2012 සැප්තැම්බර් 22 : අපේ අවසානය ලඟද ? තව ටිකක් නටමුද ?


කවුද කිවුවා මේක ඇල්කෙමියාගෙ දිනපොත වුනාට දේශපාලන කතා ලියැවෙනවා වැඩියි කියලා…. මම දේශපාලන සත්‍වයෙක් ඒක නතර කරන්න බැහැ. ඉතිං අපේ කට්ටිය හිටු කියලා පිස්සු කෙළිනකොට ඇඟේ මාළු ගඟේ නටනකොට නොලියවිය යුතු දේවලුත් ඉඳලා හිටලා ලියැවෙනවා. ඒක එහෙමයි.. ඇල්කෙමිච්චිත් කට කැඩෙනකල් බණින්නෙ මේ හේතුව නිසාමයි. අනේ දෙයියනේ රටේ ලෝකෙට වැඩක් ඇති දෙයක් ලියන්න කියලා… කොයි මිනිහද දෙයියනේ තමන්ගෙ ගෑණි කියන දේ ඇහැවුවෙ ? එහෙම ඇහැව්වනං මිනිස්සු කොච්චරක් කියලා දියුණු වෙලාද ? (බොහොමයක් දෙනා අහන්නෙ ඉතිං අනිත් ගෑණි කියන දේ විතරනෙ)… මේ දවස්වල නං ඉතිං පරිසරය වෙනස් නිසා ලියන්න දේවල් ගොඩයි.. දැන්වත් කියන්න ඕන අර පිය-පුතු යුවලට පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න කියලා…. නැත්තං ආයෙම ලියන්න වෙනවනේ….

දේශපාලනය හැරුණාම මගේ ප්‍රියතම විෂයය පරිසරය…. පුංචිකාලෙ නම් 1. පරිසරය 2. ක්‍රීඩාව……… කොහොම වුනත් රසායන විද්‍යාව කරලා පරිසරයේ විනාශයට හේතු වන දේවල් ගැන අධ්‍යයනය කරන්න ගත්ත කාළෙ ඉඳලා මට මේ කාළගුණය-දේශගුණය ආදී නොයෙක් බර දේවල් ගැන අවධානය යොමු වුනා.. ඒ නිසාමයි කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම ගැන සහ ඊට කළ හැකි දේ ගැන පර්යේෂණ කරන්න යොමු වුනේ… වාසනාවකට දැනුත් පර්යේෂණ කරන්න තියෙන්නෙ ඒ ගැනමයි… සන්තෝසයි… ඉතිං මම පහුගිය ලිපි ගණනාවක අත කැඩෙනකල් ලියුවා අපි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුකළ යුතු ඇයිද කියලා… මේ නිසා ලෝකෙට වෙන්න පුළුවන් විනාශය අති විශාලයි… ඒත් අපි හැමෝටම ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. රුපියල් 7500 කින් මාසයක් ගත කරන එක ලෝකෙ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමට වඩා ප්‍රශ්නයක්. දරුවන්ට පාසලක් – පාසැල් ගිය දරුවොන්ට උසස් පාසැලක් – උසස් පෙළ සමත් දරුවොන්ට විශ්ව විද්‍යාලයට යන්න හැකියාවක්, ආදී නොයෙක් දේවල් නිසාම අපිට ලෝකයක් තියෙනවාද කියලා හිතෙන්නෙවත් නැහැ… ඒක ලෝක ස්වභාවය… අපිට අපි ගැන විතරයි මතක් වෙන්නෙ… වැරැද්දක් කියන්න කොහොමටවත් බෑ… බුදු හාමුදුරුවොත් තමන් බුදු වෙලා තමයි අනිත් අයට නිවන් යන පාර කිවුවෙ…. ප්‍රශ්නෙ තියෙන්නේ අපට ඒ තමන් බුදු වෙන මාර්ගය හොයා ගන්න ලේසි නැති එක.. ඒ නිසාම අනුන් වෙත කරුණාව පතුරන්න වෙලාවක් නෑ… එහෙම වැරදිලාවත් හිතෙන්නෙවත් නෑ…

පහුගිය මාස එකහමාරෙ ලංකාවෙ ගත කළ කාළයෙදි මට තේරුණේ ලංකාවෙ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා.. ඉස්සර තිබුණ අනුන් ගැන සිතීම දැන් NGO වලට පමණක් දීලා අපේ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද කියලා හිතුනා. පාරේ වාහන එළවන්නෙ තමන් යනවා කියලා හිතාගෙන විතරයි… අනිත් අය තමන්ට ඉඩ දීලා යන්න ඕන… පාරේ එක පැත්තක ඉඳලා අනෙක් පැත්තට යන්න සිග්නල් ඕනම නෑ… දවසක් අපේ වාහනයෙ පිටි පස්සෙ මෝට බයිසිකලයක් හප්පලා.. අන්තිමට බයිසිකල් කාරයා බැණගෙන ගියා වාහනේ ට්‍රැෆික් එක මැද්දෙ වේගය අඩු කළා කියලා.. දෙයියනේ හෙමින් තමයි ගියේ… නැතුව ඉස්සරහ වාහනේ පෙරළගෙන යන්නයෑ… ඔන්න ඔහොමයි.. තවත් දවසක නෝනා කෙනෙක් ලොකු ජීප් එකක මහ දවල් යූ ටර්න් එකක් දානවා පාර හරහා…. අපි ඔක්කොම එයා දෙතුන් පාරක් ඉස්සරහට පස්සට අරගෙන කහ ඉරි දෙක කපාගෙන යූ ටර්න් දානවා බලන් ඉන්න ඕන… ටිකක් ඈතින් සුදුපාට අත් දිගට දාපු ට්‍රැෆික් පොලිස් රාලහාමිලා දෙන්නෙකුත් ඉන්නවා… අනේ කාලේ කියලා හිතුනා… ඒ එක පැත්තක්…

ඉතිං මේ ගැන කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි… ඉතින් කාටත් වැදගත් දෙයක් කතා කරමු…

දැනට ගෝලීය උෂ්ණත්‍වය පමණක් ෆැරන්හයිට් 1.33 කින් එහෙමත් නැතිනම් සෙන්ටිග්‍රේඩ් 0.79 කින් වැඩි වෙලා. මේ වැඩි වීමෙ ලොකුම අගය වාර්තා වෙලා තියෙන්නෙ 1979 න් පසුව එනම් බාගයකට වැඩි ප්‍රමාණයක්. තවත් වෙනසකම් බොහොමයක්.. සතුන් සිය චර්යා වෙනස් කරගෙන, ශාක සිය චර්යාවන් පරිසර වෙනස්වීමට අනුව වෙනස් කරගෙන, මල් හට ගන්න ගෙඩි හට ගන්න වකවානු වෙනස් වෙලා… සතුන්ගේ සිරුරු වල DNA  වෙනස් වෙමින් පවතිනවා…අළුත්ම සොයා ගැනීම් අනුව හිමාලයේ ග්ලැසියර් හිතුවට වඩා වේගයෙන් දියවෙනවලු… මෙච්චර කල් වැඩි සද්දයක් බද්දයක් නැතුව තිබුණ ඇන්ටාක්ටිකාවත් දියවෙන්න පටන් අරන්.. උත්තර ධ්‍රැවය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ…  දියවෙලා පොළව මතු වෙන කොටස් වල ඇමරිකාවයි, රුසියාවයි තෙල් හාරන්නත් පටන් අරන්… තව ටික දවසකින් කට්ටිය  Santa Clause Resort කියලා උත්තර ධ්‍රැවයෙ ලොකු ව්‍යාපෘතියක් පටන් ගනීවි… කොහොම වුනත් ඉදිරි කාළයේ මේ හිම දියවීම වැඩි වෙන්න ගන්නවා.. මම කියන්නෙ තව වසර පහක් ඇතුලත.. මේ කාළය ඇතුලත ලෝකයේ කාළගුණයෙ බොහොමයක් වෙනස්කම් සිදු වේවි… කොහොමද අපි අවම වශයෙන් මේක පාලනය කරන්නවත් උත්සාහ කරන්නෙ ?

ලෝකයේ උෂ්ණත්‍වය ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ වැඩිවන ජනගහනය විසින් බලශක්තිය වැඩිපුර භාවිතා කිරීම. ඒ නිසා වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ අනෙකුත් හරිතාගාර වායූන් නිසා වායු ගෝලය රත් වෙනවා.. එවිට බොහෝ විපර්යාස සිදු වෙනවා. අපට කරන්න තියෙන්නේ දැන් දැන් බලශක්ති පරිභෝජනය සීමා කිරීම.. ඒක අපි තනි තනි පුද්ගලයින් වශයෙන් කළ හැක්කක්. එපමණක් නොවෙයි එය අපේ වියදම අඩු කිරීමටත් උදවුවක්. මේ ගැන මම මීට පෙරත් කතා කරලා තිබෙනවා.

  • CFL විදුලි බල්බ වෙනුවට හැකි නම් LED විදුලි බල්බ භාවිතා කළ  හොත් අපට 80% කින් විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවනි.
    • LED විදුලි බල්බවල මිල තරමක් වැඩි වුනත් ඒවා දීර්ඝකාලීනව වාසිදායකයි.
  • භාවිතා නොකරන අවස්ථාවල විදුලි උපකරණවල විදුලි පේනු ගලවා තැබීම.
    • බොහෝ දෙනා නොදන්නවා වුනාට විදුලි පේනු විදුලියට සම්බන්ධ කර ඇති විට යම් විදුලි ප්‍රමාණයක් එය පරිභෝජනය කරනවා. මෙසේ ගලවා තැබීමෙන් විදුලි බිලෙන් 10% ක් පමණ ඉතිරි කරගන්නට පුළුවන්.
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • රෙදි මැදීම වැනි අධික විදුලි පරිභෝජනය වන  දේ භාවිතා කරන අවස්ථා අවම කිරීම. උදාහරණයක් ලෙස නිවසේ සියළුම දෙනාගේ සතිය පුරා අඳින ඇඳුම් ඉරිදා වැනි දිනයක සියල්ලම මැදීම වැනි සුළු කළමණාකරණයකින් බොහෝ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.
  • විදුලි උදුන් වෙනුවට දහයියා උදුන් භාවිතය.
  • ජල පරිභෝජනය කළමණාකරණය.
  • වැසි ජලය එකතු කර භාවිතයට ගැනීම.
  • ගමන් බිමන් කළමණාකරණය – විශේෂයෙන් මෝටර් රථයක් භාවිතයේදී
  • මෝටර් රථයේ වීදුරු වසාගෙන ගමන් කිරීම – මෙමගින් ඉන්ධන ඉතිරි කිරීම වැඩි කරගන්න පුළුවන් : වාත ප්‍රතිරෝධය අඩු වන නිසා.
  • මෝටර් රථය නිසි ලෙස සර්විස් කර නිසි ටයර් පීඩනය රඳවා භාවිතා කිරීම මගින් ඉන්ධන ඉතිරි කර ගන්න පුළුවන්.
  • පොදු ප්‍රවාහනය භාවිතය වැඩි කිරීම
  • සිය ආහාර සිය වත්තේම වගා කර ගැනීම සහ භාවිතය
  • අඩුවෙන් භාවිතය, නැවත භාවිතය, සහ ප්‍රතිචක්‍රීකරණය, (Reduce, Reuse & Recycle)
  • හැකි නම් සූර්ය කෝෂ දෙක තුනක් වහලේ සවි කරගෙන එය තමන්ගෙ විදුලි මීටරය හරහා ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කර ගන්න (Smart metering system) පුළුවන් සැලැස්මක් කර ගත්තොත්, තමන් නිවසේ නැති අතරේ ජනනය වන විදුලි බලය නිසා අමතර වියදම් පිරිමැස්මක් කර ගන්නත් පුළුවන්… නමුත් මෙය මුලින් තරමක් වියදම් අධිකයි.. ප්‍රතිලාභ ලැබෙන්නෙ පහු වෙලා…

මේ කරන්න පුළුවන් දේ වලින් බොහොම පොඩ්ඩක්… ඇත්තෙන්ම සරළව පොඩ්ඩක් හිතලා බැලුවොත් හැම දෙනාටම කරන්න පුළුවන් දෙයක්… දවසකට එක්කෙනෙක් කිලෝ වොට් එකක් ඉතිරි කළොත් රටට බොහොමයක් බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ගෙදර වියදමත් ඉතිරි වෙනවා..

මම ජර්මනියෙ දුටු එක දෙයක් තමයි බලශක්තියට උපරිම අයකිරීමක් කරනවා.. මේ නිසා මිනිස්සු බලශක්තිය පාවිච්චි කරන්නෙ හරිම අර පරිස්සමින්… මම හිතන්නෙ අපේ රටෙත් විදුලි බිල වැඩි කළොත් ඒක සිදු වෙයි සමහරවිට… ඒත් විදුලි බිල වැඩි කරන්න ඉස්සර විදුලිබල මණ්ඩලයේ නාස්තිය සහ දූෂණය නැති කරලා ඉන්න වෙයි.. අන්න එතකොට අපිට විදුලිය ඉතාමත් අඩු මුදලකට දෙන්නත් පුළුවන් වේවි… ඉස්සර කිවුවා වගේ නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරය හදලා ඉවර වුනාම විදුලි බිල සෑහෙන අඩු වෙයි.. ඒක හදලා ඉවර වෙනකල් ඉන්න වෙනවා….

මේ ආකාරයට පාලනයක් නැතිව ගියොත් අපට වැඩි දවසක් නොගොස් ඒකෙ පළවිපාක දකින්නට පුළුවන් වේවි. දැනටමත් අප අත් දකින විවිධ කාළගුණ රටා වෙනස් වීම් මේ විනාශයේ පෙර නිමිති. ටික කාළයකින් අපට වෙරළබඩ තීරයෙන් ලොකු කොටසක් අහිමි වෙන්න පුළුවන්.. ඉතින් ජීවිත පූජ කරලා සටන් කරළා බේර ගත්ත ප්‍රදේශ අපට අහිමි වෙනවා කියලා ලොක්කො දන්නෙ නැතුව ඇති… නැත්නම් අනිත් ප්‍රශ්න වලදි වගේම නොදන්නවා වගේ ඉන්නවා ඇති…

ඉතිං අර ලිපගිණි මොළවන තෙක් හැලියට කෙළිය කකුළුවා වගේ අපි හැමෝම නට නටා ඉන්නවද ? එහෙමත් නැතිනම් අනාගත පරපුර ගැන හිතලා තම තමන්ගේ පමණින් ලෝකය ආරක්‍ෂා කරන්න තමන්ගෙ දායකත්‍වය දෙනවද කියන දේ නැවතත් හිතා බලන්න කාළය ඇවිත්….

තීරණය ඔබේ අතේ.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 23, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. ලිස්ට් එකේ ඇති ගොඩක් දේ අනුගමනය කරනවා දැනටත්

    කැමතියි

  2. උත්සහ කරනවා මාත් හැකි තරමක් මොනා හරි කරන්න!

    කැමතියි

  3. හැකි පමණින් උත්සහ කරමු! 🙂 🙂

    කැමතියි

  4. ඇල්කෙමි, ඔබේ සටහන අපේ රටේ උදවියට හරිම වැදගත්. අපේ ගෙදර මේ සටහනේ ඇති බොහොමයක් වෙනවා. නමුත් කනගාටුයි කියන්න අපේ රටේ බහුතරයක් ඔබ කියනවා වගේ ඉතිං අර ලිපගිණි මොළවන තෙක් හැලියට කෙළිය කකුළුවා වගේ අපි හැමෝම නට නටා ඉන්න බව කියන්න ඕනෙ. අපි පින්තාලියක් ලෙස වතුර පයිප්පයක් දී තිබෙනවා අපේ හන්දියෙ ඉන්න අයට ප්‍රයෝජනයට. වතුර ටික අරන් බාගෙට පයිප්පෙ වහලා යනවා. කීප දවස මට කියන්න වුනා හරියට වහන්න කියලා. පාරේ ලයිට් ටික වෙලාවට නිවන්නෙ නෑ. ඔයවගේ දේ හරියට. අපේ රටේ ගැහැණු අයට රිය පදවන්න හරිම ලේසියි කියල අපේ මහත්තයා කියන්නෙ. ඇයි? මොන වැරද්ද කලත් කවුරුත් මොකුත් කියන්නෙ නෑ. අනේ මම නම් ඔය රස්සාව කරන්නෙ නෑ ඔන්න.
    මගෙ මල්ලී පසු ගිය මාසෙක මෙහේ බල ශක්තිය පරිස්සමින් භාවිතාකරන හැටි සහ ලාබදායි ලෙස ඒවා යලි යලිත් යොදාගන්නා හැටි දේශණයක් පවත්වන්නට ලංකාවට ආවා. ඒ දේශණය අහපු බවක් නම් නෑ මෙහේ බලධාරින්. ඔහු දැනට ඔබ හා සමානව මේ සම්බන්ධව දෙයක් කරන්නෙක්. කනගාටුව එවැනි අයගෙන් අපේ අය ප්‍රයෝජන ගන්නට දන්නෙ නැතිකමයි.

    කැමතියි

  5. එහෙම කියන්න එපා ඇල්කෙමියා,ඔබ දන්නවනේ අර මහින්ද රා අනේ සමාවෙන්න මොකක් ලියන්න ගියත් මේ!@#$%ගෙ නමයි කටට එන්නේ.සාර්ථක මිනිසකු පිටිපස සිටින්නේ තමන්ගේ බිරිද තොමෝ කියල,එයා නැත්නම් අද ඔයාගෙන් උනත් මේ වගේ වැදගත් දේවල් නෙමේ අහන්න වෙන්නේ වැල් බයිලා.අප මෙලොවට බිහිකළ මවට මෙන්ම ඇයටද සැලකිය යුතුයි.[ඔබ අරෙහෙම ලියල තියෙන්නේ බොරුවට කියල දන්නවා] 80 වේ මුල් කාලයේ චිත්‍රපටවල කාර්මික ශිලිපියකු ලෙස වැඩ කල [ප්‍රසිද්ධ කැමරා ශිලිපියකුගේ මස්සිනා ] මගේ ඒ කාලේ හිතවතකු ජර්මන් වලට නෙමේ ජර්මනියට ගියා.ඔහු මාස 7 ක් පමණ වීසා නැතුවද කොහෙද තැනින් තැන හොරෙන් පොඩි රස්සාවල් කරලා ලංකාවට ඇවිල්ල අහම්බෙන් හමුඋනා.එතකොට කිව්වා වැඩක් නැහැ මචන් එහෙ චොකලට් සහ වයින් විතරයි ලාභ ඒවා කාල බීලා හිටිය කියල.ඒ කාලේ මට නම් රට යන “උණක්” තිබුනේ නැහැ.මොකද කුමාරෝදය පොතෙන් පටන් අරගෙන,ලෝකෙන් උතුම් රට ලංකාවයි,අපේ සිරිලන්කාවයි කියල පොඩි කාලේ ඉදල අපිව අන්දලා [ජංගි නෙමේ] තිබුනනේ. 77 න පස්සේ ආපු දේවල් දැක්කම හිතුන සිරිලක දේ හැම රෙද්දටම් සැපදේ කියල.අනේ ඉතින් 88 න පස්සේ මටත් ‘උණ’ ගත්ත වෙන රටක සැප ගනින් මෙහෙ ඉදල ඔලුකටු කුඩු කරගන්නේ නැතිව කියල.කොහොම උනත් ඔබගේ සහකාරියගේ බැනුම් අහගෙන හරි කමක් නැහැ දේශපාලනය ගැන ලියන්න.බැන්නත් අපි ලියන කොමන්ට් දැක්කම එයත් අදහස් දෙයි තව තවත් ඔබට ලියන්න.

    කැමතියි

  6. මේ බ්ලොග් වලට එන අය හැමෝම දිනපතා ජීවිතයේ බහුල ලෙස පරිගණක භාවිතා කරන අය නිසා පරිගණක ගැන ලඟදි කියවපු දෙයල් ලියන්න හිතුනා. පරිගණක බලශක්ති භාවිතයෙන් 80% ම මොනිටරය වෙනුවෙන් තමයි වැයවන්නේ. නිතර පරිගණක භවිතා කරන නිසා හැම වෙලේම shut down කරන්නත් බැහැ, නමුත් මොනිටර් එක off කරලා තියන්න, නැවත භාවිතා කරන වෙලාවට තියෙන්නෙ මොනිටරය on කිරීම පමණයි.

    හැකියාවක් තියන කට්ටිය සූර්ය බලශක්තිය පාවිච්චි කරන්න. ඒ කරන වියදම හරිම වටිනවා.

    කැමතියි

  7. “මම ජර්මනියෙ දුටු එක දෙයක් තමයි බලශක්තියට උපරිම අයකිරීමක් කරනවා.. මේ නිසා මිනිස්සු බලශක්තිය පාවිච්චි කරන්නෙ හරිම අර පරිස්සමින්… මම හිතන්නෙ අපේ රටෙත් විදුලි බිල වැඩි කළොත් ඒක සිදු වෙයි සමහරවිට… ඒත් විදුලි බිල වැඩි කරන්න ඉස්සර විදුලිබල මණ්ඩලයේ නාස්තිය සහ දූෂණය නැති කරලා ඉන්න වෙයි.. අන්න එතකොට අපිට විදුලිය ඉතාමත් අඩු මුදලකට දෙන්නත් පුළුවන් වේවි… ඉස්සර කිවුවා වගේ නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරය හදලා ඉවර වුනාම විදුලි බිල සෑහෙන අඩු වෙයි.. ඒක හදලා ඉවර වෙනකල් ඉන්න වෙනවා….“

    මිස්ටර් ඇල්කෙම්ගේ මේ ප්‍රකාශය ටිකක් විතර පරස්පර විරෝදීයි නේද, විදුලි බිල වැඩි කළොත් අරපිරිමැස්ම වැඩිවෙයි කියන ගමන් නාස්තිය දූෂණය අඩු කලොත් අපිට මීටත් වඩා අඩුවෙන් විදුලිය දෙන්න පුළුවන් කියනවා. මට තේරෙන්නේ නැහැ.

    අනිත් එක විදුලිය අපි මොනතරම් අරපිරිමැස්මෙන් පාවිච්චි කළත් වැඩක් නැහැ ලෝකය ගත්තොත් මැද පෙරදිග රටවල් කිසිම පාලනයක් නැතිව පොසිල ඉන්ධන දහනය කරලා විදුලිය ගන්නවා වගේම සත ගාණක් වගේ අඩු ගාණට විදුලිය දෙනවා. මම දන්නවා ඕමාන් වල හිටපු ටික කාලෙට මොන තරම් නාස්තියක් වෙනවද කියලා. අපිට ලැබුණ ගෙවල් වල ඉන්න බැරි තරම් එලියයි. දාලා තිබුණ බල්බ් මම හිතන්නේ වොටි බර ගාණක්.

    අනිත් එක තමයි අපේ වගේ දියුණු වන රටවල් වල පාවිච්චි කරන විදුලි උපකරණ බොහොමයක් යල් පැන ගිය ඒවා. කාර්්‍යක්ෂම තාව අඩුයි විදුලි පරිභෝජනය අධිකයි. ඒත් අපේ ගොඩක් අයට වත්කමක් නැහැ අළුත් සහ විදුලිය පිරිමහින උපකරන ගන්න. පරණ ඒවාම කැඩෙන්න කැඩෙන්න හදමින් පාවිච්චි කරනවා.

    මම හිතන්නේ මේ කාරණා දෙක නවත්ත ගත්තොත් සියයට හතලිහකින් වගේ විසඳුමක් දෙන්න පුළුවන්

    කැමතියි

  8. //කොයි මිනිහද දෙයියනේ තමන්ගෙ ගෑණි කියන දේ ඇහැවුවෙ ? එහෙම ඇහැව්වනං මිනිස්සු කොච්චරක් කියලා දියුණු වෙලාද ? (බොහොමයක් දෙනා අහන්නෙ ඉතිං අනිත් ගෑණි කියන දේ විතරනෙ)//

    අපරාදේ කියන්ට බෑ ඇත්ත ලියලා… 😀

    කැමතියි

  9. BUZZ Blog Award එකක් දිනූ ඇල්කෙමියාට උණුසුම් සුභ පැතුම්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    කැමතියි

  10. ජය ගත් ඔබට මාත් සුභපතනවා තව තවත් සාර්තක වේවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: