : රසායනික ද්‍රව්‍ය කම්හලක් විසින් වෙලාගත් නගරයක්…. Ludwigshafen.


ලෝකෙ විවිධ නගර විවිධාකාර දේ වලට ප්‍රසිද්ධයි. පැරීසිය කෞතුකාගාර වලට, රෝමය පැරණි නටබුන් වලට, ලාස් වේගාස් විනෝදයට, නිව්යෝක් විශාලත්‍වය සහ ප්‍රසිද්ධියට….Delaware ප්‍රාන්තය ප්‍රසිද්ධ Dupont කර්මාන්තශාලාව නිසා ආදී වශයෙන් විවිධ නගරවලට ආවේනික ප්‍රසිද්ධීන් තිබෙනවා… නමුත් කවුරු හරි අහලා තියෙනවාද රසායන ද්‍රව්‍ය කම්හලක් නිසා තැනුන නගරයක් ගැන ?

ඉතින් අන්න ඒ නගරයට මම අද උදෙන්ම ගියා. ඒ නගරයේ නම තමයි Ludwigshafen. ඒක ප්‍රසිද්ධ BASF කියන රසායන ද්‍රව්‍ය සමාගම පිහිටවා තිබීම නිසා… මේ නගරය පිහිටා තිබෙන්නේ ජර්මනියෙ Frankfurt  නගරයට දකුණින්.. BASF කියන්නෙ ලෝකයේ විශාලතම විවිධාංගීකරණය කරන ලද රසායන ද්‍රව්‍ය කම්හල.. එනම් එහි ඇති උප කොටස් හෝ සමාගම් ගණන අනන්තවත්. 1865 දී Manheim කියන නගරයේදී ෆ්‍රෙඩ්රික් එන්ගල්හෝන් විසින් කුඩා කර්මාන්තශාලාවක් පිහිටවූයේ ඩයි වර්ග හදන්නයි. නමුත් එයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව නිසා මෙම කර්මාන්ත ශාලාව වැඩි දියුණු කළා ඩයි වර්ගවල අමුද්‍රව්‍ය වන සෝඩා සහ අම්ල වර්ග හදන්න… මෙම ප්‍රදේශයට කියන්නේ Baden කියලා… Baden වල හැදු Aniline and Soda Factory කියන වචන වල මුල අකුරු එකතු වෙලා තමයි BASF කියලා හැදුනෙ. පසුව නගර සභාවෙ විරෝධය නිසා මේ කර්මාන්ත ශාලාව ගඟෙන් අනිත් පැත්තේ වන Ludwigshafen වල පිහිටවූවා… ඉන් පසුව ඒ නගරය දියුණු වුනේ කර්මාන්තශාලාවෙ දියුණුවත් සමඟයි.

පින්තූරෙ click කරලා බලන්න ලස්සන.........

පින්තූරෙ click කරලා බලන්න ලස්සන………

මේ කර්මාන්ත ශාලාවෙ ජර්මන් මධ්‍යස්ථානයෙ පමණක් සේවකයින් 50,000 කට අධික ප්‍රමාණයක් සේවය කරනවා… ලොව පුරාම ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් කර්මාන්ත ශාලා 390 කට අධික ප්‍රමාණයක සේවය කරනවා… මෙන්න මෙහමයි ඒකෙ විස්තරේ.

මම සේවය කරන්න යන රසායනාගාරයත් මේ සුවිසල් ආයතනයෙ සෙවණ ලබන්නක්… අපිත් කරන්නෙ ඒ ආයතනයට අවශ්‍ය පර්යේෂණ නිසාම අපිත් වැටෙන්නෙ BASF සේවකයො විදියටයි. අපේ පඩි නඩි වගේම සියල්ලම සැපයෙන්නෙ ඒ ආයතනය මගින්. ඉතින් අද මම මුලින්ම සේවයට වාර්තා කරන දිනයට ඒ ආයතනයට ගියා. බොහොම සුහදශීලී ලෙස පිළි අරගෙන මට බොහෝ දේ කියා දීලා මගෙන් ලේ ටියුබ් දෙකකුත් අරගෙනයි ගෙදර එව්වෙ… ඒ ලේ ටියුබ් දෙකට කරන්න ඕන පරීක්‍ෂණ ඔක්කොම කරයි… මම මත්ද්‍රව්‍ය ගන්නවද ආදී වශයෙන් සොයා බලයි… සති දෙකකින් විස්තරේ එයි… ඊට පස්සෙ තමයි ඔක්කොම එළි වෙන්නෙ….

ඉතින් හෙට ඉඳලා මමත් වැඩ… අද උදෙන්ම රහස්‍යභාවය සුරැකීමේ ලිපියකට අත්සන් තිබූ නිසා රසායනාගාරයේ සිදු වන කිසිදෙයක් කියන්න බැරි වේවි… නමුත් එතැන හරිම සුන්දර, වැඩ කරන්න ආස හිතෙන තැනක්…. මට ලොකුම ලොකු කාර්යාලයක් තියෙනවා….  ඉතින් අපි බලමු ලෝකෙට යමක් හොයලා දෙන්න…. ඒක කාට හරි වැදගත් වෙනවා නම් වටිනවනේ.. වැඩියෙන්ම වටින්නෙ ඉතිං BASF ආයතනයට… ඒත් මොකද… කාට හරි යහපතක් වේවි… අඩුම ගානෙ පරිසරය වත් සුරැකේවි….

%d bloggers like this: